උම්රාඕ ජාන් (2006 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
උම්රාඕ ජාන්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයජේ. පී. දත්තා
රචනයජේ. පී. දත්තා
තිර රචනයජේ. පී. දත්තා
ඕ. පී. දත්තා
නිශ්පාදනයජේ. පී. දත්තා
රංගන ශිල්පීන්අභිෂේක් බච්චන්
ඓශ්වර්යා රායි
සුනිල් ෂෙට්ටි
ෂබානා අස්මි
සිනෙමාරූපණයආයනංකා බෝස්
සංස්කරණයජේ. පී. දත්තා
සංගීතයඅනූ මලික්
බෙදාහැරීමරිලයන්ස් එන්ටර්ටේන්මන්ට්
නිකුත්වූ දිනය
  • 3 නොවැම්බර් 2006 (2006-11-03)
තිර කාලය
මිනිත්තු 189
රටඉන්දියාව
භාෂාවහින්දි
ආදායම$1,371,723[1]

උම්රාඕ ජාන් යනු එම නමම ඇති සුප්‍රකට අභිසාරිකාව පිළිබඳ වන බොලිවුඩ් චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි විසිනි. ජේ. පී. දත්තාගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ෂබානා අස්මි, සුනිල් ෂෙට්ටි, දිව්‍යා දත්තා, හිමානි ශිව්පූරි සහ කුල්භූෂන් ඛාර්බන්දා ද චරිත නිරූපණය කරති.

කථාපුවත[සංස්කරණය]

1840දී, අමීරන් (බන්ශ්‍රී මන්ධනී) නම් දැරියක ෆයිසාබාද්හි ඇගේ නිවසින් පැහැරගෙන යනු ලැබෙයි. දිලාවර් ඛාන් (විශ්වජීත් ප්‍රධාන්) විසින් ඇයව පැහැරගන්නේ අමීර්නගේ පියා ලබා දුන් සාක්ෂි මත ඔහුව සිරගත කෙරුණු නිසායි. අමීරන්ව පැහැරගන්නා ඔහු ඇයව ඛන්නුම් ජාන් (ෂබානා අස්මි) විසින් පවත්වාගෙන යනු ලබන ලක්නව්හි ගණිකා මඩමකට අලෙවි කරයි. බුවා හුසේනි (හිමානි ශිව්පූරි) සහ මෞල්වී සහීබ් (කුල්භූෂන් ඛාර්බන්දා) අමීරන්ව හදාගන්නා අතර, ඔවුන් ඇයට තමන්ගේම දියණියකට ලෙස සලකති. ඛූර්ෂිද් (අයේෂා ජූල්කා), බිස්මිල්ලා (දිව්‍යා දත්තා), සහ වේශ්‍යාවකගේ පුත්‍රයකු වන ගෞහාර් මිර්සා (පුරු රාජ්කුමාර්) යන අයගේ මිත්‍ර සංග‍මය යටතේ අමීරන් අභිසාරිකාවක හෙවත් තවායිෆ්වරියක වීමේ ශාස්ත්‍රය හදාරයි.

දැරිය වැඩිවියට පත්ව රූමත්, කාව්‍ය ශාස්ත්‍රයෙහි දක්ෂ තැනැත්තියක බවට පත්වන අතර, ඇය උම්රාඕ ජාන් (ඓශ්වර්යා රායි) ලෙස ප්‍රකට වේ. උම්රාඕ‍ගේ රූසපුව සහ කාව්‍ය නවාබ් සුල්තාන්ගේ (අභිෂේක් බච්චන්) අවධානය ඇය වෙත යොමු කිරීමට හේතුවේ. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් වෙළෙන අතර, ඔහුගේ පියා මෙය දැනගැනීමත් සමග ඔහු නවාබ් සුල්තාන්ට අවමන් කර ඔහුගේ ධනය ද අහිමි කර නෙරපා දමයි. දරිද්‍රභාවයට පත් නවාබ් ඝාරිහි විනිසුරුවරයකු වන සිය මාමාගේ නිවසෙහි නවාතැන් ගනියි. ඔහු නොමැතිව හුදකලා වන උම්රාඕ ඔහු නැවත පැමිණේයැයි සැමදිනම යාඥා කරයි.

නවාබ් නොමැති කාලයේ උම්රාඕ ෆායිස් අලිගේ (සුනිල් ෂෙට්ටි) නෙත ගැටෙයි. ඇය ඔහුගේ ප්‍රේමාරාධනා ප්‍රතික්ෂේප කළ ද, ඔහු ඇයට දෞලතාබාද්හි සිය නිවස වෙත පැමිණෙන මෙන් පවසයි. උම්රාඕ එයට එකඟ වන්නේ ඔවුන් ඝාරි හරහා ගමන්ගන්නා බව ඇසීමෙන් පසුවයි. ගමන අතරතුර දී, ෆායිස් අලිගේ මිනිසුන් සහ රාජ්‍ය සෙබලුන් අතර ඇතිවන ගැටුමක් හේතුවෙන් සම්පූර්ණ පක්ෂයම සිරගත කෙරෙයි. ෆායිස් අලි යනු සෙබලුන් වසර ගණනක් තිස්සේ සොයමින් සිටි මංකොල්ලකාරයකු බැව් හෙළිවේ. උම්රාඕ සහ ෆායිස් අලි ඝාරි වෙත පැමිණ ඇති බව දැනගන්නා නවාබ් සුල්තාන් සිරභාරයේ සිටින ෆායිස් අලි මුණගැසීමට යයි. එහි දී උම්රාඕ තමන් සමග පැමිණියේ නවාබ්ව මුණගැසීමට පමණක් බව ෆායිස් අලි වටහා ගනියි. මේ නිසා ඒ දෙදෙනා භේද කරවීමට සිතා තමන් සහ උම්රාඕ අතර ලිංගික ඇසුරක් පැවති බව ෆායිස් පවසයි. නවාබ් උම්රාඕව නොසලකා හරින්නේ ඇය තමන්ට ද්‍රෝහී වූයේ යැයි සිතා ය. ඔහු ඇයව නැවත ලක්නව් වෙත පිටත් කරවයි. සිත්තැවුලට පත් උම්රාඕ සිය පැරණි දිවිය නැවත අරඹයි.

ළමාවියේ සිට ඇයට පෙම්කළ ඇගේ මිතුරකු වන ගෞහාර් මීර්සා (පුරු රාජ්කුමාර්) බීමත්ව උම්රාඕට අතවර කරන්නේ ඇය ඔහුව ප්‍රතික්ෂේප කරන නිසායි. ඉන් පසුව, බ්‍රිතාන්‍යයන් නගරයට පහර දෙන අතර, ඇයට ලක්නව් හැරයාමට සිදුවේ. ඇය සිය ළමාවියේ නිවහන වන ෆයිසාබාද් වෙත යන්නට තීරණය කරයි. එහි දී සිය පියාණන් මියගොස් දිගු කාලයක් ගතවී ඇති බව ඇය වටහා ගනියි. ඇයට සිය මෑණියන් සහ සොහොයුරා හමුවන නමුත්, ඔවුන් ඇයව භාර‍ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇගේ වෘත්තිය හේතුවෙනි. සිය පවුල සහ පෙම්වතා වෙතින් අවමන් ලද උම්රාඕ නැව ලක්නව් වෙත පැමිණෙයි. අනතුරුව ඇය දෛවයේ සරදමට ලක්වේ: නගරයෙන් පිටත දී ඇයට තමන්ව කුඩා කල පැහැරගෙන විත් ගණිකා මඩමක් වෙත අලෙවි කළ දිලාවර් ඛාන් මුණගැසෙයි. මේ වන විට දරිද්‍රව, පහත් තත්ත්වයට පත්ව, නිවසක් නොමැතිව සිටින ඔහු ඇගෙන් සිඟමන් යදින්නේ ඇය කවුරුන්දැයි හඳුනා නොගෙනයි. සිය රන් වළලු ඔහුට ලබා දෙන ඇය දෙවියන්ගෙන් ඔහුට සමාව ඉල්ලා යාඥා කරයි. සියල්ලන් වෙතින් අවමන් ලද උම්රාඕ සිය දිවිය විනාශ කළ තැනැත්තන්ට පවා සමාව ලබාදෙමින් සිය දිවියේ ඉතිරි කාලය ලක්නව්හි ගතකරන්නේ කාව්‍යකරණයෙහි යෙදෙමිනි.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

දත්තා අනුව මෙම චිත්‍රපටය පාදක කො‍ටගෙන ඇත්තේ සියා පියා වූ ඕ. පී. දත්තා චරිත තිර පිටපතකිනි.[2] එය ද මීර්සා හාඩි රුස්වාගේ සම්භාව්‍ය උර්දු නවකථාවක් වූ උම්රාඕ ජාන් ආදා හි අනුවර්තනයකි. මෙම චිත්‍රපටය රූගත කළ ස්ථාන අතරට ජායිපූර්හි ඇතැම් මාලිගා ද අයත් වේ. සරෝජ් ඛාන් මෙහි නර්තන අධ්‍යක්ෂණය සඳහා තෝරාගැනුණු නමුත්, අධ්‍යක්ෂක ජේ. පී. දත්තා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය ඉවත්ව ගියා ය.[3] අනතුරුව ඇය වෙනුවට වෛභාවි මර්චන්ට් සම්බන්ධ කරගැනිණි.[4]

පූර්ව-නිෂ්පාදනයේ දී මෙහි ඇතැම් චරිත ද වෙනස් කෙරිණි. මුලින් මෙහි උම්රාඕ ජාන්ගේ චරිතය නිරූපණයට ප්‍රියංකා චොප්රා තෝරාගැනුණු නමුත්, ඇගේ බ්ලෆ්මාස්ටර් චිත්‍රපටයේ කටයුතු හේතුවෙන් මෙහි රූගත කිරීම් සඳහා දින අනූවක් වෙන් කිරීමට ඇයට නොහැකි විය. මෙහි ගෞහාර් මීර්සාගේ චරිතය සඳහා මුලින් අර්ෂාද් වාර්සි තෝරාගැනුණු නමුත් ඔහු ලගේ රහෝ මුන්නා භායි චිත්‍රපටයේ රංගනය සඳහා ඉන් ඉවත් විය. අනතුරුව වාර්සි වෙනුවට පුරු රාජ්කුමාර් සම්බන්ධ කරගැනිණි.මෙහි ඛානුම් ජාන්ගේ චරිතය නිරූපණය කරන ෂබානා අස්මි මෙම කථාවේම 1981 ප්‍රභේදයේ ඇගේ චරිතය නිරූපණය කළ ශෞකාත් අස්මිගේ දියණියයි.

සංගීතය[සංස්කරණය]

මෙහි සංගීත නිර්මාණය අනූ මලික් විසින් ද, පද රචනය ජාවෙඩ් අඛ්තර් විසින් ද සිදුකරන ලදී. පථ ලැයිස්තුව පහත පරිදි වේ:

  1. "ඒක් තුටේ හුයේ දිල් කි" – අල්කා යාග්නික්
  2. "A Foreword" – ජාවෙඩ් අඛ්තර්
  3. "සලාම්" – අල්කා යාග්නික්
  4. "පෙහ්ලේ පෙහෙල්" – අල්කා යාග්නික්
  5. "ජුටේ ඉල්සාම්" – අල්කා යාග්නික්
  6. "අග්ලේ ජනම් මෝහේ බිටියා නා කිජෝ" – රිචා ෂර්මා
  7. "මේන් නා මිල් සකු" – අල්කා යාග්නික්
  8. "බෙඛ්කා දියා හමේන්" – අල්කා යාග්නික් සහ සෝනු නිගම්
  9. "අග්ලේ ජනම් මෝහේ බිටියා නා කිජෝ" (ළමා ප්‍රභේදය) – අන්මොල් මලික්

පිළිගැනීම[සංස්කරණය]

මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් දුර්වල තත්ත්වයක පසුවූයේ රුපියල් 64,900,000ක මුදලක් පමණක් උපයා ගනිමිනි.[5] මෙය විචාරකයන් වෙතින් ඉතා ඍණාත්මක ප්‍රතිචාර හිමි කරගත්තේ ය. ඉන් බොහෝමයක් ජේ. පී. දත්තාගේ අධ්‍යක්ෂණය සහ චිත්‍රපටයේ පැය තුනක ධාවන කාලය පිළිබඳ විවේචන වූ අතර, ඇතැම් විචාරකයෝ එය ඇගයුමට පත් මෙහි 1981 මුසාෆර් අලිගේ ප්‍රභේදය සමග සංසන්දනය කරන්නට වූහ.[6]

BBC චිත්‍රපට විචාරක පූනම් ජෝෂි නිගමනය කළේ, "ජේ. පී. දත්තාගේ චිත්‍රපටය උම්රාඕ ජාන්ගේ පුරාවෘත්තයට මඳක් දායක වන අළු-උත්සවයකි." ෂබානා අස්මිගේ රංගනය අගය කළ ඇය එය "ආදර්ශමත්" බව පැවසී ය. රායි පිළිබඳ ඇය රචනා කොට ඇත්තේ, "ඓශ්වර්යාට රේඛාගේ තැන්පත් බව සහ ලාලිත්‍යය අභිබවා යාමට හැකි වුවත්, ඇය උම්රාඕගේ ශෝකයේ තියුණුභාවය ග්‍රහණය කොටගෙන නොමැති බවයි", පසුව ඇය අදහස් ප්‍රකාශ කළේ "ඇගේ කාන්තිමත් රූසපුව සහ නිපුණභාවය... සැබැවින්ම ප්‍රේක්ෂකයා නැරඹීය කෙරෙහි යොමුකරන නමුත්, හැඟීම් අතින් නිසිපරිදි නොනියැළෙන බවයි."[7]

ලොවපුරා, මෙම චිත්‍රපටය $1,371,723ක ආදායමක් උපයාගෙන ඇති අතර, ඉන් $485,000ක් එක්සත් ජනපද බොක්ස් ඔෆීසියෙනි.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 http://www.boxofficemojo.com/movies/?id=umraojaan.htm
  2. "First look on Aishwarya's Umrao Jaan". IndiaFM. සම්ප්‍රවේශය 18 July 2006.
  3. Jha, Subhash K. (5 October 2006). "Saroj Khan is ready for a comeback". IndiaFM. සම්ප්‍රවේශය 27 December 2009.
  4. "Umrao Jaan: Soundtrack listing and details". සම්ප්‍රවේශය 27 December 2009.
  5. "Box Office 2006". BoxOffice India. සම්ප්‍රවේශය 4 March 2009.
  6. Adarsh, Taran. "Umrao Jaan". සම්ප්‍රවේශය 4 March 2009.
  7. Joshi, Poonam (20 October 2006). "Umrao Jaan (2006)". BBC. සම්ප්‍රවේශය 4 March 2009.

බාහිර සබැඳි[සංස්කරණය]