සීල

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

සීල යනු සුචරිතවත් බව, යහපත් ක්‍රියාව, සදාචාරය හා විනය වැනි අර්ථයකින් යුත් පාලි වචනයකි.සරලවම සිත,කය දෙකෙහි සංවරයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිද්‍යාවේ කොටසක් වන අතර දස පාරමිතාවේ දෙවන පාරමිතාවයි. එය ක්‍රියාවෙන්, වචනයෙන් හා සිතුවිල්ලෙන් පාරිශුද්ධත්වයට පත්වීමයි. සීලයේ අංග 4 නම් බ්‍රහ්මචර්යාව, සන්සුන්භාවය, නිහඬබව හා නිවීමයි. එනම් තණ්හාව වැනි සිතුවිලි නැවත සිතට ඇතුල් වීම වලක්වයි.

පංච ශීලය[සංස්කරණය]

පංච ශීලය යනු නොකළ යුතු ලෙස පනවන අණ කිරීමක් නොව ‍යමෙකුට සතුටින් හා භයෙන් තොරව යහපත් ජීවිතයක් ගත කිරීම හා හොඳින් භාවනා කිරීමට උපකාරි වන අභ්‍යාසයකි.

1 සතුන් මැරීමෙන් වැළකීම

2 නොදුන් දේ ගැනීමෙන් (හොරකම) වැළකීම

3 කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම

4 මුසා බස් පැවසිමෙන් වැළකීම

5 මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම

අෂ්ඨ ශීලය (අටසිල්)[සංස්කරණය]

පංච ශීලයට වඩා උසස් ශීලයක් වන අෂ්ඨ ශීලයෙන් බ්‍රහ්මචාරිත්වය හා සියළු ‍විනෝදාත්මක ක්‍රියාවලින් වැළකීම අඩංගු වේ. අෂ්ඨ ශීලයේ අඩංගු වන අමතර සිල් පද 3 නම්,

6 විකාල භෝජනයෙන් වැළකීම (හිරු උදාවේ සිට මධ්‍යහ්නය වන තෙක් පමණක් ආහාර ගැනීම)

7 නැටුම්, ගීත, වාදනය, නාට්‍ය බැලීම, සුවඳ විලවුන්, ආලේපන වලින් වැළකීම

8 උස් හා සැප පහසු ආසන භාවිතයෙන් වැළකීම

දස සීලය[සංස්කරණය]

සාමනේර භික්ෂුන් වහන්සේලා දස සිල් ආරක්ෂා කරති

උපාසක උපාසිකාවන් ද පොහොය දින වලදී දස සිල් සමාදන් වෙති.

සිල් පද :-

1.පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

2.අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

3.අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

4.මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

5.සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

6.විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

7.නච්ච ගීත වාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

8.මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

9.උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

10.ජාතරූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

ප්‍රාතිමෝක්ෂය[සංස්කරණය]

මෙය භික්ෂු විනය නීති වේ. ථේරවාද බුදුදහමේ විනය නීති 227 අඩංගු වේ. මෙම නීති විනය පිටකයේ සඳහන් වේ. ගිහි ජීවිතයෙන් නික්ම පැවිද්ද අපේක්ෂා කරන යමෙක් වේ ද, ඔහු ගිහි ජීවිතයෙන් නික්ම යාමට ප්‍රථම මෙම විනය නීති ගැන අධ්‍යනය කිරීම පැවිදි ජීවිතයට ඇතුලු වීමට හා පැවිද්දෙහි හැසිරීමට පහසුවක් වනු ඇත.

මහායාන ශීලය[සංස්කරණය]

මහායාන විනය හා ශීලය අඩංගු වන්නේ බ්‍රහ්මජාල සුත්‍රයේය. (ථේරවාදි බුදුදහමේ සඳහන් වන බ්‍රහ්මජාල සුත්‍රය නොවේ) එහි මස් මාංශයෙන් වැලකි නිර්මාංශ ජිවිතයක් ගත කිරීම උසස් කොට සැලකේ. මෙම විනය නීති ථේරවාද ප්‍රතිමොක්ෂයේ අඩංගු නොවන අතර බුද්ධ පරිනිර්වාණයෙන් අවු. 500 කට පමණ පසු මෙම නීති ඇති වු බව විශ්වාස කෙරේ.


දිනක් දේවපුත‍්‍රයෙක් දෙව්රම්හි වෙසෙන බුදුරජාණන් වහන්සේ කරා එළඹ මෙසේ විචාළේ ය.

අන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටං

ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්ත්ව වර්ගයා අවුලෙන් අවුලට පත්ව සිටිති. මම ගෞතමයන් වහන්සේගෙන් විමසා සිටින්නේ මේ අවුල් කවුරු නිරවුල් කෙරෙත් ද යන්නය.

දේව පුත‍්‍රයා කරණ මේ ප‍්‍රකාශය වැදගත් ඉදිරිපත් කිරීමකි. සත්ත්ව වර්ගයා පිළිබඳව කළ ගවේෂණයක උසස් ප‍්‍රතිඵලයකි.

ආධ්‍යාත්මික හා බාහිර ආයතන පිළිබඳව ඇතිවන තෘෂ්ණාව නිසා සත්ත්වයා අවුලෙන් අවුලට පත්ව ඇති අයුරු ලෝකය දෙස බැලීමේදී මැනවින් පසක් වෙයි.

එදත් අදත් තුන් ලෝ වැසි සත්ත්වයා ජීව ලෝකය අපායක් කරගෙන ඇත්තේ. මිනිසා මනුෂ්‍යත්වය කෙලෙසාගෙන ඇත්තේ මෙම ගැටලු නිසා ය. දෙවියන් විමසූ මෙම ප‍්‍රශ්නය නිරාකරණය සදහා දේශිත දහම් මඟ විමසා බලමු.

සීලෙ පතිටඨාය නරො සපඤෙඤා චිත්තං පඤ්ඤංච භාවයං අතාපි නිපකො භිකඛූ සො ඉමං විජටයෙ ජටං

ති‍්‍රහෙතුක ප‍්‍රතිසන්ධි ප‍්‍රඥයෙන් ප‍්‍රභූවත්වූ යම් සත්ත්වයෙක් සීලයෙහි පිහිටා සමාධියද, විදර්ශනාවද වඩන්නේ, කෙලෙස් තවන වීර්ය ඇත්තේ මේ තෘෂ්ණා නැමැති අවුල නිරවුල් කරන්නේ ය. සීලයෙහි පිහිටා කටයුතු කිරීම සත්ත්වයාගේ ගැටලු නිරාකරණයට මඟ බව මෙයින් උගත හැකි ය.

සීලය බුදු දහමේ ප‍්‍රතිෂ්ටාවයි. අත්තිවාරමයි. සමාධිය හා ප‍්‍රඥා වර්ධනය සදහා සීලයෙහි පිහිටිය යුතු බව සම්බුද්ධ දේශනාවයි. සීලන අර්ථයෙන් සීලයයි කියනු ලැබේ.

සමාධානය හෝ උපධාරණය සීලන නම් වෙයි. කුසල කාය කර්මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය නමින්ද කුසල ධර්මයන් ප‍්‍රතිෂ්ඨා වශයෙන් දැරීම උපධාරණය නමින්ද ධර්මයේ ඉගැන්වෙයි.

ප‍්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත් පිළිවෙත් පූරණ තැනැත්තාගේ හෝ චේතනා, චෛතසික, සංවර, අව්‍යතික‍්‍රම යන මේ ලක්ෂණ සීල නමින් හැඳින්වේ.

සීලන ලක්ෂණයෙන් එක් වැදෑරුම් වූ සීලයෙහි විවිධ ප‍්‍රභේද දක්නට ලැබේ. ධර්මයේ සීලයෙහි තරම් ප‍්‍රභේද දක්නට ලැබෙන වෙනත් ධර්ම කොට්ඨාසයක් නැති තරම්ය.

චාරිත්ත - වාරිත්ත, ආභිසමාචාරික සීල - ආදි බ‍්‍රහමචරියක ආදි දෙවැදෑරුම් වශයෙන්ද, හීන සීල, මධ්‍යම සීල ප‍්‍රණීත සීල, - අත්තාධිපතෙය්‍ය සීල, ලොකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය ආදි වශයෙන් තෙවැදෑරුම් ලෙසද, පාති මෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවරසීල, ආජීව පාරිසුද්ධිසීල, පච්චය සන්නිසසිත සීල, ලෙස සිවු වැදෑරුම්වද වශයෙන් විවිධ බෙදීම් රාශියක් දක්නට ලැබේ.

සම්බුද්ධ සාසනයේ සීලය තරම් ඇගැයීමට ලක්වූ තවත් ධර්ම කොට්ඨාසයක් නැති තරම්ය. එසේ වූයේ සීලය බුදු දහමේ පදනම වූ නිසාය. ආර්ය මාර්ගයේ මාර්ග අංග තුනක්ම එනම් සම්මාවාචා - සම්මා කම්මන්ත - සම්මාආජීව සීලයෙන් සම්පූර්ණවේ.

කිරළියක් තම බිජු රක්නාමෙන්, සෙමෙර මුවකු තම වළිගය රක්නා මෙන්, එක පුතකු පමණක් සිටින පියෙකු ඒ පුතු රක්නා මෙන්, එක් ඇසක් පමණක් පෙනීම ඇත්තකු ඒ ඇස රක්නා සේ සීලය පිරිසුදුව, ඇල්මෙන්, අවධානය යොමුකොට ආරක්ෂා කරගත යුතුය.

ඉන්ද්‍රිය සංවරයෙන් තොරව අධිගමයක් ලැබිය නොහැකිය. කාය වාග් සංවරයට, පංච ඉන්ද්‍රිය සංවරයට සීලය පිරිසුදුව රැකිය යුතුය. නිවන් මඟ සඳහා විශේෂයෙන් ආභිසමාචාරික සීලය ආදි බ‍්‍රහ්මචරියක සීලය රැකිය යුතුමය.

චුල්ලවග්ග මහාවග්ගයන්හි දේශිත බුද්දානුබුද්ධක ශික්ෂාපද රැකීම ආභිසමාචාරික සීලයයි. මාර්ග බ‍්‍රහමචරියාවට ආදියෙහි වූ සීලය ආදි බ‍්‍රහමචරියක සීලයයි. එනම් ආජීව අට්ඨමක සීලයයි.

කායද්වාරයෙන් සිදුවන ප‍්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර යන ති‍්‍රවිධ අකුසලයෙන්ද, වාග් ද්වාරයෙන් සිදුවන මුසාවාද, පිසුනාවාචා, පරුසාවාචා, සම්ප‍්‍රප්පලාපා යන චතූර්විධ අකුසලයෙන්ද, මිථ්‍යාආජීවයෙන් වැළැකීමද සඳහා පූර්ණ සීලය ආදි බ‍්‍රහමචරියක සීලය වන අතර සඝාදිසෙස - පාරාජිකා යන මහා ශික්ෂා පද කඩ නොකොට රැකීම මෙහිදී වැදගත් වෙයි.

ආභිසමාචාරික සීලය නොපුරා ආදි බ‍්‍රහ්මචරියක සීලය පිරීමක් සිදු නොවන නිසා ආභිසමාචාරික සීලය පුරන්නාම ආදි බ‍්‍රහමචරියක සීලය පුරණ බව සිත තබාගත යුතුය.

බුද්ධ දේශනාව අනුව සීල සම්පත්තියෙහි ආනිසංස රාශියක් දක්නට ලැබේ. සිල්වතාගේ අප‍්‍රමාදයෙන් මහත්වූ භොගස්කන්ධය ලැබ ගන්නේ ය. කල්‍යාණ කීර්තිඝෝෂයක් ලොව පැන නඟින්නේ ය.

ක්ෂති‍්‍රය - බ‍්‍රාහ්මණ - ගෘහපති - ශ‍්‍රමණ යන සැම අතරෙහි විශාරදව මූලිකයෙක් බවට පත්වෙයි. අසම්මුඪව කලුරිය කරයි. මරණින් මතු සුගතියෙහි උපදී. සබ‍්‍රම්සරුන්ට පි‍්‍රය මනාප සම්භාවනීයත්වයට පත්වෙයි.

බෞද්ධයාගේ නිත්‍ය සීලය පඤච සීලයයි. ලෞකික සමාජ ජීවිතය හා සමාජයට යහපත උදාකර ගැනීමට එය ඉවහල් වේ. මිනිසාගේ ජීවත්වීමේ අයිතිය මෙන්ම සත්ත්ව සමූහයාගේම සුරක්ෂිතතාව ඉන් සැලැසේ.

සීලයෙහි උතුම්ම ප‍්‍රතිලාභය වන්නේ සසර දුක නැති කර ගැනීමයි. නිවන් මඟ පසක් කර ගැනීමට සීලයෙහි පිහිටිය යුතුමය. දුසිල්වත්ව වසර සියයක් ජීවත්වනවාට වඩා සිල්වත්ව ගෙවන එක දිනය ශ්‍රේෂ්ඨ බව බුදු වදනයි.

"https://si.wikipedia.org/w/index.php?title=සීල&oldid=565569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි