ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ නිෂ්පාදනයේ ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ විමසිලිමත් දෑසින් බැලුවහොත්, අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා ම විවිධ මුලාශ්‍ර වලින් කරන ලද කැටයම් කලාව අනුක්‍රමයෙන් විකසනය වෙමින් පැවති බවට සාධක දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මුල්ම ජාන පදිකයන් ලෙස සැලකෙන ආර්යයන් තුළ පවා යකඩ භාවිතය පිළිබඳ දැනුම පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙන "අයෝ", "අයස්" යන පද සාක්ෂි දරයි. ආර්යයන් කෘෂි කර්මාන්තයට හුරු වීමත් සමඟ නඟුල, කැත්ත, උදැල්ල ආදී උපකරණ සකස් කර ගත් බව දක්නට ලැබේ. බෞද්ධාගම මෙරටට හදුන්වා දීමෙන් පසුව එනම් ක්‍රි.පූ.06 වන ශත වර්ෂයට පසුව සංඝමිත්තා තෙරණිය සමඟ භාරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත විමත් සමඟ යකඩ හා වානේ සම්බන්ධ කර්මාන්ත ද ශීඝ්‍ර ලෙස වර්ධනය විය. එමෙන්ම එම කර්මාන්තයෙහි නිර්මාණාත්මක බව හා සූක්‍ෂ්ම බව ද ක්‍රමයෙන් වර්ධනය විය. ඒ අනුව යකඩ උණු කිරීම හා වානේ සකස් කිරීම අතීත කාලයේ සිටම ශ්‍රී ලංකාවේ සිදු කළ බවට සාධක ස්ථාන රැසක සිදු කළ පුරා විද්‍යාත්මක කැනීම් වලින් සොයා ගෙන තිබේ. අභයගිරි කැනීම් වලදී ලෝකුරු කම්හලක නටඹුන් හමුවී ඇති අතර ලෝකඩ වලින් කරන ලද කාසි ද හමුවී ඇත. එසේම බලන්ගොඩට නුදුරු ගම්වල සහ නුවර දිස්ත්‍රීක්කයේ ද යකඩ හා වානේ කර්මාන්තය පදනම් වූ භාණ්ඩ නිෂ්පාදනය සිදු කර ඇත. කොත්මලේ යකඩ සඳහා ද කිරිවවුල (උඩු නුවර) පිත්තල භාණ්ඩ සඳහා ද ප්‍රසිද්ධියට පත්ව තිබීමෙන් ඒ බව සනාථ වේ. ප්‍රමාණාත්මකව ගත් කළ මෙම භාණ්ඩ නිෂ්පාදනය ඉතා අල්ප වුව ද ඒවා තත්ත්වයෙන් උසස් ඉතා විශිෂ්ට නිර්මාණයන් විය. අතීතයේ ශ්‍රී ලංකාවෙන් සිරියාවට පවා කඩු සෑදීමට අවශ්‍ය වානේ අපනයනය කළ බව ඔබ ඇසූ විට මවිතයට පත් වේවි. නමුත් එය සැබෑවකි.

පොළොන්නරු යුගයේ පිත්තල භාණ්ඩ[සංස්කරණය]

වාස්තු විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව 06 වෙනි ශත වර්ෂයේ සිට විකසනය වෙමින් ආ යකඩ හා වානේ කර්මාන්තය 12 වෙනි ශත වර්ෂයේ පොළොන්නරු යුගය වන විට වානේ නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය. වානේ හා තඹ වලින් නිර්මාණය කළ,

  1. කතුරු
  2. ස්කැල්පල(සැත්)
  3. අඬු සහ
  4. ඉඳිකටු

ආදී ශල්‍ය උපකරණ සමහරක් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනීම් වලදී සහ මිහින්තලේ රෝහල් භූමිය ආශ්‍රිත කැනීම් වලින් සොයා ගෙන ඇත.

මහනුවර යුගයේ පිත්තල භාණ්ඩ[සංස්කරණය]

මහාවංශ වාර්තා වලට අනුව මහනුවර යුගයේ සිට ලෝකඩ හා පිත්තල භාන්ඩ නිෂ්පාදනය විකසනය වූ බව දැක්වේ. පසු කාලීනව ඉන්දියානු වානේ ශිල්ප තාක්ෂණයේ බලපෑම හා ආභාසය ශ්‍රී ලංකානු වානේ කරුවන්ට ලැබිණි. පිත්තල භාණ්ඩ සහ වානේ මිශ්‍ර කර්මාන්ත වලදී ඉන්දියානු විධි ක්‍රම භාවිතා කර ඇත.දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟ ම පිත්තල භාණ්ඩ නිෂ්පාදනය ද වර්ධනය විය. එයට හේතු වූයේ පිත්තල සැමරුම් හා තෑගි භාණ්ඩ වලට ලැබුණු ඉහළ ඉල්ලුමයි. එම කාලයේ සැමරුම් ලෙස බහුලව භාවිතා වු පිත්තල භාණ්ඩ අතර,

  1. පිත්තල බන්දේසි
  2. බිත්ති ඵළක
  3. විසිතුරු සත්ත්ව රූප
  4. පාත්‍ර
  5. බදුන් සහ
  6. පෝච්චි ආදිය ප්‍රධාන විය.

පිත්තල භාණ්ඩ සකස් කරන ක්‍රම[සංස්කරණය]

පිත්තල වලින් කරන ලද භාණ්ඩ (තඹ සහ සින්ක් මිශ්‍ර) වර්ග දෙකකට බෙදිය හැක.

  • .තලා සකස් කර ගත් (මිටිය ආධාරයෙන් හැඩය සකසා ගත්)
  • .වාත්තු කරන ලද (ලෝහ උණු කොට අච්චුවකට දැමීමෙන් රූප ඉස්මතු වන ආකාරයට සකස් කිරීම)

වාත්තු කිරීම කරනුයේ, වාත්තු කර්මයේ දක්ෂ වැඩ කරුවන් විසිනි. එමෙන්ම, මිටියෙන් තලා භාණ්ඩ නිපදවීම හා කැටයම් කෙටීම වානේ කර්මාන්තයේ නිපුණතාවයකින් යුත් කැටයම් කරුවන් විසින් කරනු ලැබීය. පිත්තල මගින් නිර්මාණය කර ගන්නා ලද භාණ්ඩ රුසක් අපට දැක ගත හැකි වේ. දොර අඟුල්, සරනේරු සහ යතුරු කැරැලි ආදී කුඩා උපකරණ වල සිට බන්දේසි, පහන්, ගිර, හුණු කිල්ලෝට ආදී භාණ්ඩ දක්වා සෑම භාණ්ඩයකම පාහේ සංකීර්ණ විවිධ හැඩයන් සහ මෝස්තර නෙළා ඇත. දුම්කොළ හෙප්පු සහ බුලත් හෙප්පු ආදිය තඹ සහ රිදියෙන් කැටයම් කර තිබේ. බොහෝ විට මෙම භාණ්ඩ කැටයම් කර තිබෙන්නේ සාම්ප්‍රදායික මෝස්තර වලිනි.

පිත්තල භාණ්ඩ සැරසිලි මෝස්තර[සංස්කරණය]

උදාහරණ ලෙස මහනුවර යුගය වන විට ‍ ජනප්‍රියව පැවති සැරසිලි මෝස්තර වන ඉර - සඳ, හංස පූට්ටුව, ලිය වැල්, පලා පෙති, අරිම්බුව, කිදුරංගනාව වැන සියුම් මෝස්තර මෙම පිත්තල භාණ්ඩ වල කැටයම් කර ඇති අයුරු දැකගත හැක. එමෙන්ම කලාත්මක ලක්‍ෂණ වලින් යුත් කුඩා බුලත් වංගෙඩි(betel-pounders), පිත්තල පහන් ආදිය විවිධ ඓතිහාසික යුග වලදී වානේකරුවන් විසින් නිපදවනු ලැබීය. එම භාණ්ඩ වලින් ඔවුන්ගේ තාක්‍ෂණික නිපුණතිවය පෙන්නුම් කරනු ලබන අතර, විවිධ ඓතිහාසික යුග වල ඒවාටම ආවේණික වූ ලක්‍ෂණ ද දැකගත හැකි වේ. බෞද්ධ හා හින්දු පන්සල් වල ද, ක්‍රිස්තියානි පල්ලි වල ද ඇති සීනු පිළිබඳව විමසිල්ලෙන් බැලුවහොත් ඒවා පිත්තල වලින් නිම කර ඇති බව දැකගත හැකි වේ.ඒ අනුව තැලීම සහ වාත්තු කිරීම මඟින්, රිදියෙන් හෝ තඹ වලින් ඉතා අනඟි කැටයම් සහිතව පිත්තල භාණ්ඩ නිර්මාණයට මහනුවර යුගය ඉතා ජනප්‍රිය වූ බව පෙනේ.

පිත්තල වලින් කරන ලද භාණ්ඩ[සංස්කරණය]

ගිරය(arecanut slicers)-

පිත්තල වලින් කරන ලද කපන තලය රහිත එදිනෙදා භාවිතයට ගන්නා උපකරණයකි. මේවා සමහරක රිදී කම්බියෙන් කරන ලද නිර්මාණ හෝ එබ්බවූ නිර්මාණ දැක ගත හැක.

බුලත් වංගෙඩි(betel-pounders)-

ඉතා සූක්‍ෂ්ම කුඩා යකඩ වංගෙඩි සමඟ පිත්තල මෝල්ගස් එකල නිර්මාණ අතර දැක ගත හැකි වේ.මේවා යකඩින් නිර්මාණය කළ අතර ඝන දෙවි සංකේත යන්ද නිමවන ලදී. ඇත්කඳ ළිහිණියාගේ දිගු නියවල හැඩය මූලික කර ගෙන ඇත.

කිල්ලෝටය(lime-boxes)-

තඹ හෝ පිත්තල වලින් නිපදවිය. කලාතුරකින් යකඩ හෝ වානේ වලින් දැක ගත හැකි වේ. විවිධ මෝස්තර වල පිත්තල කිල්ලෝට යුරෝපානු බලපෑම පෙන්නුම් කරයි.

හෙප්පු(betel-boxes)-

නුවර යුගයේ පැතැලි, ඕවලාකාර, පිත්තල වලින් සෑදු ඕලන්ද දුම්කොළ හෙප්පු ජනප්‍රිය විය. බුලත් හෙප්පු ද එසේමය. නමුත් ඒවායේ කැටයම් කර තිබුණේ සාම්ප්‍රදායික සිංහල මෝස්තරයන් ය. හෙප්පු වැනි දේවල් හි මිටවල් සාමාන්‍යයෙන් සෑදුවේ පිත්තල වලින් වන අතර උත්සව වලදී භාවිතා කරන ඒවායේ රිදියෙන් මිටවල් සකස් කරන ලදී.

මැටි බඳුන්(pots)-

මැටි භාජන සහ කළ පිත්තල සහ ලෝකඩ වලින් වාත්තු කර තිබේ. චාරිත්‍ර සඳහා ගනු ලබන කළ එනම්, කොතලය විහාරස්ථාන වැනි පූජනීය ස්ථාන වලින් බහුලව සොයා ගත හැක. මෙවැනි කෙමිය විවෘත කොතල සාමාන්‍යයෙන් මල් ආසන වලට තබන මල් වලට පැන් ඉසීම සඳහා පැන් පුරවා තැබීමට භාවිතා කර ඇත. සමහර අවස්ථා වලදී පානීය ජලය දැමීමට ද භාවිතා කර ඇත.

තෙල් කුලාව-

තෙල් කුලාව යනු කළයකි. පටු කට්ට සහිත කෙමියකින් යුත් මෙය පහන් දැල්වීම සඳහා අවශ්‍ය පොල් තෙල් දැමීමට භාවිතා කරන ලදී.

කෙණ්ඩිය-

දිගටි කෙමිය සහිත භාජනයකි. තඹ, පිත්තල හෝ රිදී භාවිතා කර මෙහි මූඩිය සාදා ඇත.


ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වන දමිළ ජනතාව විශාල වශයෙන් පිත්තල භාණ්ඩ භාවිතා කරයි. විශේසයෙන්ම දුර බැහැරින් ජලය ගෙන ඒම සඳහා ස්ත්‍රී පාර්ශ්වය මේවා භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ දකුණු කොටස් වල පදිංචි වූ වාත්තු කර්මයෙහි නිපුණ ශිල්පියා විශාල පිත්තල පහන් නිර්මාණය කරන ලදී. ඒවා මංගල, අවමංගල වැනි විශේෂ අවස්ථාවන් වලදී භාවිතා කරනු ලැබේ. මෙලෙස ගත් කල ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස ඈත අතීතයේ සිට ක්‍රමිකව විකාශනය වූවක් බව පැහැදිලි වේ. එපමණක් නොව එම කර්මාන්ත වලට එකල ප්‍රධාන වූ ප්‍රදේශ අද ද එම කර්මාන්ත වලට ජනප්‍රිය වී පවතින අතර පාරම්පරික උරුමයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය කියා පාන්නක් ලෙස ද දැක්විය හැක.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී ඒවා බෙහෙවින් ජනප්‍රිය බව පැහැදිලි වේ. සෑම පුද්ගලයකුම පාහේ පිත්තල භාණ්ඩ එක් රැස් කිරීමට කැමැත්තක් දක්වයි. මන්ද යත්, වත්මන් සමාජයේ සෞභාග්‍යමත් බව පෙන්වන්නක් ලෙස ද පිත්තල භාණ්ඩ සැලකෙන බැවිනි. විශේෂයෙන්ම පැරැණි පිත්තල භාණ්ඩ(antique brassware) රැස් කිරීම සඳහා සැවොම ආශා කරන්නේ ඒවායේ පවතින කලාත්මක ලක්ෂණ සලකා බලාම පමණක් නොව ඒවා ඉතා මිල අධික භාණ්ඩ ද වන බැවිනි. එම නිසා වත්මන් පිත්තල භාණ්ඩ කර්මාන්තය වෙනස් දිශාවක ගමන් කරමින් පවතී. එනම්, පැරැණි පිත්තල භාණ්ඩ වල ස්වරූපය හා එම කැටයම් සහිත නව පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. අලංකාර මල් පෝච්චි, බිත්ති ඵලහ, වෙනත් විසිතුරු භාණ්ඩ මේවා අතර ඉතා ජනප්‍රිය වේ.

පිංතූර ගැලරිය[සංස්කරණය]

පැරැණි පිත්තල භාණ්ඩ

නව පිත්තල භාණ්ඩ


මූලාශ්‍ර[සංස්කරණය]

Sunday Observer, Junior Observer


ආශ්‍රිත ලිපි[සංස්කරණය]