උඩරට සංග්‍රාම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
උඩරට සංග්‍රාම
Hindoostanmap1812.jpg
දෙවෙනි උඩරට සංග්‍රාම සමයේ ඉන්දියානු උපමහද්වීපයෙහි සිතියමක්; මෙහි මුලු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය පාලනය යටතේ බවට පෙන්වා ඇතත්, උඩරට රාජ්‍ය මධ්‍යම කඳුකරයේ සුරක්ෂිතව පැවතුනි.
දිනය1796–1818
ස්ථානයඋඩරට රාජධානිය
ප්‍රතිඵලය

බ්‍රිතාන්‍ය ජයග්‍රහනය:

  • වසර 2,357 ක ස්වාධීන සිංහල රාජධානියේ අවසානය
රණපත්හු
King of Kandy.svg උඩරට රාජධානිය  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
ආඥාපතීන් සහ නායකයන්

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

ලෙව්කේ දිසාව

ෆ්‍රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා හේ මැක්ඩොවෙල් ඇඩම් ඩේවි

කර්නල් බා(ර්)බට්
එක් වූ ඒකක
උඩරට හමුදාව

ග්‍රීන් හොවර්ඩ්ස් ගේ 19 වෙනි පාබල රෙජිමේන්තුව රජුගේ යෝක්ෂයර් සැහැල්ලු හමුදාවේ 51 වෙනි පාබල රෙජිමේන්තුව

ලංකා රයිෆල් රෙජිමේන්තුව

උඩරට සංග්‍රාම (හෝ නුවර සංග්‍රාම) ලෙස හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍ය හමුදාව සහ ශ්‍රී ලංකාවේ උඩරට රාජධානිය අතර 1796 සහ 1818 කාලවලදී ඇතිවූ යුධ ගැටුම් ය. වඩාත් පැහැදිලිව කියතොත්, බ්‍රිතාන්‍ය විසින් 1803 දී සහ 1815 දී සිදු කරන ලද උඩරට ආක්‍රමනයන් ය.

පසුබිම[සංස්කරණය]

1527 සිට 1658 දක්වා පැවති සිංහල-පෘතුගීසි යුද්ධයට 1638 දී මැදිහත් වූ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම 1658 වනවිට පෘතුගීසීන්ට යටත් ව තිබූ ශ්‍රී ලංකානු ප්‍රදේශ සියල්ල අල්ලා ගන්නා ලදී. ඔවුන් ලංකාවේ මුහුදු බඩ සහ පහතරට පෙදෙස් ඔවුන්ගේ යටත්විජිත ලෙස පවත්වා ගත් අතර එය ලන්දේසි ලංකාව නමින් හැඳින්වේ. මේ අතර උඩරට රාජධානිය මධ්‍යම කදු වළල්ල තුල ස්වාධීනව පැවතිනි. 1795 දී ප්‍රංශ මැදිහත්වීමෙන් ලන්දේසි ජනරජය (නොහොත් වර්තමාන නෙදර්ලන්තය) පෙරලා දමා බතාවියානු ජනරජය නමින් රූකඩ ජනපදයක් පිහිටුවන ලදි. මේ අතර ප්‍රංශය සමග යුද්ධයක යෙදී සිටි බ්‍රිතාන්‍ය බියවූයේ යුද උපායමාර්ගිකව වැදගත් ත්‍රීකුණාමලය වරාය ප්‍රංශ පාලනයට නතු වේ යැයි සිතා ය. 1795 කිව් ලිපි සමග බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ ලන්දේසින්ට-යටත්-ප්‍රදේශ යටත් කරගන්නා ලදී. මෙයින් ත්‍රීකුණාමලය පමනක් නොව මඩකලපුව, ගාල්ල සහ යාපනය ද, මුලු දිවයිනෙහිම පහතරට වෙරළබඩ ප්‍රදේශ ද බ්‍රිතාන්‍යය යටත් විජිතයක් විය. මෙලෙස සෑදුනු බ්‍රිතාන්‍ය ලංකාව තව දුරටත් කටයුතු කළේ මුලු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනයට ගැනීමටයි.

වසර 250 ක් තිස්සේ යුරෝපානු රටවල් ලංකාව අල්ලා ගැනීමට තැත් කළද මධ්‍යම ශ්‍රී ලංකාව ස්වාධීනව පැවතුනි. නුවර රාජධානිය ඒ වනවිට පාලනය කළේ නායක්කර් වංශික රජවරු විසිනි. මීට පෙර බ්‍රිතාන්‍යයන් නුවර සමග ඇති කරගැනීමට උත්සාහ කළ ගිවිසුම් ප්‍රතික්ෂේප විය. නුවර අභ්‍යන්තර ස්ථාවරත්වයක් නොවුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ට බොහෝවිට උඩරට රදලයන්ගෙන් කුමන්ත්‍රණ එල්ල වීම හේතුවෙනි. තවද ඔහුට පෙර රජු වූ රාජාධිරාජසිංහ රජුගේ මස්සිනෙකු වූ මුත්තුසාමි කුමරු බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශ වල සිට ඔහුට බලපෑම් එල්ල කරන්නට විය.

පළමු බ්‍රිතාන්‍ය බලකොටුවල සිටි සෙබලුන් ගණන 6000 ක් පමන වූවත් ස්වදේශීය වැසියන් ගෙන් බඳවාගත් සමන්විත සෙපොයි භටයන්ගෙන් එය තරමක් වැඩි කිරීමට හැකි විය. තවද බ්‍රිතාන්‍ය හමුදාවට සැලකිය යුතු නාවික ශක්තියක්ද තිබුනි. නුවර රාජධානියට ශතවර්ෂ ගණනක යුරෝපානු ආක්‍රමණ වලට මුහුනදී පලපුරුද්ද ද, කඳුකර දුෂ්කර පෙදෙසක පිහිටීම නිසා භූමියේ වාසියද තිබුනි.

පලමු යුද්ධය (1803–1805)[සංස්කරණය]

මධ්‍යම කඳුකරයේ පොළොව; නුවර රාජධානියේ සියලුම ප්‍රදේශ වාගේ කඳුකර, ඝන වනාන්තර වලින් සමන්විත වූ අතර, නුවර තුලට යන මාර්ග රහසිගතව හා හොඳින් මුර කර පැවතුනි.

පළමු උඩරට යුද්ධය ඇතිවීමට හේතු වූයේ රාජසිංහ රජුගේ ඇමතියෙකු වූ පිළිමතලාවේ බ්‍රිතාන්‍යයන්ට එකතු වීමයි. ඔහු බ්‍රිතාන්‍යයන්ට රාජධානියේ ප්‍රධාන නගරය වූ මහනුවර ට යාමට උදවු කළේය. කෝපයට පත්වූ උඩරට රජුගේ ප්‍රතිචාරය වූයේ පිළිමතලාවේ ගේ පවුල ඝාතනය කිරීමයි.

බ්‍රිතාන්‍ය උඩරට අල්ලාගැනීමට මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල් යටතේ කොළඹ සිටද, කර්නල් බාර්බට් යටතේ ත්‍රීකුණාමලයෙන්ද බලඇණි දෙකක් පිටත් කරන ලදි. මෙයට 51 වැනි පාබල රෙජිමේන්තුවද, 19 වැනි පාබල රෙජිමේන්තුවද, මැලේ (හෙවත් මුස්ලිම් ජනායාගෙන් සමන්විත) පලවෙනි ලංකා රෙජිමෙන්තුවද, සිංහල (ජනයාගෙන් සමන්විත) දෙවෙනි ලංකා ‍රෙජිමේන්තුවද, මැලේ-සිංහල (දෙජනයාගෙන්ම සමන්විත) තුන්වෙනි ලංකා රෙජිමේන්තුවද අයත්විය. උඩරට හමුදාවට අයත් අවම එක් කන්ඩායමක් හෝ මැලේ මුස්ලිම් කුමරෙකු වූ 'සන්ගුන්ග්ලෝ' යටතේ විය. මෙය රාජධානියේ තිබූ බහුජාතික ස්වභාවය නිරූපනය කෙරුනි. දරුණු සටන් අවසානයේ 1803 පෙබරවාරියේ බ්‍රිතාන්‍යයන් සෙන්කඩගල නුවරට ළඟාවන විට රජු නුවර හැරදමා ගොස් තිබුනි. ඔවුන් ඉක්මනින් නුවර බලකොටුවක් තනාගත් අතර නව රූකඩ රජු ලෙස මුත්තුසාමි කුමරු පත් කරන ලදී.

කෙසේ නමුත් මුලින් සාර්ථක ව ක්‍රීයා කළත් බ්‍රිතාන්‍ය හමුදාවට ඉක්මනින් ම පසු බැසීමට සිදුවිය. බ්‍රිතාන්‍යන්ට නුවර හමුදාව ගරිල්ලා සටන් ක්‍රමවලින් එල්ල කළ ප්‍රහාර දරා ගැනීමට අපහසු විය. නුවර නිමවන ලද බලකොටුව තුළ විවිධ ලෙඩ රෝග පැතිරෙන්නට විය. ස්වදේශීය සෙපෝයි භටයින් ගණනාවක් නුවර හමුදාවට එකතු විය. ඒ අතර වසර ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලද 'විලියම් ඕඩීන්' නම් මැලේ ජාතිකයාද විය.

නුවර හමුදාව මාර්තු මස ප්‍රති-ප්‍රහාර එල්ල කරමින් නුවර බලය නැවත අත්පත් කරගන්නා ලදී. කර්නල් බාර්බට් යුධ සිරකරුවෙකු ලෙස ගෙන, පසුව ඝාතනය කෙරුනි. මුලු බලකොටුවම අතුගා දැමුනු අතර දිවි රැකගැනීමට සමත් වූයේ 19 වෙනි බලකායේ කෝප්‍රල් ජෝජ් බාර්න්ස්ලි පමනි. (සමහර මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ 4 දෙනෙකු දිවි බේරා ගත් බවයි). මේ අතර පසුබසිමින් සිටි බ්‍රිතාන්‍ය හමුදාවන් මහවැලි ගං ඉවුරු මතදී පරාජයට පත් වූ අතර ඉතිරි වූයෙ හතර දෙනෙකු පමනි.

බ්‍රිතාන්‍යයන්ගෙන් අල්ලා ගත් කාලතුවක්කු කිහිපයක් සමග උඩරට හමුදාව හන්වැල්ල නගරය දක්වා ඉදිරියට ඇදුනි. මෙහිදී බ්‍රිතාන්‍යයන්ගේ අවි බලය ප්‍රබල වූ අතර රාජසිංහ රජු නැවතත් කඳුකරයට පලා යන ලදි. මේ අතර උඩරට ආක්‍රමනය ගැන ආරංචි වූ බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශවල සිටි වැසියන්ගේ කැරැල්ලක් බ්‍රිතාන්‍ය සාර්ථකව මර්ධනය කරන ලදි.

1798 සිට 1805 දක්වා බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවයා වූ ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් නුවර රාජධානියට දිගින් දිගටම පීඩනය එල්ල කළේය. 1804 දී ඔහු කපිතාන් ආතර් ජොන්ස්ටන් යටතේ සේනාවක් සෙංකඩගලට පිටත් කරවන ලදි. වසර ගණනාවක් තිස්සෙ සිදු වූ ලෙසම නුවර හමුදාව නැවතත් බ්‍රිතාන්‍යයන් කඳුකරයේදි පරාජය කරන ලදි. 1805 දී නුවර හමුදාව කටුවන නගරය අල්ලා ගත්හ. මෙයද, තව 1803 මහවැලි සටන ද, නුවර රාජධානිය ලබාගත් අවසාන අති සාර්ථක යුධ ජයග්‍රහයන් විය.

පළමු උඩරට යුද්ධය නිමාව සනිටුහන් කරමින් කිසි නිල ගිවිසුමක් අත්සන් නොකෙරුනද, 1805 දී ජෙනරාල් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමත් සමග සටන් සියල්ල නිමාවූ බවට සැලකේ.

අන්තර් යුධ කාලය (1805–1815)[සංස්කරණය]

පලමු යුද්ධය සහ දෙවෙනි යුද්ධය අතර තිබූ වසර 10 ක කාලය තුල සිදුවූ සිදුවීම් නිසා දෙවෙනි යුද්ධය පලමුවැන්නෙන් සෑහෙන දුරට වෙනස් විය. 1805 දී බ්‍රිතාන්‍යයන්ට උඩරට රදලයන් සමග ගනුදෙනු කිරීමට ඉතාම අපහසු වූ නමුත්, 1815 දී රජුව නෙරපා බ්‍රිතාන්‍යයන්ට බලය දීමට කටයුතු කළේද එම රදල පිරිසමය.

ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ් කටයුතු කළේ නීතීය සහ සාමාජීය වෙනස්කම් මගින් බ්‍රිතාන්‍ය බලය වැඩි දියුනු කිරීමට යි. මෙයට සිවිල් සේවය නැවත ගොඩනැගීම, ලංකා මහාධිකරණයක් නිර්මාණය කිරීමද අයත් විය. රෝමානු කතෝලිකයන් ට ඡන්ද බලය ලබා දෙන ලද අතර ලන්දේසි පල්ලියට හිමි වූ තැන අහිමි විය. මේට්ලන්ඩ් බෞද්ධ අධිකාරි බලය ද අඩපණ කිරීමට කටයුතු කළේය. ඒ අතර සංචාරකයින් රටට ගෙන්වා ගැනීම සඳහා එක් අයෙකුට භූමියෙන් අක්කර 4000 ක් (වර්ග කි.මි. 16 ක්) ලබා දෙන ලදි. 1812-13 දී ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, මේට්ලන්ඩ් ගේ තැන ගත් අතර ඔහුද මේට්ලන්ඩ් ගේ ක්‍රියා පිළිවෙලම අනුගමනය කළේය.

මෙයට හාත්පසින්ම වෙනස් ලෙස කටයුතු කළ රාජසිංහ රජු තව තවත් ව්‍යාකූල තත්වයට පත්විය. නුවර වැව නිර්මාණය 1807 අවසන් වූ නමුදු අලංකාරය මිස එහි කිසිදු ප්‍රායෝගික ප්‍රයෝජනයක් වූයේ නැත. සාම්ප්‍රදායිකව වැව් ඉදි කරනු ලැබුවේ කුඹුරු වගාව සඳහා වූ නමුත් එම ප්‍රදේශයේ එවැනි ජලය අවශ්‍ය කුඹුරු නොවීය. 1810 දී රජු පිළිමතලවුවේ ප්‍රධාන අමාත්‍ය (නොහොත් මහාධිකාරම්) ධුරයෙන් ඉවත් කරනු ලැබී ය. පිළිමතලවුවේ ඊළඟ වර්ෂයේ කැරැල්ලක් ආරම්භ කළ අතර, අනෙක් රදලයන් බියට පත් කරමින්, රජු ඔහුව ඝාතනය කරන ලදි. මේ කාලය තුල ජෝන් ඩොයිලි නම් බ්‍රිතාන්‍ය ජාතිකයා සිංහල රදලයන් ලඟින් ඇසුරු කර දැනගත් පරිදි, එකළ රදලයන් නායක්කර් වංශිකයන් ට වඩා බ්‍රිතාන්‍ය පාලනයකට කැමැත්තක් දක්වන ලදී.

දෙවෙනි යුද්ධය (1815)[සංස්කරණය]

1815 යුද්ධය ඇති වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඇහැලේපොල මහාධිකාරම් නින්දාවට පත් කිරීම යි. ඇහැලේපොල පිළිමතලවුවගේ බෑනා, සහ ඔහුගෙන් පසු මහාධිකාරම් තනතුරට පත්වූ තැනැත්තා විය. 1810 දී මහාධිකාරම් තනතුරට පත්වූ පටන් රජුට එරෙහිව කුමන්ත්‍රණ කිහිපයක් ම සිදුකළ ඇහැළේපොල, 1814 දී ඒවා හෙළි වීම නිසා බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයට පලා ගියේය. මෙයින් අධික කෝපයට පත්වූ රජු ඉතා කෲර ලෙස ඇහැලේපොල ගේ මුලු පවුලම ඝාතනය කරන ලදි. එම මරණයන්ගෙන් කම්පනයට පත්වූ නුවර වංශාධිපතිවරුන් රජුට එරෙහිව විවෘතව කැරැලි ගැසුවහ. රාජසිංහ රජු මාලිගය ගිනි තබා හඟුරන්කෙත ප්‍රදේශයේ බලකොටුවකට පලා ගියේ ය.

මේ සියල්ල අතර, ජෝන් ඩොයිලි ආන්ඩුකාර බ්‍රවුන්රිග් ට පවසන ලද්දේ නුවර රදලයින් රාජසිංහ රජු බලයෙන් පහ කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි. උඩරට සෙබලුන් ඉක්මනින් ම බ්‍රිතාන්‍ය-නුවර පාලන සීමාව පසුකර ඇහැලේපොල සොයා පැමිනි අතර සීතාවක දී ඔවුන් බ්‍රිතාන්‍ය බලකොටුවට පහර දුන්න හ. මෙයින් කුපිත වූ බ්‍රවුන්රිග් වහාම බල ඇණියක් නුවරට පිටත් කරවන ලදි. මෙම තත්වය තවත් උග්‍ර වීමට හේතු වූයේ හඟුරන්කෙත දී රාජසිංහ රජු බ්‍රිතාන්‍ය වෙලෙඳුන් කිහිප දෙනෙකුටම ශාරීරික වධ බන්දන පමුනුවා ශරීර විකෘති කොට එවීම යි.

1815 පෙබරාවාරි 10 වැනිදා ජෝන් ඩොයිලි ඇතුලු බ්‍රිතාන්‍ය හමුදාව සුලු ප්‍රතිරෝදයක් හමුවේ නුවර ට ඇතුලු වූහ. සුලු කලකට පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවී සිටි ස්ථානය හෙළි වූ අතර ඔහු ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවට පිටුවහල් කරවන ලදි. රජු එහිදී වසර 17 කට පසු මියගිය අතර, ඔහුගේ පුත්‍රයා 1842 දී දරුවන් නොමැතිව ම මරණයට පත්විය.

මින් පසු සිදු වූ ප්‍රධානම සිදුවීම වූයේ උඩරට ගිවිසුම අත්සන් කිරීම යි. 1815 මාර්තු මසදි ජෝන් ඩොයිලි හා රදලයන් අතර ඇතිවූ සාකච්චා වලින් පසු මෙය අත්සන් කෙරුනි. ගීවිසුමේ ප්‍රධාන කරුනු නම්,

  1. 'ශ්‍රී වික්‍රම රාජසිංහ' නම් 'මලබාරි' රජුගේ මහනුවර ඔටුන්නට හිමි සියලුම හිමිකම් අහිමි කෙරෙනු ඇත.
  2. රජු බලයෙන් පහකර ඇති බවට ප්‍රකාශ කරන අතර ඔහුගේ රාජවංශයේ පාරම්පරික රාජ හිමිකම් අවලංගු කෙරෙනු ඇත.
  3. රජුගේ සියලුම පිරිමි ඥාතීන් රටින් පිටුවහල් කෙරෙනු ඇත.
  4. රාජ්‍යයේ භාරකාරත්වය සම්පූර්නයෙන්ම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට ලැබෙන අතර, යටත්විජිත ආන්ඩුකාරවරුන් යටතේ පාලනය වනු ඇත. මීට අමතරව අධිකාරම්, දිසාව, මොහොට්ටාල, කෝරලේ, විදානේ සහ අනෙකුත් යටත් නිළදාරීන්ට පෙර තිබූ අයිතීන්, වරප්‍රසාද හා බලයන් ම හිමිවනු ඇත.
  5. බුද්ධාගමට එහි පැවැත්ම, සුරක්ෂිතභාවය තහවුරු කරගැනීමට අයිතිය හිමි වනු ඇත.
  6. සියලුම වර්ගයේ ශාරීරික වධ බන්දනයන් අහෝසි කෙරෙනු ඇත.
  7. පුද්ගලයෙකුට මරණ දඬුවම පැනවිය හැක්කේ ආණ්ඩුකාරවයාට පමනක් වන අතර සියලුම මරණ දන්ඩනයන් සිඳුවනු ඇත්තේ පිළිගත් රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ පමණි.
  8. සියලුම සිවිල් සහ අපරාධ නඩු උඩරැටියන්ගේ පිළිගත් සම්මතයන් සහ සිරිත් වලට අනුකූලව පරිපාලනය කිරීමට හැකි අතර, ඕනෑම මොහොතක අවශ්‍ය ලෙසට එයට මැදිහත් වීමට රජයට අයිතිය ලැබෙනු ඇත.
  9. නුවරින් පිටත, පෙර තනතුරු හෙබි අයටද බ්‍රිතාන්‍ය නීතිය යටතේ තම තනතුරු වල ක්‍රියා කළ හැකි වනු ඇත.
  10. තුන් කෝරලය, හතර කෝරලය සහ සබරගමුව එකතු කිරීමට නිකුත් කළ ප්‍රකාශනය අවලංගු කෙරෙනු ඇත.
  11. එංගලන්ත රජු සඳහා හිඟ මුදල් සහ බදු එකතු කරනු ඇති අතර ඒවා දිවයීනේ අභ්‍යන්තර දියුණුව උදෙසා ද යොදාගනු ඇත.
  12. ආන්ඩුකාරවයාට තනිව ම වෙළෙඳ හා වාණිජ කටයුතු පහසුකම් සැපයිය හැකි වනු ඇත.

ගිවිසුම අත්සන් කරන ලද්දේ ආන්ඩුකාර බ්‍රවුන්රිග්, ඇහැලේපොල සහ මොල්ලිගොඩ, පිළිමතලාව, මොණරවිල, දුල්ලෑව, රත්වත්ත, මිල්ලෑව, ගල්ගම සහ ගලේගොඩ දිසාවේ ලා විසිනි. පසුව එම ප්‍රදේශයේ ආන්ඩුකාරයෙකු වූ ජෝන් ඩොයිලි සහ ඔහුගේ පුද්ගලික ලේකම් වූ ජේම්ස් සදර්ලෑන්ඩ් සාක්ෂිකරුවන් වූහ.

ශ්‍රී දළදා මාළිගාව; බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ස්ථානය. නුවර ගිවිසුමෙන් බුද්ධාගමට 'ආරක්ෂාව' ලබාදීමට නියම වුවද වසර 50 ක් යන්නට මත්තෙන් බ්‍රිතාන්‍යයන් මෙම භූමිය තුළ පල්ලියක් ඉදි කළහ.

තුන්වෙනි යුද්ධය (1817–1818)[සංස්කරණය]

බ්‍රිතාන්‍ය පාලනය නායක්කර් වංශිකයන්ගේ පාලනයට වඩා මෘග පාලනයක් බව වටහා ගැනිමට නුවරුන්ට වසර දෙකකට වඩා ගත නොවීය. බ්‍රිතාන්‍ය ක්‍රියාකාරකම් නොරිස්සීම ඉක්මනින්ම විශාල විවෘත කැරැල්ලක් දක්වා මඟ පෑදුනු අතර 1817 ඌව වෙල්ලස්ස කැරැල්ල එලෙස ආරම්භ විය. මෙය තුන්වෙනි උඩරට සංග්‍රාමය ලෙසද හැඳින්වේ. ඒ නම වඩා උචිත වන්නේ කැරැල්ල ඉක්මනින්ම ගරිල්ලා සටන් ක්‍රමවලින් යුක්ත යුද්ධයකට පෙරලීම නිසාය. කෙසේ වෙතත් මෙය මෙවැනි නැගීසිටීම් වල අවසානය වූයේ බ්‍රිතාන්‍යය දැක්වූ දරුණු ප්‍රතිචාරය නිසාය. ඔවුන් කැරැල්ල මැඩලූ අයුර මෙවැනිම කැරැල්ලක් නැවත ඇති වීමට ඇති හැකියාව සෑහෙන දුරට අඩු කරන ලදි.

යුද්ධයෙන් පසු[සංස්කරණය]

බ්‍රිතාන්‍යයන් මහනුවර රාජධානිය අල්ලා ගැනීමෙන්, වසර 400ක් පරණ නුවර රාජාධානිය පමනක් නොව, දිවයිනෙහි වසර 2357 ක දේශපාලන ස්වාධීනත්වයද අවසන් විය. භූගෝලිය පිහිටීමෙන් හා දේශපාලනිකව වෙන් ව සිටීමෙන් නුවර ප්‍රදේශය එයට ආවේණික සංස්කෘතික සහ සාමාජිය ව්‍යූහයකින් සමත් වූවද, බ්‍රිතාන්‍ය මැදිහත්වීමෙන් එය ඉතාම වේගයෙන් විවිධ වෙනස්කම් වලට භාජනය විය.

1815 ට පෙර නුවර බොහෝ ප්‍රදේශවල තිබුනේ අඩි පාරවල් වැනි පාරවල් පමනි ("රාජකීය පාරවල්" ලෙස හැඳින්වූ කිහිපයක් හැර). බ්‍රිතාන්‍යයන් කඳුකරය තුල මාර්ග ඉදිකළ අතර 1867 දි පළමු දුම්රිය මාර්ගය ඉදි කළහ.

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උඩරට_සංග්‍රාම&oldid=475742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි