සායනික විශාදය
විශාදය, උග්‍ර විශාද රෝගය, ඒක ධ්‍රැව විශාදය ආදි වශයෙන් පැතිර පවත්නා දුර්වල මනෝභාවය , දෛනික ක්‍රියාකාරකම් සඳහා උද්යෝගය අඩුවීම සහ සතුට ලබා ගැනීමට හැකියාව අඩුවීම යන රෝග ලක්ෂණවලින් යුක්ත වන මානසික ආබාධයකි.
දොම්නස යන්න පුද්ගලයෙකුගේ තාවකාලික පීඩිත මනෝභාවය හැඳින්වීමට යොදාගත්ත ද සායනික විශාදය යනු පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් ,පවුල් කටයුතු ,අධ්‍යාපනික කටයුතු, නින්ද, ආහාර ගැනීම, කායික සෞඛ්‍යය සහ ජීවිතයේ සතුටු වීමට ඇති හැකියාව අඩපණ කරන උග්‍ර රෝගී තත්වයකි. විශාදයේ සායනික මාර්ගය පුළුල් ලෙස වෙනස්විය හැකිය. එනම් විශාදය ජීවිතයේ එක් වරක් පමණක් ඇතිවිය හැකි අතර ඇතැම් අයෙකු කිහිපවාරයක් මෙම රෝගයට ගොදුරු විය හැකිය. තවද එය ක්‍රම ක්‍රමයෙන් හෝ හදිසියේම ඇති විය හැකිය.
මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයා මාස කිහිපයකින් සුව විය හැකි අතර ඇතැම් රෝගීහු ජීවිත කාලය පුරාම නිරතුරුවම රෝගයෙන් පීඩා විඳිති. විශාදයට ගොදුරු වී සිටින රෝගීන් තම ජීවිත හානිකර ගැනීමට වැඩි නැඹුරුතාවයක් දක්වන අතර වෙනත් ක්‍රම මගින් ජීවිත හානි සිදු වීමට ඇති හැකියාවද වැඩි වේ.
විශාදය තනිව ඇතිවිය හැකි රෝගයක් ලෙසද ඇතැම් විට ද්විධ්‍රැව රෝගයක හෝ නිද්‍රාගත වේදනාවක අතුරුඵලයක් ලෙසද ඇතිවිය හැකිය. මනෝචිකිත්සාව සහ විශාද නාශක ඖෂධ භාවිතය විශාදයට උචිත ප්‍රතිකාර ක්‍රම ලෙස පෙන්වා දිය හැකිය.