ප්‍රංශ විප්ලවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්‍රංශ විප්ලවය

බැස්ටීලය කඩා වැටීම, 14 ජුලි 1789
Other names භීෂණ සමය; ප්‍රංශ විප්ලවය
Participants ප්‍රංශ සමාජය
Location ප්‍රංශය
Date 1789–1799
Result

Abolition ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමය ආලෝපනය වී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවීම. බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් Enlightenment පෝෂිත වූ "අනන්‍යසන්තක අයිතීන්" හා පුරවැසිකම යනාදි සිද්ධාන්තයන් මත පදනම් වූ රැඩිකල් සමාජයීය වෙනස්කම් ඇතිවීම. citizenship and inalienable rights.
Armed conflicts අනෙකුත් යුරෝපීය දේශ සීමාවන් සමඟ වූ ප්‍රංශය යුද්ධ

Napoleon Bonaparte නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ එම්ප්‍රදෝරු රජු වශයෙන් බලයට පත්වීම.

ප්‍රංශ විප්ලවය (ප්‍රංශ: Révolution française;) 1789–1799 දී ප්‍රංශයේ පැවති රැඩිකල්වාදී සමාජයීය සහ දේශපාලන පෙරළියයි. සියවස් ගණනාවක් ප්‍රංශයේ වූ පරම ආණ්ඩු සම්ප්‍රදාය වසර තුනක් ඇතුලත දී කඩා වැටුණි. ප්‍රංශ සමාජයේ වූ වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය, ක්‍රිස්තියානි පල්ලියේ බල වරප්‍රසාදයන් යනාදී ශතක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් සහ වාමාංශික අදහස් ඇති දේශපාලන කණ්ඩායම් අතින් මහත් වෙනසකට භාජනය විය. බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් පෝෂිත වූ රදළයන්, ධනයට හිමිකම් කිව්වත් රදළ පංතියට හිමිකම් නොකී බුර්ජුවාසී පංතිය සහ පල්ලියට හා ආණ්ඩුවට බදු ගෙවන බරෙන් පීඩිතව සිටි ගම්බද වැසියන් යනාදීන් විප්ලවයේ හවුල්කාරයෝ වූහ. ඔවුන් සටන් වැදුනේ වැඩවසම් ක්‍රමයේ බදු එකතු කරන අයිතිය තිබි රදළ පංතිය, රාජාණ්ඩුවට හා පල්ලි සංස්ථාවට එරෙහිව ය.

අනතුරුව පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වාමාංශික රැඩිකල්වාදී කණ්ඩායම් විසින් බෙදුම්වාදී අදහස් වලින් එකිනෙකා හා විරසක වූහ. ඒ කාලයේ දී එනම් 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ භීෂණ පාලන සමයක් (Reign of Terror) පැතිර ගියේය. එහි නායකත්වය දැරුවේ ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙක් වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් නැමති ජැකෝබියන් සමාජයේ සාමාජිකයෙකි. 16,000 සිට 40,000 ක් අතර ජනතාවක් මේ සමයේ දී ජනතා විරෝධී යැයි මරණයට පමුණුවන ලදි. රාජාණ්ඩුව, රදළ පංතිය හා ආගමික සංස්ථාව පළවා හැර ඉතා ඉක්මණින් කැඳවා ගත් සමානාත්මතාවය, පුරවැසිකම හා අනන්‍යසන්තක අයිතීන් යන සංකල්ප වලින් රට පාලනයේ දී අවුල් වියවුල් පිරි සමයක් ප්‍රංශ අධිරාජ්‍යයේ දේශ සීමාවන් පුරා පැතිර ගියේය. ජැකෝබියන් සමාජයේ කඩා වැටීමත් හා මැක්සිමිලියන් රොබෙස්පියෙර්ගේ හිස ගසා දැමීමත් සමඟ විශේෂ පාලන කමිටුවක් මඟින් 1795 සිට 1799 දක්වා ප්‍රංශ දේශ සීමාවන් පාලනය විය.

ප්‍රංශ යුද්ධ වලින් කැපී පෙනුනු හමුදා නායකයෙක් වූයේ නැපෝලියන් බොනපාට් ය. ප්‍රංශ දේශ සීමාවන් තුල කැඩි බිඳී ගිය නීතිය නැවතත් ස්ථාපිතය සඳහා ජනතාව විසින් උරැමයෙන් රජකමක් නොහිමි නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ එම්ප්‍රද්‍යෝරු රජ වශයෙන් පත් කර ගත්හ.

විප්ලවයට පෙර ප්‍රංශ සමාජය[සංස්කරණය]

1774 දී ප්‍රංශය යුරෝපයේ ජනගහණයෙන් වඩාත් ම අධික වූ (මිලියන 25 ක්) සහ වඩාත්ම සමෘද්ධිමත් වූ රට වූයේය. පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. එහි ජනගහණය 650,000 කි. මුළු ප්‍රංශයේ ජනතාව පංති 3 කට අයත් වූහ. පූජක පක්ෂය 130,000 ක් පමණ සහ රදළයන් 400,000 ක් පමණ වෙද්දී තෙවැනි තලයේ නොහොත් (Tier État) වූ පිරිසක් ආර්ථික අතින් නැඟ ආවත් ඊට සරිලන දේශපාලන බලයෙන් හා සමාජයීය වැදගත්කමෙන් යුතු වූයේ නැත.[1]

බුර්ජුවාසී නොහොත් ආර්ථිකයෙන් ශක්තිමත් වූ උගත් සමූහයක් නියෝජනය කළ Marie-Jeanne Phlippon Roland නොහොත් මැඩාම් රෝලන්ඩ් [2] රැඩිකල් ගිරොන්ඩින් සමාජය නියෝජනය කරන්නියකි. ඇය රදළ කාන්තාවකගේ නිවසට ලැබි ආරාධනයෙන් ගිය විට එහි දී සේවකයන් හා කන්න සිද්ධ වූ කතන්දරය රදළයන්ට එරෙහිව සෙසු ජනතාව උසි ගන්වන්නට යොදවා ගැනුණි. 1764 දී මැඩාම් රෝලන්ඩ්, වැනි අය ගැවසුන සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් නොහොත් Salon[3] නමින් හැඳින්වුන ස්ථාන පැරිසියේ ගහණ විය. ප්‍රංශයේ බුර්ජුවාසීයන් දාර්ශනික හා සාහිත්‍ය හමුවන් පැවැත්වූයේ ඒවායේ දී ය. රදළ නොවූ එහෙත් ධනවත් හා උගත් වූ ජැකෝබියන් හා ගිරොන්ඩින් වැනි සමාජයන් හි සාමාජිකයන් වූ බුර්ජුවාසිය “නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය” ඉල්ලුවේ තමන්ට ඉහළින් වූ අය එක්ක සමාන වෙන්නට මිසක තමන්ට හා පහළින් වූ අයට තමන් හා සමාන වෙන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.

රදළ වූ ධනවත් පංතියට කාඩිනල්, අග රාජගුරු ප්‍රසාදී, රාජගුරු ප්‍රසාදී, ආශ්‍රමාධිපති වැනි ඉහළ තනතුරු දරනා පූජ්‍ය පක්ෂය ද අයත් වූහ. ආගම් සංස්ථාවේ දුප්පතුන් වූයේ ඉහළ තනතුරු නැති බහුතර පූජකවරයන් හා පල්ලි බාරකරුවන් ය. විප්ලවයේ දී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවකාරීන් හා එකතු වූහ.

1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ වලින් යුරෝපීයයන් බංකොළොත් වී සිටියහ. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යාගේ භාණ්ඩාගාරයේ මුදල් එක පැත්තකින් හිස් වෙද්දී ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් එහි රජ හා ප්‍රභූන් අතින් ද, ඇමෙරිකාවේ යුද ආධාර වලට ද වැය වී හිස් වෙන්නට පටන් ගති.

ඒ වියදම් කළ ප්‍රංශ රදළයන් අතරින් නැඟී ආ විනිශ්චය පදවි හා මන්ත්‍රණ සභා තනතුරු මුදල් ගෙවා ලබාගත් අය රදළ වස්ත්‍ර හැඳි (noblesse de robe) නමින් හැඳින්වුනු පවුල් හාරදහසක් පමණ විය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට රදළයන්ට අධිකරණ සහ පරිපාලන තනතුරු මුදල් වලට විකිණුවේය. ඒ නිසා රටේ අල්ලස් හා දූෂණ ගහණ විය.

රටේ සදාචාර වර්ධනයට පල්ලි වල සහාය නිතරම අපේක්ෂා කළ ඔටුනු පැළඳි ලෝකය පල්ලිය නඩත්තු කළේ ජනතාවගේ බදු වලිනි. එහෙත් පල්ලියේ ඉහළ තනතුරු හා ආර්ථික වාසි රදළයන්ටත්, පල්ලි නඩත්තු කරන බදු ගෙවීම ගම්බදවැසියන්ටත් පැවරෙද්දී සහ කතෝලික පල්ලියේ බැහීමත්, පොතෙස්ත්‍රන්ත්‍ර පල්ලියේ නැඟීමත් අතර ගැටුම් ඇති වෙද්දී, ප්‍රංශයේ හියුගනොට් (Huguenot) නම් ආගමික භක්තියන් 200,000 ක් රට අත්හැර ගිහින් තිබුණි. ඒ ප්‍රංශය හැරදමා ගිය මුල් සංක්‍රමණික රැල්ලකි. ජාතික පල්ලිය කුමක් දැයි වික්ශිප්තයෙන් විසූ ප්‍රංශ ජනතාව පල්ලි අත්හැර මිථ්‍යා විශ්වාස වන්දනාවන්ට නැවත බැස්හ.

1789 ජූලි මාසයේ දී ප්‍රංශයේ ඇවිදින්නට යන ආතර් යන්ග් නම් ගත්කරුවාට ගම්බද කාන්තාවක් හමුවෙයි. වැඩවසම් ක්‍රමයේ බදු ගෙවීම් නිසා බංකොළොත්බවේ කට ළඟ සැමදාම සිටින්න වීම ගැන ඇය පැමිණිලි කරයි. මේ බදු ව්‍යසනයෙන් ගැලවෙන්නට කවුරු හරි දැනුමැති පිරිසක් විසින් කුමන හෝ යහපත් තීරණයක් ගනු ඇතැයි අහිංසක ඇය විශ්වාසය ද පළ කරන බව ඔහු සටහන් කරයි.[4]

දහසය වැනි ලුවී රජ රටක් පාලනය කරන්න අපේක්ෂාවෙන් සිටියේ නැත. ඔහුගේ පියාගේ 1765 දී සිද්ධ වූ ඉක්මන් අභාවයත්, ඔහුගේ සීයාගේ 1774 දී සිද්ධ වූ යල්පැන ගිය අභාවයත් නිසා වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වෙයි.

විප්ලවයෙන් ජනතාව හිමිතැන 'සියල්ලම' (tout) යැයි කියා ඉල්ලුවේ රටේ වැඩිපුර ඉන්නේ 'තෙවැනි තලය' (Tier État) නොහොත් රදළ/පූජක නොවන ඉතිරි සියල්ලම බැවින් රටේ සම්පත් සියල්ලම ඒ සියළු අයට ලැබිය යුතු බවයි.

මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ජනෝඝ උන්මාදයෙන් පිරි ජැකෝබින් සමාජයේ සාමාජිකයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.

“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” කියූ ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන නාමයෙන් දියත් කරන ලද, එහෙත් ඒවා අඩංගු නොවූ, රදළ පංතියට ඇති වෛරයෙන් පමණක් පිරුණු ප්‍රංශ විප්ලවයේ වඩාත් ම බලගතු පුද්ගලයා වූයේ ඔහුයි.

16 වැනි ලුවී රජු තමන්ටත් සිය රටවැසියන්ටත් හිමිතැන කුමක්දැයි විමසුවෙකි. වැඩවසම් මිනිසුන් අතර අසමාන වූ ලැබීම් ගැන පහදන්නට ජනතාවගේ අධ්‍යාපනය බාර වූයේ පල්ලියටයි. යහපත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලන්නටත් බාරවූයේ පල්ලියටයි. 16 වැනි ලුවී එය තමන් ඇදහූ කතෝලික පල්ලියට සීමා නොකර පොතෙස්ත්‍රන්ත හා යුදෙව් ආගම් වලටත් අවසර දුන්නේ ය. ජනතාව විසින් තෝරාපත් කරගන්නා ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත් ජනතාවත් අතර ගැටළු විසඳන්නට උත්සාහයක් ගත්තේ ය. තමන් යටතේ වූ වහලුන් නිදහස් කළේය. එහෙත් රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකි අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමේ ස්ථාන පටන් ගත්තේ ය.

රදළයන්ට හිමිතැනක් නැතැයි කියා, තම හිමිතැන වෙනුවෙන් සටන් වැදි එහෙත් තමන්ට පහළ මට්ටමේ ඉන්නා පුරවැසියන්ගේ හිමිතැන කුමක්දැයි නොවිමසූ කෝපි කඩවල් වල එකතු වූ බුර්ජුවාසිය (ගිරොන්ඩන් කල්ලියේ මැඩාම් රෝලන්ඩ් සහ ජැකෝබින් කල්ලියේ රොබෙස්පියර් යනාදීන්) බුද්ධිය විචාරයෙන් වෝල්ටෙයාර් (Voltaire) වැන්නන් කියන්නේ කුමක් දැයි වටහා නොගෙන නිදහස ගැන දාර්ශනික අදහස් අගයන රැල්ලට එක්වූහ. වෝල්ටෙයාර් ආගම හා රජය වෙන්කළ යුතු යැයි කීවෙකි. සියල්ලන්ගේ ම නිදහස් අයිතීන් රුකිය යුතු යැයි කීවෙකි. කැමති ආගමක් අදහන්නට ඉඩක් තිබිය යුතු යැයි කීවෙකි. අදහස් ප්‍රකාශයට අවසරය තිබිය යුතු යැයි කීවෙකි. එහෙත් රදළයන් හා සමතැන් රිසි බුර්ජුවාසියේ විකෘතියෙන් පෙළෙනවුන්ට ඒවා වැටහුනේ නැත. ඔව්හු සැමට නිදහස යන්න අවියක් කරගත්තේ රදළයන් හිස් සිඳ තමන්ට ඒ බලය හා සමාජ තත්වය ගන්නටය.

1788 වසර දී නියං සමයක් පැමිණ ප්‍රංශය පුරා වගාබෝග අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි. ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගත්හ.

1789 ගිම්හානයේ දී නීතියක් නැති භීෂණ සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් වූ සමයේ (Great Fear) පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ.

විප්ලව සමය[සංස්කරණය]

ප්‍රංශ විප්ලවයේ පළමු අදිරය සේ සැලකෙන්නේ රදළයන් විසින් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ය. එහි දෙවැනි අදියර සේ සැලකෙන්නේ රජුගේ බලතල සීමා කරන්නට පිහිටුවා ගත් ජාතික සම්මේලනය විසින් 1789 ජූනි 20 වැනිදා ටෙනිස් පිටියේ ගිවිසුම (ප්‍රංශ: Serment du jeu de paume) නොහොත් ප්‍රකාශයයි. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූහ. අත්සන් නොතැබි එකම පුද්ගලයා වූයේ Joseph Martin-Dauch නැමැත්තා ය. එයට ටෙනිස් පිටියේ ගිවිසුම යැයි නම වැටෙන්නේ වාර්සෙයි මාලිගාව අසල සෙන්ට්-ලුවි දිස්ත්‍රික්කයේ වූ ටෙනිස් පිටියක ඔවුන් අටවා ගත් සම්මන්ත්‍රණ කාමරයක දී සම්මේලනය පැවැත්වුන නිසායි.

බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ සිරකඳවුරකි. බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.

මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ගියහ.

1790 දී ස්ථාපිත කරගත් විප්ලවීය ව්‍යවස්ථාවෙන් ඔවුන් රජුගේ බලය අවම කළත් උපතින් හිමිවන ඔටුන්න අහෝසි කළේ නැත. බංකොළොත් වූ භාණ්ඩාගාරය පුරවන්නට දැනට ධනවත් එකම කොටස වූ පල්ලිය වෙත හැරුනහ. ෆ්‍රෑන්ක් බිලියන තුනක් වටිනා පල්ලියේ බූදලය රජය සන්තක කළහ.

1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය.

අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ දහසය වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.

දහසය වැනි ලුවී රජු ආඥාදායකත්වයෙන් ඉවත් වෙන්නට උත්සාහයක් ගත්තෙකි. ප්‍රබුද්ධ වොල්ටෙයාර් කියන අදහස් වලට සවන් දෙන්නට පටන් ගත් උත්සාහයට ඉඩක් නොදී ඔහුගේ හිස ගිලටිනයට තැබූ ඒ වකවානුව පසු කරමින් නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය සටන් පාඨය කරගත්තවුන් ගෙනාවේ “මට එරෙහි නම් ඔබ ද්‍රෝහියෙක්” යන සමයයි. එය භීෂණයෙන් රට පාලනය වූ සමයකි. සම්පූර්ණ හා සාධාරණ වූ නඩු අහන්නේ නැතිව මූණිච්ඡාවට පැවැත් වූ නඩු වලින් වහාම මරණය පැමිණවීමෙන් ප්‍රංශය පුරා මරණීය දඬුවම් 25,000 ක් සිද්ධ විය. සියළු චණ්ඩ ක්‍රියා වලින් එළියට ආවේ රදළයන් වෙත තිබූ අප්‍රසාදය සහ විරෝධයයි.

විරුද්ධවාදී දේශපාලන පැති වූ ජැකොබින් කල්ලිය හා ගිරොන්ඩින් කල්ලිය අතර වූ ආරවුල් නිසා ඔවුනොවුන් ඇණ කොටා ගත්හ. මහජන ආරක්ෂා කමිටුවල බලය අවම කරමින් මැක්සිමිලියන් රොබෙස්පියර් ආඥාදායකයා විය. තම අදහස් පිළිනොගන්නා හැම කෙනෙකුගේ ම හිස් ගසා දැමුණි. බුර්ජවාසී මැඩාම් රෝලන්ඩ් දේශද්‍රෝහී යැයි හංවඩු ගැසී ඇයගේ හිස බුර්ජුවාසීන් අතින්ම ගිලටිනයට අසුවිය.

1793 සැප්තැම්බර් 5 සිට 1794 ජූලි 28 දා දක්වා තිබුනේ ප්‍රංශයේ භීෂණ පාලනයයි. පැරිසියේ 2,639 ක් ඇතුළුව මුළු ප්‍රංශයේ 16,594 ක් මිනිස් ජීවිත ගිලටිනයෙන් මරා දමන ලදි.

ප්‍රංශ නිදහස් අරගලය දියත් කරන්නට ඇමෙරිකන් නිදහස් අරගලයට සහාය දුන් ගිල්බට් ඩු මෝටියේර් නොහොත් ලාෆායෙට් වැනි රදළයන් ද දායක වූහ. පැරීසියේ සිය මන්දිරයේ දොරටුව අසලින් ඇමෙරිකන් නිදහස් ප්‍රකාශනයේ රාමු කරන ලද කොපියක් තැබූ ලෆායෙට් එය අසලින් ඉඩක් හැදුවේ ප්‍රංශ අයිතීන්ගේ ප්‍රකාශනය තබන්නට කියාය. ඇමෙරිකන් අරගලයේ සටන් වැදි, ප්‍රංශයට ඒකීය පුද්ගලයාගේ නිදහස් අයිතීන් ගෙන එන්නට වෙහෙසුන අයවත් ගිලටිනයට හා සිරබාරයට ගැනෙද්දී ලාෆායෙට් ඔස්ට්‍රියාවට පැන ගියේය.

තමන් ආඥාදායකයෙක් බව නොදැකි මැක්සිමිලියන් රොබෙස්පියර් Cult of the Supreme Being යනුවෙන් ආගමක් ස්ථාපිත කරන්නට පටන් ගති. එය නව ප්‍රංශ ජනරජයේ රාජ්‍ය ආගම බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහුගේ බහින කලාව පටන් ගන්නේ එතැන් පටන් ය. මහා සභා මහජන ආරක්ෂා කමිටුවට උඩින් යන ඔහු 22 Prairial නම් නීති පනතකින් මහජන ආරක්ෂා කමිටුව මඟින් ගෙන එයි. එම පනත යම් පුරවැසියෙක් විප්ලවයට විරෝධී යැයි සිතූ පමණින් වැඩි නඩු විභාගයකින් තොරව මරණයට පත් කරත හැකි වූවකි. ඒ නිසා ජනතා ආණ්ඩුවෙන් මරණයට පත් වූ අය දෙගුණයකින් වැඩිවිය. ඔහුව ද ජනරජයට එරෙහි වූ කුමන්ත්‍රණකරුවෙක් ලෙසින් නඩු විභාගයට ගැනෙයි. එහි දී සභාවේ ඉන්නා අය කුමන්ත්‍රණකරුවන් යැයි ඔහු චෝදනා එල්ල කරයි. 1794 ජූලි 28 වැනිදා නඩු විභාගයක් නොමැතිව රොබෙස්පියර්ව ගිලටිනයට නියම වෙයි. පැරිසියේ මෙට්‍රෝ නැවතුම් පළක් හැරෙන්නට ඔහු වෙනුවෙන් ඉදි වු ස්මාරක කිසිවක් ප්‍රංශයේ නැත.

ප්‍රංශ අධිරාජ්‍ය්‍යා වන නැපෝලියන් බොනපාට්[සංස්කරණය]

1798 දී නැපෝලියන් ඊජිප්තුව ආක්‍රමණයට යවන ප්‍රංශ හමුදා අංශය බාරව සිටි ජනරාල්වරයෙකි. ඔහු මොල්ටාව බලා ගමනේ දී කුරානය කියවා තැන් තැන් කට පාඩම් කරගෙන තමනට හමුවන මුස්ලිම්වරුන්ගේ සිත් දිනා ගන්නට ද සමත් වෙයි. ඊජිප්තුවේ දී සටන් වලින් අනතුරුව ආපසු එන්නට නැව් මාර්ගයෙන් ඉඩක් නොතිබි නිසා ඔහු ගොඩබිමින් ආපසු ඒමට තීරණය කළේය. සිරියාව හා තුර්කිය මැදින් ආපසු ගමන් ඇරඹීය. Jaffa හි ආරක්ෂාව දෙන්නම් යැයි පොරොන්දු වී සිටි සෑම වයසකම ගැහැණු පිරිමි හා සිවිල් ජනතාව යුතු 2,441 සිරකරුවන් හා ගමන යාමට නොහැකි නිසා නැපෝලියන් ඔවුන් සියල්ලන් ම මරණයට නියම කළේය. වෙඩි උණ්ඩ මදි නිසා බයිනේත්තුවෙන් ඇණ මරන්නට නියම කළේය. මේ වාර්තාව කරන්නේ නැපෝලියන්ගේ ලේකම්වරයා විසිනි. [5] තව දුරටත් ඉදිරියට යා නොහැකිව ආපසු ඊජිප්තුවට යාමට නැපෝලියන්ට සිදුවිය. එය ජයග්‍රහණයක් සේ සමරද්දී තමන්ට වාර්තා ලියන්නට සිද්ධ වන බොරු ගැන ලේකම්වරයා වූ ලුවි විසින් නැපෝලියන්ට පැමිණිලි කරන ලදි. එහි දී නැපෝලියන් කියා ඇත්තේ ‘යාළුවා ඔයාට මේවා වැටහෙන්නේ නැහැ’ කියාය. සිරියාවේ දී මිනිසුන් තුන් දහසකගේ ජීවිත ද, ඊජිපත්තුවේ දී හත් දහසකගේ ජීවිත ද අහිමි විය. ඔහු ඉතාලියේ ජයගත් පෙදෙස් ද ආපසු යටත් වී තිබිය දී ඔහු ආපසු ප්‍රංශයට ළඟා වෙද්දී ජනතාව දැන සිටියේ එවූ නිල වාර්තා තුලින් ඔහු ලොව දිනූ නායකයෙක් ලෙස ය. ඔහු නිවරද යැයි කියන්නෝ අල්ලා ගත් පෙදෙස් අහිමි වූයේ ඔහු සටනින් ජයගෙන ආරක්ෂාවට බාරදුන් අයගේ වැරැද්ද නිසා යැයි කියති.

නැපෝලියන් කෝසිකා (Corsica) හි ඉපිද එහි ළමා කාලය ගෙවූ බැවින් ඉතාලි ජාතිකයෙක් යැයි සමහරු සැලකූහ. ඒ නිසා ඔහුට ප්‍රංශය වෙනුවෙන් ඉතාලිය පහසුවෙන් අල්ලා ගන්නට හැකිවිණ. 1779 දී නැපෝලියන් බ්‍රියෙන් (Brienne) හි මිලිටරි ඇකඩමියකින් සිය අධ්‍යාපනය පටන් ගනියි. රටේ මිලිටරි පාසැල් දොළහේ සිසුන් අතරින් තෝරාගන්නා අයගෙන් නියුතු පැරිසියේ මිලිටරි පාසැලේ (École Militaire) හි වැඩිදුර අධ්‍යාපනයට අවුරුදු 15 දී හේ වරම් ලබයි. නැපෝලියන් යුද්ධ වලින් සිවිල් වැසියන් මිලියනයක් ද, මිලිටරියේ මිලියන 2.5 ක් ද මිය ගිය හා අතුරුදහන් සංඛ්‍යාව ලෙස සැලකේ. වසර 10 ක් පුරා ප්‍රංශය නියැළි යුද්ධ සමාප්ත කිරීම ගැන 32 වියැති නැපෝලියන්ට ම ජනප්‍රසාදය හිමිවිය.

කැරලි, විප්ලව, අපරාධ, දූෂණය මර්ධනයට එකම විසඳුම ආඥාදායකයෙක් යැයි කියමින් රටේ ජනතාවගේ සිත් දිනාගන්නට නැපෝලියන් සූක්ෂමව සැලසුම් ගැසුවේ ය. කාන්තාවන් විසින් සිරබාරයට ගන්නට සමත් වූ උප්පත්තියෙන් ඔටුන්න හිමි වූ රජෙකුගේ ගෙල සිඳ දමන්නට යුහුසුළු වූ රටවැසියන් මෙවර කැමැත්ත දෙන්නේ උප්පත්තියෙන් ඔටුන්නකට උරුම කම් නැති ජනරාල්වරයෙකුට ය. ලතින් බසින් හමුදා නායකයෙක් යැයි හැඟෙන imperator වූ නැපෝලියන්ව ප්‍රංශ ජනතාව එම්ප්‍රද්‍යෝරු (emperor) රජෙකු ලෙසින් පත් කර ගත්හ. එපමණක් නොව ඔවුන් නැපෝලියන්ගේ උරුමක්කාරයන්ට පාලනය පැවරෙන ලෙසින් රටවැසියන් රටේ නීති ද වෙනස් කළහ.

නැපෝලියන් තමන් හා විවාහ නොවී එකට කල් ගෙවූ, ඒ අතර තුර දී වෙනත් අය හා එකට කල් ගෙවූ, එසේම කළින් විවාහ වී සිටිය, තමනට වඩා වසර හයකින් වැඩි, කැරීබියන් මාටිනීක් දූපතේ උපන් ජොසෆින්ව ද අගරැජින කර ගනියි. ඔවුන්ගේ සිවිල් විවාහයෙන් පසු කාලයක නැපෝලියන් එම්ප්‍රද්‍යෝරු වෙද්දී ජනතාව ඔහුගේ උප්පත්තිය ගැන සැක මතු කළහ. පාප්තුමාගේ ආශීර්වාදයෙන් තත්වය තහවුරු කරගන්නට පාප්තුමාව කැඳවන ලදි. එවිට ජොසෆින් පාප්තුමා ලවා තමන්ගේ විවාහය පල්ලියේ අනුමත කරවා ගෙන ඇත. රදළයන් හිස් ගසා දමා, ආගම එපා කියා, පල්ලියේ වස්තුව රාජ සන්තක කර නැවතත් එම්ප්‍රද්‍යෝරුවෙක් පත්කර ගන්නට ජනතාව පල්ලියේ ආශීර්වාදය සෙවූහ.

රටවැසියන්ගේ බදු බර ඉහළ ගියා මිසක විප්ලවයෙන් පසු පහළ ගියේ නැත. දහසය වැනි ලුවී සමයේ මෙන් ම විදේශ යුද නිසාත්, ඒ සමයේ රදළයන් මෙන් ම නැපෝලියන්ට හේත්තු වෙන බුර්ජුවාසියේ නාස්තියෙන් ද, රටේ භාණ්ඩාගාරය නැපෝලියන් අතින් ද යළි හිස්වෙන්නට විය. ඔහු තම එම්ප්‍රද්‍යෝරු පදවිය තහවුරු කරනු පිණිස ආණ්ඩුවේ සියල්ලන්ට ම විච්චූර්ණ යුතු නිල ඇඳුම් නියම කළේය. ප්‍රංශයේ නිපැද වූ වෙල්වට් එකල ජනප්‍රිය රෙද්දයි. නැපෝලියන්ගේ සේවයට ජනරාල්වරුන් හතරක්, aides-de-camp අටක්, prefects හතරක් සහ ලේකම්වරු දෙදෙනෙක් තබා ගනියි. ජොසෆින් වෙනුවෙන් මුලික රදළ කාන්තාවක් ද, සහායක කාන්තාවන් හතරක් ද විය.

නැපෝලියන් බොනපාට් යන නම නැපෝලියන් බවට කෙටි වෙයි. අනතුරුව එය N අකුර පමණක් ඇති සීල් එකක් විය.

එම්ප්‍රද්‍යෝරු නැපෝලියන්ගේ අධිරාජ්‍ය්‍යේ තනතුරු ඔහුගේ සහෝදර සහෝදරියන්ට දීමට රදළයන්ගේ හිස් ගිලටිනයට ගෙන ගිය ජනතාවම එකඟ වූහ. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ජෝසෆ් දකුණු ඉතාලියේ නේප්ල්ස් හි රජු විය. සහෝදර ලුෂියන් ස්පාඤ්ඤයේ තානාපති විය. ඔහු ආපසු ප්‍රංශයට එන්නේ නැපෝලියන්ටත් වඩා ධනවතෙක් වෙමිනි. සහෝදර ලුවි ඕලන්දයේ රජු වෙයි. ලුවිගේ තුන්වැනි පුත්‍රයා දෙවැනි ප්‍රංශ අධිරාජ්‍ය්‍යේ උප්පතියෙන් හිමිවන එම්ප්‍රද්‍යෝරුවා වූ තුන්වැනි නැපෝලියන් විය. බාල ම සහෝදරයා වූ ජෙරෝම් භාර්යාවන් හා වාසස්ථාන බොහොමයක් තිබියෙකි. ජෙරෝම් වයස 23 දී වෙස්ට්ෆේලියා (Westphalia) හි රජු වෙයි. ජොසෆින්ගේ පළමු කසාදයේ පුතා 24 හැවිරිදි ඉයුජින් ඉතාලියේ විසුරේ ප්‍රතිරාජ (viceroy) තනතුර ලබයි. මරියා ඇනා නම් නැපෝලියන්ගේ සහෝදරිය පියම්බිනෝ (Piombino) සහ ලූකා (Lucca) යන රාජ්‍යයන්හි ආණ්ඩුකාරිය වෙයි. පෝලීන් නම් සහෝදරිය ඉතාලියේ ගුවාස්ටල්ලා (Guastalla) පළාතේ ආදිපාදවරිය විය. කැරොලයින් නම් සහෝදරියගේ සැමියාට බර්ග් (Berg) හා ක්ලීව්ස් (Cleves) හි ඩ්‍යුක් පදවියක් දෙයි. ඔහු නිතර යුද මෙහෙයන්හි නිරත වූ නිසා පළාත ආණ්ඩු කරන්නේ කැරොලයින් විසිනි.

සටහන්[සංස්කරණය]

  • 1. Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York, 1967
  • 2. Lesley H. Walker, Eighteenth-Century Case Studies, Vol. 34, No. 3. French Revolutionary Culture, The John Hopkins University Press, 2001
  • 3. S. G. Tallentyre, Women of the Salons, G.P. Putnam's Sons, New York, 1926
  • 4. Louis-Antoine Bourrienne, Memoirs of Napoleon Bonaparte (1890)

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York
  2. Lesley H. Walker, Eighteenth-Century Case Studies, Vol. 34, No. 3. French Revolutionary Culture, The Johns Hopkins University Press, 2001
  3. S. G. Tallentyre, Women of the Salons, G.P. Putnam's Sons, New York, 1926
  4. Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York
  5. Louis-Antoine Bourrienne, Memoirs of Napoleon Bonaparte, 1890

External links[සංස්කරණය]


පූර්වප්‍රාප්තික 
The Old Regime
French Revolution
1789–1792
අනුප්‍රාප්තික  :
First French Republic
"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රංශ_විප්ලවය&oldid=317060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි