වාද්දුව

විකිපීඩියා වෙතින්
වාද්දුව
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

වාද්දුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සිට කිලෝ මීටර 33 ක් පමණ දකුණු දෙසින් බටහිර වෙරළබඩව පිහිටා ඇති නගරයකි.

හැඳින්වීම[සංස්කරණය]

වාද්දුව නමින් හඳුන්වන ප්‍රදේශය වර්ථනාමයේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුරේ ප්‍රාදේශීය සභා භූමියට අයත් වේ. අතීතයේ රයිගම් කෝරලයේ පානදුරේ තොටුමුණ පලාතේ මුංවත්ත බාගේ පත්තුවේ වාද්දුවස්කඩුබද්ද ට අයත් වී තිබුණි. වාද්දුව ප්‍රදේශය ග්‍රාමයක් ලෙසින් සැලකීම ට වඩා ප්‍රදේශයක් ලෙසින් සලකනු ලැබේ. එමනිසාවෙන් එහි මායිම් වන්නේ වස්කඩුව, පිංවත්ත මොරොන්තුඩුව ආදී ප්‍රදේශයි. අතීතයේ කෝට්ටේ සමය වන විට පොතුපිටිය ප්‍රදේශය ට අයත් ව පැවති භූමියක් වූ වාද්දුව ප්‍රතිගාල් යුගයෙන් පසු ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසින් නැගී ආවේය. ලංදේසි සමයේ කුරුඳු වගාවේ කැපී පෙනෙන ලක්ශයක් සනිටුහන් කල අතරම පොල් අරක්කු රේන්ද ව්‍යාපාරය ඉංග්‍රීසි යුගයේ සිට සාර්ථකව තවමත් පවත්වා ගෙන යනු දක්නට ලැබේ.

ඉතිහාසය[සංස්කරණය]

වාද්දුව ප්‍රදේශයේ ඉතිහාසය පෲතුගීසි යුගය දක්වාම ඈතට දිව යයි. ප්‍රතිගාල් යුගයේදී මෙම ප්‍රදේශය ප්‍රතිගාලුන් සන්තක භූමියක් විය. රයිගම්පුර රාජ්‍ය කරවූ රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ අග බිසව වූවේ ආලවතී පෙරුමාල් බිසෝ බණ්ඩාර නැමති කාන්තාවක්. ඇයත් රාජකීය සම්බවයක් සහිත පවුලකින් පැවතෙන කතක් විය. ආලවතී බිසෝ බණ්ඩාර දේවින් වහන්සේට මාලවතී බිසෝබණ්ඩාර කියල නැගෙනියක් සිටියේලු. ඇයවත් කුඩාකාලයේදීම රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ට සරණ පාවා දී සිටියත් ඇය වඳ කාන්තාවක් විය . එබැවින් ඇයට මොණරතුඩුව නම් ග්‍රාමය නින්දගමක් ලෙසින් ලබා දී එහි පිටත් කරවා තිබේ. වර්තමානයේ මොරොන්තුඩුව ලෙස ව්‍යවහාර කරන්නේ එම ග්‍රාමයයි . මාලවතී බිසව නිතරම පාහේ බොහෝ රෝගී තත්වයන්ට ලක්වූ අයෙක් විය. ඇයට නිතරම වෙදකම් සිදුකලේ කුරුප්පු කියල වෙදෙකු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මඩගොහොරුවකින් වටවූ සුවිසාල දූපතක එම වෙදාගේ නිවෙස පිහිටා තිබී ඇත. එම දූවේ බෙහෙත් ඔසු බහුල වූ බැවින් වෙදා එහී විසූවේලු. වෙදා විසූ දූව වෙදදූව වූ බව ජන මතයයි. පසුව කාලයාගේ ඇවෑමෙන් ලංදේසි සමය වන විට වාද්දූව ලෙසින් ව්‍යවහාර විය. ඕලන්ද තෝම්බු සමය වන විට පන්සියයක පමණ ජනගහනයක් වාර්තා වෙන ප්‍රදේශයකි.

ප්‍රතිගාල් සමයේ කිසිඳු බෞද්ධ අයෙකු නොමැතිවූ තරම්‍ ය . සියල්ලෝම පාහේ කතෝලික දහම ඇදහූ පිරිස් විය. එබැවින් පෙරේරා ප්‍රනාන්දු ආදී වාසගම් වර්තමානය දක්වාම ඉතා ජනප්‍රිය වාසගම් බවට පත් වී තිබේ.පානදුරේ තොටුමුණ පළාතේ ලංදේසි සමයේ නිර්මාණය වූ මුංවත්ත පත්තුවේ නිර්මාණය කලා වූ බද්ද පත්තුව නිර්මාණය කාලේ වාද්දුවේ නාමයෙනි. එ නම් වාද්දුවස්කඩුබද්ද පත්තුව ලෙසිනි. වස්කඩු බද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වන්නේ මුලදී එම පත්තුවට විශාල ගම් දුසිමක් පැවති බවය. ඒ අතරින් සුවිශාලතම ග්‍රාමය වූවේ වස්කඩුව ග්‍රාමයයි.තල්පිටිය, පොතුපිටිය, පොහද්දරමුල්ල, මොල්ලිගොඩ, කලපුගම, පනාපිටිය, වේරගම ආදී ග්‍රාම ප්‍රමුඛ වේ.

බ්‍රිතාන්‍ය යුගයේ දී වාණිජ බෝග වගාව මෙම ප්‍රදේශයේ දියුණුවට පත් විය. සුවිශාල පොල් වතු මිලට ගත්තා වූ දේශීය මධ්‍යම පාන්තික පිරිස් අරක්කු රේන්ද කර්මාන්තය ඇරඹීය. වාද්දුවස්කඩුබද්ද ප්‍රදේශයේ රේන්ද සහ පොල් කොහු කර්මාන්තය හරහා ඉමහත් ධන කුවේරයන් වූ පිරිසක් නව සමාජ පන්තියක් පිහිටුවාගෙන පැවතුණි. ඒ අතර මොල්ලිගොඩ පෙරේරා සමරසේකර පවුල, තල්පිටියේ මැස්ටියගේ ගුණතිලක පවුල, පොතුපිටියේ යකුන්දූවේ හිටිරාළලාගේ පෙරේරා පවුල, පොතුපිටිය ඇම්. පිනෙස් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිස,මොල්ලිගොඩ වලව්වේ සුසෙව්හේවගේ හාමියෙල් ප්‍රනාන්දු මහතාගේ පවුල, වාද්දුවේ මහාමරක්කලගේ පවුල ප්‍රමුඛ විය. මෙකී පවුල් අතර මෙම ප්‍රදේශයේ ඉඩම් අතුරින් තුනෙන් දෙකක බලයක්ම පැවතියේය. වාද්දුව පොතුපිටිය ගමේ කොරොස්දූව ප්‍රදේශයේ රේන්දය අයත් වූ ඇම්.පිනෙස් ප්‍රනාන්දු මහතාගේ දිනපොතේ සඳහන් වන්නේ රේන්දයෙන් 1880 වසරේ අතහරින ලද්දා වූ පොල්ගස් ප්‍රමාණය පමණක් ගස් පන් දහසක් බවය. රේන්ද ව්‍යාපාරයෙන් ධන කුවේරයන් වූ මෙම පිරිස් බොහෝ විට කතෝලික පිරිස්ම විය. දහනවවන සියවස මධ්‍ය සමය වන විට වාද්දුවේ බොදු සමිතියක් පිහිටුවා ගත්තා වූ මෙම පිරිස් බොදු පුනරුදයට අතහිත ලබා දුන්නේය.බොහොමයක් මධ්‍යම පාන්තික පිරිස් බුදු දහමට යළි අනුගත විය. ඇම් පිනෙස් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිසක් විසින් පානදුරේ රංකොත් වෙහෙර පිහිටුවා ඒ හා සමගාමීව ලංකාවේ ප්‍රථම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ඇරඹීම සඳහාද මග විවර කළේය.

ආගම[සංස්කරණය]

ආගම් සංස්කෘතික පිළිබඳ විවරණය කිරීමේ දී එය ඉතිහාසය සමග ගලපාගත යුතු වේ.වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන්වන පරිදි මෙම ප්‍රදේශයට සමීප සියළු ප්‍රදේශ වල ප්‍රතිගාල් යුගයට පෙරදී ප්‍රධාන වන්දනාව වූවේ සුදස්සන දෙවි වන්දනාව බව සඳහන් වේ.ගම්පල සහ කෝට්ටේ යුග වල රචිත බොහෝ සංදේශ කාව්‍යන්ගේ සඳහන් වන්නේ පානදුරේ සහ පොතුපිටිය අතර පැවතියේ සුදර්ශන නම් දේවාලයක් බවය. එම දේවාලය පැවති ග්‍රාමය පිළිබඳ ඒවායේ සඳහනක් නම් නොවේ . වස්කඩු බද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වන්නේ එම දේවාලය පිහිටා තිබී ඇත්තේ මොල්ලිගොඩ ගමේ බවය.රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ පෙරදී බිසවක්ව විසුවා වූ මාලවතී නින්දගම් ලබා මොණරතුඩුව ගමට පැමිණි පසුව සුදර්ශන දේවාලේ ගිහි හිමිකරු බවට පත් විය. පසු කාලයේ රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ අග බිසව වූ ආලවතී පෙරුමාල් බිසෝ බණ්ඩාර දේවින්වහන්සේගේ දියණිය වූ මොල්ලිනා බිසෝ බණ්ඩාර මාලවතී දේවිය සමීපයේ හැදී වැඩුනු අතර ඇයට සුදර්ශන දේවාලේ ගිහි දායක තනතුර හිමිවිය. කුඩාකල සිටම සිල්වත් වූ මොල්ලිනා කුමරිය බොහෝ අසරණ පිරිස් වෙතට සහයෝගය දක්වන ලදී. එය ප්‍රතිගාලුන්ගේ පවා ඇගයීමට ලක්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ප්‍රතිගාල් අනසක සුදස්සන දේවාලය ට පතිත වූ පසුව එම දේවාලය කතෝලික මැදුරක් බවට පත් විය. මොල්ලිනා කුමරිය පවා බෞතීස්ම විය. අනතුරුව ඇය හැදින්වූවේ දෝන මොල්ලිනා පෙරේරා වශයෙනි. අනතුරුව කතෝලික දහම ඕලන්ද යුගය දක්වාම මෙහි නිත්‍ය ආගමක් බවට පත් විය. ලංදේසි යුගයේ රෙපරමාදු ක්‍රිස්තියානි යුගයක් ආරම්භ වූ අතර වාසි බලාපොරොත්තු වූ බොහෝ පිරිස් යළිත් ආගම් වෙනස් කර නව ආගම වැළඳගත්තේය.යළිත් වාද්දුවට සමීප ප්‍රදේශයට බොදු යුගයක් උදාවන්නේ ක්‍රිස්තු වර්ශ 1700 මධ්‍ය භාගයේය.එනම් මොල්ලිගොඩ නන්දසිරි ගණින්නාන්සේ පැමිණි සමයේදීය.සුසෙව්හේවගේ පිලිප් කොරනේලිස් අප්පුහාමි යනු මොල්ලිගොඩ විසුවා වූ තරුණයෙකු විය. එක්දහස් හත්සියය සියවසේ මුල්භාගයේ උපන් ඔහු තම පියා වූ සුසෙව්හේවගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු තෝම්බු ආරච්චිගේ මගපෙන්වීමෙන් ලංදේසි හමුදාවේ වෙඩික්කාරයෙකු ලෙසින් සේවයට බැඳුනේය. උඩරට සමඟ ඇති වූ යුද්ධයක් මර්ධනය කිරීම සඳහා උඩරටට පැමිණි සේනාවේ සමාජිකයෙකු ලෙස පැමිණි පිලිප් සියම් නිකායේ විහාරයක සඟවීගත්තේ සිංහල හමුදාවෙන් පහරකෑමට බියෙනි. බොදු පිළිවෙතට ඇතිවූ ඇල්ම නිසා වෙන් එහි දී පැවිදි දිවියට පත් ඔහු වසර ගනනාවක් එහි විසුවේ උපසපුව රැගෙන යළි තම ගම්බිම් වෙත වැඩම කිරීමේ අපේක්ශාවෙනි. නමුත් බොහෝ කාලයක් විසූවත් සලාගම කුලයේ අයෙකු වූ බැවින් ඔහුට උපසපුව ලබා දීමට සියම්නිකාය කැමැත්තක් දැක්වූවේ නැත.හතලිස් විය සපුරණ සමයේ දී පමණ යළිත් මොල්ලිගොඩ තම ග්‍රාමයට සැපත් වන නන්දසිරි ගණින්නාන්සේ එගොඩගොඩ නැමති ප්‍රදේශයේ පදිංචි විය. මෙය ආරංචි වූ එවක රයිගම කෝරළයේ මුදලි විසින් ගණින්නාන්සේ පන්නා දැමුවේ ලංදේසි ආණ්ඩුව ට තමාට ද්‍රෝහි විය නොහැකි බව පවසමිණි.ක්‍රිස්තු වර්ශ 1770 දී පමණ පොතුපිටිය ග්‍රාමයට පැමිණි නන්දසිරිගණින්නාන්සේ එවකට පොතුපිටියේ විසුවා ප්‍රාදේශීය පාලක යකුන්දූවේ හිටිරාළලාගේ දොන් රිචඩ් පෙරේරා ධර්මසේන ලොකු මහත්තයාගේ කැමත්තෙන් පොතුපිටියේ විහාරයක් තනවාගන්නේ වැළිඅරම නම් ස්ථානයේ ය. වර්ථනාමයේ පොතුපිටිය වාළුකාරාමය ලෙස ප්‍රකට වී ඇත්තේ එම විහාරයයි. ඉන් දෙවසරකට පසු රයිගම් කෝරලයේ මහ මුදලි මියැදීම නිසා ගණින්නාන්සේ වෙත අභියෝග කළහැකි අයෙකු එහි නොවීය. ඒවන විට ජරාජීර්ණව පැවතියා වූ සුදර්ශන දෙව්මැදුර මත ඉදිවූ රෝමානු කතෝලික පල්ලිය විනාශ කරවා ඒ මත නන්දසිරිගණින්නාන්සේ ගේ මූලිකත්වයෙන් මොල්ලිගොඩ මහ විහාරය හෙවත් වත්මන් සුමනාරාමය ලෙස ප්‍රකට විහාරය තනවන ලද්දේය. සියම් නිකායේ උපසපුව නොමැති වූවත් නන්දසිරිගණින්නාන්සේගෙ ගෝල හිමිනමක් විසින් විහාරයේ වත් පිළිවෙත් ආරම්භ කළේ 1775 වසරේ බව විහාර වංශයේ සඳහන් වේ. පොතුපිටියේ පැවති ඉපැරැණි රජමහා විහාරය පූජාරාමය නමින් 1798 වසරේ දී ගම්වැසියන් විසින් නන්දසිරි ගනින්නාන්සෙ වෙතට පිදුවේ පූජාරාමය ලෙස නම් කරමිනි. පොතුපිටියේ ධර්මසේන බණ්ඩාරවලිය ට අයත් වූ පොතුපිටියේ ධර්මරාජ හිමි ඇතුලු භික්ෂූන් පිරිසක් එම විහාරය නගා සිටුවාලන ලද්දේය.ප්‍රකට නාරිසංදේශ කාව්‍ය රචනා කරවන ලද්දේ මෙම ධර්මරාජ හිමි විසින.වාද්දුවේ විසුවා වූ කාංකානම් රාළහාමි කෙනෙකුගේ අට වන පුතු වූ හිටිගේ දොන් කුරුතේරිස් නම් ගොවිගම කුලයේ පුද්ගලයා නන්දසිරි ගණින්නාන්සේ සමීපයේ අකුරු කරවා අනතුරුව 1797 වසරේ මහනුවර මල්වතු විහාර පැවිද්ද ලද්දේ වාද්දුවේ ධම්මානන්ද යන නමිනි.1807 වසරේ දී උපසපුව ලබා අනතුරුව උන් වහන්සේ විසින් වාද්දුවේ මහා සංඝ පරපුර ඇරඹූ අතරම තමා උපන් ගමේ අභිනව විහාරයක් අරඹන ලද්දේය. එය හඳුන්වන ලද්දේ තිත්තවල විහාරය නමින. රාජ්‍ය ලේකනාගාරයේ පවා විහාරය ලියාපදිංචි කරවා තිබේ. එකී වාර්ථාවන්ගේ සඳහන් වන්නේ විහාරය අරඹන ලද්දේ 1810 වසරේ දී බවය. වාද්දුවේ සිට මොරොන්තුඩුව දෙසට සැතපුම් දෙකක්පමණ ගමන් කර මහා විහාර පාරේ හැරී ගමන් කළ පසු වර්ථනාමයේ මෙම විහාරයට සැපත් විය හැක.වත්මන් නාමය වන්නේ දෙගම්මැද මහා විහාරයයි. පානදුර ගොරකාන කන්දේ මහා විහාරය ඇතුලු ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක් ඇරඹීමට මූලිකත්වය ගන්නා ලද්දේ මෙකී වාද්දුවේ සංඝ පරපුරයි. 1820 වසරට ආසන්න සමයක දී වාද්දුව තල්පිටිය ග්‍රාමයේ අභිනව විහාරයක් තනවන ලද්දේය. ගම් වාසීන් පවසන ලද්දේ එම විහාරය සකසන ලද්දේ අතීතයේ දළදාවහන්සේ වැඩ විසූ භූමියක බවයි. නමුත් එය ජනප්‍රවාදයක් පමණකි.(මෙම ප්‍රදේශය ට දළදාවහන්සේ වැඩම කළ බවකිසිඳු මූලාශ්‍රයක සඳහන් නොවේ) කුඩාවට අරඹන ලද්දා වූ විහාරය ඉතා ඉක්මනින් වර්ධනය විය .ගැමියන් විහාරය සංවර්ධනය කරවීම සඳහා නොමසුරු සහයෝගය ලබා දුන්නේය.වර්ථනාමයේ එම විහාරය හඳුන්වන්නේ දළදාවත්ත විහාරය නමින.ක්‍රිස්තු වර්ශ 1822 වසරේ තිත්තවල විහාරයේ විසූ තල්පිටියේ සාමණේර නමක් දලදාවත්ත විහාරයට බොහෝ කලක් විසූවද මවගේ පාර්ශවයේ කුලය පිළිබඳ ඇතිවූ ගැටළුවක් නිසාවෙන් මල්වතු පාර්ශවයේ උපසපුව නොලද්දේය.තිත්තවල මහා විහාරාධිපති ධම්මානන්ද හිමියන් සමීපයේ ප්‍රවුජ්‍යාව ලැබුවා වූ වස්කඩුවේ ධම්මජෝති හිමියෝ 1830 වසරේ දී උපසපුව ලබා පැමිණ විහාරයේ පළමු විහාරාධිපතිත්වය ලබාගත් සේක. යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ රාජකීය පෙළපතෙන් පැවතෙන අයෙකු වූ උන් වහන්සේ පිළිබඳ අනෙක් භික්ෂූන් අතර ඇතිවූ ඊර්ෂ්‍යාවක් හේතු කොටගෙන නොකළ වරදකට සිරගත වූ උන් වහන්සෙ දින දෙකක් පමණ සිරකුටියේ ගතකළ සමයේ වැළඳුනා වූ වසූරිය රෝගය වැළඳී 1835 වසරේදී අපවත් වී වදාලහ. අනතුරුව බොහෝ කාලයක් ස්වාමීන් වහන්සේලා නොවිසූ ආරාමයක් ලෙසින් පැවති දලදාවත්ත විහාරය යළි සංඝාවසත්වයට පත් වූවේ 1800 දශකය අගබාගයේ මැස්ටියගේ පරපුරේ මූලිකත්වයෙන් අනූපේ සෝනුත්තර ස්වාමීන් වහන්සේ සැපත් වීමෙන් පසුවයි. අතිපූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ මෙහෙයවීම මත 1870 දශකයේ වාද්දුවේ විසූ බොදු ප්‍රභූන් ගේ දායකත්වය මත පානදුරේ විසූ ප්‍රභූන්ගේත් මෙහෙයවීමෙන් පානදුරේ බොදු සභාව අරඹන ලද්දේය. 1896 වසරේ දී පානදුරේ බොදු මුද්‍රණාලය අරඹන ලද්දේ වාද්දුව විසූ බොදු ප්‍රභූන්ගේ දායකත්වයෙනි. 1900 දශකය මුල බාගයේදී නැවතත් බොදු පුනරුදය ඇරඹුණේ පොතුපිටියෙන් ය. ධානපති සුසෙව්හේවගේ ගිරිගෝරිස් ප්‍රනාන්දු රාළහාමි ගේ පුතනුවන් විසින් ආදුරුප්පු වීදියේ දොන් ගිරිගෝරිස් මුද්‍රණාලය සත්‍යාර්ථ මුද්‍රණාලය ලෙසින් නම් වෙනස් කරවා බොදු පුනර්ජීවනය සඳහා කැප කළේය. පානදුර තොටුමුණේ ඉපැරැණි පුස්තකාල පොත් නොමිලේ මුද්‍රණය කරවා විහාරස්ථාන අතරේ බෙදා දුන්නේය. පොතුපිටිය පූජාරාමයේ ඉපැරැණි විහාර මන්දිරය නවීකරණය කරවා සාර්ලිස් මාස්ටර් ලවා චිත්‍ර කරවීය. පොතුපිටියේ විසූ ඇම්.පිනෙස් ප්‍රනාන්දු නම් වූ රේන්දහිමි දානපතියා විසින් පූජාරාම විහාරයට නොදෙවනි ලෙසින් පොතුපිටිය වාලුකාරාමය ඉදිකරවීමද අරඹන ලදී. ක්‍රිස්තු වර්ශ 1940 වන විට එවක ලංකාවේ පැවති සුවිශාලතම ධර්ම ශාලාව වූවේ පොතුපිටිය වාලුකාරාම ධර්ම ශාලාවයි. තල්පිටියේ පදිංචි ව සිටියා වූ මැස්ටියගේ දොන් සියනේරිස් අප්පෝ විසින් තල්පිටියේ ග්‍රාමයේද භෞතික වශයෙන් බොදු පුනරුදයක් ඇති කළේය.තල්පිටියේ ධළදාවත්ත විහාරයේ සංවර්ධනයට ඉමහත් අතහිතක් දුන්නා වූ සියනේරිස් අප්පෝ ගේ පරපුර කලපුගම මැස්ටියගේ බණ්ඩාර පරපුරේ සම්භවයක් සහිත රාජකීය පරපුරක් බව ජනප්‍රවාදයේ සඳහන්වේ . දහනවවන සියවසේ මැද භාගයේ අරඹන ලද්දා වූ පොහද්දරමුල්ලේ මහා විහාරය මේවන විට ශාසනික වශයෙන් වර්ධනයක් ලබා තිබුණි. විහාර මන්දිර ඉදිකරවීම ප්‍රිය නොකල එහි විසූ මහා නායක ස්වාමීන් වහන්සේලා ශාසන මාමක ජන ප්‍රජාවක් වර්ධනය කරවීම උදෙසා කටයුතු කරන ලද්දේය. දහනවවන සියවස අගබාගය වන විට මෙම පලාතේ බොහෝ බොදු විහාර ඇරඹුණු අතරම කොරොස්දූව මහා විහාරය එසමයේ අරඹන ලද්දාවූ විහාරාරාමයකි. මෙම පලාතේ පවතින අනෙක් බොහෝ විහාරස්ථාන නිසැකවම 1900 සියවසට හෝ පසුකාලයට අයත් ඒවාය.

බොහෝ බොදු පුනර්ජීවන ව්‍යාපාර නිසාවෙන් කිතුණු ප්‍රජාව නැවතත් බොදු දිවියට අවතීර්ණ වූ අතර තවමත් කතෝලික ප්‍රජාව මෙම පලාතේ ව්‍යාප්ත වී සිටී. මොල්ලිගොඩ ප්‍රදේශයේ බහුල ව කතෝලිකයන් සිටිනු දක්නට ලැබේ.

රැකියා සහ ඒවායේ සම්භවය[සංස්කරණය]

වාද්දුව ප්‍රදේශයේ අතීතයේ සිට වර්ථමානය දක්වා පැවතෙන වුර්තීන් ගනනාවක්ම දක්නට ලැබේ. ඒ අතර මසුන් මැරීම, වී වගාව, කුරුඳුතැලීම, පොල් රා මැදීම,පොල් ලෙලි තැලීම, රෙදි සේදීම ප්‍රමුඛ වේ. එකී කර්මාන්ත ඇතැම් විට වර්ථමානය දක්වාම අතීත පෙළපත් සමඟම බැඳී පවතී. වාද්දුව ප්‍රදේශයේ වාද්දුව ග්‍රාමය අතීතයේ සිට කරාව කුලයේ පිරිස් බහුල වූ ග්‍රාමයකි. එබැවින් අතීතයේ සිට මත්සය කර්මාන්තයේ ඒකාධිකාරය ඔවුන් සතු විය.විසිවන සියවසේ දී මෙම කුල ප්‍රමුඛ කරගතා වූ ක්‍රියාවලිය බිඳීගියත් තවමත් ඒවායේ අවශේෂ පවතී.වාද්දු ප්‍රදේශයට අයත් මොල්ලිගොඩ ග්‍රාමය බොහෝ විට සලාගම කුලයේ ප්‍රජාව වාසය කරන පෙදෙසකි. අතීතයේ සිට ඔවුනට පැවරුණු වී වගාබිම් තවමත් පැවතීම අරුමයක් නොවේ. වාද්දුවේ වී ගොවිතැන සම්බන්ධ ඉපැරැණි විරිතක් වේ. එනම් නිසැකව අලුත් සහල් කළුවම්මෝදර කන්දේ විහාරයේ විෂ්ණු දෙවියන් වෙත පිදීමයි. සලාගම ඒකාධිකාරය හැරුණු කොට මෙම කුඹුරු ඉඩම් වලින් බොහෝමයක් සතුවන්නේ හින්න උප කුලයේ ප්‍රජාවටයි.වස්කඩු බද්දේ විවරණය ග්‍රන්ථයේ සඳහන් වන්නේ එයට හේතුව සලාගම් පිරිස් සඳහා සේවය සැපයූ හින්න උප කුලයේ අය සඳහා ලබා දීමට මුදල් හදල් නොමැති බව නිසාවෙන් ඉඩම් ලබා දුන් බවයි. කුරුඳුකාර වස්කඩුවේ විසුවා වූ සලාගම් පිරිස් වල බොහෝ ඉඩකඩම් වාද්දුව ප්‍රදේශයට අයත්ව පැවතිනි. ඕලන්ද යුගයේ සිට එම කර්මාන්තය සිදුකල සලාගම පිරිස් ව්සින් කුරුඳු වෙළදාම සිදුක්ළේ පොතුපිටියේ තේච්චිතොට වරායෙනි. ලංදේසි සමයේ එහි බලකොටුවක් පැවති අතර එහි සුවිශාල මිනී වලක් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ . එබැවින් එම ප්‍රදේශය හඳුන්වන ලද්දේ වලපොල නමින. වත්මන් පොතුපිටිය දුම්‍රිය නැවතුම්පොළ නොම්මර 1 පිහිටා ඇත්තේ එකී වලපොල වත්තේය. අරක්කු රා රේන්ද කර්මාන්තය බ්‍රිතාන්‍ය යුගයේ මුල භාගයේ සිටම වාද්දුව ප්‍රදේශය ආක්‍රමණය කළේය. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ අරක්කු රේන්ද බදුගත්තා වූ බ්‍රිතාන්‍ය සුදුමහතා වාද්දුවේ සිදුවූ දරුණු මිනීමැරුමක් දැක බියවී රේන්දය අතහැර දැමූ බවය. පොතුපිටිය ප්‍රදේශයේ විසූ ඩී.ආර්.ඩී.ඩී. පෙරේරා නොහොත් ධර්මසේන මුදියන්සේ විසින් 1830 දී පමණ වාද්දුව රේන්දය බදු ගත්තට මොකද ඔහුට රේන්ද කර්මාන්තයට වඩා වාසිදායක වූවේ පොල් කොහු කර්මාන්තය යි. අරක්කු රේන්දය ඔහු අතහැර දමන ලද පසුව පිට පලාත් වලින් පැමිණි බොහෝ පිරිසක් වාද්දුව රේන්දය බදුගත්තට මොකද සාර්ථකව පවත්වා ගත නොහැකි වීලු. ධර්මසේන මුදියන්සේ විසින් පොතුපිටියේ පවත්වාගෙන ගියා වූ කොහුමෝල ඉතා ප්‍රගතියක් ලැබුවේය. වැලිතර සිට පුහුණුව ලැබූ ශිල්පීන් ගෙන්වා අරඹන ලද්දා වූ පොල් කොහු කර්මාන්තය තුලින් 1840 වන විට එංගලන්ත රජයටපවා නැව්ගැටගසන ලද්දා වූ කඹ විකිණීමට තරම් වර්ධනයක් ලැබීය. එදා ලැබූ පන්නරය අද දක්වා පොතුපිටිය ප්‍රදේශයේ කොහු කර්මාන්තය මුල් බැස ගැනීමට රුකුල් වී තිබේ. රේන්ද කර්මාන්තය හරහා දහ නවවන සියවසේ අගබාගයේ ඉතා දියුණුවට පත් පිරිසක් විය. ඒ අතර වාද්දුවේ මහමරක්කල පවුල ප්‍රධාන වේ.එසේම පොතුපිටියේ ඇම්.පිනෙස් ප්‍රණාන්දු නම් තැනැත්තා ද කැපී පෙනේ. මෙසේ ධනපතියන් වූවන්ගේ ඊළග පියවර ලෙසින් ප්‍රත්‍යක්ශ වූ ක්‍රියාව වූවේ ධානපතියන් බවට පත් වීමයි. බොදු පුනරුදයට මහත් දායකත්වයක් දක්වන ලද්දේ මෙම ප්‍රභූන් විසිනි රා කර්මාන්තය විසිවන සියවසේ අගබාගය වන විට ඉතා වේගයෙන් අභාවයට පත් වූවත් වර්ථනාමයේ පවා එම කර්මාන්තය වාද්දුවේ මුල් බැසගත්තා වූ තවත්කර්මාන්තයක් බව නොරහසකි.

"https://si.wikipedia.org/w/index.php?title=වාද්දුව&oldid=533206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි