ද්විධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය

විකිපීඩියා වෙතින්

ද්වීධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරය (බීජේටී) යනු ට්‍රාන්සිස්ටර වර්ගයකි. මෙම ත්‍රි-අග්‍ර උපාංගය මාත්‍රණය කල අර්ධසන්නායක ද්‍රව්‍යයන් උපයෝගී කොට නිෂ්පාදනය කර ඇති අතර වර්ධන කාර්යයක් සඳහා හෝ ස්විචයක් ආකාර කාර්යයන් සඳහා හෝ භාවිත කල හැක. ද්වීධ්‍රැවීය ට්‍රාන්සිස්ටර එලෙස නම් කර ඇත්තේ ඒවායේ ක්‍රියාකාරිත්වය ඉලෙක්ට්‍රෝනයන් හා කුහරයන් යන දෙක මතම රඳා පවතින නිසාය.

බහුතර වාහකයන් ගලා යෑම මත යැපුනද, ට්‍රාන්සිස්ටර ධාරාවෙන් වැඩි කොටසක් සුළුතර වාහකයන් ගලා යෑම මත රඳා පවතින හෙයින් බීජේටී වර්ගීකරණය වනුයේ 'සුළුතර-වාහක' උපාංගක් ලෙසය.

PNP
NPN
PNP-
හා NPN-වර්ග
බීජේටී සඳහා
ක්‍රමානුරූප සංකේත.

හැඳින්වීම[සංස්කරණය]

පෙර-නැඹුරු E–B සන්ධියක් හා පසු-නැඹුරු B–C සන්ධියක් සහිත NPN බීජේටී

NPN ට්‍රාන්සිස්ටරයක්, හවුලේ භාවිත කරන ඇනෝඩ ප්‍රදේශයක් හා දියෝඩයන් දෙකකින් සමන්විත ලෙස සැලකිය හැක. සාමාන්‍ය භාවිතයේදී, පාදම–විමෝචක සන්ධිය පෙර නැඹුරුවකට ලක්කිරීම හා පාදම–සංග්‍රාහක සන්ධිය පසු නැඹුරුවකට ලක්කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස NPN ට්‍රාන්සිස්ටරයක, පාදම–විමෝචක සන්ධියට ධන වෝල්ටීයතාවක් යෙදූ කල, තාපජ ලෙස ජනනය වූ වාහකයන් හා හායිත පෙදෙසෙහි විකර්ෂක විද්‍යුත් ක්ෂේත්‍රය අතර සමතුලිතතාවය අසමබර වී, තාපජ ලෙස ජනනයවූ ඉලෙක්ට්‍රෝන වලට පාදම පෙදෙසට තල්ලුවී යෑමට අවස්ථාව ලබා දෙයි. මෙම ඉලෙක්ට්‍රෝක පාදම පෙදෙස ඔස්සේ විමෝචකය අසල අධි සාන්ද්‍රණයක් ඇති කලාපයෙහි සිට සංග්‍රාහකය අසල අව සාන්ද්‍රණයක් ඇති කලාපය වෙතට ඔබමොබ සැරිසරයි (හෝ "විසරණය වෙයි"). පාදම p-වර්ගය ලෙස මාත්‍රණය කිරීම හේතුවෙන්, පාදමෙහිදී කුහර බහුතර වාහක වන බැවින්, පාදමෙහි ඇති ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ සුළුතර වාහකයන් ලෙසය.

ට්‍රාන්සිස්ටරයක පාදම පෙදෙස පටු ලෙස නිමැවිය යුත්තේ, අර්ධසන්නායකයේ සුළුතර වාහක ආයු කාලයට වඩා අඩු කාලයකදී එය හරහා වාහක විසරණය වීම තුලින්, සංග්‍රාහක–පාදම සන්ධිය වෙතට ලඟාවීමට පෙර ප්‍රතිසංයෝජනය වන්නාවූ වාහක ප්‍රතිශතය අවම මට්ටමක පවත්වා ගෙන යෑම උදෙසාය. පාදමෙහි ගනකම, ඉලෙක්ට්‍රෝනයන්හි විසරණ පරාසයට වඩා අඩු විය යුතුය. සංග්‍රාහක–පාදම සන්ධිය පසු-නැඹුරු කරනුයේ, සංග්‍රාහකයෙන් පාදම වෙතට ඉලෙක්ට්‍රෝන තල්ලුව සුළුවෙන් සිදුවන අතරතුර, පාදම ඔස්සේ සංග්‍රාකය දෙසට විසරණය වන ඉලෙක්ට්‍රෝන, සංග්‍රාහක-පාදම සන්ධියෙහි හායිත පෙදෙසෙහි විදුලි ක්ෂේත්‍ර‍ය පිහිටෙන්, සංග්‍රාහකය වෙතට වේගයෙන් ඇදී යෑම සහතික වනු පිණිසය.