සාමදීප සමාජ කේන්‍ද්‍රය (සංස්ථාපිත)

විකිපීඩියා වෙතින්
සාමදීප සමාජ කේන්‍ද්‍රය
සංක්ෂිප්තයසාමදීප
ආදර්ශ පාඨයඑකෙකු විසින් අනෙකෙකු සූරා නොකන තැන, එකෙකු විසින් අනෙකෙකු තලා පාගා නොදමන තැන, සැබෑ සාමයක් සැදුනේ වෙයි. එවන් පිරිපුන් සාමදීපයක් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. අපේ හදවත් පිරිසිදුය. අපි දිනන්නෙමු.
සංස්ථාපනය1980 නොවැම්බර් 30
වර්ගයරාජ්‍ය නොවන සංවිධාන
නෛතික තත්ත්වයසංස්ථාපිත
අභිප්‍රායසමාජ සේවා
මූලස්ථානයජයන්ති මාවත, අනුරාධපුර
පිහිටුම
ප්‍රදේශය සේවය සැපයෙන
ජාතික මට්ටම
Membership
විවෘත සහ ස්වේච්ඡා සාමාජිකත්වය
නිර්මාතෘ/ ක්ෂේත්‍ර අධ්‍යක්ෂ
නීතිවේදී චන්ද්‍රරත්න බණ්ඩාර
Volunteers
100
වෙබ් අඩවියhttp://www.samadeepa.lk

තිරසාර සාමය, තිරසාර සංවර්ධනය, හා දුප්පතුන් ට ජීවත් විය හැකි මට්ටමේ ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීම පිළිබඳ දැවැන්ත වගකීම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වෙත පැවරී ඇති බව අපි තේරුම් ගත යුතු වෙමු. එකී සමාජ වගකීම මනාව තේරුම් ගනිමින් සංස්ථාපිත සාමදීප සමාජ කේන්‍ද්‍රය පසුගිය තිස් වසරකට අධික කාලය තුල රජරට කේන්‍ද්‍ර කර ගනිමින්, ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද, තම වගකීම ඉටු කරමින් සිටියි. උදාර දිළින්දන්ගේ ලේ, කඳුළු හා දහඩිය තුළින් ගොඩනැඟුණු සාමදීපය එකී වගකීම එදා මෙන් ම අදත්, අද මෙන්ම හෙටත් ඉටු කළ යුතු බව සාමදීපයේ සියළුම ක්‍රියාධරයින් මනාව තේරුමේ ගෙන සිටිති.

දැක්ම[සංස්කරණය]

සාමය, සමාජ යුක්තිය, මනා පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස පිලිගන්නා වූ සමාජයක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි.

මෙහෙවර[සංස්කරණය]

ආර්ථික, සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපනික, දේශපාලනික, ආගමික හා අධ්‍යාත්මික වශයෙන් යහපත් අතට ඇති වන වෙනසක් සඳහා ජනතාව සංවිධානය කිරීම, පුහුණු කිරීම හා බලවත් කිරීම ද, දිළිඳුතම පිටුදැකීම, ස්වයං රැකියා හා සුළු ව්‍යාපාර සංවර්ධනය සඳහා අරමුදල් සම්පාදනය කිරීම ද, ළමුන්, කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිතයන් වැනි විශේෂ අවධානයක් අවශ්‍ය පුද්ගලයින් සඳහා සුබසාධන සේවාවන් සැපයීම ද, ස්වභාවික හා මිනිසා විසින් ඇති කරනු ලබන උපද්‍රව වලදී අවශ්‍ය සේවාවන් සැපයීම ද, තෝරා ගත් ජන කොටස් වලට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සැළසීම ද, ජනතාව සතු අයිතිවාසිකම් ගැන මෙන්ම යුතුකම් ගැන ද අවධාරණය කරමින් සිවිල් සමාජය ශක්තිමත් කිරීම ද අපගේ මෙහෙවර වේ.

ඉතිහාසය[සංස්කරණය]

1. යාපනේ යුගය ජාතික සමඟිය තේමා කොට ගෙන ආරම්භ විය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා ස්වේච්ඡාවෙන් සහභාගී වූහ. පුරෝගාමී වූවන් අතරින් කිහිප දෙනෙකුම අද දක්වාම හැකි අයුරින් ස්වේච්ඡා ශක්තියෙන් යුතුව සහභාගී වෙති.

2. කොළඹ යුගය 1978-80

වැඩකරන ජනතාව අතර දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සමගිය වර්ධනය කිරීමේ අදහසින් ක්‍රියාත්මක විය.

3. කෝන්වැව යුගය 1980-2010

1980.11.30 වැනි දින සාමදීප සමාජ කේන්‍ද්‍රය පිහිටුවන ලදි. යැපුම් මානසිකත්වයෙන් යුතු වංචනික පුද්ගලයන් සංවිදානය තුලට ඇතුළු වීම සිදු වූයේ මේ කාලයේදී ය. මොවුන් තමන් කැප වූ නායකයන් බව ප්‍රකාශ කරමින් සංවිධානය තුළ නොයෙක් ප්‍රතිලාභ භුක්ති විඳ පසුව සේවකයන් බව ප්‍රකාශ කරමින් වන්දි ඉල්ලා සිටීම මෙකල දක්නට හැකි වූ පිළිකුල් සහගත ලක්ෂණයයි. ණය ලබාගෙන ආපසු නොගෙවූ පුද්ගලයින්ද මේ කාලයේ බහුල වශයෙන් සංවිධානයට එක් වූහ.

4. අනුරාධපුර යුගය 1990-2010

විවිධ ව්‍යාපෘති වල බලපෑම මත විශාල පැතිරීමක් ඇති විය. එමෙන්ම රට තුළ පැතිර පවත්නා අල්ලස, දූෂණය වැනි සමාජ පාපයන් සංවිධානය තුලට කාන්දු වූයේ මේ කාලයේ ය. එම ප්‍රවණතාවයන් ට එරෙහිව දැවැන්ත අරගලයක යෙදීමට අවංක ක්‍රියාදරයෝ උත්සාහ කළහ. මුදල් මත පදනම් වූ පුද්ගලයන්ගේ බලපෑම මත ආරම්භ වූ සියළුම ව්‍යාපෘති අසාර්ථක විය. නමුත් සංවිධානයේ හොඳ නම මත ලැබුණු විදේශාධාර යොදවා මාහැඟි සේවයක් සැළසීමට අවස්ථාව සැළසුණි.

5. සමස්ථ ශ්‍රී ලංකා යුගය

සේවක මානසිකත්වයෙන් යුත් පුද්ගලයෝ ඉවත් වූහ. අකෘතඥ හා වංචනික පුද්ගලයන් සංවිධානයෙන් ඈත්ව ගියහ. සුපින්වතුන් විසින් තම ධන පරිත්‍යාගයෙන් ගෙන යන ස්වේච්ඡා වයාපාරයක් බවට යළි පත් විය. දූෂිතයන් නීතිය හමුවට ගෙන යන ලදි. යාපනේ යුගයේ සිට සාමදීපය වෙනුවෙන් නොයෙක් කැපවීම් කළ සුපින්වතුන් නැවත සංවිධානය වෙත ළං වූහ. රට පුරා සමාජ සත්කාරයන් කිරීමට හැකි තත්ත්වයට සංවිධාන ව්‍යුහය ශක්තිමත් විය. විශේෂයෙන්ම ගෞරවණීය ධර්ම දූත සම්මාන පිරිනැමීමත්, දකුණු ආසියානු යහපාලන විද්‍යා පීඨය හා ජගත් අඛණ්ඩ ඉගෙනුම් විශ්ව විද්‍යාලය මඟින් ප්‍රවීණතා ප්‍රත්‍යක්ෂ වෘත්තීය සහතික, ඩිප්ලෝමා, උපාධි හා ගෞරව අභිඥා පිරිනැමීමත් නිසා මෙම සාධනීය වෙනස සිදු වූ බව පැවසිය යුතුය.

මෙතෙක් ලබා ඇති ප්‍රගතිය[සංස්කරණය]

1. ග්‍රාමීය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටම.

රට තුළ පවතින දූෂිත භාවිතාවන් නිසැක වශයෙන්ම ගමට බලපෑමේ ප්‍රතිඵල වශයෙන් ඇතැම් ප්‍රජා නායකයෝ මහජන මුදල් ගසා කෑවෝය. අවසානයේදී පිළිගත් මූලධර්‍ම සමඟ එකට යා හැකි සංවිධාන කිහිපයක් තෝරා ගැනීමට සාමදීපය තීරණය කළේය.

2. පළාත් හා ජාතික මට්ටම

සමාජ සංවර්ධනය සඳහා වූ ක්‍රියාකාරී කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ මහජන මන්ත්‍රණ සභාව ඒකාබද්ධ කරන ලදි. අවශ්‍ය අවස්ථාවල ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තබන අතරම සංවිධාන වශයෙන් ඒකාබද්ධව වැඩ කිරීමට මෙමඟින් අවකාශය සැළසිණ. 2015 ජනවාරි 08 වන දින පැවති ජනාධිපතිවරණයට පෙර භාෂා තුනෙන්ම විවෘත සංදේශයක් නිකුත් කරන ලදි. මැතිවරණයෙන් පසුව යහපාලනය සම්බන්ධයෙන් රට තුළ මතු වී ඇති උනන්දුව පිළිබඳව අපගේ සහාය දක්වා අදාළ සියලු බලධාරීන් වෙත ලිපි යවනු ලැබිණි.

3. ජාත්‍යන්තර මට්ටම

1984 දී ඕස්ට්‍රේලියානු විදේශ ප්‍රජා ආධාර සේවය සමඟ එක් වෙමින් සාමදීපය අන්තර්ජාතික ආයතන සමඟ සම්බන්ධතා පවත්වයි. එය අන්තර්ජාතික සමාජ සුබසාධන මණ්ඩලයේ වැදගත් තනතුරු හොබවා ඇත. අන්තර්ජාතික සමාජ සංවර්ධන සන්ධානය සමඟ එය සම්බන්ධතා පවත්වයි. ලෝක රාජ්‍ය නොවන සංවිධාන සංගමයේ සාමාජිකයෙකු ලෙස එම සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවය තවමත් මෙහෙයවනු ලබන්නේ එමගිනි. එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නොවන සංවිධාන ඒකකය වෙත නොකඩවා තොරතුරු සපයන ලදි.

ක්‍රියාකාරකම්[සංස්කරණය]

දකුණු ආසියානු යහපාලන විද්‍යාපීඨය[සංස්කරණය]

2007 දී ආරම්භ කරන ලද දකුණු ආසියානු යහපාලන විද්‍යාපීඨය මඟින් මේ වන විට සිය දෙනෙකුට වැඩි සුවිශේෂී පුද්ගලයින් පිරිසකට ඩිප්ලෝමා, උපාධි හා ගෞරව අභිධාන පිරිනැමීමට සමත්ව සිටී. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජගත් අඛණ්ඩ ඉගෙනුම් විශ්ව විද්‍යාලය සමග එක්ව කටයුතු කරන අතර අන්තර්ජාතික සමාජ වැඩ විද්‍යාල සංගමය සමග සම්බන්ධව සිටී.

ගෞරවනීය ධර්‍ම දූතයෝ[සංස්කරණය]

මේ වන විට සිල්වත් පුද්ගලයින් 200 දෙනෙකුට අධික පිරිසක් ගෞරවනීය ධර්‍මදූත සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඒ අතරින් 50 ක පමණ පිරිසක් සක්‍රීය ලෙස කටයුතු කරති.

මහා ජීව දාන ශාන්තිකර්‍මය / දින 15 සාම භාවනාව[සංස්කරණය]

කෝන්වැව කුඩා කතරගම දේවාලයේදී සුළුවෙන් පටන්ගත් මෙම පුණ්‍ය කර්මය මේ වන විට රට පුරා ක්‍රියාත්මක ප්‍රජා සත්කාරයක් බවට පත්ව තිබේ. 2014.07.26 දින සිට 2014.08.10 දින දක්වා 11 වැනි වරට පැවැත්වුණු පුණ්‍ය කර්මයට දහසක පමණ පිරිසක් සහභාගී වූහ. ජාති, ආගම් භේද වලින් තොර ක්‍රියාශීලී සහභාගීත්වය වැඩසටහනේ විශේෂත්වයයි.

සත්‍ය රාජ බන්ධනය[සංස්කරණය]

සියළුම වැදගත් අවස්ථා වලදී ද, නිල රැස්වීම් වලදී ද, සත්‍ය රාජ බන්ධනය සජ්ඣායනය කෙරේ. මේ වන විට සජ්ඣායනා කර ඇති වාර ගණන 9250 ඉක්මවා ඇත. අන්තර් ආගමික සහජීවනය හා යහපාලනය මෙ මගින් ප්‍රවර්ධනය කෙරේ. පසුගිය සංවත්සර දවසේ සිට මෙම සංවත්සර දිනය දක්වා (2013.11.30 – 2014.11.30) කාලය තුල සත්‍ය රාජ බන්ධනය සජ්ඣායනය කළ වාර ගණන 2000 ඉක්මවා ඇත.

ප්‍රජා පොලිස් සේවය[සංස්කරණය]

ආසියා පදනමේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් සහයෝගිතා ව්‍යාපෘතිය මඟින් සැළකිය යුතු සේවයක් ඉටු කළ හැකි විය. අනුරාධපුර, තලාව, තිරප්පනේ, නොච්චියාගම හා එප්පාවල යන පොලිස් කොට්ඨාශ වල සිවිල් ආරක්ෂක කමිටු සාමාජික සාමාජිකාවන් මෙම වැඩසටහන යටතේ දැනුවත් කරන ලදි.

රජය සමඟ සම්බන්ධතා[සංස්කරණය]

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත නිතිපතා වාර්තා යවන ලද අතර දිස්ත්‍රික් මට්ටමින් පැවති රැස්වීම් වල දී ද, හැකි සෑම අවස්ථාවක දී ම සහභාගීත්වය ලබා දෙන ලදි. පළාත් මට්ටමේ මෙන් ම ජාතික මට්ටමේ දේශපාලන නායකත්වයේ සහයෝගය සාර්ථක ලෙස ලබා ගැනීමට හැකි විය.

බාහිර සංවිධාන[සංස්කරණය]

ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විවිධ ස්වේච්ඡා සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. අපගේ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමට අපට ඉඩ සැලසුණේ මෙම සහයෝගය නිසා ය.


ඉදිරි මඟ[සංස්කරණය]

සාමදීපය ඇරැඹුණේ ප්‍රධාන අරමුණු දෙකක් සිත් හි දරා ගෙන ය. ඒවා නම් සාමය හා සංවර්ධනයයි. පසුව සාමය යනු සමාජ යුක්තිය ලෙසත්, සංවර්ධනය යනු දිළිඳුකම පිටුදැකීම ලෙසත්, නිර්වචනය කරන ලදි. වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යෑමේදී මේ අරමුණු එකක්වත් යහපාලනයෙන් තොරව ළඟා කර ගත නොහැකි බව අවබෝධ විය. ඒ අල්ලස හා දූෂණය සියලු ආකාරයේ යහපත් ප්‍රයත්නයන්ට එරෙහිව මතු වන නරක ම බාධකයන් බැවිනි.

මේ නිසා අද අපි අපගේ ප්‍රථම ප්‍රමුඛතාවය වශයෙන් යහපාලනය පිළිබඳව අවධානය යොමු කරන්නෙමු. මෙම ගමනේදී අපට සහාය වන ලෙස අපි අපගේ සියලු ම සාමාජික සාමාජිකාවන්ට ද, සුබ පතන්නන්ට ද, හවුල් කරුවන්ට ද ආයාචනය කරමු.

ස්තූතිය[සංස්කරණය]

දීර්ඝ අතීතයේදී මෙන්ම ගතවූ වර්ෂය තුළදීද සාමදීපයට සහාය වූ පිරිස අති විශාලය. ගරුතර ස්වාමීන් වහන්සේ, ගරු පූජක තුමන්, දේශපාලන නායක නායිකාවන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙන්ම අපගේම සාමාජික සාමාජිකාවෝ ඒ අතර සිටිති. මම ඒ සියළු දෙනා විසින් ඉටු කර ඇති සේවය වෙනුවෙන් සිරස නමා ස්තූති කිරීමට මේ අවස්ථාව යොදා ගන්නෙමි. සාමදීපය දිනේවා ! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. !!!

චන්ද්‍රරත්න බණ්ඩාර නිර්මාතෘ/ ක්ෂේත්‍ර අධ්‍යක්ෂ