මන්ගෝ ජාතික වනෝද්‍යානය

විකිපීඩියා වෙතින්
මන්ගෝ ජාතික වනෝද්‍යානය
මන්ගෝ ජාතික වනෝද්‍යානය
කිට්ටුම සුළු නගරය/නගරය: පූන්කාරී
ඛණ්ඩාංක: 33°44′56″S 143°08′08″E / 33.74889°S 143.13556°E / -33.74889; 143.13556
භූමි ප්‍රමාණය: 278.47 කිමී²
පිහිටුවීම: 6 අප්‍රේල් 1979
කළමනාකාර අධිකාරිය: නිව් සවුත් වේල්ස් ජාතික වනෝද්‍යාන හා වනජීවී සේවාව
නිල අඩවිය: මන්ගෝ නැෂනල් පාර්ක්

මන්ගෝ ජාතික වනෝද්‍යානය යනු ඕස්ට්‍රේලියාවෙහි, නිරිත දිග නිව් සවුත් වේල්සයෙහි, සිඩ්නි නගරයට කිමී 876 ක් බටහිරට වන්නට, බල්රනල්ඩ් ෂයර්හි හුදකලාව පිහිටි ජාතික වනෝද්‍යානයකි. වර්ග කිලෝමීටර 2,400 ක් පුරාවට පැතිර ඇති හා වියලි විල් දසසතකින් සමන්විත, ලෝක උරුම අඩවියක් වන විලන්ඩ්‍රා විල් ප්‍රදේශයෙහි කොටසකි එය. පූන්කාරී සිට කිලෝමීටර් 75 ක් පමණ ගිණිකොණ දිගින්ද, මිල්ඩූරා, වික්ටෝරියා සිට කිමී 110 ක් ඊසාන දිගින්ද සහ ඉවන්හෝ සිට දළ වශයෙන් කිමී 145 ක් බටහිරට වන්නටද මෙම වනෝද්‍යානය පිහිටා ඇත. වර්ෂා කාලය තුලදී හා ඉන් පසුව, වනෝද්‍යානය වෙත ඇති හා එය අවට ඇති මාර්ග තරණය කල නොහැකි තත්ත්වයකට පත්විය හැක.

මන්ගෝ ජාතික වනෝද්‍යානයෙහි විශේෂත්වය වන්නේ පුරාතන වියලි විල් අතුරින් දෙවන විශාලතමය වන මන්ගෝ විල එහි පිහිටීම වෙයි. එහිදී සොයාගත් පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ නිසාවෙන් මන්ගෝ ජාතික වනෝද්‍යානය අතිශයින් වැදගත් වෙයි. ඕස්ට්‍රේලියාවේදී සොයාගෙන ඇති පැරණිතම මානව නෂ්ටාවශේෂ වන මන්ගෝ මානවයාගේ නෂ්ටාවශේෂද, චාරිත්‍රානුකූලව ආදාහනය කර ඇති බවට දන්නා පැරණිතම මානවයා වන මන්ගෝ මානවිකාවගේ නෂ්ටාවශේෂ යන දෙවගයම වනෝද්‍යානය තුලදී සොයාගැනුණි. විලෙහි ගිණිකොණ දෙසින් පිහිටි හා 'චීන මහා ප්‍රාකාර' ලෙසින්ද හැඳින්වෙන අඩ සඳ කවුලු ආකාර භූමි සැදිලි මාලාවක් පහළින් මන්ගෝ විලෙහි ඉවුරෙහි ඔවුන් වළලා තිබුණි.