‍මිහිතල‍යේ හිමිකරුවෝ

විකිපීඩියා වෙතින්
animals


අප ජීවත්වත්වන පෘතුවිය ඇතුලු මෙම විශ්වය කෙදින, කවර ආකාරයෙන් ඇතිවුවාදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. වසර ගණනාවක් තිස්සේ සිදුවු පරිණාමන ක්‍රියාවලියේ ප්‍රතිථලයක් ලෙස අද අප ජීවත්වන පරිසරය, තුරුලතා, වන සතුන් සහ මිනිසා නම්වු උසස් මනසකින් හෙබි සත්ත්වයා බිහිවී ඇත. මේ සියල්ල සොබාදහම් මාතාවගේ අපුර්ව නිමැවුම්ය.

මෙම මිහිතලය සඳහා හිමිකම්පෑමට මිනිසාට පමණක් නොව සතුන්ටද, අයිතියක් ඇත. නමුත් සතුන්ගේ එම අයිතින් උදුරා ගනිමින්, ආක්‍රමණශීලියෙකු ලෙසින් මිනිසා කටයුතු කිරීම වර්තමානයේ බහුල ලෙස දක්නට ලැබේ. කෙසේ වුවත් මනසින් ඉතා දියුණු යැයි පැවසෙන, පුළුල් චින්තන ශක්තියකින් හෙබි සත්ත්වයා වන්නේ මිනිසා පමණි. ඩොල්ෆින්, තල්මසා, වඳුරා වැනි සතුන් තුල යම් පමණක සිතීමේ හැකියාවක් ඇතත්, අනෙක් සියළුම සතුන් තුල ඇත්තේ තම ගොදුරු සොයා ගැනීම හා ප්‍රතිවාදීන්ට මුහුණ දීම සඳහා ස්වභාවධර්මයාගෙන් ලැබී ඇති “ඉව” නම්වු දායාදය පමණි. කරුණූ එසේ වන හෙයින් වර්ෂාව, හිරු එළිය, නියඟය වැනි සොබාදහම් බලවේගයන්ගෙන් සදාකාලිකව බැට කමින් තිරිසන් සතුන් තවමත් ප්‍රාථමික යුගයක ජීවත් වෙති.

උසස් යැයි මනසකින් හෙබි මිනිසා වර්තමානයේදී ඇතැම් සොබාදහමේ බලවේගයන් පවා වෙනස් කරමින් තම ජීවිත ජයග්‍රහණය කර ඇති බව දැකිය හැක. වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් තුලින් ලෙඩ රෝග රාශියකින් ආරක්ෂාවීමේ හැකියාවක් ලැබී ඇත.තවද, තාක්ෂණයේ දිනෙන් දින ඇතිවන සීඝ්‍ර වර්ධනය තුලින් දියුණුවේ හිනි පෙත්තට ලංවීමේ හැකියාවක් අද ලැබී ඇත. මේ සියලු සාධකයන්ගෙන් හෙබි සැප පහසු වට පිටාවක ජීවත්වන මිනිසා තුලින්, සතුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් සිදුවන බව අද දැකියහැකි කණගාටුදායක තත්ත්වයකි.

මිහිතලයේ උපදින සෑම සත්ත්වයකුම මෙම අපූර්ව ධරණිතලයෙහි හිමිකරුවන් හෝ හිමිකාරියන් වන බව මිනිස් වර්ගයා වෙත යළි යළිත් අවබෝධකරවීමට සිදුව ඇත. මිනිස් ජීවිතයකට දියුණුව අත්‍යාවශ්‍ය දෙයකි. නමුත් දියුණුව කරා ගමන් කිරීමේදී උපයෝගී කරගනු ලබන ගමන් මාර්ගය අනෙක් කවරකුගේවත් ජීවිතය‍ට අනිසි බලපෑම් ඇතිකරවන්නක් නොවිය යුතුය. අති ධාවනකාරී ලෝකයක වර්තමානයේදී අප ජීවත් වන බැවින් ඇතැමුන් කෙලෙසින් හෝ මුදල් උපයා ගැනීමේ ප්‍රයන්තයක නිරතවීම විශ්මයජනක නොවේ. නමුත් දියුණු‍ව යැයි අර්ථදක්වන්නේ මිළ මුදලින් භෞතිකව සන්නද්ධ වීම පමණක්ම නොවේ. පුද්ගලයෙකුගේ සංස්කෘතිකමය, සදාචාරාත්මක සහ අධ්‍යාත්මික සංවර්ධනය දියුණුව සඳහා අත්‍යවශ්‍ය සාධකයන්ය. ස්වභාවදහම තුලින්ම බිහිවී, හැදීවැඩී, එහිම කොටස් කරුවකු වූ මිනිසා වර්තමානයේදී මුදල් සොයන්නේ ඇතැම් සතුන් මස් පිණිස වෙළෙඳාම් කිරීමෙනි. ඇතැම් තුරුලතා විනාශ කිරීමෙනි. සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මිනිස් ජීවිත සාරධර්ම අතින් විශාල සෝදාපාලුවකට ලක්වීමයි.

අතීත මිනිසා ගස්වැල්, වනසතුන් සමග සහයෝගයෙන් ජීවත්වූ බැව් පවසන සාක්ෂි කො‍තෙකුත් අපට හමුවී ඇත. නමුත් වර්තමානය වන විට මෙම තත්ත්වය වෙනස් වී ඇත. මිනිස් වර්ගයාගෙන් පැමි‍ණෙන නොයෙකුත් අතවරයන් තුලින් බො‍ෙහාමයක් සතුන්ගේ සාමකාමී ජීවිත ඉතා අවාසනාවන්ත ලෙස වැනසීයාම සිදුවේ. නිදැල්ලේ ගැවසෙන අහිංසක තිරිසන් සතෙකු දුටු විට බොහෝ මිනිසුන් තුල කෝපය, භීතිය හෝ පිළිකුල වැනි හැඟීමක් ඇතිවී හිරිහැර කිරීමට පෙළඹීම මීට ආසන්නතම හේතුවයි.

කරුණු එසේ වුවද, ඕනෑම සතෙකු හටම තම ජීවිතය නිදහසේ පවත්වාගෙන යාමේ සමාන අයිතිවාසිකමක් ඇත. නමුත් දියුණු යැයි පැවසෙන මිනිසා, එවන් අහිංසක සතුන්ගේ ජීවිත වලට ගරුකිරීම වෙනුවට මෙලෙස හිරිහැර කිරීමට ප්‍රයන්ත දැරීම තුලින් විද්‍යමාන වන්නේ මිනිස් අධ්‍යාපනයේ ඇති යම් හිස් බවකි. ශික්ෂණයකින් තෙ‍ාරව තරඟයකට පමණක් සීමා වෙමින් ලබන මිනිස් අධ්‍යාපනය ශාපයකි. එවන් අධ්‍යාපනය වනාහී, මිනිසාගේ යහපත සහ අනාගත අභිවෘද්ධිය පිණිස සැදූවක් විනා, බාහිර ලෝකය පිළිඹඳව දනවන්නක් නොවේ.

සතුන් තුල පවතින කෘතවේදීභාවය, ශික්ෂණය, සාමුහිකත්වය වැනි උසස් ගති ලක්ෂණ මිනිස් අධ්‍යාපනයටද එක්කොට ගත හැකි නම් අදට වඩා යහපත් හෙට දිනක්, උපේක්ෂාවෙන් ලෝකය දෙස බලන දෑසක්, ලද දෙයින් තෘප්තිමත් වන ජීවිතයක් අපට ලඟාකරගත හැකිය. මතු දිනක එය අනාගත පරපුරටද පූර්වාදර්ශයක් වනු නියතය.

ආදරය, කරුණාව, මෛත්‍රිය, වැනි චිත්ත ස්වභාවයන් ඇතිවීම පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස්ය. ලෝකයේ වෙසෙන සියළුම මිනිසුන් තුලින් සතුන් වෙත ආදරය සහ කරුණාව දැක්වීම අපේක්ෂා කල නොහැක.නමුත් තිරිසන් සතුන්ද මෙම මිහිතලයේ හිමිකරුවන් බවත්, ඔවුන්ගේ ජීවිත වලටද අප විසින් ගෞරව කල යුතු බවත්, කුමන හෝ අ‍ාකාරයකින් තිරිසන් සතුන් හට කරන හිංසාව පිළිකුල් සහගත දෙයක් බවත්, මිනිස් ප්‍රජාව වෙත අවබෝධ කරවිය හැකි නම් මේ මිහි තලයට දිනපතා මුසුවන සෝ සුසුම්, දුක් දෝමනස්සයන් අවම කල හැකිවනු ඇත.

ගලායන ජලයෙන් පවස නිවා ගැනීමට, මද පවනේ සිසිල විඳීමට හා සාමකාමී ලෙස ජීවත් වීමට මෙලොව වසන සෑම සත්ත්වයකුටම සමාන අයිතියක් ඇත. මෙලොව වසන බුද්ධිමත්ම සත්ත්ව කොට්ඨාශය වශයෙන් මෙම අයිතීන් සුරකිනු වස් අපට ඇති යුතුකම සහ වගකීම අවබෝධ කර ගැනීමට තරම් මානුෂික වන ලෙස සියළුම මිනිසුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

"https://si.wikipedia.org/w/index.php?title=‍මිහිතල‍යේ_හිමිකරුවෝ&oldid=471062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි