බංග්රා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතිහාසය[සංස්කරණය]

සාම්ප‍්‍රදායික අර්ථයෙන් බංග්රා යනු ජන නැටුම් විශේෂයක් විනා සංගීත ශෛලියක් නොවේ. නමුත් වර්තමානයයේ එය සංගීත හා නර්තන අංග දෙකටම පොදුවේ භාවිතා කරනු ලබයි. බංග්රා සංගීතය විශාල ලෙස අවනද්ධ භාණ්ඩ මත පදනම් වූවකි.

බංග්රා යනු සික් ජාතිකයන් ගේ ගොයම් කැපීමේ හා වෛශාක්‍ය උළෙලේ අංගයක් වූ අතර 1947 පංජාබ් ප‍්‍රාන්තයේ වෙන් වීමත් සමග ප‍්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. එකල ඩෝල නාදයත් සමග මුසුවූ පන්ජාබ නර්තනය බංග්රා ලෙස හැඳින්වේ. මෙම සම්ප‍්‍රදාය ක‍්‍රමයෙන් ප‍්‍රදේශයේ අනෙකුත් කලාපයන්ට පැතිරුණු අතර සුවිශේෂී ජන නැටුම් ශෛලියක් බවට අනුවර්තනය විය. කාලයත් සමග වර්තමානය වන විට බංග්රා සෑම ප‍්‍රධාන උත්සවයකම හා සමාජ ශාලාවකම අංගයක් වී ඇත.

සාම්ප‍්‍රදායික බංග්රා යනු ගායනය වාදනය හා නර්තනය මුසුවූ සංගීත සංකලනයකි. වාදනය සඳහා ඩෝල බෙරයත් ඉක්තාර් (ඒක් තාරා) නම් වූ තනි තන්තුවේ සංගීත භාණ්ඩයත් තූම්බි හා චිම්තාවත් භාවිතා වේ. ගැයෙන ගීත බෝලි ලෙස හැඳින්වෙන පන්ජාබ් භාෂාවෙන් ලියැවුනු දෙපද සැහැලි ය. ඒවා ගොයම් කැපීම, ආදරය, දේශ මාමකත්වය හෝ කාලීන සමාජ අර්බුද ආදිය පාදක කරගෙන ලියැවී ඇත. පන්ජාබ් සාම්ප‍්‍රදායික ජන සංගීතයේ ඩෝලයේ කුඩා මස්සිනා වන ඩෝල්කිය ද ප‍්‍රධාන තාලය සැපයීම සඳහා සෑම විටම පාහේ භාවිතා වී ඇත. වර්තමානයේ දී ඩෝලය ඩෝල්කිය ත් සමග හෝ එසේ නොමැතිව වැඩි වශයෙන් භාවිතා වේ. බංග්රා සංගීතයේ ඩෝල්කි බෙර නාද රටා රෙගේ සංගීතයේ නාද රටා වලට සමීප සමානත්වයක් දක්වයි. මෙම පොදු ස්වභාවය එක්සත් රාජධානියේ අපාචි ඉන්ඩියන් වැනි කලාකරුවන් හට මෙම සංගීත රටා දෙක පහසුවෙන් එක්කර නිරමාණකරණයට මග පාදා ඇත.

බොහෝ බංග්රා පද රචනා දීර්ඝවූත් කැළඹිලි සහිත වූත් පන්ජාබ ඉතිහාසය ගෙනහැර පාන බැවින් පන්ජාබ ඉතිහාසය පිළිබඳ දැනුම මෙම සංගීතයේ ඇතුලාන්තය දැකීම සඳහා වැදගත් වේ. ගෙවී ගිය වසර තිහක පමණ කාලයේ දී බංග්රා සංගීතයේ සාම්ප‍්‍රදායික ක‍්‍රම වේදයත් හිප් හොප්, හවුස්, හා රෙගේ වැනි සංගීත සමග මිශ‍්‍ර වූ ක‍්‍රම වේදයත් යන දෙකම ජනප‍්‍රිය රැල්ලක් සේ ලොව පුරා ව්‍යාප්ත විය.


1970 දශකය[සංස්කරණය]

1960 දශකයේ අග භාගයේ හා 1970 දශකයේ සික් ගායකයෝ කිහිප දෙනෙකු බංග්රා සංගීතය දැවැන්ත රැල්ලක් බවට පත් කිරීමට වේදිකාව සූදානම් කළෝය. කුද්ලිප් මනක්, අමර් සිං, චම්ලිකා සහ ඒ එස් කාන්ග් මොවුන් අතර සිටි අතර මොවුනගෙන් සමහරෙක් අදටත් ක්ෂේත්‍රයේ රැඳී සිටිති.

බංග්‍රා 1980 දී[සංස්කරණය]

සික් වරුන්ගේ සංක්‍රමණයත් සමඟම එක්සත් රාජධානිය පුරාවටම බංග්‍රා සංගීතිය ව්‍යාප්ත වීමට ආරම්භ විය. මෙම බංග්‍රා කණ්ඩායම් හේතුවෙන් විවිධ ජාතීන් හා භාෂාවන්, සංස්කෘතීන් එක්වීමේ ප්‍රවණතාවයක් ඇති විය. මුල් කාලයේ දී බංග්‍රා නැටුම් හා සංගීතය පුරුෂයන්ට පමණක් සීමා වූ අතර ඒවා ඉතා ශක්තිමත් හා දැඩි චලනයන්ගෙන් යුක්ත වූ නිසා කාන්තාවන් බංග්‍රා පිළිබඳ රුචිකත්වයක් නොදැක්වීය. 1980 දී බංග්‍රා ශිල්පීන් සතියකට කැසට් පට 30,000කට වඩා ප්‍රමාණයක් විකිණීමට සමත් වුවද කිසිදු බංග්‍රා ගීතයක් එරට ඉහලම ගීත 40 අතරට එක් නොවීය. පසුගිය දශකය තුළ දී බංග්‍රා ශිල්පීන් අතරින් ප්‍රමුඛතාවය ලැබුණේ, “පංජාබයේ ස්වර්ණමය හඬ” යන විරුදාවලිය ලත් මල්කිත් සිංග් සහ ඔහුගේ කණ්ඩායම වන ගෝල්ඩන් ස්ටාර් කණ්ඩායමයි. 1963, පංජාබයේ හුස්සේන්පූර්හි උපත ලැබූ මල්කිත්, 1980 වසරේදී කළා අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය සදහා ප්ලන්ඩර්හි පිහිටි චාල්සා විදුහලට සම්න්ධ විය. මොහුගේ පංජාබ් ජන ගායනා හා බංග්‍රා නැටුම් උපදේශකයා ලෙස කටයුතු කළේ මහාචාර්ය ඉන්ද්‍රජිත් සිංග් නැමැත්තෙකි. සිංග්ගේ ගුරුහරුකම් යටතේ මල්කත් බොහෝ ගායනා තරඟවලින් ජය ගත් අතර 1983 දී ගුරු නානාක් විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු තරඟයේ දී “ගුරු නාලෝ ඉෂ්ක් මිතා” යන ගීතය සදහා රන් පදක්කම දිනා ගත්තේය. මෙම ගීතය ඔහුගේ ප්‍රථම ගීත ඇල්බමය වන “Nach Gidhe Wich” හි පල විය. මෙම ගිත ඇල්බමය මුළු ආසියාව පුරාම ව්‍යාප්ත වූ අතර ඉන්පසු ඔවුහු එක්සත් රාජධානියට සංක්‍රමණය වූහ. මේ වන විට මල්කිත් හා ඔහුගේ කණ්ඩායම ගීත ඇල්බම් 16ක් පමණ පිට කර ඇති අතර රටවල් 27ක පමණ සංචාරයෙහි යෙදී ඇත. මල්කිත්හට එංගලන්තයේ මහ රැජින විසින් “MBE” කීර්ති නාමය ඔහුගේ උත්සාහය හා කැපවීම වෙනුවෙන් පිරිනමා ඇත. ගර්ඩාස් නම් වූ සික් ගායකයෙකු බංග්‍රා සංගීතය සඳහා විශේෂ ලැදි කමක් දැක්වීය. 1980 දී ‍චරන්ජිත් අහුජාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුක්ත වූ “දිල් දා මාම්ලා” (Dil Da Mamla) නම් වූ පළමු ඇල්බමයෙන් තම ගමන ආරම්භ කළ මොහු, නව නිර්මාණ තුළින් ඉදිරියටම ගියේය. එල්ලා නැමැති අති විශිෂ්ට නිර්මාණය ඇතුළත් වූ “ලෝන්ග් දා ලිෂ්කාරා” නම් වු චිත්‍රපටයෙන් මොහු තවත් ප්‍රසිද්ධියට පත් විය. 1982 වසරේ සිට ගර්ඩාස් මාන් බොහෝ ප්‍රසිද්ධ වූ ගීත ඇල්බම් කීපයක්ම පළ කර ඇති අතර ඒවා අතර “අප්නා පංජාබ්” නම් වූ ඉතා ප්‍රචලිත වූ නිර්මාණයන් ද ඇතුළත් වේ. චන්නි සිංග්ගේ ප්‍රමුඛත්වයෙන් ආලාප් කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද “තේරී චුන්නි දෙ සිතාරේ” ඇල්බමය එක්සත් ‍රාජධානියේ දී ප්‍රසිද්ධියට පත් වූයේ බංග්‍රාහි ප්‍රාථමික යුගයේ දීය. මෙම ඇල්බමය බ්‍රිතාන්‍යයේ වෙසෙන ආසියානු විශ්ව විද්‍යාල සිසුන් අතර බංග්‍රා ප්‍රචලිත කිරීමෙහි ලා ප්‍රධාන විය. ආලාප් කණ්ඩායම ප්‍රාසාංගික වේදිකාවේ සජීවී ප්‍රසංග පැවැත්වීමේ ලා උරුමය හිමිකර ගන්නා අතර මෙම කණ්ඩායම සඳහා සංගීත අධ්‍යක්ෂණය කරනුයේ දීපක් Khazanchi (කසන්චි) විසිනි. 1980 දශකයේ දී ඉතා ප්‍රචලිත වූ තවත් කණ්ඩායමක් ලෙස කුමාර් සහ දමී ප්‍රමුඛ භුවින්දර් බින්දි විසින් ආරම්භ කළ හීරා කණ්ඩායම නම් කළ හැක. කුල්ජිත් භම්රා විසින් නිෂ්පාදිත “ජග් වාලා මේලා” සහ දීපක් කසන්චි විසින් නිෂ්පාදිත “ඩයමන්ඩ්ස්” ඇල්බම් 2හි බටහිර සංගීතය හා සාම්ප්‍රදායික පංජාබ් සංගීතයේ සම්මිශ්‍රණය මේවායේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව විය. ආලාෂ් හා හීරා කණ්ඩායම විසින් ඩිස්කෝ රිද්මය බංග්‍රා සංගීතය සමඟ මිශ්‍ර කිරීමෙන් ආසියානු තාරුණ්‍යයට නව පණක් ලැබිණි. සමහරක් ජනතාවයේ මතය නම්, ඉන්දියානු සංස්කෘතිය හා තවත් සංස්කෘතීන් මිශ්‍ර වී නව සංස්කෘතියක් බිහිවන බවයි. මෙසේ නිවහනින් දුරස් වූ ද නව නිවහනක් හා අලුත් ප්‍රජාවක් ප්‍රතිස්ථාපනය විය. සාතීස්, භූජුන්ගි කණ්ඩායම, අසාද් සහ අප්නා සංගීත යන කණ්ඩායම් ද මේ සමකාලීනයෝ වූහ. අප්නා සංගීත් කණ්ඩායම ‍“මේරා යාර් වජවෙයි ඩෝල්” යන ගීතයට පසුව ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර ඔවුන් තවමත් සජීවී වේදිකාවේ ප්‍රමුඛයෝ අතර සිටී. බංග්‍රා සංගීතය හා ගද්‍ය, ආසියානු බ්‍රිතාන්‍ය කළාකරුවන් විසින් නවීකරණයට භාජනය කර ඇත. බැලී සාගෝ, මැල්වින් සිංග්, බද්මාප්, බ්ලැක් ස්ටාර් ලයිනර් සහ ස්ටේට් ඔෆ් බැංගෝල් යන ආසියානු කළාකරුවන් ඔවුන්ගේම බ්‍රිතාන්‍ය හිප්පොප් නිර්මාණකරණයෙහි ලා යෙදේ. තවද කෝනර් ෂොප්, ෆන්-ඩ-මෙන්ටල් සහ ඒෂියන් ඩබ් ෆවුන්ඩේෂන් යන කණ්ඩායම් නවතම වූත් ඔවුන්ටම ආවේනික වූත් සංගීත පට නිර්මාණය කරනුයේ මෙතෙක් කිසිම කළාකරුවෙකු නොකළ ආකාරයටය. බංග්‍රා සංගීතය, හිප්පොප් සහ ආර් ඇන්ඩ් බී සංගීතය සමඟ මුසු කිරීමෙන් ආසියානුවන් ආසියානු සංස්කාතිය රැකගනිමින්, වෙනස් වන ලෝකය සමඟ පොරබදිමින් ඉදිරියට ඇදේ.

බංග්‍රා 1990 වන විට[සංස්කරණය]

බංග්‍රා 1990 වන විට බංග්‍රාහි ව්‍යාප්තිය තරුණයන් අතර ප්‍රශංසනීය ලෙස වර්ධනය විය.මුල් කාලයේදී කලාකරුවන් නැවතත් ජන සංගීතය ප්‍රථම බංග්‍රා රිද්මය හා මුසු කරන්නට තැත් දැරීය. මෙම වකවානුවේදී ජනප්‍රිය වූ කණ්ඩායමක් ලෙස “Sahotas” කණ්ඩායම නම් කළ හැක. එක්සත් රාජධානියේ, වොල්වර් හැම්ප්ටන් හි වෙසෙන පංච සහෝදරයින්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වේ. ඔවුන්ගේම අනන්‍යතාවයකින් යුත් රැගේ, රොක් හා වේග රිද්ම සංගීතයන් ඔවුන්හට වීය. මෙම නව රැල්ලේ සංගීතයට අතරින් ජැසී(z) බේන්ස් විසින් නිර්මාණිත “කැනේඩියන් ෆෝක්ස්ටර්” ඉතා ප්‍රචලිත විය. පංජාබයේදී ජැසී(z) බී නමින් ප්‍රචලිතව සිටි මොහු, 1992 දී ඔහුගේ ප්‍රථම දර්ශනයට පසුව බංග්‍රා කලාකරුවන් අතර ප්‍රකට හා විශිෂ්ටයෙකු වීය. මොහුගේ දෙවන ඇල්බමය වන “ෆෝක් ඇන්ඩ් ෆන්කි” හි පිටපත් 55,000 ක් විකිණීමෙන් පසු, වැඩිම ජනප්‍රියත්වයක් උසුලන බංග්‍රා ශිල්පියා බවට පක් විය. ජැසී(z)ගේ කටහඬ කුල්දිප් මානක්ගේ හඬට සමාන විය. ඔහුගේ සංගීතය තරමක් සාම්ප්‍රධායික වුවද, හිප් හොප් රිද්මයට හා සමාන ගීත රිද්මවලට මොහු ප්‍රචලිත වී සිටියේය. ජැසී(z) බේන්ස් තමාගේ ප්‍රසිද්ධිය උදෙසා නවීන හිප් හොප් ප්‍රතිරූපයක් මවාගත් බවට ද සැලවේ. තවත් ප්‍රචලිත වී සිටි තරුණ ශිල්පියෙකු ලෙස භීන්දා ජාත්, ජත් සිත් හැඳින්විය හැකිය. මොවුන් ප්‍රචලිත වී සිටියේ “ද ෆෝක් වොරියර් ඔෆ් කැලිෆෝනියා” ලෙසය. මොහුගේ ශෛලියට සමාන වූ අතර, ඔහුගේ සහෝදරයාවන කේසර් නම් වූ ඩෝල් වාදකයා සමග තම ගමනාරම්භ පටන් ගත්තේය. හස්ට්ලර්ස් එච්.සී නම් වූ කණ්ඩායම ගිටාර් නාදය හා හිප් හොප් රිද්මය මුසු කරමින් බංග්‍රා සංගීතය භාවිතා කරයි. මෙම කණ්ඩායම දේශපාලනය, ජාතික ගැටළු, ආසියානු සංස්කෘතිය හා බ්‍රිතාන්‍යයේ දේශපාලන ස්ථාවරත්වය පිලිබිඹු කරන රැප් ගීත ඉදිරිපත් කරයි. ඔවුන්ගේ සෑම ගීතයකම ආසියාවේ කිනම් හෝ ගැටළුවක් පිළිබඳ සඳහන් වේ. “බිග් ට්‍රබල් ඉන් ලිට්ල් ඒෂියා” යන ගීතය ඉතා ප්‍රසිද්ධියට පත්වූ අතර එයින් පිලිබිඹූවන්නේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ආසියානුවන් ‍ගේ ජීවීකාව පිළිබඳවයි. තවද, ආසියානු සංස්කෘතියේ පරිපූර්ණ භාවය පිළිබඳව ද ආසියානු සමාජයේ ඇති විෂමතා පිළිබඳව ද ඔවුන්ගේ නර්තනවල ඇතුළත් වේ. තවත් මෙවන් බංග්‍රා ශිල්පියෙකු ලෙස පංජාබ් එම්.සී හඳුන්වා දිය හැක. සංජය ශර්මාගේ මතයට අනුව අවශ්‍යතාවය සහ අවස්ධාව අනුව මෙම බංග්‍රා සංගීතය පදනම් වේ. මෙම බංග්‍රා සංගීතය අතීතයෙන් මිදී හිප් හොප්, එක්සත් රාජධානිය හා බංග්‍රා යන සංස්කෘතීන් ත්‍රිත්වයෙහිම මුසුවීමක් වේ. ඉතා සරල වූ හා සංකීර්ණ වූ නාද රටාවන් මුසු වූ මෙම බංග්‍රා සංගීතය, කලාකරුවන් තමාට උචිත ආකාරයට ස්වර රටාවන් නිර්මාණය කර ගනී. “බංග්‍රාස් ඇම්බැ(ස්)සඩර්, කීපින්ග් ද පාටි ස්පීනින්ග්” ලෙස නිව්යෝර්ක් ටයිම්ස් හි පලවූ ලිපියේ DJ රේඛා නම් වූ ශිල්පිනිය, තමාගේ සංගීතය, සංස්කෘතිය විනාශ නොකරන බවත්, ඇයට තම සංස්කෘතික රාමු තුළ සිට නව රැල්ලේ සංගීතය නිර්මාණයන් තුළින් මනා උපදේශයන් ලබා දිය හැකි බවත් පවසා සිටියි. අනෙකුත් බංග්‍රා ශිල්පීන් ලෙස සුරින්දර් ශින්දා, හර්බජාන් මාන්, මන්මෝහන් ටාරිස්, මෙෂී එෂ්රා හා සර්බ්ජිත් චීමා නම්කළ හැක. තවද, හන්ස් රාජ් හන්ස්, සර්දුල් සිකන්දර්, සහෝතාස්, ගීත් ද මෙගා බෑන්ඩ්, අනාකි, සැට් රැංග්, එක්ස්.එල්.එන්.ඩී, බී. ටq වෙන්ටි වන් (B21), ශක්ති, ඉන්ටර් මික්ස්, සහරා, පාරාස්, පී ඩී එම් (PDM) , අමර් ගෲප්, සංගීත් ගෲප් සහ බොම්බේ ටෝකි යන අයද බංග්‍රා ශිල්පීන් ලෙස ප්‍රචලිත වී සිටී. බංග්‍රාහි භාවිතාවන සාම්ප්‍රදායික ඉන්දියානු වාද්‍ය භාණ්ඩ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ඉන්දියානුවන්ටද තම සංස්කෘතිය වැළඳ ගැනීමේ අවස්ථාවක් එළඹේ. ටුම්බි, සාරංගි, සපෙරා, සප්, සහ චිම්ටා යන තත් භාණ්ඩ ද ධද්, ඩැෆ්ලි, ඩෝල්කි සහ දම්රු යන ‍බෙරද මෙම වාද්‍ය භාණ්ඩ අතරට එක්වේ. බංග්‍රා සංගීතය අනුගාමිකයන් සිතන ආකාරයට ඔවුන්ගේ අනන්‍යතාවය විදහා පෑමට ඔවුන්ට මෙම සංගීතය කදිම අවස්ථාවකි. නවීන ලෝකයේ හිප් පොප්, රැගේ, ආර් ඇන්ඩ් බී යන සංගීතයන්ට පමණක් නොව ආසියාතික සංගීතයන්ට ද අවස්ථාවක් ලැබෙන බවට බංග්‍රා කදිම නිදසුනකි.


පංජාබ් ප්‍රාන්තයේ පවතින බංග්‍රා නැටුම්[සංස්කරණය]

බංග්‍රා නැටුම්[සංස්කරණය]

පංජාබ් ප්‍රාන්තයේ පවතින විවිධ නර්තන ශෛලීන්ගේ සංකලනයක් ලෙස බංග්‍රා නැටුම් හැඳින් වේ. බංග්‍රා නැටුමේ ‘බංග්‍රා’ යන පදය ජුමර්, ලුඩ්ඩි, ගිඩ්ඩා,ජුල්ලි, දාන්කර, දමල් , සාමි,කික්ලි හා ගක්ත යන කලා ශිල්ප හැඳින්වීමට යොදයි. සංදල්බර් ප්‍රදේශයේ මූලාරම්භය වූ ජුමර් නැටුම ඈත අතීතයේ සිටම පංඡාබ්හි වැදගත් තැනක් හිමි කර ගනී. ජුමර් රිද්මයට අනුව රඟදෙන මෙම නැටුම්, ඉතා විචිත්‍රවත් ලෙස බෙරව‍ාදකයා මැදි කොට ගනිමින් හා ගායනා කරමින් වෘත්තාකාර හැඩයට රංග ගත වේ.

ලුඩ්ඩි නර්තන ශිල්පීන් එක් අතක් තම හිස පිටුපසද අනෙක තම මුහුණ ඉදිරියෙන්ද තබා ගෙන, හිස හා බාහු වනමින්, නයෙකු ලෙස ඇදෙමින් රංගනයෙහි යෙදේ. චාම් වූත් දිගින් යුත් ලිහිල් කමීසයක් රංග වස්ත්‍රාභරණ ලෙස භාවිතා කරයි. ජුමර් කලාවෙහි මෙන්ම මෙහිදීද ඩෝලා වාදකයා මැදිකොට ගනිමින් රංගනයෙහි යෙදෙති.

ගිඩ්ඩා නර්තන සම්ප්‍රධාය කාන්තාවන්ට විශේෂ වූ ශෛලියකි. මෙහිදී සියළුම නැටුම් ශිල්පීන් තම පවුල්වල නෑනාවරුන්ගේ සිට දේශපාලනඥයන් දක්වාම ඇතිවන විවාදයන් නිරූපණය කරයි.මෙහි රිද්මය බෙර නාදය මෙන්ම නැ‍ට්ටුවන්ගේ අත්පොලසන් නාදය මත රඳා පවතී‍.

ජුල්ලි නැටුම් ශුද්ධත්වයට පාත්‍ර වූ මුස්ලිම්වරුන් ඔවුන්ගේ ආරාම / වාසස්ථානවල ඉදිරිපත්කරන නැටුමකි. කාල වර්ණ දිගු ලෝගුවලින් සැරසී සිටින මොවුහු වාඩි වී සිට මෙම රංගනයන් දක්වති. තවද, ස්ව කැමැත්තට අනුව මෙම නැටුම් ඒක පුද්ගල ප්‍රසංග ලෙසද රඟ දක්වති.

දාන්තර් යනු විවාහ ප්‍රීති උත්සවවලදී යෙදෙන නැටුමකි. පුරුෂයන් දෙදෙනෙකු විචිත්‍ර වූ ලී පතුරු අතින්ගෙන එකිනෙකා වටේ යමින් නර්තනයෙහි යෙදේ. වෘත්තාකාර ලෙස වටේ යමින් නැටුමෙහි යෙදෙන මොවුහු , අත් ඔසවා දෙවුර සහ හිස සොලවමින් උස්හඬින් ඝෝෂා කරති.

පංජාබයේ හදවත ලෙස දමල් නැටුම් හැඳින්විය හැක.මෙය අව්‍යාජ වූ පංජාබ් ජන නැටුම් ගණයට අයත් වේ. සංදල්බාර්හි කාන්තාවෝ පාරම්පරික සාමි නර්තන ශිල්පීන් වන අතර වර්ණවත් කුර්තා සහ ලිහිල් වී විහිදෙන “ ලෙහෙන්ගා” නම් වූ සායකින් සැරසී සිටී.

කිත්ලි නැටුම්හි, කාන්තාවන් දෙදෙනෙකු දෙඅත් මාරු කොට එකිනෙකාගේ අත් අල්ලාගනිමින් හා කරකැවෙමින්ද, ජන ගී ගායනා කරමින්ද රංගනයෙහි යෙදේ. විශේෂ අවස්ථාවලදී කාන්තාවන් හතර දෙනෙකු පවා සහභාගී වේ.

සීක්වරුන්ගේ සටන් කලාවක් නිරූපණය කරමින් කඩු, ලී කෝටු හා කිණිසි භාවිතා කරමින් ඉදිරිපත් කරන නැටුමක් ලෙස ගක්ත නැටුම් කලාව හැඳින්විය හැකිය.ඉතිහාසඥයන්ගේ මතයට අනුව, පස්වන ගුරු “ගුරු අර්ජන් දේව්” ගේ අභාවයට පසු හයවන සීක්ගුරු මෙම නැටුම් කලාව ආරම්භ කරන ලදී. පංජාබ්වරුන්ගේ නිවාඩු දිනයන්හිදී මෙම නැටුම් ඉදිරිපත් කරන අතර බොහෝ පිරිස් රැස්වන ස්ථානවලදී මෙම නැටුම් ශිල්පීන් දැක ගත හැකිය.

මීට අමතරව බංග්‍රා නැටුම් තවත් බොහෝ සංකීර්ණ අංගවලින් යුක්ත වේ. ඒවා අතරින් “මෝර” (මොණරා) නැටුම් ඉතා ප්‍රසිද්ධියක් උසුලයි. එක් ශිල්පියෙකු තව ශිල්පියෙකුගේ උරහිස මත හිඳ ගනිමින්ද, තවත් ශිල්පියෙකු පාදයන්ගෙන් මුල් ශිල්පියාගේ බ‍ඳෙහිද එල්ලී සිටී. ශිල්පීන් දෙදෙනෙකු ඉදිරිපත් කරන පිරමීඩ, කුළුණු ආදී වස්තු නිරූපණය ද බෙහෙවින් නිරූපණය වී ඇත.

පද රචනය[සංස්කරණය]

බංග්‍රා පද්‍ය සෑම එකක්ම ගැයෙනුයේ පංජාබ් විසිනි. සාමාන්‍යයෙන් ප්‍රේමය, සබඳතා, නර්තනය සහ විවාහය යන සමාජීය පසුතලයන් පදනම් කොට මෙම පද්‍ය රචනා වී ඇත. මීට අමතරව පංජාබ් අභිමානය හ‍ා පංජාබ් වීරයන් වෙනුවෙන් කැපවූ බොහෝ බංග්‍රා ගීත වේ. තවද මෙම ගීත රචනා පංජාබ් සංස්කෘතියට අනුව සැකසී ඇත. තවද බොහෝ බංග්‍රා ගීත උධම් සිංග් හා භගත් සිංග් ආශ්‍රයෙන් ලියවී ඇත.මීට අමතරව දුපට්ටා පැලඳි සුරූපී කාන්තාවන්ගේ රැඟුම් පිළිබඳවද බංග්‍රා ගීතච රචනා වී ඇත.

බංග්‍රා ගායකයන් දකුණු ආසියාතික ගායකයන්ගේ පිලිවෙලින් ඔබ්බට ගොස් ඔවුන්ටම ආවේනික වූ ගැඹුරු කටහඬකින් මෙම ගී ගායනා කරයි. කිසිඳු තැතිගැන්මකින් තොරව අභිමානයෙන් යුතුව ඔවුන් මෙම ගීත ගයති. තවද ඔවුහු ශබ්ද ඝෝෂා නගමින් හා රඟදෙමින්ද, “හෙයි හෙයි හෙයි” “බල්ලේ ,බල්ලේ”, හෝ “ච්,ච්” ලෙසද ශබ්ද පිටකරමින් මෙම බංග්‍රා ගී ගයති.

"http://si.wikipedia.org/w/index.php?title=බංග්රා&oldid=269477" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි