වීදි ළමුන්

විකිපීඩියා වෙතින්

හැඳින්වීම[සංස්කරණය]


අනාගත ලෝකයේ භාරකරුවන් වන ළමුන්ට ඔවුන්ගේ සොඳුරු ළමා කාලය සුරක්ෂිතව හා ඵලදායී ලෙස ගත කිරීමට මෙන්ම ඔවුන් කායිකව හා මානසිකව සමෘද්ධිමත් කිරීම පිණිස ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1989 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්මත කර ගන්නා ලදී. 1992 දී එම සම්මුතිය ස්ථිර කිරීම මගින් ශ්‍රී ලංකාව ද එම සම්මුතියට පාර්ශවකරුවෙකු වී ඇත. නමුත් මෙම කොපමණ අයිතිවාසිකම් තිබුණත් ළමයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් හා ළමයාගේ ගරුත්වය විනාශ කෙරෙන ක්‍රියා පවුල තුළත් පවුලෙන් පිටතත් නිතරම සිදු වේ. මේ පිළිබඳ නැගෙන කතිකාවත් දෙස බැලීමේදී පෙනී යන විශේෂ කරුණක් වන්නේ කිසියම් පවුලක් තුළ වෙසෙන ළමුන් පිළිබඳ විමසා බැලීමට පමණක් මෙම කතිකාවත් සීමා වන බවයි. නමුත් මෙම කතිකාවෙන් මග හැරුණු ළමයින් කොටසක්ද මේ මිහිතලය මත වෙසේ. ඒ වූ කලී මාවත්වාසී ළමුන්ය. එසේත් නැතිනම් වීදි දරුවන්ය.

වීදි දරුවන් යනු[සංස්කරණය]

එක්සත් ජතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 'ළමයා යනු අවුරුදු 18 ට අඩු සෑම අයෙක්ම වේ'. නමුත් අප වීදි දරුවන් ලෙස හඳුනා ගන්නේ 'තම දෛනික අවශ්‍යතාවන් සහ තම දිවි පෙවෙත සඳහා මාවත නිවහන කර ගත් ළමුන්ය'. අව්ව,වැස්ස, වැනි සෑම දේශගුණික තත්වයකටම ඉතා දුෂ්කර ලෙස මුහුණ දෙන මොවුන්ට හිසට සෙවණක් දීමට හෝ පෞද්ගලිකව තම කටයුතු කර ගැනීමට නිවහනක් නැත. එසේම ඔවුන් ජීවත් වන වටපිටාව ඔවුන්ගේ පෞරුෂ වර්ධනය හා ආරක්ෂාව කෙරෙහි දරුණු ලෙස බලපායි.


වීදි දරුවන් බිහි වීමට හේතු[සංස්කරණය]

සාමාන්‍ය දරුවෙකු ලෙස ලොවට බිහි වන දරුවෙකු වීදි දරුවෙකු බවට පත් වන්නේ ඒ දරුවාගේ වරදක් නිසා නොවේ. සමාජයේ පවතින යම් වරදක් නිසාය. ඒ 'වරද' නියතයෙන්ම ගැට ගැසී ඇත්තේ මෙරට සමාජ ආර්ථිකමූලයන් සමගය. ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටීම, කේන්ද්‍රීය පවුල බිඳ වැටීම වීදි දරුවන් බිහිවීමට මූලික හේතු වේ. එසේම තමාව නොසළකා හැර දැමීම, දෙමාපියන් මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් නිවස හිංසාකාරී තත්වයකට පත් වීම නිසා තම නිවහන අතහැර මාවත නිවහන කර ගත් ළමුන්ද මේ අතර වේ. මීට අමතරව ස්වභාවික විපත් නිසා තම දෙමාපිය නෑ හිතවතුන් අහිමි වූ අයත්, දරිද්‍රතාවයත් මෙයට බලපාන තවත් ප්‍රධානම හේතූන් වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමාපියන් තම දරුවන් ධනය උපයා ගැනීමේ හස්තයක් ලෙස භාවිතා කරන අතර දරුවන්ද තම අවශ්‍යතාවන් සපුරා ගැනීමේ මග මෙය ලෙස සළකා එම ජීවිතයට ඇබබැහි වේ. එසේම මව පවුල අත හැර යාම, විදේශ ගත වීම මෙන්ම දෙමාපියන් අනියම් සබඳතාවල පැටලීම ද මෙයට බලපාන තවත් හේතූන් වේ. මෙම දරුවන් ගැන අවධානය දෙමාපියන්ගෙන් ගිලිහී ගොස් තිබෙන අතර දරුවන්ට මහ පාරට බැසීම හැර අන් ඉරණමක් ඉතුරු වී නැත. තම අන්ධ මව්පියන් නඩත්තු කිරීම හා මව්පියන් සිරගතව සිටීම වැනි සාධකද දරුවන් වීදි ගත වීමට බලපා තිබේ.

වීදි දරුවන්ගේ අයිතිවාසිකම්[සංස්කරණය]

මන්දිරයේ වේවා, අතු පැලේ වේවා, වෙරළේ වේවා, වීදියේ වේවා මේ කොතැනක හිටියත් දරුවන් යනු දරුවන්මය. අනාගත ශ්‍රම බලකායට එක් වන්නේ වර්තමානයේ ජීවත් වන මෙම ළමුන්ය. ඔවුන්ට අනාගතයේ රටේ සමාජ ආර්ථික සංවර්ධනයට ක්‍රියාශීලීව දායක විය හැක්කේ යහපත් ළමා කාලයක් ඔවුන්ට හිමි වුවහොත් පමණි. කායිකව නීරෝගිමත් සහ ප්‍රීතිමත් සමාජශීලී දරැවෙකු බිහි කිරීමට නම් දරුවෙකුට දෙමාපිය ආදරය සහ රැකවරණය ද විධිමත් අධ්‍යාපනය මෙන්ම පෝෂ්‍යදායී ආහාරපාන ද අත්‍යවශ්‍ය වේ. එසේම ක්‍රීඩාවල යෙදීම, පවුලක රැකවරණය මෙන්ම රෝගවලින් වැළකීම ද සම වයස් කණ්ඩායම්වල ඇසුරද ළමයාගේ සංවර්ධනයට ඉතාම වැදගත් වේ. එයට ප්‍රධානම හේතුව ළමයෙකුගේ පෞරුෂ සංවර්ධනය සිග්මන් ෆ්‍රොයිඩ් ට අනුව වයස අවුරුදු 1-5 ත් අතර කාලය තුළ සිදු වීමයි. නමුත් මේ කිසිදු අයිතිවාසිකමක් මාවත්වාසී දරුවෙකුට හිමිවේද යන්න මෙහිදී මතු වන ප්‍රධානම ප්‍රශ්නයයි. මව්පියන් සහිතව හෝ රහිතව මහාමාර්ග, පදික වේදිකා හා වෙනත් අනාරක්ෂිත පොදු ස්ථානවල සිගමන් යදින දරුවන්ටත්, විවිධ ව්‍යාපාරිකයන් විසින් සිගමන් යැදීම සඳහා වීදිවලට යොදවන ලද දරුවන්ටත්, විවිධ කුලීවැඩ කරමින් ලොතරයි විකුණමින් සිටින දරුවන්ටත්, මේ කිසිදුඅයිතිවාසිකමක් හිමි නොවේ. ඔවුන්ට දෙමාපිය සෙනෙහසක් හෝ ජීවත්වීමට නිවහනක් නැත. එසේම ඔවුන්ට නිසි පෝෂ්‍යදායී ආහාර නොලැබෙන අතර නිරන්තරයෙන්ම නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වේ. එපමණක් ද නොවේ. මේ දරුවන්ට පාසල් අධ්‍යාපනය නැත. නිරන්තරයෙන්ම මෙවැනි දරුවන් ලිංගික අපයෝජනයන්ට හා විවිධාකාර වූ ශාරීරික වධහිංසාවලටද භාජනය වන අතර පෞද්ගලික ආරක්ෂාවද අහිමි වේ."හිගන කොල්ලා""අවජාතකයා" වැනි ආමන්ත්‍රණයන් පාවිච්චි කිරීමෙන් සමාජයේ මිනිසුන්ගේ උපහාසයට නිතර ලක්වන මෙවැනි දරුවන් නිරන්තරයෙන්ම මාවත නිවහන කරගෙන මාවතේ විසීම හේතුවෙන් නිදැල්ලේ මාවත්වල හැසිරීමට විරුද්ධ වූ වරදවල් සඳහා නිතර පොලීසි භාරයට පත් වේ. ඵසේම මෙම දරුවන්ගේ මව්වරුන් බොහොමයක් ගණිකා වෘත්තියේ යෙදීම හේතුවෙන් ඔවුන් කරා එන මිනිසුන්ගේ හිංසා හා අතවරයන්ට මෙම දරුවන් ගොදුරු වන අතරම තම වෘත්තිය නිසා මෙම මව්වරුන් පොලීසියේ රැහැනට හසුවීමේදී ඔවුන් තව තවත් අසරණ වේ.



මෙය සමාජ ප්‍රශ්නයක් වන අයුරු[සංස්කරණය]

වීදි දරුවන් පිළිබඳ වග කිව යුතු ආයතන සැළකිලිමත් නොවීම තුළ මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ පවා සමාජ ප්‍රශ්නයක් බවට පරිණාමය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පවා සිදු කෙරී ඇත. මෙම සමහර පර්යේෂණවල අරමුණ සත්‍ය වශයෙන්ම මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා වුවත් සමහර රාජ්‍ය නොවන සංවිධානවලින් සිදු කරන සමීක්ෂණවල සත්‍ය අරමුණ වනුයේ මේ ප්‍රශ්නය විදේශයන්ට පෙන්වා තම පටු අරමුණු ඉෂ්ට කර ගැනීමයි. වර්තමානය වන විට කොළඹ පමණක් නොව දුරබැහැර ප්‍රදේශවල පවා මෙම ප්‍රශ්නය ව්‍යාප්ත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන් මෙම තත්වයට ගොදුරු වන බව හාමේ අතර සිටින දරුවන් බහුතරයක් වයස අවරුදු 10-16 අතර වයස් පරාසයට අයත් බවයි. මෙම තත්වය වඩාත් සංකීර්ණ හා බිහිසුණු වන්නේ මේ වයස් පරාසයට අයත් දරුවන් වඩාත් බාහිර තත්වයන්ට සංවේදී නව යොවූන් වියේ හා නව යොවුන් වියට ආසන්න වයස්වල පසුවන්නන්වීමයි. මොවුන් විවිධ අපචාර හා අපරාධයන්ට ගොදුරු විය හැකි, නතු කර ගත හැකි ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. මේ දරුවන් බොහෝ දෙනෙකු මත් පැන්, නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙළඳාම, සොරකම් කිරීම, සම ලිංගික චර්යාවන්, ගණිකා වෘත්තිය ආදී සමාජ විරෝධී කටයුතු සම්බන්ධ කවර හෝ අත්දැකීමක් සහිතවුවන් බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා දුෂ්කර වූ තත්ත්වයක් තුළ ඉතාම සුළු ප්‍රතිලාභයක් වෙනුවෙන් පවා බරපතල සමාජ විරෝධී ක්‍රියාවන්ට ඉත්තන් ලෙස මෙම දරුවන් යොදා ගත හැක. මත් පැන් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, විකිණීම, පිට් පොකැට් ගැසීම හා ඔත්තු බැලීම යනාදිය ද මේ අතර වේ. පොලීසිය පවා මෙම දරුවන් සැක නොකිරීම ජාවාරම්කරුවන්ට මනා පිටුවහලක් වී තිබේ. මෙම දරුවන් ඉතාමත් සංවේදී වන අතර ඔවුන්ට නිසි හවුහරණක් හෝ නිසි අධ්‍යාපනයක් හිමි නොවේ. සුළු මුදලකට හෝ බත් පැකට් එකකට මොවුන් ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කර ගත හැක. මෙම දරුවන් සියලුම අපචාර ක්‍රියා හා අපරාධ වීදියේදී අත්දකින අතර මේ පිරිස රටේ පාතාල ලෝකය සඳහා වන යටිතලය වේ. දැඩි පීඩනයට, දුෂ්කරතාවන්ට ඔරොත්තු දෙන, සැඟවීමට හැකි උපක්‍රම ඔවුන් සොයා ගන්නේ වීදියෙන්මය. විශේෂයෙන් මොවුන්ගේ නිවහන වීදියම වීම තුළ මෙම තත්ත්වය තවත් වැඩිවේ.මෙම දරුවන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය, මත්පැන් සමලිංගිකත්වය, හා වීදියේ සිදුවන ලිංගික කටයුතුවලට ගොදුරු වී තිබෙන අතර මොවුන් බොහෝ දුරට ළමා වියේ අත්දැකීම්වලට වඩා වැඩිහිටි වියේ අත්දැකීම් අත් විඳ තිබේ.මේ බොහෝ දරුවන්ගේ යැපීම් මාර්ගය වී ඇත්තේ සිඟමන් යැදීමය. වැඩිහිටියන් සිඟමන් යදිනවාට වඩා දරුවන් සිඟමන් යැදීම තුළ අනුකම්පාව ඔවුන් වෙත යොමු වීමේ ප්‍රවණතාව වැඩි නිසා වීදිය තුළ යාචක වෘත්තිය සඳහා දරුවා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. මෙම දරුවන් සිය සමාජානුයෝජන අත්දැකීම් ලබන්නේ වීදිය ආශ්‍රයෙන්ම නිසා එබඳු දරුවන් වීදියේම රැඳෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එනිසා විවිධ සමාජ විරෝධී කටයුතු සඳහා සාමාජිකයන් පුහුණු කරන පුහුණු පාසලක් බවට නගරාශ්‍රිත වීදි පත්ව තිබෙන අතර එහිදී මෙම දරුවන් සමාජ විරෝධී කටයුතු සඳහා අත්පොත තබති. ඔවුන් සමාජානුයෝජනය ලබන්නේ වීදියෙන්ම නිසා මෙම තත්ත්වය කිසිසේත්ම සමාජයට හිතකර නොවන අතර ඇතැම් විට අනාගත පාතාල කණ්ඩායමක ක්‍රියාකාරිකයෙකුගේ සුහුඹුල් අවධිය ගෙවෙන්නේ වීදි දරුවෙකු ලෙසය.


200px


මෙම තත්ත්වයට ගත හැකි පිළියම්[සංස්කරණය]

විශේෂයෙන් මෙවැනි දරුවන්ට දීර්ඝ කාලීන පුනරුත්ථාපනයක් අත්‍යවශ්‍යය වේ. එනිසා පුනරුත්ථාපන කඳවුරුවල තිබෙන අකටයුතු හා අකාර්යක්ෂමතා මග හරවා එම ආයතන ක්‍රියාකාරී සංවිධාන බවට පත් කළ යුතුය. එසේම රජය වැනි වගකිවයුතු පාර්ශව ඒකාබද්ධ වී මෙම ප්‍රශ්නයට අප්‍රමාදව විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම වඩා වැදගත් කාරණය වන්නේ සමාජයේ ආකල්පවල සිදු විය යුතු වෙනස්කම්ය.'මගේ දරුවාය' යන ආකල්පය ඉක්මවා 'අපේ දරුවාය' යනුවෙන් ආකල්පයක් සමාජීයව ගොඩ නැගිය යුතුව තිබේ. එසේම ළමුන් සම්බන්ධව කටයුතු කරන ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු අතර සමස්තයක් ලෙස මෙම දරුවන් අපේම දරුවන් නිසා අපේ වගකීම වන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමයි. එසේ නොවුවහොත් සිදු වන්නේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය අනාගතය තුළ අර්බුදයකට ලක් වීමයි.



ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

දෙසතිය පුවත් සඟරාව, 2004,නොවැම්බර්,30 "දරුවන් වීදිගත කිරීම"

ළමා අයිතිවාසිකම් පිළිබඳ අත්පොත, චාරිකා මාරසිංහ,2001, සර්වෝදය නීති සේවා සංසදය.

"https://si.wikipedia.org/w/index.php?title=වීදි_ළමුන්&oldid=470969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි