පෞද්ගලික විලාසිතා උපදේශක

විකිපීඩියා වෙතින්

පෞද්ගලික විලාසිතා උපදේශකයෙකු යනු නව විලාසිතාවන් , ඇඳුම් පැළඳුම් , වර්ණ සහ ශරීර අලංකරණය සඳහා යොදා ගන්නා විවිධ ආලේපන සහ ක්‍රමවේද ආදිය පිළිබඳව විවිධ පුද්ගලයන් හට උපදෙස් සපයන්නෙකු වේ.

පෞද්ගලික විලාසිතා උපදේශක වෘත්තිය පිළිගත් වෘත්තියක් වන නමුත් මෙම වෘත්තිය වේෂ නිරූපණ ශිල්පය සමග පටලවා ගත යුතු නොවේ. වේශ නිරූපණ ශිල්පීන්ගේ ප්‍රධාන කාර්යය වනුයේ ප්‍රධාන විලාසිතා නාමයන් සඳහා විලාසිතා නිරූපණ ඡායාරූප සම්බන්ධව ක්‍රියා කිරීමයි.

පෞද්ගලික විලාසිතා උපදේශකයෙකු කිසියම් විලාසිතා සන්නාමයක් සම්බන්ධව ක්‍රියා කරනු වෙනුවට කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සිදුකරයි. විශේෂයෙන්ම වර්තමානයේ සුප්‍රසිද්ධ පුද්ගලයින් සඳහා විලාසිතා උපදේශකයන් ලෙස ක්‍රියා කරන ට්‍රිනී සහ සුසානා සහ ගොක්වෑන් ආදීන් ප්‍රසිද්ධියට පත් වීමත් සමග සාමාන්‍ය ජනතාව අතර එක් එක් පුද්ගලයන්ට ගැලපෙන විලාසිතාවන් නිර්මාණය කිරීම පිළිබඳව ඇති දැනුම සහ උනන්දුව ඉහළ ගොස් ඇත. මේ සමගම පෞද්ගලික විලාසිතා උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීම ලාභදායී ක්‍රියාවක් මිස අනවශ්‍ය වියදමක් නොවන බව සිතීමට පෙළඹෙන සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මේවන විට මෙම තත්ත්වයට ගැලපෙන පරිදි සාමාන්‍ය පුද්ගලයින්ට ද තම සේවය ලබා දීමට පෞද්ගලික විලාසිතා උපදේශකයින් ක්‍රියා කරමින් සිටිති. සාමාන්‍යයෙන් පෞද්ගලික විලාසිතා උපදේශකයින් කිසියම් පුද්ගලයෙකුට ගැලපෙන වර්ණයන් , ඔහුගේ හෝ ඇයගේ ශරීර ස්වභාවය වර්ගීකරණය , ජීවන රටාවට ගැලපෙන විලාසිතා සම්බන්ධව උපදෙස් ලබාදීම , විවිධ ආලේපන වර්ග ආදිය පිළිබඳ උපදෙස් සැපයීම සහ පුද්ගලයාට ගැලපෙන ඇඳුම් පැළඳුම් ආදිය තෝරා මිලට ගැනීම සම්බන්ධ සේවා සැපයීම ආදිය සිදු කරති. පෞද්ගලික විලාසිතා උපදේශකයෙකුගේ අරමුණ වන්නේ තම සේවා දායකයාට ඔහුගේ හෝ ඇයගේ ශරීර ස්වභාවයට සහ එදිනෙදා කටයුතුවලට ගැලපෙන ඇඳුම් විලාසිතාවන් මොනවාද යන්න පැහැදිලි කර ඔහුට හෝ ඇයට තම බාහිර ස්වභාවය පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගැනීමට ආධාර දීමයි.

ලොව පුරා පෞද්ගලික විලාසිතා උපදේශකයින් ගණනාවක් සිටින අතර ක්‍රමයෙන් එම සංඛ්‍යාව ඉහළ යමින් පවතී. කිසියම් යහපත් මට්ටමකට ලඟා වූ පෞද්ගලික විලාසිතා උපදේශකයෙක් අනිවාර්යයෙන්ම ඔවුන් සඳහා වන කිසියම් සංවිධානයක සාමාජිකත්වය ලැබූවෙකු වේ. මෙවන් සංව්ධානයක් සඳහා උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ “The Federation of Image Consultants” සංවිධානය හඳුන්වා දිය හැකිය. මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුහුණුව ලබා ගත හැකි පාසැල් පවතින අතර සාමාන්‍යයෙන් පුහුණු කාලය මසක් දක්වා පමණ විය හැකිය.