අංගම්පොර (තාවකාලික)

විකිපීඩියා වෙතින්
අංගම්පොර සටන්කරුවන් දෙදෙනෙක් කඩු හරඹයක යෙදෙන අයුරු

අංගම්පොර (දෙමළ:அங்கம்போர, ඉංග්‍රීසි: Angampora) සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මූලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා ආයුධ රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නමැති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයෝ, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටිකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳිති.


මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර ඔවුන් පිරිසිදු සිංහල (ජනවර්ගය) බෞද්ධ වීම අනිවාර්යය වේ. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගෙනුම අරඔන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙති. පුහුණුවීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ.

වදන්[සංස්කරණය]

කොරතොට අංගම්පොර සටන් කරුවන් ඔවුන්ගේ සාම්ප්‍රදායික පූජාවක යෙදෙන අයුරු

අංගම්පොර යන්නෙහි නිරුක්තිය ඇ‍ෙඟන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංග යන්නයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් ද අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.

එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සඳහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව තිබුණේ මරුවල්ලිය, සුදලිය ,පත්තිනිගේ දොන් පරම්පර්ාා.

මූලාරම්භය[සංස්කරණය]

අංගම්පොර සටන් කරුවෙකු විසින් තවත් සටන් කරුවෙකු හට හරඹයක් කොට මාරාන්තික ගැටයක් දමා ඇති අවස්ථාවක්.

ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට වසර 33000කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත.[උපහරණ ඇවැසිය] අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය. 1818 දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්විණි. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිණි. එනමුත් හෙළ සිංහලයෝ මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු වූහ.


ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිල්පීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.


පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැඳින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැඳින්වුණි. මෙම නාමය අග්‍රගණ්‍ය වික්‍රමාන්විත රණශූරයෙකු හැඳින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස් තනතුරක් වෙයි.

ආයුධ[සංස්කරණය]

අංගම්පොර සටනේ භාවිතා වන ආයුධ

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරති.

අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලැබ ඇත. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි.

වර්තමාන තත්ත්වය[සංස්කරණය]

දඩුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලරි, චීන ඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ.[උපහරණ ඇවැසිය]

මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීන ඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති.[උපහරණ ඇවැසිය] මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හඳුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ.

ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයෝ දැඩි වෙහෙසක් ගනිති.[උපහරණ ඇවැසිය]

වැඩිදුර කියවීම[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අංගම්පොර_(තාවකාලික)&oldid=602567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි