බෙනීටෝ මුසොලීනි

විකිපීඩියා වෙතින්

බෙනීටෝ අමීල්කරේ අන්ද්‍රෙයා මුසොලීනි (ඉතාලි: beˈnito musoˈlini; 29 ජූලි 1883 – 28 අප්‍රේල් 1945) යනු ඉතාලි දේශපාලනඥයෙක්, මාධ්‍යවේදියෙක්, සහ 1922 සිට 1943දී ඔහු නෙරපීම දක්වා අග්‍රාහාත්‍යවරයා ලෙසින් රට පාලනය කළ ජාතික ෆැසිස්ට්වාදී පක්ෂයේ නායකයා විය. 1925 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව රට පාලනය කළ හෙතෙම, එම අවස්ථාවෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බොරු රඟපෑම අතහැර නෛතික එකාධිපතිත්වයක් ස්ථාපනය කළේය. ඉල් ඩූචේ ("නායකයා") ලෙසින් හැඳින්වුනු මුසොලීනි, ෆැසිස්ට්වාදය නිර්මාණය කිරීමේදී ප්‍රධාන චරිතයක් විය.[1]

මුලින්ම ඉතාලි සමාජවාදී පක්ෂයේ (පීඑස්අයි) සාමාජිකයෙක්වූ මුසොලීනි, පළමුවන ලෝක යුද්ධයෙහිදී මධ්‍යස්ථතාව පිළිබඳ පක්ෂයේ මතවේදයට විරුද්ධ වීම නිසා පීඑස්අයි වෙතින් නෙරපා හරින ලදි. පීඑස්අයි පක්ෂය ප්‍රසිද්ධියේ හෙළාදුටු මුසොලීනි, පසුව ෆැසිස්ට් ව්‍යාපාරය ඇරඹීය. රෝමය වෙත පා ගමනෙන් අනතුරුව, 1922 ඔක්තොම්බර් මාසයේදී, ඉතාලි ඉතිහාසයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වීමට ඔහු සමත් වූ අතර, 2014 පෙබරවාරි මාසයේදී මත්තේයො රෙන්සි පත් කරන තෙක් මෙම වාර්තාව නොබිඳින ලදි. ඔහුගේ රහස් පොලීසිය ඔස්සේ සහ කම්කරු වර්ජන තහනම් කිරීම තුලින් සමස්ත විපක්ෂය විනාශ කිරීමෙන් අනතුරුව,[2] දේශය තනි-පක්ෂ ඒකාධිපතිත්වයක් කරා විපරිණාමය කළ නීති මාලාවක් තුලින් මුසොලීනි සහ ඔහුගේ ෆැසිස්ට්වාදී අනුගාමිකයෝ ඔවුන්ගේ බලය තහවුරු කර ගත්හ. ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් සිටි හෙතෙම, වසර පහක් ඇතුලතදී, නෛතික සහ අධිසාමාන්‍ය ක්‍රම දෙවර්ගයම භාවිතා කරමින්, ඒකාධිපති බල අධිකාරිය සංස්ථාපනය කර ගත්තේය. 1943දී, තුන්වන වික්ටර් එම්මානුවෙල් රජ විසින් බලයෙන් පහ කරන තුරු, මුසොලීනි බලයෙහි රැඳී සිටියේය. මාස කිහිපයකට පසුව, උතුරු ඉතාලියේ ජර්මානු අනුග්‍රාහක රාජ්‍යයක්වූ ඉතාලි සමාජවාදී ජනරජයේ නායකයා බවට පත් විය; 1945දී ඔහුගේ මරණය දක්වාම ඔහු මෙම තනතුර දැරීය. [3]

අවම වශයෙන් 1942 වන තුරු හෝ යුරෝපය තුල ප්‍රධාන යුද්ධයක් ඇති වීම පමා කිරීමට මුසොලීනි 1939 සිට යත්න දැරීය. 1939 සැප්තැම්බර් 1 දිනදී, ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් දෙවන ලෝක යුද්ධය ඇරඹිණි. ප්‍රංශය සහ එක්සත් රාජධානිය සමග දිගු යුද්ධයක් සඳහා හමුදාමය හැකියාව 1940 වන විට ඉතාලිය සතුව නොතිබූ බව ඔහු දැන සිටි මුත්, 1940 ජූනි 10 දිනදී, මුසොලීනි ජර්මනියේ පැත්ත ගත්තේය.[4] වහා සිදු වන්නට යන ප්‍රංශ යටත්වීමට පසුව ඉතාලියට බල ප්‍රදේශමය වාසි ප්‍රංශය වෙතින් ලබාගැනුමට හැකි වන බවත්, බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල සේනාවන්ට වඩා ඉතාලි හමුදා බලවත්ව සිටි ඊජිප්තුවෙහි ප්‍රධාන ආක්‍රමණයක් වෙත තම හමුදා ඉන් ඉක්බිතිව යොමු කරලීමට හැකි වනු ඇතැයිද මුසොලීනි විශ්වාස කළේය. [5] නැගෙනහිර සහ බස්නාහිර යුරෝපයේ ජර්මානු ජයග්‍රහණ පිළිගැනුමක් හා සම්බන්ධ වන සාමය සඳහා වන ජර්මානු යෝජනා පිළිගැනීමට එරා ප්‍රතික්ෂේප කළ අතර , එරා ආක්‍රමණය කිරීමේ ජර්මානු සැලසුම් ක්‍රියාත්මක නොවු අතර, යුද්ධය දිගටම පැවතිණි.

1943 ජූලි 24 දිනදී, මිත්‍ර හමුදා විසින් ඉතාලිය ආක්‍රමණය ඇරඹීමෙන් පසු විගසින් පාහේ, ෆැසිස්ට්වාදය පිළිබඳ ප්‍රධාන මණ්ඩලය තුල පැවැති ඡන්දයකින් මුසොලීනි පරාජයට පත්වූ අතර, ඊට පසු දින ඔහු අත්අඩංගුවට ගැනීමට රජු විසින් කටයුතු යොදන ලදි. 1943 සැප්තැම්බර් 12 දිනදී, ජර්මානු විශේෂ හමුදා විසින් සිදු කල ග්‍රැන් සැසෝ වටලෑම මගින් මුසොලීනි සිපිරිගෙයින් නිදහස් කර ගන්නා ලදි. 1945 අප්‍රේල් මාසයේදී, සම්පූර්ණ පරාජය නියත බව පෙනෙත්ම, උතුරට පලායෑමට මුසොලීනි යත්න දැරූ මුත්,[6] ඉතාලි පක්ෂග්‍රාහින් විසින් විගසින් අල්වාගෙන කෝමෝ විල අසලදී සංක්ෂිප්ත විභාගයකින් පසුව මරණ දණ්ඩනය පමුණුවන ලදි. මිලාන් නගරය වෙත ගෙන ගිය ඔහුගේ දේහය මහජන ප්‍රදර්ශනය සහ ඔහුගේ මරණය සිදුවූ බවට සහතික කරවනු සඳහා පිරවුම් හලක උඩුබැල්ලෙන් එල්වා තැබිණි. [7]


ආශ්‍රිත[සංස්කරණය]

  1. හකිම්, ජෝයි (1995). අ හිස්ට්‍රි ඔෆ් අස්: වෝ, පීස් ඇන්ඩ් ඕල් දැට් ජෑස්. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-19-509514-6.
  2. Haugen, pp. 9, 71
  3. ක්වාටර්මේන්, එල්. (2000). මුසොලීනිස් ලාස්ට් රිපබ්ලික්: ප්‍රොපගන්ඩා ඇන්ඩ් පොලිටික්ස් ඉන් ද ඉටලියන් සෝෂල් රිපබ්ලික්. පි. 21
  4. මැක්ග්‍රෙගර් නොක්ස්. අන්ලීෂ්ඩ්, 1939–1941: පොලිටික්ස් ඇන්ඩ් ස්ට්‍රැටර්ජි ඉන් ෆැසිස්ට් ඉටලීස් ලාස්ට් වෝ. 1999 සංස්කරණය. කේම්බ්‍රිජ්, එංගලන්තය, එරා: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1999. පිටු. 122–123.
  5. මැක්ග්‍රෙගර් නොක්ස්. අන්ලීෂ්ඩ්, 1939–1941: පොලිටික්ස් ඇන්ඩ් ස්ට්‍රැටර්ජි ඉන් ෆැසිස්ට් ඉටලීස් ලාස්ට් වෝ. 1999 සංස්කරණය. කේම්බ්‍රිජ්, එංගලන්තය, එරා: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1999. පිටු. 122–127.
  6. විගනෝ, මැරිනෝ (2001), "Un'analisi accurata della presunta fuga in Svizzera", Nuova Storia Contemporanea (ඉතාලි බසින්), 3
  7. "1945: ඉටලියන් පාර්ටිසන්ස් කිල් මුසොලීනි". බීබීසී නිවුස්. 28 අප්‍රේල් 1945. http://news.bbc.co.uk/onthisday/hi/dates/stories/april/28/newsid_3564000/3564529.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 ඔක්තොම්බර් 2011. 
"https://si.wikipedia.org/w/index.php?title=බෙනීටෝ_මුසොලීනි&oldid=310164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි