අමිතාභ බුදුන්

විකිපීඩියා වෙතින්
(අමිතාභ බුදුන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
අමිතාභ බුදුන් වහන්සේ
[[Image:
ලිං ශෑන් හි අමිතාභ බුද්ධ ප්‍රතිමාව
|250px]]
බෝධිය:විවිධ වර්ණ මිලියන දහසකින් සමන්විත අලංකාරවත් වූ ස්වර්ණාභරණ හා විවිධ වර්ණ වලින් යුක්ත මාණික්‍ය වලින් සරසා ඇති දීප්තිමත් ලෙස බබලන සුවිශාල බෝධීන් වහන්සේ නමකි.
අගසවු:අවලෝකිතේශ්වර හා මහාස්ථාමප්‍රාප්ත යන බෝධිසත්වරුන් දෙනම.
බුදුවූ දිනය:මහා කල්ප දහයකට පෙර
ගිහිකල නම:ධර්මාකර
නියත විවරණ දුන්නේ:ලෝකේශ්වර රාජ බුදුරජාණන් වහන්සේ

අමිතාභ බුදුන් (සංස්කෘත දී : अमिताभ) යනු සුඛාවති ව්‍යුහ මහායාන සූත්‍රයට අනුකූලව වෙනත් විශ්වයක පිහිටි මනුෂ්‍ය ලෝකයක සර්වබුද්ධත්වය ලැබූ ධර්මාකර නම් භික්ෂුන් වහන්සේය. ලෝකේශ්වර රාජ බුදුන්ගේ නියත විවරණ ලබා ඒ මඟ යමින් ධර්මාකර නම් රජු මහණ වී දස පාරමිතා සම්පූර්ණ කර අමිතාභ බුදුරාජාණන් වහන්සේ ලෙස සර්වබුද්ධත්වය ලබා උන්වහන්සේගේ අපරිමිත බුද්ධ බලයෙන් සුඛාවතී නම් බුද්ධ විශ්වයට පමණක් සීමාවූ පරම පවිත්‍ර බුද්ධ ක්ශේත්‍රය නිර්මාණය කළේය. උන්වහන්සේ තුළින් අපරිමිති ප්‍රඥාව ප්‍රතිරූපනය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සුඛාවතී බුද්ධ ක්ෂේත්‍රය තුළ සදාකාලික ජන්මය ලැබීමට අවශ්‍ය භාවනාවන් 16ක් පිළිබඳව අමිතායුර්ධ්‍යාන සූත්‍රයේහි දේශණා කර ඇත. සුඛාවතිව්‍යූහ සූත්‍රයට අනුව අමිතාභ බුදුරජාණන් වහන්සේ සමස්ථ බෞද්ධ ශ්‍රාවකයන් හට පොරොන්දු 48ක් ලබා දී තිබේ.[1] එයින් 18 වන පොරොන්දුවට අනුව යම් බෞද්ධයකු අමිතාභ බුද්ධ ක්ෂේත්‍රය තුළ ජන්මය ලැබීමට අදහස් කරන්නෙ නම් උන්වහන්සේගේ නාමය 10 වරක් උච්චාරනය කිරිම පමණක් ප්‍රමාණවත් වේ. උන්වහන්සේගේ 19වන පොරොන්දුවට අනුව උන්වහන්සේගේ 'අමිතාභ' යන බුද්ධ නාමය උච්චාරනය කරන ශ්‍රාවකයන්ගේ හා ශ්‍රාවිකාවන්ගේ මරණාසන්න මොහොතේදි උන්වහන්සේ තම බෝධිසත්වයන් සමඟ ඔවුන්ගේ ඉදිරියට විරාජමානව වඩින බවයි.

අමිතාභ බුදුන් වහන්සේ යනු අපරිමිත ප්‍රඥාවේ බුදුන්ය. අමිතායුර්ධ්‍යාන සූත්‍රයේ ගෞතම ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුගේ අගමෙහෙසිය වන වෛදේහි බිසවට සහ ආනන්ද තෙරුන්ට අමිතාභ බුදුරජාණන් වහන්සේගේ භෞතික බුද්ධ කාය පිළිබඳව මෙසේ දේශනා කොට වදාළ සේක.

ආනන්දයෙනි, එම අමිතායුෂ් බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය යාම දිව්‍ය ලෝකයට අධිපති යාම දිව්‍යරාජයාගේ දිව්‍ය විමානයේ ඇති ජාම්බුනද රත්තරන් පැහැයෙහි දීප්තියට වඩා දස ලක්ෂ ලක්ෂවාරයක් වැඩි පැහැයකින් යුක්තය. උන්වහන්සේගේ උස ප්‍රමාණය ගංගා නදියෙහි වැලි මෙන් යොදුන් කෝටි නහුත හය ලක්ෂයක් වන්නේය. දකුණු පසට හැරි ඇති උන්වහන්සේගේ ඇහි බැම දෙක අතර මැද පිහිටා ඇති සුදු පැහැති ඌර්ණ රෝමය සුමේරූ පර්වතයන් පහක් බඳු ය. එහි නිල් පැහැය සහ සුදු පැහැය ඉතා දීප්තිමත්ව බබලයි.

උන්වහන්සේගේ ශරීරයේ රෝමකූප මූලයන්ගෙන් සුමේරු පර්වතය බඳු වූ දීප්තිමත් රශ්මි ධාරා විහිදෙන්නේය. උන්වහන්සේගේ රැස් වළල්ල මහා ලෝක ධාතුන් දස ලක්ෂ සියයක් බඳුය. එම රැස් වළල්ල තුළ ගංගා නම් නදියේ අනන්ත වූ වැලි කැට ගණන මෙන් අනන්ත වූ කෝටි නහුත දස ලක්ෂයක් බුදුරජාණන් වහන්සේලා ප්‍රාතිහාර්ය බලයෙන් මවනු ලබා ඇත්තාහ. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක් වෙතම ප්‍රාතිහාර්ය බලයෙන් මවන ලද අනන්ත වූ බෝධිසත්වරුන් සමූහ ඇත්තාහ.

අමිතායුෂ් බුදුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ අසුහාර දහසක් ඇත්තේය. ඒ සෑම මහා පුරුෂ ලක්ෂණයකටම අනු ව්‍යංජන අසූහතර බැගින් ඇත්තේය. ඒ හැම අනුව්‍යංජනයකට ම රැස් ධාරා අසුහාර දහසක් බැගින් ඇත්තේය. එම සෑම රැස් ධාරාවක්ම දස දිශාවෙහි පිහිටි ලෝක කරා විහිදී ගොස් ඒවා ආලෝකමත් කරයි.

ආශ්‍රීත ලිපි[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අමිතාභ_බුදුන්&oldid=599814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි