මුතුරාජ‍වෙල

විකිපීඩියා වෙතින්
මුතුරාජ‍වෙල
Muthurajawela wetlands
ස්ථානයශ්‍රී ලංකාව
Part ofමීගමු කළපුව
වපසරීය3,068 hectares (7,580 acres)

මුතුරාජ‍වෙල යනු ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පුරන්වූ කුඹුරු යායකි. බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු උතුරින් මීගමු කළපුවත්, දකුණින් කැලණි ගඟත්, බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයෙන් ද සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනූන බිමකි. මීගමු කලපුවත් එක්ව ගත් කල මුතුරාජවෙල වගුරු බිම හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ව්‍යාප්තව පවතී.

මුතුරාජ‍වෙල පුරන්වීමට හේතුව[සංස්කරණය]

ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද මෝඩ ඇළ ඔස්‌සේ කරදිය ගලා ඒම නිසා මෙම කුඹුරු යාය පුරන් විය.

මුතුරාජවෙල තෙත් බිම යනු කුමක්ද?[සංස්කරණය]

මුතුරාජවෙල තෙත් බිම ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි.එබැවින් මෙහි වෙසෙන සියොතුන් අතර දේශීය මෙන් ම විදේශීය පක්ෂීන් ද වේ.මෙය කිවුල්දියට ම ආවේණික වූ කඩොලාන පරිසරයකින් ද, විවිධාකාර සියොතුන් හා උභය ජීවීන්ගෙන් ද, විවිධ කෘමිවිශේෂ හා ජලජ පැළෑටිවලින් ද ස්වයංපෝෂිත වූ තෙත් බිමකි.

මෙම තෙත් බිම බොහෝ සත්ත්ව හා ශාක වර්ග ගණනාවකට නිජබිමක්ව පවතී.කලපුව හා ඍජුව සම්බන්ධ වී නිර්මිතව ඇති බැවින් ධීවර පවුල් 3200කට පමණ ජීවනෝපාය සැලසී ඇත.ශ්‍රී ලංකාවේ නැංගුරම්ලන ධීවර යාත්‍රාවලින් 15% ක් පමණ මුතුරාජවෙල කලපු තීරය නැංගුරම්පළක් ලෙස භාවිතා කරයි.


මෙම ප්‍රදේශය මත්ස්‍යයන් හා ඉස්සන්ගේ අභිජණන මධ්‍යස්ථානයක් වන අතර එළවළු, පළතුරු , ඖෂධ හා දැව සපයන ප්‍රභවයක් ද වේ. ඉතා ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙල තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයට ද ඍජු දායකත්වයක් ලබා දෙයි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයට රුකුලක්ව පවතින මුතුරාජවෙල තෙත් බිම සංචාරක ව්‍යාපාරයට ද දායකත්වයක් ලබා දෙයි. ඊට ප්‍රධාන හේතුව ප්‍රදේශය පුරා පැතිරී ඇති සොබාසෞන්දර්යයි. මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එම සොබාසෞන්දර්යයේ මුලිකාංගයකි.

මෙම ඇල මාර්ග දෙක දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබලන කඩොලාන තීරය ද දුටුවන් මන බදනා පාරිසරික චමත්කාරය විදහා පායි.තව ද මෙම කඩොලාන තීරය ඔබ්බෙහි පවතින "කුරුලු උයන" ප්‍රදේශයට අපූර්වත්වයක් එක් කරයි. මෙරට පක්ෂීන් මෙන්ම විදේශ රටවලින් පැමි‍ණෙන සංචාරක පක්ෂීන්ගෙන් ද මෙම උයන අසිරිමත් ව පවතී.

පිංතූර එකතුව[සංස්කරණය]


තව ද ඉතාමත් අලංකාර සමනලුන් මෙන් ම මත්ස්‍ය විශේෂ ගණනාවක් ද මෙම පරිසරයට අපරිමිත වූ සුන්දරත්වයක් එක් කරයි. මෙරට පක්ෂීන් මෙන් ම විදේශ රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් ද මෙම උයන අසිරිමත්ව පවතී. තව ද ඉතාමත් අලංකාර සමනලුන් මෙන් ම මත්ස්‍ය විශේෂ ගණනාවක් ද මෙම පරිසරය ට අපරිමිත වූ සුන්දරත්වයක් එක් කරයි.

මුතුරාජවෙල දක්නට ලැබෙන්නේ කඩොලාන පරිසර පද්ධතියකි.කඩොලාන පරිසර පද්ධතියක් යනු අන්තර් උදම් කලාපය මුල්කොටගෙන කලපු, ගං මෝය හා කලපුවල කුඩා දූපත් ආශ්‍රිත ව දක්නට ලැ‍බෙන පරිසර පද්ධතියකි. මුතුරාජවෙල වගුරු බිම් සීමාව තුළ කඩොලාන ශාක විශේෂ 29 ක් සොයා ගෙන ඇත. ඊට අමතර ව ඒ ආශ්‍රිත ශාක විශේෂ 15 ක් ද දැනටසොයාගෙන ඇත. මෙම තෙත් බිම තුළ දැකිය හැකි කඩොලාන අතර මහ කෙඩොල්, මණ්ඩ, ගිං පොල්, කැරැන්කොකු, තෙලකීරිය, බැරිය, කටු ඉකිළිය ආදිය දැකිය හැකිය.

මුතුරාජවෙල දැකිය හැකි සත්ත්ව වර්ග[සංස්කරණය]

මුතුරාජවෙල ක‍ඩොලාන ආශ්‍රිතව දැකිය හැකි සතුන් ලෙස මඩ කකුළුවා, කලපු කකුළුවා, මඩ පොකිරිස්සා, කලිස්සා සහ මට්ටි යන සතුන් වේ.කඩොලාන ආශ්‍රිත මසුන් අතරට අයත් වන්නේ දිමිත්තා ,කපු හැන්දා, ඉලත්ති,හැලිවළං කොස්සා කහ කොරළියා ආදී සතුන්ය.

එම ප්‍රදේශය ආශ්‍රිත පක්ෂීන් අතර කඩොල් කොකා, ඇලි කොකා,මුහුදු ලිහිණියා, සිලිබිල්ලන් ආදීන් දැකිය හැකිය. මුතුරාජවෙල අභය භූමියේ කුරුලු විශේෂ 221ක් දක්නට ලැබෙන අතර වාර්තා නොවූ කුරුලු විශේෂ 136 ක් වේ. වාර්තා වන කුරුලු විශේෂ ගණන 85 කි. ඒ අතරින් තර්ජනයට ලක් වූ කුරුලු විශේෂ 4කි.මුතුරාජවෙල දැකිය හැකි සංක්‍රමණික කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා,වගුරු සිලිබිල්ලා,සේරුවා,කැස්පියන් මුහුදු ලිහිණියා,අවිච්චියා ආදී පක්‍ෂීන් දැකිය හැකිය.

මුතුරාජවෙල අභය භූමිය තුළ වෙසෙන උරගයින් විශේෂ 37 කි. ඒ අතරට අයත් වන ඉබ්බන් විශේෂ දෙකකි.ඒ කිරි ඉබ්බා හා ගල් ඉබ්බා ය.ගැට කිඹුලා ද තවත් එක් විශේෂයකි.

මෙම වගුරුබිම තුළ වෙසෙන සර්ප වි‍ශේෂ 22 කි. ඉන් විශේෂ තුනක් අපට ආවේණික ය.එනම් දෙපත් නයා, දිය බරියා ආදීන් වේ.තවත් සර්ප විශේෂ 6 ක් තර්ජනයට ලක් වී ඇත. එනම් පිඹුරා ,දෙපත් නයා,කුණ කටුවා , දිය වර්ණයා,කුණු දිය කළුවා ,රෙදි නයා ආදීන් වේ. ඉතා අලංකාර සමනලුන් විශේෂ 67 ක් ද මුතුරාජවෙලින් වාර්තා වෙයි. කූරන් විශේෂ 34 ක් ද මෙම අභය භූමියෙන් වාර්තා වෙයි. මෙහිදී වාර්තා වන සමනල විශේෂ අතර The Taway coster,The Common Grass Yellow,The Common Rose,The Red Pierrot,The Blue Admiral ආදීන් දැකිය හැකිය.


මෙලෙසින් විවිධාකාර වු සත්ත්ව ගහනයක් දිවි ගෙවන මුතුරාජවෙල අභය භූමියෙහි දැකිය හැකි සතුන් කිහිපදෙනකු පහත දැක්වේ.



මුතුරාජවෙල තෙත් බිමෙහි වැදගත්කම[සංස්කරණය]

මුතුරාජවෙල අභය භූමියට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1285 කි. මෙම ඉඩම් ප්‍රමාණයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදෙන ඉඩම්වලින් හෙක්ටයාර 543 ක් ගෙවතු වේ. පොල් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 430 කි. හෙක්ටයාර 6 ක ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්ව ඇත.

මෙම වගුරුබිම් සීමාවට අයත් වන මීගමු කලපුව ද ප්‍රදේශයේ ඉතා වැදගත් ස්ථානයකි.අවට ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තියට උර දී ඇති මුතුරාජවෙල කලපුව ආශ්‍රිතව දිවි ගෙවන ජීවන පවුල් සංඛ්‍යාව දල වශයෙන් 3200 ක් පමණ වේ.

මුතුරාජෙවල

ද්‍රෝනී මෝය ,කරදිය ජලය අවට ගංගා වලින් එන ජලය සමග මිශ්‍ර වී කලපුවේ ජීවීන් සඳහා මනා ජල රක්ෂණයක් ලබා දෙන ස්ථානයකි. තව ද පෝෂණ ප්‍රදේශයෙන් ගලා එන ජලය තරමක් හෝ පිරිසිදු කර මුහුදට යැවීමෙන් අධික රොන් මඩ ප්‍රමාණයක් මුහුදට ගලා යාම වලකයි.

ඉස්සන් ,කකුළුවන් හා මසුන් වැනි ආර්ථික වශයෙන් ඉහළ අගයක් ඇති ජීවීන් සඳහා පරිසර පද්ධති නිර්මිතව පවතින මෙම කලපුවේ ජීවීන්ට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අඛන්ඩව ලැබේ. ගං වතුර අවම කිරීම සඳහා ද මෙම වගුරු බිම මැදිහත් වේ. මෙය මිනිසුන් දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවකගේ නාගරික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ද වේ.

මේ ආකාරයට මුතුරාජවෙල තෙත් බිම මිනිසාට විවිධාකාරයෙන් තම සේවය ලබා දෙන වැදගත් ස්ථානයක් බව පැහැදිලි වේ.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

මිහි මඬල සඟරාව,17 වන කලාපය.

"https://si.wikipedia.org/w/index.php?title=මුතුරාජ‍වෙල&oldid=631324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි