ශ්‍රී ලංකාවේ මැණික්
අතීතයේ පටන් ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද පිදුම් ලද ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞභාග්‍යය මැනවින් පසක් කර දෙයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝. දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ.
භූගෝලීය වශයෙන් සලකන විට ලංකාව ඉතාමත් පැරණි රටක් ලෙස හැඳින්විය හැක. එහි වූ පාෂාණ ස්ථර වලින් 90% ක් ම අයත්වන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයට (වසර මිලියන 560 – 2400 පෙර) වේ. මෙම පාෂාණ අතර වන ආග්නේය පාෂාණ, කැල්සියම් තැන්පතු, මඩ තැන්පතු වල සිදුවන දීර්ඝ කාලීන විපර්යාසයන් හේතුවෙන් මැණික් සෑදීම සිදුවේ.
බොහෝ විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙන්නේ ගංගා ආශ්‍රිතවය. භූමි ප්‍රමාණයන් සමග සලකන විට මැණික් ඉල්ලම් සොයාගැනීමේ වැඩිම සම්භාවිතාවයක් ඇත්තේ ලංකාවේය. විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවන මැණික් පුරය හෙවත් රත්නපුරයට එම නම පටබැඳී ඇත්තේද මැණික් ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශය දක්වන ප්‍රසිද්ධිය නිසාමය.
නිල් මැණික් අතරින් ලංකාවේ නිල් මැණික් වලට අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඒවාටම ආවේනික වූ පැහැය, සුපිරිසිඳු බව හා දීප්තිමත් බව නිසාමය.