අභයගිරි දාගැබ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අභයගිරිදාගැබ - අනුරාධපුර - ශ්‍රී ලංකාව.

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.

ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිටා ඇත්තේය. අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට, මහා පවුරුවලින් ද අලංකාර පොකුණු වලින්ද කැටයම් කරන ලද ගරාදි වැට සහ සඳකඩ පහණ යනාදිය පිරිවරා අභයගිරි දාගැබ ඇත. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්‍රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය. අන්තැනෙක පිහිටුවන ලද එහි ශාඛා වලින් ලෝකයේ අනිකුත් ප්‍රදේශ වලට එයින් වූ බලපෑම හඳුනාගත හැක. එපරිදි ශ්‍රී ලංකාවේ පුරාණ නගරය වූ අනුරාධපුරයේ, අභයගිරිය විහාරය, මහා විහාරය සහ ජේතවන බෞද්ධ විහාරික නිකායන්ට සමානවම නැගි සිටියේය.


වලගම්බා රජු සහ අභයගිරිය.[සංස්කරණය]

අභයගිරිදාගැබ - අනුරාධපුර - ශ්‍රී ලංකාව.

කි.පූ. 89 සිට 77 දක්වා වට්ටගාමිණි අභය රජුගේ දෙවැනි පාලන සමයේ ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තියා (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු ඔහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ඔහු රජ වන බවට අනාවැකි කියා තවත් බ්‍රාහ්මණයෙකු විසින් තියා රවටනු ලැබුවේය. මහින්ද තෙරුන් විසින් ලංකාවට බුද්ධාගම ගෙන ඒමට පෙරාතුව බ්‍රාහ්මණයින්ට ලාංකික සමාජයේ ඉහල ස්ථානයක් හිමිව තිබුනේය. භික්ෂු සමාජය පිහිටුවීමෙන් පසු බ්‍රාහ්මණයින්ට තිබූ ස්ථානය අහිමි වූ අතර එම ස්ථානය බෞද්ධ භික්ෂුවට ලැබුනි. සමහර බ්‍රාහ්මණයන් බුද්ධාගම වැළඳ ගත් අතර සෙස්සෝ කැරළි ගැසූහ. තියා ට ඔහුගේ බමුණු ප්‍රජාවගේ සහයෝගය ලැබුනි. ඔහු ලංකාවේද ලංකාවෙන් පිටද ජීවත් වූ බැවින් බොහෝ සේ බලවත්ව සිටියේය. මෙම කාලසීමාවේදිම දෙමළ ප්‍රධානින් හත් දෙනෙකු විශාල හමුදාවක් ද ගෙන මහාතිත්ථයෙන් ලංකාවට ගොඩ බටහ. ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ වළගම්බා රජු ඉහත කි දෙපිරිස සමග සටන් කිරීමට තරම් ඔහුගේ හමුදාව ශක්තිමත් නොවන බව වටහා ගෙන එම දෙපිරිසට ඔවුනොවුන් හා යුද වැදීමට සලස්වා මග හැර ගියේය. ආක්‍රමණිකයන් පලවා හැරියොත් ඔහුට රජකම ලබා ගත හැකි යැයි කියමින් රජු තියා වෙත පණිවුඩයක් යැව්වේය. මෙයට තියා එකඟ වී තමන්ගේ හමුදාව ද ගෙන දෙමළ හමුදාව ඉදිරියට ගියේය. එහෙත් ඔහු පරාජය විය. ජයග්‍රහණයෙන් ප්‍රමුදිත වූ දෙමළ හමුදාව අනුරාධපුරය දක්වා ඉදිරියට ගොස් රජු පැරදවූහ. රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. අනුරාධපුරය අත හැර මෙසේ පලා යද්දි පණ්ඩුකාභය රජු තැන වූ නගරයේ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ජෛන පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. රජු එකෙණිහිම මෙසේ සිතුවේය. "මගේ රාජ්‍ය මට නැවත ආපසු ලැබුනොත් මෙතැන ආරාමයක් කරමි". බැමිණිටියා සාය නොහොත් මහා සාගතය සහ ඉන් පසු සිදු වූ විදේශීය ආක්‍රමණ කාලය තුලදි වට්ටගාමිණි අභය රැකවරණය සඳහා කඳුකරයේ රැඳෙමින් සේනා සංවිධානය කළේය. කි.පු. 89 දි ඔහු අනුරාධපුරයට පැමිණෙන තෙක් වසර 14 කට වඩා වැඩි කාලයක් එසේ සිටියේය. අනතුරුව ඔහු අනුරාධපුරය දක්වා තම සේනා මෙහෙයවා අන්තිම දෙමළ රජු වූ භාතිය පැරදවූයේය. ඔහු පලා ගිය දිනයේ වූ පොරොන්දුව ඉටු කරමින් රජ වූ පසු ඔහුගේ පළමු කාර්යයන්ගෙන් එකක් වූයේ ගිරි ආශ්‍රමය පිහිටි බිමෙහි අභයගිරි විහාරය තැනවීමයි. එහි නායක තෙරුන් ලෙස කුප්පිකාල මහාතිස්ස තෙරුන් පත් කරන ලද්දේ ආක්‍රමණයන්ගේ පාලන කාලය තුල ඒ හිමියන් විසින් රජුට කරන ලද උදව් වෙනුවට කෘත ගුණ සැළකීමක් වශයෙනි. ඉන් පසු අභයගිරිය ආගමික කටයුතු පිළිබඳ මූලස්ථානයක් වූවා පමණක් නොව ජාතියට නවජීවනයක් දුන් ස්ථානයක් ද වූයේ එය රටෙහි බ්‍රහ්මණ සහ ජෛන බලපෑම අවසාන කිරීම සංකේතවත් කළ බැවිනි. ඉතිහාස පුරාවෘතයන් අනුව අභයගිරි විහාරයට ඒ නම ලැබුනේ වට්ටගාමිනි අභය නම් රජුගේ නමද ජෛන ආශ්‍රමයේ සිටි ගිරි නම් පූජකයාගේ නම් ද ආශ්‍රයෙනි. අනිත් අතට පුරාණ විහාර ආරාම බොහෝ විට ගොඩ නගන ලද්දේ සිංහලෙන් 'ගිරි' නමින්ද හැඳින්වෙන කුඩා කඳු ගැට ආශ්‍රිතවය. (උදාහරන වශයෙන් වෙස්සගිරි, මේඝගිරි නැත හොත් චේතිය ගිරි ආශ්‍රමයන්) මේ අනුව අභයගිරි යන නම වළගම්බා රජු විසින් කරන ලද ආරාමයක් නිසාත් 'දීග පාසාන' නම් කඳු ගැටය මූලික කර ගෙන ගොඩ නගන ලද නිසාත් අභයගිරි යන නම යෙදෙන්නට ඇත. මෙම කඳු ගැටය දැනට අභයගිරි විහාර සංකීර්ණය තුල දක්නට ලැබේ.

ජෛනාගම සහ බුද්ධාගම.[සංස්කරණය]

බුද්ධාගම පැමිණීමට පළමුව ශ්‍රි ලංකාවේ ද ජෛන ආගම හොඳින් ස්ථාපිතව තිබුනේය. මෙම තත්වය සත්‍ය බව ශ්‍රී ලංකාවේ පැරනි බෞද්ධ සාහිත්‍යයෙන්ද තහවුරු වේ. මහාවංශය සහ පැරණි ග්‍රන්ථයක් වූ දීපවංශය යනාදි කෘති වල රජවරු 21 දෙනෙකුගේ පාලන කාලය තුලදි (කි.පු.10 සිට ක්‍රි.ව.3 දක්වා) ලංකාවේ ජෛනාගම පැවතුනු බව සඳහන් කර තිබේ. එහෙත් වට්ටගාමිනි රජු විසින් එය විනාශ කරන ලදි.

අභයගිරියෙහි ස්වර්ණමය යුගය.[සංස්කරණය]

අභයගිරිදාගැබ - අනුරාධපුර - ශ්‍රී ලංකාව.

ක්‍රි.ව.3 වැනි සියවසේ මහාසේන රජු බලයට පත් වූ කාලයේ මහාවිහාරික භික්ෂුන් වහන්සේලා විසින් පිළිපදින ලද ථෙරවාදි බුදුදහමෙහි පසු බෑමක් ඇති විය. රජතුමා මහාවිහාරික භික්ෂූන්ට දන් පිළිගැන්වීම තහනම් කළේය. එපමණකින් නොනැවති මහාවිහාරයට අයිති ගොඩනැගිලි විනාශ කර ඒවායේ තිබු ද්‍රව්‍ය අභයගිරියේ තැනූ නව ගොඩනැගිල්ල සඳහා ප්‍රයෝජනයට ගත්තේය. මහාසෙන් රාජප්‍රාප්තිය අභයගිරියෙහි ස්වර්ණමය යුගය විය. 4 වැනි සියවසේ දි බුදුන්ගේ දන්ත ධාතුව ලංකාවට ගෙන ඒමෙන් පසු මහජන වන්දනාව පිණිස තැන්පත් කර තැබීමට තෝරා ගන්නා ලද්දේ අභයගිරියයි. චීන භික්ෂුවක් වූ ෆාහියන් (Fa - hsien) මෙසේ විස්තර කරයි "මෙතැන් සිට දින දහයක් ගත වූ තැන බුදුන්ගේ දන්ත ධාතුව අභයගිරියට ගෙන යනු ඇත. මග දෙපස බුදුන්ගේ පෙර ජන්ම වල ස්වරූපයෙන් පන්සියක් ප්‍රතිමා තැබුවේය. 'ධම්මාන්ද්' සොයමින් ෆාහියන් හිමියන් ලංකාවට පැමිණි සමය වන විට (කි.ව 412 දී) අභයගිරිය ප්‍රධාන පෙළේ බෞද්ධ මධ්‍යස්ථානයක් වී තිබුනේය. එතුමා 'ධම්ම' අධ්‍යනය කරමින් ලංකාවේ අවුරුදු දෙකක් ගත කර මහායනය ධර්මය රැගත් ලේඛන වල පිටපත්ද ගෙන ගියේය. 'මශීසාසක නීති' නම් ග්‍රන්ථයේ පිටපතද ලබා ගත්තේය. ඔහු එවකට චීනයට ආගන්තුක වූ 'දීර්ඝගාම' 'සම්යුක්ත ගාම' සහ 'සන්නිපාත' කෘති වල පිටපත්ද ලබා ගත්තේය. 7 වැනි සියවස පමණ වන විට අභයගිරි විහාරය මූල හතරකින් යුක්ත විය. (ආගමික ඉගැන්වීම් සඳහා නිකායන් නොහොත් කණ්ඩායම්) ඒවා නම් උත්තර මූල, කපර මූල, මහනෙත්පාමුල සහ වහදු මුල නම් විය. මේ සෑම ස්ථානයක්ම මේ වන විට පුරා විද්‍යා කැණිම් වලින් ද ශිලා ලේඛණමය සාක්ෂි වලින්ද හඳුනාගෙන ඇත. කාලය ගත වෙද්දි අභයගිරිය, චීනය , ජාවා සහ කාශ්මීරය සමග සබඳතා පවත්වා ගනිමින් ඉතා හොඳින් සංවිධානය වූ ආගමික සහ අධ්‍යාපනික ආයතනයක් ලෙස වර්ධනය වූයේය. පැඹ - චැන්ග් විසින් ක්‍රි.ව.526 දී සංග්‍රහ කරන ලද පි-චිතු-නි-චංග් (pi - chitu - ni - chung) නම් භික්ෂුණියගේ චරිතාපදානය සහ ගුණවර්නම් සහ සංඝවර්ණම් ගේ චරිතාපදාන වැනි ලේඛන වලට අනුව සිංහල භික්ෂුණින් විසින් චීන භික්ෂුණීන්ට දෙවැනි උපසම්පදාව ලබා දී ඇත. තවත් චීන මූලාශ්‍රයකට අනුව කි.ව.426 දී සිංහල භික්ෂුණින් අට දෙනෙකු නැන්කිංග් නම් සංග් රජ සමයේ (ක්‍රි.ව.420-77) අගනුවරට පැමිණ ඇත. එසේ පැමිණ ඇත්තේ විදේශ වෙළඳ නැවකිනි. එහි අයිතිකරු නන්දි නැමැත්තෙකි. අනතුරුව තවත් භික්ෂුණින් තිදෙනෙකු ටී- සො - රෙ Tie - so - re (සිංහල තිසර) ගේ නායකත්වයෙන් යුතුව නැන්කිංග් වෙත පැමිණ ඇත. මෙසේ කි.ව.434 දී තුන්දාහකට අධික භික්ෂුණින් පිරිසක් සිංහල භික්ෂුණීන් දහසකට වැඩි පිරිසක් ඉදිරියේ චීනයේ නැංකින් විහාරයේදි උපසම්පදාව ලබා ඇත. මෙම සිංහල භික්ෂුණියන් පිරිසේ නායකත්වය දරා ඇත්තේ 'තිස්සර' නම් භික්ෂුණිය විසිනි. මධ්‍යම ජාවාහි රටුබක සානුවේ තිබෙන අසම්පූර්ණ සෙල්ලිපියක විස්තර කර ඇති පරිදි අභයගිරි විහාරය හරහා ජාවා හා ශ්‍රී ලංකාව අතර ආගමික සම්බන්ධතාවය 8 වැනි සියවස අවසානය දක්වා පැවති බව වාර්තා වේ. මෙම ශිලා ලේඛණයේ 'බුදුන්ගේ (ජින) ධර්මය පරිදි පුහුණු කරන ලද භික්ෂූණ් වහන්සේලාගේ අභයගිරි විහාරයක් පිහිටුවීම ගැන වාර්තා කරයි. මෙම වාර්තාව ගැන අදහස් දක්වමින් J.G.de කැස්පරිස් නිරීක්ෂණය කරන්නේ ' ඉතාම වැදගත් විස්තරය වන්නේ ආයතනයේ නමයි එනම් අභයගිරි විහාරය' යන්නයි. මේ නමින් එක් වරම යෝජනා කරන්නේ අනුරාධපුරයේ ඉතා ප්‍රසිද්ධ විහාරයයි. එසේම 'සිංහලයන්ගේ' යන්න දක්වා තිබීමෙන් එය එක විට අහම්බයෙන් සිදු වූවක් නොවන බව සනාථ කරයි. සත්‍ය වශයෙන්ම ඒ පදනම අභයගිරි යන නම ලැබීමට සුදුසු දෙවැනි අභයගිරියකි. කලින් කල සිදු වූ දකුණු ඉන්දීය ආක්‍රමණ (විශේෂයෙන් නම වෙනි සියවසේ පළමු වැනි සේන රජුගේ කාලයේ) සහ අවරුදු 50 කට ආසන්න කාලයක් පැවති චෝල පාලනයේද ප්‍රථිපලයක් ලෙස අනුරාධපුර නගරය අතහැර දැමීමට සිදුවීම අභයගිරි විහාරයේ පරිහානියට හේතු විය. පළමු වැනි විජයබාහු සහ පළමු වැනි පරාක්‍රමබාහු යනාදි රජවරු ගත් උත්සාහයන් හැරුණු විට 13 වැනි සියවසේදී ආරාම පරිශ්‍රය ප්‍රථිසංස්කරණය කිරීමට පියවර ගත් නමුදු කාලය ගත වෙද්දි විශේෂයෙන් නිතර නිතර කෙරුණු මාඝගේ ආක්‍රමණ හේතුවෙන් පොළොන්නරුව අගනගරය 1218 දී වෙනත් ස්ථානයකට මාරු කිරීමෙන් පසු එහි සිදු වූ ක්‍රමානු කූල පරිහානිය වැලැක්විය නොහැකිය විය. 1880 දී පමණ විද්‍යාඥයින් සහ උගතුන්ගේ අවධානය අතහැර දමන ලද නටබුන් කෙරෙහි යොමු වන තෙක් අවුරුදු 800 ක් පමණ කාලයක් තිස්සේ අභයගිරිය අඳුරේ සැඟවී තිබුණි. එම ස්ථානය පළමුව ජේතවන විහාරය ලෙස තේරුම් ගත් ඔව්හු විශේෂඥයන් ලවා එම ස්ථානය ඡායා රූප ගත කරවන ලදි. ඒවායේ සිතුවම් අන්දවන ලදි. ඒ දහනමවෙනි ශත වර්ෂයේ අවසාන භාගයේදිය. එම කාලයේදිම වාගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. එම දෙපාර්තමේන්තුව විසි වන ශත වර්ෂයේ මුලදී කැණීම් කටයුතු සහ මන්දිර කීපයක සංරක්ෂණ කටයුතු භාර ගත්තේය.

පුරා විද්‍යාත්මක සැරසිලි.[සංස්කරණය]

කැණීම් වලින් මතු කර ගත් ගොඩනැගිලි වල වාස්තු විද්‍යාත්මක මූලිකාංග වලින් ඒ කාලයේ පැවති ආගමික සිරිත් විරිත් සහ විශ්වාසයන් පිළිබඳව කරුණු ඉතා මැනවින් හෙළිවේ. ජනගහණයෙන් වැඩි පිරිසක් ඇදහු ආගම මෙන්ම රාජ්‍ය ආගමද බුද්ධාගම වූ නමත් අනෙකුත් දේශීය ඇදහිලි විශේෂයෙන් හින්දු ආගමික බලපෑමද සැලකිය යුතු මට්ටමක තිබුණු බව පෙනි යන්නේ එකල ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම වලින්ද ඒ බව විදහා දැක්වෙන බැවිනි. උදාහරණ වශයෙන් කිසියම් ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථාන වල සැලසුම බැලීමේදි එම ගොඩනැගිලි ආරක්ෂක දෙවියෙකුගේ භාරයට පත් කර තිබෙන බව පෙනි යයි. ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථානයේ පියගැට පෙළ දෙපස පිහිටුවා තිබෙන ගල් පුවරු මුරගල් නමින් හැඳින්වේ. මේවා සාමාන්‍යයෙන් කැටයම් වලින් යුක්තය. එසේ වුවද කැටයම් වලින් තොර පුවරුද දක්නට ලැබේ. මෙම ගල් පුවරු වල දක්නට ලැබෙන හින්දු කැටයම් අතර පුන් කලස, කල්පවෘක්ෂය හැරුණු විට වඩාත්ම පොදු සංකේතය වන්නේ මනුෂ්‍ය රූපකාර නාගරාජ සලකුණයි. මෙයින් හොඳම නිදර්ශනය මෙන්ම මෙතෙක් හමු වී ඇති කදිම මුරගල වන්නේ අභයගිරියෙහි රත්න ප්‍රසාදයේ මුරගලයි. එය අභයගිරි කැටයම් ශිල්පීන්ගේ අති විශිෂ්ඨ කලා කෞශල්‍යය විදහා දක්වයි. නෙලුම් මල් හා පුන් කලස් බොහෝ ලෙසින් දක්වා තිබේ. නෙලුම් මල් පෙන්වා තිබීම කෘෂිකාර්මික සමාජයක විශේෂ ලක්ෂණයකි. එයට හේතුව නෙලුම් වැස්සට අධිපති දෙවියන්ගේ දියණිය සංකේත කරන බැවිනි. ඇත් පොකුනේ තිබෙන ඇත් රූප ද ජලය සංකේතවත් කරයි. ප්‍රධාන බෞද්ධ ආගමික ආරක්ෂක දෙවිවරු බොහෝ විට නිරූපනය කර තිබෙන්නේ ඒ ඒ දෙවියාට නියමිත වාහනයෙනි. විශේෂයෙන් මේවා දැකිය හැක්කේ මුරගල් වලයි. අභයගිරි ස්ථූපයට ඇතුලුවන දොරටුව දෙපස තිබෙන අති විශිෂ්ඨ ප්‍රථිමාවන් මේ සම්බන්ධව තිබෙන ඉතා හොඳ උදාහරණයකි. එක ප්‍රතිමාවක හිස් වැස්ම හක් ගෙඩියක් වන අතර අනිකෙහි නෙලුම් මල් වේ. කුවේරගේ ප්‍රධාන සම්පත් භාණ්ඩාගාරයන් දෙකක් වූ සංඛ සහ පද්ම නිරූපණය කිරීමෙන් අදහස් කළේ ස්ථූපය හා අවට භූමියෙන් අනතුර හා නරක ඉවත් කිරීමයි. අද කාලයෙහි පවා මේවා අද්භූත බලයක් ඇති ද්‍රව්‍ය බවට පොදු විශ්වාසයක් පවති. අනුරාධපුරයේ උසාවි වලද සුලු ආරවුල් සමථයකට පත් කිරීමේදි ප්‍රථිමා ඉදිරියේ දිව්රීම සාක්ෂියක් වශයෙන් පිළි ගැනේ. පංචවාස නැතහොත් පොදුවේ මහාසේන මාළිගය වශයෙන් දන්නා ස්ථානයට ඇතුලු වන පිය ගැට පාමුල දක්නට ලැබෙන සඳකඩ පහණ ශ්‍රී ලංකා කැටයම් ශිල්පයෙහි සුවිශේෂී උදාහරණයක් ලෙස දැක්විය හැක. රැජිනගේ මණ්ඩපය අසලද මෙපරිදි නිර්මාණය කරන ලද කුඩා ප්‍රමාණයේ නිර්මාණයක් දක්නට ලැබේ. හැඩයෙන්ද ප්‍රමාණයෙන්ද විවිධාකාර වූ නොයෙක් වර්ගයේ ගල් වලින් නිමවන ලද මේවා සියල්ල අති විශිෂ්ඨ කලා නිර්මාණ වේ. පරණවිතාන මතයට අනුව සඳකඩ පහන මූර්තිමත් කරන්නේ සංසාරය නමැති අවසානයක් නොමැති නැවත ඉපදීමේ චක්‍රය සහ සංසාර ගමනේ කෙළවර නිර්වාණය දක්වා මාර්ගයයි. ඔහු සඳකඩ පහනේ පිටත මෝස්තරය අර්ථ කථනය කරන්නේ ගිනි දැල් ලෙසිනි. ඇතුලත කවාකාර වට කිහිපය තුල පෙන්වා තිබෙන සත්ව රූප සංසාරයෙහි සත්වයාගේ ගමන් මගෙහි විවිධාකාර ඉසව් පරිද්දෙනි.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=අභයගිරි_දාගැබ&oldid=285992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි