ලලිත් ඇතුලත්මුදලි ඝාතනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලලිත් ඇතුලත්මුදලි ඝාතනය
ස්ථානය කිරුලපන, ශ්‍රී ලංකාව
දිනය අප්‍රේල් 23, 1993
8:10 ප.ව. (ශ්‍රී ලංකා වේලාව)
ඉලක්කය ලලිත් ඇතුලත්මුදලි
ප්‍රහාර මාදිලිය ස්වයංක්‍රීය මිමී9 පිස්තෝලය
මරණ 1 අයෙකු මිය යාම (ලලිත් ඇතුලත්මුදලි)
තුවාලකරුවන් 1 අයෙකු තුවාල ලැබීම (තිලක් ශාන්ත - ඇතුලත්මුදලිගේ ආරක්ෂක)
අපරාධකරුවෝ ජනක ප්‍රියංකර ජයමාන්න හෙවත් වැල්ලම්පිටියේ සුදු මහත්තයා

ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙඳ, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, 1993 අප්‍රේල් 23 වන දින කිරුලපන දී ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 8.10 ට (2.10 ප.ව. UTC) ඝාතනය කෙරිණි. .[1] බස්නාහිර පළාත සඳහා 1993 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණයට සති 4 කට පමණ පෙර රැස්වීමක් අමතමින් සිටියදී ඇතුලත්මුදලි මහතා වෙඩි තැබීමකට ලක්ව මාරක තුවාල ලැබීය.

ශ්‍රී ලංකා පොලීසිය සහ ස්කොට්ලන්ඩ් යාඩ් විසින් වෙන් වෙන් වශයෙන් පවත්වන ලද පරීක්ෂණ වලින් නිගමනය වූයේ ඝාතනය සිදු කරන ලද්දේ එල්ටීටීඊ යට සම්බන්ධව සිටි අප්පයියා බාලක්‍රිෂ්නන් හෙවත් රගුනාදන් නමැති දෙමළ තරුණයා විසින් බවය. කෙසේවෙතත් මෙම නිගමන පිළිබඳ මහජනතාව පුළුල් ලෙසින් සැක සිතුවේ එකල පැවැති දේශපාලන සන්දර්භය නිසාවෙනි. 1995 දී, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ වගවිභාග කීරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලද්දේ ඇයගේ 1994 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර පොරොන්දුවක්ද ඉටු කරනු පිණිසය. 1997 ඔක්තෝම්බර් 7 වන දිනදී භාරදුන් අවසාන කොමිසම් වාර්තාව විසින් දැක්වුනේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස (1988–93) සහ ඔහුට කිට්ටුවෙන් වූ ආරක්ෂක හමුදා කාර්ය මණ්ඩලය ඇතුලත්මුදලි ඝාතනයට සෘජු ලෙස වග කිය යුතු බවයි. [1][2][3] මින් පසුව ආරක්ෂක හමුදා සාමාජිකයන් හා පාතාල සාමාජීකයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිණි. ඝාතනයක් සිදුකිරීමට කුමන්ත්‍රණ කිරීම, උදව් වීම, සහ අනුබල දීම වෙනුවෙන් මොවුන් හට අවසානයේදී චෝදනා ගොනු කරන ලදි. නඩුව අතරතුරදී චූදිතයන් තිදෙනෙක් මරා දමනු ලැබුවේ ඝාතනය පිළිබඳ තවත් සැකයන් හා ගැටළු ඉස්මතු කරමිනි. මෑත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම මතභේදකාරී දේශපාලනමය ඝාතනය ලෙසින් ලලිත් ඇතුලත්මුදලි නඩුව තව දුරටත් පවතියි. [4]

පසුබිම[සංස්කරණය]

රණසිංහ ප්‍රේමදාස සමග පැවති ආතතිය[සංස්කරණය]

ලලිත් ඇතුලත්මුදලි යනු 1977-88 දක්වා පැවති ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ රජයේ අතිශයින් ප්‍රමුඛ හා බලවත් ඇමතිවරයෙක් විය. ඔහු, අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක යන්නන් 1988 දී පැවැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා තරගවැදීමට බොහෝ සෙයින් ඉඩ ඇත්තන් ලෙසින් සැලකුණහ .[3] අවසානයේදී අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස නම් කරනු ලැබිණි. අවසානයේදී අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස නම් කරනු ලැබිණි. ජනාධිපති ප්‍රේමදාසයන්ගේ මැතිවරණ ජයග්‍රහණයට අනතුරුව අග්‍රාමාත්‍යය තනතුර සඳහා ඇතුලත්මුදලි හා දිසානායක මහත්වරුන් අතුරින් එක් අයෙකු තෝරාගනු ලැබෙතැයි අපේක්ෂා කෙරිණි. එනමුදු එම දෙදෙනාම මග හරිමින්, ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යය ලෙසින් පත් කලේ ඩී.බී. විජේතුංග මහතාවය. 1989දී, ප්‍රේමදාස මහතා විසින් ඔහුගේ කිට්ටුතම හිතවන්තයෙක් වූ බී. සිරිසේන කුරේ මහතාව එජාපයේ ජාතික සංවිධායක තනතුරට පත්කලේ ලලිත් ඇතුලත්මුදලි මහතා නොසලකාහරිමිනි. මෙලෙසින්ම, රජය හා පක්ෂය තුල වැදගත් තනතුරු මාලාවක් ඇතුලත්මුදලි සහ දිසානායක මහත්වරුන්ට අහිමි කරන ලදි. මෙම ක්‍රියාවන් නිසා පක්ෂයේ ප්‍රේමදාස පාර්ශ්වය හා ඇතුලත්මුදලි පාර්ශ්වය අතර ඉමහත් ආතතියක් ඇති විය. ඇතුලත්මුදලි මහතාගේ කිට්ටු හිතවන්තයෙකුවූ නාට්‍ය රචක ලක්ෂ්මන් පෙරේරා අතුරුදහන් වීමද මෙම භේදය තීව්‍ර කිරීමට හේතු පාදක විය. [5]

දෝෂාභියෝග යෝජනාව[සංස්කරණය]

මෙහි ප්‍රතිඵලය වූයේ ඇතුලත්මුදලි පාර්ශ්වය විසින් 1991දී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමයි. [3] නිත්‍යානුකූල නොවන ඉඩම් ගණුදෙනු සහ කැබිනට් මණ්ඩලයේ උපදේශන ලබා නොගැනීම (හා එමනිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම) ඇතුළු බලය අනිසි ලෙසින් භාවිතා කිරීමෙහි ප්‍රෝක්ත අවස්ථා 24 ක් මෙම යෝජනාවට ඇතුලත් කර තිබුණි. [6] 1991 ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ කථානායක විසින් ප්‍රතික්ෂේප කරන ලද මුත්, මෙම යෝජනාව, ප්‍රේමදාස රජය ඉමහත් අන්තරායයකට හෙලීය. මින් අනතුරුව, ඇතුලත්මුදලි සහ දිසානායක මහතුන් ඔවුන්ගේ අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වූහ. ඔවුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් පක්ෂයෙන් නෙරපා දැමිණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම[සංස්කරණය]

1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ. මෙම සිද්ධීන් ඇති වූයේ 1991 නොවැම්බර් 2 දින පන්නලදී, 1992 අප්‍රේල් 23දින මඩපාතදී, 1992 අගෝස්තු 7 දින කොටුව දුම්රියපොළ අසලදී, සහ 1992 අගෝස්තු 29 දින දෙහිවලදී යන වශයෙනි.[5] 1993 මාර්තු 16 වනදිනදී, පළාත් සභා හය විසුරුවා හැරිය රජය ප්‍රකාශයට පත් කලේ මැතිවරණ දිනයන් 1993 මැයි 17 දිනට යෙදී ඇති බවයි. තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් ඇතුලත්මුදලි මහතා, ප්‍රඑජාපෙ වෙනුවෙන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය තනතුර සඳහා තරග වැදුනි.

ඝාතනය[සංස්කරණය]

1993 අප්‍රේල් 23 දින බොරැල්ලේ, අලුත්කඩේ සහ කිරුලපන රෑස්වීම් ගණනාවක් ඇමතීමට ඇතුලත්මුදලි මහතාට නියමිතව තිබුණි. වෙනත් රැස්වීම් දෙකක් ඇමතීම නිම කල ඔහු කිරුලපන වෙත ලඟාවූයේ ප.ව. 8:00 වන විටය. මෙම ස්ථානයේ 1,000 පමණ ජනකායක් රැස්ව සිටියහ. වර්ෂාව පැවැති හෙයින්, ජනයා වේදිකාව කිට්ටුවට පැමිණි අතර, සමහරු එහි යටට පවා පැමිණියහ. හදිසියේම, ඇතුලත්මුදලි මහතා කිට්ටුවට පැමිණි පුද්ගලයෙක් තුවක්කුවක් අමෝරා ඔහුට 3 වතාවක් වෙඩි තැබීය.[7] මෙම අවස්ථාවෙහිදී, තිලක් ශාන්ත නමැති ඇතුලත්මුදලි මහතාගේ කායාරක්ෂකයා විසින් ප්‍රහාරකයා වෙත වෙඩි තබා ඇති අතර ඔහුගේ දකුණු උදරයට තුවාල සිදු කර ඇත. ප්‍රහාරකයාද ආරක්ෂකයාට පෙරළා වෙඩි තබමහින් පලා ගොස් ඇත. ඇතුලත්මුදලි මහතා රෝහල වෙත රැගෙන ගිය අතර සිදුවූ තුවාල නිසාවෙන් ප.ව. 8:50 ට පමණ මිය ගියේය.

අපරාධය සිදුවූ ස්ථානයට පොලීසිය පැමිණ ප්‍රදේශයට මුර වළල්ලක් යෙදීය. කෙසේවුවද පසුව සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් වලින් ප්‍රතිඵලයක් නොවීය. ඇතුලත්මුදලි මහතාට වෙඩි කැබූ වේදිකාවේ සිට මීටර 200 ක් පමණ ඔබ්බෙහි වූ මරා දැමුණු සිරුරක් පොලීසිය වෙත හමු වූයේ පසුදින (24) උදය වරුවේදී පමණි. මැගසින දෙකක් සමගින් ස්වයංක්‍රීය මිමී9 පිස්තෝලයක් සහ සජීව උණ්ඩ වෙඩිමුර කිහිපයක්, හිස් පතොරම් කොපු, අත් බෝම්බයක්, ජාතික හැඳුනුම් පතක් සහ මුදල් ස්වල්පයක් පොලිසිය විසින් සොයා ගති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, පරිච්ඡේදය 58: ප්‍රේමදාස ඉන්ඩික්ටඩ්". ඒෂියා ටයිම්ස් ඔන්ලයින්. 2002. http://www.atimes.com/atimes/South_Asia/DI21Df01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-09. 
  2. "ශ්‍රී ලංකා: ඉන්ෆොමේෂන් ඔන් වෙදර් ද පොලීස් ආ ස්ටිල් සීකින් ද ඇසෑසින්ස් ඔෆ් ලලිත් ඇතුලත්මුදලි". සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්. 1998. http://www.unhcr.org/refworld/category,,IRBC,QUERYRESPONSE,LKA,3ae6aab330,0.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-09. 
  3. 3.0 3.1 3.2 "ඔබිචුයරි: ලලිත් ඇත්ලත්මුදලි". ද ඉන්ඩිපෙන්ඩන්ට්. 1993. http://www.independent.co.uk/news/people/obituary-lalith-athulathmudali-1457705.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-09. 
  4. ෆා ඊසිට් ඇන්ඩ් ඔස්ට්‍රලේෂීයා. http://books.google.lk/books?id=e5Az1lGCJwQC&pg=PA1334&lpg=PA1334&dq=impeachment+motion%2Blalith+athulathmudali&source=bl&ots=mkeFMGULF9&sig=USG-NlN67Qc6R6dHMyxqO9F4dGg&hl=en&ei=Kp3vTZ1hx8etB__vqc0F&sa=X&oi=book_result&ct=result&resnum=9&ved=0CE0Q6AEwCA#v=onepage&q=impeachment%20motion%2Blalith%20athulathmudali&f=false. Retrieved 2011-06-09. 
  5. 5.0 5.1 "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, පරිච්ඡේදය 55: ඇසැසිනේෂන් ඔෆ් ඇතුලත්මුදලි". ඒෂියා ටයිම්ස් ඔන්ලයින්. 2002. http://www.atimes.com/atimes/South_Asia/DH31Df01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-09. 
  6. "දි ඉම්පීච්මන්ට් සාගා: මෙන් ඇන්ඩ් මෙමරීස් බුද්ධික කුරුකුලරත්න". දිවයින. 2005. http://www.island.lk/2005/12/18/politics2.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-09. 
  7. "ශ්‍රී ලංකා ඔපොෂිසන් ලීඩර් ස්ලේන් ඇට් රැලි". ද නිව් යෝර්ක් ටයිම්ස්. 1993. http://www.nytimes.com/1993/04/24/world/sri-lanka-opposition-leader-slain-at-rally.html?src=pm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-09.