නිශ්ශංක මල්ල රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නිශ්ශංකමල්ල රජ
(Kalinga Lokesvara)
ලක්දිව රජ
දඹුලු විහාරයේ ඇති නිශ්ශංකමල්ල ප්‍රතිමාව
රාජ්‍ය කාලය 1187–1196
පූර්වප්‍රාප්තිකයා Mahinda VI
Heir-Apparent Vira Bahu I
පියා Jayagopa
මව පාර්වතී
උපත 1157 or 1158
සිංහපුර
මරණය 1196

කිර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නාම වලින්ද හැඳින්වුන නිශ්ශංක මල්ල රජතුමා 1187 සිට 1196 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළේය. රජු විසින් නිශ්ශංක ලතා මණ්ඩපය, හැට දාගේ සහ රන්කොත් විහාරය ඉදිකරන ලද අතර පැරණි විහාර සහ වැවු රැසක් ප්‍රතිසංස්කරණය කරන ලදී.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මෙරට රාජ්‍ය බලය හිමිකර ගත් විදේශීය කුමාරවරයකු ලෙස නිශ්ශංක මල්ල රජු පෙන්වා දිය හැකිය. ඉන්දියාවේ සිට පැමිණි කාලිංග වංශිකයෙකු වූ මොහුගේ සේවය මෙරටට කෙසේ ලැබුණේ ද යන්න මූලාශ්‍රය තොරතුරු සපයනු ලබයි.

කාලිංග වංශික නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍ය වර්ෂය ලෙස සැලකෙනුයේ ක්‍රි. ව. 1187 - 1196 දක්‌වා කාලයයි. මොහු පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නකුට සාහිත්‍ය මූලාශ්‍රය සහ සෙල්ලිපි යන අංශ දෙකෙන්ම තොරතුරු ගවේෂණය කර ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම සාහිත්‍ය මූලාශ්‍රයන් අතර, මහා වංසයෙහි දෙවැනි කොටසට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. දඹදෙණි යුගයේ දී මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය තුළින් ද නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම ලද හැකිය. පූජාවලියට අනුව නිශ්ශංකමල්ල රජු පිළිබඳව දක්‌වා තිබෙනුයේ මෙසේය.

"...... ඔහු මරා කාලිංගයෙන් ආ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල නම් රජ බොහෝ පින් රැස්‌ කොට නව හවුරුද්දක්‌ රජ කළේය."

එසේම නිශ්ශංකමල්ල රජු පිළිබඳව තොරතුරු ලබා දෙන සාහිත්‍ය මූලාශ්‍රයන් අතර "රාජාවලිය, දළදා සිරිත¾ රාජරත්නාකරය" යනාදියට ද වැදගත් ස්‌ථාන හිමි වේ. එපමණක්‌ ද නොව, නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයන් අතර, "සෙල්ලිපි" සඳහා ද සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වන අතර, ලංකාවේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක්‌ පිහිටුවීමේ ගෞරවය හිමිවනුයේ ද නිශ්ශංකමල්ල රජතුමාටය. නිශ්ශංකමල්ල රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපි අතර, "ගිරිතලේ ගල් ආසන ලිපිය, ගල්පොත ලිපිය, වැලිගහවත්ත ලිපිය, කටුගහගල්ලේ ලිපිය සහ රාමේශ්වරමේ ලිපිය ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගනී. මෙම සෙල්ලිපි තුළින් නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම අනාවරණය කර ගැනීමේ හැකියාව පවතී. එම තොරතුරු පිළිබඳව සඳහන් කරන්නේ නම් නිශ්ශංකමල්ල රජු තුන් රජය පැදකුණු කිරීම, දුස්‌ථ ලංකාවාසීන් සුස්‌ථ කිරිම, පාණ්‌ඩ්‍ය රාජ්‍ය ජයග්‍රහණය කිරීම මෙන්ම නිශ්ශංකමල්ල රජු විදේශ රාජ්‍යයන්ගෙන් පුද පඬුරු ලැබීම යනාදිය වැදගත් ය. මෙවැනි කරුණු ගණනාවක්‌ම සෙල්ලිපි තුළින් පැහැදිලි කරන අතරම, මොහු පිළිබඳ තොරතුරු සපයන මාධ්‍යයක්‌ වශයෙන් "පුරාවස්‌තු" ද වැදගත් වේ. එම පුරාවස්‌තු ලෙස නිශ්ශංකලතා මණ්‌ඩපය, හැටදාගෙය සහ වටදාගෙය යනාදිය පෙන්වාදිය හැකිය. මෙසේ නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්නකුට ඉහත සඳහන් කළ මූලාශ්‍රයන් තුළින් ලැබෙන පිටිවහල අනල්පය.

නිශ්ශංකමල්ල රජු යනු විදේශීය වංශිකයකු බව අපි ඉහත සඳහන් කළෙමු. මෙසේ විදේශීය වංශිකයෙකු මෙරට රාජ්‍යයට පත්වීම ඔහුට මහත් අසීරුතාවක්‌ වන්නට ඇත. එයට හේතුව වනුයේ ලාංකීය ජනතාව විදේශීය පාලකයකු මෙරට පාලන කටයුතු මෙහෙයවීම අනුමත නොකිරීමයි. මෙසේ සිදු වූ අවමානයෙන් මිදීමට නම් රජු ජනතාව අතර කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්වීම සිදු විය යුතුමය. මේ අනුව නිශ්ශංකමල්ල රජු සිය අභිමානය ගොඩනැංවීම උදෙසා යොදාගත් උපක්‍රමයක්‌ වශයෙන් "විරුදනාමයන් භාවිත කරමින් ජනතාව ඉදිරියේ පෙනී සිට ඇත. එසේ භාවිත කළ විරුද නාමයන් අතර "නිශ්ශංකමල්ල" යන්න භාවිත කිරීම පෙන්වා දිය හැකිය. කාලිංග රජවරු පොදුවේ භාවිත කළ නාමයක්‌ සේ "මල්ල" යන්න සඳහන් ය. මොහු විසින් කරවන ලද සියලු ස්‌ථාන තමාගේ නාමයෙන්ම හඳුන්වාදී තිබේ. එම නාමයන් අතර "නිශ්ශංක ගව්ව, නිශ්ශංකලතා මණ්‌ඩපය, නිශ්ශංක දළදාගේ" යනාදිය සඳහන් ය. එසේම මොහු "පරාක්‍රමබාහු" යන විරුද නාමය ද යොදා ගෙන තිබේ. "නිශ්ශංක කාලිංග පරාක්‍රමබාහු" සේ හඳුන්වා තිබෙන බවත්, මෙය මහා පරාක්‍රමබාහු රජතුමා තමාට ප්‍රදානය කළ බවත් සඳහන් කරනු ලබයි.

නිශ්ශංකමල්ල රජු යොදාගත් විරුද නාමයන් අතර, "කාලිංග ලංකේශ්වර" යන්න සඳහන්ය. විදේශිකයෙකු වූ මොහු කාලිංග යන වචනයව ලාංකිකයන්ට නිතර ඇසීමට සලස්‌වා තිබේ. මොහු යොදාගත් විරුද නාමයන් අතරින් අප්‍රතිමල්ල යන්න විශේෂ තේරුමක්‌ නැතිව යොදා ගෙන තිබේ. විද්වතුන් පෙන්වා දෙන අන්දමට මෙහි අදහස වනුයේ "සතුරන් නොමැති" යන්නයි. මේ ආකාරයට නිශ්ශංකමල්ල රජු තම අභිමානය සලසා ගනු සඳහා හෝ කුමන හේතුවක්‌ නිසා හෝ විරුද නාමයන් බොහෝ ප්‍රමාණයක්‌ භාවිත කරන ලද බව පැහැදිලි වේ.

ලංකාවේ රාජ්‍ය බලය හිමිකර ගත් රජවරු විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බව මූලාශ්‍රය තොරතුරුවලින් අපට අනාවරණය කර ගත හැකිය. පොලොන්නරුව රාජ්‍යයෙහි බලයට පත් වූ නිශ්ශංකමල්ල රජු ද අභියෝගයන් රැසකටම මුහුණ දුන් අතර, එම අභියෝගයන් කවරේද යන්න අධ්‍යයනය කිරීම වැදගත් ය. නිශ්ශංකමල්ල රජු එවැනි අභියෝගයන් හයකට (6) ලක්‌ වූ බවත් එම අභියෝගයන් ජයග්‍රහණය කළ ආකාරය පිළිබඳ මූලාශ්‍රය සඳහන් කරනු ලබයි. ඒ අනුව නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් මෙසේය.

01. විජාතිකත්වය

02. මහා පරාක්‍රමබාහු රජුගේ ජනප්‍රියත්වය

03. ගොවිකුල ජනතාව

04. පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව

05. පාණ්‌ඩ්‍ය වංශිකයන්

06. රුහුණේ ජනතාව

එසේ නම් නිශ්ශංකමල්ල රජතුමා මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයගත් ආකාරය පිළිබඳ සරලව විමසා බැලීම ද උචිතය.

ඒ අනුව නිශ්ශංකමල්ල රජු මුහුණ දුන් පළමු සහ ප්‍රධාන අභියෝගය වනුයේ, මොහුගේ "විජාතිකත්වයයි" නිශ්ශංකමල්ල රජුට පෙර ලංකාවේ රාජ්‍ය බලයට පත් වූ ඪ සේන, ඪ මහින්ද සහ ෂ වික්‍රමබාහු යන අය මවු පසින් විජාතිකය. එහෙත් පිය පාර්ශ්වයෙන් ස්‌වජාතිකය. නමුත් නිශ්ශංකමල්ල යනු සම්පූර්ණයෙන්ම විජාතික පුද්ගලයෙකි. මොහුගේ ජන්ම භූමිය කාලිංගය වන හෙයින් කාලිංග වංශිකයන් හැර අනෙකුත් වංශිකයන් මෙම කරුණ පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව පසුවන්නට ඇතැයි සිතිය හැකිය. හේතුව වනුයේ කිසිදු ජාතියක්‌ විදේශිකයෙකුගේ රජවීම අනුමත නොකරන හෙයිනි. විජාතිකත්වය නමැති ගැටලුවට විසඳුම් සෙවූ ආකාරය පිළිබඳව ද විමසා බැලීම වැදගත් ය. මේ සඳහා පියවර තුනක්‌ වෙත යොමුවීමේ හැකියාවක්‌ දක්‌නට ලැබේ. එම කරුණු තුන මෙසේය.

01. විදේශිකත්වය වැසියාගෙන් වසන් කිරීම

02 රජවීමේ නීත්‍යනුකූල බව පැවසීම

03. විදේශිකත්වය පවසමින් එහි වලංගු බව පැවසීම.

මෙම කරුණු අතරින් තෙවැනි කරුණ නම් විදේශිකත්වය පවසමින් එහි වලංගු බව පැවසීමට නිශ්ශංකමල්ල රජු යොමුවිය. එහිදී ඔහු පවසා සිටියේ,

"තමා උපන්නේ බුදු බෝසත් සක්‌විත්තන් උපදිනා උතුම් දඹදිව කලිඟු රට සිංහපුරයෙහි ය." යන්නයි. එසේම සිංහල ජනතාවට නිරන්තරයෙන් කාලිංග යන්න ඇසීමට සලස්‌වන ලදී. එහිදී පොලොන්නරුව "කාලිංගපුරය" ලෙස බිසව "කාලිංග සුභද්‍රd" යනාදී වශයෙන් ව්‍යවහාර කරන ලදී. මේ අන්දමට නිශ්ශංකමල්ල රජු සිය ප්‍රධාන අභියෝගයට සාර්ථකව විසඳුම් සෙවීමට සමත් විය.

නිශ්ශංකමල්ල රජු මුහුණ දෙන ලද දෙවැනි ගැටලුව ලෙසින් "මහා පරාක්‍රමබාහු රජතුමාගේ ජනප්‍රියත්වය" පෙන්වා දිය හැකිය. මහා පරාක්‍රමබාහු රජු වසර තිස්‌තුනක්‌ මෙරට පාලනය කරන ලද අතරම මේ කාලය තුළදී විශාල මෙහෙවරක්‌ කිරීමට සමත් විය. පරාක්‍රමබාහු රජතුමාට රජරට හා මායා රට සංවිධානය කිරීම, ආර්ථිකය දියුණු කිරීම, සහ විදේශ ජයග්‍රහණයන් රැසක්‌ අත්පත් කරගැනීමට හැකියාව ලැබිණි. මෙම ජනතා මෙහෙවර හේතුවෙන් එකල ජනතාව ජාතිකාභිමානයෙන් පසුවීම දක්‌නට ලැබුණු බවත්, මහා පරාක්‍රමබාහු යනු යෝධ වීර චරිතයක්‌ වශයෙන් ජනතාවගේ සිතට කා වැදී තිබෙන්නට ඇත. මේ හේතුවෙන් පරාක්‍රමබාහු රජුට පසුව රාජ්‍යත්වයට පත්වන පුද්ගලයන් පැරකුම් චරිතය සමඟ සසඳන්නට පෙළඹීම ස්‌වභාවිකය. එසේ නම් මහ පැරකුම් රජුගේ ජනප්‍රියත්වය යන අර්බුදය නිශ්ශංකමල්ල රජු විස¹ගත්තේ කෙසේද? එහිදී ක්‍රම කිහිපයක්‌ම අනුගමනය කරන ලද අතර පැරකුම්ගේ වීර ක්‍රියා හා සමාන වීර ක්‍රියා තමා විසින් ද සිදුකරන ලද බව පැවසීම එයින් එක්‌ ක්‍රමයකි. එමෙන්ම පරාක්‍රමබාහු රජු සේම තමන් ද තුන් නිකාය සමඟි කළ බව දඹුලු ලිපියෙහි සඳහන් කර තිබෙනුයේ මෙසේය.

"බොහෝ කල් භින්නව තිබූ තුන් නිකාය සමගි කරවා" යනුවෙනි. පරාක්‍රම සමුද්‍රය මෙන් තමා ද නිශ්ශංක සමුද්‍රය කරවූ බව සඳහන් කිරීමෙන් නොනවතින නිශ්ශංකමල්ල රජු පරාක්‍රමබාහු රජුට චෝදනා එල්ල කරනු ලබයි. මේ ආකාරයට එම අභියෝගය ද සාර්ථකව ජයගැනීමට නිශ්ශංකමල්aල රජුට හැකිවිණි.

"ගොවිකුල ජනතාවගේ විරෝධතාවයෙන්" ද නිශ්ශංකමල්ල රජු මහත් අසීරුතාවට ලක්‌විය. එහිදී ගොවිකුල ජනතාව සංවිධානය වී පොලොන්නරුව රාජ්‍යයට උරුමකම් කියන ලදී. රටේ ප්‍රබල සංවිධානයක්‌ ලෙසින් කුලීන ජනතාව විදේශීය පාලකයාට එරෙහිව නැඟී සිටීමට සමත් වූහ. එහිදී නිශ්ශංකමල්ල රජු ගොවිකුල ජනතාවගේ විරුද්ධභාවය තුරන් කරන ලද්දේ ජන්මය මතක්‌ කරමින් නිග්‍රහ කිරීමෙන් සහ රාජ්‍ය උරුමයෙන් සහ ජනතාවගෙන් කොන් කිරීමෙනි. එහිදී ප්‍රකාශ කර සිටියේ,

"..... කැණහිලා සිංහයන්ට ද බාව කරන්නා සේ ගොවි කුලයෙහි ඇත්තන් රාජ්‍ය ලීලාව නොපැතුව මැන......"

"කෙසේ බලවත් වුවද ගොවිකුල ඇත්තෝ රජයට බලානොගත යුතුය."

යනාදී වශයෙනි. මේ අයුරින් ගොවිකුල ජනතාව නිග්‍රහයට ලක්‌ කරමින් ඔවුන්ගේ අභියෝගය ද මර්දනය කරලීමේ හැකියාව නිශ්ශංකමල්ල රජු සතු වූ බව පැහැදිළිය.

කාලිංග වංශිකයකු වූ නිශ්ශංකමල්ල රජුට පාණ්‌ඩ්‍ය වංශිකයන්ගේ විරෝධතාවට ද මුහුණ දීමට සිදු වූ හෙයින් එය මර්දනය කිරීමට ද සාර්ථක ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේය. ඒ අනුව ගොවිකුල ජනතාවට මෙන්ම මර්දනශීලී ප්‍රතිපත්තියක්‌ වෙත යොමුවීම විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව පාණ්‌ඩ්‍යයන් පිළිබඳව නමින් සඳහන් නොකිරීමට ක්‍රියා කළේය. පාණ්‌ඩ්‍යයන් පිළිබඳ දක්‌වන ලද අදහස්‌ අතර පහත සඳහන් ඒවා වැදගත් ස්‌ථානයක්‌ හිමිකර ගනී.

"කාලිංග වංශයට හිමි ලක්‌දිව චෝඩ, පාණ්‌ඩ්‍ය ආදී රජුන් නොපිහිට විය යුත්තේය".

"ලක්‌දිව බුද්ධ ශාසනයට ප්‍රතිපක්‍ෂ අබෞද්ධ චෝඩ පාඬයාදී රජුන් නොපිහිටවියෑ යුත්තේ යෑ......"

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන පරණවිතාන මහතා පෙන්වා දෙනු ලබනුයේ Non Buddhist such as cholas and Paundyas shouldn't be allowed to claim kingship යනුවෙනි. මේ අනුව පාණ්‌ඩ්‍ය වංශිකයන්ගේ විරෝධතාව ද මර්දනය කිරීම නිශ්ශංකමල්ල රජු ලද තවත් ජයග්‍රහණයකි.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය නිලධාරීන්ගේ විරුද්ධතාවට ද නිශ්ශංකමල්ල රජු මුහුණ දුන් බව සඳහන් ය. පැරකුම් රජුගේ හමුදාපතීන් වූ කිත්ත, වික්‌කුන්ත. පරක්‌කම, චමුක්‌කන යන අය ප්‍රබල වූවා සේම මේ සමය වන විට ප්‍රාදේශීය රජවරුන් ලෙසින් පාලනය ගෙන යැමේ කටයුත්තෙහි ද නිරත වී තිබේ. මෙම නිලධාරින්ට ත්‍යාග, නම්බුනාම, යනාදිය ලබාදෙමින් සහනශීලී ක්‍රියාමාර්ගයක්‌ වෙත නිශ්ශංකමල්ල රජු යොමුව තිබේ. එසේම නම්බුනාම තනතුරු ලැබීම තුළින් උදම් නොවිය යුතු බවට ද සඳහන් කිරීමට මොහු ක්‍රියා කළේය.

නම් තනතුරු ලදින් දර්පොද්ධත නොවිය යෑත්තේ යෑ......" මෙයට අර්ථ විවරණ සපයන පරණවිතාන මහතා පෙන්වා දෙනු ලබන්නේ.

"when one has received tittles, offices, and wealth from them, he shoudfn't become proud......' යනුවෙනි.

අවසාන වශයෙන් නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදුවූ අභියෝගය නම්, රුහුණේ වාසය කළ ජනතාවගේ විරුද්ධතාවයයි. නිශ්ශංකමල්ල රජතුමාගේ විදේශිකත්වය සහ රජරට ජනතාව අතර පැවැති අසහනය ප්‍රයෝජනයට ගනිමින් නිශ්ශංකමල්ල රජුට එරෙහිව රුහුණන් නැගී සිට තිබේ. මෙහිදී ද සහනශීලී ප්‍රතිපත්තියක්‌ වෙත නිශ්ශංකමල්ල රජු යොමු වූ බව සඳහන් ය. රුහුණේ ගම්, නියම්ගම්, වැව් - අමුණු බලමින් සංචාරය කර ඇත. එසේම රුහුණන් ඉදිරියේදී දැඩි ආත්ම විශ්වාසයකින් ක්‍රියා කළ බව පහත ප්‍රකාශ තුළින් අනාවරණය වේ.

"........ බත් කෑ, බුලත් කෑ මතට උඩත නොව, රූණෝ නිවංචෝය. ස්‌වාමි පක්‍ෂපාත ඇත්තැයි කියව....." එසේම "රුහුණු රාජ්‍යයෙහි ඇත්තන් කෙරෙහි කරුණාවෙන් කියම්හ" යනුවෙන් ප්‍රකාශ කිරීමට පවා නිශ්ශංකමල්ල රජු යොමු වූ බව පෙනේ. කෙසේ වුවද, දඟකාර කොලු රැලකට අවවාද කරන වැඩිහිටියකු මෙන් නිශ්ශංකමල්ල රජු රුහුණු ජනතාව ඉදිරියේ පෙනී සිටි බවට ගම්‍ය වේ.

මේ ආකාරයට නිශ්ශංකමල්ල රජු මුහුණ දුන් අභියෝග මොනවාද? ඒවාට විසඳුම් සෙවුවේ කෙසේද යන්නත් ඉහත විස්‌තරයෙන් පැහැදිලි වේ. මෙවැනි අභියෝග යටතේ පොලොන්නරුව රාජ්‍යයෙහි පාලනය හිමිකර ගත් නිශ්ශංකමල්ල රජතුමා අනුගමනය කළ "දේශපාලන ප්‍රතිපත්තියේ ස්‌වරූපය" ද විශේෂ ස්‌ථානයක්‌ හිමිකර ගනී. විදේශීය පාලකයකු වූ මොහු ජනතාව තමාට පක්‍ෂපාතී කරගැනීම සඳහා නිරන්තරයෙන් ක්‍රියා කළේය. මෙහිදී ජනතාව වෙත ගොස්‌ ඔහුගේ සමීපතම මිතුරෙකු ලෙසින් ක්‍රියා කිරීමට පෙළඹිණි. දේශපාලන ප්‍රතිපත්තියේ දක්‌නට ලැබුණු ලක්‍ෂණ අතර, මධ්‍යස්‌ථ රටවැසියා තමාට යොමුකරවා ගැනීම ද කැපී පෙනෙන්නකි. මෙහිදී ලාංකීය ජනතාව මධ්‍යස්‌ථ ජනතාවක්‌ ලෙසින් පෙනී සිටියේ නිශ්ශංකමල්ල රජතුමාගේ විදේශිකත්වය හේතුවෙනි. මෙම මධ්‍යස්‌ථ ජනතාව තමා වෙතට යොමු කරවාගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කිරීමට සිදු විය. ඒ අනුව මොවුන්ට ත්‍යාග, නම්බුනාම ආදිය ලබාදීම දේශපාලන ප්‍රතිපත්තියේ එක්‌ අංශයක්‌ විය. තවද නිශ්ශංකමල්ල රජතුමා මහා පරාක්‍රමබාහු රජතුමා දවස පීඩිතව සිටි ජනතාවට විවිධ සහන ලබාදීම සිදුකිරීම ද දේශපාලන ප්‍රතිපත්තියේ ස්‌වරූපයක්‌ විය. ඒ අනුව විවිධ වධ හිංසාවන්ට ලක්‌ව සිටි ජනතාව එයින් මුදවා ගනු ලැබීය. එසේම පැරකුම් රජු දවස අය කළ අය බදුවලින් ජනතාව නිදහස්‌ කිරීමට යොමු විය. එසේ අය බදු සම්පූර්ණයෙන්ම සහ අවුරුදු ගණනකට වශයෙන් අය කිරීම නතර කර තිබේ. ඒ බව නිශ්ශංකමල්ල රජුගේ පහත සෙල්ලිපි පාඨ තුළින් ගම්‍ය වේ.

"පෙර නොමඳ අය ගෙන දුරස්‌ථ කළ ලංකාවාසීන්ට පස්‌ අවුරුද්දකට අය හැරීම."

"අවුරුදු ගණනකට අය හැරැයි."

"සත් අවුරුද්දකට අය හැරැයි" මෙසේ අවුරුදු පහකට, හතකට යනාදී වශයෙන් ජනතාවගෙන් එම බද්ද අය කිරීම නතර කළ බව පැහැදිලිය. එමෙන්ම සම්පූර්ණයෙන්ම අය නොකිරීමට තීරණය කළ බදු අතරින් "කැති අඹ" හෙවත් සෙහෙන් කොටා කරන කටුසර භෝගයෙන් ලැබෙන ආදායම සඳහන්ය. නිශ්ශංකමල්ල රජතුමා දක්‌වන ආකාරයට තුන් රජයෙහි හැම කලටම අතහැර තිබේ. පිසුඹුරුවත හෙවත් ජලාශවලින් අල්ලන මසුන් වෙනුවෙන් රජයට අය කරන බද්ද සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.

නිශ්ශංකමල්ල රජුගේ දේශපාලන ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්‍ෂණ අතුරින් පොදු ජනතා අනුග්‍රහය ද සුවිශේෂීය. එහිදී දුස්‌ථව සිටි ලංකාවාසීන් සුස්‌ථ කිරීම සිදුකළ බව නිශ්ශංකමල්ල රජු තමාගේ සෙල්ලිපිවල සඳහන් කරනු ලබයි. ඒ බව පහත සෙල්ලිපි පාඨය තුලින් අනාවරණය වේ.

"පෙර රජ දරුවන් නොමඳ අයගෙන් දුරස්‌ථ කළ ලංකාවාසීන්" එමෙන්ම "රන්කොත් වෙහෙර ටැම් ලිපිය" තුළින් ද නිශ්ශංකමල්ල රජතුමා තමාගේ පොදු ජනතා අනුග්‍රය දක්‌වා තිබේ.

"පූර්වේ රාජයන් දවසැ, අශෝක වධ බන්ධන හෝ ගව මහීෂාදී ස්‌ර්මස්‌මඟරණයෙන් ඉතා දුස්‌ථව ගියා වූ ලෝකවාසීන්ට දණ්‌ඩනාදී දෙය හැර............"

පොදු ජනතාවට සේවය කිරීමට නිශ්ශංකමල්ල රජතුමා "දාන ශස්‌ත්‍ර" හෙවත් දිළිඳු භය දුරු කිරීම සඳහා අනන්ත යාචකයන්ට සම්පත් ලබා දීමට ක්‍රියා කොට ඇත. එම කරුණ විවිධ සෙල්ලිපි තුළිsන් අනාවරණය වේ.

"අන්නදාන නිරන්තරයෙන් පවත්වා" (අනුරාධපුර රුවන්වැලි සෑ ලිපිය.)

මෙහිදී ආහාර දාන වශයෙන් දිළිඳු ජනතාවට ලබා දුන් බව පැවසේ. "අනන්ත යාචකයන්ට රන්, රුවන් රිදී වළං..... (හැටදාගේ ප්‍රවේශ ලිපිය)

ආහාර පමණක්‌ නොව රන්, රිදියෙන් කළ වළං යනාදිය පවා අසරණ ජනතාවට ලබා දීමට මොහු ක්‍රියා කළේය. තවද දිළිඳු ජනතාව වෙනුවෙන් පොලොන්නරුව නගරය පුරා විවිධ ශාලා ඉදිකළ බව සඳහනි. එසේ ඉදිකරන ලද ශාලා පිළිබඳ විමසීමේදී "ත්‍රිභුවන ශස්‌ත්‍ර, නිශ්ශංක ශස්‌ත්‍ර, බෞද්ධ ශස්‌ත්‍ර, බහුජන ශස්‌ත්‍ර" යනාදිය වැදගත් ය.

මෙවැනි දේශපාලන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ නිශ්ශංක මල්ල රජතුමාගේ තවත් ක්‍රියාමාර්ගයක්‌ වූයේ අවවාද ඇතුළත් කරමින් රට පුරා සෙල්ලිපි පිහිටුවීමයි. ගම් නියම්ගම් සිසාරා සංචාරය කළ මොහු විවිධ අවවාද ඇතුළත් කරමින් සෙල්ලිපි පිහිටුවීය. එම සෙල්ලිපි අතර "ගල්පොත ලිපිය, කටුගහගල්ගේ ලිපිය, වැලිගත්ත ලිපිය" යනාදිය ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගනී.

"http://si.wikipedia.org/w/index.php?title=නිශ්ශංක_මල්ල_රජ&oldid=335392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි