ඉබ්බන්කටුව මහශිලා සුසානය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ඉබ්බන්කටුවේ සුසාන අතර කුටීර දෙක, තුන සහිත සුසාන ගෙවල් ද කාමර කිහිපයක් සහිත පොකුරු ගෙවල් ද හමු වී ඇත. මේවායින් විශාල සුසාන ගෙවල් එවකට සමාජයේ උසස් පාන්තිකයන් සඳහා ද කුඩා හෝ පොකුරු ඒවා ඔවුන් දැසි දස්සන් වැනි හීන පන්තිකයන් සඳහා වෙන් කරන්නට ඇති බවට අදහසක් ඇත.

ඉබ්බන්කටුව මහශිලා සුසානය එසේත් නැත්නම් ඉබ්බන්කටුව මෙගාලිතික සුසාන (ඉංග්‍රීසි:  Ibbankatuwa Megalithic Tombs) යනු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සංචාරක ආකර්ශණයක් වේ.[1] දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

ඉබ්බන්කටුව මහශිලා සුසානය
Ibban Katuwa, Sri Lanka 0021.jpg
ඛණ්ඩාංක7°50′14.1″N 80°37′47.6″E / 7.837250°N 80.629889°E / 7.837250; 80.629889ඛණ්ඩාංක: 7°50′14.1″N 80°37′47.6″E / 7.837250°N 80.629889°E / 7.837250; 80.629889

ක්‍රි. පූ. 6 වන සියවසේහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් කොත් මගින් සිතා ගත හැකි බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. [2]

මිනිසෙකු මිය යැමෙන් පසු ඔහු ආදාහනය කර ලබා ගත් අළු, මැටි බඳුන්වල තැන්පත් කිරීමට තරම් ඉහළ මට්‌ටමක මිනිස්‌ සමාජයක්‌ එකල සිටි බැව් හෙලිවී ඇත.

මෙගලිතික යුගය ලෙස මානව විද්‍යඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ යුගයයි.

ඉබ්බන්කටුවේ මෙගලිතික සොහොන්බිමට සමාන සොහොන් කොත් අනුරාධපුර ගෙඩිගේ, පොන්පරිප්පු කන්දරෝදේ යන ස්‌ථානවල කරන ලද කැනීම්වලදී හමුවී තිබේ. විජය පැමිණෙන්නට පෙර යක්‍ෂ, නාග, රාක්‍ෂ ආදී කණ්‌ඩායම් මෙහි සිටි බව ඔප්පු කිරීමට මේ සොහොන් බිම් කදිම සාක්‍ෂියක්‌ යෑයි කියති.

ක‍්‍රිස්තු වර්ෂ 1920 බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ හොකාර්ට් විසින් ලංකාවේ ප‍්‍රථම වරට ප්‍රොටෝ ඓතිහාසික සුසාන භූමියක් වශයෙන් මන්නාරම පොම්පරිප්පු සුසානය හඳුනාගන්නා ලදි. මිට අමතර ව යාපනය කන්තරොඩෙයි, කුච්චවේලි කොක්ඇබේ, යාපහුව පින්වැව ගල්සොහොන්කනත්ත, කොන්වැව ආදී ස්ථානවලින් ද මෙවැනි ස්ථාන හමු වි ඇත. මේවා ප‍්‍රධාන මාදිළි විධි 4 ක්ට අනුව ගොඩනංවා ඇත.

  • ශිලා මංජුසා සුසාන (Cist Burial)
  • වෘත්තාකාර ශිලා කැට සුසාන (Cairn circle Burial)
  • ඩොල්මන් (Dolman Burial)
  • බරණි සුසාන (Urn Burial) යනුවෙනි.
ඉබ්බන්කටිටුව සුසාන භූමියේ විශාලත්වයෙන් එහි භූමදාන කර ඇති මිනී 300කට අධික ප‍්‍රමාණයක් අනාවරණය වීමෙන් විශධ වන්නේ ප‍්‍රදේශය අවට විශාල ප්‍රොටෝ ඓතිහාසික මානව ජනතාවාස ස්ථාපිතව තිබෙන්නට ඇති බවයි.

මීට අමතර ව වෙනත් සුසාන විධි ක‍්‍රම 13ක් පිළිබඳ ව කරුණු අනාවරණය වී ඇත. නමුත් පෙරකී සොහොන් භූමි අතුරින් දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ දඹුල්ලට සැතපුම් 3ක් දුරින් ගලේවෙල මාර්ගයේ පිහිටි ඉබ්බන්කටුව සොහොන් භූමියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. කාබන් 14 කාලනීර්නයට අනුව මෙය (කි‍්‍ර.පූ. 770-350) අතර කාලපරිච්ජේදය තුල පැවති ඇත. ක‍්‍රිස්තු වර්ෂ 1970 නිශ්චිතව ම හඳුනාගත් මෙම සුසාන භූමිය සම්බන්ධයෙන් ඒවකට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා විසින් මූලික අධ්‍යයනයක් සිදුකල අතර ක‍්‍රිස්තු වර්ෂ 1980 දශකයේ අඟභාගයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා ජර්මන් කාවා ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ගවේෂණයට ලක්විය.

මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථමවරට හඳුනාගන්නා ලද්දේ 1970 වසරේදී වන අතර එහි මූලික පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යටතේ මෙම ස්‌ථානය පර්යේෂණයට ලක්‌වූයේ 1982 වසරේ දීය.[3]

ඉබ්බන්කටුව සුසාන භූමිය හෙක්‌ටෙයාර් 10 ක පමණ පැතිරී තිබෙන අතර, එදා මෙහි 40,000 කට අධික ජනවාස සංඛ්‍යාවක්‌ තිබුණු බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී තිබේ.

මෙම ඓතිහාසික සුසාන භූමිය පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සිය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

"කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුව සොහොන් බිමෙනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති සොහොන් "කළ ගෙඩි" භාවිත කරමිනි. එක්‌ කාමරයක්‌ ඇති සොහොන්, කාමර දෙකක්‌ ඇති සොහොන් මෙන්ම කාමර කිහිපයක්‌ ඇති සොහොන්ද මෙම සුසාන භූමියේ දැකගත හැකියි. කාමර කිහිපයක්‌ සහිත ලොකු සුසාන ගෙවල් ඉහළ පන්තියේ ඒවා විය හැකිය.

"යම්කිසි රටක ජනතාවගේ සංස්‌කෘතික තත්ත්වයන් නිසි පරිදි අවබෝධ කර ගත හැක්‌කේ ඔවුන්ගේ සුසාන තුළින් යයි පැවසීම සාධාරණය. එවකට සමාජයේ තත්ත්වය මැනැවින් අවබෝධ කර ගත හැක්‌කේ ඒ සමාජයේ මිනිසුන් මිහිදන් කළ ස්‌ථාන හා ඒ වටාපිටාව මගිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ඉතා පුළුල්, සමීක්‍ෂණ, ගවේෂණ හා පර්යේෂණවලට භාජනය වූ ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හෙළිවන විසිතුරු ඉතිහාසය රාමායණයේ වාල්මිකී මුනිවරයා සඳහන් කර ඇති අති ශ්‍රේෂ්ට සිංහල සමාජය නොවේද?

සුසානයේ ඇති අනෙක් වැදගත්කම වන්නේ මිනිස් අවශේෂ තැන්පත් කර ඇති මංජුසා හා බරණිවලට යාබඳව කුඩා මැටිබඳුන් තුළ මළගිය පුද්ගලයා භාවිත කල භාණ්ඩ තැන්පත්කර තිබීම ය. ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එ වැනි වළං 180ක් හා වළං කැබලි 14,000 පමණ හමු වී ඇත. ඒවා තුළ තිබී සුවඳ විලවුන්, පබළු, තඹවලින් නිමකරන ලද මිලිමීටර් 190 දිගැති අඤ්ජන කුරු, ලෝහ පළඳනා, සතත්ව ඇටකටු, ඇත්දල වලින් සකසන ලද භාණ්ඩ, ඊ හිස්, යකඩ කැබැලි වැනි කෘති රාශියක් අනාවරණය වී ඇත. සුසානයෙන් හමු වී ඇති පබළු වර්ග වලින් වැඩි ප‍්‍රතිශතයක් කානිලියන්, ඇගේට්, ඛනිජ වර්ගවලින් නිමවා ඇත. උක්ත ඛනිජ වර්ග මෙරට නොමැති අතර පැහැදිලිව ම ඒවා වයඹදිග හෝ නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව ඔස්මන්ඞ් බෝපේආරච්චිගේ මතයයි. ඇත්දළ, පබළු, රන් ආලේප කරන ලද පබළු ඇටයක් මෙන්ම පබළු මාල හමු වී ඇත. ප‍්‍රභූවරයකුට අයත්යැයි උපකල්පනය කළ හැකි රත්රන් සිරස් පටියක් පවා මෙහි දි හදුනාගෙන ඇත. ඊජිප්තුවේ, මෙසපොතේමියාවේ ඉන්දු නිම්නය වැනි ශිෂ්‍ටාචාර වාසි කාන්තාවන් ස්වකීය ඇහි බැමි යට අක්ාන ආලේප කිරීම සඳහා භාවිත කරන තඹ කුරූවලට සමාන තඹකූරු ලැබී ඇත. මේවා දක්ෂිණ භාරතයේ කොහිල් (Kohil) නම් තඹ කූරූවලට සමාන බව පැවසේ එ පමනක් නොව ඉබ්බන්කටුවේ වැඩිදුරටත් පවත්වන ලද පර්යේෂණවලට අනුව එහි වාසිහූ කඳුකරයේ බහුලව ඇති ෆෙල්ස්පාර්, මිනිරන්, ඇම්නෙස්තර් වැනි ඛනිජවර්ග භාවිත කළ බවට අනාවරණය වී ඇත.

මෙම සොහොන් බිමේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල තිබුණු අක්‍ෂර කියවා බැලූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්‍ෂර ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරජපා ශිෂ්ටාචාරයෙන් සොයා ගත් මැටි පුවරුවල අක්‍ෂරවලට සමීප බවක්‌ දක්‌නට ඇති බවයි. [4]

Chieftain's Grave
ඉබ්බන්කටුව මහා ශිලා සුසානභූමි පිවිසුමේ සකස්කර ඇති නාම පුවරුව.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ඉබ්බන්කටුව මහශිලා සුසානය". දිනමිණ. Retrieved 2019-03-23.
  2. ඉබ්බන්කටුවෙන් හෙලිවන පූර්ව ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ සුසානකරණය (www.archaeology.lk) [1]
  3. ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික මහා ශිලා සුසාන භූමිය (ada.lk) [2]
  4. ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය (ටෙරන්ස් කහපොල ආරච්චි, විද්‍යා ගවේෂණ) [3]

ආශ්‍රිත[සංස්කරණය]