ශ්‍රී ලංකාවේ ආගමික පසුබිම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය ආගම් කිහිපයක් යටතේ බෙදා දැක්විය හැක.ඉන් 70% ක් පමණ වන ශ්‍රී ලංකිකයන් ථේරවාදි බෞද්ධයන් වන අතර 15% ක් පමණ හින්දූය. ඉතිරි ජනගහනයෙන් 10% ඉස්ලාම් සහ 7%ක්‍රිස්තියානි ආගම් අදහති. 2008 වර්ෂයේදී ශ්‍රී ලංකාව ආගමික විවිධාංගිකරණය වැඩිම රටවල් අතුරින් 03 වැනි ස්ථානය හිමි කරගන්නා බවට 'ගලුප් පොල්' සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන ලදී. කිනම් ආගමක් ඇදහුවද ශ්‍රී ලංකිකයන්ගෙන් 99% පවසා සිටින්නේ තමන්ගේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමට තමන්ගේ ආගම අත්‍යාවශ්‍ය අංගයක් බවයි.

බෞද්ධ [70%] හින්දු [15%] ක්‍රිස්තියානි [7.5%] ඉස්ලාම් [9.7%]
Sri Lanka Buddhism.svg Sri Lanka Hinduism.svg Sri Lanka Christians.svg Sri Lanka Islam.svg
ශ්‍රී ලංකවේ ප්‍රධාන ආගම් හතරට අයත් ජනතාව දිස්ත්‍රික් වශයෙන් ව්‍යාප්ත වී ඇති ආකාරය ඉහත ශ්‍රී ලංකා සිතියම් ආධාරයෙන් දක්වා ඇත.(ඉහත ප්‍රතිශත 2001 වර්ෂයේ ජනලේඛණ වලින් උපුටාගෙන ඇති අතර ජනගහන පරිමාව 1981 වර්ෂය මත පදනම්ව ඇත.මේ වනවිට මෙම දත්ත වෙනස්වීම් වලට ලක් වී ඇති බැවින් මෙම තොරතුරු 100% නිවරදි විය නොහැක. )

බුද්ධාගම[සංස්කරණය]

රුවන්වැලි මහා සෑය

මුළු ජනගහනයෙන් 70% අදහන ථේරවාදී බුදු දහම ලංකාවේ ප්‍රධානතම ආගමයි. බු.ව.246 දී අශෝක අධිරාජ්‍යාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහොය දිනක ලංකාවට වැඩමවා එවකට ලක්දිව පාලනය කල දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයෙකු බවට පත් කිරීමත් සමඟම බුදු දහම ලංකාවේ ස්ථාපිත විය. එතැන් පටන් සියලුම රාජ්‍ය පාලකයන් බුදු දහම ලංකාවේ ව්‍යාප්ත කිරීම සදහා වෙහෙස මහන්සි වී වැඩ කළේය. අශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය විසින් බුද්ධගයාවේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවා මෙරට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සදහා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී.බු.ව.200 පමණ වන විට බෞද්ධ ආගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්විය.04 වන සියවසේදී ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා සුවිශේෂී සිදු වීමක් සිදු විය. එනම් දන්ත කුමරුවන් හා හේමමාලි කුමරිය විසින් දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩමවීමයි. කෙසේ නමුත් පසු කාලයේදී ඇති වූ හින්දු හා යුරෝපීය බලපෑම් මඟින් බුද්ධාගමට යම් බලපෑමක් එල්ල විය. නමුත් 19 වන සියවසේ මද භාගයේදී බෞද්ධයන්ගේ පිනට මෙරට පහළ වූ අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද බෞද්ධ ආගම සුරැකීමේ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස නැවත මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇතිවිය.අනගාරික ධර්මපාලතුමාට මේ සදහා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, මිගෙට්ටුවත්තේ ගුණාණන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ආදී දෙස් විදෙස් ගිහි පැවදි උතුමන්ගේ සහය ලැබුණි.

හින්දු[සංස්කරණය]

කෝවිල

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 16% පමණ හින්දු භක්තිකයෝය. හින්දූන්ට නොනැසී ආරක්ෂා වීමට හා දිගින් දිගටම මෙරට රැදී සිටීමට දකුණු ඉන්දීය පාලකයන්ගේ සහය ලැබුණු ආකාරය ඉතිහාසය පුරාම වරින් වර දක්නට ලැබේ.යුරෝපීයන්ගේ යටත් විජිත පාලන සමයේ නැගී ආ ක්‍රිස්තියානි ආගම හේතුවෙන් අනෙක් ආගම් වලට මෙන්ම හින්දු ආගමට ද බලපෑම් එල්ල විය. අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගෙන් බහුතරයක් හින්දු භක්තිකයෝය.ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන්ගේ ප්‍රමාණය 16% පමණ වුවද ඔවුන් අතර ඉතා හොඳ ආගමික සහයෝගීතාවයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන හින්දු ඉතිහාසයේ ඉතා වැදගත් හින්දු ආගමික තැනැත්තා බවට පත් වන්නේ යාපනයේ සත්ගුරු ශිව යෝගස්වාමි පූජකතුමාය. විසිවන සියවසේ බිහි වූ ඉතා විචක්ෂණශීලී පූජකවරයෙකු වූ මොහු හින්දු ආගමිකයන්ගේ හදවත් තුල නිල වශයෙන් සත්ගුරු පදවිය ලද ඉසිවරයා ද වේ.

ඉස්ලාම්[සංස්කරණය]

7 වන ශත වර්ෂයේ දී අරාබි ජාතික වෙළඳුන් විසින් ඉන්දියන් සාගරයේ වැඩි ප්‍රමාණයක වෙළඳ බලය අත්පත් කොටගෙන තිබුණි. එම නිසා ශ්‍රී ලංකාවට ද මොවුන්ගේ බලපෑම එල්ල විය. එකී තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිකයන් ශ්‍රී ලංකාවේ පදිංචි කරුවන් බවට පත් විය.මොවුන් තමන්ගේ ආගම වන ඉස්ලාම් ආගම ලංකාව තුල ව්‍යාප්ත කිරීමට උත්සහ කළහ. කෙසේ නමුත් 16 වන සියවසේ දී පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමඟම මුස්ලිම් ජාතිකයන් සතුව පැවති වෙළඳ බලය තමන් සතු කරගනීමට පෘතුග්‍රීසීන් උත්සහ දැරූහ. මෙම තත්ත්වය යටතේ මුස්ලිම් සම්භවක් සහිත පිරිස් වෙත පෘතුග්‍රීසීන්ගෙන් බලපෑම් එල්ල වන්නට විය.මෙම තත්ත්වයට මුහුණ දීම සදහා මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාප වල සිට රට තුලට හා නැගෙනහිර ප්‍රදේශ වලට සංක්‍රමණය විය.වර්තමානයේ දී මුස්ලිම් ජාතිකයන්ගේ අවශ්‍යතා වුවමනා පිළිබඳව වැඩි දුරටත් සොයා බලීම සදහා 1980 දී 'මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව' ආරම්භ කරන ලදී. මෙහි මූලික අරමුණ වනුයේ මුස්ලිම් ජාතිකයන්ගේ හුදකලා බව දුරුකරලීමයි.අද වන විට සිටින 10% පමණ වන මුස්ලිම් ජාතිකයන්ගෙන් වැඩි පිරිසක් අරාබි ජාතික සම්භවයක් ඇති මරක්කල සහ මැලේ ජාතිකයන්ය.

ක්‍රිස්තියානි[සංස්කරණය]

මඩු පල්ලිය

ක්‍රිස්තියානුවන්ගේ මතයට අනුව ප්‍රථම ක්‍රිස්තියානු ධර්ම දූතයා ලංකාවට (සහ ඉන්දියාවට ) පැමිණ ඇත්තේ පළමු වන ශත වර්ෂයේදී ය.ඔහුගේ පැමිණීමෙන් පසුව ක්‍රිස්තියානි වාසස්ථාන ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල සුළු වශයෙන් හට ගැනුණි. කෙසේ නමුත් 15 වන සියවසේ පෘතුග්‍රීසීන්ගේ සංක්‍රමණය සිදු වන තෙක් ක්‍රිස්තියානුවන්ගේ පැහැදිලි වර්ධනයක් දක්නට නොවීය. 17 වන සියවසේ දී ලන්දේසීන්ගේ ආගමනයත් සමඟම ක්‍රිස්තියානි ජනගහනය 21% දක්වා ඉහළ නැගි අතර එතැනින් ද නොනැවතී 1722 දී ක්‍රිස්තියානි ආගම ලංකාවේ රාජ්‍ය ආගම බවට ද පත්විය.1796 දී ලන්දේසීන් පලවා හරිමින් ලංකාවේ පාලන බලය බ්‍රිතාන්‍ය ජාතිකයන් සතු කර ගැනීමත් සමඟ 1802 පටන් ලංකාව බ්‍රිතාන්‍ය රජය යටතේ පාලනය වන යටත් විජිතයක් බවට පත් විය.19 වන සියවසට පෙරසිටම එංගලන්ත සභාවට අයිති සහ අනෙකුත් රෙපරමාදුකාර මිෂනාරිවරුන් ලංකාවට පැණීම සිදු විය. ලන්දේසීන් පලවා හැර පාලන බලය බ්‍රිතාන්‍යයන් ලබා ගැනීමත් සමඟම බ්‍රිතාන්‍ය අධිකාරීත්වය යටතෙ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක කටයුතු බැප්ටිස්, රෙපරමාදු නිකායට සහ මෙතෝදිස්ත සභාවට පැවරුණි.මෙම කාලසීමාව තුල ගැලවීමේ හමුදාව ද ශ්‍රී ලංකාව තුල ඉතා ප්‍රබල තත්ත්වයක පසු විය. මෙම තත්ත්වය යටතේ යටත් විජිත පාලන සමය තුල ක්‍රිස්තියානි ආගම ලංකාව තුල ඉතා තදින් මුල් බැසගෙන තිබුණි. කෙසේ නමුත් 1948 දී ලද දේශපාලන නිදහසත් සමඟම ක්‍රිස්තියානි ආගමට නැවත උද්යෝගිමත්ව නැගී එන බෞද්ධ ආගමෙන් දැඩි අභියෝගයක් එල්ල විය.ඒත් සමඟ 1722 සිට දරා සිටි රාජ්‍ය ආගම නැමැති කිරුළ ක්‍රිස්තියානුවන්ගෙන් ගිලිහී ගොස් 1972 දී යලි බෞද්ධයන්ගේ සිරස මත රැදුනි.1980 වන විට ක්‍රිස්තියානි ජනගහනය 1,283,600 පමණ විය.(බොහෝ විට ශ්‍රී ලංකාවේ දකුනු බටහිර ප්‍රදේශ පමණක් සලකා බලා ඇත. ) 8% පමණ වන ක්‍රිස්තියානි ජනගහනයෙන් 88% පමණ රෝමානු කතෝලිකයන් වන අතර අනෙක් පිරිස එංගලන්ත සභාවට අයිති සහ රෙපරමාදුකරුවන්ය. 1970 දී රෙපරමාදු පල්ලි සියල්ල එක් වී එක්සත් පල්ලියක් ඇති කරගත් අතර ඊට සිංහලයන්ගෙන් දැඩි විරෝධත්වයක් ඇති විය.

බාහිර සබැඳුම්[සංස්කරණය]