සියඹලා

විකිපීඩියා වෙතින්
සියඹලා (Tamarind)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Magnoliophyta
වර්ගය: Magnoliopsida
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Caesalpinioideae
Tribe: Detarieae
ගණය: ''Tamarindus''
විශේෂය: T. indica
ද්වීපද නාමය
Tamarindus indica
L.

සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්‍ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.[1] ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන​, අඟල් 3 - 4 ක් දිග​, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය​. ඇඹුල් රසැති එය කුළු බඩුවක් වශයෙන් පෙර දිග රට වල බහුලව භාවිතා කරනු ලැබේ.

අලංකරණයට​, සෙවණ ශාකයක් වශයෙන් හා ආහාරයට ගන්නා කරල් ලබා ගැනීම සඳහාත් සියඹලා වගා කරනු ලබේ.[2]

සියඹලා ගසේ ඉතිහාසය

සියඹලා ගසේ නිඡබිම ගැන පැහැදිලි සඳහනක් නොමැත. එය නිවර්තන අප්‍රිකාවේ නිජ වන්නට ඇතැයි යන්න වඩාත් ප්‍රකටව පිළි ගැනෙන මතය යි. ප්‍රාග් ඓතිහාසික සමයේ දී, සියඹලා ශාකය මිනිසුන් ගේ මාර්ගයෙන් දකුණු ආසියාවට ප්‍රචාරණය වන්නට ඇතැයි සැලකේ. ඉන්දියාව, සියඹලා ශාකයේ නිජ භූමිය වශයෙන් ඇතැම් විටක හඳුන්වා දී ඇත. ඉන්‍දියාව ඔස්සේ පර්සියාවට හඳුන්වා දෙනු ලැබූ සියඹලා, අරාබීහු tamar hindi (ඉන්දියන් රට ඉඳි) වශයෙන් හැඳින් වූහ​. සියඹලා ශාකයේ විද්‍යාත්මක නාමය වන Tamarindus indica යන්නට එහි ඉන්දියානු නිජ භූමි සංකල්පය බලපාන්නට ඇත. ක්‍රි.පූ. 4 වන සියවසේ දී, මිසර වැසියන් හා ග්‍රීකයන්, මෙහි ඵලය ප්‍රයෝජනයට ගත් බවට සාධක ඇත​.[3]

ස්පාඤ්ඤ හා පෘතුගීසි යටත් විජිත වාදිහු, 16 වන සියවසේ දි පමණ, සියඹලා ශාකය දකුණු ඇමරිකාවට හඳුන්වා දුන්හ​.

සියඹලා ගස දක්නට ලැබෙන රටවල්

දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් වූ සියඹලා ඉන්දියාව , පකිස්ථානය, බුරුමය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල දක්නට ලැබේ.

වෙනත් නම්

සියඹලා, සංස්කෘතක භාෂාවෙන් අම්ලිකා, චිඤ්වා, තිත්තිඩි, අම්ලි, චුක්‍රා, දත්තශයා, තෙන්තුල්, චිංචා, කාච තිත්තිඩි, ත්‍රින්ත්‍රීනී, අමිලා යනුවෙන් ද, හින්දි භාෂාවෙන් චිංචා ඉම්ලි, ඹෝ ඉම්ලි යනුවෙන් ද, ‍‍බෙන්ගාල භාෂාවෙන් තේන්තුල්, තිංතිල් යනුවෙන් ද, ද්‍රවිඩ භාෂාවෙන් පූලියම් පලම් ,පූලියම් යනුවෙන් ද, මැලේ බසින් ඇසෑම් ජාවා යනුවෙන් ද, ඉංග්‍රීසි බසින් ටැමරින්ඩ් යනුවෙන් ද, ස්පාඤ්ඤ හා පෘතුගීසි බසින් ටැමරින්ඩෝ යනුවෙන් ද, හදුන්වනු ලැබේ.

ශ්‍රී ලංකා‍වේ සියඹලා ගසේ ව්‍යාප්තිය

සියඹලා මල

ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ තෙත් කලාපයේ හා වියළි කලාපයේ සාරවත්ව වැඩෙන දැකුම්කළු සදාහරිත වෘක්ෂයකි.බොහෝ සේ අතුපතර විහිදුවමින් මීටර් 18-20 පමණ උසට වැඩේ. කඳේ පොත්ත ලා දුඹුරු පැහැයට හුරුය. බෙහෙවින් රළුය. පොත්තේ ඇතුළත ලා රෝස පාටය. මිලි මීටර් 7 ක් පමණ ගණකම් වේ.ශාකය මෝරමින් වැඩෙන විට පොත්ත පිපිරී ගැලවි යයි . හොඳින් වැඩුණු ගසක වට ප්‍රමාණය මීටර් 10 ක් පමණ වේ .ශාක කඳේ දිග අතට හා හරස් අතටවිහිදුවන අන්වායාම හිදැස් හෙවත් පැලුම් පවතී. අසම පත්‍රිකා යුගල 10-15 ක් පවතී . සම්මුකයි . පත්‍ර මතුපිට මටසිළුටු ය . රේඛීය පත්‍රිකා රාශියක් හටගනී . දිගටි පත්‍ර සෙ. මී. 1 ක් දිගය.මේවා උදේ දිග හරී පවතී. සවස් වන විට හැකිලේ . සියඹලා පත්‍රකා පහසුවෙන් හැලී යයි. සුදු හෝ ලා කහ පැහැති රතුවන් රේණාවන් වැටුණු කුඩා පුෂ්ප කීපයන් පොකුරක හටගනී. පුෂ්පයක පෙති 3 කි . මදක් උල් හැඩ පවතී .අප්‍රේල් මැයි මාස වලදී සියඹලා ගස මලින් බරවෙයි. ශාකයේ වැදගත්ම අංගය වූ ඵලය ගනකම් වූ කරලකි .දෝලා ඵලයකි. සෙ . මී . 7.5-20 දක්වා දිගය. ඵලාවරණය වක්‍රාකාර වූ රැලි සහිතය. ලා දුඹුරු පැහැතිය. පහසුවෙන් කැඩෙන සුළු ය. ඒ තුල ඝනකම් මාංසල කොටස බෙහෙවින් ඇඹුල් රසැතිය. අමු අවස්ථාවේදී කොළ පැහැතිය. තද ගතියකින් යුක්තය. ඉදෙන විට මාංසල කොටස කහ පැහැ වේ .මොළොක්ය.

ගොනුව:සියඹලා පැළය.jpg
සියඹලා පැළය

සියඹලා ගස ව්‍යාප්තිය සඳහා බීඡ මඟින් පැළ ලබා ගත යුතුය .බීජ තද දුඹුරු පැහැතිය. පැතලිය . දිලිසෙන සුළු ය. නොගැඹුරු තල සහිතය . ඉදුණු සියඹලා කරලේ පොතු හා තන්තුමය රැහැන් ඉවත්කර ලුණු සමඟ මිශ්‍ර කර අව්වේ වියළා , වියලි මැටි බදුනක අසුරා වියළි තැනක ගබඩා කර තැබීමෙන් කල් තබා ගත හැකිය. සියඹලා කොළ , පොතු හා ඇට බෙහෙත් සඳහා ගනු ලැබේ. සියඹලා ශාකයට ආවේණික සුවදක් පවතී. සියඹලා කරල් මෙන්ම මල් හා කොළ පවා ඇඹුල් රසයකින් යුක්තය .

රසායනික සංයුතිය

සියඹලා ‍බොර වල ටා‍ටරික් අම්ලය 5% ක්ද, සිට්‍රික් අම්ලය 4% ක්ද ,මැලික් හා ඇසි‍ටික් අම්ලයද, ‍පොටෑසි‍ටම් ටාටරික් 8% ක්ද, සීනි පදාර්ථ 25% සිට 40 දක්වා ද, මැලි‍යම් හා ‍පෙක්ටීන් පදාර්ථ‍යද අන්තර්ගතය. බීජාවරණ‍යේ ‍ස්ථිර තෛල පදාර්ථ හා අපද්‍රව්‍ය සංඝටක අඩංගු ය. බීජවල ඇල්බියුම්නොයිඩ්ස්, මේද පදාර්ථ ද, කා‍බෝහයිඩ්‍රේට 63.22 ක්ද, ඇතුළත්ය. භෂ්මයෙහි පො‍ස්පරස් හා නයිට්‍රඡන් අන්තර්ගත ය. ඵලයේ ඔක්සැලික් අම්ලය අඩංගු ය.

පෝෂණ අගය

සියඔලා දළු ග්‍රෑම් 100ක

ගොනුව:සියඹලා දඑ.jpg
සියඹලා දඑ


  1. ජලීය කොටස ග්‍රෑම් 70.5
  2. ශක්තිය ග්‍රෑම් 115
  3. ප්‍රෝටීන ග්‍රෑම් 5.8
  4. මේදය ග්‍රෑම් 2.1
  5. කා‍බෝහයිඩ්‍රේට ග්‍රෑම් 18.2
  6. කැල්සියම් මිලි ග්‍රෑම් 101
  7. පොස්පරස් මිලි ග්‍රෑම් 140
  8. යකඩ මිලි ග්‍රෑම් 5.2
  9. කැරටීන් මයික්‍රො ග්‍රෑම් 250
  10. තයමීන් මයික්‍රො ග්‍රෑම් 240
  11. රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 170
  12. නියැසීන් මිලි ග්‍රෑම් 4.1
  13. විටමින් සී මිලි ග්‍රෑම් 3

අමු සියඹලා කරල් ග්‍රෑම් 100ක

  1. ජලීය කොටස ග්‍රෑම් 79.5
  2. ශක්තිය ග්‍රෑම් 71
  3. ප්‍රෝටීන ග්‍රෑම් 2.4
  4. මේදය ග්‍රෑම් 0.1
  5. කා‍බෝහයිඩ්‍රේට ග්‍රෑම් 17.2
  6. කැල්සියම් මිලි ග්‍රෑම් 58
  7. පොස්පරස් මිලි ග්‍රෑම් 29
  8. යකඩ මිලි ග්‍රෑම් 0.7
  9. කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 10
  10. තයමීන් මයික්‍රො ග්‍රෑම් 150
  11. රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 50
  12. නියැසීන් මිලි ග්‍රෑම් 0.4
  13. විටමින් සී මිලි ග්‍රෑම් 12

ඉදුණු කරල් ග්‍රෑම් 100ක

  1. ජලීය කොටස ග්‍රෑම් 38.7
  2. ශක්තිය ග්‍රෑම් 214
  3. ප්‍රෝටීන ග්‍රෑම් 2.3
  4. මේදය ග්‍රෑම් 0.2
  5. කා‍බෝහයිඩ්‍රේට ග්‍රෑම් 56.7
  6. කැල්සියම් මිලි ග්‍රෑම් 81
  7. පොස්පරස් මිලි ග්‍රෑම් 86
  8. යකඩ මිලි ග්‍රෑම් 1.3
  9. කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 10
  10. තයමීන් මයික්‍රො ග්‍රෑම් 220
  11. රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 80
  12. නියැසීන් මිලි ග්‍රෑම් 1.1
  13. විටමින් සී මිලි ග්‍රෑම් 3

සියඹලා බොර ග්‍රෑම් 100ක

thumb අමු සියඹලා කරල්
thumb අමු සියඹලා කරල්
  1. ජලීය කොටස ග්‍රෑම් 20.9
  2. ශක්තිය ග්‍රෑම් 283
  3. ප්‍රෝටීන ග්‍රෑම් 3.1
  4. මේදය ග්‍රෑම් 0.1
  5. කා‍බෝහයිඩ්‍රේට ග්‍රෑම් 67.4
  6. කැල්සියම් මිලි ග්‍රෑම් 170
  7. පොස්පරස් මිලි ග්‍රෑම් 110
  8. යකඩ මිලි ග්‍රෑම් 10.9
  9. කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 60
  10. රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 70
  11. නියැසීන් මිලි ග්‍රෑම් 0.7
  12. විටමින් සී මිලි ග්‍රෑම් 3

සියඹලා ශාක‍යේ වැදගත්කම

ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය . එහයින් වාත ශාකමය . උෂ්ණාධික ය. පිත්ත ශාකමය . පරණ වූ සියඹලා බොර, ආහාර රුචිය වඩවයි . පිපාසය සමනය කරයි . සියඹලා බොර විරේචන ගුණ යුක්තය . සියඹලා කරලේ ලොඳ වැනි කොටස දිය කිරීමෙන් සියඹලා බොර සකස් කර ගනී. ඉදුණු සියඹලා කරල් වල බොර මෙන්ම අඹරා ගත් පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි. වසරක් දෙකක් පමණ පැරණි වූ ඉදුණු ඵල ආමාශයට හා අන්ත්‍රවලට ගුණ දායක ය. මළ බද්දය දුරු කරවයි . අඹරාගත් කොළ තැලුම් , ඉදිමුම්වලට ගෑමට යොදා ගනී . ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය . සියඹලා දළු හා මල් ශීත වීර්යයි . පිත්ත ශාකමය . මල් ස්වරසය අතීසාරයට ගුණ දේ . සියඹලා දළු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනී . සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කෙරේ . මිරිකා ගත් මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී අභ්‍යන්තර වශයෙන් දෙනු ලැබේ . සියඹලා ඉන්දියානු ජාතිකයෝ සිය ආහාර වේලට ප්‍රධාන වශයෙන් ම එක් කර ගන්නා කුළු බඩුවකි . සියඹලා යුෂ සරුවත් බුරුම ජාතිකයන්ගේ ජනප්‍රිය පානයකි . සියඹලා කරලේ මදපිපාසය , මල බද්දය නසන පිත්ත විරේචක , යකෘතය උත්තේජනය කරවන ඔසුවකි . සුරාසව - මද්‍යසාර , අත්තන ආදියෙන් ඇති වූ මත් විෂ පහ කිරීම සඳහා සියඹලා භාවිත කරයි .

සියඹලා පොතු ස්වරසය අන්ත්‍ර ශුල වේදනා නිවාරණය කරයි. සියඹලා කුඩා ළමුන්ට අනගි විරේකඔසුවකි . අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිලි සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා සතුය . කෑම අරුචිය , බඩගින්න නොමැතිකම යන‍ මේවාට නොවරදින ප්‍රතිඵල ලබා දෙන පානයකි. සියඹලා බොර පානය, ගෙඩි - වණ, අර්බුද , පිළිකා වලදී සියඹලා ඇට ආලේපය සදහා ගැනේ . සියඹලා ඇට කසට රස යුක්තය . එබැවින් අතීසාර හා විසර්ප රෝග හරණයට අනගි ඔසුවකි . සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාසක ගුණ පවතී . බීජ වලින් සැකසූ ඖෂධ උණ , මුත්‍රා , ව්‍යූහගත ආබාධ , සන්ධිගත රෝග , නසයි . පත්‍ර වලින් සකසා ගත් කසාය උගුරේ ආබාධයනට උගුර සේදීම සදහා ගැනේ . අතීසාර රෝගින්ට සියඹලා කොළ ජලයෙන් පොඩිකර ලබා ගත් ආම්ලික සාරය පිත්තප්වර , මුත්‍රාස්මරී , (මුත්‍රා ගල්) අවස්ථාවලදී භාවිත කෙරේ .

සියඹලා භෂ්මය (දවාගත් අළු) වෙනත් භෂ්ම සමඟ මිශ්‍ර කර ප්‍රයෝග කෙරේ . ඉදුණු සියඹලා කරලේ පොතු ලවන ලෙස ඖෂධ පිණිස ගත හැක . වෙනත් ඖෂධ සමඟ මිශ්‍ර කර විවිධ යෝග පිළියෙළ කර ගනී . පුරාණ වූ පිලාවේ ඉදිමීමට සියඹලා භෂම ගුණ දායක‍ය . පොතු භෂම ජීර්ණ පද්ධතියේ රෝග වලදී ඖෂධ යෝග සමඟ යෙදේ . සියඹලා ශීතාද රෝගයට ගුණදායකය . විටමින් සී ඌනතා රෝග අවස්ථාවලදී සියඹලා බොර සීනි යොදා සකස් කර ගත් ශිරප් දෙහි යුෂ සමඟ පානය කරයි . සියඹලාකොළ අමු කහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ , දැවිලි ආදී අවස්ථා වලදී සේදීමට ගනු ලබයි . සියඹලා කොළ තැවිල්ල වාත වේදනා දුරු කරයි. කුළුබඩු හා ඖෂධයක් ලෙස එක්වන සියඹලා ශාක‍යේ පත්‍ර , කරල් , පත්‍ර ස්වරසය , පොතු ආදී කොටස් අරුචිය , පිපාසය , බඩ කැක්කුම, මල බද්ධ,අතීසාර, ආමවාත වාතාබාධ , විවිධ ප්‍රදර රෝග , උණ ශුක්‍ර දෝෂ , ස්වප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, අධික දහඩිය දැමීම, කැස්ස යනාදී රෝග ගණනාවකට වෙනත් ‍ඖෂධ සමඟ ප්‍රයෝග කෙරේ .

සියඹලා බොර පවස නිවන පානයකි .ආහාර කල් තබා ගැනීමේදී අතීතයේ පටන්ම සියඹලා කරල්යොදා ගෙන තිබේ . අනිකුත් පළතුරු වර්ග හා සසඳන කල සියඹලා කරල් සතු සීනි හා ආම්ලික කොටස ඉහළ අගයක පැවතීම විශේෂයකි . ජෙලි, සිරප්, අච්චාරු හා ආහාර සමඟ ගන්නා කටුක රසැති සුප් පිළියෙළ කර ගැනීම සඳහා ඉන්දියාවේ වැඩි වශයෙන් සියඹලා කරල් භාවිතයට ගැනේ .

යෝග හා අත් බෙහෙත්

ආම්ලිකා පානය -ජලයේ දියකර ගත් ඉදුනු සියඹලා ‍බොර පෙරා ගෙන එයට ගම්බිරිස්,සීනී,කරාබු,එනසාල්,කපුරු,කුරුදුපොතු මේවායේ චූර්ණය මිශ්‍ර කර සාදාගත් පානය අරුචිය නසයි . ගෙබි පැසවීමට - සියඹලා කොළ ඇට අඹරා ආලේපය මැනවි . පනුවන් නැසීමට සියඹලා නැටි , අරළු ,පෙති පුවක් , වලගසාල් , තම්බා පානය කරයි . අධිකව දහඩිය දමන අයට සියඹලා කොළ ,‍බෙලි කොළ අඹරා ඇඟ අතුල්ලා ස්නානය හොදය . අධික හිසරදයට - සියඹලා දළු , හීන් උදුපියළිය ,රතු ලූණු කොටා පොට්ටකි බැද වංඩුවේ තම්බා නළල තැවීම හොදය .අබිං විෂ හරණයට සියඹලා කරල් ඉස්ම පොවන්න.

ගොනුව:Tamarind wood.jpg
සියඹලා දැව

සියඹලා ගස ඉතා අගනා දැව විශේෂයකි . ගෘහ භාණ්ඩ , කෟෂි නිෂ්පාදන යට ගනු ලැබේ. සියඹලා දැවයෙන් ලබා ගන්නා අඟුරු වෙඩි බෙහෙත් නිෂ්පාදනයට යොදා ගනී.සියඹලා ලීයෙන් ලබා ගන්නා භෂ්ම ය ‍එළුවන්ගේ සමේ ලොම් හැලී යන රෝග වලදී ආලේප කරයි.දේ පොත්ත , ලීයෙන් ලබා ගන්නා දැව අළු සත්ව සම් පදම් කිරීමට ද යොදා ගනී.සියඹලා පත්‍ර වලින් ලබා ගන්නා ස්ථිර වර්ණක පදාර්ථ වලින් ලෝම ඇදුම් වල රක්තක වර්ණය ඇති කරවයි . එම වර්ණකය නිල් අවරිය පැහැයෙන් වර්ණ ගැන් වූ වර්ණ යුත් වර්ණ කාරකයෙන් සිල්ක් රෙදි වලට මරකත පැහැය ලබා දිය හැකිය . සියඹලා කොළ මල්, කරල්ද වර්ණ කාරක සැදීමට ගනී. සියඹලා ඵලයේ අඩංගු ඇඹුල් රසැති මාංසල කොටස පිත්තල භාජන පිරිසිදු කිරීමටද භාවිත කෙරේ. කොළ යුෂය මුහුදු ජලය සමඟ මිශ්‍ර කර රිදී බදුන් පිරිසිදු කර ගනීමට ගැනේ.

සියඹලා බීජ "පෙක්ටීන්" නමැති ජෙලටීන් වලින් සාරවත් නිසා ජෙලි හා ජෑම් සෑදීමේදී භාවිත කරයි . බීජ වලින් ලබා ගන්නා තෛල වාර්නිෂ් වර්ණකයක් වශයෙන් ද, මූර්ති , ප්‍රතිමා වල ආලේපයටද යොදා ගැනේ .සියඹලා කදේ කාෂ්ඨය ඉතා දැඩිය .කල් පවත්නා සුළු ය.බරයි . පහසුවෙන් නොකැඩේ. කෘමීන් ‍ගෙන් වන හානි වලට ඔරොත්තු දෙයි . එම නිසා මෙහි කඳ අතකොළු , වංගෙඩි, මෝල්ගස් , දැව භාන්ඩ වර්ග සැදීමට ද තෙල් හා සීනි කර්මාන්තයේදී භාවිත කරන උපකරණ සැදීමට යොදා ගැනේ .‍ඔරු වල පැතලි ලෑලි , කරත්ත රෝද, දඩු, ලේසර, ඇක්සල ,අඩය, බෙස්ලීය, බොස්ගෙබි, හා වෙනත් අවශ්‍යතා සඳහා ද භාවිත වේ. ඉතා සිහින්ව අඹරා‍ෙත් බීජ චූර්ණය මැලියම් සමඟ මිශ්‍ර කර සිමෙන්ති වර්ගයක් සාදා ගනු ලැබේ .මෙම සිමෙන්ති වර්ග ලී වලින් සාදා ගනු ලබන ශක්තිමත් වූ එකම සිමෙන්ති වර්ගයයි.දිය වූ මැලියම් සමඟ මිශ්‍ර කර ලොම් ඇතිරිලි සාදා ගැනීමට ද භාවිත කරයි.

සියඹලා දැවයෙන් තැනූ භාණ්ඩ

ගොනුව:Tamarind wood1.jpgගොනුව:Tamarind wood2.jpg250

පින්තූර ගැලරිය

මූලාශ්‍ර

  1. ^ Morton, J. 1987. Tamarind. p. 115–121. In: Fruits of warm climates. Julia F. Morton, Miami, FL. www.hort.purdue.edu
  2. ^ Christman, S.. "Tamarindus indica". FloriData. Retrieved 11 January 2010.


අනෙකුත් මූලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=සියඹලා&oldid=623368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි