බිගෝනියා

විකිපීඩියා වෙතින්

හැඳින්වීම[සංස්කරණය]

කුලයඃ බිගෝනියාසේ

බිගෝනියා විශේෂ හයදහසකටත් වඩා හඳුනා ගෙන ඇති අතර, ඒවා සියල්ලක්ම පා‍හේ අප්‍රිකාවේ හා බ්‍රසීලයේ සම්භවය ලබා ඇත. නොයෙකුත් වර්ණවලින් සහ නොයෙක් හැඩයෙන් යුතු බිගෝනියා වර්ග රාශියක්වේ.

මුල් පද්ධතියේ ස්වභාවය අනුව බිගෝනියා ප්‍රධාන ආකාර 03කට වර්ග කරයි.

1) තන්තුමය මුල් සහිත බිගෝනියා (Fibrous rooted)

මේවායේ පත්‍රය, වයනය හා වර්ණය අතින් පුළුල් පරාසයක විචලනයක් දක්වයි. බොහෝ විශේෂයන්ගේ කුඩා පොකුරු ලෙසින් ආකර්ෂණීය පුෂ්ප හට ගනී.

2) රෛසෝමීය මුල් සහිත බිගෝනියා (Rhizomatous)

මේවායේ කඳ ඝනකම්ය. පොළව මතුපිට ඔස්සේ වර්ධනය වේ. පත්‍ර ආකාරය හා වර්ධනය අතින් විචලනයක් දක්වයි.

3) ආකන්දීය මුල් සහිත බිගෝනියා (Tuberous)

පස තුළ වූ ආකන්දීය කඳකි. සෑම බිගෝනියා වර්ගයකටම ආලෝකය අවශ්‍යය ය. ක්‍ෂණික උෂ්ණත්ව වෙනස්වීම් වලට ඔරොත්තු නොදේ. සෑම වර්ගයක් සඳහාම ආර්ඳ්‍රතාවක් ලබා දිය යුතුය.තන්තුමය මුල් සහිත බිගෝනියා සූර්යාලෝකය සහිත වූ උණුසුම් තත්ව ප්‍රිය කරයි. එහෙත්, නිවෙස් තුළ වගා කරන ශාඛයක් වන බිගෝනියා ඍජු සූර්යාලෝකයට ඔරොත්තු නොදේ. බිගෝනියා වර්ග ලංකාවේ ජනප්‍රිය වූයේ විචිත්‍ර පැළෑටියක් ලෙසිනි. විශේෂයෙන්ම,ඒවායේ පත්‍ර වල තිබූ සිත්ඇදගන්නා සුළු බව නිසාය. මෙම පැළෑටි කාණ්ඩයෙන් වඩාත් ප්‍රචලිත වන්නේ, පහත වර්ගයන්ය.

  • බිගෝනියා මැයෝනියා
  • අයන් ක්‍රොස්
  • බෙගෝනියා එරික් ක්‍රොෆයිලා
  • සැල්ඩි බිගෝනියා
  • රෙක්ස් හර්මැක්ට්
  • හිස් මැජස්ට්
  • බෙගෝනියා රෙක්ස් ඉම්පීරියල්
  • බිගෝනියා ඉන්කාගා
  • රෙක්ස් ඒබල් කැරට්
  • රෙක්ස් යූල්ටයිල්

නත්තල් සමයේ සහ ඒ සමඟ එළඹෙන නව වර්ෂය තුළදී පහත බිගෝනියා වර්ග ජනප්‍රිය වේ.

  • යූල්ටයිල්
  • ටෙරි කිස්ටන්
  • හැපි නිව් ඉයර්

බිගෝනියා වර්ගඃ[සංස්කරණය]

බිගෝනියා වර්ග වර්ණය, පත්‍රවල හැඩය අනුව හා මල් පිපෙන බිගෝනියා ලෙස වර්ග කළ හැකිය.

වර්ණය අනුව[සංස්කරණය]

මේවා මෘදු කොටස්වලින් සමන්විත බහු වාර්ෂික එනම්, සැමදා පත්‍රදරන හෝ එක්තරා කාලයකදී පත්‍ර හැලෙන පැළෑටි කාණ්ඩයකි. මෙම කාණ්ඩයේ සමහරක් සාමාජිකයන් ඉතා ලස්සන වර්ණ රටාවලින් යුක්ත වේ. මෙම වර්ණය කොළය වටා හෝ කොළය මැඳ හෝ කොළය පුරා හෝ ඉරිතැලීම් ආකාරයෙන්දැකිය හැකිය. නොයෙක් වර්ණවලින් යුක්ත කොළ මතුපිට රළු ගතියෙන් යුක්තය. එහෙත්, පත්‍ර පුරා දිවෙන කෙඳි නිසා දිලිසෙන ගතියක් දක්නට ලැබේ. සමහර පත්‍රවල මතුපිට එළියට නෙරා ගිය ගැටිති වැනිදේවලින් සමන්විත නිසා ඒකාකාරී බවක් ඇති නොවේ. සමහරක් වර්ග පත්‍රයේ කෙළවර කැරලි ගැසී නොයෙක් දිශාවන්ට නෙරා ගිය බවක් දක්නට ලැබේ. තනි වර්ණ මෙන්ම කළු සහ අළු මිශ්‍රව පත්‍ර පවතී. නැතිනම් ලා ඔලිව් වර්ණයෙන් ද යුතු වේ. රතු හා කොළ කළවම් වූ ඒවාද පවතී.

උදාඃ බෙගෝනියා රෙක්ස් ප්‍රැන්සිස් ප්‍රභේදය

බෙගෝනියා ලිස්ටිඩා

පත්‍රවල හැඩය අනුව[සංස්කරණය]

හැඩය බලන විට වකුගඩු හැඩයෙන් ඇතිවන පත්‍ර, සිහින් තට්ටු ගන්නා පත්‍ර,ගස්ලබු හැඩය ගන්නා පත්‍ර, බෝ කොළ වැනි හැඩය සහිත පත්‍ර, තරු හා ත්‍රිකෝණ හැඩයෙන් යුතු පත්‍ර හා දිගටි පත්‍රවලින් යුත් බිගෝනියා පවතී. එසේම,හබරල කොළ දෙකක් එකට එක්වූ ආකාරයේ දිගටි පත්‍ර ද පවතී.

මල් පිපෙන බිගෝනියා[සංස්කරණය]

මල් හට ගන්නා බිගෝනියා පහත පරිදි දැක්විය හැකිය.

බිගෝනියා වගාව

නන්ස්ටොප් බිගෝනියා මල්ටිෆ්ලෝරා බිගෝනියා මෙම පැළෑටිවල පත්‍ර ඔලිව් වර්ණයෙන් උඩු පැත්ත ද යටි පැත්ත මෙරුන් වර්ණයට හුරු වර්ණයකින් ද යුක්ත වේ. මේවායේ බොහෝවිට ඕවලාකාර හැඩයෙන් යුත් පත්‍ර හට ගනී. මේවායේ පිපෙන මල් කුඩාවූ පොකුරු ලෙස හට ගනී. තද රතු, රෝස, තැඹිලි හා කහ සාමාන්‍ය පොදු වර්ණයන්ය.

උදාඃ තැඹිලි වර්ණය - ස්කොලෙමා ප්‍රභේදය රෝස වර්ණය - ලින්ඩා ප්‍රභේදය

බිගෝනියා මල් හට ගන්නා විවිධ ප්‍රභේද -

  • සෙම්පෆ්ලෝරන්ස්
  • ටයිඩ වියිටුඩා
  • වැක්ස්
  • ස්කැන්ඩිරන්වියන්
  • සුදු සහ රතු රෝස සුදු කොමට්
  • රතු මුතු කැරලි ලෝකස්
  • රෝස් බඩ්
  • බිකේට්ස් එලිගන්ඩ්

බිගෝනියා ප්‍රචාරණයඃ[සංස්කරණය]

බිගෝනියා පැළ ව්‍යාප්ත කර ගැනීමට විවිධ ක්‍රම භාවිත කරයි.

  • බිගෝනියා පැළයක නටුවක් සහිත කොළයක් සිටුවීමෙන්
  • පත්‍ර නාරට් කපා ඒවා සිටුවීමෙන්

පත්‍ර නාරටි එයින් යටවන ලෙස හරහට පත්‍රය කපා එම කැපූ ස්ථානය පසට යටවන සේ තැබිමෙන් පැළෑටි බෝ කර ගත හැකිය. එසේත් නැතිනම්, පත්‍රය නාරටියත් සමඟ කැබලි වලට කපා එනම්, එක් එක් කොටස වෙන් වෙන්ව නාරටි කොටස පසට යටවන සේ තැන්පත් කොට එයින්ද පැළ ලබා ගත හැකිය. ඛණ්ඩනයෙන් පැළෑටි සකස් කරන විට රයිසෝම බිගෝනියා වර්ගවල එම භූගත කඳ අංකුර ඇති ස්ථානද සහිතව කැබලි කර එම බෝ කරන ලද කොටස්වල කැපූ පෘෂ්ඨයේ ආරක්‍ෂක දිලීර නාශක තවරා මුල් ඇද්දවීම සඳහා යොදා ගන්නා මාධ්‍යක සිටුවා පැළෑටි යට කර ගත යුතුය.

  • කුඩා අල සහිත බිගෝනියාවල අංකුර හට ගන්නා ස්ථාන සහිතව කැබලි කර එම කැබලි වෙන් වෙන්ව සිටුවීම මඟින්
  • අල වැනි භූගත කොටස් වෙන් කර ගැනීම මගින්

උදාඃ රයිසෝම (කඳ) වලින් සමන්විත බිගෝනියා

  • බීජ මඟින් (මල් පිපෙන බිගෝනියා)

උදාඃ වැක්ස්, රතු මුතු කැරලි ලෝකස්

වගා මාධ්‍යය සකස් කරන ආකාරයඃ[සංස්කරණය]

බිගෝනියා මුල් අද්දවා ගැනීමට භාවිත කළ යුතු වන්නේ, පසේ රළු වැලි සහ කොම්පෝස්ට් 1:1 අනුපාතයට සකස් කර ගත් අකුරු මාධ්‍යයකි. හොඳින් වතුර බැස යාමට සිඳුරු ඇති කළ අඟල් 8ක්වත් පළලැති පොළිතීන් මලු හෝ එවන් විශ්කම්භයක් සහිත මැටි හෝ සිමෙන්ති මල් පෝච්චි භාවිත කළ යුතු වේ. එසේම, මෙම බඳුන්හි අඩිය මත ගල් ඇහිරීමෙන් වැඩිපුර ජලය බැස යාමට ඉඩ සැලසෙන අතර ජලය රැඳී තිබීම මෙම ශාඛවලට අහිතකරය.රෝපණ මාධ්‍යය ස්වල්ප තෙතමනයකින් රැඳී තිබීම මූලීකව පෑදීගෙන එන කුඩා අංකුරයට හිතකරය.

පැළ සිටුවන ආකාරය‍‍‍‍‍‍‍‍‍

රෝපණ මාධ්‍යය ජීවානුහරණය කර ගැනීම වඩාත් වැදගත්ය. ඒ සඳහා භාවිතයට ගනු ලබන මිශ්‍රණය හරහා විනාඩි 30ක් පමණ හුමාලය යාමට සැළැස්වීම කළ හැකිය. මෙම මාධ්‍යය හොඳින් සිසිල් වීමට හැර පැළ සිටුවීම සඳහා යොදා ගත හැකිය. පැල සිටුවීමෙන් අනතුරුව,සෙවණ සහිත ස්ථානයක තැබිය යුතු වේ. වඩාත් සුදුසු ක්‍රමය වන්නේ, ආලෝකය පෙරී වැටීමට සැළැස්විය හැකි ඉටි කොළයක් වහලට යොදා සකස් කරන ලද මැස්සක් යට හෝ පොලිතීන් වෙනුවට විනිවිද පෙනෙන වහළ සෙවිලි කිරීමට භාවිත කරන ෂීට් එකකින් සමන්විත ස්ථානයකි. කුඩා පැළෑටි සති කීපයකදී ලබා ගත හැකි අතර එම පැළෑටි වෙන වෙනම බඳුන් කළ යුතු වේ.

බිගෝනියා වලට වැලඳෙන රෝගඃ[සංස්කරණය]

  • සතුන් නිසා ඇති වන රෝග-

සතුන් නිසා විවිධ රෝග ඇති විය හැකිය. වේයන් මුල් හා භූ ගත කඳන් වලට හානි ඇති කරයි. පාලනය නොකළහොත් පැළෑටිය මැරී යයි. එසේම, වට පණුවන්ගෙන් වන හානි ද දැකිය හැකිය. ඔවුන්ගේ ආපදාවලට ලක්වූ පැළෑටිය දුර්වර්ණ වූ ලප සහිත පත්‍ර හට ගෙන ඒවා වියළී කඩා වැටේ. වට පණුවා මුල්වලට හානි කිරීම නිසා මුල් වල ගැටිති වැනි කොටස් ඇති වේ. ඇතැම් කුඩා සතුන් ළපටි පත්‍ර හා මල් ආහාරයට ගැනීම නිසා පැළෑටි වියළී හැකිළෙයි. දළඹුවා එවන් සතෙකි. මේ සියල්ලක්ම පාලනයට රසායනික පළිබෝධනාශක වෙළඳපොළන් ලබා ගත හැකිය.

  • දිලීර රෝග-

බිගෝනියාවලට රෝග කිපයක් වැළඳීමට ඉඩ තිබේ. මේවා බොහොමයක් දිලීර රෝග වේ. ඒ අතරින් "අළුපුස්" රෝගය ප්‍රධාන වේ.මෙම රෝගයේදී දුඹුරු වර්ණයේ පැල්ලම් පත්‍රවල සහ මල්වල ඇති වේ. තවත් රෝගයක් ලෙස "කුඩුපුස්" රෝගය ( Powder milted) හැඳින්විය හැකිය. මෙහිදී පත්‍ර මත ලප ඇති වී ඒ මත සුදු වර්ණ වූ කුඩක් හෝ දිලීර පැතිරේ. මුල් වල හට ගන්නා කළු වර්ණයේ මුල් කුණු වීමේ රෝගය නිසා පැළෑටි වල මුල් කළු වී වර්ණය වෙනස් වී කුණුවීමට පටන් ගනී. එයින් පත්‍ර දුර්වර්ණ වී වියළේ.

තවත් දිලීර රෝගයක් ලෙස, පාදස්ථ කුණුවීමේ රෝගය දැක්විය හැකිය. මෙහිදී, කුඩාවට හට ගන්නාබිජ වලින් ඇති වන පැළෑටි වලට හානි ඇති වේ. එම නිසා මෙම පැළෑටිය පෘෂ්ඨය අසලින්ම කඩා වැටේ.

පාදස්ථ කුණුවීමේ රෝගයට ලක්වී

ලප ඇති වීමේ රෝගය ඇති වූ විට බුබුළු මෙන් මෘදුව පත්‍ර මත ලප ඇති වී මේවා විශාල වී එකින් එක සම්බන්ධවීමෙන් මුළු පත්‍රයම දුඹුරු වී කුණු වන්නට පටන් ගනී.

  • වයිරස් රෝග-

මෙම රෝග ද බිගෝනියා වගාවට වඩාත් අහිතකර වේ. මෙහිදී, පත්‍රයේ නාරටි කහ වර්ණ වී කැපී පෙනෙන ජාලයක් ලෙස ඇති කරන "මොසේන්" වයිරසය ද කහ වර්ණයෙන් දිස්වන මුදු වැනි වළලු ඇති කරන ලප වියළීමේ රෝගය ද දැක්විය හැකිය.

රෝග වලට ප්‍රතිකාරඃ[සංස්කරණය]

වයිරස් රෝග වැළඳුණ විට ඒටා පාලනය කිරීමට රසායනික පාලන ක්‍රමයක් නොමැති නිසා එවැනි පැළෑටි විනාශ කර දැමීම තමන්ගේ වගාව ආරක්‍ෂා කිරීමට ඇති හොඳම ක්‍රමයයි. බැක්ටීරියා රෝග තරමක් දුරට දිලීර නාශක වලින් පාලනය වුවත්, බොහෝවිට ඒවා පාලනය කිරීමට අපහසු වේ. එමනිසා, පැළෑටිය ගලවා සුද්ධ කර රෝගී කොටස් ඉවත් කර පිරිසිදු මාධ්‍යයක් සකසා නැවත සිටුවීම කළ යුතුය. ජලය යෙදීම වඩාත් පාලනයකින් යුතුව කළ යුතුය.

පින්තූර ගැලරිය[සංස්කරණය]

Rhizomatous බිගෝනියා[සංස්කරණය]

Tyberous බිගෝනියා[සංස්කරණය]

Fiberous Rooted බිගෝනියා[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"විසිතුරු ශාඛ පත්‍ර වගාව" - පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන ප්‍රකාශනය

සිරිකත පුවත්පත - මාසික සඟරාව

අඩවියෙන් පිටත පිටු[සංස්කරණය]

[1] සංරක්ෂණය කළ පිටපත 2008-05-22 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=බිගෝනියා&oldid=592706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි