දුර පැනීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දුර පැනීමේ ඉසව්වක්, GE Money Grand Prix, හෙල්සින්කි, ජුලි 2005


දුර පැනීම ජවන හා පිටිය ක්‍රීඩාවක් වන අතර එහිදී ක්‍රීඩකයන්ගේ වේගය, ශක්තිය හා සීඝ්‍රතාවය උදව්වට ගෙන සීමාවක සිට හැකිතරම් ඉදිරියට පැනීම සිදුකරයි. තරඟකරුවන් ධාවන පථයක කෙටි දුරක් (මොලොක් හෝ වල්කනයිස් වල රබර් ආලේපිත) වේගයෙන් දිව විත් වැලි හෝ සිහින් බොරළු වලින් පිරවූ වලකට, හැකිතරම් දුරකට ලෑලි පුවරුවක සිට පනියි. මෙම පනින දුරට සලකුණ (mark) ලෙස නම් කෙරෙන අතර, ඊට හේතුව වන්නේ පනින ලෑලි පුවරුවේ සිට වැලි මත සටහන්ව ඇති "සලකුණ" එය වීමයි. ක්‍රීඩකයා තම අඩිය ලෑල්ලේ ඉදිරි සීමාවෙන් ඔබ්බට තබා පැනීමක් සිදුකළහොත් එය නීත්‍යානුකූල නොවන පැනීමක් බවට පත්වන අතර, පනින දුරද වාර්තාගත නො‍කෙරේ. මෙය හඳුනාගැනීමට මැටිවලින් සමන්විත ස්තරයක් ලෑලි පුවරුවේ ඉදිරි සීමාවෙන් පසු කොටසේ අතුරා තිබේ. එසේ නොමැති නම් තරඟ තීරකයෙකු පැනීම නිරීක්ෂණය කර හඳුනා ගැනීම සිදුකරයි. තරඟකරුවාට නීත්‍යානුකූල සීමාවේ පිටුපස ඕනෑම ස්ථානයක සිට පැනීම සිදුකළ හැකිය. කෙසේ වුවත්, පනිනු ලබන දුර මැනීම සිදුකරන්නේ නීත්‍යානුකූල සීමාවේ සිට පමණි. එනිසා වැඩි දුරක් වාර්තා කරගැනීමට නම් තරඟකරුවා හැකිතරම් නීත්‍යානුකූල සීමාවට ළංව පැනීම කළ යුතු වේ.


සාමාන්‍යයෙන්, හැම තරඟකරුවකුටම නියමිත වාර ගණනක් හිමිවන අතර ඒ අතරින් වැඩිම නීත්‍යානුකූල දුර පැනීම පමණක් අවසන් ප්‍රතිඵලයට බලපායි. බොහෝ විට තරඟකරුවන්ට හිමි වාර ගණන තුනකි. ඔවුන් එයින් උපරිම ප්‍රයෝජනයක් ගත යුතුය. උසස් මට්ටමේ තරඟකරුවන් තැත් (Trials) හා අවසාන (Finals) ලෙස වට දෙකකට මුහුණපායි. අවසාන (Finals) වටයක් සහිත තරඟවලදී, අවසන් වටයට තරඟකරුවන් කීපදෙනෙකු පමණක් තෝරා ගැනීම සිදුකරයි.


අවසන් වටයට කීදෙනෙකු තෝරාපත්කර ගන්නවාද යන්න තරඟය පැවත්වීමට පෙර පුහුණුකරුවන් හා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් තීරණය කරයි. සම්මත භාවිතයක් වන්නේ නියම කරගත් ගණනට වඩා එකකින් වැඩි තරඟකරුවන් පිරිසකට අවසාන වටයට මුහුණ දීමට ඉඩ දීමයි. උදාහරණයක් ලෙස අවසාන වටයට 8 දෙනෙකුට පමණක් ඉඩදීමට කලින් තීරණය කර ඇති තරඟයක මුල් තරඟවලින් (Trials) තේරෙන හොඳම නම දෙනාට අවසාන වටයට තරඟ කිරීමට ඉඩදෙනු ලබයි. එමඟින් එම අතිරේක ක්‍රීඩකයාටද තම කුසලතාවය වර්ධනය කරගැනීමට අවස්ථාවක් ලබාදෙයි. අවසාන වටයේදී මුල් තරඟ වල වැඩිපුර දක්ෂකමක් පෙන්වූ තරඟකරුවන්ට ප්‍රමුඛතාවයක් හිමිනොවේ. එය ස්වාධීන වටයකි. තරඟකරුවන්ට වාර 3ක් හිමිවන අතර තැත් (Trials) වලදී හෝ අවසාන (Final) වටවලදී වැඩි දුරක් නීත්‍යානුකූලව පනින ලද ක්‍රීඩකයාට ජය හිමිවේ.


දුර පැනීමක් පියවර 4 කින් සමන්විතය. ඒවා නම් පිවිසුම් දිවීම, ඉදිරියට දුවන අවසාන අඩි දෙක, පැනීම සිදුකරන අවස්ථාව සහ පොළොවට පතිත වීමයි. දිවීමේ හෝ පිවිසුමේ වේගය, වැඩි උසකට ලෑල්ලේ සිට පැනීමේ හැකියාව දුර පැනිමේ සාර්ථක කරගැනීමේ සිද්ධාන්තය වේ. වේගය දුර පැනීමේදී වැදගත්ම සිද්ධාන්තයක් වන බැවින්, කාල් ලුවිස් (Carl Lewis) වැනි කෙටි දුර ධාවකයන් දුර පැනීමෙන් සාර්ථක වීම පුදුමයක් නොවේ.


දුර පැනීම ඉසව්වේදී ඉතා දිගු-කාලයක් නොකැඩී පැවති ලෝක-වාර්තා දෙකක් සැලකිල්ලට ගත යුතුමය. වසර 1935 දී, ජෙස්සි ඔවෙන්ස් තැබූ වාර්තාව, වසර 1960 දී රැල්ෆ් බොස්ටන් විසින් බිඳ දමන තුරු නොකැඩී පැවතිණ. පසුව, බොබ් බීමන් 1968 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ මීටර 8.9 ක් දුරට පැන තැබු වාර්තාව වසර 1991 දක්වා නොබිඳී පැවතිණි. 1991 වසරේදී ටෝකියෝවල පැවති ලෝක ශුරතා තරඟාවලියේදී ඇමරිකාවේ මයික් පවෙල් මීටර 8.95 ක් පැන කලින් වාර්තාව අලුත් කළේය. මීටර 8.95 ට වඩා වැඩි සමහර පැනීම් (මීටර 8.99 - මයික් පවෙල් හා මීටර 8.96 - අයිවන් පෙඩ්‍රොසො) නීත්‍යානුකූලව වාර්තාවුවත්, සුළ‍ඟේ වේග මැනීමක් නොමැති නිසා හා සුළ‍ඟේ වේගය 2.0 මීටර්/තප්පරයට වඩා වැඩිවීම නිසා වලංගු බාවයට පත් තර නොමැත. කාන්තා අංශයේ දැනට ලෝක වාර්තාව හිමිව ඇත්තේ සෝවියට් සංගමයේ(පෙර) ගැලිනා චිස්ටියාකොවා විසින් 1988 දී ලෙනින්ග්‍රැඩ් (Leningrad) වලදී මීටර 7.52 දුරට පැන තැබු වාර්තාවටයි.


Long jump
"http://si.wikipedia.org/w/index.php?title=දුර_පැනීම&oldid=178883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි