අඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණ

විකිපීඩියා වෙතින්
(අඳ ගොවි ක්‍රමය වෙතින් යළි-යොමු කරන ලදි)

අඳ ගොවි ක්‍රමය සඳහා ඇති වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග[සංස්කරණය]

ගොනුව:ගොවියෝ.jpg

අඳ ගොවි ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඇතිවීමට හේතු සහ එම ක්‍රියාමාර්ගයන් පිළිබඳව මෙම පරිච්ඡේදය තුළදී සාකච්ඡා කෙරේ. විශේෂයෙන්ම 1958 කුඹුරු පනත සහ පනත සම්බන්ධව ඇති දේශපාලන මැදිහත්වීම මෙන්ම කුඹුරු පනත සම්බන්ධව විවේචනයන්ද මෙහීදී සාකච්ඡාවට ලක් කරනු ලැබේ.

ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඇති වීමට හේතු[සංස්කරණය]

අඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සඳහා සමාජීය, දේශපාලන සහ ආර්ථීක යන විවිධ අවශ්‍යයන්හි සාධකයන් හේතු වී ඇත. මාක්ස්වාදී දෘෂ්ටිකෝණයට අනුව ඉඩම් හිමියා විසින් අඳ ගොවියාගේ ශ්‍රමය සූරා කෑමක් සිදු කරයි යන අදහස පවතී. ගැමි ගොවි ජීවිතයේ සමාජ, දේශපාලන, ආර්ථීක තත්ත්වය ඉඩම් හිමි ප්‍රභූ පන්තියේ අධිකාරීත්වය මත පැවතෙන හෙයින් ගැමි ගොවියා ඉඩම්හිමියාගේ ආධිපත්‍යයෙන් මුදවා ගෙන අඳ ගොවියා ආරක‍ෂා කිරීම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිහි අරමුණක් විය. අඳ ක්‍රමය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන හෙයින් ගොවීන් විවිධ ආකාරයට සූරා කෑමට ලක් වේ. අඳ ගොවි භූමිකාව සහ ඉඩම් භුක්තිය යන සබඳතාවය තුළ පවත්නා පරස්පරතාවන් අවම කිරීම ද ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල අරමුණ විය. පවත්නා සමාජ ව්‍යුහය තුළ ගැමි ගොවියාට සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථීක ස්ථාවරත්වය ලබා දීම ප්‍රතිසංස්කරණයන්ගේ සෘජු අරමුණ විය. නිශ්චිත වූ සමාජ ආර්ථීක ක්‍රමයක් තුළ තමන් දරන විවිධ ස්ථාන හේතු කොට ගෙන එක් කණ්ඩායමකට තවත් කණ්ඩායමක ශ්‍රමය අත්පත් කර ගත හැකි මිනිස් කණ්ඩායම පන්තියක් වශයෙන් හඳුනාගත හැකිය. සමාජමය වශයෙන් ඉඩම් හිමියා හා අඳ ගොවියා අතර පවතින පන්ති පරතරය අවම කර ගැමි ගොවියා ස්ථාවර තත්වයකට ගෙන ඒමට අඳ ගොවි ක්‍රමය වෙනසකට ලක් කළ යුතුවිය. ශ්‍රමය අත්පත් කර ගන්නා කණ්ඩායම ඉඩම් හිමි පන්තිය වශයෙන් හැඳින්විය හැකිය. අත්පත් කර ගනු ලබන ශ්‍රමය අඳ ගොවියාට අයිති විය. සමාජීය වශයෙන් අඳ ගොවියා පත්ව සිටින දුක්ඛිත තත්වයෙන් මුදවා ගෙන ඔහුට නෛතික තත්වයන් ලබා දීමට පවත්නා අඳ ගොවි ක්‍රමය සඳහා ප්‍රතිසංංස්කරණයන් අවශ්‍ය විය.


ගැමි ගොවියාගේ දිළිදු බව අවම කිරීමට සහ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ද අඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය විය. අඳ ගොවියා තමන්ගේ ඉඩමක වගා නොකරන නිසා වඩාත් ඵලදායි අස්වැන්නක් ලබා ගැනීමට ඔහුට උනන්දුවක් නොමැතිකම හදුනාගැනීම තුළින් අඳ ගොවි ක්‍රමය වෙනසකට භාජනය කළ යුතු බව ප්‍රතිසංස්කාරකයන්ගේ යෝජනාව විය. ශ්‍රී ලංකාවේ අක්කරයකින් ලැඛෙන වී බුසල් ප්‍රමාණය ආසියාතික අනෙකුත් රටවල අක්කරයකින් ලැඛෙන වී බුසල් ප්‍රමාණයට වඩා අඩු බව කෘෂිකාර්මික වාර්තා අනුව පිළිගෙන ඇත. ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථීක දැක්ම කරා යාමට එය බාධාවක් වී ඇත. ග්‍රාමීය දරිද්‍රතාවය අඳ ගොවි ක්‍රමය හරහා වර්ධනය වේ. මෙවැනි ගැටලූවලට විසඳුම් සෙවූ ආර්ථීක විශේෂඥයින්, දේශපාලඥයින් ආදීන් විසින් අඳ ගොවි ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඇති කිරීම සිදු කරන ලදී.


දේශපාලන වශයෙන් ප්‍රතිසංස්කාරකයන් විසින් ගැමි ගොවි ජීවිතය සඳහා වරප්‍රසාද දීම් සිදු කිරීම තුළ සෘජු හා වක්‍ර අරමුණු පවතී. අඳ ගොවි ක්‍රමයෙහි පවත්නා දුර්වලතාවයන් හදුනා ගෙන ඒවාට විසඳුම් සෙවීම යන සෘජු අරමුණ මුල් කර ගෙන අඳ ගොවි ක්‍රමය වෙනසකට ලක් කිරීම සඳහා ව්‍යාපෘති ගෙන ආව ද වක්‍රව ගැමි ගොවි ජීවිතය සඳහා දෙනු ලබන වරප්‍රසාද හරහා තම දේශපාලන බලය, ආධිපත්‍ය තහවුරු කර ගැනීම ද අරමුණු වී ඇත. මුල් කාලීනව යටත්විජිත ආණ්ඩුව සමඟ ඉඩම් හිමි පන්තිය සන්ධානගත වී සිටි අතර ආගමික ප්‍රභූ පන්තියේ සහයෝගය ද ඔවුන්ට හිමිව පැවතිණ. දේශපාලන ව්‍යාපාරයන්හි මූලික අරමුණ වූයේ බටහිර හා දකුණේ තෙත් කලාපීය ගැමි ගොවීන් තම දේශපාලන ව්‍යාපාරයන් වටා ඒකරාශී කර ගැනීමයි. ප්‍රධාන වශයෙන්ම අඳ ගොවින්ගේ ඡන්දය ලබා ගැනීමේ අරමුණ ඇතිව ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හරහා ඔවුන්ව තම දේශපාලන බලාධිකාරය තුළ රඳවා ගත හැකිය යන අදහස ද ප්‍රතිසංස්කරණයන්ගේ අරමුණක් විය හැකිය.


ග්‍රාමීය සමාජ ව්‍යුහය තුළ ගැමි ගොවියාගේ අයිතිය පිළිබඳ පවත්නා අනාරක‍ෂිත බව හේතු කර ගෙන එම අයිතිය ආරක‍ෂා කිරීම සඳහා ප්‍රතිසංස්කරණයන්හි මූලික අරමුණ වූ අතර ඉහත සඳහන් කළ පරිදි ආර්ථීක, සමාජ, දේශපාලන වශයෙන් එල්ල වූ බලපෑම ද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඇති කිරීමට හේතු සාධක වී ඇතැයි සිතිය හැකිය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග[සංස්කරණය]

අඳ ගොවි ක්‍රමය සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඇති වීම බි්‍රතාන්‍ය පාලන සමය දක්වා දිව යයි. යටත් විජිත පාලන කාලය තුළ අඳ ගොවි අයිතිය ඇතිවීම සඳහා නොතාරිස් කෙනෙකු විසින් සහතික කරන ලද ලිය කියවිලි අවශ්‍ය බවත් එය වාචික වශයෙන් වූවත් ඇති විය හැකි බවත්, වර්ෂ 1887 අංක 21 දරණ ආඥා පනතේ සඳහන් වන බවත් මෙම පනත නිසා ලංකාවේ බි්‍රතාන්‍ය පාලන සමයේදී අඳ ගොවි අයිතිය නීතිගත කරන ලදැයි යන මතයක් පවතී.


පුංචි අප්පුට එරෙහිව තියෝබෝල්ඩ් (23 වන නීති වාර්තාවේ 443 පිටේ සඳහන් වාර්තාගත) නඩු තීන්දුවට අනුව අඳ ගොවියා යනු ඉඩමේ භුක්ති විඳින්නා යටතේ සිටින්නා වූ වගා කරුවෝය. මේ අනුව වර්ෂ 1887 අංක 21 දරණ පනත මඟින් අඳ ගොවි වගා ක්‍රමය නීතිගත කරන ලද බව සත්‍යයක් බව ද එහි සඳහන් වේ.


නිදහස ලබා ගැනීමෙන් අනතුරුව අඳ ගොවියන් සම්බන්ධව නීතිමය විධිවිධාන සැලසු පළමු ලිඛිත නීතිය වූයේ වර්ෂ 1953 කුඹුරු පනතයි. එවකට පැවති එක්සත් ජාතික පක‍ෂය රජය විසින් අඳ ගොවියන් සඳහා සිදු කරන ලද ප්‍රතිසංස්කරණ සඳහා ගත් පළමු වන ව්‍යවස්ථාදායක ප්‍රයත්නය ලෙස මෙය හැදින්විය හැකිය. මෙම පනතේ මූලික අරමුණු වූයේ,

  1. ගොවි අඳය පස් වසරක් කාලයක් සඳහා ආරක‍ෂා කරදීම.
  2. අඳ ගොවි ඉඩම් හිමි බදු ගිවිසුම් නීත්‍යානුකූල කර එමගින් අඳ ගොවියා ආරක‍ෂා කිරීමටත්,
  3. මේ හරහා අඳ ගොවි අයිතිය යම් ප්‍රමාණයකින් ආරක‍ෂා කර දීමත්ය.

නමුත් මෙම කුඹුරු පනත ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේ ගැටලූ මතු විය. දිස්ත්‍රික්ක දෙකක පමණක් එය අත්හදා බැලූ නමුත් එය අසාර්ථක විය.

වර්ෂ 1953 කුඹුරු පනත අසාර්ථක වීමෙන් පසු පැන වූ දෙවන ව්‍යවස්ථාදායක නීතිය වශයෙන් වර්ෂ 1958 අංක 01 දරණ කුඹුරු පනත හැඳින්විය හැකිය. 1953 කුඹුරු පනත මෙන් නොව අඳ ගොවීන් සම්බන්ධව නෛතික විධිවිධාන සැලැස් වූ 1958 කුඹුරු පනත කෘෂිකාර්මික සමාජ ව්‍යුහය තුළ ආන්දෝලනයට පත් වූවක් විය. 1958 කුඹුරු පනත නිර්මාණය වීමේ පසුබිම අවබෝධ කර ගැනීම හරහා කුඹුරු පනතෙහි මූලික අරමුණු අවබෝධ කර ගැනීම පහසු වනු ඇත.


1956 ජනිත වූ මහජන උද්යෝගය වඩාත්ම යොමු වූයේ හුදකේම සමාජීය හා සංස්කෘතික දිශාවන් කරාය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු[permanent dead link] යන පංච මහා බලවේගයන් මුල් කර ගනිමින් වර්ෂ 1956 බලයට පත් මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මහජන උද්යෝගය දිනා ගැනීමට සමත් විය. සඟ, වෙද, ගුරු යන සමාජ කන්ඩායම් සඳහා අවශ්‍ය වූයේ සමාජ ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. නමුත් ගොවි කම්කරු යන සමහර කණ්ඩායම් ධනපතින්ගේ සුරා කෑමට ලක්වූවෝ වූහ. ගැමි ගොවි ඡන්දදායකයින් ග්‍රාමීය විමුක්තිය ලබා ගැනීමේ අරමුණින් 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත් කරවීම සඳහා සහයෝගය දෙන ලදී. ගැමි ඡන්දදායකයින්ගේ අරමුණ වූයේ අලූතින් බලයට පත් ආණ්ඩුව විශේෂයෙන් වඩාත්ම ගොවි-ගැටලූ කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි යන්නයි. ධනවාදය සහ සමාජවාදය මිශ්‍ර වූ ප්‍රතිපත්තියක් මහජන එක්සත් පෙරමුණ විසින් ගෙන යන ලදී. එනම් අතරමැදි වූ ප්‍රතිපත්තියකි. 1956 බලයට පත් ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූයේ පිලිප් ගුණවර්ධන මහතායි. එතුමා දැඩි ලෙස සමාජවාදී අදහස් දැරුවෙක් විය. අඳ ගෙවි ගැටලූව සමාජයේ විශාල ගැටලූවක් වී තිබු හෙයින් සමාජවාදය හරහා අඳ ගොවියාගේ විමුක්තිය ඇති කරලීමට අවශ්‍ය විය. 1958 අංක 01 දරණ කුඹුරු පනත නිර්මාතෘ ලෙස පිලිප් ගුණවර්ධන මහතා හදුන්වයි. එතුමා ග්‍රාමීය කෘෂිකාර්මික අංශය තුළ ප්‍රතිසංස්කරණ සිදු කර නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ගැනීම සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම ද සිදු කරන ලදී. අඳ ගොවි ක්‍රමය නිසා අඳ ගොවියා තම නිෂ්පාදන කටයුතුවලට ඇති උනන්දුව අඩු බවක් දක්වයි. එයට හේතු වශයෙන් ඉඩම් භුක්තිය ස්ථීර නොවීම සහ අයිතිය ඛෙදීයාම නිසා ඉඩම් කැබලිවලට කැඩීයාම යන ගැටලූ දැක්විය හැකිය. මේවාට විසඳුම් සෙවීම කුඹුරු පනත නිර්මාණය වීමේ හේතු සාධකයෝ විය. 1953 කුඹුරු පනත යටතේ අඳ ගොවියා ආරක‍ෂා කිරීම සිදු වූව ද යථාර්ථ වශයෙන්ම සිදු වූයේ ඉඩම් හිමියා ආරක‍ෂා කර දීමයි. මෙම අසාර්ථකත්වය තුළ නැවත වරක් හිස ඔසවන 1958 කුඹුරු පනත හරහා බලාපොරොත්තු වූ මූලික අරමුණ සාර්ථක වූයේ දැයි සාකච්ඡා කළ යුතු වේ.


වර්ෂ 1958 අංක 01 දරණ කුඹුරු පනතේ මූලික අරමුණු[සංස්කරණය]

කුඹුරු ගොවිතැන් කරන අඳය ගොවින්ගේ අඳය සුරක‍ෂිත කරවීමටත්, අඳය ගොවීන් විසින් කුඹුරු හිමියන් හට ගෙවිය යුතු බද්ද නියම කිරීමටත් ගොවි කුලී කරුවන්ගේ කුලිය ගොවි කාරක සභා මගින් නියම කරවීමටත්, කුඩා කුඹුරු ඒකාබද්ධ කරවීම, වී ගොවිතැන සඳහා සමූහ ගොවිපලවල පිහිටුවීම, වී ගොවිතැන් කරන්නන් හට දෙන ණය පොලිය ප්‍රමාණ කිරීම හා වී ගොවිතැන් කරන්නන් විසින් කුලියට ගන්නා උපකරණ හා මී හරකුන් සඳහා ගෙවන ගාස්තු ප්‍රමාණ කිරීම සැලැස්විමටත්, ගොවි කාරක සභා පිහිටුවීමට විධිවිධාන සැලැස්වීමටත් එවැනි කාරක සභාවන්හි බලතල හා යුතුකම් නියම කිරීමටත්, ගොවි ජන සේවා කොමසාරිස්වරයා වෙත ඇතැම් බලතල හා යුතුකම් ප්‍රදානය කිරීමටත්, වර්ෂ 1946 අංක 32 දරණ වාරිමාර්ග ආඥා පනතෙහි අර්ථානුකූලව වෙල් මුලාදෑනින් හට දීමනා ගෙවීමේ කුඹුරු හිමියන්ගේ වගකීම් අවලංගු කිරීමටත්, ලංකාවේ රට වැසියන් නොවන අයට කුඹුරු සතු කර දීම පාලනය කිරීමටත්. වර්ෂ 1953 අංක 1 දරණ කුඹුරු පනත අවලංගු කිරීමටත්, ඉහත කී කරුණු සම්බන්ද වූ හෝ අදාළ වු කරුණු විධිවිධාන සැලැස්වීමටත් පනවනු ලබන පනතකි.


1958 පෙබරවාරි 11 වන දින පනත සඳහා අනුමැතිය ලබා දී ඇති අතර වර්ෂ 1958 අංක 1 දරණ කුඹුරු පනත ලෙස මෙය හඳුන්වා ඇත. අඳ ගොවියන්ගේ අඳය සුරක‍ෂිත කිරීම හරහා රටට අවශ්‍ය කරන සහල් ප්‍රමාණය රටේම නිපදවා ගැනීම සඳහා දැනට තිඛෙන නීති රීති වෙනස් කරමින් අඳ ගොවියාට වන හිරිහැර කරදර නැති කිරීමට මූලික විධිවිධාන යෙදීම මෙම පනත හරහා සිදු විය. වර්ෂ 1948 සිටම පිළිගෙන ඇති දත්තවලට අනුව අඳේට කුඹුරු වැඩ කරන නිසා අස්වැන්න අඩු වන බව පෙන්වා දී ඇත. එයට හේතුව අඳේට වැඩ කරන ගොවියාට අස්ථීර තත්වයක් තිබීමත් කුඹුරු වගා කිරීම සහ එම කුඹුරු දියුණු කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොගැනීම ද වේ.


1956 කෘෂිකර්ම අධ්‍යක‍ෂකගේ වාර්තාවට අනුව, 1945-1946 දී ශ්‍රී ලංකාවේ කුඹුරු අක්කර ප්‍රමාණය 8,99,970 ක් වන අතර 1954-1955 වර්ෂයේ දී කුඹුරු අක්කර ප්‍රමාණය 10,31,611 දක්වා වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ අක්කරයකින් වී බුසල් තිස්දෙකක් ලැඛෙන අතර ආසියාතික අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කරන විට ලංකාවේ අක්කරයකට ලැඛෙන වී බුසල් ප්‍රමාණය අවම මට්ටමක පවතී. මේ නිසා අක්කරයකින් ලැඛෙන වී බුසල් ප්‍රමාණය වැඩි කර ගැනීම සහ අඳ ගොවියාට ස්ථීර තත්ත්වයක් ලබා දීමත් මෙම පනතේ මූලික අමරුණ බව පැහැදිලි වනු ඇත.


1958 කුඹුරු පනත ගෙන ඒමට පෙර විවිධ ප්‍රදේශවලට අනුව එක් එක් ආකාරයට අඳය සඳහා බදු නියම කර ඇති ආකාරය පනත ගෙන ඒමට පෙර පැවති අඳ මාදිලි තුළින් පැහැදිලි වේ. අඳ මාදිලින් හරහා බඳු අය කිරීමේ විවිධත්වයක් ඇති නිසා එය පොදු තත්ත්වයක් යටතට ගෙන ඒම කුඹුරු පනතේ අරමුණ විය. පනතට අනුව සමීක‍ෂණ මණ්ඩලය වෙත ආයාචනා කිරීමේ අයිතියට යටත්ව කොමසාරිස් විසින් බද්ද විනිශ්චය කළ යුතු අතර ඒ අනුව, විනිශ්චය බලපාන ප්‍රදේශයේ පිහිටි යම් කුඹුරු ප්‍රමාණයක වගා කළ එක් එක් කුඹුරු අක්කරයකින් වී බුසල් පහලොවකට නොවැඩි ගණනක් හෝ එම කුඹුරු ප්‍රමාණයේ උපදවන මුළු අස්වැන්නෙන් හතරෙන් පංගුවකට නොවැඩි කොටසක් හෝ යන මේ දෙකින් අඩු ප්‍රමාණයක එම කුඹුරු ප්‍රමාණය ගොවිතැන් කරන එක් එක් සෘතුවක් සඳහා ගෙවිය යනු බද්ද වශයෙන් නියම කළ යුතුයි.


කොන්දේසි සහිතව ඇති මෙම බදු නියම කිරීමේ තත්ත්වය මත අස්වැන්න ග්‍රාමීය මට්ටමේ සුළු ගොවීන් එකතු කර ඔවුන් තුළ සාමුහිකත්වය වර්ධනය වන පරිදි කටයුතු කිරීමට සැලැස්වීමත්, එකිනෙකාට උදව් උපකාර කිරීමට සැලැස්වීමත්, ග්‍රාමීය මට්ටමේ ගැටලූ විසඳා ගැනීමට සංවිධානයක අවශ්‍යතාවය සපුරාලීමටත්, ගොවීන්ට අවශ්‍ය කරන ගොවි උපකරණ ද්‍රව්‍ය ආදිය ලබා දීමත් ගොවි කාරක සභා තුලින් බලාපොරොත්තු වී ඇත. ගොවි කාරක සභාවලට පරවා ඇති බලතල නම්,

  1. කුඹුරු පනත ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීම.
  2. අක්කර බදු හා ජල බදු අය කිරීම.
  3. කුඹුරුවල අයිතිය සහ භුක්තිය පිළිබඳ වාර්තා සකස් කිරීමට පුද්ගලයින්ට අණ කිරීම.
  4. වී ගොවිතැන කර්යක‍ෂම සහ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් සකස් කිරීම.
  5. ඉඩම් කැබලි ඒකාබද්ධ කිරිම සහ වී ගොවිතැන සාම්බන්ධව අවශ්‍ය කටයුතු කිරීම.
  6. නීත්‍යනුකූල උරුමයකින් තොරව අඳ ගොවියා මිය ගිය විට එම අඳ අයිතිය ගොවිකාරක සභාව වෙත පරවා ගෙන ඒම කුඹුරු වෙනත් අඳ කාරයෙකුට පැවරීමේ බලය.
  7. ග්‍රාමීය මට්ටමින් සුළු වාරිමාර්ග ඉදිකිරීම සහ ඒවා නඩත්තු කිරීම.
  8. ගොවීන්ට අවශ්‍ය ජලය ඛෙදා හැරීම සහ ජලය කළමනාකරණය කිරීම.
  9. ගොවීන්ගෙන් කොටස් මුදල් අයකරගෙන ගොවි රක‍ෂණ ක්‍රමයක් ඇති කිරීම සහ අවශ්‍ය පරිදි රක‍ෂණ වන්දි ලබා දීම.
  10. අඳ ගොවීන් හා ඉඩම් හිමියන් අතර ඇතිවන ගැටුම්වලදී ඒවා නිරාකරණය කිරිමේ බලය.

යනාදියයි. ගොවිකාරක සභා සඳහා සාමාජිකයන් දොළොස් දෙනෙක් පත් වූ අතර ඉන් නවයක් ගොවින්, අඳ ගොවීන් හා කෘෂිකාර්මික, කම්කරුවන් වේ. ඉතිරි තුන් දෙනා ඉඩම් හිමියන්ගෙන් තෝරා පත් කර ගනී.

කුඩා කැබලි ඉඩම් ඒකාබද්ධ කර සමුහ ගොවිපලවල් සෑදිම ද යෝජිත පනතේ අඩංගු මූලික අරමුණකි. අඳ ගොවියාට ස්ථීර තත්ත්වයක් නොමැති වීම නිසා අනෙක් කන්නයට එම කුඹුර වැඩ කිරීමට ලැබේවි ද යන්න ගොවියා නොදැන සිටීම හේතුවෙන් අඳයට වගා කරන කුඹුරු වගා කිරීම සහ එම කුඹුරු දියුණු කිරීම සඳහා උත්සාහයක් අඳ ගොවියා විසින් නොගනි. වර්ෂ 1946 සිට පිළිගෙන තියෙන තර්කයක් නම් අඳේට කුඹුරු වැඩ කිරීම හේතුවෙන් අස්වැන්න අඩුවන බවයි. මේ නිසා සමූහ ගොවිපලවල් සෑදිම හරහා අස්වැන්න ප්‍රමාණය වැඩි කර ගැනීිමට හැකි වන බවත්, ගොවින්ගේ සාමුහික කැමැත්තට අනුව මෙය සිදු විය යුතු අතර "අපි සියලූ දෙනාම සමූහයක් වශයෙන් වැඩ කරමු" යන්න තීරණය කළහොත් එය කළ හැකි බව පාර්ලිමේන්තුවේදී පවා සාකච්ඡාවට බදුන් වූවකි.


රටට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය පිටරටින් නොගෙන මෙරටම නිපදවා ගැනීම සඳහා දැනට තිඛෙන නීති රීති වෙනස් කර අඳ ගොවීන්ට සිදු වෙන කරදර හිරිහැර නැති කිරීමට විධිවිධාන සැලැසීම කුඹුරු පනතෙහි අරමුණකි

යෝජිත 1958 කුඹුරු පනත තුළ අන්තර්ගත අරමුණු සැකෙවින් ඉහත දක්වා ඇති අතර එහි ඇති නීතිමය කරුණු මෙසේ සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

  1. 1956 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කුඹුරු ගොවිතැන් කරන අඳ ගොවියන්ගේ අයිතිය ස්ථාවර කර සුරක‍ෂිත කිරිමට පියවර ගන්නා ලදී. මෙම පනත අනුව අඳ ගොවියා යනු තමන් වෙත ඵලදාවෙන් හෝ මුදල් ප්‍රමාණයෙන් හෝ යම් සේවාවන් කීපයක් හෝ ප්‍රතිෂ්ඨාව වශයෙන් ලබා ගෙන බදු දෙන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණයන්, වැටුප් ලබන කම්කරුවන් සේවයේ යොදවා නොගෙන, තම පවුලේ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව අදාල කන්නයේ කුඹුරු සී සෑම, වැපිරීම, ඵලදාව නෙලා ගැනීම යන ක්‍රියාදාමයන්ගෙන් දෙකක නිසි පරිදි නියුක්ත වෙන තැනැත්තා ලෙස අර්ථ නිරූපණයකරන ලදී.
  2. අඳ ගොවියෙකුගේ අයිතිවාසිකම්වලට බාධා කිරීම අඳ ගොවියෙකු පහ කිරීම සහ අඳ ගොවියාගෙන් නියමිත ප්‍රමාණයට වඩා වැඩි බද්දක් ඉල්ලා සිටීම දඩුවම් ලැබිය හැකි වැරදි ලෙස දක්වන ලදී.
  3. පහ කිරීමක් නිවේදනය කළ පසුව කරන ලද පරීක‍ෂනයක තීන්දුව ප්‍රකාරව පහ වූ අඳ ගොවියෙකු යථා තත්වයට පත් කිරීමට සහ භුක්තියෙහි නැවත පිහිටුවීම උදෙසා අවශ්‍ය නෛතික පියවර සලසන ලදී.
  4. අඳ ගොවි අයිතිය පැවරීම අඳ ගොවියා උදෙසා අනුප්‍රාප්තිකයෙකු නම් කිරීම අඳ ගොවියා භුක්ති විදි කුඹුර ඉඩම් හිමියාට ආපසු දීම හා ගොවි කාරක සභාවට භාරදීම යනාදි කරුණු සඳහා විධි විධාන සලසන ලදී.
  5. වී වගා කටයුතුවල නියුක්ත වන ඉඩම් හිමි ගොවීන් අඳ ගොවීන් ඉඩම් හිමියා යොදවන කම්කරුවන් ආදීන් විසින් නිසි ඵලදාව ලබා ගැනීම පිළිබඳව නියමිත සම්මතයක් පවත්වා ගැනීමට නීතියෙන් බල කිරීම සඳහා එකී නීතිය කඩ කරන්නන් කුඹුරුවල භුක්තියෙන් බැහැර කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී.
  6. ඉඩම් හිමියාට අඳ ගොවියා විසින් ගෙවිය යුතු බද්ද ලෙස ඵලදාවෙන් හතරෙන් එක පංගුව හෝ අක්කරයට බුසල් පහලොව යන අංග දෙකෙන් අඩු ප්‍රමාණය ගෙවිය යුතු බව තීරණය කිරීමට කොමසාරිස්ට බලය පවරන ලදී.
  7. කුඹුරු ඉඩම් කළමනාකරණය, සංවර්ධනය කිරීම වැනි බලතල සහිත ගොවිකාරක සභා පිහිටුවීමට විධිවිධාන සලස්වන ලදී.
  8. නිසි අවස්ථාවල කුඹුරු ඉඩම්වල අයිතිය අඳ ගොවීන්ට පැවරීම සඳහා විධිවිධාන සැලැස්වීමට ගොවිජන සේවා කොමසාරිස්වරුන්ට සහ ගොවි කාරක සභාවලට බලය පැවරීමට කටයුතු සලස්වන ලදී.
  9. ගොවිජන සේවා කොමසාරිස්ගේ අවසරයෙන් තොරව ඉඩම් වී වගාව සඳහා හැර අන් කාර්යන් සඳහා යෙදවීම තහනම් කරන ලදී.
  10. කුඹුරු පනත යටතේ වූ පරීක‍ෂණවලදී ගන්නා ලද තීන්දුවලට එරෙහිව වූ අභියාචනා විභාග සඳහා විමර්ශන මණ්ඩලයක් ඉදිරිපත් කරන ලදී.

1958 කුඹුරු පනත ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේදී ගැටලූ ඇති වූවත් අඳ ගොවීන් මෙන්ම ඉඩම් හිමියන් ද කුඹුරු පනත හේතු කොට ගෙන පැවති ක්‍රමය වෙනසකට භාජනය විය හැකි යයි සිතීය.

1958 අංක 01 දරණ කුඹුරු පනත හා දේශපාලන මැදිහත්වීම[සංස්කරණය]

වර්ෂ 1958 කුඹුරු පනත හා දේශපාලන මැදිහත්වීම සම්බන්ධව ප්‍රවිශ්ඨ වීමට පෙර ගැමි ගොවියා මූලික කර ගෙන ගොඩනැංවුණු දේශපාලනික මැදිහත්වීමේ පසුබිම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හරහා කුඹුරු පනත සම්බන්ධ වූ දේශපාලන මැදිහත් වීම අවබෝධ කර ගැනීමට පහසු වනු ඇත. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපය සම්බන්ධ වූ ගැමි ගොවියා දේශපාලනය හා සම්බන්ධ වූයේ කෙසේද? රජරට රාජධානිය බිඳ වැටීමෙන් පසු බටහිර හා දකුණු තෙත් කලාපය දේශපාලනික සැකැස්ම ගොඩනැංවුනු බල ප්‍රදේශය විය. යටත් විජිත ජාතින්ගේ පැමිණීමෙන් පසු ක්‍රමයෙන් විකාශනයට පත් වූ ඉඩම් භුක්තිය සම්බන්ධ වූ විධි විධානයන්හිදී ගැමි ගොවියා ප්‍රධාන ස්ථානයක් ගන්නා ලදී. එනම් නිෂ්පාදන කටයුතුවල නියැලී සිටියේ ගැමි ගොවියා හෙයිනි. නමුත් ඉඩම් වෙළඳපලක් බිහි වීමෙන් අනතුරුව ඉඩම්හිමි පංතිය හා ඉඩම් අහිමි පන්තිය ලෙස ග්‍රාමීය සමාජ ව්‍යුහය තුළ පන්ති පරතරයක් ඇති විය. ගැමි ගොවියා ඉඩම් හිමි ප්‍රභූ පන්තියේ ආධිපත්‍ය මත කටයුතු කරන්නෙක් බවට පත් විය. රට පුරාම මැලේරියා වසංගතයක් ඇති වූ යුගයේදී වාමාංශික ව්‍යාපාරයේ සාමාජිකයන් පහතරට තෙත් කලාපීය තුළ ගැමි ගොවීන්ට, කුලයෙන් පහත් පුද්ගලයන්ට ආදී වශයෙන් කිසිදු බේදයකින් තොරව වෛද්‍ය පහසුකම්, ආහාරපාන, ආදින්ගෙන් උදව් උපකාර කරන ලදී. මෙම තත්ත්වය තුළ ප්‍රභූ පන්තිය හා මෙම රැඩිකල්වාදී තරුණ පිරිස් අතර ගැටුමක් ඇති වූ අතර මෙහිදී ගැමි ගොවි පිරිස් රැඩිකල්වාදී තරුණ පිරිස් වටා ඒකරාශී වන්නට පටන් ගැනිණ. මේ නිසා ඉඩම් හිමි ප්‍රභූන්ගේ ආධිපත්‍ය මත මේ ගැමි ගොවියා හා ඉඩම් හිමියා අතර පැවති සබඳතාවය ක්‍රමයෙන් දුර්වලවීමට පටන් ගැනිණ. ගැමි ගොවින්ගේ ඒකරාශි වීම ක්‍රමයෙන් දේශපාලන මුහුණුවරක් කරා ගමන් කෙරිණ. ගැමි ගොවින් තම විමුක්තිය වෙනුවෙන් පෙළගැසෙන බව දැනගත් පනහ දශකයේ මැතිවරණ අපේක‍ෂකයින් නාගරික කම්කරුවාට මෙන්ම ග්‍රාමීය ගැමි ගොවියා කෙරෙහි ද අවධානය යොමු කරන්නට පටන් ගන්නා ලදී. ධනවාදය හා සමාජවාදය අතර පැවති අතරමැදි තත්වය අනුගමනය කළ බණ්ඩාරනායකයන් 1956 බලයට පත්වන විට ඔහුගේ පංචමහා බලවේගයන් තුළට ~~ගොවි~~ යන බලවේගය ද එකතු කර ගෙන සිටි බව දක්නට පුළුවන් විය. ගැමි ගොවියා තුළ පැවති ප්‍රධාන ගැටලූවක් වන අඳ ගොවි ක්‍රමය වෙනසකට ලක් කිරීම සඳහා එවකට රජයේ කෘෂිකර්ම ඇමතිවරයා වූ දැඩි සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ පිලිප් ගුණවර්ධන මහතා 1958 කුඹුරු පනත ගෙන එන ලදී.


1957/58, සැප්තැ-දෙසැ. පාර්ලිමේන්තු සැසි වාර්තාවට අනුව එම්.පී. ද සොයිසා පවසා සිටියේ පනත හරහා ගොවි ජනතාවට විශේෂ වාසියක් සැලසෙන හෙයින්, ආණ්ඩවු මහජන ආණ්ඩුවක් නොවන බව කිව නොහැකි බවත්, සමාජවාදය කරා ගමන් නොකරනවා යයි කිව නොහැකි බවත්, ගොවි-කම්කරු ආණ්ඩුවක් ඇති කිරීම සඳහා මූලික තොරතුරු ගෙන නොමැති බවත්, කිව නොහැකි බවයි. මෙයින් පැහැදිලි වශයෙන්ම කුඹුරු පනත හා බැදි ඇති දේශපාලනික මැදිහත්වීම පැහැදිලි වේ.


කුඹුරු පනත නිර්මාණය වන්නේ ගොවි-කම්කරු ආණ්ඩුවක් සෑදීම මුල් කරගෙනයි. 43-44% පමණ වූ ගොවීන්ගෙන් 28% පමණ අඳ ගොවීන් වේ. ඔවුන්ගේ අසරණ තත්වයට පිළියම් යොදන්නට උත්සහ ගනු ලබන්නේ මැතිවරණ සමයන්වලදී පමණක් වීම පුරුද්දකට යාමක් වැනිය. අසරණ ගොවින්ගේ ඡන්ද වටිනාකම දන්නා මැති ඇමතිවරු අඳ ගොවීන්ට ඔවුන්ගේ තත්ත්වය පෙන්වා දී ඊට පිළියම් ද යම්තාක් දුරකට පෙන්වා දෙන නමුත් ඒවා ප්‍රායෝගිකව, අඛණ්ඩව ගෙන නොයන ක්‍රියාමාර්ගයන් බවට අවසානයේ පත් වේ. පී.ෙජ්.සී. මුණසිංහ මන්ත්‍රිවරයා පැහැදිලිවම පවසා සිටියේ ඔහුට අඳ ගොවීන්ගේ සහයේගය ලැබුණු බවයි. "අඳ ගොවීන්ගේ සහයෝගය පසුගිය ඡන්ද විමසීමේදීත් මේ ඡන්ද විමසීමේදී මට ලැබුණු බව විශේෂයෙන් මතක් කරන්නට ඕන. සුප්‍රිම් උසාවියේ මට විරුද්ධව ඡන්ද පෙත්සම ...."


මේ පිළිබඳව බැලූවොත් පෙනී යන්නේ අඳ ගොවියාගේ ඡන්දය ලබා ගැනීමේ අපේක‍ෂාව දේශපාලනඥයන් සතුව පවතින බවයි. අඳ ගොවීන්ට උදව් උපකාර ලබා දෙන්නේ ද ඡන්දය ලබා ගැනීමේ අපේක‍ෂාවෙන්ම බව ද පැවසිය හැකිය. අඳ ගොවියාට තමන් සතුව ඇති ඡන්දය කා හට ලබා දිය යුතු ද යන්න උභතෝකෝටික ගැටලූවකි. හේතුව ඉඩම් හිමි ප්‍රභූන් විසින් ඔවුන්ට කරදර හිරිහැර කරන බැවිනි. කුඹුරු පනත නිර්මාණය කිරිමේදී පිලිප් ගුණවර්ධන මහතාගේ අරමුණ බලයේ රැදී සිටීමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීම බව සිතිය හැකිය. පනත හරහා අඳ ගොවින්ගේ සියලූම ඡන්දයන් තමන් වෙත ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන්නට ඇත.


හොරණ සාගර පලන්සුරිය මන්ත්‍රීවරයාට අනුව කුඹුරු පනත හරහා එන වාසි වශයෙන් පෙන්වා දෙන්නේ, "පිටිසර පළාත්වල ජනතාව "අපිත් ආණ්ඩු කරනවා" වශයෙන් ආණ්ඩුව සමඟ සෘජුවම සබඳකම් පවත්වන්නේ මෙම පනත හරහායි. පාලක කොටස සාමාන්‍ය ජනයා යන දෙපිල නැති කර ඒ පරතරය සම්බන්ධ කර තමන්ගේ ගම්වල තමන්ගේ කටයුතු තමන් විසින්ම පාලනය කර ගැනීම නිසා "අපිත් ආණ්ඩුවේ කොටසක්ය"යන හැගීම මේ ගොවි සභා මගින් ගම්බද ජනතාව තුළ ඒකාන්තයෙන්ම ඇති කරවන්නට ඉඩ තිඛෙනවා. එම නිසා පාලනය කිරීමේ බලය කෙලින්ම ජනතාව අතට දෙන පනතක් හැටියට මෙය පිළිගත හැකිය."


සමාජවාදී ආණ්ඩුවට පක‍ෂව කතා කරන ඔහුගේ අදහස්වල ගැබ්ව ඇත්තේ පනත හරහා ගොවි ජනතාවට පවතින ආණ්ඩුව තුළ ප්‍රධාන ස්ථානයක් පවතින බවයි. ගොවි ජනතාවගේ ඡන්දය තුළින් බලයේ රැදී සිටීමට පාලන පක‍ෂයට හැකියාව ලැඛෙන්නේය. "අපිත් ආණ්ඩු කරනවා"යනුවෙන් ආණ්ඩුව සමඟ ගැමි ගොවියාට සෘජුවම සබදකම් පැවැත්වීමට කුඹුරු පනත උපකාරී වී ඇත්නම් පනත සඳහා බොහෝ දෙනා බියක් දැක්වූයේ ඇයි ද යන ගැටලූව මතු වේ. ග්‍රාමීය කොටස් හා රාජ්‍ය පාලනය අතර මනා සබඳතාවයක් ඇති වූ කළ ගොවීන්ගේ වුවමනා එපාකම් සැපිරීමට සෘජුවම පාලකයන් විසින් ක්‍රියාමර්ග ගැනීමට ද, ගොවින්ට ඒ සඳහා බලපෑම් කිරීමට ද අයිතියක් ඇත. නමුත් තමන් හුරු පුරුදු වූ ජීවන රටාව වෙනස් කිරීම ඉතා අමාරු කාර්යක්ය යන උපකල්පනයේ සිට බලන කළ අඳ ගොවීන් ඉඩම් හිමිකරුවන් හා වෙනත් පාලකයන් හා පවතින සබඳතාවය සෘජු සමීප සබඳතාවයක් බවට පත් කිරීම එතරම් ලේසි කාර්යක් නොවේ. මාක්ස්ගේ වාදය, ප්‍රතිවාදය හා සහවාදය තුළදී සහවාදමය තත්ත්වයක් අඳ ගොවින්ගෙන් බලාපොරොත්තු වීම අමාරු කාර්යකි. එයට හේතුව අඳ ගොවීන්ට සාම්ප්‍රදායික ලෙස තමන් පවත්වා ගෙන ආ ජීවන රටාවෙන් මිදීමට නොහැකි බැවින් හා ඉඩම් හිමියන් හා බද්ධ වූ සමීප සබඳතාවය හේතුවෙනි. නමුත් කුඹුරු පනත හරහා පිලිප් ගුණවර්ධන ඇමතිවරයා බලාපොරොත්තු වූ සෘජු අදහස නම් දේශපාලන බලය තහවුරු කර ගැනීම විය හැකිය.


ගොවිකාරක සභාවලට වැඩි බලතල පැවරීම හරහා කොමිටිය හා අඳ ගොවියා අතර ඉඩම් හිමියා හා අඳ ගොවියා යන සබඳතාවයට වඩා බද්ධ වූ සබඳතාවයන් ගොඩනැංවෙන බව පැහැදිලිය. ඒ තුළ ගොවියාට සාර්ථක මෙන්ම අසාර්ථක ප්‍රතිඵලයන් ද බොහෝමයක් විය. මේ පිළිබඳ අදහස් දක්වන විවිධ පුද්ගලයින් දක්වා සිටින්නේ ගොවි කාරක සභාව හරහා රජය කුඹුරු අල්ලා ගැනීමක් සිදු කරන බවයි. කුඹුරු පනතේ දහවන වගන්තියට අනුව උරුමයක් නොමැති වූ විට ගොවි කාරක සභාවට එම අයිතිය පැවරේ. 13(1) උප වගන්තියට අනුව ගොවියාගෙන් පසු අයිතිය තැනට ලබාදෙන්නේ ද යන්න පිළිබඳව ද කොමිසම හරහා තීරණය කළ හැකි තත්වයක් ඇත. 20(1) වගන්තියට අනුව ගොවිතැන අසතුටුදායක නම් සුපරීක‍ෂක ආඥාව බලපාන අතර අඳ ගොවියා අස් කිරීමට කොමිටියට බලය ඇත.


ඉහත සඳහන් ආකාරයට ගොවි කාරක සභාව වෙත ඇති වරප්‍රසාද හරහා සියලූ බලතල එම නිලධාරීන් අතට පත් වීම තුළ කෘෂිකාර්මික අමාත්‍යවරයාට අඳ ගොවීන් පාලනය පහසු වනු ඇත. අඳ ගොවීන් එලවා දැමීම, උරුමයෙන් පසු වෙන අයෙකු පත් කිරීම ආදී බොහෝ වරප්‍රසාද ගොවි කාරක සභාව වටා ඒකරාශී කිරීමේ අරමුණ කුමක්ද යන ගැටලූව මතු වේ. 56 වන වගන්තියට අනුව ගොවිකාරක සභාවට කුඹුරු අනිවාර්යෙන්ම අත්කර ගැනීම ද සිදු කර ගත හැකිය. අවුරුද්දකට වරක් පත් වන ගොවි කාරක සභාවට කෘෂිකර්ම අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි නිලධාරීන් දැමීම ද සිදු කළ හැකිය. මෙමගින් පෙනී යන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ගොවි කාරක සභාවේ ස්වභාවය වෙනස් වන බවයි. ඒනිසා සැබවින්ම කුඹුරු පනත හා දේශපාලනික මැදිහත්වීම මහජන සුභ සිද්ධිය වාගේම දේශපාලඥයන්ගේ සුභ සිද්ධිය සඳහා ද නිර්මාණය වූවක් බව පැහැදිලි වේ.


සමූහ ගොවිපලවල් සැදීම හරහා වන්දි නොගෙවා කුඹුරු රාජ සන්තක කරගනිවි යන බිය මහජනයාට ඇති විය. කෝට්ටේ ඩී.බී.ආර්. ගුණවර්ධනමන්ත්‍රීවරයා කියා සිටියේ "සමූහ ගොවිපලවල් සෑදයි යුතුයි. විශාල ගොවිපලවල් කෙලින්ම රජයට ගන්නට ඕනෑ...." සමූහ ගොවිපලවල් රජයට ගැනීම හරහා ගැමි ගොවියා කුලී කම්කරුවෙකු බවට පත් වේ. ඉඩකඩම් ඇති මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මේ සඳහා විරුද්ධතාවය පල කරන ලදී. ඒ ඔවුන්ගේ ඉඩම් ද රජයට හිමි වේ යැයි යන බියෙනි. එසේම විහාරස්ථාන, පල්ලි ආදියට අයත් විශාල ඉඩම් එක්කාසු කිරීමත් කොමිටිය හරහාම සිදු විය. මේ අනුව පැහැදිලි වන්නේ කුඹුරු පනත හරහා වක්‍රාකාරව රජය ඉඩම් එක්කාසු කිරීමකි. අඳ ගොවින්ගේ දුක්ඛිත තත්වයට ද හේතුව ඉඩම් හිඟකමයි. නමුත් පවතින ඉඩම් ද රජයට පරවා ගැනීම හරහා ගොවියා ප්‍රතිසංස්කරණ හරහා විමුක්තිය ලබා ගත් බව පැවසීමට නොහැකිය. කිසියම් අයුරකින් හෝ අඳ ගොවියාට පිහිටට සිටි ඉඩම් හිමියන් අඳ ගොවින් එලවා දමන විට කුඹුරු පනත හරහා පූර්ණ වශයෙන්ම අඳ ගොවියා ආරක‍ෂා කරනවා යන දේශපාලන රැවටිල්ලකට අඳ ගොවියා හසු වී ඇත. කුඹුරු පනත ගොවිරාලගේ විනාශයට හේතුවක් බව ඇතැම් විචාරකයෝ පෙන්වා දී ඇත්තේ එබැවිනි. පාරම්පරික ක්‍රමයට අනුව වරක් තම කටයුතු අතපසු කළ ගොවියෙකු ඉන් පසුත් නැවතත් හොඳින් වැඩ කිරීමට පොරොන්දු වීමෙන් ඒ කුඹුරු වගා කිරීමට නැවත ලබා ගත හැකිය. එහෙත් ගොවීන්ට ඇති අයිතිය මුළු ජීවිත කාලයටම නැති වීමට කුඹුරු පනත ඉඩ සලසා ඇත.


යෝජිත පනත නීතියක් බවට පත් කිරීමෙන් අනතුරුව ඉහළ සිට පහළ කොමිටිය දක්වා සියලූ දෙනාම කෘෂිකර්ම ඇමතිවරයාගේ ආඥාවට යටත් විය යුතුය. කුඹුරු පනත තුළ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අදහස හොඳ වෙතොත් පමණක් අඳ ගොවියාටත් අයිතිය සුරක‍ෂිත කර ගැනීමට හැකි වේ. නමුත් සත්‍ය වශයෙන්ම වූයේ ගොවියාගේ ජීවිතය අවුල් වීමකි. පනත අසාර්ථක වීමට හේතුව ද දේශපාලන සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන නොයෑමයි. අඳ ගොවි පනත ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේ දී ගැටලූ ඇති වූවද ඊටත් වඩා ක්‍රියාත්මක නොවීමට හේතුව වූයේ එහි නිර්මාතෘවරයා වූ පිලිප් ගුණවර්ධන මහතා ඇමති ධූරයෙන් ඉවත් වීමයි. කෘෂිකර්ම හා ආහාර ඇමති වශයෙන් කටයුතු කළ පිලිප් ගුණවර්ධන මහතා වරෙක මෙසේ සඳහන් කර ඇත.


"ආහාර නිෂ්පාදනය අපේ ජනගහනයෙන් බහුතරයන්ගේ ජීවිතයට කෙලින්ම සම්බන්ධ වන කාර්යේ දී මීට ඉඳුරා වෙනස් ප්‍රශ්නවලට මුහුණ දී විසදිය යුතුය. දුප්පත්කම ණයගැතිභාවය වැඩවසම් සම්බන්ධතාවයන් ආදියේ සිට ණය අවශ්‍යතා විද්‍යානුකූල ශිල්පි ක්‍රම හා තාක‍ෂණික හා අලෙවි පහසුකම් ආදිය දක්වා විහිදෙන මෙම ප්‍රශ්න පර්යේෂණාගාරවල, සංඛ්‍යා ලේඛනයින්ගේ කාමරවල, පරිපාලකයින්ගේ කාර්යාලවල ප්‍රචාරන ෆෆෆ මෙන්ම ගේන බිම්වල හා ෙක‍ෂ්ත්‍රවලදීම විසදිය යුතුයි." මේ සැලැස්ම හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග පැහැදිලිවම එළි දක්වා තිබු නමුත් විධිමත්ව ක්‍රියාවේ යෙදවීමට ද පුළුවන් නොවූ හේතු ද පැවතිණ. ප්‍රධාන වශයෙන්ම 1959 සිදු කළ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය නිසා සම්පූර්ණයෙන්ම මෙම වැඩපිළිවෙලවල් ඇණ හිටින ලදී. ඊට අමතරව,


  1. දේශීය කෘෂිකර්ම අංශයේ සංවර්ධනයට සම්බන්ධ රජයේ වැදගත් දෙපාර්තමේන්තු කෘෂිකර්ම හා ආහාර අමාත්‍යංශය හා ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය වශයෙන් අමාත්‍යංශ දෙකක් යටතේ ගොනු වීමෙන් ඒවා අතර සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමට නොහැකි වීම.
  2. දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටම්වලින් සම්බන්ධීකරණ සංවිධාන උපක්‍රමයක් නොමැති වීම.
  3. මෙම මට්ටම්වලින් ප්‍රගතිය සම්බන්ධයෙන් වගකිව යුතු මෙහෙයුම් අධිකාරයක් නොමැති වීම.
  4. ජාතික මට්ටමින් ප්‍රගතිය සමාලෝචනය කිරීම පිණිස සංවිධාන උපක්‍රමයක් නොමැති වීම.

යන කාරණා නිසා කුඹුරු පනත ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේදී මූලික ඉටු කරගත නොහැකි විය. ඉහත සඳහන් කාරණා සඳහා පිලියම් යෙදීමට අවස්ථාව තිබුණත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය නිසා එය ක්‍රියාත්මක නොවිණි. මෙයින් පැහැදිලි වනුයේ දේශපාලනය හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන් අතර ඇති අඛන්ඩ සබඳතාවයි. දේශපාලනික බල ව්‍යුහයන් බිඳ වැටුණු කල්හි ප්‍රතිසංස්කරණයෝ ද අතරමග ඇණ හිටින බව කුඹුරු පනත අධ්‍යනය තුළින් පැහැදිලි වනු ඇත.

1958 කුඹුරු පනත සම්බන්ධ විවේචන[සංස්කරණය]

වර්ෂ 1958 කුඹුරු පනත ක්‍රියාවේ යෙදවීමට පෙර සිටම ඒ හා සම්බන්ධ විවේචන ඉදිරිපත් විය. පනත සම්බන්ධ වූ විධිවිධාන සම්බන්ධව දේශපාලනික, සාමාජීය වශයෙන් ඒ සඳහා විවේචන ඉදිරිපත් විය. දේශපාලනික වශයෙන් ගත් කළ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව තුලින් කුඹුරු පනත ක්‍රියාවේ යෙදවූ අතර ඊට විරුද්ධව විපක‍ෂය තුළින් පනතේ විධිවිධාන සම්බන්ධව පක‍ෂව විපක‍ෂව විවේචනයන් ඉදිරිපත් කරන ලදී. සාමාජීය වශයෙන් ඉඩම් හිමි ධනපති පංතිය විසින් විවේචනයන් ඉදිරිපත් කර ඇති අතර කුඹුරු හිමියන්ගේ අදහස් රැගෙන සංවිධාන පිහිටුවා ගනිමින්, පුවත්පත් හරහා මහජනයා වෙත එම අදහස් ව්‍යාප්ත කරන ලදී. උදාහරණයක් ලෙසට "ගැමි හඬ"පුවත්පත හරහා කුඹුරු හිමියන්ගේ අදහස් මත කුඹුරු පනත ක්‍රියාවේ යෙදවීමේදි ඇති අවාසිදාකයක තත්ත්වයන් පෙන්වා දී ඇත. "ගොවිරාලගේ විනාශයට තුඩ නවීන කුඹුරු පනත" "බද්දට වගා කරන ගොවියාට සිදුවන විපත" වශයෙන් කුඹුරු පනත සම්බන්ධව පැමිණි විවේචන පැවතිණ. මේවාට මූලික හේතුව වන්නේ ප්‍රතිපත්ති සැකසීමේදී බාහිරට පෙනෙන්නා වූ සිදුවීම් සඳහා පමණක් පිලියම් යෙදීමට පියවර ගැනීමයි. සමාජ, දේශපාලන, සංස්කෘතික ආදී වශයෙන් අඳ ගොවියාගේ සමාජ ව්‍යුහයේ පැවැත්ම දෙස අවධානය යොමු කර නැත. ගැමි ගොවියාගේ අභ්‍යන්තර ජීවන රටාව පිළිබඳ ප්‍රතිපත්ති සකසනනන්ට අවබෝධයක් නොතිබීමත්, සෘජු පරමාර්ථයට වඩා වක්‍ර පරමාර්ථයන් සපුරා ගැනීමට යාමත් කුඹුරු පනත අසාර්ථක වීමට හේතු වී ඇත.


1958 වර්ෂයේදී කුඹුරු පනත සම්මත වූවත් ඉඩම් හිමියන් විසින් අඳ ගොවීන් අස් කරයි යන බිය හේතුවෙන් 1956 අප්‍රේල් 12 වන දා සිට වැඩ කළ ගොවීන් වෙත මෙම පනත ක්‍රියාත්මක විය. 1958 කුඹුරු පනතේ එක් අරමුණක් වන්නේ 1953 කුඹුරු පනත අවලංගු කිරීමයි. නමුත් 1953 කුඹුරු පනත හරහා අසාධාරණයට පත් වූ ගොවීන්ට 1958 කුඹුරු පනත හරහා ආරක‍ෂාවක් නොමැත. තට්ටුමාරු ක්‍රමය, නින්දගම් ක්‍රමය ආදිය හරහා වගා කරන්නන්ද මෙයට අයත් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට කුඹුරු ඛෙදී යාම හේතු කොට ගෙන තට්ටුමාරු ක්‍රමයට අනුව වගා කරන වගා කරුවෙකුට නැවත එම කුඹුර වගා කිරීම සඳහා එන කාලය විවිධ වීමට පුළුවනි. සමහර විට වසර විස්සකට තිහකට පසුව විය හැකිය. එවැනි ගොවි මහතුන් කුඹුරු පනතට හසු නොවේ. ඉඩම් හිමියන් වෙතින් එල්ල විය හැකි බවට කල්තියා බලාපොරොත්තු වූ මෙම ප්‍රහාරය ජය ගැනීමේ අටියෙන් 1956 අප්‍රේල් 12 වන දිනට පසුව පනත ක්‍රියාවේ යෙදුවත් ඉඩම් හිමියන් තමන්ට රිසි වූ පරිදි ගොවීන් තම ඉඩම්වලින් පලවා හරිනු ලැබ ඇත. 1959 දෙසැම්බර් මාසය වන විට ගොවිජන සේවා කොමසාරිස්වරයා වෙත ලැබී තිබුණ පැමිණිලි සංඛ්‍යාව 14500 ක් පමණ විය. 1960 වන විට අඳ ගොවීන් 18000 ක් පමණ නෙරපා හැරිය බව පැමිණිලි ලැබී ඇත. 1958-1972 අතර කාලය තුළ ඉඩම් හිමියන් විසින් අඳ ගොවීන් 43134 ක් නෙරපා හැරිය බවට පැමිණිලි ලැබී ඇති අතර පැමිණිලි කළ නඩුවලින් අඳ ගොවියාට අඳ අයිතිය ලබා ගැනීමට හැකි වී තිඛෙන්නේ 25% කට පමණි. මෙය ද සුළු පිරිසකගේ පැමිණිලි පමණකි. ඉඩම් හිමියන්ට ඇති බිය නිසා වැඩි හරියක් පැමිණිලි නොකරන ලදී. අඳ ගොවින් ඉවත් කිරීම සම්බන්ධව උසාවිවලදී ඉඩම් හිමියන් දක‍ෂ නීතිඥයන්ගේ සහාය ලබා ගනිමින් කුඹුරු පනතේ පැවති සමහර වගන්ති තමන්ගේ වාසියට හරවා ගන්නා ලදී. එනම්,


අ.සිය පවුලේ කවර අයෙකුට හෝ වගා කිරීම සඳහා කුඹුර අවශ්‍ය වීම. ආ.භුක්තිය පොළීවරා උකස් හිමියාට භාරදීම. ඇ.අඳ ගොවියා ඕනෑකමින් කුඹුර ගැන සැලකිල්ලක් නොදැක්වීම හා ඊට අනල්ප හානි සිදු කිරීම.


ආදිය තම වාසියට ගෙන අඳ ගෙවීන් කුඹුරුවලින් පලවා හැර ඇත. ගොවිකාරක සභා පිහිටුවීම සම්බන්ධව ද බොහෝ දෙනෙකු විරුද්ධ අදහස් ගෙන එන ලදී, එයට හේතුව නම් පළමු වරට පරිපාලන කටයුතු සම්බන්ධව ගොවීන්ට වගකීම් පවරා දීමයි. ගොවිකාරක සභාවලට අසීමිත ලෙස බලතල ලබා දීම සහ සියයට විසිපහකගේ ඉඩම් හිමි සාමාජිකයින් මේ සඳහා බඳවා ගැනීම හරහා විශේෂයෙන්ම දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමට හැකිවී ඇතැයි විචාරකයන්ගේ අදහස විය. පාර්ලිමේන්තු සැසි වාර්තා හරහා සාගර පලන්සුරිය මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉඩම් හිමියන්ගේ 25% සිටින නමුත් 75% ගොවි ජනතාව සිටින නිසා ප්‍රගතිගාමීන් මැඩ පැවැත්වීමට හැකියාව තිබේ යන්නයි. නමුත් අඳ ගොවියා හා ඉඩම් හිමියා කාලයක් තිස්සේ බද්ධව වැඩ කරන නිසා ඔවුන් තුළ ඇති වී ඇති සමාජ ධූරාවලිගතභාවයන් සමඟ නිතැතින්ම ඉඩම් හිමියන් සුළු පිරිස ඉදිරියේ පවා හිස එසවීමට ගොවීන් බියක් දක්වනු ස්ථීරය. ගොවිකාරක සභාවට ඇති බලතල ඉදිරියේ ගොවියා කුඹුරේ කුලී කම්කරුවෙකු බවත් පත් වේ. නමුත් මෙවැනි ආකාරයේ සංවිධානයක් පිහිටුවීම හරහා ගොවීන් හටත් තමන්ට යම්කිසි අත්වැලක් ඇති බැව් පසක් වනු ඇත. ඔවුන්ට හඬත් නඟන්නට මාර්ගයක් මේ තුළින් නිර්මාණය කර ගත හැකි වේ. වෘත්තීය සංගම් ආදිය පිහිටුවා ගත හැකි බව ද පෙන්වා දිය හැකි නමුත් මේවා ප්‍රායෝගිකත්වයෙන් යුක්ත ද යන්න පිළිබඳ ස්ථීර වචනයක් දිය නොහැකිය.


සමූහ ගොවිපලවල් සෑදීම කළ යුත්තේ කුමක් පදනම් කර ගෙන ද යන්න ගැටලූවකි. එනම් කුඩා ඉඩම් කැබලි එක් කොට සමූහ ගොවිපලවල් සෑදීම හරහා අඳ ගොවියාට ලැඛෙන සෘජු ප්‍රතිලාභය කුමක්ද? ගොවීන්ගේ සාමූහික කැමැත්ත මත සමූහ ගොවිපලවල් නිර්මාණය වන බව පැවසුව ද ග්‍රාමීය ගොවීන් හට ඉහළ සමාජයේ ප්‍රභූන් විසින් ගෙන එනු ලබන තීන්දු තීරණ සඳහා විරුද්ධ වීමට හැකියාවක් තිබේද? යන ගැටලූව පැන නගී. එබැවින් සෑම විටම ඉහළ ප්‍රභූන් විසින් ගන්නා තීරණවලට හිස නැවීමට ගැමි ගොවියාට සිදු වේ. ඩී.බී. ආර්. ගුණවර්ධන මන්ත්‍රීවරයාට අනුව, "අඳ කුඹුරු යායක් බැලූවොත් එක්කෙනෙකුට අක්කර 1/2 නැත්නම් අක්කරයකට නැත්නම් අක්කර 2 කට වඩා නැත. අක්කර 5 බැගින් අයිති අය 2% කට වඩා නැත. කුඹුරු අක්කර 200 ක් තිබේ නම් එහි වැඩ කරන ගොවින් 150 ක්වත් සිටින නිසා ඉහළ කුඹුරේ වතුර පවා පහළ කුඹුරට ගත නොහැක. මේ නිසා සමූහ ගොවිපලවල් සෑදිය යුතුයි. විශාල ගොවිපලවල් රජයට ගන්නට ඕනෑ...."


ගොවියා රාජ්‍ය තුළ ගොවි කුලී කරුවෙකු වශයෙන් යොදවා ගැනීමට දරන උත්සාහයත් මෙයින් පෙනේ. ජනගහනය අධික වීම හරහා ඉඩම් කැබලි වීම නිතැතින්ම සිදු වන්නකි. කැබලි වූ ඉඩම් ද රජයට පවරා ගැනීමෙන් පසුව ගොවියාගේ අනාගතය කෙබඳු ආකාරයේ විපතකට මුහුණ දෙන්නට සිදු වන්නේ ද යන්න පිළිබඳ ප්‍රතිපත්ති සකස් කළ අය අවධානය යොමු කර නොමැත. කොන්දේසි සහිතව බදු නියම කිරිමේ තත්ත්වය මත අස්වැන්න ඉඩම් හිමියාට යාම වැලැක්වීමට කුඹුරු පනතින් විධිවිධාන සලසා තිබුණි. ඉඩම් හිමියාට දිය යුතු බදු මුදල තීරණය කිරීමේ අවාසිදායක තත්ත්වය පිළිබඳ වැලිමඩ කුසුමා මන්ත්‍රීවරිය දක්වා ඇති අදහස්වලට අනුව අඳ ගොවියාට කුඹුරු පනත ගෙන ඒමට පෙර පැවති අඳ මාදිලිවලදී ඉඩම් හිමියාගෙන් බිත්තර වී, පොහොර ආදිය ලැබුන නමුත් පනතට අනුව බිත්තර වී. පොහොර, ගොවියාට මිලදී ගැනීමට සිදු වී ඇත. වඩාත් විස්තරාත්මකව එතුමිය දක්වා සිටින්නේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව පරණ රබර් ගස් උදුරා දමා අලූතෙන් රබර් වවන්නට රජයෙන් ආධාර මුදලක් ලැඛෙන අතර රබර් ගසෙන් ප්‍රයෝජන ගනු ලබන කාලය වන තෙක් රජයෙන් රබර් හිමියාට ආධාර කරනු ලබයි. නමුත් දිළිදු බවින් යුක්තව සිටින ගොවියාට පනත ආරම්භයේ සිටම බිත්තර වී පොහොර ආදිය ලබා ගැනීමට ඇති නොහැකියාව මත නැවත වතාවක් ණය කාරයෙකු වන්නට සිදු වනු ඇත. එසේම වී අස්වැන්න යම් හෙයකින් විනාශ වුවහොත් ගොවියාට ඒ සඳහා රක‍ෂණයක් නොමැතිකම තුලින් ද අඳ ගොවියාට අසරණ තත්වයකට මුහුණ පෑමට සිදු වන්නේය. කොන්දේසි සහිතව දිවයිනටම අදාල වන පරිදි පොදු අඳ බද්දක් අය කිරීම ලේ නෑකම් සම්බන්ධතාවය, විවාහ සම්බන්දතාවය, පවුල් සම්බන්ධතාවය, සහෝදර සම්බන්ධතාවය, කුල සම්බන්ධතාවය, හිත මිත්‍ර සම්බන්ධතාවය වැනි සම්බන්ධතාවයන් මත ඉඩම් හිමියා හා අඳ ගොවියා යන සම්බන්ධතාවය පදනම්ව පැවති නිසා අඳ බද්ද සීමා කිරීම සම්බන්ධව කුඹුරු පනත ජයග්‍රහණයක් ලබා ගැනීමට අසමත් වී ඇතැයි කුඹුරු හිමයන්ගේ අදහසයි.


අඳ ගොවි පවුල්වල වෙසෙන ශ්‍රමය සපයන පිරිසට අතිරේක ජනතාවගේ රැකියා වියුක්තියට පිළියම් යෙදීම ද මේ හරහාම සිදු කළ යුතු වේ. පරිභෝජනය සඳහා වන පිරිස වැඩි වීම සිදු වූවද ආදායම ඊට සරිලන ලෙස ප්‍රමාණවත් නොවීම හේතු කොට ගෙන ගොවීන් අසරණ තත්ත්වයට පත් වේ. යෝජිත පනතට අනුව පත් කළ කොමිටිය හරහා ගොවීන් නෙරපා හැරීමේ බලයක් ඔවුන් සතු හෙියන් හිතූ තරමට වැඩ ගත නොහැකි වූ විට පලවා හැරීම සිදු වන අතර රැකී රක‍ෂා හිඟය මේ නිසා වැඩි වෙයි. රාජ්‍ය ආධාර හෝ ශ්‍රමයට සරිලන කුලියක් නොමැතිව ගොවියාගේ තත්ත්වය නඟා සිටුවන්නේ කෙසේද? මේ අනුව අඳ ගොවියාගේ තත්ත්වයට අවාසි ගෙන දෙන අවස්ථා කුඹුරු පනත තුළ බහුලව පවති යන්න පැවසිය හැකිය.


වී ගොවිතැන් කරන්නන් හට දෙන ණය පොළිය ප්‍රමාණ කිරීම හා වි ගොවිතැන් කරන්නන් විසින් කුලියට ගන්නා උපකරණ හා මී හරකුන් සඳහා ගෙවන ගාස්තු ප්‍රමාණ කිරීම සැලැස්වීමටත් යෝජිත පනත හරහා ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා ඇත. ගොවීන් හා ඉඩම් හිමියන් අතර පවතින පරතරය අවම කිරීමට කටයුතු කිරීම ද කුඹුරු පනත හරහා ක්‍රියාත්මක වූවද සමූපකාර සමිති, ණය දෙන බැංකු, හා වෙනත් ගම් මට්ටමින් ඇති සංවිධානවල ඇති අකාර්යක‍ෂම සේවය හේතු කොට ගෙන එය සිදු කළ නොහැකි මට්ටමට පත්ව ඇත. ගොවියාට ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය තුළ දී ආයතනික ණය නොලැඛෙන විට ඔහුට පිහිටට ඉන්නේ ගමේ වෙළෙන්දා හෝ ඉඩම් හිමියා පමණකි. මේ නිසා යෝජිත ග්‍රාමීය ණය දෙන වැඩපිළිවෙලවල් කාර්යක‍ෂව, ඵලදායිතාවයෙන් යුක්ත ණය දෙන ආයතන බවට පත්කර නොගන්නා තාක් කල් ග්‍රාමීය ගොවියා හා ඉඩම් හිමියා අතර පරතරය අවම කිරීමට නොහැකිය. කුඹුරු පනතේ නියම කර තිබු රෙගුලාසිවලට සාමාන්‍ය වශයෙන් හෝ අනුකූලතාවයක් දක්වා තිබුනේ දිවයිනේ අඩු ජනගහනයක් ඇති ගිණිකොන, නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශවල පමණකි. එයට හේතුව අලූතින් සංවර්ධනය වන ප්‍රදේශයන් තුළ ඉඩම් හිමියා සහ අඳ ගොවියා යන සම්බන්ධතාවයන් තුළ පැරණි සම්ප්‍රදායන් හා චාරිත්‍ර වාරිත්‍රයන් නොතිබීමත්, පහතරට තෙත් කලාපය තුළ මෙන් අධික ජනගහනයක් හා ඉඩම් හිඟයක් නොතිබීමත්ය.


කෘෂිකර්ම ඇමතිවරයා බලාපොරොත්තු වූ පරිදි කුඹුරු පනත ක්‍රියාවේ යෙදවීමෙන් පසු අස්වැන්න වැඩි කර ගැනීමට හැකිවේද? යන්න කුඹුරු හිමියන්ගේ අදහස්වලට අනුව දැනට තිඛෙන කුඹුරුවල අක්කර ගණන වැඩි නොකර එය සිදු කර නොහැකි බව පෙන්වා දෙයි. එයට හේතුව අස්වැන්න දෙගුණ කරන්නට යාම තුළ ඒ සඳහා යොදන වියදමත් දෙගුණ වූ විට ගොවියාට සිදු වන්නේ කුමක්ද? ලක‍ෂ ගණනක් ගොවීන් අතර අදක‍ෂ ගොවීන් ගණනක් ද ඇතිවීම ස්වභාවිකය. යම් ප්‍රදේශයක වැඩපිළිවෙල සුළු ගොවීන් පිරිසක් නිසා දුබල වී ඇතැයි සලකා මුළු ප්‍රදේශයම කොමිටියට භාරදීම ගොවියන් කම්කරුවන් බවට පත් කිරීම මෙම කුඹුරු පනතේ ඇති කූට පාලන ක්‍රමයක් බව කුඹුරු හිමියන්ගේ අදහසයි.


1958 කුඹුරු පනත සම්මත කිරීමෙන් පසු අඳ ගොවි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසදෙනු ඇතැයි ජනතාවගේ විශ්වාසය විය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එම අපේක‍ෂාවන් බිඳ වැටුණි. 1961 අංක 61 කුඹුරු (සංශෝධන) පනත සම්මත වීම 1958 කුඹුරු පනතේ අසාර්ථකත්වය පෙන්වා දෙන්නකි.


1958 කුඹුරු පනත වඩාත් සාර්ථක වීමට නම් රජය විසින් ගන්නා ලද ඉඩම් අඳ ගොවීන්ට නොමිලයේ පවරාදීමේ ක්‍රමයක් හෝ වගා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමිලයේ හෝ සහන මිලට ලබා දීමේ ක්‍රමයක් දියත් කළ යුතුව තිබිණි. ඉඩම් හිමියන් හා අඳ ගොවින් අතර පවතින සම්ප්‍රදායික බැදීමට බාධාවක් වූ කුඹුරු පනත නිසා ග්‍රාමීය සමාජය තුළ ඉඩම් හිමියන් හා අඳ ගොවීන් අතර අමනාපකම් වර්ධනය විය. මේ නිසා ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා කුඹුරු පනත ඉදිරිපත් කිරීමට ප්‍රථමව පවතින තත්ත්වය සම්බන්ධව ඉඩම් හිමියන් සහ අඳ ගොවීන් වෙත පැහැදිලි කිරීමක් කර දීම සිදු කළ යුතු විය. කුඹුරු පනත ක්‍රියාත්මක කිරීමට පෙර දුර්වලතාවයන් හඳුනා ගන්නේ නම් සැබෑ වශයෙන්ම අඳ ගොවියාට මෙන්ම ග්‍රාමීය ව්‍යුහය තුළ ද විමුක්තිය ඇති වීම සිදු විමට තිබිණි.

සබැඳි පි‍ටු[සංස්කරණය]

අඳ ගොවියා

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

ප්‍රාථමික මුලාශ්‍ර

  • වර්ෂ 1958 අංක 1 දරණ කුඹුරු පනත. කොළඹ: ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රකාශන.
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සැසි වාර්තාව. 1957/58 සැප්තැම්බර්-දෙසැම්බර්, කොළඹ : ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රකාශන.
  • කෘෂිකාර්මික සංවර්ධන යෝජනාවලිය 1966-1970. කොළඹ: ක්‍රම සම්පාදන හා ආර්ථීක කටයුතු අමාත්‍යංශය, 1960.
  • ගැමි හඬ පුවත්පත. 1957 අගෝස්තු, සැප්තැම්බර් කලාප.

ද්විතීක මූලාශ්‍ර

  • අබයසිංහ, ටිකිරිබණ්ඩා හේරත්. පරංගි කෝට්ටේ 1594-1612. කොළඹ: ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්, 1966.
  • අයිවන්, වික්ටර්. අඳ ගොවිතැනේ අභියෝගය. කොළඹ: සමාජය හා සාමයික කේන්ද්‍රය, 1978.