රෝමානු සෙනෙට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්

රෝමානු සෙනෙට් මණ්ඩලය වනාහී, පුරාතන රෝමයෙහි පිහිටි දේශපාලන ආයතනයකි. නගරයෙහි පැවැත්මේ මුල් දිනවලදීම පිහිටුවා ඇති (සංස්ථාපනය ක්‍රිපූ 753 ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙයි) මෙය, රෝමානු ඉතිහාසයෙහි මහත් චිරස්ථායි ආයතනයන් අතුරින් එකක් විය. ක්‍රිපූ 509 දී රජුන් බලයෙන් බැහැර කිරීම, ක්‍රිපූ 1වන සියවසේදී රෝමානු ජනරජය බිඳ වැටීම, ක්‍රිව 395දී රෝමානු අධිරාජ්‍යය බෙදා වෙන් කිරීම, ක්‍රිව 476දී බටහිර රෝමානු අධිරාජ්‍යය බිඳ වැටීම සහ, 5වන, 6වන සහ, 7වන සියවස් වලදී බාබේරියන් වරුන් විසින් රෝමය පාලනය කිරීම යන සෑම අවස්ථාවකදීම එය නොනැසී පැවතිණි.

රාජධානි කාලසීමාවෙහිදී එය, රජුට උපදේශනය සැපයූ මණ්ඩලයකට වඩා මදක් ඉහළ තලයක පැවතිණි. අවසන් රෝමයේ රජවූ ලූකියුස් ටර්ක්වීනියුස් සුපෙර්බූස් බලයෙන් පහ කල රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සඳහා නායකත්වය සැපයූයේ, ජනරජයේ නිර්මාතෘ ලූවුෂස් ජූනියස් බෲටස් විසිනි.

ජනරජයේ මුල් කාලයේදී, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය දේශපාලන වශයෙන් දුර්වලව පැවති අතර, විධායක මහෙස්ත්‍රාත්වරුන් බෙහෙවින් බලවත්ව සිටියහ. රාජාණ්ඩුවෙහි සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පාලනය වෙත සංත්‍රාන්තිය බොහෝදුරට සිදුවන්නට ඇත්තේ ක්‍රමයෙන් බැවින්, විධායක මහේස්ත්‍රාත්වරුන් අභිබවා තම බලය පිහිටුවා ගන්නට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පරම්පරා කිහිපයක් ගත වන්නට ඇත. ජනරජයේ මධ්‍ය කාලය පැමිණෙත්ම, ජනරජය තුල එහි බලයෙහි මස්තකය වෙත ලඟාවීමට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට හැකි වී ඇත. ජනරජයේ අවසන් කාලසීමාවෙහිදී, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලය පරිහානිය ඇරඹුනේ, ටිබේරියුස් සහ ගයියුස් ග්‍රාකුස් විනිශ්චය මණ්ඩල වලින් සිදුකල ප්‍රතිසංස්කරණ වලින් පසුවය.

ප්‍රින්චිපටේ වෙත ජනරජය සංක්‍රමණය වීමත් සමගම, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සතුවූ දේශපාලන බලය මෙන්ම එහි ගරුත්වයද එයට අහිමි විය. ඩයක්ලීෂන් අධිරාජයා විසින් සිදු කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය දේශපාලනමය වශයෙන් අනුචිත වූ අතර, පෙරදී එය සතුවූ බලය යලි කිසි දිනෙක නතු කර ගැනුමට අසමත් විය. රජයේ අසුන රෝමයෙන් පිටතට ගෙන ගිය විට, නාගරික මණ්ඩලයක මට්ටමට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අවප්‍රමාණ විය. තත්ත්වයේ මෙම අවප්‍රමාණය ප්‍රතිසාධනය කෙරුණේ, මහා කොන්ස්ටන්ටීන් අධිරාජයා විසින් කොන්ස්තන්තිනෝපලයේ අතිරේඛ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමෙන් පසුවය.

වසර 476දී, බටහිර රෝමානු අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව, බාබේරියන් පාලනය යටතේ යම් කාලසීමාවක් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ක්‍රියාත්මක වූ අතර පළමුවන ජස්ටිනියන් අධිරාජයාගේ ධූරකාලය තුලදී, බටහිර රෝමානු අධිරාජ්‍යයේ බොහෝ බලප්‍රදේශ යළි-අත්පත් කරගැනුමෙන් පසුව, එය පුනස්ථාපනය කෙරිණි. රෝමයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය, වසර 603 සහ 630 අතරතුර කාලසීමාවේදී අත්‍යන්තයේදී අතුරුදහන් විය. කෙසේවෙතත්, වසර 1204 දී නගරය අත්පත් කරගැනුම සමගම මෙම පුරාතන ආයතනය අවසානයේදී අතුරුදහන් වන තුරු, නැගෙනහිර සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය, කොන්ස්තන්තිනෝපලය තුල නොනැසී පැවතිණි.

"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_සෙනෙට්_මණ්ඩලය&oldid=325508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි