ශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ථූපාරාමයට වඩා පසු කාලයේදී ඉදි කරන ලද ස්ථූප ඊට වඩා විශාල විය. දුටු ගැමුණු රජතුමා (ක්‍රි.පූ.161-137) මිරිස වැටිය ද, රත්නමාලී මහා ථූපය ලෙසින් හඳුන්වන බොහෝ බැතිමතුන්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ රුවන්වැලි සෑය ද ගොඩනැංවූයේය. මිරිසවැටියේ පාද‍මෙහි විෂ්කම්භය අඩි 168 ක් විය. රුවන්වැලි සෑයේ පාදමෙහි විෂ්කම්භය අඩි 289 ක් වූ අතර උස රියන් 120 ක් නොහොත් අඩි 300 ක් පමණ විය. එහි හැඩය බුබ්බුලාකාරය. වට්ටගාමිණී රජු (වළගම්බා -ක්‍රි.පූ.103 ) මුලදී තැනූ අභයගිරිය එතරම් විශාල ථූපයක් නොවීය. පසු කලෙක කරන ලද විශාල කිරීම් නිසා එය මහාථූපයට වඩා විශාල විය. මේ සියල්ලටම වඩා විශාල ජේතවනාරාම ථූපය තැනවීම සම්බන්ධයෙන් මහාසේන රජු (ක්‍රි.ව.276-303) ගෞරවයට පාත්‍ර වේ. එහි පාදමෙහි විෂ්කම්භය අඩි 367 කි. එහි වර්තමානයේ උස අඩි 232 ලෙස ගණන් බලා ඇතත් මුල්ම උස රියන් 160 ක් වන්නට ඇතැයි අනුමාණ කෙරේ.

ජේතවන ථූපයේ ප්‍රධාන විශේෂත්වය නම් එහි අඩිතාලමය. එය පිහිටි ගල දක්වා ද අඩි 250 ක් ගැඹුරට දිවයයි. එම ථූපයේ උසට සරිලන තරමටම අඩිතාලම දක්වා විහිදෙන ගැඹුරක් ඇත. අඩි තාලම ඇතුළු මුළු ජේතවනය ථූපයේ ව්‍යුහමය ගත් කළ එය ඊජිප්තුවේ මහා පිරමීඩයට වඩා බරින් ද විශාලත්වයෙන් ද වැඩිය.

මිහින්තලයේ ද විශාල ස්ථූප තනා ඇත. ඒ මිහිඳු රහතන් වහන්සේ රජු මුණ ගැසුණු ස්ථානයේය. මාගම දීඝවාපිය (අම්පාර කිට්ටුව) කතරගම සහ වෙනත් තැන්වලද විශාල ස්ථූප තිබේ. ලංකාවේ ස්ථූප ගොඩනැංවූවන් ඉන්දියාවේ සාංචි සහ වෙනත් තැන්වල තිබුණු එවැනි ගොඩනැගිලි සැලසුම් ඉතා හොඳින් අධ්‍යයනය කළහ. මෙම යෝධ ඉදිකිරීම්වල අර්ධ ගෝලාකාර ශිඛරය ගොඩ නගා තිබුණේ පේසා වළලු තුනක් මතය. ථූපය මුදුණේ දැවයෙන් හෝ ගලින් කළ වැටක් තිබුණි. පසු කලෙක මෙය හතරැස් ගල් යොදා නිම කරන ලදී. ගෝලාකාර ශිඛරයට එබ්බවූ ගල් කුළුණු පෙරකී වැටෙන් ඉහළට දිගු විය. ස්ථූපය මුදුණේ ඡත්‍රයක් හෝ ඡත්‍ර කීපයක් (කුඩ) සවි කරන ලදී.

කුඩා දාගැබ්[සංස්කරණය]

කුඩා දාගැබ්වලට හොඳම නිදර්ශනයක් නම් මිහින්තලේ කණ්ඨක චෛත්‍යයයි. එහි කදිම ගල් කැටයම් ප්‍රමාණයක් සහ ටෙරා-කොටා බදාමයෙන් නිමවන ලද රූපද අඹා තිබුණි. අද පවා ඒවා සුරැකිව පවතී. මෙම චෛත්‍යය තවත් වැදගත් අංගයක් නම් එහි ඇති වාහල් කඩයි. එහි සත්ව රූප, පුන් කලස්, මල්කම් ලියකම් ආදිය කැටයම් කර තිබුණි. බොහෝ දාගැබ්වල දක්නට ලැබෙන මෙම වාහල් කඩ පාදමේ සිට ප්‍රධාන සිව් දිශාවට මූහුණ ලා පිහිටුවා තිබුණි.

වටදාගේ[සංස්කරණය]

හතරවැනි සියවසෙන් පසු විශාල ප්‍රමාණයේ දාගැබ් ඉදිකිරීම් අවසාන වූ බව පෙනී ගොස් තිබේ. ඉන් පසු අනුරාධපුරයේ ථූපාරාමය ආදර්ශයට ගෙන කුඩා ප්‍රමාණයේ ස්ථූප ගොඩනංවා තිබේ. මෙම ක්‍රමය 'වටදාගෙය' නමින් ප්‍රසිද්ධියට පත් විය. වෘත්තාකාර ධාතු මන්දිරයකි. අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය හැරුණු විට හොඳම නිදර්ශනය දක්නට ලැබෙන්නේ පොළොන්නරුවෙහිය.

අනුරාධපුර -ත්‍රිකුණාමල‍ය පාරෙන් හැරී මදක් දුර ගිය විට හමුවන තිරියායෙහි ද පොළොන්නරුව අසල මැදිරිගිරියේද කදිම වටදා ගෙවල් දෙකක් දක්නට ලැබේ. මෙම රවුම් සිද්ධස්ථානය තුළ කුඩා ස්ථූප තිබෙන අතර ඒ වටා ලී කණු පිහිටුවා තිබේ. පසු කලෙක මෙම දැව කණු වෙනුවට කැටයම් කරන ලද ගල් කණු සිටුවා තිබුණි. පිටතට විහිදෙන විට ප්‍රමාණය කුඩා වන පරිදි සම කේන්ද්‍රික වෘත්තවල ගල් කණු පිළිවෙලකට පිහිටුවා තිබුණි.


ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ ස්ථූප කිහිපයක්[සංස්කරණය]

Ruwanveli.gif
ස්ථූපයේ නම ගොඩනැගූ රජතුමා කාල වකවානුව
ථූපාරාමය දේවානම්පියතිස්ස ක්‍රි.පූ 3 වන සියවස
තිස්සමහාරාමය කාවන්තිස්ස ක්‍රි.පූ 2 වන සියවස
මිරිසවැටිය දුටුගැමුණු ක්‍රි.පූ (161-137)


රුවන්වැලිසෑය දුටුගැමුණු ක්‍රි.පූ (161-137)
අභයගිරිය වළගම්භා ක්‍රි.පූ (88-76)


ජේතවනය මහසෙන් ක්‍රි.ව (269-296)


කිරිවෙහෙර මහාපරාක්‍රමබාහු ක්‍රි.ව(1140-1173)
රන්කොත්වෙහෙර නිශ්ශංකමල්ල ක්‍රි.ව (1174-1183)




මේ ස්ථූප අතර පැරණිම ස්ථූප ප්‍රමාණයෙන් කුඩා වේ.දුටුගැමුණු රජු විසින් මිරිසවැටි දාගැබ ඉදිකිරීමත් සමඟම ලංකාවේ විශාල ස්ථූප තැනීම ආරම්භ විය.ඉන් අනතුරුව ඉදිකළ රුවන්වැලිමහාසෑය, ජේතවනිරාමය, අභයගිරිය එකකට එකක් නොදෙවෙනි ලෙස ගොඩනංවා තිබේ.මෙහි සඳහන් ස්ථූප කිහිපය හැරෙන්නට විවිධ රජවරුන් විසින් විවිධ කාරණා පදනම් කරගෙන ස්ථූප රාශියක් ඉදිකර ඇතිබව පැහැදිලි කාරණයකි.වර්තමානයේ ඕනෑම පන්සලක දක්නට ලැබෙන අත්‍යවශ්‍ය අංගයක් ලෙස බෞද්ධ ස්ථූපය හැඳින්විය හැකිය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]