මැලේරියාව

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
මැලේරියාව
වර්ගීකරණය සහ බාහිර සම්පත්
Plasmodium.jpg
ප්ලැස්මෝඩියම් ෆැල්සිපැරම් වළලුමය-ව්‍යුහ සහ මිනිස් රුධිරයෙහි ජන්මාණුසෛලයන්.
ICD-10 B50.
ICD-9 084
OMIM 248310
රෝගදග 7728
මෙඩ්ලයින්ප්ලස් 000621
ඊමෙඩිසින් med/1385  emerg/305 ped/1357
MeSH C03.752.250.552


මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි. එය ඇමරිකාව , ආසියාව සහ අප්‍රිකාව වැනි නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල වඩාත් පුළුල්ව පැතිර පවතී. සෑම වසරක් තුළම එමගින් මිලියන 515 ක් තරම් ජනතාව රෝගී කරන අතර මිලියන 1 සිට 3 අතර රෝගීන් ප්‍රමාණයක් මරණයට පත්කරනු ලබයි. මේ අතරින් බහුතරයක් වනුයේ උපසහරා අප්‍රිකාවෙහි ජීවත් වන කුඩා ළමුන්ය. මැලේරියාව බහුල වශයෙන් දිළිදු බව සමග අනුබද්ධව පැවතුන ද එය දිලිදුකම සහ ආර්ථික වර්ධනයට ඇති බාධාවලට හේතුවක් ලෙස ද ඇති වේ.

මැලේරියාව බහුලවම ඇති බෝවන රෝග වලින් එකක්වන අතර එය දැඩි මහජන සෞඛ්‍ය ගැටළුවකි. මෙම රෝගය ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපොෂිතයෙක් මගිණි. මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි. නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත. මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය වහරයේදී හැදින්වේ.

මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගිණි. මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබයි. ඒවා නම් රක්ත හීනතාවයෙහි රෝග ලක්ෂණ, (හිසෙහි ඇති වන සැහැල්ලු බව, හුස්ම ගැනීමේ අපහසුතාව, හෘද ස්පන්ධනය ඉහළයෑම ....) උණ , ඇග සීතල වීම, ඔක්කාරය සහ රෝගය වඩාත් දරුණු අවස්ථාවන්හිදී කෝමා තත්වය සහ මරණය පවා ඇති වේ. මැලේරියා රෝගය ව්‍යාප්ත වීම මදුරුදැල් සහ කෘමිවිකර්ශක ද්‍රව්‍ය භාවිතා කර ගැනීමෙන් මදුරුවන් ලවා දෂ්ටවීම වළක්වා ගැනීම මගින් අවම කර ගත හැකිය. කෘමිනාශක වර්ග ඉසීම හා මදුරුවන් බිත්තර දමන ජලය එකතු වන තැන් ඉවත් කිරීම මගින් ඔවුන් බෝවීම පාලනය කළ හැකිය.

ඇතැම් එන්නත් වර්ග පර්යේෂණ මට්ටමෙන් පැවතුනද මේ වන විට මැලේරියාවට එරෙහි එන්නතක් සොයා ගෙන නොමැත. රෝගය ඇති වීම සදහා ඇති අවධානම අඩුකරගැනීම සදහා රෝග වළක්වා ගැනී‍මේ ඖෂධ වර්ග නොකඩවා භාවිතා කළ යුතු වේ. රෝගය බහුලවම පවතින ප්‍රදේශ වල ජීවත් වන ජනතාව සදහා මෙලෙස රෝග වළක්වා ගැනීම සදහා ඖෂධ භාවිතා කිරීම ඇතැම් අවස්ථාවලදී අපහසු වන්නේ ඒවා මිල අධික බැවිණි. රෝගය බහුලව පවතින ප්‍රදේශවල සිටින වැඩිහිටියන් බොහොමයකට දිගු කාලීනව වරින් වර රෝගය ඇති වන අතර ඔවුන් රෝගය සදහා අසම්පුර්ණ වශයෙන් ප්‍රතිරෝධීතාවයක් දක්වති. නමුත් ඔවුන් මැලේරියාව නොමැති ප්‍රදේශයක සැලකිය යුතු තරම් කාලයක් ගත කළහොත් මෙම ප්‍රතිරෝධතාවය අඩුවන අතර එවන් පුද්ගලයින් මාරාන්තික මැලේරියා රෝගී තත්වයන් සදහා ගොදුරු වීමට ද හැකියාව පවතී. එමනිසා එම පුද්ගලයින් මැලේරියා රෝගය පවතින ප්‍රදේශයකට ඇතුළු වන විට සම්පූර්ණ වශයෙන් ආරක්ෂක ක්‍රමෝපායන් භාවිතා කිරීමට තදින්ම අවවාද කෙරේ. ඖෂධ සදහා ඇති ප්‍රතිරෝධීතාවය වඩාත් බහුලවම දක්නට ඇතත් මැලේරියා ආසාදන ක්වීනින් හා ආටිමිස්නීන් ව්‍යුත්පන්න යන ප්‍රතිමැලේරියා ඖෂධ යොදා ගෙන ප්‍රතිකාර කරනු ලබයි.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Malaria



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."