සිංහල හින්දු අලුත් අවුරුද්ද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල අලුත් අවුරුද්ද සහ දෙමල අලුත් අවුරුද්ද වෙනස් චාරිත්‍ර ඉටුකරණ උත්සව වන අතර, නව වසර, බෙංගාලි නව වසර වැනි දකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්ද සමරයි.

මෙයට අදාල නිවා‍ඩු දිනය ශ්‍රී ලංකා දින දසුනේ සටහන් කරන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නමිනි.

මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.

අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.

මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.

වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.

උත්සව[සංස්කරණය]

ග්‍රෙගරි දින දර්ශණයට අනුව (අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 දී හන්දුන්වා දුන් දින දර්ශණය ) අප්‍රේල් මාසයේ, එනම් බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි.එසේම මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහලින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැක.

කෙසේ වුවත් විශේෂයෙන් බටහිර රටවල (ග්‍රෙගරි දින දර්ශනය භාවිත කරන රටවල ) දෙසැම්බර් මස 31 මධ්‍යම රාත්‍රියේදී නව වසර උදාව සමරනු ලැබුවද ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නව වසර උදවනු ලබන්නේ නක්ෂත්‍රකරුවන් විසින් නිශ්චය කරනු ලබන දිනයටයි. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සවයට අනුව ගෙවුනු වසර මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී නව වසරක් එවෙලේම උදාවෙයි. නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසාන වීමත් නව වසරේ උදා වීමත් අතර පැය කිහිපයක වෙන්ව පැවතීමක් ඇත. (මෙම කාල සීමාවද නක්ෂත්‍රකරුවන් විසින් තීරණය කරනු ලබයි ) මෙම කාල සීමාව නොනගත කාලය හෙවත් උදාසීන කාලය ලෙස හඳුන්වයි. මෙම කාලය තුල සිංහල ජනයා සාම්ප්‍රදයිකව සියලු ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත් වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම සිදුකරති.

සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වීම සිදු වන්නේ අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව නිවස පිරිසිදු කර පොල්තෙල් පහනක් දැල්වීමෙනි.සමහර ගැමි සමාජ වල කාන්තාවන් එක් රැස් වී රබන් වැයීමෙන් නව වසරක් ආරම්භ වූ බව නිවේදනය කරති.නිවෙස්වල පවුලේ සියලු දෙනා එකතු වී අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් වේලාවන්හිදී සිදු කරනු ලබයි. මෙම කටයුතු වලදී නිවසේ ගෘහණියට ප්‍රමුඛත්වය හිමි වන අතර ඇය නව වසරේ පළමු කටයුත්ත ලෙස නිවසේ මුලුතැන්ගෙට ගොස් නැකතට ලිප ගිනි මොළවා කිරි උතුරවා කිරිබතක් පිලියෙල කරයි. මෙම කටයුතු වලදී නිවසේ සියලු දෙනාගේම දායකත්වය ලැබේ.ඇතැම් විට සමහර ප්‍රදේශ වල මෙම චාරිත්‍ර ක්‍රම ඉතා ස්වල්ප වශයෙන් වෙනස් විය හැකි වුවත් සෑම දෙනාම එකලෙස මෙම සංස්කෘතික මංගල්‍යය සමරති.



අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි. විශේෂයෙන්ම කුඩා ළමයි රතිඤ්ඤා දැල්වීමට මහත් අභිරුචියක් දක්වති. ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික උත්සව වලදී රතිඤ්ඤා දල්වීම සෑම ප්‍රදේශයකම පාහේ සිදුවේ.ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය.

අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට හා දෙමළ හින්දු ආගමිකයින්ට ඉතා වැදගත් ජාතික නිවාඩු දිනයකි. අලුත් අවුරුද්ද සැමරීම ආවරණය සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද එකසේ දායකත්වය ලබා දෙති. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වාගැනීමටත් එකිනෙකා අතර අනෞන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් ඉවහල් වේ.

අස්වනු මංගල්‍යය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නව වසර උදාවත් සමඟ ජ්‍යොතිෂ විද්‍යානුකූලව වී අස්වනු නෙලීමේ කාලයද එලඹේ.එම නිසා ශ්‍රී ලාංකික ගොවි ජනතාව සඳහා අලුත් අවුරුද්ද,සාම්ප්‍රදායික නව වසර මෙන්ම අස්වනු මංගල්‍යයද වේ.

කෝකිලයා[සංස්කරණය]

ආසියානු කොවුලා (කොහා, කෝකිලයා) සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකි. අලුත් අවුරුද්ද හා කොහා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පවතියි. අප්‍රේල් මාසය ආරම්භයේ පටන්ම කොහාගේ කෝකිල නාදය ඇසිය හැකිය. කොවුලා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙකු නොවන අතර සංක්‍රමණික කුරුල්ලෙකි. ඔවුන් සංවාස කාලය සඳහා මාර්තු,අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට පැමිණෙති. කොහාගේ 'කුහු කුහූ' නාදය අලුත් අවුරුද්ද ළඟ බවට පවසන පණිවිඩයක් වැනිය.

එරබදු මල්[සංස්කරණය]

මාර්තු ,අප්‍රේල් මාස වන විට වසන්ත සමය නිසා සියලු ගස් වැල් මලින් ඵලින් බර වේ. සිංහල අවුරුදු කාලයට පිපෙන සුවිශේෂී මල් වර්ගයක් ලෙස එරබදු මල් හැඳින්විය හැක. අප්‍රේල් මාසයේදී එරබදු ගස් රතු පාට මලින් වැසී යන්නේ අලුත් අවුරුද්ද උදාවන බවට ඉඟි කරමිනි.


සබැඳි යොමු[සංස්කරණය]