සෝවියට් රුසියාවේ සහ සෝවියට් සංගමයෙහි ඉතිහාසය (1917–1927)

විකිපීඩියා වෙතින්

"සෝවියට් රුසියාවේ සහ සෝවියට් සංගමයෙහි ඉතිහාසය" යන්නෙන් හුවා දැක්වෙන්නේ රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම මහත්වූ වෙනස් කම් සිදුවූ කාලසීමාවකි. "සෝවියට් රුසියාව “සහ "සෝවියට් සංගමය” යන පද එදිනෙදා වදන් මාලාවෙහි තුල්‍යාර්ථ වුවද, සෝවියට් සංගමයට පදනම් වැටීම පිළිබඳව අප සාකච්ඡා කරන විට, “සෝවියට් රුසියාව" යන්නෙන් අදහස් වන්නේ දෙවන නිකලස් සාර් වරයා විසින් (1917 දී) රුසියානු අධිරාජ්‍යයෙහි කිරුළ අත්හැරීමෙන් පසු හා 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට පෙර ගතවූ වසර කිහිපයයි. එහි ප්‍රතිසන්ධියෙහි මුල් අවධියෙහිදී සෝවියට් සංගමය වෙර දැරුවේ සියළු රටවල සියළු ජනයා හා සමග සුහද සම්බන්ධතා ගොඩ නැගුමටය. රාජ්‍යයෙහි මුල්ම මතවාදය සකස් වූයේ ප්‍රාථමික ලෙසින් කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රිස් එංගල්ස් යන්නන්ගේ කෘතින් පදනම් කර ගනිමිනි. මාක්ස්ගේ සිද්ධාන්තයෙහි හරය ගත් විට කියැවෙන්නේ ආර්ථික හා දේශපාපන පද්ධතීන් නොවැලැක්විය හැකි පරිණාමයකට ලක්වෙමින්, මාක්ස් හැඳින්වූ පරිදී "පරිශුද්ධ කොමියුනිස්ට් වාදය" විසින් හසුරවනු ලබන "කම්කරුවන්ගේ පාරාදීසයක " ජාත්‍යන්තර සහයෝගීතාවය හා සාමය භුක්ති විඳීමට ඉඩ ලැබීමට පෙර, වත්මන් ධනවාදී ක්‍රමය වෙනුවට සමාජවාදී රාජ්‍යයක් ජනිත වන බවකි.

1905 රුසියානු විප්ලවයෙන් පසුව සාර් වරයා විසින් සිදුකල ප්‍රතිසංස්කරණයන්හී හීන බව නිසා අසතුටට පත් රුසියාව, අරාජක වාදය, සමාජ වාදය සහ අනෙකුත් "රැඩිකල්වාදී" දේශපාලන ක්‍රමවේදයන්හී තෝතැන්නක් බවට පත් විය. ප්‍රමුඛ සමාජවාදී පක්ෂය වූ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය (RSDLP), මාක්ස්වාදී මතවාදය වැළඳගති. ව්ලැඩිමියර් ලෙනින් විසින් නායකත්වය සැපයූ බොල්ෂෙවික්වරු (වචනාර්ථය "බහුතරය") සහ ජූලියස් මාර්තෆ් විසින් නායකත්වය සැපයුනු මින්ෂෙවික්වරු (වචනාර්ථය සුළුතරය) අතර, එනම් පක්ෂයේ ප්‍රධාන නායකයන් දෙපළ අතර, 1903 න් ඇරඹී පැවති බෙදීම් මාලාව දරුණු අතට හැරෙමින් පැවතිණි. 1912 වන තුරු, කණ්ඩායම් දෙක "RSDLP" නාමය යටතේ එකමුතුව පෙනී සිටියද, ලෙනින් හා මාර්තෆ් අතර සැලකිය යුතු පරස් පර විරෝධයන් ඉස්මතුව පක්ෂය දෙකඩ කලේ අවසන් වතාවටය. මින්ෂෙවික්වරු හා බොල්ෂෙවික්වරු අතර දේශපාලන ප්‍රමුඛතාව පිළිබඳ තරගය ඉන් ඉක්බිතිව ඇරඹිණි. මෙම කණ්ඩායම් එකිනෙකා හා සටන් වදින අතරතුරදීම, සාර් වරයා යළි බලයට ගෙන ඒමට තැත් දරන අයවළුන් තුල පොදු සතුරෙක්ද දුටහ. පෙබරවාරි විප්ලවයෙන් පසුව මින්ෂෙවික්වරු රුසියාවෙහි පාලනය නතු කොට ගෙන අන්තර්වාර රජයක් පිහිටවූහ.එනමුදු, ඔක්තෝම්බර් විප්ලවයෙන් (මෙය බොල්ෂෙවික් විප්ලවය ලෙසින්ද හැඳින්වෙයි) පසුව බොල්ෂෙවික්වරුන් විසින් බලය ලබා ගන්නා තුරු මෙය පැවතියේ මාස කිහිපයක් පමණි. අනෙකුත් සමාජවාදී පක්ෂ වලින් තමන් වෙන් කොට හඳුන්වනු වස්, බොල්ෂෙවික් පක්ෂය යළි නම් කෙරුණේ රුසියානු කොමියුනිස්ට් පක්ෂය ලෙසිණි.

රුසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් නිර්ධන පන්තිය නියෝජනය කරන බවද හා පක්ෂයේ විශ්වාසයන්ට පටහැනි සියළු ක්‍රියාකාර කම් "ප්‍රතිවිප්ලවවාදී" හා "සමාජවාද-විරෝධී" බවද යන තර්කාංගයන්හී පිහිටමින්, පක්ෂයෙහි බලපෑම මත, රුසියානු කොමියුනිස්ට් පක්ෂය හා දැඩි ලෙසින් එකඟ නොවන සියළු දේශපාලන කටයුතු හා අදහස් මර්දනය කෙරිණි. 1917 සිට 1923 දක්වා කාල සීමාවෙහිදී, සෝවියට් සංගමය, පළමුවන ලෝක යුද්ධයෙහි පමණක් නොව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය, හා අනෙකුන්ගෙන් සමන්විත විදේශ හමුදාවන්ට එරෙහිව හා සුදු හමුදාවට එරෙහිව පැවැති රුසියානු සිවිල් යුද්ධයෙහිද යෙදුනේය. අත්‍යන්තයෙහිදී සියළු විරුද්ධවාදීන් මර්දනය කල රුසියානු කොමියුනිස්ට් පක්ෂය, සෝවියට් මාදිළියේ පාලනය විගසින් පතුරුවාලමින් රුසියාව පුරා ස්ථාපිත විය. 1924 දී සිදුවූ ලෙනින්ගේ මරණයෙන් පසුව, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ජෝසප් ස්ටාලින්, ලෙනින්ගේ අනුප්‍රාප්තිකයා බවට පත්වූ අතර 1950 ගණන් දක්වා සෝවියට් සංගමයේ "රාජ්‍ය නායක" ලෙස කටයුතු කලේය.

1917 රුසියානු විප්ලව[සංස්කරණය]

[[ගොනු|thumb|right|280px|වමේ සිට දකුණට: ලියොන් ට්‍රොට්ස්කි, ව්ලැඩිමියර් ලෙනින්, සහ ලිව් කාමිනිව්.]] පළමුවන ලෝක යුද්ධය සමයෙහිදී, දුර්භික්ෂයෙන් හා ආර්ථික අභිපාතයෙන් සාර්-පාලිත රුසියාව බැට කෑවාය. උද්‍යෝග විහීන වූ රුසියානු යුධ හමුදාව දරුණු හමුදාමය පරාජයන් ලැබූ අතර, බොහෝ සෙබළු හමුදාව අතැර පැන ගියහ. රාජාණ්ඩුව කෙරෙහි හා එය විසින් යුද්ධය දිගටම පවත්වා ගෙන යෑම කෙරෙහි රුසියානු ජනතාව වෙත වූ අතෘප්තිය වර්ධනය වෙමින් පැවතිණි. 1917 පෙබරවාරි (හෝ මාර්තු, දිනදසුන්හි දින යෙදීම් මාදිලියපරිදී. බලන්න: සෝවියට් දින දසුන.) විප්ලවයට පසුව දෙවන නිකලස් සාර් වරයා සිහසුන හැර යෑමත් සමගම, පීට්‍රග්‍රාඩ් සහ අනෙකුත් ප්‍රධාන රුසියානු නගරයන්හී කැරලි කෝලහාල ඇති විය.

සාර් වරයා බලයෙන් ඇදවැටීමත් හා විගසම රාජ්‍ය ඩූමාහී අන්තර්වාර කමිටුව විසින් 1917 මාර්තු මුලදී රුසියානු අන්තර්වාර රජය පිහිටවූ අතර එයට මින්ෂෙවික්වරුන්ගේ කොන්දේසි සහගත සහය ලැබිණි. මුලින්ම ජෝර්ජි යුව්ගීනියෙවිච් ලෙවෝෆ් කුමරුන් විසින්ද, ඉන්පසු ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි විසින්ද නායකත්වය සැපයුනු අන්තර්වාර රජය ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ දෙවන නිකලස් සාර් වරයා හා සමගින් බලයෙන් නෙරපුනු රුසියානු අධිරාජ්‍යයේ රාජ්‍ය ඩූමාවට මෑතකදීම තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනි. නව අන්තර්වාර රජය විසින් මිත්‍ර පාක්ෂිකයන් හා එක්ව යුද්ධය දිගටම කරයෑමට කැපවීම කෙරෙහි බොල්ෂෙවික්වරු විරුද්ධත්වය පල කලහ. බොල්ෂෙවික්වරුන් විසින් ඉල්ලා සිටි ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමද අන්තර්වාර රජය විසින් පසුවට කල් දමන ලදි.

බොල්ෂෙවික් මත වාදයට තදින්ම නැඹුරුව සිටි ලෙනින්, බටහිර යුරෝපයේ හා එක්සත් ජනපදයෙහි ධනේශ්වර රටවල් හා සමග සන්ධාන ගත වීම දුටුවේ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයක අකමැත්තෙන් සටන් කිරීමට සිදුවී ඇති නිර්ධන පන්තිය බලහත්කාරයෙන් දාසභාවයෙහි යෙදීමක් ලෙසිනි. ලෙනින් දුටු පරිදී, රුසියාව නැවතත් සාර්-පාලනයක් වෙත තල්ලු වෙමින් පැවති අතර, සමාජවාදය සහ නිර්ධන පංතිය සැබෑ ලෙසින් නියෝජනය කල මාක්ස්වාදී විප්ලවවාදීන්ගේ භූමිකාව වූයේ සමාජවාදයට එරෙහි එවන් අදහස් වලට විරුද්ධවී අනෙකුත් රටවල සමාජවාදී විප්ලවයන්ට සහය දැක්වීමයි. හමුදාව තුල, කැරැලි ගැසීම සහ අත්හැර යෑම බලයෙන් හමුදාවට බැඳ ගත් වුන් අතර පැතිර පැවතුනු අතර, AWOL (නිවාඩු නොදමා සේවයෙන් බැහැරව සිටීම) සියළු තරාතිරම් අතර දුර්ලභ නොවීය. සමාජ ප්‍රතිසංස්කරණ සිදුවූ මද වේගය පිළිබඳ බුද්ධිමත් ගණය සිය අප්‍රසාදය පල කලහ; දුප්පත්කම ඉහවහා යන්නට පටන් ගති, ආදායම් විෂමතාවන් සහ අසමානතාවයන් කිසිම දමනයකින් තොරව පැවැතියේ අන්තරවාර රජය අතිශයින් ඒකාධිකාරී ස්වරූපයක් සහ අකාරයක්ෂම භාවයක් වැලඳ ගනිමින් සිටි අතරතුරදීය. හමුදාමය ජුන්ටාවක් බවට පත් වීමේ අබියස රජය පැවතුණු බවක් පෙනිනි. පැනගිය සොල්දාදුවෝ නගරවලට යළි පැමිණ කුපිතව සිටි සහ, අතිශයින්එදිරිවාදී මතයක සිටි, සමාජවාදී කම්හල් සේවකයන් වෙත ඔවුන්ගේ ආයුධ දුනි. ප්‍රධාන රුසියානු ජන කේන්ද්‍රයන්හී පැවැති ඛේදනීය සහ ශෝචනීය දුගීභාවය සහ නිරහාරය, විප්ලව සඳහා තෝතැන්නක් විය.