පරිගණක අයිකන

විකිපීඩියා වෙතින්
KDE සඳහා අයිකන PNG හැඩතල ආකාරයෙන් ප්‍රමාණ හයකින්ද, SVG හැඩතල ආකාරයෙන් පරිමාණ කළ හැකි ලෙසටද ලබා ගත හැක.

පරිගණක දසුන් වල දක්නට ලැබෙන කුඩා චිත්‍රාක්ෂර (pictograms) පරිගණක අයිකන නමින් හැඳින්වේ. පරිගණක භාවිතයේදී සාමාන්‍යයෙන් යොදා ගැනෙන අක්ෂරාංක (alphanumerics) වෙනුවට මෙම පරිගණක අයිකන භාවිතා කළ හැකි වේ. දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන, එමෙන්ම වැඩි වැඩියෙන් භාවිතා වන නව මාදිලියේ පරිගණක වල දසුන් ආන්ත වලට බිටු සිතියම් මනා ලෙස හසුරුවීමට ඇති හැකියාව නිසාවෙන් පරිගණක පරිශීලකයන් හට වඩාත් පහසු වන අයුරින් මෙම පරිගණක අයිතම යොදා ගනු ලැබේ.

ආධුනික පරිගණක පරිශීලකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් හට ඉක්මණින් පරිගණක අතුරුමුහුණත් වටහා ගැනීමටත්, ග්‍රහණය කරගැනීමටත් පහසු කරවන කදිම මෙවලමක් ලෙස 1970 වසර ආසන්නයේදී පරිගණක අයිකන හඳුන්වා දෙන ලදී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත වීම සිදුවිය.

සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක ප්‍රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර මෙහෙයුම් පද්ධති වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. චිත්‍රම ප්‍රතිදාන උපාංග වල ප්‍රමාණය කුඩා වන විට අයිකන වල ප්‍රමාණයද කුඩා වේ. මේ නිසා දෘශ්‍ය-ආබාධිත පරිශීලකයන් හට ස්ව-කැමැත්තෙන් අයිකන ප්‍රමාණයන් තෝරාගැනීමට ඉඩ දීම වඩාත් යෝග්‍ය වේ. එසේම ආලෝකය මදි කම, ඇස් අධික ලෙස විඩාපත් වීම, විද්‍යාත්මක ලෙස තහවුරු කරන ලද යම් යම් ආබාධ, දීප්තිමත් පසුබිම් හෝ වර්ණාන්ධතාවය ආදිය නිසාද මෙවැනි විකල්ප ක්‍රම තිබීම වඩාත් වැදගත් වේ.

පරිගණක පරිශීලක අන්තර් ක්‍රියාවේදී අයිකන වල ක්‍රියාකලාපය[සංස්කරණය]

පරිගණක මෙහෙයුම් පද්ධතියක ඇති ගොනු, ෆෝල්ඩර, යෙදුම් හා උපාංග ආදිය නියෝජනය කිරීමට පරිගණක අයිකන යොදා ගත හැකි වේ. අද කාලයේදී මෙම අයිකන භාවිතා වන ආකාරය දෙස බැලූ විට අපට හොඳින් පෙනී යන එක් කාරණයක් නම් නියෝග එකලස් විධාන (macro commands), ප්‍රකාශන ස්වරූප හැඟවීම ආදී පරිශීලක කැමති පරිදි ඕනෑම දර්ශකයක් නියෝජනය කිරීම සඳහා අයිකන යොදාගත හැකි බවයි.

වැඩතලය මත, මෙවලම් තීරය මත වාගේම මයික්‍රොසොෆ්ට් වර්ඩ් (Microsoft Word) වැනි පරිගණක මෘදුකාංග වල ඇති මෙනු තීර වල මෙවැනි පරිගණක අයිකන හොඳින් දැකගත හැකි වේ. මෙම අයිකන බැලූ පමණින්ම එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට නම් ඒවා එකිනෙකට වෙනස් ලෙස නිර්මාණය කළ යුතු වේ. මෙසේ පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති අයිකන වඩාත් එලදායි සහ පරිශීලක-හිතෛෂී අයිකන ලෙස පිලිගැනේ. එමෙන්ම දෝෂ රහිත ක්‍රියාකාරීත්වය, දුටු පමණින් අයිකනයේ අර්ථය හඳුනා ගැනීමට පහසු වීම, ඕනෑම සැලැස්මක් හෝ තත්ත්වයක් යටතේ පහසුවෙන් බලා ගැනීමට හැකි වීම වැනි ලක්ෂණත් පරිශීලක-හිතෛෂී අයිකන වල අඩංගු වේ. නමුත් අයිකන කට්ටල වෙන වෙනම ගත් කල අපට පෙනී යන්නේ එම එක් එක් කට්ටල වලට ආවේනික වූ විවිධ ලක්ෂණ ඇති බවයි. මෙවැනි ලක්ෂණ අයිකන වලට එක් කිරීම මඟින් ඒවායේ එකිනෙකට ඇති සම්බන්ධතාව මනාව විදහා දක්වයි. ඉහත සඳහන් කරන ලද ලක්ෂන කිහිපයක් පහත දක්වා ඇත:

  1. ප්‍රමාණයන් ප්‍රභේදනය කිරීම
  2. පිහිටීම හා සංයුතිය
  3. රටා ප්‍රභේදනය(තිරස්-ඉරි වැටුණු, සිරස්-ඉරි වැටුණු, බෑවුම්-සහිත-ඉරි වැටුණු, වෘත්ත, දීර්ඝ චතුරශ්‍ර, ...)
  4. අඳුරු පසුබිම මත දීප්තිමත් රූප හෝ දීප්තිමත් පසුබිම මත අඳුරු රූප යෙදීම
  5. රාමු කිරීම/ඡායාවන් එක් කිරීම
  6. වර්ණ ප්‍රභේදනය
  7. සජීවනය

සැබැවින්ම ගත් කළ සෑම ප්‍රධාන නව මාදිලියේ පරිගණක මෙහෙයුම් පද්ධතියකටම පාහේ පරිශීලකයන් හට තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා අයිකන මූලික කොට ගත් චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් (GUI) භාවිතා කිරීමේ හැකියාව ඇත. කවුළු, අයිකන, මෙනු, දර්ශක සඳහා ඇති WIMP ශෛලියෙහි 'අයිකනය' යන පදය යොදාගෙන ඇති අන්දමෙන් මෙය මනා ලෙස විදහා දක්වනු ලබයි.

ක්‍රියාදාම (Function) හෝ ක්‍රමලේඛ අයිකන[සංස්කරණය]

මෙහි පෙන්වා ඇති පරිදි අයිකන භාවිතා කළ හැකි ආකාර විවිධ ලෙස දැක්විය හැකි වේ. ඒවා මෙලෙසය: ගොනු, ෆෝල්ඩර, තැටි ධාවක ආදිය මෙවලම් තීර බොත්තම් ලෙස නිරූපණය කිරීමට මෙන්ම මෙනු අයිතම හා කාර්ය තීර අයිතම විදහා පෙන්වීමටය.

චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් වල දක්නට ලබෙන බොහෝ පරිගණක ක්‍රියාදාමයන් ක්‍රියාදාම අයිකන මගින් නියෝජනය කල හැකි වේ. එසේම දැන් දක්නට ලැබෙන සියළුම පාහේ චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් වල මෙම අයිකන දැකිය හැක. කර්සරය අයිකනය මතට ගෙන මූසික ‍බොත්තම ක්ලික් කිරීමෙන් ක්‍රමලේඛය හෝ ක්‍රියාදාමය ඇරඹීමට හැකි වේ.

අයිකනයක් විශේෂිත ,ප්‍රකෘතිමත් හා කුඩා විය යුතුය. එය විවිධ විභේධන වල ඇති වෙනස් මොනිටර වල භාවිතා කිරීමේ හැකියාව තිබිය යුතුය. වෙනස් මෙහයුම් පද්ධති වල ඇති පරිගණක වැඩසටහන් වල වෙනස් වූ දර්ෂණ සඳහා වෙනස් ආකාරයේ අයිකන නිර්මාණය කළ යුතු නිසා මෙම ක්‍රියාවලිය තව දුරටත් ස්ංකීර්ණ වේ. උදාහරණයක් ලෙස එක් මෙහයුම් පද්ධතියක GUI මාර්ගසූචක මගින් එහි ඕනෑම වැඩසටහනක් සඳහා පික්සල 16,32 හා 64 වල අයිකන නිර්මාණය සඳහා නියම කර සිටින අතර තවත් මෙහයුම් පද්ධතියක GUI මාර්ගසූචක මගින් පික්සල 16,24, 48 හා 96 වල අයිකන නිර්මාණය කිරීම සඳහා නියම කළ හැකිය.

අයිකන මෘදුකාංග[සංස්කරණය]

අයිකන මෘදුකාංග යන්න පරිගණක අයිකන තැනීම සහ සංස්කරණය කිරීම සඳහා යොදා ගනු ලබන මෘදුකාංග වේ. අයිකන සංස්කාරක මෘදුකාංග මීට කදිම උදාහරණයකි.

මෙම අයිකන මෘදුකාංග සාමාන්‍යයෙන් ඇපල් මැකින්ටොෂ් හා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඇති පරිඝනක වල දක්නට ලබෙන මුත් යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සහිත පරිඝනක වල සාමාන්‍යයෙන් දක්නට නොලැබේ. මීට හේතුව වන්නේ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සාමන්‍යයෙන් PNG format භාවිතා කරන නිසාවෙන් අයිකන මෘදුකාංග වෙනුවට අයිකන තැනීම සඳහා ජිම්ප්(Gimp) හෝ ඉන්ක්-ස්කේප්(Inkscape) වැනි මෘදුකාංග භාවිතා කිරීමයි.

අයිකන සංස්කාරක මෘදුකාංග සැලකූ විට සාමාන්‍යයෙන් එහි ප්‍රාථමික රූප සංස්කාරකයක් අඩංගු වන අතර එහි ඇති සරල සිත්තම් මෙවලම් භාවිතයෙන් හෝ සරල සිත්තම් පෙරහන් යෙදීම මගින් අයිකන රූපයේ පික්සලයෙන් පික්සලය වෙනස් කළ හැක. නමුත් වෘත්තීය අයිකන නිර්මාණකරුවන් මෙවැනි අයිකන සංස්කාරක මෘදුකාංග භාවිතයෙන් අයිකන සැකසනු ලබන්නේ ඉතාමත් කලාතුරකිනි. අයිකන සංස්කාරක මෘදුකාංග වෙනුවට ඔවුන් බොහෝ අවස්ථා වලදී ත්‍රිමාණ නිරූපකරණ මෘදුකාංග යොදා ගනු ලබයි.

අයිකන සංස්කාරක මෘදුකාංගයක් මගින් කෙරෙන ප්‍රධානතම කාර්යය වන්නේ රූප යොදා ගනිමින් අයිකන සැකසීමයි.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_අයිකන&oldid=623680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි