ඉංගිරිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉංගිරිය
Ingiriya
ඉංගිරිය නගරය
ඉංගිරිය නගරය
ඉංගිරිය සිතියම
ඉංගිරිය සිතියම
රට  Sri Lanka
පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය කළුතර
Government
 • මැතිවරණ කොට්ඨාසය හොරණ මැතිවරණ කොට්ඨාසය
 • රජයේ පරිපාලනය හොරණ ප්‍රාදේශිය සභාව
 • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Elevation ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත * මෙහෙයුම්කාරකය m (ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත / මෙහෙයුම්කාරකය ft)
Population (2015)
 • Total 53,133
 • Density ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත / මෙහෙයුම්කාරකය/km2 (ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත round මෙහෙයුම්කාරකය/sq mi)
Time zone SLT (UTC+05:30)
තැපැල් අංකය 12440
දුරකථන කේතය 0094-3422 XXXXX
Website www.ingiriya.info

ඉංගිරිය යනු ශ්‍රී ලංකාවෙහි පිහිටි දියුණු වෙමින් පවතින නගරයකි. මෙම නගරය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ. බස්නාහිර පළාත සහ සබරගමුව පළා‍තෙහි මායිම අසල පිහිටි ඉංගිරිය නගරය, රත්නපුර-පානදුර, ඉංගිරිය-පාදුක්ක සහ ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයන් එකට එකතු වන මංසංධියකි. සෑම ජාතියක්ම නියෝජනය වන පරිදි, සිංහල 89.5%ක් , දෙමළ 9.5%ක්, සහ වෙනත් ජාතීන් 1%ක්ද ඉංගිරිය ප්‍රදේශයේ ජීවත් වේ. මෙයින් සිංහල සහ දෙමළ ජාතිකයන් වැඩි ප්‍රතිශතයක් ගන්නා අතර ප්‍රදේශය ඉතා සාමකාමී පරිසරයකි.

2001 වර්ශයේදී ඉංගිරිය ප්‍රදේශයේ ජනගහනය 45,726ක් වූ අතර 2015 වර්ශය වන විටදී එම අගය 55,133ක් දක්වා වැඩිවී තිබේ. මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 9204ක් වන අතර, පවුල් 15,240 ක් පමණ මෙහි ජීවත් වේ. මෙම ජනතාව අතර බෞද්ධයන් 89.4%ක්ද, හිංදු බැතිමතුන් 10%ක්ද , ක්‍රිස්තියානි ආගමික බැතිමතුන් 1.6% ක් සහ වෙනත් ආගමි අදහන පිරිස 0.1%ක්ද වේ.[1]

පිහිටීම[සංස්කරණය]

ඉංගිරිය නගරයට පිවිසීමට A8 රත්නපුර-පානදුර පාර (පානදුර සිට 33km , රත්නපුර සිට 35.8km), පාදුක්ක-ඉංගිරිය පාර (පාදුක්කේ සිට 16.80km, මීපේ සිට 18.20km) හෝ බුලත්සිංහල-ඉංගිරිය මාර්ගය (ඈගල්ඔය සිට 11km) භාවිතා කළයුතු වේ. ඉංගිරිය යනු කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම බස්නාහිර පළාතේ මායිමකි. ඉංගිරිය පසු කර රත්නපුර දෙසට යන විට හමුවන ඇල්ල ප්‍රදේශය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත්වන අතර ඉංගිරිය පසුකර පාදුක්ක දෙසට යන විට හමුවන පාදුක්ක ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයට අයත්වේ.

ඉංගිරිය නගරයේ සිට යාබද නගර දක්වා දුර

  • හොරණ-13.50km
  • පාදුක්ක-16.80km
  • මීපේ-18.20km
  • ඉඩංගොඩ-18km
  • පානදුර-33km
  • රත්නපුර-35.80km
  • අවිස්සාවේල්ල-43km
  • කොළඹ-51km
  • ඈගල්ඔය-11km

[2]

භූ විෂමතා හා ජලවහනය[සංස්කරණය]

ඉංගිරිය ප්‍රදේශය දිවයිනේ බටහිර ‍මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 24 න් ආරම්භවී කිලෝමීටර් 8.8 ක් පමණ රට මැදට විහිදේ. සමස්ථයක් වශයෙන් කොට්ඨාසය පුරාම හුදකලා කඳු පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ කඳුමය ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇත. කොට්ඨාසයේ උසම ස්ථානය ‍ෙකාට්ටියාවත්ත ග්‍රාම නිලධාරී වසමේ පිහි‍ටි අඩි 1165 උස මඩකඩ ගිරංචි කන්දයි. මීට අමතරව ඇදුරගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇදුරගල කන්ද අඩි 700 ට වඩා වැඩි උසකින් යුක්තවේ. තවද නැගෙනහිර අර්ධයේ තැනින් තැන අඩි 500 ට වඩා උස්වූ හුදකලා කඳු පිහිටා ඇති අතර බටහිර අර්ධයේ ද එවැනිම උස් හුදකලා කඳු දැකිය හැකි මුත් මුළු බිම් ප්‍රමාණයෙන් 60% ක් තැනිතලා ප්‍රදේශ වේ. කොට්ඨාසයේ දකුණු මායිම ඔස්සේ කළු ගඟ ගලා බසින අතර කලාපයේ විවිධ ප්‍රදේශයන් ගෙන් ගලා බසින ඇල මාර්ග ජාලයන් මෙම ගඟට එක්වේ. නැගෙනහිර අර්ධයෙන් නම්බපාන ඉංගිරිය ඇළ මාර්ගයද කොට්ඨාසයේ විශාලම ඇළ මාර්ගය වන මාවක්ඔය උතුරින් පටන් ගෙන බටහිර දිශාගතව ගලාවිත් දකුණු මායිම් ගතව කළු ගඟට එක් වේ.

ඉංගිරිය භූමි පරිභෝජනය
ඉංගිරිය ප්‍රදේශ‍යේ ජලවහනය
භූමි පරිභෝජනය ප්‍රමාණය (ව.කි.) ප්‍රතිශතය %
ගෙවතු වගාව 2293 25%
තේ වගාව 582.81 06%
රබර් වගාව 3067.49 33%
පොල් වගාව 348.97 04%
කුඹුරු 1132.32 12%
වෙනත් වගාවන් 278.78 03%
වන වගාව 801.64 09%
ලඳු කැලෑ 157.38 02%
ජල තල 123.88 01%
වෙනත් බිම් 416.84 5%
එකතුව 9204 100%

[3]

දේශගුණය[සංස්කරණය]

ඉංගිරිය ප්‍රදේශය පහතරට තෙත් කලාපයට අයත් වේ. කාලගුණය බොහෝවිට මධ්‍යස්ථ අගයක් ගනී. ඉංගිරිය ප්‍රදේශයට මි.මී. 3500 – 4500 අතර වර්ෂාපතනයක් ලැබෙන අතර වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 4200 තරම් වේ. මෙම ප්‍රදේශය තෙත් කලාපීය පහත් බිම් කලාපයට අයත් වීම නිසා ඊසාන දිග හා නිරිත දිග මෝසම් දෙකෙන්ම වර්ෂාව ලැබෙන කාල පරිච්ඡේදය පහත පරිදි වේ.

ඉංගිරිය දේශගුණය
  • අන්තර් මෝසම් කාල පරිච්ඡේදය = මාර්තු - අප්‍රියෙල්
  • නිරත දිග මෝසම් කාල පරිච්ඡේදය = මැයි මැද - සැප්තැම්බර් මැද
  • අන්තර් මෝසම් කාල පරිච්ඡේදය = සැප්තැම්බර් - ඔක්තොම්බර්
  • ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය = නොවැම්බර් - මැද ජනවාරි
ඉංගිරිය දේශගුණය
මාසය වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් මාසික සාමාන්‍ය වර්ෂාපතනය සහිත දින ගණන සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක
ජනවාරි 96 03 27.2
පෙබරවාරි 487 11 27.8
මාර්තු 275 10 28.3
අප්‍රියෙල් 465 19 28.3
මැයි 152 10 27.9
ජුනි 323 23 27.3
ජූලි 158 07 27.1
අගෝස්තු 386 18 27.1
සැප්තැම්බර් 381 16 27.0
ඔක්තොම්බර් 914 19 27.1
නොවැම්බර් 470 10 27.1
දෙසැම්බර් 482 15 27.1
වාර්ෂික 4589 161 27.5

[4]

ස්වභාවික විපත්[සංස්කරණය]

ඉංගිරිය නගරය සෑම විටම එකම ස්වභාවික විපතකට මුහුණපායි. එය නම් ගංවතුරයි. ඉංගිරිය ප්‍රදේශය දකුණු මායිමෙන් ගලා බසින කළු ගංගාව පිටාර ගැලීම හේතුවෙන් නම්බපාන, ඌරුගල නැගෙනහිර, ඌරුගල බටහිර, ඉංගිරිය බටහිර, වගවත්ත, කැකුළලිය, පෝරුවදණ්ඩ බටහිර, දොඹගස්කන්ද යන වසම් ගං වතුර උපද්‍රව වලට භාජනය වේ.

නම්බපාන ගංවතුර
නම්බපාන ගංවතුර
කැකුළලිය ගංවතුර

[5]


කෘෂි කර්මාන්තය[සංස්කරණය]

ඉංගිරිය ප්‍රදේශය පහතරට තෙත් කෘෂි කාර්මික කලාපයට අයත් වේ. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මි.ලී. 4200 ක් පමණ වේ. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 – 75 පමණ වේ. ඉංගිරිය ප්‍රදේශයට නිරිත දිග මෝසම් මෙන්ම ඊසාන දිග මෝසම් මගින්ද වර්ෂාපතනය ලැබේ. වර්ෂය පුරාම වර්ෂාව ලැබෙන නිසා කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණයක් පවතී. සියලුම වාණිජ බෝග, තේ, පොල්, රබර් සහ වී මෙහි වවනු ලබයි.

2009 වර්ෂයේ වාර්තාවලට අනුව රබර් අක්කර 5039ක්ද, තේ අක්කර 1569ක්ද, පොල් අක්කර 1500ක් සහ වී කුඹුරු අක්කර 22ක්ද ඉංගිරිය භූමි ප්‍රදේශයේ වගාකර ඇත.

රයිගම් වත්ත
වී කුඹුර

.

රයිගම් වත්ත

පාලනය[සංස්කරණය]

ග්‍රාම නිලධාරී කොට්ඨාස මායිම්
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

හොරණ මැතිවරණ කොට්ඨාසයට අයත් ඉංගිරිය නගරය හොරණ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වෙයි. ඉංගිරිය නගරයේ රජයේ ආයතන කිහිපයක් ඇත.

  • ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ඉංගිරිය පොලිස් ස්ථානය
  • ඉංගිරිය දිසා රෝහල
  • ඉංගිරිය සෞඛ්‍යය කාර්යාලය
  • ඉංගිරිය තැපැල් කන්තෝරුව
  • ඉංගිරිය සමූපාකාර සේවය


ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරියේ ඇති ප්‍රධාන පරිපාලන ආයතනයයි. 2000 වසර තෙක් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ මෙම ප්‍රදේශය එම වසරේ අගෝස්තු මස 14 දින , ග්‍රාම නිලධාරී වසම් 31ක් වෙන් කර ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන් නම් කරන ලදී.හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශයක් වශයෙන් විශාලවීමත් ජනගහනයේ සීඝ්‍ර වර්ධනය නිසාත් කොට්ඨාසයේ පරිපාලනමය පහසුව හා ජනතාවගේ පහසුව තකා මෙසේ මෙම කලාපය බෙදා වෙන් කරනලදී.

ඉංගිරිය ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් සැපයීම ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හා ඉංගිරිය දිස්ත්‍රික් රෝහලෙන් සිදු කරනු ලබයි. මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් රෝග වැලැක්වීමේ කටයුතු ද, දිස්ත්‍රික් රෝහලෙන් රෝග සදහා ප්‍රතිකාර කිරීමද සිදු කරනු ලබයි.

ප්‍රදේශයේ ප්‍රධාන රෝග වැලැක්වීමේ පොදු මධ්‍යස්ථානය ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන අතර හොරණ මාර්ගයේ එය පිහිටා ඇත.

ඉංගිරිය ප්‍රදේශයේ ආරක්ෂාවට ඍජුව දායක වන ඉංගිරිය පොලිස් ස්ථානය වර්ෂ 1948දී පිහිටුවා ඇත.

ඉංගිරිය නගර මධ්‍යයේ ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටුවා ඇත. මෙය පළමු වන ශ්‍රේණියේ කාර්යාලයකි. මෙයට අමතරව ඇති උප තැපැල් කාර්යාල ප්‍රදේශය අවට ස්ථාන වල පිහිටා ඇත.

ඉංගිරිය සමූපාකාර සේවා කාර්යාලය මගින් පාලනය කරනු ලබන ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල ඉංගිරිය නගර මධ්‍යයේ පිහිටා ඇති අතර තවත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් දෙකක් හඳපාන්ගොඩ හා ඇදුරුගල ප්‍රදේශයේ පිහිටා ඇත.

ඉංගිරිය ඉන්ධන පිරවුම්හල
හොරණ ප්‍රාදේශීය සභාව
ඉංගිරිය පොලිස් ස්ථානය


ගමනාගමනය[සංස්කරණය]

පැරණි බස් නැවතුම
බස් රථ
නව බස් නැවතුම

ඉංගිරිය නගරය A8 රත්නපුර-පානදුර මාර්ගය ඔස්සේ පිහිටා ඇත. මෙම මාර්ගයට පාදුක්ක-ඉංගිරිය මාර්ගය ඉංගිරිය මංසංධියේදී එකතුවේ. තවද බුලත්සිංහල-හොරණ මාර්ගයේ පිහිටා ඇති ඈගල්ඔය නගරයේ සිට ඉංගිරිය දක්වා දිවෙන අප්‍රසිද්ධ මාර්ගයක්ද ඇත. ඉංගිරියට ලඟාවීමට කුම 3කි. ඒවානම්, රත්නපුර-පානදුර මාර්ගය, හංවැල්ලෙන් සහ පාදුක්කෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගය සහ ඈගල්ඔයෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගයි.

ඉංගිරිය නගරයේ බස් නැවතුම්පොලවල් දෙකක් ඇත. රත්නපුර-පානදුර මර්ගය ඔස්සේ ගමන්ගන්නා සියලුම බස් රථ එම මාර්ගයේ පිහිටා ඇති නව බස් නැවතුම්පොලේ ගාල් කරයි. අනෙකුත් සියලුම බස් රථ පාදුක්ක මාර්ගයේ පිහිටා අඇති පැරණි බස් නැවතුම්පොලේ ගාල් කරනු ලබයි.

ඉංගිරියෙන් ගමන් ආරම්භ කරන බස් රථ

  • 449 - හොරණ-ඉංගිරිය
  • 285 - බුලත්සිංහල-ඉංගිරිය (ඈගල්ඔය හරහා)
  • 125 - මහරගම-ඉංගිරිය
  • 125 - පිටකොටුව-ඉංගිරිය (ගොඩගම හරහා)
  • 686 - කීනගහවිල-ඉංගිරිය (නාච්චිමලේ ප්‍රදේශය)
  • 885 - දුම්බර-ඉංගිරිය
  • 491 - රත්නපුර-ඉංගිරිය
  • 885 - ගවරගිරිය-ඉංගිරිය
  • 1/288 - එපිටවත්ත-ඉංගිරිය (හල්වතුර හරහා)
  • 2/282 - පාදුක්ක-ඉංගිරිය (යටවතුර, පනංගල, මාපුටුගල හරහා)
  • - මාතලේ-ඉංගිරිය


ඉංගිරිය හරහා ගමන් කරන බස් රථ

  • 450 - රත්නපුර-පානදුර
  • 449 - කරඳන-හොරණ
  • 064 -පානදුර-මහියංගනය
  • 064 -පානදුර-බදුල්ල
  • 64/98 - පානදුර-අම්පාර
  • 064 - අළුත්ගම-බලංගොඩ
  • 457 - ඇඹිලිපිටිය-සූරියවැව
  • 120 - කලවාන-කොළඹ
  • 473 - කලවාන-හොරණ
  • 190- බුලත්සිංහල-පිටකොටුව (බත්තරමුල්ල හරහා)

ස්වභාවික සෞන්දර්යය[සංස්කරණය]

නාච්චිමලේ

ඉංගිරිය ප්‍රදේශයේ සංචාරකයින්ගේ අවධානයට යොමු වන ස්ථාන වන්නේ පහත ස්ථානයන්ය.

  • නාච්චිමලේ නාන තොටුපළ - ඉංගිරිය
  • මඩකඩ ආරණ්‍ය සේනාසනය - ඉංගිරිය
  • පරෙයිතොට නාන තොටුපළ - නම්බපාන
  • බෝධිනාගල ආරණ්‍ය සේනාසනය - ඇදුරාගල
  • බෝධිනාගල කුරුළු රක්ෂිතය - ඇදුරාගල
  • හොරකැලේ රක්ෂිතය - කිරිගල
  • කුරන් ඔය ඇල්ල - කුරණ
  • ඌරුගල හොලොම්බුව - ඌරුගල නැගෙනහිර


නාච්චිමලේ[සංස්කරණය]

නාච්චිමලේ යනු ඉංගිරිය ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධම ස්ථනෙයයි. මෙම ස්ථානය නාච්චිමලේ දොළේ (නම්බපාන ඇළේ) ඉතාමත් සුන්දර නාන තොටුපොලකි. ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ සැත. 1ක් පමණ ගොස් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ සැ.1 ½ ගොස් මඩකඩ ආරණ්‍ය සේනාසනය පාර පසුකළ විට මෙම ස්ථානයට ළඟාවිය හැක. මෙය ඉතාමත් සුන්දර දිය ඇළි වලින් ගහන තැන තැන පැහැදිලි වතුරෙන් පිරි ගල් කටාරම් සහිත අති සුන්දර දොළ පහරකි. මෙම දිය පහර වල දිය නා සතුටුවීම සදහා දිනපතා දහස් ගණන් දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙයි. සංචාරකයන් වැඩි පිරිසක් මෙම ස්ථානයට පැමිණීම සතුටට කාරණයක් වුවද, මෙහි දුක්බර පැතිකඩයක්ද තිබේ. එනම් ඉංගිරිය ප්‍රදේශයේ වැඩිම පරිසර හානියක් සිදුවන ප්‍රෙද්ශය මෙය වීමයි. දිනෙන් දින පැමිණෙන සංචාරකයන් ගනන ඉහල යනවාට සමගාමීව පරිසරයට වන හානියද දිනෙන් දින ඉහල යයි. මෙම ස්ථානය පුරා බොහෝවිට බෝතල්, පොලිතීන් තැන තැන දමා තිබීම සාමාන්‍ය දසුනක් බවට පත්වී ඇත. මෙම තත්වය ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මෙන්ම පරිසරයටද බරපතල ගැටළුවක් වී ඇත. විවිධ කාල වකවානු වලදී ඉංගිරිය පොලීසිය ඇතුළු බොහෝ ස්වේච්ඡා සංවිධාන මෙම ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් දියත් කරයි.

මඩකඩ ආරණ්‍ය සේනාසනය

මඩකඩ ආරණ්‍ය සේනාසනය[සංස්කරණය]

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ සැත. 1ක් පමණ ගොස් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ සැ.1 ½ ගිය තැන මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. මෙම ආරණ්‍යයේ ආරම්භය 1940 දශකය දක්වා දිව යන අතර එකී කාලයේ සිට මේ දක්වා එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය සියගණන ඉක්මවයි. මෙම නව ආරණ්‍ය සේනාසනය වර්ෂ 1948දී පූජ්‍ය රංවල සද්ධාතිස්ස හිමියන් විසින් ආරම්භකර ඇත. ඈත අතීතයේදී වනාන්තරයෙන් වැසුණු ගල් ලෙන් පිහිටා තිබූ මෙම ප්‍රදේශය, භාවනාව සඳහා සද්ධාතිස්ස හිමියන්ගේ පැමිණීමෙන් පසු වනගත ආරණ්‍යයක් වී ඇත.

මඩකඩ ආරණ්‍ය යනු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම විපස්සනා භාවනා මධ්‍යස්ථානයකි. මෙම ස්ථානයේ ශාඛා නාවින්න, සාලගල ඇතුළු තවත් ස්ථාන කිහිපයක පිහිටා ඇත. ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට ආගමික දියුණුව උදෙසා මෙම මධ්‍යස්ථානයෙන් ලැබෙන රුකුල මිලකළ නොහැක.

පරෙයිතොට

වර්තමානයේ නේවාසික භාවනායොගී භික්ෂූන් වහන්සේලා 16ක් සහ නේවාසික භාවනායෝගී ගිහියන් විසින් විපස්සනා භාවනාව ප්‍රගුණ කරනු ලබයි. බෞද්ධ දර්ශනයට අනුව යමින් භාවනායෝගීන්ගේ උපස්ථාන කටයුතු සියල්ල සැදැහැවතුන් විසින් නොපිරිහෙලා ඉටුකරනු ලැබේ. එහි ප්‍රධාන ගල් ලෙන තුළ බුද්ධ ප්‍රතිමාවන් ඇතුළු ආකර්ෂණීය සිතුවම් හා මල් වලින් සැරසී ඇති අතර ඒ හා ආසනයට භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් පිහිටා ඇත. මෙකී ආරණ‍්‍යයේ භික්ෂූන් වහන්සේලා 15 -20ත් අතර ප්‍රමාණයක් භාවනා යෝගීව වැඩ සිටිති. රක්ෂිත වන ගත පෙදෙසක පිහිටා ඇති මෙම ස්ථානය වටා ගලා බසින නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) ඉතාමත් සුන්දර දොළ පහරකි. මෙම දිය පහර වල දිය නෑම සදහා දිනපතා දහස් ගණන් දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙන අතර ඔවුහූ ආරණ්‍ය සේනාසනය නැරඹීමටද අමතක නොකරති. තවද මෙම ආරණ්‍ය අයත් කලාපය ඉතා සන්සුන් ප්‍රදේශයක් වන අතර ආවේණික වෘක්ෂලතා දේශීය ඖෂධ පැළ පක්ෂීන්, දුර්ලභ සමනළ වර්ග, වන සතුන් හා සත්‍ය විශේෂයන්ගෙන්ද ගහණ ඉතා සුන්දර පෙදෙසකි.

පරෙයිතොට[සංස්කරණය]

පරෙවිතොට හෝ පරේතොට යනු ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයකි. ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ සැතපුම් 1ක් ගොස් වමට ඇති නම්බපාන පාසැල් මාවතේ සැතපුම් ½ක් ගිය තැන මෙම ස්ථානය හමු වේ. නම්බපාන ඇලේ පිහිටි විශාල තැන තොටුපළක් වන මෙම ස්ථානය සුන්දර බවින් පිරිපුන් තැනකි. ඒ ආශ්‍රිතව පිහිටා ඇති පරිසරයද ඉතාමත් අලංකාර වන බැවින් මෙම ස්ථානයට දිය නෑමට පැමිණෙන සංචාරක පිරිස බොහෝය. තවද මෙම තොටුපළට යාබදව ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා තොටුපළවල හා දිය ඇලිවලින් මෙම ස්ථානය තවත් අලංකාර වේ.

එහෙත් දිනපතා මෙම ස්ථානයේ දිය නෑමට හා විනෝදයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් මෙම සුන්දර පරිසරයට විනාශය සුළු පටු නොවේ. ඔවුන් විසින් රැගෙන එන පොලිතින් උර හා බෝතල් බිද තැන තැන දැමීමෙන් විශාල ලෙස පරිසරය අපවිත කරති. මෙම අනතුරු දායක තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම සංචාරක පිරිස්වලටද මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් පාරිසරික බලධාරීන්ගේ අවදානය මෙම ප්‍රදේශය වෙත යොමු කිරීමට කාලය එළඹ ඇත.

බෝධිනාගල රක්ෂිතය

බෝධිනාගල ආරණ්‍ය සේනාසනය[සංස්කරණය]

ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන බෝධිනාගල මංසංධියෙන් වම් අතට හැරී පාරේ සැතපුම් 1 ½ විට මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. 1955 වසරේ ඇරඹී දොඹගස් කන්ද රක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇති මෙම රමණීය පුද බිම ඉතාමත් සුන්දර පරිසරයක් තුළ පිහිටි ශාන්ත බිම් කඩකි.

මෙහි මනරම් වන පියස දකුණු, ගිණිකොන දෙසින් සුන්දර වූ කළු ගංගාව ගලා බසින අතර එකී දකුණු, ගිණිකොන කලාපයද බෑවුම් සහිත ඖෂධ පැල හා ප්‍රදේශයට ආවේණික පහතරට තෙත් කලාපීය ශාඛයන්ගෙන් ගහණ ප්‍රදේශයකි. මෙම ආරණ්‍ය සේනාසනය තුළ තැනින් තැන පිහිටි ලෙන් තුළ භාවනානු යෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලා 20 – 25 පමණ වැඩ සිටින අතර උන්වහන්සේලා දානය පිළිගන්නා අවස්ථාවෙහි දී පමණක් කුටි වලින් පිටතට පැමිණ නැවත වන ගත කුටි වලට පිටත්ව යති. ඉතාමත් ශාන්ත හා දැඩි ආරක්ෂිත භූමි ප්‍රදේශයක් වන මෙම වනගත සේනාසනය නැරඹීමටද දේශීය විදේශීය විශාල වශයෙන් පැමිණෙමින් පවතී.

බෝධිනාගල කුරුළු රක්ෂිතය[සංස්කරණය]

මෙය දෙවන කලාපීය පහත්බිම් වැසි වනාන්තර ගනයට අයත්වේ. ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන බෝධිනාගල මංසංධියෙන් වම් අතට හැරී පාරේ සැතපුම් 1 ½ ක් පමණ ගමන් කර නැවත වමට හැරී මද දුරක් ගමන් කරනවිට විට මෙම අඩවි සීමාවට ඇතුළු වීමට ඔබට හැකිය. බෝධිනාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේද මෙම අඩවිය තුළයි. ප්‍රදේශය පුරා පිහිටා ඇති මාර්ග විස්තර පුවරු නිසා මෙම අඩවියට ළඟාවීම දුෂ්කර නැත. ගම්මාන වලින් වටවුන කඳු දෙකකින් මෙම වන රක්ෂිතය සමන්විත වන අතර ආරණ්‍යයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිස රක්ෂිතය තුල කොන්ක්‍රීට් පාරවල් තනා ඇත. භාවනායෝගී භික්ෂූන් වහන්සේලා හමුවීමට වෙන්වූ වේලාවන් තිබුණද මෙම පරිසරය නැරඹීමි එන පිරිස නිසා මෙම නිශ්ෂබ්ධ පරිසරයට හිරිහැර නොවනවාම නොවේ.

හොරකැලේ රක්ෂිතය

හොරකැලේ රක්ෂිතය[සංස්කරණය]

ඉංගිරිය හදපාන්ගොඩ මාර්ගයේ සැතපුම් 6ක් පමණ ගිය විට හමුවන මෙම ස්ථානය පරිසර සංවේදී තැනකි. දකුණු ආසියාවේ වැඩිම හොර ගස් මෙම භූමියේ ඇති බව සදහන් වේ. ඉතා දැකුම්කළු ස්ථානයකි. මීට අමතරව තවත් දුර්ලභ ශාක මෙම රක්ෂිතය තුළ ඇත

කුරා උඩ ඇල්ල[සංස්කරණය]

ඉංගිරිය නගරයේ සිට සැතපුම් 04ක් පමණ ගොස් හදපාන්ගොඩ කොටිගල මංසන්ධියෙන් දකුණට සැතපුම් 1 ½ක් ගිය තැන මෙම හමු වේ. රක්ෂිත වනයේ ගිරංචි කන්දෙන් පටන් ගන්නා කුඩා දිය පහර මැද භාගයේ මෙම ඇල්ල පිහිටා ඇත. මෙම දිය ඇල්ල මෑත කාලය වන තුරුත් වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණද දැන් දැන් මෙම සුන්දර ස්ථානය දැක බලා ගැනීමට පැමිණෙන ජනතාව වැඩි වෙමින් පවතී. මෙම දිය ඇල්ල පිහිටි රජයේ රජයේ රක්ෂිත වනාන්තරය තුලද තෙත් කලාපීය දුර්ලභ ශාඛයන් ද විවිධ ඹෟෂධ පැලෑටි ද බොහෝ සේ දැකිය හැකි අතර ප්‍රදේශයට ආවේණික කුරුළු හා සත්ත්ව කොට්ඨාස ද මෙහි ජීවත් වෙති.

ඌරුගල හොලොම්බුව[සංස්කරණය]

සිංහල රජ සමයේ සිට ඉංග්‍රීසි පාලන යුගය දක්වා ප්‍රධාන මංමාවත් රටාව බිහිවන තෙක් සබරගමුවෙ සිට වෙරළ බඩ ගම් දනව් කරා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගෙන තිබුණේ ගංගා මාර්ග වන අතර ඉන් ප්‍රධාන වන් කළු ගගේ ඉංගිරියට ආසන්නව අදාල හොලොම්බුව පිහිටා ඇත.

ඉංගිරිය සිට රත්නපුර මාර්ගයේ සැතපුම් 2ක් පමණ තැන මෙම ස්ථානය හමු වන අතර ගග දිගේ බඩු ප්‍රවාහණය ලද ඔරු පාරු නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස මෙම හොලොම්බුව සදාගෙන ඇත. නම්බපාන ඇල කළු ගගට වැටෙන ගංගා මෝයේ විශාල වක්කලම පිහිටිස්ථානය ‍ මෙසේ හොලොම්බුව වශයෙන් හදුන්වන අතර එහි ඉන් විශාල ඉඩ කඩ මෙන්ම ඒ ආසනයේ ඉවුරේ පිහිටි ගල් පරය නිසා අදාල පාරු කරුවන්ගේ ගිමන් හල ලෙස මේ ස්ථානය යොදා ගන්නට බෙහෙවින් ඉවහල් වී ඇත. දැනට ඉතා කලාතුරකින් ගගේ දිවෙන පාරුකරුවන්ගේ නවාතැන් පලක් වන මෙම ස්ථානය විදේශීය සංචාරකයින්ගේ ද සිත් ගත් තැනකි.

කළු ගඟ
කළු ගඟේ පාලම් පාරුවක්
හල්වතුර පාලමට පෙනන සමනල කන්ද


ඉතිහාසය[සංස්කරණය]

සුන්දර දියදහරා, කඳුහෙල්, තැනිතලා හා මිටියාවත් යන සියලු භූවිෂමතාවන්ගෙන් සැදුම්ලත් ඉතා සුන්දර වූත්, රමණීය වූත්, භූමි ප්‍රදේශයක් ලෙස ඉංගිරිය ප්‍රදේශය හැඳින්විය හැකිය. සිව් මහා ගංගාවන්ගෙන් එකක් වන කළු නදිය සබරගමු දිසාවනියේ සිට කළුතර තෙක් ගලා බසින්නේ මේ සුන්දර නගරයද පසුකරමිනි. එසේම සබරගමු කඳුවැටි වල ඉම, ඉංගිරිය ප්‍රදේශයෙන් අවසන් වන බැවින් ‘ඉමගිර’ ඉංගිරිය වශයෙන් බිඳීවිත් ඉංගිරිය යන නම ලැබුණු බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. රයිගම් කෝරළයේ උඩුගහ පත්තුවට ඉංගිරිය අයත්ව තිබුණි. ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ඉංගිරිය නගරය සුදු අධිරාජ්‍යවාදීන්ගේ වතු වගා ආරම්භයේ බිහිවූ නගරයක් ලෙස සඳහන් කළ හැකි අතර ඉංගිරියට තදාසන්නව පිහිටි ඌරුගල හා නම්බපාන ග්‍රාමයන් කළු නදී මිටියාවත ආසන්නයේ පිහිටි සිංහල රජ සමයට නෑකම් කියන ගම් දෙකක් බවද සඳහන් කළ හැකිය.

ඉතිහාසය

ඓතිහාසික වශයෙන් වැදගත් වන ඉතාමත් සුන්දර පරිසරයකට නෑකම් කියන මේ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන, ආරණ්‍ය සේනාසනද රාශියක් තිබේ. ඒ අතර වතු කේන්ද්‍ර‍කොට ගත් හින්දු ආගමික ද්‍රවිඩ ජනතාවක්ද ඉතා සුළු වශයෙන් ජිවත් වන අතර හින්දු ආගම ඇදහීමට හින්දු කෝවිල් කිහිපයක්ද, ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක්ද පිහිටා ඇත. මේ අනුව මෙම ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් හා විවිධ ආගම් අදහන ජනතාවක් වාසය කරන බවට කරුණු සඳහන් කළ හැකිය. ඔවුන් ප්‍රදේශයේ දියුණුව නිරතුරුවම අපේක්ෂා කරන දෑ හිතකාමී පිරිසකි.

ඉංගිරිය ප්‍රදේශයේ ඉතිහාසය දෙස නෙත් යොමුකළ විට පෙනී යන තවත් කරුණක් නම් මෙම ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජනතාව ජීවත් වූ බවට පැරණි ලේඛණගත සාක්ෂි වලින් හෙලිවන බවයි. එනම් පෘතුගීසීන් විසින් වර්ෂ 1599දී තබන ලද ඔවුන්ගේ ආදායම් වාර්තාවක මුණගම, වගවත්ත, කැකුළදොල ආදී ස්ථාන වලින් ලබාගත් බදු පිළිබඳ සටහන් වීමෙන් එය සටහන් වන බවයි. වර්තමානයේදී පෝරුවදණ්ඩ ගම හරහා දිවෙන රත්නපුර, පානදුර මාර්ග අදින් වසර 186කට පමණ පෙර සිටම භාවිතා වූ මාර්ගයක් බවට සාධක හමුවී තිබේ. එනම් “ජෝන් ඩේව්” නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වර්ෂ 1817දි පානදුරේ සිට හොරණ, රත්නපුර, පලාබද්දල හරහා සිරිපා කන්ද තරණය කර ඇති බව සටහන් වීමෙන් මෙය සනාථ කර ගත හැකිය. මේ ගමන සම්බන්ධව ඔහු විසින් සඳහන් කළ කරුණු පහත පරිදි වේ.

“රට අභ්‍යන්තරයට යාම සඳහා පානදුරේදී මුහුදුබඩ මහ පාරෙන් හැරුණු අපි අපේ රේස් කරත්ත උදාසීන භාරත වාහනයක් හෝ පල්ලැක්කි වලට මාරු කළෙමු. අපි මෙමඟින් සපරගමුවේ රත්නපුර වෙත උසුලාගෙන යන ලදිමු. මෙහි සිට කොළඹට සැතපුම් 43කි. මෙය පහත් එනමුත් කඳු සහිත වන ගහන ජන ශූන්‍ය මද වශයෙන් ගොවිතැන් කෙරුණු පෙදෙස් මැදින් වැටී තිබුණු සෑහෙන තරම් හොඳ අලුත් පාරකි. එසේම වස්තු කිහිපයක් හා සිත්ගන්නා සුළු දර්ශන යම් යම් තැන්වලදී ප්‍රදර්ශනය කරන මාවතකි. අපි අපේ පල්ලැක්කි වලම පළවැනි රාත්‍රිය ගත කළෙමු. අති සරල ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැදුණු හින්දු ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ අපට මෙහිදී දක්නට ලැබුණි. මෙහි සම්ප්‍රදාය පිළිබඳ ඉහත සඳහන් කරන ලදී. පසුදින අරුණෝදයේ සූර්ය උදාවට පෙරාතුව අප කන්දක් පසු කරමින් සිටියදී ඝර්ම කලාපීය වනාන්තර පිළිබඳ නයනාභිරමණීය අපේ නෙත් වලට ලක්විය. ඒ වූ කලී නිල්කඳුවැටි වලින් වටවුණු චමත්කාරජනක වනයෙන් ගැවසී ගත් කඳු, දේණු සමබිම් හා පහත්බිම් මත රැඳී සිටින ලොම් වැනි වළාකුළු සහිත දීප්තිමත් ආකාශ තලයකි.”

පාසැල්[සංස්කරණය]

ඉංගිරිය ප්‍රදේශය තුළ පාසල් 22ක් පවතින අතර එම පාසල් සියල්ලම පාලනය කරනු ලබන්නේ පළාත් සභාව මගිනි. එය පහත වගු සටහන මගින් තව දුරටත් හදුනාගත හැක.

පාසලේ නම මාධ්‍යය ග්‍රාම නිලධාරී වසම ශ්‍රේණිය
ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය සිංහල/ඉංග්‍රීසි 620 සී / ඉංගිරිය උතුර 1AB
ඉංගිරිය ශ්‍රී සුමණජෝති ප්‍රාථමික විද්‍යාලය සිංහල 620 සී, ඉංගිරිය උතුර 3
ඌරුගල ශ්‍රී ධර්මාලෝක කණිෂ්ට විද්‍යාලය සිංහල 619 ඌරුගල / නැගෙනහිර 2
නම්බපාන කණිෂ්ට විද්‍යාලය සිංහල 619 ඒ නම්බපාන 2
රයිගම්වත්ත පරාක්‍රමබාහු කණිෂ්ට විද්‍යාලය සිංහල 620 බී, රයිගම්වත්ත 3
කැකුළලිය ප්‍රාථමික විද්‍යාලය සිංහල 618 බී, කැකුළලිය 3
හඳපාන්ගොඩ මහා විද්‍යාලය සිංහල 623 බී හඳපාන්ගොඩ / බටහිර 1 C
සාගරපලන්සූරිය මහා විද්‍යාලය සිංහල 622 හඳපාන්ගොඩ / දකුණ 1 C
අරකාවිල ඉසිපතන ප්‍රාථමික විද්‍යාලය සිංහල 625 අරකාවිල 2
මාපුටුගල මහා විද්‍යාලය සිංහල 621 ඒ / රත්මල්ගොඩ 1 C
මෙනේරිගම ප්‍රාථමික විද්‍යෘලය සිංහල 625 ඒ, මෙනේරිගම 3
බටුගම්පල ප්‍රාථමික විද්‍යාල සිංහල 624 බටුගම්පල 3
කළුපහන කණිෂ්ට විද්‍යාලය සිංහල 618 වගවත්ත 2
මානාන ශ්‍රී ඥාණරතන කණිෂ්ට විද්‍යාලය සිංහල 620 එෆ් දොඹගස්කන්ද 2
පැල්පිටිගොඩ කණිෂ්ට විද්‍යාලය සිංහල 622 පැල්පිටිගොඩ 3
කඳනපිටිය කණිෂ්ට විද්‍යාලය සිංහල 626 කඳනපිටිය 3
කුරණ ප්‍රාථමික විද්‍යාලය සිංහල 627 කුරණ දකුණ 3
ධර්මාලෝක ප්‍රාථමික විද්‍යාලය සිංහල 623 බී හඳපාන්ගොඩ / බටහිර 3
ඇදුරාගල දෙමළ ප්‍රාථමික විද්‍යාලය දෙමළ 620 ඊ ඇදුරාගල 3
රයිගම් වත්ත පහල දෙමළ විද්‍යාලය දෙමළ 620 බී, රයිගම්වත්ත 2
රයිගම්වත්ත සරස්වතී දෙමළ විද්‍යාල දෙමළ 620 ජී, මහ ඉංගිරිය 3
පර්ත් දෙමළ වද්‍යාලය දෙමළ 618 වගවත්ත 3

[6]

ආගමික ස්ථාන[සංස්කරණය]

ඉංගිරිය දීපාලෝක මහා විහාරය

නගරය පුරාම වැඳපුදා ගැනීමට බොහෝ ස්ථාන ඇත. මේ අතරින් බෞද්ධ ආගමික ස්ථාන වැඩි අගයක් ගන්නේ බෞද්ධයන් වැඩි ප්‍රතිශතයක් ජීවත්වීම නිසා වියහැක. අනෙකුත් ආගමික ස්ථානද කිහිපයක් මෙහි පිහිටා ඇත.

රයිගම්වත්ත කෝවිල
ඌරුගල ශ්‍රී තපෝදනාරාම මහා විහාරය

පන්සල්[සංස්කරණය]

නම ලිපිනය
ශ්‍රී දේවරක්ඛිතාරාමය වගවත්ත, පෝරුවදණ්ඩ
ශ්‍රී සඳගිරි විහාරය අරකාවිල, හඳපාන්ගොඩ
ශ්‍රී වික්‍රමසිංහාරාමය මාපුටුගල, පෝරුවදණ්ඩ
ශ්‍රී විජය බෝධිරාජ මහා විහාරය ඉමගිර, ඉංගිරිය
ශ්‍රී තපෝදනාරාම මහා විහාරය පිංගොඩැල්ල, ඌරුගල, ඉංගිරිය
ශ්‍රී පූර්වාරාම විහාරය දොඹගස්කන්ද, ඉංගිරිය
සොලීරාජ මහා විහාරය ගණේතැන්න, පෝරුවදණ්ඩ
තිලකාරාමය පෝරුවදණ්ඩ
ශ්‍රී සාංඝීකාරාමය රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ
ගණේවිහාරය හඳපාන්ගොඩ
ශ්‍රී සුදර්ශනාරාමය මානාන, පෝරුවදණ්ඩ
ශ්‍රී පියදස්සනාරාමය කුරණ,කොටිගල, හඳපාන්ගොඩ
ශ්‍රී සුධර්මාරාමය කැකුළදොල, බටුගම්පල
ශ්‍රී මධුරසාම විහාරය නිමලගම, පෝරුවදණ්ඩ
ශ්‍රී ගංගාතිලක මහා විහාරය පුහුවල
ශ්‍රී ජයසූරිය බෞ.මධ්‍යස්ථානය ශාන්ත පීතර ජනපදය, ඉංගිරිය
ශ්‍රී නන්දරතනාරාමය පැල්පිටිගොඩ, පෝරුවදණ්ඩ
ශ්‍රී දීපාලෝක මහා විහාරය ඉංගිරිය
ශ්‍රී පූර්වාරාමය කඳනපිටිය, බෝපේ, පාදුක්ක
සිරි නිකේතනාරාමය කැකුළලිය, පෝරුවදණ්ඩ
ශ්‍රී විජයසුනන්දාරාමය පනන්ගල වත්ත, පෝරුවදණ්ඩ
ශ්‍රී සම්බෝධි විහාරය අරුණගම, පෝරුවදණ්ඩ
ශ්‍රී රුවන්බෝධි විහාරය බොරළුගොඩ, පෝරුවදණ්ඩ
ශ්‍රී සුධම්පාය ධර්මායතනය බෝධිරාජගම, ඉංගිරිය
ශ්‍රී ඉසිපතනාරාමය මඩකඩ, බෝපේ, පාදුක්ක
මඩකඩ ආරණ්‍ය සේනාසනය මඩකඩ, ඉංගිරිය
බෝධිනාගල ආරණ්‍ය සේනාසනය දොඹගස්කන්ද, ඉංගිරිය
නාගලෙන විවේකාරාමය අක්කර 20, ඉංගිරිය
ශ්‍රී ජිනරතනාරාමය අරකාවිල, හඳපාන්ගොඩ
ශ්‍රී ශෛලතලාරාමය වගවත්ත, පෝරුවදණ්ඩ
ඛේමානන්දාරාමය බටුගම්පල
ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය මඩකඩ
ශ්‍රී සුබෝධි මෙහෙණි ආරාමය කුරණ

කෝවිල්[සංස්කරණය]

නම ලිපිනය
ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල වගවත්ත, පෝරුවදණ්ඩ
ශ්‍රී කුරුංචි මහා මාරි අම්මාන් කෝවිල රයිගම්වත්ත, ඉංගිරිය
ඉංගිරිය පහළ කොටස ශ්‍රී පත්තිනි කෝවිල ඉංගිරිය
රයිගම් පහළ කොටස ශ්‍රී පත්තිනි කෝවිල රයිගම්වත්ත, ඉංගිරිය

පල්ලි[සංස්කරණය]

නම ලිපිනය
ඉංගිරිය පල්ලිය ඉංගිරිය

[7]

සටහන්[සංස්කරණය]

  1. ජන හා සංගණන වාර්තාව 2012
  2. ඉංගිරිය මංසංධියේ දුර දක්වා ඇති පුවරුව
  3. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  4. 2012 වාර්ෂික වර්ෂාපතන වාර්තාව
  5. 2010 ඉංගිරිය පුවත් විමසුම
  6. 2012 කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය හොරණ
  7. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

යොමුව[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉංගිරිය&oldid=398753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි