පාමෙනියිඩස්

විකිපීඩියා වෙතින්
පාමෙනයිඩිස් Παρμενίδης
පාමෙනයිඩිස්
උපතc. 515 / 540 BC
යුගයපූර්ව-සොක්‍රටීක දර්ශනය
ප්‍රදේශයබටහිර දර්ශනය
ගුරුකුලයඊලියාටික ගුරු පරම්පරාව
ප්‍රධාන ලැදිකම්
පාරභෞතික විද්‍යාව, සත්භාව විචාරය
සංගණ්‍ය අදහස්
නියතවාදය, පරම යථාර්ථවාදය

පාමෙනයිඩිස් ක්‍රි. පූ. 515-440 දක්වා විසූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහු ඉපිද ඇත්තේ ග්‍රීසියේ දකුණුබඩ වෙරළේ ඊලියා නම් නගරයේ ය. ඊලියාටික දාර්ශනික ගුරු පරම්පරාවේ නිර්මාතෘවරයා ලෙසින් ඔහුව සැලකිල්ලට පාත්‍ර වෙයි. ඔහුගේ කෘති අතරින් ඉතිරි වී ඇත්තේ එකම එක ගද්‍යයක් පමණි. එය "ස්වභාව ධර්මය ගැන" වූ ශීර්ෂයෙන් ලියන ලද්දකි. පද්‍යයන් අටසියයකින් පමණ එයින් ඛණ්ඩ එකසිය හැටක් ශේෂයන් ලෙසින් ඉතිරි වී ඇතැයි සැලකේ. ප්ලේටෝ වැනි පසුකාලීන දාර්ශනිකයන් පාමෙනයිඩීස්ගේ ගද්‍යය වලින් කොටස් තමන් විසින් ද ලියා තබන ලදි. ඒ ගද්‍යයෙන් පාමෙනයිඩීස් යථාර්ථය ගැන ආකල්ප දෙකක් ඉදිරිපත් කරයි. ස්ව ප්‍රත්‍යයෙන් අවබෝධ වෙන සත්‍යයක් හැටියට යමක පැවතීම ඔහු පෙන්වා දෙයි. එය නිරීක්ෂණයකින් ළඟා වෙන්නක් නොව විචාරයේ සත්‍යයක් යැයි හේ පෙන්වයි. එම සත්‍යය එසේ නොවෙතැයි කීමට ස්ව-විසංවාදයකින් තොරව නොහැකි යැයි හේ පැහැදිලි කරයි. යමක් 'එසේ නැතැයි' කීමේ දී කිසිත් පවතින්නේ නැතැයි ගම්‍ය වෙයි. එහෙත් එසේ කියන්නා එවැනි අවස්ථාවක දී කුමක් හෝ ඇති බව කියා ඇතැයි පැහැදිලි වෙයි.

පාමෙනයිඩීස් විශ්වාස කළේ පැවැත්ම යනු යථාර්ථාවදී වූවක් ලෙසය. සිතන දෙයක් පැවතිය හැකිය. 'කිසිවක් නැත' යන්න ගැන ශුන්‍ය අර්ථයකින් සිතනු නොහැකි නිසා කුමක හෝ පැවැත්මක් තිබිය යුතුය. එවැනි පැවැත්ම හේ නිර්මාණය නොකරන ලද, විනාශ කරත නොහැකි, සදාකාලික වූ, විභේදනය කළ නොහැකි පැවැත්මක් ලෙස සැලකීය.

පාමෙනයිඩීස්ට අනුව හිස් අවකාශයක් යනු තිබිය නොහැකි සංකල්පයකි. අවකාශය යනු පැවත්මකින් යුතු වූවකි. කිසිවක් නැත යන අදහස ස්ව-විසංවාදී වූ අදහසක් යැයි හේ සැලකීය. ලෝකයේ පෙනුම ගැන කියූ හෙතෙම පුද්ගලයාගේ සංවේදනයන් තුලින් අපට දැනගත හැකි සංකල්ප ගැන දැනුම අසත්‍යය යැයි ද රැවටිලි සහගත යැයි ද කීය.

පුද්ගලික තතු[සංස්කරණය]

එවක විසූ අනෙකුත් ග්‍රීක දාර්ශනිකයන් හා සමාන වෙන පාමෙනයිඩීස් ද රදළ වංශවත් පවුලකින් පැවතියෙකි. ඔහුගේ පියා පිරෙස් නම් වූවෙකි. තියෙෆ්‍රේස්ටස් සිය එපිටොම් හි දක්වන්නේ පාමෙනයිඩීස් ඇනැක්සිමැන්ඩර්ගේ සිසුවෙක් ලෙසිනි. ඔහු ක්සෙනොපේන්ගේ සිසුවෙක් වුවා යැයි සැලකුණ ද ඔහුගේ අදහස් අනුගමනය කරන ලද්දෙක් නෙවන්නේ ය.

සොක්‍රටීස් තම තරුණ කාලයේ දී එවක මහලු වියේ සිටි පාමෙනයිඩීස් සමඟ කතාබහෙන් ඔහුගෙන් බොහෝ දේවල් උගත් බව ප්ලේටෝ විසින් සඳහන් කර ඇත.[1] ප්ලේටෝ විසින් පාමෙනයිඩීස් වයස හැටපහක යැයි ද ඔහු හා කතාබහේ යෙදෙනා වයස විස්සක පමණ වූ සොක්‍රටීස් "එවක දී ගොඩක් තරුණ" යැයි ද සඳහන් කරයි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. බටහිර දර්ශන ඉතිහාසය, බට්‍රන්ඩ් රසල්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1970 පිටු 62
  2. http://plato.stanford.edu/entries/parmenides/#LifWri
"https://si.wikipedia.org/w/index.php?title=පාමෙනියිඩස්&oldid=227219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි