බුද්ධාගමේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධර්ම සංගායනා[සංස්කරණය]

පළමුවන ධර්ම සංඝායනාව (ක්‍රි.පූ. 5 වන ශතවර්ෂය)[සංස්කරණය]

අලං ආවුසො මා සෝචිත්‍ථ, මා පරිද්විත්‍ථ, සුමුත්තා මයං තෙන මහා සමණෙන, උපද්දුතා හොම, ඉදං වො කප්පති ඉදං වො න කප්පතී ති ඉදානි මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම යං න ඉච්ඡිස්සාම තං න කරිස්සාමාති...’ යනාදි වශයෙන් සුභද්‍ර නම් මහලු පැවිද්දකු විසින් කියන ලද අවිනීත වචන ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීමට හේතු වූ බව චුල්ලවග්ගපාලී ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ.

කවර ආයතනයක වුව ද දීර්ඝකාලීන හා ක්‍රමානුකූ®ල පැවැත්ම සඳහා එහි ප්‍රතිසංස්කරණයන් මෙන්ම ආරක්ෂක විධි විධාන යොදා ගැනීම අත්‍යාවශ්‍ය වේ. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ප්‍රථම ධර්ම සංඝායනාවද එවැනි වැඩපිළිවෙළක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ක්‍රමානුකූ®ලව සකස් කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා තබන ලද මූලික පියවර වශයෙන් හැඳින්විය හැකි ප්‍රථම ධර්ම සංඝායනාව වූ කලී ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධිය යනු ඇත. ශාස්තෘ වියෝවෙන් වැළපෙන භික්ෂූන් වහන්සේ අමතා ‘ඇවැත්නි, ශෝක නොකරව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මනාව මිදුනෙමු. මෙය තොපට සුදුසු ය. මෙය තොපට නුසුදුසු යැයි ඔහුගේ නීති රීතිවලින් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමැති නම්, එය කරමු’ යැයි පැවසූ සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශය පමණක්ම මේ සංගීතය පැවැත්වීමට හේතු වී යැයි සිතීම දුෂ්කර ය. මෙය වූ කලී එදා වැඩ සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහතෙරවරුන් විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක් ලෙස සැළකීම වඩාත් නිරවද්‍ය ය. දේවදත්ත, ජබ්බග්ගිය, ඡන්න වැනි භික්ෂූන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ද සිටි අතර අගසව් තනතුරු පැවරීමේදී පවා විරුද්ධව නැගී සිටි පිරිසක් එදා සිටි බව පැවසේ. ධම්මපදට්ඨ කථාවේ සඳහන් වන අගසව් වතෙහි මේ පිළිබඳ විස්තරයක් දක්නට ලැබේ. ‘බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති’ යි භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණය කළ බව එහි සඳහන් වේ. අස්සජී, පුතබ්බසුඛ යන භික්ෂූන් වහන්සේ දෙපළ එසේ ක්‍රියා කළ අය වෙති. එක් අවස්ථාවක ආරාම පිළිබඳ අවුලක් නිසා සැරියුත්, මුගලන් දෙනම පාපී පුද්ගලයෝ භ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බව චුල්ලවග්ග පාලියේ හයවැනි ඛන්ධකයේ සඳහන් වේ. ඇතැම් විචාරකයන්, සංඝායනාවක් පැවැත්වීමට හේතු වූ ඇතැම් කරුණුවල මූල බීජ බුද්ධ කාලයේදීම හටගත්තේ යැයි ඉදිරිපත් කරන මතය, පිළිගත යුතු සත්‍ය එකක් සේ නොපෙනෙයි.

එදා සංඝ සමාජයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතැම් භික්ෂූන් තුළ පැවැති දුර්මත නිරාකරණය කිරීමටත්, බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවලදී දේශනා කරන ලද ධර්මය විසිරී ගොස් නා නා වර්ගවලට අයත් මල් රැසක් සේ පැවැති ධර්ම කොට්ඨාස ක්‍රමානුකූලව පිළියෙල කොට බොහෝ කල් පැවැත්මත් සඳහා ධර්ම සංඝායනාවක් පැවැත්වීමට අදහස් කල බව සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර, මහාකාශ්‍යප හිමියන් අමතා පිටක රැස්කොට තබන ලෙස වදාළ බවත්, එය සුරකින ලෙස දෙවියන්ට භාරකළ බවත් අශෝකාවාදනයේ සඳහන් වෙයි. මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන යන මහා තෙරවරු බුද්ධ වචනය සුරක්ෂිතව ආරක්ෂා කර තැබීමට කතිකා කර ගත් බවත්, ඒ අනුව ආනන්ද මහ තෙරණුවන්ගේද සහාය ලබාගෙන ධර්මය උණපතුරුවල හා සිල්ක් රෙදිවල ලියා තැබූ බවත් චීන බසට පරිවර්තනය කරන ලද පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. කෙසේ වුවද සුභද්‍රගේ ප්‍රකාශය එය කල් පසු නොකොට සිදුකිරීමට හේතු වූවා යැයි නිසැක ය. මෙම කාර්යය සඳහා මහතෙරවරුන් පෙළඹ වූ වෙනත් ඓතිහාසික හා සාමාජික හේතුද තිබිණැයි සැලකීමට කරුණු තිබේ. ඒ අතර සංඝභේදය, දෙවිදත් තෙරුන්ගේ අභියෝග, විවිධ මතධාරී භික්ෂූන් ඇතිවීම පරම්පරා ක්‍රමය, විනය පිළිබඳ මතභේද, ධර්මය ඒකරාශී කිරීම, ධර්ම විනය රැක ගැනීම, යන කරුණු අයත් ය.

බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ භික්ෂූ සමාජයට මුල් අවධියේ දී ඇතුළත් වූයේ ගිහි ජීවිතය කෙරෙහි කලකිරී සැදැහැයෙන් යුතුව පැවිදි වූ අය යි. ඒ පිරිස් විමුක්ති සාධනයටම උනන්දු වූ අය විය. පසුකාලීනව ශාසනයට ඇතුළත් වූ ඇතැම් පිරිස් ඊට වඩා වෙනස් ස්වභාවයක් ඉසිලීය. ජබ්බන්තිය, සත්ත රසවග්ගිය ආදී නම් වලින් හැඳින්වෙන කණ්ඩායම් පසුව බිහි විය. මූලික බුද්ධ වචනයට පටහැනිව ක්‍රියාකළ බොහෝ භික්ෂූන් වහන්සේගේ විසමාචාර ගැන චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකේ ද විශේෂයෙන් පාරාජිකා පාලියේ ද සෙසු සුත්‍රාන්තවලද සඳහන් වෙයි. භික්ෂු සමාජයේ සමගිය බිඳී ගිය පළමු අවස්ථාව වුයේ කොසබෑ නුවර ධර්මධර, විනයධර භික්ෂූ කණ්ඩායම් දෙකේ ගැටුමයි. මෙය ධර්ම විනය පිළිබඳ ;පෟද්ගලික අදහස් ඉදිරිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම භික්ෂූන් වහන්සේ උත්සාහ කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. දේවදත්ත තෙරුන් විසින් ඇති කරන ලද සංඝ භේදය භික්ෂු සමගිය දෙදරා ගිය තවත් අවස්ථාවකි. පංච වරයක් ඉල්ලීමත් සමග ඇති වූ මෙම ගැටුම නිසා සංඝ සමාජය තුළ ආකූ®ල- ව්‍යාකූල තත්ත්වයක් හටගත් අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ මුල්ව ක්‍රියා කළ නමුත්, ප්‍රශ්නය එයින් නිම වූයේ යැයි සිතිය නොහැකි ය. විවිධ ලෙස භික්ෂූන් භේද කරමින් බුදුරජාණන් වහන්සේට එරෙහිව දෙව්දත් තෙරුන් ගෙන ගිය මෙම අර්බුදකාරී ක්‍රියා මාර්ගය දෙවිදත් තෙරුන්ගේ අපවත්වීම තෙක්ම පැවතිණැයි සිතිය හැකි ය.

‘බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්ත්වයින් උදෙසා දෙසාලූ හෙයින්, දැන් මම ධර්ම සංඝායනාවක් කරවනු කැමැති වෙමි. යනුවෙන්, ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශි කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මාහිමියන් විසින් ධර්ම සංඝායනාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි. දී. නී. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම් දර්ශනවල ශාස්තෘවරයා ඇවෑමෙන් පසු ඒ ඒ ශ්‍රාවක පිරිස් අතර බොහෝ අර්බුදකාරී තත්ත්වය හට ගැනිණි.

ඒ බව දැනගත් සැරියුත් මහ තෙරණුවෝ භික්‍ෂූන් වහන්සේ අමතා, තථාගතයන් වහන්සේ විසින් දේශිත ස්වාක්ඛාත වූ - නෛර්යාණික වූ සද්ධර්මය බොහෝ ජනයාගේ හිත සුව පිණිසත්, ශාසනයේ පැවැත්ම පිණිසත් සංගායනා කළ යුතු බව පෙන්වා දෙති. විවාද නොකළ යුතු බවත් උන් වහන්සේ පවසති. ඉන් පසුව සැරියුත් තෙරණුවෝ අංගුත්තර නිකායේ ධර්මය සංග්‍රහ වී ඇති ආකාරයට සංඛ්‍යා වශයෙන් දහස දක්වා ධර්මය සංගායනා කළහ. උන් වහන්සේ ධර්මය සංගායනා කළ අන්දම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් විය.

බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ කොට පැවතිය යුතු එක් භික්‍ෂුවක් හෝ උන් වහන්සේ විසින් පත් කොට නැති බවත්, ඒ අනුව තම ශාස්තෘවරයාගේ සම තත්ත්වයෙහිලා සැලකෙන ධර්ම විනය ආරක්ෂා කර තැබීම සඳහා ධර්ම සංගායනාවක් වැනි ඉක්මන් පියවරක් ගැනීමේ අවශ්‍යතාව ශාසන භාරධාරී මහ තෙරවරුන් තුළ තිබුණා විය හැකි බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයට අයත් කරුණු වලින් සනාථ වෙයි.

සංගායනාවක් පැවැත්වීමට සංඝ සම්මතය ලැබූ මහා කාශ්‍යාප තෙරුන් වහන්සේ විසින් සංගායනාව සඳහා සුදුසු රහතන් වහන්සේ හාරසිය අනූනම නමක් (499) තෝරා ගන්නා ලදී. ආනන්ද තෙරුන් වහන්සේ සංගායනාවට අත්‍යවශ්‍ය තෙරනමක් විය. එසේ වුවත් ඒ වන විට රහත් නොවී සිටි උන් වහන්සේ තමන් විසින්ම තෝරා ගනු ලැබීමෙන් තමන් පක්ෂ භජනය කළේ යැයි චෝදනාවක් නැගීමට ඉඩ තිබුණු බව උන්වහන්සේට වැටහිණි. මහා කාශ්‍යප හාමුදුරුවෝ එම චෝදනාවෙන් මිදී සංඝයා වහන්සේගේ කැමැත්තෙන්ම ආනන්ද තෙරුන් පත්කර ගැනීමට ඉඩ තබා එක් නමක් අඩුවෙන් පන්සිය නමක් තෝරා ගත්තේය.

සංඝයාගේම කැමැත්තෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ සඳහා තෝරා ගැනුණු අතර උන් වහන්සේද සංගායනා දිනට පෙර දින අරහත් ඵලයට පැමිණි නිසා රහතන් වහන්සේ පන්සිය නමකගේ සහභාගිත්වයෙන්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය විය.

එළැඹි වස් කාලය තුළ දීම සංගායනාව පැවැත්වීමට තීරණය විය. සංගායනාව පැවැත්වීමේ දී අජාසත් රජුගේ ආරක්ෂාව ලැබෙන හෙයින්, රජගහනුවර සප්ත පර්ණි ගුහා දිවාරයෙහි එය සිදු කිරීමට මහා කාශ්‍යප හිමියන් විසින් තීරණය කරන ලද අතර, රජගහනුවරම එය පැවැත්වීමට හේතු වූ කරුණු අතර රාජකීය බලය හා ආරක්ෂාව ලබා ගැනීමේ අවශ්‍යතාව ද එක් හේතුවක් විය. එමෙන්ම අජාසත් රජු දවස වන විට අන්‍ය බෞද්ධ රාජධානි බොහෝ දුරට පිරිහී තිබීමත් රජගහනුවර පමණක් තරමක් සමෘද්ධිමත්ව පැවැතීමත් නිසා රජගහනුවරම මේ සඳහා තෝරා ගත් බවත්, සමහර උගතුන්ගේ මතය යි. නිකිණි මස අව දියවක් දා සප්ත පර්ණි ගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවන ලද මණ්ඩළපයට භික්ෂූන් වහන්සේ රැස්වූහ. ආනන්ද හාමුදුරුවන් වහන්සේටද අසුනක් තබා අනෙක් හාමුදුරුවන් වහන්සේ අසුන් ගත්හ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ එදින අලුයම රහත් බව ලබා සභා ගැබට පැමිණ අසුන් ගත්හ. ඉක්බිති මහා කාශ්‍යප හාමුදුරුවෝ ‘සුනාථ මේ ආවුසො සංඝො යදි සංඝස්ස පත්තකල්ලං, අහං උපාලිං විනයං පුච්ජෙය්‍යං...’ යනුවෙන් සංඝයාට දන්වා, පළමුවම උපාලි හිමියන්ගෙන් විනය ප්‍රශ්න විචාලහ. නිදාන, පුග්ගල, වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදී සියුම් විස්තර සහිතව භික්ෂු, භික්ෂුණි, ප්‍රාතිමෝක්ෂ, ශික්ෂාපද සියල්ලම පුච්ඡා විස්සජ්ජන ක්‍ර‍්‍රමයෙන් විනය සංගායනා කළහ.

ඉන් අනතුරුව ධර්ම සංගායනා කිරීම ආරම්භ කරන ලදී. එහිදී පංච නිකායම සංගායනා කැරිණි.

සූත්‍ර පිටකයෙහිම අභිධර්මයට අයත් කරුණු ඇතුළත්ව පැවැති නිසා අභිධර්මය ද සංගායනා වූ බව තේරුම් ගත හැකිය. ධර්ම විනය යන්නෙන් අභිධර්මය ද ඇතුළුව මුළු බුද්ධ දේශනාවම ගැනෙන බව සුමංගල විලාසිනී අටුවාවේ බුද්ධඝෝෂ හිමියෝ සඳහන් කරති.

ගුණ නුවණින් වැඩිහිටි ථෙරවරුන් විසින් පවත්වන ලද හෙයින් ඊට ථෙරවාද යන නම යෙදුණු බව දීපවංශයයෙහි සඳහන් වෙයි.

සංගායනාව අවසානයේ දී ආනන්ද හාමුදුරුවන් වහන්සේ; ඛුද්දානුඛුද්දක ශික්ෂාපද බැහැර කිරීමට බුදුරජාණන් වහන්සේ අවසර දුන් බව මහා සංඝයා වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළහ. ඉක්බිති මේ පිළිබඳ ඇති වූ විවාදයේදී කුඩා අනු කුඩා ශික්ෂාපද කවරේදැයි බුදුහාමුදුරුවන් වහන්සේගෙන් අසා දැන නොගත් බැවින්, ස්ථවිර භික්ෂූහු ආනන්ද හිමියන්ට කරුණු පහකින් දොස් පැවරූහ.

ආනන්ද හිමියන් වෙත ඉදිරිපත් කරන ලද මේ චෝදනා කිසිවකට උන්වහන්සේ වැරැදි කරු නොවන බවත් සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒ සියල්ල පිළිගන්නා බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

සංගායනාව අවසානයේ ස්ථාවර කරගත් ධර්මය, පසුකාලීන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කර තැබීමට මෙහි දී පියවර ගෙන ඇත.

ඒ සඳහා එක් එක් ධර්ම කොටස් ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම සඳහා එක් එක් භික්ෂු පරම්පරාවලට පවරන ලදී.

ඒ නිසාම මෙම ප්‍රථම ධර්ම සංගීතිය ධර්මයෙහි පවිත්‍රත්වයට හා බුදු සසුනේ ස්ථාවර භාවයට ද අතිශයින් ඉවහල් වූ බව සඳහන් කළ හැකිය.

දෙවන ධර්ම සංඝායනාව (ක්‍රි.පූ. 4 වන ශතවර්ෂය)[සංස්කරණය]

සමහරක් භික්ෂුන් වහනසේලා විනය නීති ලිහිල් කර ගැනීම හේතුවෙන් හටගත් මතභේදය නිසා දෙවන ධර්ම සංඝායනාව වෛශාලීයේදී පැවැත්විය. දෙවන ධර්ම සංඝායනාවේදී, පළමු ධර්ම සංඝායනාවේ විනය නීති උපුටා දක්වමින් මෙම විනය නීති ලිහිල් කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට විරුද්ධ බව ඔප්පු කෙ‍රිණි.

සිව්වන ධර්ම සංගායනාව[සංස්කරණය]

සිව්වන ධර්ම සංගායනා කැඳවා ඇත්තේ කාශ්මීරයේ කණිෂ්ක අධිරාජයාගේ සමයේය. අවුරුදු 200කට පෙර ලංකාවේ ථේරවාද බෞද්ධාගම වෙනුවෙන් සිව්වන ධර්ම සංගායනා පවත්වා තිබිනි. එබැවින් සිව්වන ධර්ම සංගායනා කාශ්මීරයෙත් ලංකාවේත් බිහි වී තිබිනි.

කාශ්මීරයේ සිව්වන ධර්ම සංගායනා වෙනුවෙන් කණිෂ්ක අධිරාජයා 500 නමක් ස්වාමීන් වහන්සේලා වැඩම කොට අභිධර්මය පිලිබඳව සවිස්තරාත්මක විවරණයක් කර ඇති බව සඳහන් වේ. 500 නමක් ස්වාමීන් වහන්සේලා මෙහෙයවන ලද්දේ වාසුමිත්‍ය නම් ස්වාමීන් වහන්සේ විසින්ය. මෙම සිව්වන ධර්ම සංගායනාව තුලදී ලක්ෂ තුනක ශ්ලෝක එකතුවක් සහ මිලියන නවයක ප්‍රකාශයන්ගේ එකතුවක් තිබින ලදී. මෙය සම්පූර්ණ කිරීම සඳහා අවුරුදු 12ක් ගත වී ඇති බව සඳහන් වේ. මෙම සංගායනාව ප්‍රධාන කටයුත්ත වූයේ මහා විභාෂ නම් අති විශාල ප්‍රකාශනයන් සම්පාදනය කිරීමයි. මෙය සර්වාස්තිවාදින් අභිධර්මයේ සවිස්තරාත්මක සම්පාදනය කිරීමකි.

බොහෝ උගතුන් විශ්වාස කරනුයේ සර්වාස්තිවාදින් ලිපි පෙලේ භාෂාවල බොහෝ සේ වෙනස්කම් කෙරී ඇති බවටය. මෙය සිදුවී ඇත්තේ එම කෘතින් සංස්කෘතික භාෂාවල පරිවර්ථනය කිරීමෙන්ය. සංස්කෘතික භාෂාව එවකට සැලකුවේ බ්‍රාහ්මන කුලයේ විශිශ්ඨතම භාෂාවක් ලෙසය. එම නිසා මෙම පරිවර්ථනය ඉතා අනගි කොට සැලකුවේය. ඒ වාගේම බුද්ධාගම බොහෝ ඉන්දියානුවන් තුල ප්‍රචලිත කිරීමට මෙමෙ පරිවර්තනය ඉවහල් විය. බොහෝ බෞද්ධ උගතුන්ගේ ප්‍රකාශයන් සංස්කෟතික භාෂාවෙන් ලියවන ලදී. එහොත් බොහෝ දෙනා මෙයට විරුද්ධ වූයේ බුදුන් වහන්සේ දේශනා කර ඇති ලෙස බෞද්ධාගම කාටත් කියවා තේරුම් ගත හැකි භාෂාවකින් තිබිය යුතු නිසාවෙන්ය. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ථේරවාදී ධර්ම ග්‍රන්ථ පාලියෙන් ලියවෙන්නට පටන් ගැනුනේය.

ථේරවාදී පුනරුදය (ක්‍රි.ව. 11 වන සියවස)[සංස්කරණය]

ගොනුව:TheravadaMap2 (1).gif
11 වන සියවසේ සිට බුදු දහමේ ව්‍යාප්තිය

11 වන සියවසේදී මුස්ලිම් ආගමේ ආක්‍රමණයත් සමග ඉන්දියාවේ මහායාන ධර්මය පිරිහීමට ලක් විනි. ශ්‍රි ලංකාවේ භූගෝලීය පිහිටීමත් සමග ථේරවාද ධර්මය එම ප්‍රදේශයේ ව්‍යාප්ත විය. වර්ෂ 1044 සි 1077 දක්වා බුරුම අධිරාජ්‍යය පිහිටවූ අනව්රථ නම් රජුගේ සමයේ ථේරවාද ධර්මය බුරුමය පුරාවටම ප්‍රචලිත කෙරුනි. එම නිසා බෞද්ධ පන්සල් බොහෝමයක් පගන් නගරයේ 11වැනි සියවසේ සිට 13 න් වැනි සියවස තෙක් බිහි විය. 2000කට අධික පන්සල් ප්‍රමාණයක් තවමත් එම රටේ පවතී. බුරුම ජන කොට්ටාශයේ පිරිහීමත් සමග සහ 1287 පගන් නගරය මොන්ගෝලියානුවන් අත්පත් කිරීමත් සමග වුවත් ථේරවාද ධර්මය ප්‍රචලිත වීමට පටන් ගැනිණි. 13 වන සියවසේදී මහද්වීපයේ ලාඕස් සහ කැම්බෝජියාව වැනි අනෙකුත් දේශයන් තුළත් ථේරවාද බුදු දහම පැතිරී ගියේය. එනමුත් 14වැනි සියවසේදී ඉස්ලාම් ආගමේ ආභාෂය මැලේසියාව‚ ඉන්දුනීසියාව සහ පිලිපීනය ඇතුළු රටවල් කීපයකම පැතිරුනි. කෙසේ නමුත් 1966දී සුහර්තෝ පාලනය පිබිදෙනවාත් සමග බෞද්ධාගම ඉන්දුනීසියාවේ නැවතත් පුනරදය විය. වර්තමානයේ මිලියන 10 ට වඩා බෞද්ධයින් පිරිසක් ඉන්දුනීසියාවේ වාසය කරන බව සඳහන් වේ. ඒ බොහෝ දෙනා චීන කුල පරම්පරාවක් ඇති අය වේ.

ලක්දිව බුද්ධාගමේ ඉතිහාසය[සංස්කරණය]

මහින්දාගමනය ස‍හ මිහිඳු හිමියන්[සංස්කරණය]

බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පසළොස්වක පෝ දින මිහිඳු මාහිමියන් වහන්සේ ප‍්‍රමුඛ ධර්මදූත පිරිසේ රජරට රජතුමා මිහින්තලේදී හමුවිය. මහින්දාගමනයෙන් සමාජ විපර්යාසයක්, ආධ්‍යාත්මික විප්ලවයක් මෙන් ම චින්තන ප‍්‍රබෝධයක් ද ඇති විය. අනුරාධපුර මිහින්තලා පව්වෙන් පැන නැඟී ශ‍්‍රී ලංකාවේ දස දිසාවට පැතිර ගිය නිර්මල බොදු දහම නිසා තිස්ස රජු ඇතුළු රටවැස්සෝ බෞද්ධයන් බවට පත්වූහ. මින් සිංහල සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය මිශ්‍රව තනි සංස්කෘතියක් බිහිවීම ඇරඹිනි. [1]

මිහින්තලා පව්ව


ලංකාද්වීපය නව බොදු සංස්කෘතියකට අනුව හැඩගැසුණේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය නිසයි. පොසොන් පුර පොහෝ දිනක සිදුවූ මෙම සුවිශේෂ ඓතිහාසික සිදුවීම නිසා ලාංකිකයෝ අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කීමට සමත්ව සිටිති.

අනුබුදු මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කිරීමට පෙර මෙරට වැසියෝ විවිධ මිසදිටු ඇදහීම්වල නියුතු වූහ. ගස් ගල් පර්වත අව් වැසි සුළඟාදී ස්වභාවික වස්තු මෙන්ම යක්ෂ හා නාග වන්දනාව, මළවුන් ඇදහීම, දෙවියන් ඇදහීම ආදී වත්පිළිවෙත්හි ලක්වැසියෝ නිරතව සිටි බව මහාවංශය හා දීපවංශය යන වංශකතාවන්හි සඳහන් වෙයි.

භාරතයේ රජකළ ධර්මාශෝක රජු දිග්විජය ප‍්‍රතිපත්තිය අත්හැර ධර්ම විජය ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමඟ රජු බුදුදහමට අනුව කි‍්‍රයා කරන දැහැමි රජෙක් බවට පත්විය. තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ රජු ශාසනික පාරිශුද්ධිය ඇති කළේය. අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේය. තම දුවත් පුතාත් පැවිදි කළේය. රටවල් නවයකට ධර්ම දූත පිරිස් පිටත්කර යැවීය. ඒ අනුව ලක්දිවට එවන ලද්දේ මිහිඳු මාහිමියන් ඇතුළු ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර, භණ්ඩුක උපාසක යන දූත පිරිසයි.

පොසොන් පුර පොහෝ දිනය ලක්දිවට මිහිඳු මාහිමියන් ඇතුළු දූත පිරිස පැමිණෙන විට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මුව දඩයමෙහි නිරතව සිටියේය. රටවැසියන් ද පොසොන් සැණකෙළියෙහි නිරතව සිටි බව සඳහන් වේ. එහිදී අනුබුදු මිහිඳු මාහිමියෝ රජු අමතා

සමණාමයං මහාරාජ – ධර්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉදාගත

යන ගාථාව ප‍්‍රකාශ කළහ. එහි අර්ථය වන්නේ “මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු” යනුයි.

එහිදී රජු අනුබුදු මාහිමියන් කෙරෙහි පැහැදීමට පත්වූ අතර තම අත තිබූ දුනු ඊතල පසෙකලා උන්වහන්සේට වන්දනා කළේය. පසුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එහි තිබූ අඹ ගස මුල් කරගනිමින් රජුගේ බුද්ධිය විමසීම සඳහා ප‍්‍රශ්නාවලියක් හා රජුගේ ඥාතීන් පිළිබඳව ප‍්‍රශ්නාවලියක් ද විමසූහ. එයට නිසි පිළිතුරු දුන් රජු තම බුද්ධි මහිමය ප‍්‍රකට කළේය. රජුගේ පුළුල් ඤාණය පිළිබඳ වටහාගත් අනුබුදු මිහිඳු මාහිමියෝ පසුදින රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයෙන් දම් දෙසූහ. රජු ඇතුළු පිරිස ධර්ම ඤාණය ලබාගත් අතර පසුව සමචිත්තපරියාය, ආදිත්තපරියාය, දේවදූත, විමානවත්ථු, පේතවත්ථු, සච්චසංයුක්ත ආදී සූත‍්‍ර දේශනා රැසක් ලක්වැසියන්ට දේශනා කළහ.

දෙවනපෑතිස් රජුගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි අරිට්ඨ ඇමැතියා පැවිදි වීමත් සමඟ ලාංකීය භික්ෂු සසුන ද සංඝමිත්තා ගමනයෙන් පසු අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිවීමත් සමඟ ලාංකීය භික්ෂූණී සසුන ද ආරම්භ විය. ලක්දිව දස දෙස වෙහෙර විහාර ආරාම ගොඩනැඟෙන්නට වූ අතර ඒ තුළින් පන්සිල් සුරකින ජන සමාජයක් මෙරට බිහිවිය. ගස්, ගල්, පර්වත, මළවුන් ආදී මිථ්‍යා වැඳුම් පිදුම් වෙනුවට තෙරුවන් වන්දනා චෛත්‍ය හා බෝධි වන්දනා දෙවියන්ට හා මළවුන්ට පිංදීම් වැනි සමිදිටු වැඳුම් පිදුම් ක‍්‍රම බිහිවිය.

ගමයි පන්සලයි වැවයි දාගැබ යන තේමාවට අනුව බෞද්ධ ජන සමාජයක් බිහිවිය. පංච දුෂ්චරිත කි‍්‍රයා අතහැර තම දිවි පැවැත්ම සඳහා බුදුරදුන් අනුදත් පංචසීලය සුරකින ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් කෘෂිකාර්මික දිවිපෙවෙතකට ලක්වැසියෝ හුරුපුරුදු වූහ.

ගමේ පන්සල මුල්කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් මෙරට බිහිවූ අතර පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමයක් ද ඇතිවිය. බුත්සරණ, අමාවතුර, ජාතක පොත, සද්ධර්මරත්නාවලිය ආදී වටිනා කෘති රැසක්ම රචනා වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි. අනුරපුර මහා විහාරය ඉදිකිරීමෙන් පසු නව ගෘහ නිර්මාණ ශිල්පද බිහිවන්නට විය. තවද මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ සංඝමිත්තා ගමනයත් සමඟ දහ අට කුලයක කලා ශිල්පීහු ලක්දිවට පැමිණියහ. ඔවුහු ලක්දිව දස දෙස ගෘහ නිර්මාණ කැටයම් චිත‍්‍ර මූර්ති ආදී කලා කෘති බිහිකළහ. ලෝවාමහාපාය, සඳකඩපහන, සමාධි බුදුපිළිමය ආදී ශිල්ප දෙස බලනවිට ලොව මවිතයට පත් කළ නිර්මාණ සිරිලක බිහිවී ඇත.

මිනිස් සමාජයේ අධ්‍යාත්මික ගුණ වගාවෙහි පුළුල් ප‍්‍රගතියක් ඇතිවන්නට විය. රටවැසියෝ මෙන්ම රාජ්‍ය නායකයින් ද නිති පන්සිල් පොහොය අටසිල් රැකීමට පුරුදු වූහ. තම රාජ්‍යත්වය ශ‍්‍රී මා බෝධිය, දළදා වහන්සේ වැනි පූජනීය වස්තූන්ට පූජා කරන්නට වූහ. රාජ්‍ය පාලකයා යනු දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බෝධිසත්වයෙකු ලෙස ද හැඳින්විය. ලක් වැසියන්ටම ආදර්ශයක් වනසේ කටයුතු කළ රජවරු තම නම් ද බෞද්ධ නම් බවට පත්කරගනු ලැබූහ. සද්ධාතිස්ස, කාශ්‍යප, මුගලන්, ධාතුසේන, මිහිඳු, සිරිසඟබෝ, බුද්ධදාස ආදී රාජ්‍ය නම්වලින් ඒ බව පැහැදිලි වෙයි.

මුළු මහත් සමාජයම ගිහි පැවිදි වශයෙන් කොටස් දෙකක් වශයෙන් ආධ්‍යාත්මික ප‍්‍රගතිය අනුව වෙන් කෙරුණු අතර එය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසක් බවට ද පත්වූහ. ලක්දිව දස දෙස වෙහෙර විහාර ඉදිවූ අතර ඒ අනුව ලක්ජන සමාජය දැහැමි බොදු සමාජයක් බවට පත්විය.

අනුරාධපුර යුගයේ රජකම්කළ බොහෝ රජවරු අවිහිංසාවාදී බෝසත් ප‍්‍රතිපත්ති අනුගමනය කළ අතර පොළොන්නරුව, දඹදෙණිය, කෝට්ටේ ආදී යුගවලදී ද එබඳු බෝසත් රජවරු බිහිවන්නට වූහ. ඇතැම් අවස්ථාවල පරසතුරු උපද්‍රව මෙරටට ඇතිවූ අතර එහිදී සම්බුදුරදුන්ගේ පාත‍්‍ර ධාතුවත්, දළදා වහන්සේත් රැක ගැනීමට දිවි හිමියෙන් රජවරු කි‍්‍රයා කළහ. මෙරට රාජ්‍යත්වය ලැබීමේ ප‍්‍රධාන සංකේත බවට පත්වූයේ පාත‍්‍ර ධාතුව සහ දළදා වහන්සේය.

පොසොන් පුර පොහෝදා සිදුවූ මහින්දාගමනය නිසා බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය ලෙසද අප රට පත්වූ අතර විදේශීය ආක‍්‍රමණ හේතුවෙන් අද ඇතැම් වෙනස්කම් ඇති වුවද තවමත් අප රට බෞද්ධ රටක් ලෙසම ආගමට දහමට ලැදි ජනසමාජයක් පවතී. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිකරමින් පොසොන් පුර පොහෝදා මුළු මහත් සිරිලක පුරා සීල සමාදාන, බුද්ධ පූජා හා බෝධි පූජා, තොරන්, දන්සැල්, පෙරහර, වැඩිහිටි උපස්ථාන, වන්දනා ගමන්, දානමය පිංකම් ආදිය පැවැත්වෙයි.


හම්බන්තොට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය බොදු සංරක්ෂණ පදනමේ සභාපති විතාරන්දෙණියේ වජිරවංශ හිමි

භික්‍ෂුණී ශාසනය[සංස්කරණය]

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. අවුරුදු දෙකක් පමණ ශික්‍ෂා සමාදන්ව ඒවා ආරක්‍ෂා කිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම කාන්තාවෝ සසුන් ගත වී මහණදම් පිරීමට කැමැත්ත දැක් වූවා ය. සුද්ධෝධන මහ රජ තුමාගේ අභාවයෙන් පසු යශෝධරා දේවිය පැවිදි බව ලබා ගැනීමට උත්සාහ කළා ය. එම අවස්ථාවේ දී මහා ප්‍රජාපතී ගෝතමී, දියණියනි! මම බුදුරජාණන් වහන්සේගේ මවු බවට පත්වීමි. ඒ මටත් තෙවරක් ඉල්ලා සිටියත් උතුම් පැවිද්ද නොලැබිණි. මම ගොස් පළමුව කෙසේ හෝ පැවිද්ද ලබන්නෙමි. ඔබ පසුව පැවිදි වුව මැනවයි කීවා ය.

මේ කාලයේ දී ශාක්‍ය සහ කෝලිය දෙවංශය අතර යුද ගැටුමක් ආරම්භ විය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දෙ පිරිස අතරට පැමිණ දහම් දෙසූහ. ඒ සද්ධර්මය ඇසීමෙන් ශාක්‍ය වංශික කුමාරයෝ පන්සියයක් දෙනා සසුන් ගත වූහ. අනතුරුව ඒ ශාක්‍ය කුමාරයන්ගේ භාර්යාවෝ ද සසුන් ගතවීමට කැමැත්ත දක්වා මහා ප්‍රජාපතී ගෝතමී දේවීය සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ වසන නීග්‍රෝධාරාමයට ගොස් උන්වහන්සේගෙන් පැවිදි වීමට අවසර පැතුවා ය.

එම කාලය භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීමට තරම් සුදුසු කාලයක් නොවූ බැවින් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. එයින් අධෛර්යට පත් නොවූ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස කහවත් හැඳ බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් වාසය කළා ය.

බුදුරජාණන් වහන්සේ පස් වන වස විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි වැඩ වාසය කරමින් සිටියහ. එම අවස්ථාවේ දී මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස විශාලා මහනුවරට ගොස් ආනන්ද හාමුදුරුවන් හමුව ඔවුහු පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් එහි පැමිණි බව උන්වහන්සේට දැන්වූහ. එවිට ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස!

යම් ස්ත්‍රියක් මේ සසුනේ පැවිදිව විදසුන් වඩයි නම් සෝවාන් ආදී මඟඵලයන්ට පැමිණිය හැකි නොවන්නේ දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ, ආනන්දයනි! යම් ස්ත්‍රියක් පැවිදිව වීර්ය වඩන්නේ නම් ඇයගේ ස්ත්‍රී බව මඟඵල ලබන්නට බාධාවක් නොවේ යැයි වදාළහ. එසේ වී නම් ස්වාමීනී! ස්ත්‍රී වර්ගයාගේ යහපත පිණිස ස්ත්‍රීන්ට පැවිද්ද ලබා ගැනීමට අවසර දෙන සේක්වා! ඔබ වහන්සේගේ සුළු මව් වූ මහා ප්‍රජාපතී ගෝතමිය පන්සියයක් කුමාරිකාවන් සමග පැමිණ සිටී. ඔවුන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන සේක්වායි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ. එසේය ආනන්දය!

එසේ නම් ඔවුන් පෙර බුදුවරයන්ගේ දවස ශ්‍රාවිකාවන් පිළිගත් ගුණධර්ම අට පිළිපැදිය යුතු ය.ඒ ගුණධර්ම අට පිළිගැනීමෙන් ම ඇයට මහණ උපසම්පදාව පිහිටන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එයින් පසු මහා ප්‍රජාපතී ගෝතමී ඇතුළු කාන්තාවෝ බුදුරජාණන් වහන්සේ පැන වූ ගරු ධර්ම අට පිළිගත්හ. එයට ඔවුන්ට පැවිද්ද උපසම්පදාව විය. මෙය කාන්තාවන් ගේ පැවිදිවීමේ ආරම්භයයි.

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මහා ප්‍රජාපතී රහත් මෙහෙණිය අනෙක් රහත් භික්‍ෂුණීන් වහන්සේ අතරින් අග තනතුරට පත් වූවා ය. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. අවුරුදු දෙකක් පමණ ශික්‍ෂාවන් සමාදන්ව ඒවා ආරක්‍ෂාකිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය. එය ලබාගත යුත්තේ භික්‍ෂු භික්‍ෂුණී සංඝයා ඉදිරියේ ය. නවක භික්‍ෂූණීන් ආචාර්ය උපාධ්‍යාය භික්‍ෂුණීන් ඇසුරෙහි දෑ අවුරුද්දක් ශාසනික ප්‍රතිපදා ප්‍රගුණ කළ යුතු ය.

භික්‍ෂුණීන් ගේ එදිනෙදා කටයුතු සමාජයේ ප්‍රසාදයට හේතුවන පිණිස විනය ශික්‍ෂාවන් තුන්සිය පහක් බුදුරජාණන් වහන්සේ විසින් පැන වූ සේක. භික්‍ෂුණීන් සඳහා භික්‍ෂුණී ප්‍රාති මෝක්ෂයද වදාළහ. මෙහෙණි සස්න ක්‍රමයෙන් දියුණු වී භික්‍ෂුණීන් වහන්සේ භික්‍ෂූන් ලත් වරප්‍රසාද ද ලබා ගත්හ. ඒ අනුව ඛේමා, උප්පලවන්නා භික්‍ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවෝ වූවා ය. පටාචාරා තෙරණිය විනය ධර තනතුර ලැබුවා ය. මහා ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ එක්සිය විසි වසක් ආයු වැළඳූහ. අවසානයේ දී පිරිනිවන් පෑමට මට අවසර දුන මැනවි යනුවෙන් ඉල්ලා සිටියා ය.

ලක්දිව භික්‍ෂුණී ශාසනය[සංස්කරණය]

මිහිඳු මහරහතන් වහන්සේ විමාන වත්ථු, පේත වත්ථු ආශ්‍රයෙන් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසූහ. එම ධර්මය ඇසීමෙන් මහානාග යුවරජතුමාගේ බිසව වූ අනුලා දේවිය සෝවාන් වූවා ය. එයින් පසු අනුලා දේවිය තමන් පැවිදි කරන ලෙස ඉල්ලා සිටියා ය.

එවිට මිහිඳු මහ රහතන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීමට තමාට අවසර නැති බවත්, ඒ සඳහා තමාගේ සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය මෙහි කැඳවන බවත් ප්‍රකාශ කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය ලක්දිවට එවන ලෙස දන්වා අරිට්ඨ ඇමැති අත අශෝක රජතුමාට සන්දේශයක් යැවූහ. ඒ බව මහාවංශය මෙසේ සඳහන් කරයි. “රාජ ශ්‍රේෂ්ඨයන් වහන්ස! නුඹ වහන්සේ ගේ යහළු රාජාණන් සහෝදරයාණන් ගේ දේවී තොමෝ පැවිදි පතමින් නිබඳ සංයම ඇතිව වසන්නීය. ඒ දේවී පැවිදි කරුණු පිණිස සංඝමිත්‍රා නම් මෙහෙණින්න මෙහෙයව.” මහා වංශය, 18 පරිච්ඡේදය 76 පිටුව, හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම කොළඹ 1946 අරිට්ඨ ඇමැති එම හසුන සංඝමිත්තා තෙරණියට ද දැන් වූ පසු එතුමිය පිය රජු වෙත පැමිණ,

“ඒ ස්ථවීර තොමෝ පිය මහ රජාණන් කරා එළඹ, මහරජාණනි! මාගේ සහෝදරයාණන් ගේ වචනය මට ගරුය. පැවිදි කටයුත්තියෝ ද බොහෝය. එහෙයින් මා විසින් එහි යායුතුයයි, ඕ තොමෝ කීවා ය. මහාවංශය 77 පිටුව. එයින් පසු සංඝමිත්තා තෙරණිය සමඟ උත්තරා, හේමා, මසාරගල්ල, අග්ගිමිත්තා, දාසිකා, ඓන්ගු, මත්තා මල්ලා සහ ධම්මදාසී යන භික්‍ෂූණීන් වහන්සේ සමඟ ලක්දිවට පැමිණියාය. (දීපවංශය) තවද පසු කාලයේ දී මෙරටට භික්‍ෂුණීන් වහන්සේ විසි දහසක් පමණ පැමිණි බව ද සඳහන් වේ. සංඝමිත්තා තෙරණිය පැමිණි පසු අනුලා දේවිය ඇතුළු පිරිස මහණ උපසම්පදාව ලැබුවා ය. මෙයින් පසුව කාන්තාවෝ සිය ගණනින් සසුන් ගත වූවා ය. රජතුමා ඉදිකළ මෙහෙණවර ඉඩ මද වූ බැවින් ඒ ආශි‍්‍රත ගොඩනැඟිලි දොළහක් රජතුමා විසින් ඉදිකරන ලදී. තිස් වසරක් ලංකා සාසනයට සේවයක් කළ සංඝමිත්තා තෙරණිය උත්තිය රජ දවස, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසරකට පසු හත්ථාහල්ලක මෙහෙණවරෙහි පිරිනිවන් පෑහ. ඒ බව මහාවංශයෙහි මෙසේ සඳහන් ය.

සංඝමිත්තා තෙරණිය සමඟ මෙහි පැමිණි භික්‍ෂුණීන් වහන්සේ ත්‍රිපිටකධර වූහ. විනය ධර වූහ. මේ අයගෙන් සමහරෙක් අනුරාධපුර, සහ රෝහණ දේශයේ ත්‍රිපිටකය සහ විනය ඉගැන්වූහ. උත්තරා තෙරණිය එයින් එක් තෙරණියකි. අනුලා තෙරණියගෙන් ආරම්භ වූ ලාංකික භික්‍ෂුණී සමාජය ක්‍රමයෙන් වර්ධනය විය. සාමා, ධම්මා, මහිලා, නරමිත්තා, සානා සහ උත්තරා යන භික්‍ෂුණීන් වහන්සේ ගුණවත් නැණවත් අය වූ බව දීපවංශය සඳහන් කරයි. කාවන්තිස්ස සහ සද්ධාතිස්ස යන රජවරුන්ගේ දියණිවරු පැවිදි වී සිටියහ. සමුද්ධා, නාවා, දේවී සහ සීවලී යන භික්‍ෂුණීහු රජ දියණිවරු වූහ. දුටුගැමුණු රජතුමා කළ මිරිසවැටි පූජා උත්සවයට භික්‍ෂුණීන් වහන්සේ අනුදහසක් සහභාගි වූ බව මහා වංශයේ සඳහන් වෙයි.

“ඒ නරෙශ්වර තෙම විහාර පූජා කරනයෙන් සංඝයා රැස් කරවූයේ ය. එ දවස රැස් වූ භික්‍ෂූන් ලක්‍ෂයක් වූහ. භික්‍ෂුණීහුද අනුදහසක් වූහ.” මහා වංශය 26 පරිච්ඡේදය 109 පිටුව. මෙම භික්‍ෂූණී සංඛ්‍යාව පිළිබඳව ථූපවංශයේ ද සඳහන් වෙයි. එහි දක්වන පුවත මෙසේ ය.

“එසේ ලවන ලද මඩුවෙහි ලක්‍ෂයක් පමණ භික්‍ෂූන් වහන්සේ ද අනූදහසක් පමණ භික්‍ෂුණීන් වහන්සේද වඩා හිඳුවා අතැපැන් වත්කොටැ භික්‍ෂූන් වහන්සේට මහ දන්දී සිවුරු ආදී සියලු පිරිකර දුන්හ.

ථූපවංශය.[සංස්කරණය]

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මහා විහාර පූජාවට රහත් භික්‍ෂුණීන් වහන්සේ දාහතර දහසක් සහභාගි වූ බව මහාවංශයේ සඳහන් වෙයි. මහසෙන් රජතුමාගේ කාලයේ දී භික්‍ෂුණී ශාසනයේ වෙනසක් ඇතිවිය. ඒ නිකාය වශයෙන් බෙදීයාමයි. මහාවිහාරයට විරුද්ධ වූ භික්‍ෂුණීන්ට රජතුමා මෙහෙණවර දෙකක් පූජා කළේ ය. මුගලන් රජතුමා ද සාගලික නිකායික භික්‍ෂුණීන්ට රාජණී මෙහෙණවර පූජා කළේ ය. ලාංකික භික්‍ෂුණීන් වහන්සේලා විදේශීය ධර්ම දූත සේවාවන්හිද යෙදී ඇත. ඒ අනුව චීනයේ භික්‍ෂුණී ශාසනය පිරිහී ගිය අවස්ථාවක දේවසරා භික්‍ෂුණිය තවත් භික්‍ෂුණීන් දොළොස් නමක් සමග චීනයට ගොස් චීනයේ භික්‍ෂුණී මහණ උපසම්පදාව සිදු කරන ලදී. මේ බව ශ්‍රමණ දූත කාව්‍යයෙහි සඳහන්ව ඇත. (ක්‍රි.ව. 485)

චෝල ආක්‍රමණ වලින් පසු ලක්දිව භික්‍ෂුණී ශාසනයේ පිරිහීමක් ඇතිවිය. එයින් පසුව 1905 දී බුරුම රට දසසිල් මෙහෙණි ක්‍රමය ආරම්භ විය. 2001 දී මෙරටින් ඉන්දියාවට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ සහ දස සිල් මෙහෙණින් වහන්සේ උපසම්පදා උත්සවයක් පවත්වන ලදී. මූලගන්ධිකුටි විහාරයේ දී පැවැත් වූ උත්සවයේ දී ලාංකික සහ වෙනත් රටවල භික්‍ෂුණීන් වහන්සේ උපසම්පදාව ලැබූහ. බුදු සසුන ආරක්‍ෂා කර ගැනීමටත්, එය දියුණු කිරීමටත් භික්‍ෂුණීන් වහන්සේලාගෙන් සිදුවූ සේවය අති මහත් ය. බැමිණිති සාය පැවැති කාලයේ දී ධර්මය කටපාඩම් කරගෙන එය ආරක්‍ෂා කර ගැනීමට උන්වහන්සේ දැඩි උත්සාහයෙන් කටයුතු කළහ. කාන්තාවන්ට ඇතිවන ගැටලු භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත් කිරීමට අපහසු අවස්ථාවල ඒවා භික්‍ෂුණීන් වහන්සේ මගින් විසඳා ගැනීමට හැකි නිසා භික්‍ෂුණී ශාසනයේ වැදගත්කම කෙතෙක් දැයි කිව නොහැකි ය. මේ හේතු නිසා බුදු සසුන කෙරෙහි කාන්තා සම්බන්ධය වැඩිවීමට භික්‍ෂුණීන් වහන්සේගේ ශාසනික මෙහෙවර මහත්සේ උපකාරී වී ඇත.

ථේරවාද බුද්ධ ධර්මය[සංස්කරණය]

මහායාන බුද්ධ ධර්මය[සංස්කරණය]

ජපානයේ බුද්ධාගම[සංස්කරණය]

ජපානයට බුදුදහම ලැබුනේ 6 වැනි සියවසේදීය. මෙය සිදු වූයේ කොරියානු ජාතික ස්වාමීන් වහන්සේලාගේ වැඩම කිරීමෙන් පසුවය.එම ජනපදික් විසින් බුද්ධාගම වැළඳ ගත්තේ ඊට පසු සියවසේදීය. ජපානයේ භූගෝලීය පිහිටීම පසෙකලා බුදු දහම වැළඳ ගන්නට හැකි විය. මෙම වකවානූවේදී ඉන්දියාවෙන් සහ මධ්‍යම ආසියාවෙන් බුදු දහම තුරන් වී තිබුණි. ක්‍රි.ව 710 ක්‍රිස්තියානි යුගයේ සිට පන්සල් ආශ්‍රමයන් ගොඩනැගුණි. රජයන් අනුග්‍රහයෙන් බෞද්ධ ප්‍රතිමා කලාව ප්‍රචලිත විය. විශේෂයෙන්ම ජපන් බෞද්ධ සිතුවම් 8 වැනි සහ 13 වැනි සියවස් තුළ ප්‍රචලිත විය. 12 වැනි සහ වැනි සිය වස්වල සෙන් කෘතීන් බිහි වී තිබුණි. මෙයට අඩිතාලම වැටුනේ දොගන් සහ ඊසායි වරුන් ගේ පැමිනීමෙන් පසුවය. සෙන් කලාවේ ඇත්තේ මුල් කෘතීන් සහ කාව්‍යමය කෘතීන්ය. ඒවායින් පිළිඹිබු වන්නේ ලෝකයේ ඇති උපස්ථිතවාදී ශෛලින්ය. අවබෝධයට පැමිණෙන මාර්ගයේ “ඒ මොහොතේදී ” වෙනත් කලාවන් හට ගන්නා ලදී. ශනෝයු නම් තේ පැන් සංග්‍රහ කලාවත් ඉකබානා මල්කලාවත් ඒ අතර වේ. මෙම පරිණාමය එදිනෙදා ජීවිතයේ කරන සෑම කටයුත්තකටම කලාව මුසු වී ඇති බවට කියාපානවා ඇත. විශේෂයෙන් සටන් ක්‍රම වලත් කලාවක් මුසු වී ඇත. නූතන යුගයේත් ජපානයෙහි බෞද්ධාගම ක්‍රියාකාරී ආගමක් ලෙස පවතී. 80, 000 ක් තරම් බෞද්ධ පන්සල් ඉදි වී ඒවා විටින් විට ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.

වජ්‍රයාන බුද්ධ ධර්මය[සංස්කරණය]

බුදු දහමේ වර්තමාන තත්වය[සංස්කරණය]

බුදු දහම බටහිරට පැතිරිම[සංස්කරණය]

බෞද්ධයන් හා ග්‍රීකයන්ගේ ග්‍රීක - බෞද්ධ කලා නිර්මාණ හේතුවෙන් බුදුදහම පිළිබඳ තොරතුරු හා කථාවස්තු බටහිරට පැතිරිණි. බුදුරජාණන් වහන්සේගේ ජිවිතය පිළිබඳව චැමස්කස් හි ජෝන් විසින් පරිවර්තනය කරන ලද පොතක් ක්‍රිස්තියානින් අතර බාර්ලාම් හා ජොසෆට්ගේ කථාව ලෙස ප්‍රසිද්ධියට පත් විය. 1300 වන විට ජොසෆට්ගේ කථාව කොතරම් ජනප්‍රිය වූයේ ද යත් ඔහුව ශාන්තුවරයෙකුගේ තත්ත්වයට උසස් කරන ලදි.


ඉන්පසු යුරෝපීයන් හා බෞද්ධ හමුව සිදුවන්නේ 1253 ප්‍රංශයේ ශාන්ත ලුවිස් රජතුමා රැබටක් හි විලියම් නම් පූජකවරයා මොංගෝලියානු රාජ සභාවේ රාජ්‍ය දූත මෙහෙවරකට යැවීමෙන් අනතුරුවය. මෙම හමුව වර්තමාන කසකස්ථානයේ සිදු වූ අතර, විලියම් ඔවුන් හිතුවක්කාර ක්‍රිස්තියානීන් ලෙස හැඳින්විය.

බුදු දහම පිළිබඳව බටහිර ජනතාවගේ වඩාත්ම අවධානයක් යොමු වුයේ යටත් විජිත සමයේ දී බටහිර වැසියන් බුදුදහම කෙරෙහි ඇති විශ්වාසය හා කලා නිර්මාණ දැකීමෙනි. මෙම සමයේ දී යුරෝපීය දර්ශන වාදය පෙරදිග ආගම් වලින් බලවත් ලෙස ආභාෂය ලැබීය. 1853 දී ජපානය බටහිර ජනතාවට විවෘත වීමෙන් අනතුරුව ජපානයේ කලාව හා සංස්කෘතිය පිළිබඳව අවධානය යොමු වූ අතර ලෝකයේ පවතින ඉතාමත් දියුණු බෞද්ධ සංස්කෘතියක් අධ්‍යයනයට අවස්ථාව සැලසුණි. 20 වන සියවසේ ඇති වු අර්බුද සමඟ බටහිර ජනතාව බුදුදහමට නැඹුරු විය.


ථේරවාදී පුනරුදය (ක්‍රි.ව. 11 වන සියවස)[සංස්කරණය]

11 වන සියවසේ සිට බුදු දහමේ ව්‍යාප්තිය.

11 වන සියවසේ මුස්ලිම් ආක්‍රමණවලින් ඉන්දියාවේ බුදුදහම‍ට සිදුවු හානිය නිසා ගිණිකොණ දිගආසියාවේ මහායාන බුදුදහමට ඇති ලැදියාව පහත බසින්නට විය. මහද්වී හරහා මාර්ග ඉන්දියානු උපමහද්වීප හරහා වැටීමත් , අරාබිය. ශ්‍රී ලංකාව හා චීනය යා කරන සෘජු මුහුදු මාර්ගය ඇතිවීමත් සමග ශ්‍රි ලංකාවේ සිට තේරවාදී බුදුදහම ව්‍යාප්ත වීම ආරම්භ විය.

බුරැම අධිරාජ්‍යයේ ඵෙතිහාසික ආරම්භකයා වන අනව්රත (1044 – 1077) රජතුමා බුරැමය එක්සේසත් කර තේරවාදී බුදුදහම වැළද ගත්තේය. මේ නිසා 11 වන හා 13 වන සියවස් කාලය තුළදී බෞද්ධ විහාරස්තාන දහස් ගණනක් එහි අගනගරයේ ඉදි කෙරැණි. ඒවායින 2000 පමණ අදද දක්නට ලැබේ. තායිබලය වර්ධනය වීමත් සමග බුරැමය පිරිහුනු අතර 1287 මොං‍ගෝලියානුවන් එහි අගනුවර යටත් කරගන්නා ලදි.

නමුත් බුරැමයේ තවමත් තේරවාදී බුදුදහම නොනැසී පවතී.

1260 දී පමණ ඇති වූ නව තායි රාජ්‍යයේ දී ප්‍රධාන ආගම බවට පත්වූයේ තේරවාද බුදු දහමයි. අයුක්ථය සමයේ ද ී(14 – 18 සියවසේ ) ද තායි සමාජයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්කරමින් තේරවාදි බුදුදහමේ පුනරැදයක් ඇති විය. බුදුදරම 13 වන සියවසේ දී කාම්බෝජයේ ලාඕසයට ව්‍යාප්ත විය නමුත් 14 වන සියවස වන විට ගිණිකොණ ආසියාවේ වෙරළ තීරයේ හා දූපත් වන ඉස්ලාම් බලපෑම ඉහළ ගොස් ඉස්ලාම් ධර්මය මැලේසියාව, ඉන්දුනීසියාව හා පිලිපීනයට පැතිර ගි‍යේ ය. කෙසේ වුවද '1965 සැප්තැම්බර් 30 මිනී මැරීම් නමින් හදුන්වන කොමියුනිස්ට් පක්ෂයේ අනුදැනුමින් සිදුවූ යැයි කියන මිනිස් සංහාරයෙන් පසු 1966 දී සුහර්‍ තෝ බලයට පත්වීමෙන් අනතුරැව ඉන්දුනීසියාවේ තේරවාදී බුදුදහමේ පුනරැදයක් දක්න‍ට ලැබේ. මෙයට හේතුව විය හැක්කේ සුහ‍ර්තෝ පාලනය විසින් ඉස්ලාම්, ප්‍රොතෙස්තන්ත, ක්‍රිස්තියානි, මින්දු හොෝබුදුදහම යන ආගම් වලින් එකක් ඇදහීමට නියම කිරිම විය හැක. වර්තමානයේ ඉන්දුනීසියාවේ බෞද්ධයන් මිලියන 10ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් වැඩි කොටසක් චීනයෙන් පැවතෙන්නන් වෙති.

"http://si.wikipedia.org/w/index.php?title=බුද්ධාගමේ_ඉතිහාසය&oldid=312072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි