මාදු ගඟ

විකිපීඩියා වෙතින්


මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි.

මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි.

ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.

මාදූව

මාදු ගඟේ ඓතිහාසික පසුබිම[සංස්කරණය]

මාදු ගඟ පිහිටා ඇති බලපිටිය ග්‍රාමය පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වන්නේ වැලිතොට හෝ වැලිතර නමිනි.ගිරා සංදේශයේත් කෝකිල සංදේශයේත් පරෙවි සංදේශයේත් මයුර සංදේශයේත් සිදත් සඟරාවේත් වැලිතොට යන ග්‍රාම නාමය අපට හමුවේ. එසේම දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී ආක්‍රමණය සඳහා ජාවක හමුදාවක් ගොඩබැස ඇත්තේ වැලිතොට තොටමුණටය.මේ අවස්ථා‍වේදී දේවපතිරාජ අමාත්‍යවරයා තම බල සේනා සමඟ එක්ව ආක්‍රමණික ජාවක හමුදාව සමුල ඝාතනය කිරිම සදහා රැදී සිටියේ මේ ප්‍රදේශයේදීය.වැලිතොට බලසේනා රැස්කර දැමීම නිසා පසුව බලපිටිය බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.ලක්දිවට දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත ගිය බව ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි.කොත්දුවේ දළදාවහන්සේ වැඩසිටි නිසා එම කොත් දුවට පරිවාර වන පරිදි අවට ගම් බිම් වල විහාරස්ථාන 23 පමන මෙම තෙත් බිම් කලාපයේ අදටද දැකගත හැකි ය.

මාදු ගඟේ ජෛව විවිධත්වය[සංස්කරණය]

ශාක ප්‍රජාව[සංස්කරණය]

මාදු ගඟ කඩොලාන පරිසර පද්ධතියකට හොඳ උදාහරණයකි. බෙරිය, රතුමිල්ල, කිරල, එළකඩොල්, තෙලකීරිය හා මල් කඩොල් වැනි කඩොලාන ශාක මාදු ගඟ ආශ්‍රිතව පවතී. රතමිල්ල නම් කඩොලාන ශාකය ලංකාවට ආවේණික නැතත් එය ලංකාවේද දැකගත හැක්කේ මාදු ගඟ ආශ්‍රිතවය.

එසේම මාදු ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ශාක ප්‍රජාව අතර නා, බෝවිටියා, වල්දෙල්, ඉදි, කුරුදු වැනි ශාකද ඕලු, නෙලුම්, කෙකටිය වැනි ජලජ පැලෑටිද රැසක් අපට දැකගතහැකි වේ.

සත්ව ප්‍රජාව[සංස්කරණය]

මාදු ගඟ ආශ්‍රිත ජීවත්වන සත්ව විශේෂ ගත් විට ක්ෂීරපායී විශේෂ 18ක් පමණ මේ ආශ්‍රිතව ජීවත් වන බවට සොයා ගෙන තිබේ.කළුවදුරන්, වව්ලන්, මීයන්, දිය බල්ලන්, නරියන්, හදුන් දිවියන් ,ඉත්තෑවන්, මුගටින්, හෝතඹුවන් ,උරුලෑවන්, කලවැද්දන් එම ක්ෂීරපායීන් අතර වේ.එසේම පිඹුරා, ඇහැටුල්ලා, ආහරකුක්කා, නිදිමාපිලා, ගැරඩියා, දිය නයා, තිත් පොළඟා, කුණකටුවා ,ගල් ඉබ්බා, කිරි ඉබ්බා, පළාකටුස්සා, ගරාකටුස්සා, පිනුම්කටුස්සා, කබරගොයා, තලගොයා ආදී උරග හා උභයජීවී සාමාජිකයෝද රැසක් සිටිති. ලෝක සංරක්ෂණ සංගමය සිදුකරන ලද අධ්‍යයනයකදී උරග විශේෂ 28ක් ද උභයජීවී විශේෂ 13ක් ද සිටින බව හෙලි වී තිබේ. එමෙන්ම සමනල විශේෂ 60ක් ද ජලජ ගොළුබෙලි විශේෂ රාශියක් හා කිවුල්දිය හා මිරිදිය මත්ස්‍ය විශේෂ 50ක් පමණද සිටින බව සොයාගෙන ඇත.

කුරැලු පාරාදීසයක් ලෙස සැලකෙන මාදු ගඟ පරිසර පද්ධතියේ පක්ෂි විශේෂ 100ක් පමණ දැකගත හැක.දියකාවුන්, කොකුන්, කොරවක්කන්, පිළිහුඩුවන් මෙන්ම ලංකාවට ආවේණික කුරුල්ලන් වන ගිරා මලිත්තා,හිස දුඹුරු දෙමලිච්චාද මාදු ගඟ තුරුලතා වල නිතර ගැවසේ.

ගැලරිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාදු_ගඟ&oldid=568499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි