විලාසිතා ප්‍රදර්ශන ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විලාසිතා ප්‍රදර්ශන සම්බන්ධ ඉතිහාසඥයන් නොමැති හෙයින් මේවා සම්බන්ධ මූලික ඉතිහාසය අපැහැදිලි වේ.

වර්ෂ 1800 ආසන්න කාලයේදී පැරීසියේ කාන්තා ඇඳුම් නිර්මාණය සඳහා වූ වෙළඳ සැල් ආශ්‍රීතව නිරන්තරයෙන්ම විලාසිතා ප්‍රදර්ශනයන් පැවැත්වුණි.

ඇමරිකානු වෙළෙන්ඳන් විලාසිතා ප්‍රදර්ශන පිළිබඳ සංකල්පය භාවිතය 19 වැනි ශත වර්ශයේ මුල භාගයේදී ආරම්භ කළහ. ප්‍රථම ඇමරිකානු විලාසිතා ප්‍රදර්ශනය ලෙස 1903 වසරේ නිව් යෝක් නගරයේ “Ehrlich Brothers” නම් වෙළඳ සැල තුළ සිදු කෙරුණු විලාසිතා ප්‍රදර්ශනය සැලකිය හැක. 1910 වර්ෂය වන විට නිව් යෝක් සහ ෆිලඩෙල්පියා යන නගරවල පැවති සියළු අංශවලට අයත් සේවා සැපයීම සිදු කරන Wanamaker’s වැනි දැවැන්ත වෙළඳ සැල් පවා විලාසිතා ප්‍රදර්ශන සිදු කිරීම ආරම්භ කළහ. මෙම ප්‍රදර්ශනයන් තුළදී පැරීසියේ කාන්තා ඇඳුම් නිර්මාණය කරන වෙළඳ සැල් මගින් නිර්මාණය කළ කාන්තා ඇඳුම් හෝ ඒවා පිටපත් කොට නිර්මාණය කළ කාන්තා ඇඳුම් ප්‍රදර්ශනය කෙරුණි. මෙම ප්‍රදර්ශනයන් ඔස්සේ අදාල වෙළඳ සැල් හිමිකරුවන්ගේ නව අදහස් ඉදිරිපත් කිරීමත් කාන්තා පාරිභෝගිකයින් වෙළඳ සැල් වෙත ඇද බැඳ තබා ගැනීමත් අරමුණු කෙරිණි.

1920 වර්ෂය වන විට එක්සත් ජනපදය පුරා පිහිටි වෙළඳ සැල් තමාගේම විලාසිතා ප්‍රදර්ශන පැවැත්වීම ආරම්භ කළහ. බොහෝ විට මෙම ප්‍රදර්ශනයන් නාට්‍යමය ස්වභාවයක් ගත් අතර පසුබිම් කථනයක් සහිතව කිසියම් තේමාවක් (උදා - රුසියානු ,චීන හෝ පර්සියානු) කේන්ද්‍ර කොට ගෙන ඉදිරිපත් කෙරුණි. මෙම ප්‍රදර්ශනයන් 19 වන සියවසේ මැද භාගයේදී අතිශයින් ප්‍රචලිත වූ අතර ඇතැම් විට මේවා නැරඹීමට පැමිණි පිරිස දහස් ගණනක් විය.

1970 සහ 80 දශක තුළදී ඇමරිකානු විලාසිතා නිර්මාණ ශිල්පීන් වෙළඳ සැල් වලින් පරිබාහිරව තමාගේම විලාසිතා ප්‍රදර්ශන සිදු කිරීම ආරම්භ කළහ. මේවා පෞද්ගලික ස්ථානයන් තුළ ප්‍රදර්ශනය කෙරිණි. කෙසේ නමුත් 1990 දශක‍ය ආරම්භයේදී බොහෝ දෙනා මෙම ක්‍රමය වැඩි දියුණු කළ යුතු බවට මත පල කිරීම ආරම්භ කලහ. එවකට ඇමරිකානු විලාසිතා නිර්මාණ කරුවන්ගේ කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂකව සිටි ෆර්න් මැලිස් මෙම තත්වය පිළිබඳ ප්‍රකාශ කරනුයේ “කුඩා අනාරක්ෂිත ස්ථානවල පැවති විලාසිතා ප්‍රදර්ශන කිහිපයක් අතර තුර සිදු වූ අත් වැරදීම්වලින් පසුව පොදු මතය වූයේ අප විලාසිතාවලට ආදරය කරන නමුත් ඒ වෙනුවෙන් මිය යාමට සූදානම් නැත” වශයෙනි. මෙම තත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් 1993 වසරේ අගභාගයේදී පැවති විලාසිතා සතිය තුළ මෙම ප්‍රදර්ශනයන් සියල්ල එක් කොට නිව් යෝක් බ්‍රයන්ට් පාක් උද්‍යානය තුළ ප්‍රදර්ශනය කරන ලදී.