බුදුදහමේ දැක්වෙන කර්මය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
ධර්ම චක්‍රය

කර්මය (සංස්කෘත:- කර්මනි, පාලි, කම්ම) යනු ක්‍රියාවකි. යමෙක් සිතන, කරන, කියන දේ කර්මය වේ.

බුද්ධ ධර්මයේදී කර්මය ලෙස විශේෂයෙන් හඳුන්වන්නේ එම ක්‍රියාවන් ඇතිවන ස්ථාන 2 කට අනුවය.

  • මානසික අභිප්‍රාය (චේතනා)
  • සිත තුළ පවතින බලපෑම

මෙමඟින් ලැබෙන විපාකය මෙම භවයේදීම හෝ ඉදිරි භවයකදී හෝ ඵලදිය හැක. කර්මය යනු සියළු සත්වයන්ගේ නැවත උපත නම් චක්‍රය (සංසාරය) පදවන යන්ත්‍රයයි.


බුදු දහමේ කර්මය [සංස්කරණය]

අංගුත්තර නිකායේ නිබ්බධිකා සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. “ මහණෙනි, මම වේතනාව කර්මය යැයි කියමි. යමෙකුගේ කැමැත්ත අනුව යමෙක් සිරුරෙන්, වචනයෙන් හෝ සිතෙන් ක්‍රියා සිදු කරයි”.

පුද්ගලයෙකු යම් ක්‍රියාවක් සිදුකරන සෑම අවස්ථාවකම මනස යට අභිප්‍රායක් හටගන්නා අතර එම ක්‍රියාවේ ඵල විපාකය නිර්ණය කරන්නේ එම සිතුවිල්ල මිස සිදු කරන ලද ක්‍රියාවේ බාහිර ස්වරූපය නොවේ. යමෙක් ශ්‍රද්ධාවන්ත හා සිල්වත් ස්වරූපයක් මවාපාමින් තණ්හා, වෛරය හා ක්‍රෝධයෙන් යුතුව යම් ක්‍රියාවක් සිදුකරයි නම් එම ක්‍රියාවේ ඵල විපාක රඳා පවතින්නේ ක්‍රියාවට හේතුවු මුලික අරමුණ මත බැවින් ඔහුට අනාගතයේ දුක් විපාක ලැබිය හැක. බුදුරජාණන් වහන්සේ සැප විපාක ලබාදෙන කුසල කර්ම (යහපත් ක්‍රියා) හා දුක් විපාක ලබාදෙන අකුසල කර්ම (අයහපත් ක්‍රියා) යන දෙවර්ගය පිළිබඳ දේශනා කළ සේක.

එම නිසා කර්ම ලෝකය පිළිබඳ විශ්ව න්‍යායක් පැහැදිලි කිරීමට මෙන්ම ආචාර ධර්මයක් ලෙසද යොදා ගනී. අනාගතය රඳා පවතින්නේ තමන් කරන ක්‍රියා මත බවත්, මේ හේතුවෙන් රහසිගත ක්‍රියා කිසිවක් නොමැති අතර සෑම ක්‍රියාවකින්ම යම් ප්‍රතිඵලයක් ලැබෙන බවත්, බෞද්‍ධයෝ විශ්වාස කරති. බුදුදහමේ එන කර්මයෙන් අවධාරණය කරන්නේ තමන්ට සිදුවන දේ ගැන වෙනත් කෙනෙකුට චෝදනා කළ නොහැකි බවත් එය තමාගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් බවත්ය.

කර්මය තවත් කොටස් වලට බෙදිය හැක. සංසාරික සැපත (උසස් ස්ථානයක උප්පත්තිය ලැබීම වැනි) ලබාදෙන කුසල කර්ම හා නිර්වාණය වෙත යොමු කෙරෙන කුසල කර්ම. එනිසා ලෞකික සැපත ලබාදෙන සංසාරික කුසල කර්ම මෙන්ම විමුක්තිදායක කර්ම, දුක් පීඩා සඳහටම නවත්වන නිසා ඇති උත්තම කර්ම ලෙස පවතී. ‍යමෙක් විමුක්තිය (නිර්වාණය) ලඟා කරගත් විට තවදුරටත් කර්මය හටගැනීම නවතී. මෙම තත්වයේ පවතින සිත පාලියෙන් "කිරිය සිත" නම් වේ. බුදුරජාණන් වහනසේ අවවාද කළේ කුසල කර්ම සිදු කිරීමයි. "අකුසල ක්‍රියාවන්ගෙන් වැළකීම, කුසල ක්‍රියා සිදු කිරීම, සිත දමනය කර ගැනීම සියළු බුදුවරුන්ගේ අනුශාසනාවයි " ධම්මපදය - 183 පාඨය

කර්මයේ විපාක නොවැළැක්විය හැකි නිසා නැවත ඉපදීම සමඟ කර්මය අනිවාර්යෙන්ම බැදී පවති. නමුත් ‍නැවත උපතකට එකම හේතුව කර්මය නොවේ. මාහායාන සම්ප්‍රදායට අනුව 8 වන අදියරට ඉහළින් මාර්ග ඵල ලබාගත් බෝධිසත්වවරුන් නැවත උත්පත්තිය ලැබීමට තෝරාගන්නේ සංසාරේ තවමත් සිරවී දුක් විදිනා සත්වයන් මුදවා ගැනීමටයි.

බුදුරජාණන් වහන්සේ කර්මය හටගැනීමට අවශ්‍ය දේ දේශනා කළ සේක.

  • කර්මය සත්‍ය වශයෙන්ම සිදුවිය යුතුයි. එය මුළාවක් නොවේ.
  • දෙවනුව තමාගේ ක්‍රියාව පිළිබඳ වගකීම දැරිය යුත්තේ තමා විසින්මය. තමන් හරහා ක්‍රියාකරන යහපත් හෝ අයහපත් සත්වයකුගේ හෝ නක්ෂත්‍ර බලපෑමක් නොමැත. තමන් සිහියෙන් සිටින විට තම ක්‍රියාව නිර්ණය කරන්නේ තමන්මය.
  • ක්‍රියාවට ප්‍රතිඵලයක් තිබේ. ජලය මත ඇඳි ඉරක් මෙන් නොව සිදුකරන සෑම ක්‍රියාවකටම සිතේ ඇතිවු අරමුණ අනුව ලැබෙන සැප හෝ දුක විපාක තිබේ.


කර්මය පිළිබඳ වෙනත් මත [සංස්කරණය]

බුදුදහමට අනුව කර්මය කලින් නියම කරගෙන සිටි හෝ දෛවවාදික හෝ හදිසියෙන්ම ඇතිවන්නක් නොවේ. මෙම අදහස් මනුෂ්‍යයා අක්‍රිය භාවයට පත්කර සියළු උත්සාහයන් නැති කර දමයි. මේ අදහස් මඟින් මනුෂ්‍යයෙකු තම අතීතයේ සිදුවු දේ කුමක් වුවත් තම අනාගතය යහපත් ආකාරයට වෙනස් කර ගත හැකිය යන කරුණට බාධා පමුණුවන නිසා බුද්ධ ධර්මයේදී මෙවැනි මතයන් මිත්‍යා මත ලෙස නම් කෙරේ.

1. පුබ්බේකත‍හේතු වාදය :- සියළු දුක් සැප ඇතිවන්නේ පෙර කරන ලද කර්මයෙනි.

2. ඉස්සර නිම්මාණ හේතුවාදය :- සියළු දුක හා සැප ලබාදෙන්නේ යම් ශ්‍රේෂ්ඨ දෙවියකුගේ කැමැත්ත පරිදිය . (දේවවාදය)

3. අහේතු - අපච්චයවාදය - සියළු දුක හා සැප ඇතිවීමට කිසිඳු හේතුවක් නැත. ඒවා අහඹු ලෙස හටගනී. (අනියති වාදය)

බුදුදහමේ කර්මය යමෙකුගේ වර්තමාන තත්වයට හේතුවු කරුණු මොනවාද හා ස්වඋත්සාහය හේතුවෙන් කෙනකුට තමාගේ අනාගතය යහපත් කර ගත හැකි අන්දම පිළිබඳ විග්‍රහයක් සිදු කරයි. දේවවාදය හා දෛවය පිළිබඳ විශ්වාස කරන්නන් මෙයට විරුද්ධ මතයක් දරයි.