ද්වාරය:සංගීතය

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Music වෙතින් යළි-යොමු කරන ලදි)

ගීත විචාර

ගෙල වට බැන්දාවූ මුතුපොටේ ... ප්‍රියා සූරියසේන[සංස්කරණය]

ආදරය නොදැනුනූ හදවතක් මිහිපිට ඇතැයි නොසිතමි. හදවත තුල නැගෙන ආදරය එන්නට එපැයි කියන්නට නොහැකි යෞවනයක්,ගැටවර වියක් නොලද කෙනෙක් වේ නම් ඒ ආදරණීය හැගීම් නුපුදින සහ නොවින්ද කෙනෙකු යයි මම පවසමි. ඒ තරමටම ආදරය සහ ආදරණීය හැගීම් සතුටක් ම වන බව මගේ හැඟීමයි.

..ගෙල වට බැන්දාවූ මුතුපොටේ

..දිස්නෙට මුහුණෙහි ඔප වැටේ

..ඔසරි නෙරීයට නලල් තිලකෙට

...බැන්ද සිතු පෙම් ආනන්ද වේ

             තාරුණ්‍ය තුල දැනෙන කෙළිලොල් බව සහ දැකීමෙන්,සිනහවෙන් ඇතිවන හැගීමක් තුල ගොඩනැගෙන කතාබහක සුන්දර තාරුණ්‍යයක් ගීතය තුලින් මම දකිමි. කන්ද උඩරට උපන් හා ඒ සංස්කෘතිය තුල ජීවත් වන ඒ සංස්කෘතියම ආභරණයක් ව පැලදී තරැණිය කට සිත්  බැදි තරුණයකු ආනන්දනීය ප්‍රේම ප්‍රවාහයක මන්දස්මිත වන අයුරු උත්පාදනය වන ප්‍රේමයක පෙර නිමිත්තක්දෝයි මට හැගේ. 
          සුන්දර පරිසරය තුල ඇස ගැසෙන ඇයද නාගරික  වු පරිසරයක ආගන්තුක ආ තරුණයකු අතර ඇතිවන සංවාදය තුල ඇය ඔහුට දෙවෙනි නොවන පිලිතුරක්  සපයනුයේ තාරුණ්‍යය තුල ගැටගැසෙන ආදරය හදුනා ගත් නිසාවෙන්ම යැයි මට හැගේ. අප දකින සහ සිටින  පරිසරය තුල රුවින් හා සුන්දරත්වයෙන් පිරිපුන් යුවතියකට පිබිදුනු හැගීම් ඇතී තරුණ නෙත් සිත් ආකර්ෂණය වීම අරුමයක් නොවන බව දනිමි. එවැනි උසුලු
විසුලු හෝ සංවාදයන් නොවන තාරුණ්‍යය තුල පැවැත්මක් ද නොවන බව මට හැගේ. එය අස්වාභාවික නොවන යෞවනයක් ලෙස මම දකිමි. 

...සෙංකඩගල පුර පෝදා සදමෙනි

.....මේ මුතු මැණිකේලා..

           වර්ණනාවන්  තුල රසයක් මතුපිටින් නොවුනත් යටිසිතින් හෝ විදින්නට යෞවනියන් අකමැත්තක් දක්වන්නේ නම් නැත. එය යෞවනය පසුකල අය විද ඇති නොරහසකි. ඇයද තරුණ වර්ණනාවන් තුල අත්විදි සතුට හදවත තුලම රදවා ගන්නට ඇති. එහෙත් එකහෙලා සියලු දේ නොපවසන තරුණියගේ ගුණාංගය ඇය තුලද මම දකින්නෙමි. සියුම් ආඩම්බරය යුවතියකට ආවේණික වූ ලක්ෂණ වන නිසාදෝ ඇයද ඔහුගේ වර්ණනා න්විත දෙබස් තුලට ආකර්ෂණය නොවී,පිළිනොගන්නා  දෙබස් තුල ඔහුව  රැදෙව්වා යැයි මට හැගේ. 
                     සියුම් ආඩම්බරය ඇයගේ  සංස්කෘතිය,හා පරිසරයත්  ගැහැණූ කමත් තුල පිහිටි සහ ආවේණික ගතිය පෙන්වුවායැයි මට හැගේ. ආගන්තුක වු තරුණයෙකු ට එකහෙලා හැදෙන්නට බැදෙන්නට තරම් නොවන සිතක් ඇතිව ඒ පිලිබද විමසීමත් පිලි නොගන්නා ඔහුව ඇගේ දුර්වලකමක් අඩුවක් ලෙස දකින්නටත්  දුන් අවකාශය තුල සිතන්නට යමක් ඇතැයි මට දැනේ. තොරතුරු හුවමාරුව තුල ආදරයක් ගොඩනැගේ ද. නැත්නම් යෞවනයේ එක් අහඹු හමුවීමක් තුල වේදනාවක් නොවන වෙන්වීමක් සිදුවේවි ද විසදුම ධන හෝ ඍණ වුවද සැබෑ තාරුණ්‍යය මෙසේ වන බවනම් ඇත්තක් සේ දකින්නට මගේ සිත මට කියයි. තරුණ  ගැටවර ඉලන්දාරි කම තරුණයකු තුල මතු කර ලීමත් ආවේණික යෞවනයේ සැබෑම වු හැගීම් ගීතය තුලින් මතුකල බවත් පවසමි.
                     
               ආචාර්ය අජන්තා රණසිංහයන් ගේ අපූරු පද සංකල්පනා තුල දුකක් නැති යෞවනය අත්විදීමට තරම් පදපෙල තුල සෞන්දර්ය,හැගීම් මෙන්ම කෙළිලොල් බව අන්තර්ගත වුවායැයි පවසමි. සරල පදපෙල තුල බොහෝ කතාවන් වු බවද දැනින. ප්‍රියා සුරියසේනයන්ගේ අපූරු සංගීතය තුල රූප රාමුවක්  සේ තාරුණ්‍යය පෙල ගැසින.  ප්‍රියා සුරියසේනයන්ගේ සහ ආදරණීය නිරංජලාවන් ගේ ගැයුම තුල  දැනුන මධුර  හඩ තුල ගීතය හදවත තුල දැනවූ රසය සහ හැගීම්  තාරුණ්‍යය සිහිපත් කළ බවද පවසමි. මා ආදරණීය නිරංජලාවනී මම ඔබට දීර්ඝායුෂ පතමි ආදරෙන්. 🌞🌞🌞🌞🌞
               

ගෙල වට බැන්දා වූ මුතු පොටේ

දිස්නෙට මුහුණේහි ඔප වැටේ

ඔසරි නෙරියට නළල් තිලකෙට

බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කෝකිල සංදේශ කවි පොතේ

ඔය වැනි උපමා ද තව ඇතේ

රුවැති ළඳකට තනිව මග තොට

යන්න නිදහස දැන් නෑ වගේ

සෙංකඩගලපුර පෝදා හඳ මෙනි මේ මුතු මැණිකේලා

දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම නෑ සුභ නෑ ඕවා //

ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..

කාගේ කවුරුද ඉන්නේ කොතැනද නෑ අපි අඳුනන්නේ

ආගන්තුක අපි ආවම කඳුරට නැතුවද පිළිගන්නේ //

කෝකිල සංදේශ කවි පොතේ…..

ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..

ගායනය - නිරංජලා සරෝජිනී, ප්‍රියා සූරියසේන

ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - ප්‍රියා සූරියසේන

විවරණය -වසන්ති වික්‍රමාරච්චි

නිර්මලා...නිරංජලා සරෝජිනී, විශාරද ගුණදාස කපුගේ[සංස්කරණය]

සමාජය තුල විවිධ පැතිකඩ ඔස්සේ බෙදා ඇති ජීවන රටාවන් හා ඒ හරහා බද්ධ වුනු කුලපීඩනය, සමාජ ගත ගැටලුවක් වුවාසේම නිමනොවන ප්‍රශ්නයනටද පාදකවීමක් ලෙසද මම දකිමි. ප්‍රේමය හමුවේ කුලපීඩනය , පීඩනයක් ව උච්ච ලෙස මතුවනුයේ ප්‍රේමයෙහි ඒකාත්මික තාවය තුල තව පරපුරකට දෙන්නාවු උපතේදී කුලයද ගැටලුවක්ව නැගිටින නිසායැයි මම දකිමි. එවන් වූ ජීවන දෘෂ්ටියක් හා බද්ධ වුනු ගීතයක් වින්දෙමි.

.. නිර්මලා ලොන්ඩරිය හිමි සලුවඩන

....මැණිකේ නිර්මලා

....මල් හිනා නුබේ තැවරිලා කිරි

....ඉද්ද මල් වැට පීදිලා.......

                   ....ප්‍රේමය  කුල පීඩනය හමුවේ බිදීයනවානම් පෙම්වත් වු හදවත් තුල නැගෙන වියෝගය ද ජීවිත තුලට එක්කරනුයේ සදාකාලික  අමිහිරි  මතකයක්ම යැයි මගේ හැඟීමයි. ඔවුන්ද පෙම්වත්  වුයේ බලාපොරොත්තු  වු ජීවිතය  අත්විදීමට නොවන්නේද. එහෙත්  මොවුන්ගේ  ප්‍රේමයෙහි  පැවැත්මක්  නම්  පවතින්නේ නැත.ඒ කුල පීඩනය  හමුවේ  ඔවුනගේ  ප්‍රේමය වියෝගයක්ම වු නිසාවෙනි. 
                   
                 සලුවඩන නිර්මලා මැණිකක්ව දකින්නට තරම්  ඔහු තුල කුල හීන වු ඇය පිලිබද උසස්  වු ප්‍රේමයක් තිබුණායැයි මම කියමි. ඇගේ සිනහවේ ඇති සුන්දරත්වය තුලින් ඔහු පීදුනූ නොසැලෙන ඉද්ද මල් වැටක්. සේ දුටුවේ ඇය තුල රැදි ප්‍රේමණීය හැගීම්  නොවේද. කුලයෙන් උසස්  වු ඔහු මෙන්ම  කුලහීන වු ඇය කුලවතුන්ගේ කිලිටි රෙදි සෝදා පාවඩ එලා පිලිගනුයේ ඇය උපත සමගම ගෙන ආ කුලහීනත්වය නැමැති දායාදය  ඇයගේ  උරුමය  වු නිසාවෙන්ම නොවේද. ඔවුනගේ  ප්‍රේමය  තුල නොතිබූ භේදත්වය කුලවත් වු නෑදෑ පිරිස තුල තිබීම නිසාම  නොවේද ඔහුගේ  ලෝකය තුලින් ඇය ඈත්කරලුයේ.....

..නිර්මලා නිර්මල නැතැයි මා ...

..ඔබෙ ලොවෙන් පිටමංකලා....

                  සමාජය  ඇතුලත පැවතුනු කුල පීඩනය හමුවේ  ඔවුනගේ  ප්‍රේමයේ රදාපැවැත්ම බිදවැටුනායැයි මට දැනෙයි. පෙම්වත්  වූ ඔවුනගේ  ලෝකය  බිදවැටුනේ ඔවුනගේ  අකමැත්තෙන්  වීම  ඛේදනීය  වියෝගයක්  සේ මම දකිම්. ප්‍රේමය  තුල ඔවුන් පරිත්‍යාගශීලී  වනුයේ ඔවුන් උදෙසාම නොවන බවද මගේ  දැනීමයි. සමාජය  තුල. මිතුරන්  තුල ලද හාස්‍යයට ලංකිරීම ඉන් ඔහු  ලද වේදනාව  මෙන්ම  ඇය හෙලු කදුලු වල පරිමාණය ද නොවියලුනූ සලුපිලී  වල රැදී කදුලු වලින් ඇය තවමත් වියෝගයක්  වු ප්‍රේමය වෙනුවෙන් කදුලු සලන බවම හගවනවා නොවේද. 
               ඔවුන් වින්ද ප්‍රේමයට වඩා වියෝගයෙන් ලැබූ වේදනාව කම්පිත  යැයි මට සිතේ. කුල භේදයේ පිලීගද සහ කුලමල නිසා වියෝවක්ම වන ප්‍රේමය ඔවුනට හිමි නොවන ප්‍රේමයක්  වූවද,රෙදි අපුල්ලන ඇයට ඔහුගේ  කිලිටි ඇදුම්  තුලින් එන සුවදද , සුවදක්ව හිත් පුරා විදගැනීමට  තරම් වූයේ එදා ඔහු  තුලින්  දුටු සහ වින්ද නිකලැල් ප්‍රේමය , ආදරය  අදටත් ඒ ලෙසටම දැනෙන නිසා  සහ පවතින නිසාම නොවන්නේද.
               

..එදා සෙනෙහස නොකිලිටිව ඔබේ

...හිත පුරා පවතින නිසා

...හිමි නැතත් මට හුරු සුවද ඒ

..ඇදුම් අතරේ තියෙනවා..

               ඇගේ ආදරයද ඔහුට අදටත් දැනෙනවා යැයි මම පවසමි. සෝදා ඉවතහැරිය නොහැකි  තරමේ කුලවත් වු කුණු තැවරුන සලුපිලී  ඇයට දෙන්නට තරම්  ඔහුට සිත් නොදුන්නේ ඔහු  ඇය තුලින්  දුටු නොකිලිටි  නිර්මලත්වය නිසාම නොවේද .ඇයව උස් තැනක තැබීම එතුලින්  ඔහු කලා යැයි මට හැගේ. ඇයද වියෝගයක්  වු ආදරයට හෙලු කදුලු වල තෙතමනය අදටත් ඇගේ  සලුපිලී  තුල රැදුනේ වියෝවක් වු ප්‍රේමය තුල ඔවුනොවුන්  සදාකාලිකවම කදුලු හෙලන නිසාම  යැයි මට සිතේ. 
               
               කුලභේදය නිසා  පැවැත්මක්  නොතිබුණු  ප්‍රේමය  හමුවේ හඩාවැටෙන්නන් සර්වකාලීනවම  දකින්නට ඇත්තේ මේ නිමාවක් නොවු ගැටලුව අදටත් සමාජගතවී ඇති නිසාම නොවෙත්ද. 
                  රත්න ශ්‍රී විජේසිංහ නම්  විශිෂ්ඨ  පද රචකයා  අපූරු  සහ බහුල  සමාජගත  ගැටලුවක් ප්‍රස්තුතය කරගනිමින් ලියු මේ  පදවැල්  තුල ඒ ගැටලුවේ ස්භාවය යථාරෑපීවම අන්තර්ගත වුවායැයි මම පවසමි. ජීවන දෘෂ්ටිය  සමග බද්ධ වු මේ ගීතය  තුලින්  සමාජගත වු සමාජමය බර ප්‍රකාශිත  වු වුවායැයි මට සිතේ. විශාරද ගුණදාස කපුගේයන් සංගීතය  තුල රසය ත්‍රීව්‍රර  කරලීය. 

කපුගේ ශූරීන්ගේ සහ ආදරණීය නිරංජලාවන්ගේ හඩ මුසුව හැගීම් බර ගායනයක්ම ගෙනහැර පෑම නිසා ගීතය තුලින් ලද රසය මෙන්ම සමාජ මය ගැටලුවද දැනුන බව වින්දනය තුලින් මා ලද අත්දැකීම තුලින් පවසන්නෙම්. කපුගේ ශූරීනී ඔබට නිවන් සුව ලැබේවා .ආදරණීය නිරංජලාවනී මම ඔබට දීර්ඝායුෂ සමග සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරමි ආදරයෙන් ✳✳✳✳✳

නිර්මලා ලොන්ඩරිය හිමි සළු

වඩන මැණිකේ නිර්මලා

මල් හිනා නුඹෙ තැවරිලා කිරි

ඉද්ද මල් වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි

සළු වඩා පාවඩ එලා

නිර්මලා නිර්මල නැතැයි මා

ඔබෙ ලොවෙන් පිටමං කළා

පන්තියේ මිතුරන් එදා කළ

විහිලුවෙන් හිත රිදුණු දා

මා හෙළු කඳුළක් මගේ

දින පොතක තිබිලා හමුවුණා

යුදවැදී නෑසියන් බලමුළු

අපේ ලොව ගිනි වැදුණු දා

මා හෙළු කඳුළින් තෙමූ සළු

පිළි තවම නෑ වේලිලා

දොවාලන්නට බැරි පිළී ගඳ

කහට කුල මල තවරලා

මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක දරන්නට බෑ නිර්මලා

එදා සෙනෙහස නොකිළිටිව ඔබෙ හිතපුරා පවතින නිසා

හිමි නැතත් මට හුරු සුවඳ ඒ

ඇඳුම් අතරේ තියෙනවා

නිර්මලා ලොන්ඩරිය හිමි......

කුල ගෙවල් සැරසිලි කළත්.....

ගායනය - නිරංජලා සරෝජිනී, විශාරද ගුණදාස කපුගේ

සංගීතය - විශාරද ගුණදාස කපුගේ

ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ

විවරණය - වසන්ති වික්‍රමාරච්චි

.....හිම කදු යහනේ..වලා සැදැල්ලේ... නිරංජලා සරෝජිනී, ග්‍රේෂන් ආනන්ද[සංස්කරණය]

 වින්දනීය ප්‍රේමය,ආදරය හදවත සොයන එකම සද්හැගීමයයි මට සිතේ. මේ ආදරණීය  වින්දනය දෙනෙතින්,දෙසවනින්,මෙන්ම සංස්පර්ශයෙන් ලගාකරගැනීමට සැමවිටම උත්සහ ගැනීම හැගීම්  ඇති මිනිසුන් වන අපගේ  කැමැත්ත යැයි මම පවසමි. එවන් වු 

ප්‍රේමයක් විදින්නට තැත් කිරීම ගීතයක් තුලින් වින්දෙමි.

.....හිම කදු යහනේ..වලා සැදැල්ලේ...

......සදාහරිත තුරු සෙවනැල්ලේ...

.....මොහොතක් සැගවෙමූ ලොවින් මුවාවී

......අපේ සිහින උයනේ...

          හිමෙන්  සැදුනු යහනක් හා වලාකුලෙන් සැදුනු සදැල්ලක් මලින් පිරුනු උයනක් ..පෙම්වතුනට පාරාදීසයක්  නොවන්නේද. අල්ලා ගත් පෙම්  සිතිවිලි හා විකසිත  වු ආදරය අවදිකරවා ඒ තුල සංතෘප්තිමත්  වීමට ඔවුන් කාත් කවුරුත්  නැති  ලෝකයක්,සිහින ලෝකයක් තනනවායැයි මට සිතේ. කොටුකර තැබිය නොහැකි  සිත් දෙකක බැම් බිද දමා එකිනෙකා  තනිව සිතු සිතිවිලි  එකට එක සිතක්ව සුසුමක නොරදා එකට බැදෙයිනම් ඒ  සොදුරු ලෝකය  ඔවුනගේ ම සිහින  ලෝකයක්  යයි මට හැගේ 

ඇයද ඔහු තනන ඒ ලොව තුල සිනාසෙන මලක්ව ඔහු වෙතම නැඹුරුව ,ඔහුටම සුවද විහිදුවාලන්නේ ආදරය විදින්නට යයි මම කියමි. පිබිදුනු සිතිවිලි පසිඳුරන් අවදි නොකරයිද. ඇය ඔහු වෙනුවෙන් මලක් ව පිබිදී පැකිලීමකින් තොරව ඒ ආදරය ,ප්‍රේමය ඔහුට පුදන්නට සූදානම් යැයි මට හැගේ. ප්‍රේමය තුල ඔවුනගේ සිතිවිලි එකිනෙකා කෙරෙහි බැදී ඇති බැදීම තුල ප්‍රේමයේ සුන්දර බව ,පූජනීය බව,දකිම්.

....කදුලක් නැගී මොහොතක ඔබේ නෙතගින්

.....ලංවෙමි සිටියද කොතැන ලොවේ...

            ඔවුනගේ  ප්‍රේමය සුරක්ෂිත ලෙස මම දකිමි. ඇය වෙනුවෙන් ඇය සුරකීම වෙනුවෙන් ඔහු  ඔහුටත් වඩා ආදරයෙන්  කැපවෙයිනම්ඒ ආදරය තුල ඇය නොරැකේද. ප්‍රේමයේ, ආදරයේ සවිමත්  බව විශ්වාසය මත පදනම්  වන බව මගේ  හැඟීමයි. එවන් වූ  විශ්වාසයක්  තුල රැදෙන ආදරය සදාකාලික  බැදීමක් වන බව පවසමි. ඇයද ඒ විශ්වාසය  තුලම රැදි ඔහුගේ  ආදරය විදිනවායැයි  මට දැනේ.එවන් වු ආදරය තුල ඇයට කදුලක් මතු නොවෙතැයි ,හිමි නොවේයැයි මම කියමි. කදුලක් නෙතට දෙන වේදනාවට වඩා හසරැල්ලක තුල ලබන සැනසුම ඇය ඔහුගේ හදවත තුල දකිනවා යැයි සිතේ. ඔහුගේ  උණුසුම  තුල දැනෙන හදගැස්ම තුල ඒ විශ්වාසනීය  ආදරය, රැකවරණය නිකලැල්  ලෙසම ඇය වින්දයැයි සහ විදිනවායැයි මම දකිමි. 
            
          තරුණ  හදවත් තුල ඇතිවන ආදරණීය  හැගීම්  පෙලක් , පිබිදුනු විට දැනෙන සොදුරු ප්‍රේමණීය  ආස්වාදය  කුලරත්න ආරියවංශ  පද රචකයා  ජීවමාන  ලෙසම  දැනෙන්නට පදපෙල නිර්මාණය  කර ඇත.1984 වසරේ මාලනී ෆොන්සේකා මහත්මියගේ  සසර චේතනා චිත්‍රපටයේ ගීතයක් ව උපන්  මේ ගීතය  අදටත් රසවිදීමේදී  රූපරාමු  මසැසට ගෙන එන්නට තරම්  ගීතය  රසවත්  ලෙස ගොඩ නැගී  ඇත. සරත් දසනායකයන්ගේ විශිෂ්ඨ  සංගීතය  තුල ගීතය  නැංවු රසය මනසට දුන් මිහිරියාව ගේෂන් ආනන්ද සහ නිරංජලාවන්ගේ හඩ යුගලය  තුල නින්නාද විය.එතරම්  මනොරෑපී ගායනාවක්  යුගලය තුලින්  නැංවීම ගීතය  රස විදීමට දෙසවන්  ඇදගත්තායැයි පවසමි. ආදරණීය  නිරංජලාවනී  ඔබට දීර්ඝායුෂ පතමි ආදරෙන්. 🧡🌨💛❄🧡
          

හිම කඳු යහනේ වළා සඳැල්ලේ

සදාහරිත තුරු සෙවනැල්ලේ

[මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී අපේ සිහින උයනේ]//

[දෙසිතක බැඳි රැකවල් ගිළිහී යයි තනි වූ සිත් අද නොතනි වෙලා]

ඒ හසරැල් විල මා සිත පිබිදී ඔබට පිදෙන්නට මලක් වෙලා

හිම කඳු යහනේ වළා සඳැල්ලේ.....

කඳුළක් නැඟි මොහොතක ඔබ නෙතඟින් ළං වෙමි සිටිය ද කොතැන ලොවේ

හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර ඔබගේ උණුසුම් ළය මඬලේ

ගායනය - නිරංජලා සරෝජිනී, ග්‍රේෂන් ආනන්ද

ගේය පද - කුලරත්න ආරියවංශ

සංගීතය - සරත් දසනායක

විවරණය - වසන්ති වික්‍රමාරච්චි

ඔබ කොතැනකදෝ මගෙ හද රඳවා.....නිරංජලා සරෝජිනී[සංස්කරණය]

විකසිත වු ප්‍රේමයක, ප්‍රේමණීය වු හැගීම් තුල හදවත රදවාලිය හැකිනම්,සහ වින්දනීය ප්‍රේමය තුල ප්‍රේමය විදගැනීමට හැකිනම් ඒ ආදරය තුල ජීවිතාශාව බෙදාගැනීමට බාධාවන් හෝ විදවීම් හෝ නොතිබුණායැයි මට සිතේ. එවන් වු ආදරයක තරුණියකගේ සිතිවිලි පෙලගැස්මක් මේ ගීතය තුලින් දකිම්.

...ඔබ කොතැනකදෝ මගෙ හිත රදවා

...ගෙනයන්න ගියේ මා සිරකරදා...

...ඈතක නොයන්න සබඳේ.....

                     ඇයද ප්‍රේමණීය  ඔහුගේ  හදවත තුල කිසිවෙකුට නොපෙනෙන හෝ කිසිවෙකුට ලබාගත නොහැකි  තැනක ඇගේ හදවත නිධන් ගත කලා යැයි මට සිතේ. ඒ හදවත ... තුල රැදුනූ ඇගේ  සිතිවිලි  ඔහුගෙන් තොර දෙයක් හෝ ලෝකයක් නොදකින තරමටම ප්‍රේමය  ඔහු  තුලම රදවා ගන්නේ ඇගේ  ලෝකය  ඔහුම වු නිසා යැයි  මට සිතේ. ඇය ඔහු  ඇය තුලම  රදවාලන්නට තැත්කරනුයේද ඒ ලබැදියාව  එතරම් ම වු නිසාවෙනි. ගතවෙන හැම මොහොතකම,දවසක්ම ඇයට කල්පයක්  තරම්  වුයේ ඇගේ  සිතිවිලි  තුල ඔහුම සැරිසැරූ නිසායැයි  මම සිතමි. ඒ තරමටම  ඔහුගේ  ආදරය හමුවේ  ඇය උන්මන්තියක සේ ඒ ප්‍රේමයේ විකසිත  වීම තුලම  ඇය රැදෙන්නට  ගත් උත්සාහයයි මම කියමි. ප්‍රේමයෙන් බැදුනුනූන් දැකීම,සිනාව,කතාව,හා ලංවිම තුල ජීවත්  වන්නට කැමැත්තක්  දක්වයි. කාමුක නොවන එවැනි  නිරාමිස  හැගීම්  තුල තරුණිය ඔකඳ වුයේ ප්‍රේමය  ඇගේ  ජීවිතය  ලෙස අත්විදින්නට තරම්  ඇගේ  හදතුල ආදරය රැදුනූ  නිසාම  යැයි  මට හැගේ 
                     

..ගත සිත එකලස් නොවන යාමයේ

..පාලුව දැඩි ලෙස දැනුනේ....

                     ඇයගේ  සිත සොයන සහ ගත ඉල්ලන උණුසුම  ඔහුම නොවුනේද. ඇගේ දෑස්  සොයනුයේ ඔහුගේ  රුවම නොවේද දැන් ඇතියි,දැන් එතියි සිත පවසනුයේ ඔහුගේ  ජීවිතය ම නොවන්නේද. සිතිවිලි  තුල සැරිසරන  ඔහු  කෙරෙහි  ආත්මීයවම බැදුනු ඇයගේ  ආදරය අතහැර  නොගිය  ඔහුගේ  වෙන්වීම නිමේෂයකට වුවද ඇයට මහා කාලයක් සේ දැනුනේ ද .....සිතිවිලි  තුල කාලය ගෙවීමට ඔහු  මිසක වෙන කිසිවකුත් ඇගේ  සිත තුල නොවුන නිසා  යැයි මම කියමි.
                     
                ඔහුගේ  හදතුල දැනුනු සුවද ,සුවදක්ව විදගැනීමට සැබෑ පෙම්වතියක වන ඇය ඔහු  එනතුරු  බලාසිටිනුයේ කප්පරක්  තරම්  වු ප්‍රේමයණීය හැගීම්  අපේක්ෂාවන් ඔහු හා බෙදාගැනීමට සහ  අපමණ වු නිරාමිස ප්‍රේමය අත්විදීමට යැයි මට හැගේ. අවිහිංසක ආදරණීය අපේක්ෂා සමග පෙම්වත්  වු ඔහු එනතුරු බලාසිටින තරැණි යකගේ ලෝකය ගීතය තුලින් සුන්දරව දකිම්. 
                
              නිහාල් ගම්හේවා ගීත පද රචකයා යෞවනියකගේ පෙම්වත්  සිතිවිලි  හා බලාපොරොත්තු නිමිති කරගෙන පදරචනය සර්වකාලීන  ලෙස නිම කල බව දුටිමි. ඔහුගේම සංගීතය  තුල පදපෙල රසවත් වුවා සේම ආදරණීය නිරංජලාවන්ගේ  යෞවන හඩ තුල පෙම්වත්  තරැණිය  දකින්නට තරම්  හැගීම්  තුල ගීතය  රසවත් කරලීමට ඇගේ  හඩ පෙම්වත්  වු බවද කියමි. ආදරණීය නිරංජලාවනී මම නුඹට දීර්ඝායුෂ පතමි ආදරෙන් ⛱⛱⛱⛱⛱
              

ඔබ කොතැනකදෝ

මගෙ හද රඳවා

ගෙන යන්න ගියේ

මා සිර කර දා

ඈතක නොයන්න සබදේ

මොහොතක් පාසා

ඔබ ගැන සිහි වී

කාලය දිගය සිතේ

[සිතිවිලී අතරේ තෙරපෙන්නේ]//

දොර කවුළුවකින්

එන මඟ බලමින්

දෑස් අයාගෙන ඉන්නම්

ඔබ කොතැනකදෝ........

ගත සිත එකලස්

නොවන යාමයේ

පාළුව දැඩි ලෙස දැනුණේ

[ඔබ හද අරණේ සුවඳ දැනී]//

දොර කවුළුවකින්

එන මඟ බලමින්

දෑස් අයාගෙන ඉන්නම්

ඔබ කොතැනකදෝ........

ගායනය - නිරංජලා සරෝජිනී

ගේය පද - නිහාල් ගම්හේවා

සංගීතය - නිහාල් ගම්හේවා

විවරණය - වසන්ති වික්‍රමාරච්චි

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සංගීතය&oldid=454225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි