ජෝසප් ප්‍රිස්ට්ලි

විකිපීඩියා වෙතින්
Joseph Priestley

ජෝසප් ප්‍රිස්ට්ලි
Rembrandt Peale විසින් අඳින ලද ප්‍රිස්ට්ලිගේ චිත්‍රය
උපත24 March [O.S. 13 March] 1733
මියගිය දිනය6 February 1804(1804-02-06) (වයස 70)
රැකියාව
ප්‍රසිද්ධව ඇත්තේ
සම්මාන
(1794) දී එලන් ශාර්ප්ල්ස් විසිනි

ජෝසප් ප්‍රිස්ට්ලි(Joseph Priestley) (1733 මාර්තු 13 දසිට 1804 පෙබරවාරි 6) 18 වැනි සියවසේ විසූ බ්‍රිතාන්‍ය ජාතික දේව ධර්ම ආචාර්‍යවරයයෙකු සම්ප්‍රදායෙක් බැහැර වූ පූජකයෙකු ස්වභාවධර්මය පිළබඳ දර්ශනවාදියෙකු අධ්‍යාපනඥයෙකු හා දේශපාලන චින්තකයෙකු විය. හෙතෙම පොත්පත් 150කට වැඩි ප්‍රමාණයක් පලකර ඇත. ඔක්සිජන් වායුවෙන් පිරිසිදු සාම්පලයක් ලබා ගැනීම හේතුවෙන් මොහුට ඔක්සිජන් වායුවේ සොයා ගැනීම පිළිබඳ ගෞරවය හිමිවන බව සාමාන්‍ය මතයයි. එහෙත් කාල් විල්හෙල්ම් ස්කීලි(Carl Wilhelm Scheele) හා ඇන්ටොයින් ලැවෝෂියර්(Antoine Lavoisier) යන දෙදෙනා ඔක්සිජන් සොයා ගැනීම කෙරෙහි හිමිකම් ප්‍රකාශ කරති.

ප්‍රිස්ට්ලිගේ ජීවිත කාලය තුළ ඔහුගේ විද්‍යාව පිළිබඳ වූ කීර්තිනාමයට හේතු වූ කරුණු ලෙස සෝඩා ජලය (CO2 වලින් සංතෘප්ත ජලය) පිළිබද සොයා ගැනීම විද්‍යුතය පිළිබඳ කරුණු ලියා පල කිරීම හා වායුන් කිහිපයක් සොයාගැනීම සැලකිය හැකි වේ. ඔහු වායුන් පිළිබද කළ සොයා ගැනීම්වලින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔක්සිජන් වායුව සොයාගැනීමවන අතර ඔහු ඔක්සිජන් වායුව ප්ලෝස්ටන් මුක්ත වායුව ලෙස නම් කරන ලදී. කෙසේ නමුත් ප්‍රිස්ට්ලි ප්ලෝස්ටන් න්‍යාය රැක ගැනීම දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියාකිරීම නිසා පසු කලෙක හෙතෙම විද්‍යාත්මක ප්‍රජාවෙන් කොන්කරන කරන ලද තත්වයට පත්විය.

විද්‍යාව ආගමික මතවාද ශක්තිමත් කිරීමට යොදාගැනීමට ප්‍රිස්ට්ලි දිගින් දිගමට උත්සාහ කළ අතර ඔහුට අවශ්‍ය වූයේ හේතුවාදී ක්‍රම මගින් විද්‍යාත්මකව ඇති කළ බුද්ධි ප්‍රබෝධය ක්‍රිස්තියානි මතවාද සමග සම්මිශ්‍රණය කිරීමයි. ඔහුගේ අධ්‍යාත්ම විද්‍යාව පිළබද වූ ප්‍රකාශනවල දී දේවවාදී ඇදහිලි , භෞතිකවාදය හා නියතිවාදය අතර සම්බන්ධතාවක් ගොඩනැගීමට හෙතෙම නිතර උත්සාහ කළේය. ඔහුගේ මෙම උත්සාහය ස්වයං මතවාද මත පිහිටා සිදුකළ ඉතා නිර්භීත ක්‍රියාවක් ලෙස සැලකේ. ස්වභාවධර්මය පිළිබද නියමාකාර අවබෝධයක් ලබාගැනීම මගින් මානව වර්ගයාගේ ඉදිරි ගමන වඩාත් යහපත් ආකාරයට ඉටු කරගත හැකිවනු ඇති බවත් අවසානයේදී මෙම ක්‍රියාවලිය හේතුවෙන් කිතු දහම පිළිබඳ සහස්‍රකය උදාවනු ඇති බවත් ප්‍රිස්ට්ලි විශ්වාස කළේය. ප්‍රිස්ට්ලි නිදහස් හා විවෘත අයුරින් අදහස් හුවමාරු කරගැනීම සඳහා සහයෝගය පලකළ අතර සම්ප්‍රදායික නොවන ආගමික මතධාරීන් ඇදහිලි ඉවසා සිටීමත් ඔවුන්ට සම අයිතිවාසිකම් ලබා දීමටත් හැකිවන පරිදි ඒක මතයක් ගොඩනැගීය. ඔහුගේ මෙම ක්‍රියා පටිපාටිය එංගලන්තයේ අදේවවාවාදීන් ( දෙවියන් නැතැයි විශ්වාස කරන්නන්) පැතිරයාමට හේතු විය. ප්‍රිස්ට්ලිගේ සාම්ප්‍රදායෙන් බැහැර වූ පොත්පත් නිසාත් ප්‍රසිද්ධියේම ප්‍රංශ විප්ලවයට සහයෝගය ප්‍රකාශ කිරීම නිසාත් අවසානයේදී ඔහු රජයේ හා මහජනතාව‍ගේ සැකයට භාජනය වූ අතර මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ 1791 වසරේ දි කලහකාරී පිරිසක් විසින් ඔහුගේ නිවස හා පල්ලිය ගිනිතැබීමෙන් අනතුරුව ඔහුට ඇමරිකා එක්සත් ජනපදය හැර යාමට සිදුවීමයි.

උගතෙකු මෙන්ම ගුරුවරයෙකු ද වූ ප්‍රිස්ට්ලි තම ඉගෙනුම් ක්‍රමවේද රැසක් හඳුන්වාදීමට දායක වූ අතර ඉංග්‍රීසි ව්‍යාකරණ පිළිබඳ අතිශය වැදගත් වූ ප්‍රකාශන කිහිපයක්ද පළ කළේය. හෙතෙම අතීතය ගැන ලියවුණු පොත්පත් අධ්‍යයනය පිළිබඳ වූ නව ක්‍රමවේද හඳුන්වාදීමට ද මූලික විය. මෙම ක්‍රමවේදයන් ඇතුළත් ප්‍රකාශන ප්‍රිස්ට්ලිගේ වඩාත් ජනප්‍රියම ප්‍රකාශන අතරට ගැනේ. කෙසේ නමුත් අධ්‍යාත්ම විද්‍යාව පිළිබඳ ප්‍රිස්ට්ලිගේ ප්‍රකාශන පසුකාලීනව වඩාත්ම බලබෑම් ඇති කළ ප්‍රකාශන වේ. ජෙරමි බෙන්තම් , ජෝන් ස්ටුවර්ට් මිල් හා හර්බට් ස්පෙන්සර් වැනි සුප්‍රසිද්ධ දාර්ශනිකයන් විසින් ඔහුගේ එම ප්‍රකාශන උපයෝගීතාව පිළිබඳ මූලික ප්‍රකාශන අතරට වැටෙන බව පිළිගෙන තිබේ.


ළමා අවධිය හා අධ්‍යාපනය (1733-55)[සංස්කරණය]

Black-and-white drawing of a two-story brick house along a road.
ලීඩ්ස්වලට කිලෝමීටර 10 (සැතපුම් 6ක්) පමණ නිරිත දිගින් බටහිර යෝක්ෂයර්හි බ්‍රිස්ටල්හි පිහිටි ෆීල්ඩ්හෙඩ් නම් ප්‍රදේශ‍ය ප්‍රිස්ට්ලි උපන් ප්‍රදේශය වේ.(ඔහු උපන් නිවස පසු කඩා ඉවත් කර ඇත)[3]

සාම්ප්‍රදායෙන් බැහැර වූ ආගමික මතවාද දැරූ පවුලක (එනම් ඔහුගේ දෙමාපියන් එංගලන්ත පල්ලිය / සභාවේ ඉගැන්වීම් පිළිනොගත් අය වූහ) වැඩිමල් දරුවා ලෙස ප්‍රිස්ට්ලි උපත ලැබීය. ඔහුගේ මව මේරි ස්ටිෆට් නම් වූ අතර ඔහුගේ පියා ජොනාස් ප්‍රිස්ට්ලි නම් විය. ඔහුගේ දෙමාපියන්ට ඔහුත් ඇතුළුව දරුවන් හයදෙනෙකු විය. ප්‍රිස්ට්ලිගේ පියා ඇදුම් සකසන්නෙකු (finisher of cloth) විය. ප්‍රිස්ට්ලිට වයස අවුරුදු 1 පමණ වන විට ඔහුගේ මවගේ කටයුතු පහසු කිරීම සදහා ඔහු ඔහුගේ සීයා වෙත යවන ලද අතර පස් වසරකට පසු ඔහුගේ මවගේ මරණයෙන් අනතුරුව ඔහු නැවතත් සිය උපන් නිවසට පැමි‍ණියේය. 1741 දී ප්‍රිස්ට්ලිගේ පියා නැවත විවාහ වීමත් සමග ප්‍රිස්ට්ලි ඔහුගේ ධනවත් නැන්දා සහ මාමා වෙත යවන ලදී. ඔවුනට ඔවුනගේම දරුවන් නොසිටි අතර එතැන් සිට ප්‍රිස්ට්ලි රැකබලා ගැනීම ඔවුන් විසින් සිදු කරන ලදී. ප්‍රිස්ට්ලිගේ නැන්දා සරා කීලි නම් වූ අතර ඔහුගේ මාමා ජෝන් කීලි නම් විය. ප්‍රිස්ට්ලි කුඩා කළ සිටම සිය වයසට වඩා මුහුකුරා ගිය බවක් පෙන්වූ අතර ඔහුට වයස අවුරුදු හතරවන විට වෙස්ට්මිනිස්ටර්හි කෙටි ප්‍රශ්නෝත්තර 107ම කටපාඩමින් කිව හැකි විය. (වෙස්මිනිස්ටර් කෙටි ප්‍රශ්නෝත්තර සංග්‍රහය කිතු දහම පිළිබද ඇදහිලි හා විශ්වාස පැහැදිලි කෙරෙන ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් ප්‍රකාශනයකි) ප්‍රිස්ට්ලිගේ නැන්දනිය ඔහුට හැකි උපරිම අයුරින් ඉතා හොද අධ්‍යාපනයක් ලබා දීමට ක්‍රියා කළ අතර ඇගේ බලාපොරොත්තුව වූයේ ඔහු දේව ගැතිවරයෙකු වනු දැකීමය. ප්‍රිස්ට්ලි සිය තරුණ කාලයේ මුල් අවධියේදී ප්‍රා‍ෙද්ශීය පාසලකට ඇතුළුව ග්‍රීක ලතින් හා හීබෲ යන භාෂාවන් උගත්තේය.

1749 වර්ෂයේදී ප්‍රිස්ට්ලි තදින් රෝගාතුර වූ අතර තමා මිය යමින් සිටින බව හේ විශ්වාස කළේය. ප්‍රිස්ට්ලි කුඩා කළ සිටම හැදී වැඩුණේ කාල්විත්වාදී (ප්‍රංශ ප්‍රොතෙස්තන්තවාදී පූජකයෙකු වූ ජොන් කැල්වින්ගේ අනුගාමිකයෙක් ලෙසය) පරිසරයක බැවින් මෝක්ෂය ලබාගැනීම සඳහා ජීවිත වෙනස් කරගන්නා වූ අත්දැකීමකට මුහුණදීම අත්‍යාවශ්‍ය බව ඔහුට උගන්වා තිබුණි. එහෙත් ඒ වන විට එවන් අත්දැකීමට ඔහු මුහුණ පා නොසිටියේය. මේ හේතුවෙන් අධික ලෙස මානසික පීඩාවට පත්ව සිටි ඔහු අවසානයේ තමා එතෙක් විශ්වාස කළ ආගමික මතවාදයක් ප්‍රශ්න කරන්නට විය. අවසානයේ ඔහු විශ්වීය මෝක්ෂය පිළිබඳ විශ්වාස කරන්නට වූ අතර තෝරා ගැනීම් වලින් තොර යැයි සිතීමට පෙළඹිණි.

අධික ලෙස රෝගාතුරු වීම නිසා සුවවීමෙන් පසුව ප්‍රිස්ට්ලි සදාකාලිකව කථන ආබාධයක් ඇති තත්වයට පත්විය. එබැවින් ඔහු දේවගැතිවරයෙකු වීමේ අදහස අත්හැරදැමීය. මේ අතර ආගමික මතවාදවල සිදුවූ වෙනස කියා ප්‍රිස්ට්ලිගේ පවුල අයත් වූ පල්ලිය විසින් ඔහුට සම්පූර්ණ සාමාජිකත්වය පිරිනැමීම ප්‍රතික්ෂේප කරන ලදී.

ලිස්බන්හි ව්‍යාපාර පවත්වාගෙන ගිය සිය නෑදෑයෙකු සමග ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට ඉටාගත් ප්‍රිස්ට්ලි ඒ සඳහා පෙර සූදානමක් ලෙස ප්‍රංශ, ඉතාලි හා ජර්මන් භාෂාත් චාල්ඩීන් , සිරියන් හා අරාබියානු භාෂා ද උගත්තේය. මෙකල ඔහුගේ ගුරුවරයා වූ පූජ්‍ය හැගස්ටන් , මුල් වරට ඔහුට උසස් ගණිතය , ස්වභාවධර්මය පිළිබඳ දර්ශනවාදය , තර්ක ශාස්ත්‍රය සහ අධ්‍යාත්ම විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර හඳුන්වා

ඩැවෙන්ට්‍රි විද්‍යපීඨය[සංස්කරණය]

පසු කලෙක නැවතත් ආගමික මතවාද පිළිබඳ අධ්‍යයනය කිරීමට ප්‍රිස්ට්ලි තුළ කැමැත්තක් ඇතිවීම නිසා 1752 වර්ෂයේදී හෙතෙම ඩැවෙන්ට්‍රි විද්‍යාපීඨයට බැදී නැවත සිය ඉගෙනුම ඇරඹීය. ඩැවෙන්ට්‍රි විද්‍යා පීඨය සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වූ ආගමික අධ්‍යාපනය ලබාදුන් ආයතනයක් විය. මේ කාලය වන විට ප්‍රිස්ට්ලි බොහෝ ලෙස පොත පත පරිශීලනය කර තිබූ බැවින් ඔහුට විද්‍යා පීඨයේ 3වැනි වසරට එකවරම ඇතුළු වීමට ඉඩ ලැබුණි. තව දුරටත් සිය අධ්‍යාපන කටයුතුවල ඉතා ආශාවෙන් නියැලුණු ප්‍රිස්ට්ලි ඩැවෙන්ට්‍රි විද්‍යා පීඨයේ වූ නිදහස් වාතාවරණය හේතුවෙන් තවදුරටත් වාමාංශික අදහස් සහිත ආගමික මතවාදයක් විශාවාස කිරීමට පෙළඹුණු අතර අවසානයේ ඔහු හේතුවාදී ලෙස සම්ප්‍රදායෙන් බැහැර වූ ආගමික මතවාදයක් වැළඳ ගත්තේය. මෙම ආගමික මතවාදය පිළිගත් පිරිස් සාම්ප්‍රදායික ආගමික විශ්වාස පිළිකුලෙන් බැහැර කළ අතර ආගමික මිත්‍යා විශ්වාස ප්‍රතික්ෂේප කරමින් හේතුවාදීව ස්වාභාවික ලෝකය හා බයිබලය පිළිබඳ අධ්‍යාපනයේ වැදගත්කම ගැන විශ්වාස කළහ.

පසු කාලීනව ප්‍රිස්ට්ලි විසින් ප්‍රකාශ කළ ආකාරයට ඔහුගේ චින්තනයට බයිබලය හැරුණුවිට වඩාත්ම බැලපෑම් එල්ල කළ ග්‍රන්ථය වුයේ ‘Observations on Man’ ‘මිනිසා පිළිබඳ කළ නිරීක්ෂණ’ (1749) නම් ග්‍රන්ථයයි. එහි රචකයා වූයේ ඩේවිඩ් හාර්ට්ලිය. මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය ආධ්‍යාත්මික දර්ශනවාදී හා ආගමික මතවාද තුළින් භෞතිකවාදී මානසික තත්වයකට මග පාදන්නක් විය. හාර්ට්ලිගේ අරමුණු වූයේ ක්‍රිස්තියානි දර්ශනය හා එහි අඩංගු චාරිත්‍ර වාරිත්‍ර ආදිය විද්‍යාත්මක පසුබිමක් මත තහවුරු කිරීමයි. මෙය පසුව ප්‍රිස්ට්ලිගේ ජීවිත කාලය පුරාම ඔහු විසින් තහවුරු කිරීමට උත්සාහ කරන ලදී. මේ අතර ඩැවෙන්ට්‍රි විද්‍යාපීඨයේ තෙවන වසරේදී ප්‍රිස්ට්ලි දේවගැතිවරයෙකු බවට පත්විය. ඔහුට අනුව එය ලොව වඩාත් උතුම්ම රැකියාව විය.


නීඩ්හැම් කඩ පොළ හා නැක්ට්විඩ් (1755 – 1761)[සංස්කරණය]

මාතෘකාව ‘Rudiments of English Grammar’ ‘මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ’ යන ග්‍රන්ථයේ මුල් පිටුවේ ඡායා රූපයකි. (1761)

වර්තමානයේ සිටින ප්‍රධානම ප්‍රිස්ට්ලිගේ චරිතාපදානකරුවා වන රොබට් සකොෆීල්ඩ්ට අනුව 1755 වසරේ දී සෆෝල්ක් හි නීඩ්හැම් කඩපොළ අයත් වන සම්ප්‍රදායෙන් බැහැර වූ ක්‍රිස්තියානි පල්ලිය වෙත ප්‍රිස්ට්ලිගේ පැමිණීම ප්‍රිස්ට්ලිට මෙන්ම එම පල්ලියට ද අසුභ කාලයකට මුල්පිරීමක් විය. ප්‍රිස්ට්ලි හැමවිටම නගරබද ජීවිතය ප්‍රිය කළ අතර ආගමික මතවාද අළලා වාද විවාදයන්හි යෙදීමටද ප්‍රිය කළේය. එහෙත් නීඩ්හැම් කඩපොළ අයත් නගරය ඉතා කුඩා ගම්බද නගරයක් වූ අතර එහි ජනතාව සම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳ කළකිරුණු ජනතාව පල්ලියට යෑමෙන්ද පල්ලියට ආධාර කිරීමෙන් ද වැලකුණහ. ප්‍රිස්ට්ලිගේ නැන්දනිය ඔහුට උදව් කිරීම ප්‍රතික්ෂේප කළාය. ඊට හේතුව වූයේ ඔහු කාල්විත්වාදී දේවගැතිවරයෙකු නොවීමයි. මෙම මූල්‍ය අර්බුදයෙන් මිදීමට පාසැලක් ඇරඹීම ප්‍රිස්ට්ලිගේ අදහස වූ නමුත් ප්‍රදේශයේ ජනතාව සිය දරුවන් ඔහුගේ පාසැ‍ලට එවීමද ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් ‘Use of Globes’ එනම් ‍ ‘ගෝලයන් හි ප්‍රයෝජන’ යන නමින් ප්‍රිස්ට්ල් පැවැත්වූ විද්‍යාත්මක දේශන මාලාව සාර්ථක විය.

ඩැවෙන්ට්‍රි විද්‍යාපීඨයේ මිතුරන්ගේ ආධාර ඇතිව 1758 දී වෙෂියර්හි නැක්ට්විච් ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයා බවට පත්වීමට ප්‍රිස්ට්ලි සමත්විය. මෙය ප්‍රිස්ට්ලිට සුභදායක කාලයක් ගෙන ආවේය. නැන්ට්විච් ප්‍රදේශයේ ජනතාව ඔහුගේ සාම්ප්‍රදායක් නොවන ආගමික මතවදා පිළිබඳව තැකීමක් නොකළ අතර ප්‍රිස්ට්ලි විසින් මෙහි ආරම්භ කරන ලද පාසල ද සාර්ථකත්වයට පත්විය. මෙකල වෙනත් මුල් ගුරුවරුන් හා සැලකූ කළ ප්‍රිස්ට්ලි තරමක් වෙනස් ක්‍රමවේද අනුගමනය කළේය. ඔහු සිය පාසැලට විද්‍යාත්මක උපකරණ ගෙන ආ අතර ස්වභාවධර්මය පිළිබඳ සිය සිසුන්ට ඉගැන්වීමට ද කටයුතු කළේය. මෙකල භාවිතයේ තිබූ ඉංග්‍රීසි ව්‍යාකරණ ග්‍රන්ථවල බොහෝ අඩුපාඩු තිබූ අතර ඊට පිළියමක් ලෙස ප්‍රිස්ට්ලි 1761 වසරේදී තමාගේම ඉංග්‍රීසි ව්‍යාකරණ ග්‍රන්ථයක් පළ කළේය. එය ‘Rudiments of English Grammar’ ‘මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ’ නම් විය. ප්‍රිස්ට්ලිගේ නව්‍ය ඉංග්‍රීසි ව්‍යාකරණ විග්‍රහයක් එය ලතින් ව්‍යාකරණවලින් වෙන් කිරීමට ගත් උත්සාහයක් නිසි 20 වැනි සියවසේ උගතුන් විසින් ඔහු එකල විසූ ව්‍යාකරණ පිළිබඳ උගතුන් අතර විශිෂ්ටයෙකු ලෙස නම් කර ඇත. ව්‍යාකරණ ග්‍රන්ථයේ හා පාසලේ සාර්ථකත්වය නිසාම 1761 වසරේදීම ප්‍රිස්ට්ලිට වැරින්ග්ටන් විද්‍යාපීඨයේ ගුරුවයෙකු ලෙස පත්වීමක් ලැබුණි.


වැරින්ග්ටන් විද්‍යාපීඨය (1761 – 1767)[සංස්කරණය]

1793 කැල් එෆ්. වොන් බ්‍රෙඩා විසින් රචිත ‘Mary Pristley – daughter of ironmaster Isaac Wilikinson , sister of industrialist John Wilkinson’ යන ග්‍රන්ථයෙනි.

ස්වභාවධර්මය පිළිබඳ දර්ශනවාදය හා ගණිතයේ ඉගැන්වීම වඩාත් ප්‍රිය කළද වැරින්ග්ටන් විද්‍යාපීඨයේදී ප්‍රිස්ට්ලිට පැවරී තිබුණේ සමකාලීන භාෂාවක් හා ව්‍යක්ත දේශනය පිළිබඳ ඉගැන්වීම් කිරීමයි. වැරින්ග්ස්ටන් විද්‍යාපීඨය සාම්ප්‍රදායික නොවන ආගමික මතවාද පිළිබඳ ද ඉගැන්වූවකි. ප්‍රිස්ට්ලි ඉක්මනින්ම වැරින්ග්ටන්හි ජීවිතයට හුරුවූ අතර ඉතා ඉක්මනින් මිතුරන් රැසක් හඳුනාගන්නා ලදී. 1762 ජුනි 23 වැනි දින ප්‍රිස්ට්ලි විරෙක්ස්හැම්හි මේරි විල්කින්සන් නම් කාන්තාව හා විවාහ විය. ඔහු සිය විවාහය ගැන ලියූ ‍ඡේදය පහත පරිදි වේ.

‘විවාහය ඉතා ප්‍රීතිමත් බැදීමක් වූ අතර මාගේ බිරිඳ පොත්පත් පරිශීලනයෙන් ලබාගත් දැඩි අවබෝධ ශක්තියකින් හෙබි ධෛර්ය සම්පන්න දැඩි මානසික ශක්තියකින් යුත් කාන්තාවක් විය. ඇය ආදරණීය මෙන්ම ත්‍යාගශීලී වූ අතර තමාට වඩා අනුන්ගේ සැප පහසුව ගැන නිතර සොයා බැලීමට යොමුව සිටියාය. කෙසේ වුවද ඇය ඉතා ඉක්මනින් මෙන්ම තදින් කේන්ති ගන්නා තැනැත්තියක් ද විය. ඇය ගෘහාශ්‍රිත කටයුතුවල දී ඉතාම කඩිසර වූ අතර මාගේ තනතුර නිසා පැවරුණු කටයුතු හා රාජකාරි ද මාගේ ‍ඉගෙනුම් කටයුතුවලදී ද මෙය මහත් පිටිවහලක් විය’

1763 අප්‍රේල් 17 වැනි දින ප්‍රිස්ට්ලිගේ දියණිය වූ සාරා උපත ලැබීය. ඇයට නම් තබන ලද්දේ ප්‍රිස්ට්ලිගේ නැන්දණිය සිහිවන අයුරිනි.


පුරාවිද්‍යාඥයා හා අධ්‍යාපනඥයා[සංස්කරණය]

වැරින්ග්ටන්හි ජීවත් වූ කාලය පුරාවට ප්‍රිස්ට්ලි පල කළ සියළු ග්‍රන්ථවලින් හේ ඉතිහාසය අධ්‍යයනයේ වැදගත්කම අවධාරණය කළේය. එහු විශ්වාස කළ පරිදි එය ලෞකික මෙන්ම අධ්‍යාත්මික දියුණුව සදහාද අත්‍යාවශ්‍ය විය. හෙතෙ‍ම කාලයත් සමග විද්‍යාවේ සිදුවූ දියුණුව හා කිතු ධර්මය කාලයත් සමග වෙනස් වූ අයුරු අලලා වෙන වෙනම ග්‍රන්ථ ප්‍රකාශයට පත්කළ අතර ඔහුගේ අරමුණ වූයේ මානව වර්ගයාගේ භෞතික දියුණුව සමග පිරිසිදු වූත් මුලික වූත් කිතු දහමේ පිරිහීම නිරූපණය කිරීමයි.

වැදගත් වූ අතීත අධිරාජ්‍යයන්හි තත්වය , දියුණුව , ප්‍රමාණය හා කාලසීමාවන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩනැගීම සදහා ප්‍රිස්ට්ලි විසින් ප්‍රස්ථාරමය රූප සටහන් යොදාගන්නා ලදී. මෙම සටහන් අලලා ‘A Chart Biography’ නම් ග්‍රන්ථයක්ද පල කරන ලදී

Essay on a course of Liberal Education for Civil and Active life (1765) ‘සාමාන්‍ය හා ක්‍රියාකාරී ජීවිතයක් සදහා නිදහස් අධ්‍යාපනය’ සහ Lectures on History and General Policy (1788) ‘අතීතය හා සාමාන්‍ය ක්‍රමවේද පිළිබඳ දේශන යනාදී ප්‍රකාශනයන් ඔස්සේ තරුණයින්ගේ අධ්‍යාපනය ඔවු‍න්ගේ අනාගත ක්‍රියාකාරී අවශ්‍යතාවන් සපුරාලිය හැකිවන ආකාරයේ එකක් විය යුතු බවට ප්‍රිස්ට්ලි විසින් ප්‍රකාශ කරන ලදී. ඔහුගේ මෙම මතය නිසාම වැරින්ග්ටන්හි මධ්‍යම පාන්තික සිසුන්ට ඔහු යටතේ නියම වූ පාඩම් මාලාව සාම්ප්‍රදායික ක්‍රමවලින් හා විෂය පථයන්ගෙන් ඔබ්බට යන්නක් විය. ප්‍රිස්ට්ලි සිය සිසුන් භාවිතයෙන් ඉවත්වෙමින් පැවති අතීත භාෂා ඉගෙනීම වෙනුවට සමකාලීන භාවිතයේ පැවති භාෂා ඉගෙනීමට උනන්දු කළ අතර අනාගත අභිවෘද්ධියට අවශ්‍යවන අතීතය පිළිබඳ කරුණු විග්‍රහයක් සහිත ‍නවමු ආකාරයක් ගත් ඉතිහාසය පිළිබඳ දේශන පැවැත්වීය. ප්‍රිස්ට්ලිගේ ඉතිහාසය පිළිබඳ දේශන තුළින් ඔහු සිය සිසුන්ට වඩාත් නිවැරදි අතීත විග්‍රහයක් සිදු කරන ලද අතර එතුළින් ඔහුගේ අරමුණ වූයේ සිය සිසුන් කළ ස්වභාවධර්මයේ නීති තුළින් දෙවියන්ටත් පැවැත්ම තහවුරු කිරීමයි. ඔහු අනාගතය පිළිබඳව සුභවාදී ආකල්ප දැරූ අතර සෑම පරම්පරාවක්ම පෙර පරම්පරාවට වඩා යහපත් තත්වයකට පැමිණෙන බව විශාවාස ‍කළේය. මෙසේ විද්‍යාත්මක දියුණුව හා මානව වර්ගයාගේ පෙරගමන පිළිබඳ අවබෝධ කරගැනිමේ මාර්ගය ලෙස ඔහු දුටුවේ අතීතය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයේය. ඉතිහාසය හා අධ්‍යාපනය පිළිබඳ ඔහු දැරූ ආකල්පය නිසාම ප්‍රිස්ට්ලි මධ්‍යම පාන්තික කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීමට ද උනන්දු විය. මෙය එකල තරමක අසාමාන්‍ය තත්වයක් විය. 17 වැනි සිය‍වසේ ජෝන් ලොක් හා 19 වැනි සියවසේ හර්බට් ස්පෙන්සර් යන ඉංග්‍රීසි ලේඛකයන් දෙදෙනාගේ අතරම සිටින වඩාත් වැදගත්ම ඉංග්‍රීසි ලේඛකයා ප්‍රිස්ට්ලි බව (18 වැනි සියවස) සමහර උගතුන්ගේ මතයයි. ප්‍රිස්ට්ලිගේ ඉතිහාසය පිළිබඳ දේශන ඇතුළත් ප්‍රකාශනය හැක්තී , බ්‍රවුන් , ප්‍රින්ස්ටන් , සේල් හා කේම්බ්‍රිජ් යන ප්‍රදේශවල විද්‍යාලයන්හි බහුලව භාවිතයට ගැනුණි. ප්‍රිස්ට්ල් විසින් සිය දේශන සඳහා දෘශ්‍ය ආධාරක ලෙස යොදාගත් රූපමය ප්‍රස්ථාර සටහන් යුගලක් දශක ගණනාවක් පුරාවටම ජනප්‍රිය වූ අතර මේ සම්බන්ධයෙන් උද්දාමයට පත් වැරින්ග්ස්ටන් විද්‍යාපීඪයේ භාරකරුවන් ප්‍රිස්ට්ලිට නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනැමීමට 1764 වර්ෂයේ දී එඩින්බර්ග් සරසවිය හා එකඟතාවයකට පැමිණියහ.

විද්‍යුතයේ ඉතිහාසය[සංස්කරණය]

ගොනුව:Untitledgjg.JPG
1768 වර්ෂයේ ප්‍රිස්ට්ලි විසින් පල කළ ‘Familiar Introduction to Electricity’ යන ග්‍රන්ථයේ පළමු මුද්‍රණයේ ඇතුළත් වූ ආධුනිකයින් සදහා වූ විද්‍යුතය පිළිබඳ පරීක්ෂණ උපකරණය. මේ සටහන ඇසුරින් නිර්මිත උපකරණයක් සිය සොයුරු වූ විමොනි සමග එක්ව වෙළඳ පොළට හඳුන්වා දුන් නමුත් එය සාර්ථක නොවීය.

18 වැනි සියවසේ උතුරේ ඇතැන්ස් ලෙස සැලකුණු වැරින්ග්ටන්හි පැවති බුද්ධි ප්‍රබෝධාත්මක වාතාවරණය ‍නිසා ප්‍රිස්ට්ලි තුළ ස්වභාව ධර්මය පිළබඳ වූ දර්ශනවාදය ගැන වූ උනන්දුව ක්‍රමයෙන් වර්ධනය විය. ඔහු ජෝන් සෙඩන් නම් වූ මිතුරෙකු සමග එක්ව උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කළ අතර කායික ව්‍යුහ විද්‍යාව පිළිබඳ ‍ෙද්ශන පැවැත්වීය. ජෝන් සෙඩන්ද වැරින්ගරින්හි ගුරුවරවෙකු විය. ප්‍රිස්ට්ලිට ගුරුවරයෙකු ලෙස පැවරී තිබූ වැඩ කටයුතු හා වගකීම් ඉතා අධික වූ නමුත් ඔහු විසින් විද්‍යුතයේ අතීතය පිළිබඳ ග්‍රන්ථයක් ලියා පළ කිරීමට සමත් විය. එකල බ්‍රිතාන්‍යයේ වූ විද්‍යුතය පිළිබඳ පරීක්ෂණ සිදු කළ ප්‍රධානතම පුද්ගලයින් වූ ජෝන් කැන්ටන් , විලියම් වොට්සන් වැනි පුද්ගලයින් සම ඇමරිකා ජාතික බෙන්ජමින් ෆෑරෑන්ක්ලින් යන අය සමගද සිය මිතුරන් මාර්ගයෙන් සම්බන්ධතාවන් ඇති කරගැනීමට ප්‍රිස්ට්ලි සමත් විය. බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්ගේ මග පෙන්වීම් යටතේ ප්‍රිස්ට්ලි සිය විද්‍යුතයේ ඉතිහාසය පිළිබද ග්‍රන්ථයට ඇතුලත් කළ පරීක්ෂණ නැවත සිදු කළේය. මෙසේ පරීක්ෂණ නැවත සිදු කරන විට සැක නැගුණු ගැටළු සහගත තැන් නිරාකරණය කරගැනීමට ප්‍රිස්ට්ලි තමාගේම පරීක්ෂණ ද සිදු කරන්නට විය. (මේ අතරතුර ප්‍රිස්ට්ලිගේ ප්‍රස්ථාර සටහන් හා විද්‍යුතයේ අතීතය පිළිබඳ සටහන් නිසා පැහැදුණු කැන්ටන් , ෆ්රෑන්ක්ලින් ,වොට්සන් හා රිබඩ් ප්‍රසිස් යන අය විසින් ප්‍රිස්ට්ලිට රාජකීය සංගමයේ සාමාජිකත්වය ලබාදීමට යෝජනා කළ අතර 1766 වර්ෂයේදී එම යෝජනාව පිළිගන්නා ලදී.

1767 දී පළ කරන ලද පිටු 70කින් යුත් ‘The History and Present State of Electricity’ ‘විද්‍යුතයේ ඉතිහාසය හා වර්තමානය’ නම් ග්‍රන්ථයට ඉතා හොද ප්‍රතිචාරයක් ලැබුණි. මෙම ග්‍රන්ථයෙහි පළමු භාගය තුළ 1766 වර්ෂය දක්වා විද්‍යුතය පිළිබඳ වූ ඉතිහාස කතාව අන්තර්ගත වූ අතර දෙවැනි සහ වඩාත් වැදගත් භාගයේ විද්‍යුතය පිළිබඳ සමකාලීන මතවාදයක් හා අනාගත පරික්ෂණ සඳහා වූ තොරතුරු රැසක් ද අන්තර්ගත විය. මෙම දෙවන භාගය ‍තුළ සිය පරීක්ෂණ කිහිපයක් තුළින් ලත් නිරීක්ෂණය ද සටහන් කර තැබීය. මේවා අතර මිනිරන්වල විද්‍යුත් සන්නායකතාව සහ විද්‍යුත් සන්නායකතා ගුණයෙහි ශ්‍රේණියක ආකාර පැවැත්ම පිළිබඳ නිරීක්ෂණ ද සටහන් කර තැබීය. මේවා අතර මිනිරන්වල විද්‍යුත් සන්නායකතා සහ විද්‍යුත් සන්නායකතා ගුණයෙහි ශ්‍රේණියක ආකාර පැවැත්ම පිළිබඳ නිරීක්ෂණ ද විය. මේ මගින් ඔහු අතීතයේ සිටම පිළිගැනීමට ලක්ව තිබූ මතය වූ ජලය හා ලෝහ පමණක් විද්‍යුතය සන්නයනය කරයි යන මතයට අභියෝග කළේය. මෙවැනි පරීක්ෂණ තුළින් විද්‍යාමාන වූයේ ප්‍රිස්ට්ලි නල විද්‍යුතය හා රසායන විද්‍යාව අතර සම්බන්ධතාවක් ගොඩනැගීමට වූ උනන්දුවයි. මේ සඳහා ඔහු විවිධ ද්‍රව්‍යයන්හි විද්‍යුත් ගුණ මෙන්ම රසායනික විපර්යාස හා ඒ මත විද්‍යුතයේ බලපෑම ද අධ්‍යයනය කරන ලදී. කෙසේ නමුත් මේ පිළිබඳ ඔහු එතරම් සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් නොකළ අතර පසුව ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ චාල්ස් ඔගස්ටින් ඩී කූලෝම් විසින් විද්‍යුත් ‍ක්ෂේත්‍ර ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදින බවට 1780 දී නියමයක් ඉදිරිපත් කරන ලදී.

ප්‍රිස්ට්ලිගේ පරීක්ෂණ බොහෝ දුරට ගුණාත්මක පැත්තට බරවූ තත්වයක් පෙන්නුම් කළේය. ආරෝපිත කූඩු දෙකක් අතර හටගන්නා අනතර් ක්‍රියා පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ පසු කාලීනව මයිකල් ෆැරඩේ හා ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් වැනි විද්‍යාඥයින් විද්‍යුත් චුම්භකත්වය පිළිබඳ අධ්‍යයනය කිරිමේදී අවධානයට බඳුන් විය. ශත වර්ෂයකට වැඩි කාලයක් ඔස්සේ ප්‍රිස්ට්ලි විසින් රචිත විද්‍යුතයේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථය සම්මත අධ්‍යයන ග්‍රන්ථය ලෙස භාවිතා විය. එය භාවිතා කළ පුද්ගලයින් අතර කෝෂයේ නිර්මාතෘ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා , ආධෝරක්ත විකිරණය අනාවරණය කළ විලියම් හර්ෂල් හා හයිඩ්‍රජන් වායුව සොයාගත් හෙන්රි කැවෙත්බිෂ් ද විය. සාමාන්‍ය ජනතාවගේ භාවිතය උදෙසා ප්‍රිසට්ලි සිය විද්‍යුතයේ ඉතිහාසය පිළිබඳව ග්‍රන්ථයේ සරළ සංස්කරණයක් “A Familiar Introduction to the Study of Electricity” “විද්‍යුතයට මූලික හැඳින්වීමක්” යන නමින් 1768 දී පලකරන ලදී.


ලීඩ්ස් (1767 – 1773)[සංස්කරණය]

ලීඩ්ස් (1767 – 1773)‎


ප්‍රිස්ට්ලිගේ මුල්ම අලේඛ්‍ය චිත්‍රය “ලිබ්සහි ආලේඛ්‍ය චිත්‍රය” මේ වේ. මෙය 1763 වර්ෂයේ නිර්මිතයි. ලීඩ්ස්හි පුස්තකාල සංගමයේ සාමාජිකත්වය දැරීම හැරුණු විට ප්‍රිස්ට්ලි ලීඩ්ස්හි සමාජ ජීවිතයට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අවස්ථා විරලය.

1767 වර්ෂයේදී ප්‍රිසට්ලි සිය පවුල සමග ලීඩ්ස් නගරයට සංක්‍රමණය විය. මීට බලපෑ හේතුව පැහැදිලි නැතත් ඔහුගේ බිරිඳගේ අයහපත් සෞඛ්‍ය තත්වය ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය යන හේතු තුනෙන් එකක් මේ සඳහා බලපාන්නට ඇති බව විශ්වාස කෙරේ. ප්‍රිසට්ලි ලීඩ්ස්හි මිල් හිල් පල්ලියේ දේවගැතිවරයා බවට පත්විය. ලීඩ්ස්හි ජීවත් වූ කාලය තුළ ප්‍රිසට්ලිට පුතුන් දෙදෙනෙකු උපන්නේය. 1768 ජුලි 24 වැනි දින උපන් පුතුට ජෝසවි (කණිෂ්ඨ) ලෙස නම් තබන ලද අතර වසර තුනකට පසුව උපන් අනෙක් පුතුට විලියම් ලෙස නම් තබන ලදී. ලීඩ්ස්හි ප්‍රිස්ට්ලිගේ මිතුරන් කිහිපදෙනා අතරට යොක්ෂයර්හි කැවරික්හි දේවස්ථාන අධ්‍යක්ෂකයෙකු වූ නියෝෆිලස් ලින්ඩ්සි ද ඇතුළත් විය. ප්‍රිසට්ලි විසින් ඔහු ගැන මෙසේ ලියන ලදී. “මම කිසිවිටෙක ඔහුගේ අදහස නොවිමසා ආගමික මතවාද ප්‍රකාශයට පත් නොකළෙමි.” ප්‍රිස්ට්ලිගේ නෑදෑයන් ගණනාවක් ලීඩ්ස් අවට විසුවද ප්‍රිස්ට්ලි හා ඔවුන් අතර සබඳතාවක් තිබූ බවක් නොපෙනේ. ස්කෝෆීල්ඩ්ට අනුව මීට හේතුව වන්නේ ඔවුන් ප්‍රිස්ට්ලිට මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස සැලකීමයි. සෑම වසරකටම වරක් රාජකීය සංගමයේ රැස්වීම්වලට සහභාගි වීම සඳහා සිය ප්‍රකාශකයා හා මිතුරා වූ ජෝසප් ජෝන්සන් හමුවීමටත් ඔහු ලන්ඩන් වෙත යාමට හුරුව සිටියේය.

මිල් හිල් පල්ලියේ දේවගැතිතුමා[සංස්කරණය]

ඩැවෙන්ට්‍රි විද්‍යාපීඨයේ උගත් කාලයේ සිටම ප්‍රිස්ට්ලි ස්වභාවයට බර වූ විවෘත ආගමික මතවාද නම් ග්‍රන්ථයක් පලකිරීමට මූලික කරුණු සකස්කරමින් සිටියේය.

ප්‍රිස්ට්ලි මිල් හිල් දේවස්ථානයේ දේවගැතිවරයා බවට පත්වන විට එය බිතාන්‍යයේ වූ වඩාත් පැරණිම හා ගෞරවණීය සාම්ප්‍රදායික තත්වයෙන් බැහැර වූ දේවස්ථානයක් විය. කෙසේ වුවද 18 වැනි සියවසේ මුල්භාගය වන විට එහි අනුගාමිකයින් ආගමික මතවාද මත කොටස් කිහිපයකට වෙන්වී තිබුණි. තවද සමහර අනුගාමිකයින් වඩාත් ආකර්ෂණිය මෙතොදිස්ත සභාවට බැදීම නිසා මිල් හිල් දේවස්ථානයේ අනුගාමිකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණි. ප්‍රිස්ටිලිගේ මතය වූයේ තරුණයින් නිසි මග පෙන්වීමක් ලබාදීම තුළින් අනුගාමිකයින් නැවත ඒකරාශි කළ හැකි බවයි.

1772 සිට 1774 දක්වා කාලය තුළ පල කෙරුණේ “Institutes of Natural and Revealed Religion” “ස්වාභාවයට බර වූ විවෘත ආගමික මතවාද” නම් වෙලුම් තුනකින් යුත් ග්‍රන්ථ ඔස්සේ ප්‍රිස්ට්ලි ආගමානුකූල පැවැත්ම පිළිබද සිය අදහස් එලි දැක්වීය. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔහු එම ග්‍රන්ථයට ඇතුළත් කළ සමාජයානුකූල අදහස්ය. පසුකාලීනව ඔහුගේ අදහස් අන්‍යවාදීන් විසින් සම්මතයක් බවට පත්කර ගන්නා ලදී. මෙම ග්‍රන්ථය පලකිරීමත් සමගම ප්‍රිස්ට්ලිගේ ආගමික චින්තනය තුළ යම් වෙනසක් සිදුව ඇති බව පැහැදිලි වන අතර ඒ මත පදනම්ව ඔහුගේ පසු කාලීන ලියවිලි තේරුම් ගැනීම වඩාත් පහසු වේ. මේ අතරට භෞතිකවාදය හා අවශ්‍යතාවාදය ගැන අදහස් අයත්ය. (අවශ්‍යතාවාදය මගින් කියවෙන්නේ දෙවියන් අධ්‍යාත්ම විද්‍යානුකූලව හැසිරෙන බවයි.)

ප්‍රිස්ට්ලිගේ අදහස වූයේ පුද්ගල බද්ධ අත්දෑකීම් මත පැහැදිලි කළ හැකි විවෘත ආගමික සත්‍යයන් පමණක් පිළිගත හැකි බවයි. ප්‍රිස්ට්ලි‍ෙග් ආගමික විශ්වාසයත් ඔහුගේ ස්වභාව ධර්මයාගේ දැනුම මත පදනම් වූවක් බැවින් ඔහුගේ ඉහත ග්‍රන්ථය එම දැනුම මත පිහිටා දේව මැවුම්වාදය පිළිබඳ අදහස් සම්පිණ්ඩනය කරයි. නමුත් ඔහුගේ ග්‍රන්ථය බොහෝ ක්‍රිස්තියානි ජනයාගේ කැළඹීමට හේතුවිය. ඊට හේතුව වූයේ ප්‍රිස්ට්ලි ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වයත් කිතු උපතහි විශ්ම ජනක ස්වාභාවයත් බැහැර කොට තිබීමයි. ප්‍රිස්ට්ලිට එරෙහිව නැගී ආ විරෝධය කෙතරම්දයත් ලීඩ්ස්ගේ මෙතොදිස්ත දේවස්ථානවල අනුගාමිකයෝ අද්වෛතවාදීන් තීරයට පලවා හරින ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් ගීතිකා ගැයුහ.

ප්‍රිස්ට්ලිට අවශ්‍ය වුයේ කිතුදහම එහි මූලික හරයට නැවත ගෙන ඒමයි. ඒ සඳහා ශතවර්ෂ ගණනාවක සිට පල්ලිය තුළ වෙමින් පැවති අක්‍රමිකතා ඉවත් කළ යුතු බව ඔහුගේ මතය විය. ප්‍රිස්ට්ලිගේ මුල් ග්‍රන්ථයේ 4 වැනි වෙලුම සේ ඇතුළත් කිරීමට ඔහු අදහස් කළේ මූලික කිස්තු ධර්මය වසා පැතිරුණු අසත්‍ය කරුණු පිළිබඳ අතීත කරුණු විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. නමුත් එම වෙළුම ඉතා දිගු වූ බැවින් 1782 වර්ෂයේ එය වෙනම ග්‍රන්ථයක් ලෙසට පත් කිරීමට ඔහුට සිදු විය. එය ඔහු නම් කළේ “An History of the corruptions of Christianity” “කිතුදහම වංක හා දුෂිත වීමේ ඉතිහාසය” ලෙසයි. මෙම ග්‍රන්ථය සිය වැදගත්ම ග්‍රන්ථය ලෙස ප්‍රිස්ට්ලි සැලකීය. නමුත් ඉතිහාසය තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක කරුණු යොදමින් ඔහු බයිබලය විග්‍රහ කිරීම නිසා ආගමික මෙන්ම විද්‍යාත්මක ප්‍රජාව ද ඔහුගේ ග්‍රන්ථයේ වූ කරුණුවලට එරෙහි විය. ආගමික ප්‍රජාව විද්‍යාත්මක අයිතීන් බයිබලය විග්‍රහයට එරෙහි වූ අතර විද්‍යාත්මක ප්‍රජාව විද්‍යාත්මක කරුණු මතින් බයිබලය සාධාරණියකරණය කිරීමට විරුද්ධ වූහ.


ආගමික මතභේද ඇති කිරීම[සංස්කරණය]

ප්‍රිස්ට්ලි විවිධ පාර්ශවයන් සමග ආගමික හා දේශප‍ාලනික කරුණු පිළිබඳ ප්‍රතික්‍රියා මාර්ගයෙන් වාද කළේය. ස්කෝෆීල්ඩ්ට අනුව ප්‍රිස්ට්ලි හැමවිටම මෙවන් විද්‍යාත්මක අවස්ථ‍ාවන්ට මුලපුරා ඇත්තේ තමා නිවැරදි යැයි යන මතයේ තදින් පිහිටාවන අතර ඔහුගේ ප්‍රතිවාදීන් නිතරම විශ්වාස කළේ ඔහු උවමනාවෙන්ම කරුණු විකෘති කරමින් අසත්‍ය මතවාද ගොඩ නගන බවයි. මෙහි ප්‍රතිපලය වූයේ ප්‍රතිවාදීන් ඔහු සමග ක්‍රෝධයට පත්වීමයි. කෙසේ වුවද මෙවන් මතභේදාත්මක අවස්ථාවල දී ප්‍රිස්ටිල් සිය මතය වෙනස් කිරීමට අතිශයින් මැලි වූ බවට සාක්ෂි ඇති බව සංකාෆීල්ඩ්ගේ අදහසයි. ලීඩ්ස්වල ජීවත් වූ කාලයේ ප්‍රිස්ට්ල් “දේව භෝජනය” හා “කැල්වින්වාදය” ගැන පත්‍රිකා ප්‍රකාශයට පත්කළ අතර ඒවායේ පිටපත් දහස් ගණනක් අලෙවි වූ අතර ඒවා ඔහුගේ වඩාත් ප්‍රචලිතම ප්‍රකාශන අතරට එක්විය.

1768 වර්ෂයේ දී “Theological Repository” “ආගමික මතවාද සංග්‍රහය” නම් සඟරාවක් ඇරඹීමට ප්‍රිස්ට්ලි ක්‍රියා කළේය. එහි අරමුණ වූයේ ආගමික මතවාද තර්කානුකූලව විශ්ලේෂණය කිරීමයි. ඕනෑම පුද්ගලයෙකුට සඟරාවට ලිපි සැපයිය හැකි බව ප්‍රකාශ කළ ද ඔහුගේ අදහස් හා එකග වූ කිහිපදෙනෙක් පමණක් ලිපි ලිවීම නිසා සඟරාවේ වැඩි ප්‍රමාණයක් සඳහා දායක වීමට ප්‍රිස්ට්ලිට සිදුවිය. (මෙකල ඔහු සඟරාවට සැපයූ ලිපි ඔහුගේ පසුකාලීන ආගමික මතවාද හා අධ්‍යාත්ම විද්‍යාව පිළිබඳ ග්‍රන්ථවල පදනම විය) වසර කිහිපයක් පල කළද සඟරාවට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසාත් සඟරාව මුද්‍රණයට අවශ්‍ය මුදල් හිඟවීම නිසාත් පසුව ප්‍රිස්ට්ලි විසින් සඟරාව පලකිරීම නවතා දමන ලදී. 1784 වර්ෂයේ දී ඔහු නැවතත් සඟරාව ඇරඹීම උත්සාහ කළ ද එම උත්සාහය ද පෙර පරිදිම ව්‍යාර්ථ විය.


දේශපාලන විද්‍යාව පිළිබඳ දාර්ශනිකයා සහ සම්ප්‍රදායෙන් බැහැර වූ ආගමික නිකායන්හි ආරක්ෂකයා[සංස්කරණය]

1768 පල වූ “රාජ්‍ය පාලනය පිළිබඳ මුලද්‍රව්‍ය” පසු කාලීන දේශපාලනික දාර්ශනිකයෙකු වූ ජෙරමි බෙත්තැම් වැන්නන් හට මූලික මගපෙන්වීමක් විය.

මෙකල සමුප්‍රදායෙන් බැහැර ආගමික නිකායට අයත් වූවන්ට දේශපානයේදී හමුදාවට බැදීමේ හෝ ඔක්ස්ෆර්ඩ් හෝ කෙම්බ්‍රිජ් සරසවියන්ට ඇතුළත් වීමේ වරම් නොතිබුණි. ඒ සඳහා ඔවුන්ට එංගලන්ත සභාව මගින් පිළිගත් මතවාදයට එකග විය යුතුව තිබුණි. මේ හේතුවෙන් සාම්ප්‍රදායික නොවන ආගමික නිකායන්ට අයත් වූ පිරිස් දෙවැනි පන්තියේ ලා සැලකුණු පිරිසක් වූහ. ප්‍රිස්ට්ලිගේ දේශපාලන ප්‍රකාශන බොහෝමයක් තුළින්ම ඔහු මෙම නීතීන්ට විරුද්ධ ව පාර්ලිමේන්තුව වෙත පෙත්සමක් පවා ඉදිරිපත් කෙරුණි.

මෙම තත්වය යටතේ ප්‍රිස්ට්ලි සිය මිතුරන්ගේ ඉල්ලීම් පරිදි සාම්ප්‍රදායික නොවන ආගමික මතවාද දරන්ණන් අත්විදි පැහැය පිළිබඳ ප්‍රකාශයක් පල කළේය. එය “Essays on the first principles of Government” රාජ්‍යපාලනය පිළිබඳ මූලධර්ම සංග්‍රහය මෙය විය. මෙය පලවූ 1768 වර්ෂය වන විට තිබුණු සමාජ හා දේශපාලනික වාතාවරණයට ඉදුරාම පටහැණි වූ මෙම ප්‍රකාශනයේ නිදහස් දේශපාලන චින්තනයේ අ‍ාරම්භය සේ සැලකෙන අතර ඒ තුළින් පිස්ට්ලි මුල්වරට දේශපාලන හිමිකම් හා මානව හිමිකම් වෙන්කොට දක්වන ලද අතර මානව හිමිකම් පුළුල් කිරීමට හේතු දැක්වීය. මෙහිදී ප්‍රිස්ට්ලි පෞද්ගලික හා පොදු ලෙස කොටස් දෙකකට විශ්වාසයත් ඇදහිලි හා ක්‍රියා කාරකම් වෙන් කරන ලද අතර ඔහු ප්‍රකාශ කළේ රජයේ පාලනයට යටත් විය යුත්තේ ඉතා ‘පොදු’ යන කොටසට වර්ග කළ ක්‍රියාකාරකම් පමණක් බවයි.

අධ්‍යාපනික හා ආගමික කරුණු පුද්ගල බද්ධවූත් රජයේ පාලනයට යට‍ත් නොවිය යුතු බව ඔහු අවධාරණය කළේය. පසු කාලීනව දේශපාලනික වෙනස්වීම් සදහා ඔහු සහයෝගය දැක්වීමට එක් හේතුවක් වූයේ ආගමික හා අධ්‍යාපනික කරුණු පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය පෞද්ගලිකත්වය ආක්‍රමණය ලෙස ප්‍රිස්ට්ලි විශ්වාස කිරීමයි.

මෙකල විසූ සුප්‍රසිද්ධ නිතීඥයෙකු වූ විලියම් ඕලැක්ස්ටෝන් “Commentaries on the law of England” “එංගලන්ත නීතිය පිළිබඳ අර්ථකථන” නම් ග්‍රන්ථයක් පලකළ අතර එය එකල සම්මත නීතිමය මාර්ගෝපදේශකයක් ලෙස සැලකුණි. එම ග්‍රන්ථයට අනුව එංගලන්ත සභාවෙන් බැහැර ආගමික නිකායන්හි අනුගාමිකයින් වීම අපරාධයක් වූ අතර එවන් අනුගාමිකයින් දේශමාන්‍යයෙන් තොර වූවන් ලෙස සලකන ලදී. මෙම ග්‍රන්ථයට එරෙහිව නීතිය පිළිබඳ නව ආර්ථිකයක් ඉදිරිපත් කරමින් 1769 වර්ෂයේදී ප්‍රිස්ට්ලි විසින් “Remarks on Dr Balackstone’s Commentnes” “ආචාර්ය බ්ලැක්ස්ටෝන්ගේ අර්ථ දැක්වීම්වලට විග්‍රහය” මේ ග්‍රන්ථය පලකරන ලදී. එමගින් ප්‍රිස්ට්ලි බ්ලැක්ස්ටෝන්ගේ ව්‍යාකරණ හා ඉතිහාසය පිළිබඳ වැරදි ද පෙන්වා දෙන ලදී. (ව්‍යාකරණ එකල දේශපාලනිකව අතිශය සං‍ෙව්දී විෂය පථයක් විය) මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්ලැක්ස්ටෝන් සිය ග්‍රන්ථයේ නව සංස්කරණ නැවත සකස් කළ අතර සාම්ප්‍රදායික නොවන ආගමික නිකායන්හි අනුගාමිකයින් දේශමාන්‍යයෙන් තොර බව ප්‍රකාශ කළ ජේදය සම්පුර්ණයෙන්ම ඉවත් කරන ලදී. එහෙත් එම අනුගාමිකයින් අපරාධකරුවන් ලෙස හැඳින් වූ කොටස් වෙනස් නොකරන ලදී.


ස්වභාව ධර්මය පිළිබඳ දර්ශනවාදියා විද්‍යාතය දෘෂ්ටි විද්‍යාව සහ සෝඩා[සංස්කරණය]

ස්වභාව ධර්මය පිළිබද අධ්‍යයනය සිය විනෝදාංශ බව ප්‍රිස්ට්ලි ප්‍රකාශ කළද ඔහු ඒ සඳහා දැඩි වුවමනාවකින් කටයුතු කළ බව පැහැදිලිය. විද්‍යුතයේ ඉතිහාසය පිළිබඳ ඔහු පලකල ග්‍රන්ථයේ සඳහන් වන පරිදි විද්‍යාඥයින් ක්‍රියාකරනුයේ මානවයාගේ සැපපහසුව ආරක්ෂාව හා සතුට වැඩිදියුණු කිරීම සඳහාය. ප්‍රිස්ට්ලි විද්‍යාත්මක සිද්ධාන්තවලට වඩා ප්‍රායෝගික භාවිතයන් ගැන උනන්දු වූවෙකි. ඔහු සිය මාර්ගෝපදේශකයා සේ සැකුවේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්ය. ලීඩ්ස්වල පදිංචියට යාමත් සමග ඔහු දිගින් දිගටම විද්‍යාත්මක පරීක්ෂණවල නියැළුණු අතර ඒ අතරට රසායන විද්‍යාව හා විද්‍යුතය ආශ්‍රීත පරීක්ෂණයන් ද විය. ඔහුගේ රසායන විද්‍යා පරීක්ෂණ සඳහා අවශ්‍ය වූ CO2 වායුව යාබද ස්කාගාරයෙන් ලබාගැනීමට හේ පිළිවෙලක් යොදා ගත්තේය. 1767 හා 1770 අතර කාලය තුළ තම මූලික පරීක්ෂණ මත පදනම්ව පරීක්ෂණ ප්‍රතික්‍රියා 5 ක් රාජකීය සංගමය වෙත ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. මුල් පත්‍රිකා 4 කොරෝතා විසර්ජනය ඇතුළු විද්‍යුතය ආශ්‍රිත සංසිද්ධීන් පිළිබඳ අධ්‍යයනයෙන් විස්තර කළ අතර පසවාන්ත අඟුරු හා මිනිරන්වල විද්‍යුත් සන්නායකතාව සනාථ කරන සාධක ඉදිරිපත් කළේය. ඔහුගේ පසුකාලීන පරීක්ෂණ රසායන විද්‍යාව හා වායූන් පදනම් කරගත් ඒවා විය.

1772 වර්ෂයේදී ඔහු සිය ප්‍රකාශ විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ තොරතුරු ඇතුළත් “The History and present state of Discoveries Relating to Vision, Light and Colours” “දෘෂ්ටිය ආලෝකය හා වර්තනය පිළිබඳ අතීත පරීක්ෂණ හා නව සොයා ගැනීම්” මේ ග්‍රන්ථය ප්‍රකාශය‍ට පත්කරන ලදී. මෙහි මුල් අවධියේ ප්‍රකාශ විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අඩංගු විය. එහෙත් ප්‍රිස්ට්ලිගේ ගණිතමය දැනුමෙහි සීමාසහිතභාවය නිසා ඔහුට එකල ප්‍රචලිත වෙමින් පැවති නව මතයන් කිහිපයක් සිය ග්‍රන්ථයට ඇතුළත් කළ නොහැකි විය. තවද මෙම ග්‍රන්ථයේ පරීක්ෂණාත්මක තොරතුරු ප්‍රමාණය අඩුවීමත් ප්‍රායෝගික ක්‍රියාකාර කම් ඇතුළත් නොවීමත් නිසා එය විද්‍යුතය සමුබන්ධ ග්‍රන්ථය තරම් ප්‍රචලිත නොවීය. මෙම ග්‍රන්ථය මුද්‍රණය කෙරුණේ ද එක් වසරක් පමණි. වසර 150 ක කාලයක් පුරාවට ඉංග්‍රීසි බසින් පලවූ එකම දෘෂ්ටි විද්‍යාව පිළිබද ග්‍රන්ථය මෙය වීම ද විශේෂත්වයකි. ග්‍රන්ථය නියමාකාරයෙන් සකස් කරන ලද්දක් නොවූ බැවින් එය අලෙවි වූයේ ඉතා සෙමිනි. ග්‍රන්ථය පලකිරීම සඳහාත් ලීවිම සඳහාත් ඒ ගැන අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහාත් වැය කළ හැකි මුදල හා සසඳන විට ප්‍රිසට්ලිගේ මෙම වෑයම ඔහුට අවාසිදායක එකක් වූ බැවින් ඔහු මෙසේ ග්‍රන්ථ ප්‍රකාශය අත්හැර දැමීමට තීරණය කළේය.

දකුණු මුහුදු ප්‍රදේශවලට කපිතාන් කුක්ගේ දෙවැනි ගවේෂණ චාරිකාව සඳහා ක්ෂේත්‍ර විද්‍යාඥයෙකු ලෙස ප්‍රිස්ට්ලිගේ නමද යොජනා වූ නමුත් ඔහු තෝරා නොගන්නා ලදී. කෙසේ වුවද ගවේෂණය සඳහා ප්‍රිස්ට්ලිගේ සුළු දායකත්වයක් ද විය. එනම් හෙතෙමෙ නැවියන්ට සෝඩා සදාගන්නා ක්‍රමයක් ලබාදීම මගිනි. සෝඩා පානය සක්ර්වි රෝගය වළක්වා ගැනීමට යොදා ගත හැකි යැයි ප්‍රිස්ට්ලි උපකල්පනය කර තිබුණි. කෙසේ වුව ද එය වැරදි නිගමනයක් විය. “Directions for Impregnating Water with Fixed Air” (1772) වර්ෂයේ දී ජලය CO2 මඟින් සංතෘප්ත කරන ආකාරය ඇතුළත් පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට ප්‍රිස්ට්ලි කටයුතු කරන ලදී. නමුත් ජේ.ජේ ස්විපී වැන්නක් සෝඩා නිපදවීම මගින් විශාල ආර්ථික වාසි උපයාගත්ත ද ප්‍රිස්ට්ලි ඒ කාර්යෙහි ලා අසමර්ථ විය. 1773 වර්ෂයේ දී ඔහු කළ සොයා ගැනීම් වෙනුවෙන් රාජකීය සංගමය ඔහුට කොව්ලි පදක්කම පිරිනැමීය.

ප්‍රිස්ට්ලිගේ ආර්ථික තත්වය යහපත් කරලීමට ඔහුගේ මිතුරන් උත්සාහ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් හා රිචඩ් ප්‍රයිස්ගේඉල්ලීම්වලට අනුව ෂෙල්බර්න් සාමිවරයා සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙයවීමටත් සිය සහයකයා ලෙස කටයුතු කිරීමටත් ප්‍රිස්ට්ලිට 1772 හි දී ආරාධනා කරන ලදී. අකමැත්තෙන් වුව ද සිය නව තනතුරෙහි වැඩ භාරගැනීම සඳහා දේවස්ථානයෙන් 1772 දෙසැම්බර් 20 වැනි දින ඉවත් වූ ප්‍රිස්ට්ලිගේ අවසාන දේශනය 1773 මැයි 19 දින පවත්වන ලදී.


කැල්නේ (1773 – 1780)[සංස්කරණය]


1773 වර්ෂයේ දී කැල්නේ හි වාසයට ගිය ප්‍රිස්ට්ලි ඉන් වසරකට පසුව ෂෙල්බර්න් සාමිවරයා සමග යුරෝපයේ සංචාරයකට එක් විය. නියෝෆිලයේ ලින්ඩ්ගේ නම් ප්‍රිස්ට්ලිගේ සමීප මිතුරාට අනුව මෙසේ මිනිස් වර්ගයාගේ පැවැත්ම පිළිබඳ අත් දුටු වඩා පුළුල් දැක්ම ප්‍රිස්ට්ලිගේ ඉදිරිගමනට දැඩි ලෙස දායක වී ඇත. ප්‍රිස්ට්ලිට පැවරී තිබූ වගකීම් උවමනාවෙන්ම වඩාත්පහසු ඒවා වූ අතර එමගින් ඔහුට සිය ආගමික චින්තනයන්ට හා විද්‍යාත්මක පරීක්ෂණයට අවශ්‍ය නිදහස නොඅඩුව ලැබුණි. මෙකල ප්‍රිස්ට්ලි ෂෙල්බර්න් සාමිවරයා යටතේ ගුරුවරයෙකු පුස්තකාලාධිපතියෙකු මෙන්ම දේශපාලන උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය. මේ සඳහා ප්‍රිස්ට්ලි නිතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තොරතුරු රැස් කළ අතර ෂෙල්බර්න් සාමිවරයා හා සාම්ප්‍රදායික නොවන ආගමික මතවාද දැරූ ඇමරිකානු නිකායන් අතර සබඳතාවක් ගොඩනැඟීමට ද ප්‍රිස්ට්ලි ක්‍රියා කළේය. 1777 මැයි 24 වැනි දින ප්‍රිස්ට්ලිගේ තෙවැනි පුතු උපත ලද අතර ෂෙල්බර්න් සාමිවරයාගේ ඉල්ලීමට අනුව ඔහුට හෙන්රි යැයි නම් තබන ලදී.

භෞතිකමය දර්ශනවාදියා[සංස්කරණය]

1782 වන විට ප්‍රිස්ට්ලිගේ Disquisitions relating to Matter and Spirit නම් ප්‍රකාශනයට එරෙහිව ප්‍රකාශන දුසිමකට වඩා පල කෙරුණු අතර ප්‍රිස්ට්ලි අද්වෛතවාදියෙකු ලෙස හංවඩු ගසන ලදී.

ප්‍රිස්ට්ලි සිය වඩාත් වැදගත්ම දාර්ශනික ප්‍රකාශනයක් ලියන ලද්දේ ඔහු ෂෙල්බර්න් සාමිවරයා යටතේ සිටි කාලයේ දීය. 1774 සිට 1780 දක්වා ඔහු පල කළ අධ්‍යාත්ම විද්‍යාත්මක ග්‍රන්ථ මාලාවක් මගින් ප්‍රිස්ට්ලි, නියතිවාදය, භෞතිකවාදය හේතුවාදය හා අවශ්‍යතාවාදය යන සංකල්ප හතර ඇතුළත් දර්ශනයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. මේ සඳහා ඔහු පහත ග්‍රන්ථ යොදාගන්නා ලදී. An Examination of Dr. Reid's Inquiry into the Human Mind (1774), Hartley's Theory of the Human Mind on the Principle of the Association of Ideas (1775), Disquisitions relating to Matter and Spirit (1777), The Doctrine of Philosophical Necessity Illustrated (1777), and Letters to a Philosophical Unbeliever (1780) ඔහුගේ අදහස වූයේ ස්වාභාවික ලෝකය අධ්‍යයනය තුළින් මිනිසුන් වඩාත් කරුණාවන්ත ප්‍රීතිමත් හා දියුණු පිරිසක් බවට පත් කළ හැකි බවයි.

මනස හා සිරුර ලෙස ද්වෛතයක් නොමැති බව ප්‍රකාශ කරමින් භෞතිකවාදී දර්ශනයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රිස්ට්ලි කටයුතු කළේය. ඒ අනුව විශ්වයේ ඇති සියලුම දෑ අප දන්නා භෞතික පදාර්ථයෙන් නිර්මිත බව ඔහුගේ අදහස විය. තව ද ආත්මය පිළිබඳ සාකච්ඡා කිරීම මානවයාට තරම් නොවන බවත් ආත්මය දිව්‍යමය බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මෙසේ මානවයින් හා දිව්‍යමය දෑ අතර පැහැදිලි වෙනස්කම් ප්‍රකාශ කළ ද ඔහුගේ අදහස් බොහෝ සාධකයින් කෝපයට හා පුදුමයට පත් ‍කළේය. මනස හා සිරුර ලෙස ද්වෛතයක් තිබීම ආත්මයක පැවැත්මට අවාසි බව පාඨකයෝ විශ්වාස කළහ.දෙවියන් පිළිබඳ විශ්වාසය, භෞතිකවාදය හා නියතිවාදය අතර සම්බන්ධතාවයන් ගොඩනැගිය හැකි බව ප්‍රිස්ට්ලි ප්‍රකාශ කළ අතර සිය ආගමික විශ්වාසයක් පොත් පත් හෝ සමාජ රැල්ල මත හැඩගස්වාගත් පුද්ගයලයන් විවේචනය කළේය. ඔහුගේ මෙම ප්‍රකාශයන් හා අදහස් පහත ප්‍රකාශනයන්ට හා ඔවුන්ගේ ප්‍රකාශනයන්ට පිළිතුරු විය. Baron d'Holbach's Système de la Nature (1770) and David Hume's Dialogues Concerning Natural Religion (1779) තවද ප්‍රිස්ට්ලි පොදු ජන සමාජයේ වූ දැඩි විශවාසයන් හා උගත් මිනිසුන්ගේ සැක සහිත අතර සංසන්දනාත්මක විග්‍රහයක් කළේය.

සිය ස්වභාවධර්මය පිළිබඳ ලත් දැනුම මත පදනම්ව ක්‍රිස්තියානි ධර්මයට අනුව දර්ශනයේ අත්‍යාවශ්‍යතාවයන් පරම නියතිවාදයක් එනයින් මානව ජීවිතය කිසියම් නියත ක්‍රමයකට පමණක් ගෙවී යන බවත් ප්‍රිස්ට්ලි ප්‍රකාශ කළේය. ඔහුට අනුව අනෙක් සතුන්ට මෙන්ම මානවයාටද ස්වභාවධර්මයේ නීති පොදු වූ අතර එම නීති මත පදනම්ව හේතුවාදී අයුරින් මානව මනස ක්‍රියාකළ යුතුය. තවද කරුණාවන්ත දෙවියන් විසින් ලොව මවන ලද බැවින් අවසානයේ දී ලෝකය හා එහි ‍වෙසෙන සත්වයින් පරම නිරවද්‍යතාවයට පත් වනු ඇති බව හෝ විශ්වාස කළේය. එනයින් අධර්මිෂ්ට බව ලොව පිළිබඳ නිරවද්‍ය නොවූ වැටහීමක් පමණක් විය.

ප්‍රිස්ට්ලිගේ දර්ශනය හා මතවාද ස්වීය හා නිර්භීත ලෙස සැලකිය හැකි වුව ද ඔහුගේ අදහස් පැරණි දර්ශනවාදී සම්ප්‍රදායන් අනුකූලව නිදහස් චින්තනයේ නියතිවාදය හා භෞතිකවාදය මත ගොඩනැගූ ඒවා විය. උදාහරණයක් ලසෙ ප්‍රිස්ට්ලිට පෙර 17 වැනි සියවසේ වූ දාර්ශනිකයෙකු වූ බැරක් ස්පිනෝසා පරම නියතිවාය හා පරම භෞතිකවාදය ගැන අදහස් පල කරන ලදී. ‍තවද ස්පිනෝසා සහ ප්‍රිස්ට්ලි මෙන්ම ලිබ්නීස් ද මානව චින්තනය ස්වභාවධර්මය මගින් නියත ආකාරයකට පාලනය වන බව ප්‍රකාශ කළ නමුත් ඔහුට අනුව දෙවියන් විසින් භෞතික ලෝකයේ සිද්ධීන්ට එකඟ වන අයුරින් පාලනය කළ සමාන්තර ආධ්‍යාත්මික ලෝකයක් ද විය. තවද ලිබ්නීස් හා ප්‍රිස්ට්ලි යන දෙදෙනාම දෙවියන් කරුණාවෙන් යුතුව ලොව හසුරවන බව විශ්වාස කළෝය.නමුත් ප්‍රිස්ට්ලි එම ක්‍රියාවලිය උත්සවශ්‍රීක සහස්‍රක කෙල පැමිණීමකින් අවසන් වන බව ප්‍රකාශ කළ අතර, ලීබ්නීස්ට අනුව ඉහත ක්‍රියාදාමයන් ඒවා ‍තුළම උපරිම ලෙස යහපත් තත්වයේ ඒවා විය.


අද්වෛතවාදීන්ගේ පුරෝගාමියා[සංස්කරණය]

ප්‍රිස්ට්ලිගේ මිතුරෙකු වූ තියෝපිලස් ලින්ඩ්සේ සිය අනුගාමිකයන්ගේ විශ්වාසයන්ට සීමාවන් නොපැනවූ නව ක්‍රිස්තියානි නිකායක් ඇරඹීමට ක්‍රියාකළ විට ප්‍රිස්ට්ලි සහ පිරිස වහාම ඔහුට එක් විය. 1774 අප්‍රේල් 17 වැනි දින බ්‍රිතාන්‍යයේ පළමු අද්වෛතවාදීන්ගේ ගතිකාව ලින්ඩ්සේ විසින් පවත්වන ලදී. මේ වන විට ලින්ඩ්සේ නව ආගමික වතාවත් විධි පවා නිර්මාණය කර තිබූ අතර මෙය නිකායෙන් බැහැර පිරිස්වල නොසන්සුන්තාවය හේතු විය. කෙසේ වුවත් ප්‍රිස්ට්ලි සිය මිතුරා ආරක්ෂා කිරීමට Letter to a Layman, on the Subject of the Rev. Mr. Lindsey's Proposal for a Reformed English Church (1774) නම් ප්‍රකාශනය පල කළ අතර ඒ තුළින් ආගම විලාසිතාවක් කරගත් පිරිස් ඔහුගේ විවේචනයට ලක් වූ අතර ඔහු කළේ ලින්ඩ්සේගේ පල්ලියේ වතාවත්වලට සහභාගී වූ අතර ඇතැම් විට දේශනා පවා කළේය. ප්‍රිස්ට්ලි සිය ජීවිත කාලය පුරාම ආයතනික ආකාරයෙන් බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය පුරා අද්වෛතවාදී නිකායෙහි පැතිරීමට ආධාර කළ අතර අද්වෛතවාදීන් සහාය පල කරන ප්‍රකාශන කිහිපයක් ද ප්‍රකාශයට පත් කළේය.


විවිධ වායූන් පිළිබඳ පරීක්ෂණ හා නිරීක්ෂණ[සංස්කරණය]

ප්‍රිස්ට්ලි ස්ටීවන් ගෝල්ස්ගේ වායු සරාවෙහි වැඩි දියුණු කළ ආකාරයක් සිය නයිට්‍රස් වායු පරීක්ෂණ ඇතුළු වායු පරීක්ෂණ සඳහා යොදා ගන්නා ලදී.


ප්‍රිස්ට්ලිගේ දිවියේ විද්‍යාත්මක කටයුතු ප්‍රමුඛම ස්ථානයක් ගත්තේ වඩාත්ම ප්‍රතිඵල ලබා දුන්නේත් ඔහු කැල්නේහි වාසය කළ කාලයේ දීය. ඔහුගේ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ වායූන් පිළිබඳ ඒවා වූ අතර එම පරීක්ෂණ ඇසුරින් ඔහු සිය වඩාත් වැදගත්ම විද්‍යාත්මක ග්‍රන්ථය වූ වෙළුම් හයකින් යුත් Experiments and Observations on Different Kinds of Air (1774–86) ප්‍රකාශයට පත් කළේය. ප්‍රිස්ට්ලිගේ පර්යේෂණ මගින් මූලාංග 4හි වාදයේ සාවද්‍ය බව ඔප්පු වූ අතර , එම වාදය වෙනුවට ෆ්ලොජිස්ටන්වාදයේ ඔහුගේම ආකාර‍යක් ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. 18 වැනි සියවසේ පැවති මතයන්ට අනුව වස්තුවක් දහනයේ දී හෝ ඔක්සිකරණයේ දී ෆ්ලොජිස්ටන් නම් ද්‍රව්‍යයක් නිදහස් වේ යයි සලකන ලදී.

ප්‍රිස්ට්ලිගේ වායූන් පිළිබඳ පරීක්ෂණ එක් විද්‍යා ක්ෂේත්‍රයක් යටතේ වර්ගීකරණය අපහසු ක්‍රියාවකි. සයිමන් ශේෆර් වරක් පැවසූ අන්දමේ ප්‍රිස්ට්ලිගේ පරීක්ෂණ භෞතික විද්‍යාවට, රසායන විද්‍යාවට , ස්වභාව දර්ශනයට හෝ ප්‍රිස්ට්ලිගේම නිර්මාණයක් වූ අමුතුම ක්ෂේත්‍රයකට අයත් යැයි සැලකිය හැක. තවද ප්‍රිස්ට්ලිගේ ග්‍රන්ථ‍යන් දේශපාලනික මතවාදී ස්වභාවයක් ද දැරීය. බලයට පත්විය යුතු නොවන බලෙන් ලබාගත් අධිකාරීත්වයක් දරණ ආණ්ඩුවක අධිකාරිත්වය විනාශ කිරීම විද්‍යාවට කළ හැකි යයි ප්‍රිස්ට්ලි ප්‍රකාශ කළේය. මේ නිසා විද්‍යුත් උපකරණයක් හෝ වායු පොම්පයක් පවා එවැනි ආණ්ඩුවකට භයානක උපකරණ බව ප්‍රිස්ට්ලි පැවසීය.

“Experiments and Observations on Different Kinds of Air” (විවිධ වායූන් පිළිබඳ පරීක්ෂණ හා නිරීක්ෂණ) නම් ග්‍රන්ථයේ පළමු වෙළුම මගින් “නයිට්‍රස් වායුව”(නයිට්‍රික් ඔක්සයිඩ් NO) “ලවණ ද්‍රාවණ වාෂ්පය” . ආම්ලික වායුව නැතහොත් සාගර ආම්ලික වායුව හෙවත් නිර්ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ක්ෂාර වායුව (ඇමෝනියා ) ක්ෂය වූ නැතහොත් ෆ්ලොජිස්ටන්හෘත නයිට්‍රජන් වායුව (නයිට්‍රස් ඔක්සයිඩ්,N2O) සහ සුප්‍රසිද්ධ ෆ්ලොජිස්ටන්හෘත වායුව (ඔක්සිජන්) යන වායූන්ගේ සොයාගැනීම පිළිබඳවත් අවසාන වශයෙන් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලි සොයා ගැනීමට මග පෑදූ මූලික පරීක්ෂණාත්මක සොයාගැනීම පිළිබඳවත් කරුණු ප්‍රකාශයට පත් කරන ලදී. වාතයේ යහපත් බව මැනීම සඳහා නයිට්‍රස් වායු පරීක්ෂණයක් ද ප්‍රිස්ට්ලි විසින් හඳුන්වා දෙන ලදී. මේ සඳහා වායුමිතිය ඇසුරින් ජලය හෝ රසදිය මත දී පරීක්ෂණ වායු සාම්පලය වායු සාරවත් කළ නයිට්‍රස් වායුව හා මිශ්‍රකර පරිමාවේ අඩුවීම මැන ගන්නා ලදී. ඔහුගේ ඉහත ග්‍රන්ථයේ ආරම්භයේ දී වායු පිළිබඳ අධ්‍යයනයේ අතීතය සංක්ෂිප්තව දැක්වීමෙන් අනතුරුව ප්‍රිස්ට්ලි සිය පරීක්ෂණ පිළිබඳ අධ්‍යයනයේ අතීතය සංක්ෂිප්තව දැක්වීමෙන් අනතුරුව ප්‍රිස්ට්ලි සිය පරීක්ෂණ පිළිබඳව විවෘතව හා අවංකව කරුණු දක්වයි. ප්‍රිස්ට්ලි තමා දන්නා හෝ සිතන සියල්ල පාඨකයා හමුවේ තබන බවත් සැකයත් ,ගැටළු සහ වැරදීම් යනාදී සියලු ප්‍රතිඵල අවංකව පාඨකයා හමුවේ තබා ඇති බවත් මුල් යුගයේ චරිතාපදාන ලේඛකයෙක් ලියා තිබේ. මේ අතරම ප්‍රිස්ට්ලි සිය පහසුවෙන් එකලස් කළ හැකි, අඩු වියදම් පරීක්ෂණ උපකරණවල විස්තර ද ඉදිරිපත් කළ අතර, එබැවින් එහුගේ පරීක්ෂණ පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ හැකි වේ යැයි ඔහුගේ සගයන් විශ්වාස කළේය. ඒකාකාරී නොවන පරීක්ෂණාත්මක ප්‍රතිඵල හේතුවෙන් ෆ්ලොජිස්ටන්වාදය යොදා ගැනීමට ප්‍රිස්ට්ලි පෙළඹිණි. කෙසේ නමුත් මේ හේතුවෙන් ස්වභාවයේ පවතින්නේ “ආම්ලික” “ක්ෂාරීය” සහ “ස්ථිර” යන වායු කාණ්ඩ තුනක් පමණක් යැයි නිගමනයකට ප්‍රිස්ට්ලි එලැඹිණි.එකල ප්‍රචලිත වෙමින් පැවති රසායන විද්‍යා ක්ෂේත්‍ර වෙනුවට වායූන් හා ඒවායේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ පිළිබඳ ප්‍රිස්ට්ලි අවධානය යෙදවීය. මෙය ඔහුට පෙර විසූ ස්වභාවික දර්ශනවාදීන්ගේ ක්‍රම‍ෙව්දය අනුගමනය කිරීමකි. ප්‍රිස්ට්ලි කාබන් මොනොක්සයිඩ් වායුව අනෙක් වායූන්ගෙන් වෙන්කර ලබා ගැනීමට සමත් වූ නමුදු එය තවත් වායු වර්ගයක් බවට හඳුනාගත් බවක් නොපෙනේ.



ඔක්සිජන් සොය‍ාගැනීම[සංස්කරණය]

1774 වසරේ අගෝස්තු මාසයේ දී සම්පූර්ණයෙන්ම නව ආකාරයක වායුවක් වෙන් කරගැනීමට ප්‍රිස්ට්ලි සමත් වූ නමුත් ෂෙල්බර්න් ස්වාමිවරයා සමග යුරෝපයේ සංචාරය කිරීමට සිදුවීම නිසා ඒ ගැන වැඩි දුර අධ්‍යයනයකට අවස්ථාව නොලැබුණි. කෙසේ නමුත් පැරීසියේ ගතකළ කාලයේ දී ප්‍රංශ රසායන විද්‍යාඥ ඇන්ටොයින් ‍ලැවෝෂියර් ඇතුළු පිරිසක් ඉදිරියේ සිය පරීක්ෂණය නැවත ආදර්ශනය කිරීමට ප්‍රිස්ට්ලිට හැකි විය. 1775 වසරේ නැවත බ්‍රිතාන්‍යට ලඟා වීමෙන් අනතුරුව සිය පරීක්ෂණ නැවත ඇරඹූ ප්‍රිස්ට්ලි “දැවෙන සුළු ආම්ලික වායුව” යනුවෙන් ඔහු හඳුන්වන ලද සල්ෆර් ඩයොක්සයිඩ් වෙන්කර ගැනීමට සමත් විය. එම වසරේ මාර්තු මාසයේ දී තමන් පෙර ව‍සරේ අ‍ගෝස්තු මස සොයාගත් වායුව පිළිබඳ ලිපි පෙළක් පුද්ගයන් කිහිප දෙනෙකු වෙත යැවීමට ප්‍රිස්ට්ලි ක්‍රියා කළේය. මෙවන් එක් ලිපියක් රාජකීය සංගමය ඉදිරියේ කියවනු ලැබූ අතර "An Account of further Discoveries in Air"(පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාර්තාව) නම් ලිපිය රාජකීය සංගමයේ Philosophical Transactions නම් ජර්නලයේ පල විය. ප්‍රිස්ට්ලි මෙම නව වායුව ෆ්ලොරිස්ටිනීහෘත වායුව ලෙස හඳුන්වන ලදී. මෙම වායුව පුරවා සීල් තැබූ ඇටවුමක් තුළ මීයන් අසාමාන්‍ය ලෙස දිගු කලක් ජීවත් වීම ඔහු පුදුමයට පත් කළේය. අනතුරුව එම වායුව තමාම ආශ්වාස කළ පරීක්ෂා කළ ප්‍රිස්ට්ලි ගිනි දැල්වීම, ස්වසනය හා වායුගෝලීය වාතය යොදාගන්නා අන් සියලු කරුණු සඳහා මෙම නව වායුව පස්ගුණයක් , හය ගුණයක් අතර ප්‍රමාණයකින් වඩා සුදුසු බව විශ්වාසය පල කලේය. මෙම වායුව ඔක්සිජන් O2 විය.

ෂෙල්බර්න්හි දෙවැනි අර්ල්වරයා වූ විලියම් පෙටී ප්‍රිස්ට්ලි වෙනුවෙන් බෝවුඩ් නිවසේ විද්‍යාගාරයක් ඉදි කරන ලදී.

“Experiments and Observations on Air” නම් ග්‍රන්ථයේ දෙවැනි වෙළුමට ඔක්සිජන් පිළිබඳ විස්තර සහ තවත් පරීක්ෂණ විස්තර ඇතුළත් කර එය 1776 දී ප්‍රකාශනයට පත් කිරීමට ප්‍රිස්ට්ලි ක්‍රියා කළ නමුත් ඔහු ඔක්සිජන් පිළිබඳ සිය සොයා ගැනීම උලුප්පවා දැක්වීමට ක්‍රියා නොකළේය. (ඒ පිළිබඳ විස්තර ඇතුළත් වූයේ දෙවැනි වෙළුමේ 3 වැනි කොටසේය) නමුත් සංඥාපනයේ දී එවැනි සොයා ගැනීම් හේතුවාදී ආගමික මතවාද කෙරෙහි වැදගත් වන බවට මතයක් පල කළේය.ඔක්සිජන් සොයාගැනීම පිළිබඳ ප්‍රිස්ට්ලිගේ වාර්තාව අනුපිළිවෙලින් සකස් කළ එකක් විය. පරීක්ෂණයන් අතර කාල පරාසය පිළිබඳව සහ ආරම්භයේ දී මුහුණ පෑමට සිදු වූ ගැටළුකාරී තත්වයන් පිළිබඳ විස්තර ද එහි ඇතුළත් වේ. එහෙත් ඔහු දින වකවානු සඳහන් නොකරන බැවින් ප්‍රිස්ට්ලි ඔක්සිජන් සොයාගත් නිශ්චිත කාල සීමාවක් නිගමනය කළ නොහැක. මෙම දින වකවානු අතිශයින් වැදගත් වන්නේ ලැවෝෂියර් සහ ස්වීඩන් ජාතික ඖෂධවේදී කාල් විලියම් ස්කීල් ද ඔක්සිජන් සොයා ගැනීමට හිමිකම් කියන බැවිනි. මින් ස්කීල් පළමුව ඔක්සිජන් වෙන්කරගත් තැනැත්තා වූ නමුත් ඔහුට ප්‍රථම ප්‍රිස්ට්ලි සිය වාර්තාව පල කළේය. මේ අතර ෆ්ලොජිස්ටන් වාදයෙන් බැහැරව මුල්වරට ඔක්සිජන් වායුව ගැන පැහැදිලි කිරීමේ ගෞරවය ලැවෝෂියර්ට හිමි විය. කිසිදු වෙනස්කමක් නැති පූර්ණ සංශුද්ධ වාතය ලෙස ලැවෝෂියර් විසින් ඔක්සිජන් වායුව හඳුන්වන ලදී.

"Observations on Respiration and the Use of the Blood” නම් ප්‍රකාශනය ඔස්සේ රුධිරය හා වාතය අතර ඉතිහාසයේ මුල්වරට සම්බන්ධයක් පිළබඳ ඉඟි කිරීමේ ගෞරවය ද ප්‍රිස්ට්ලි සතුය. නමුත් මේ සඳහා ප්‍රිස්ට්ලි යොදාගෙන ඇත්තේ ෆ්ලොජිසටන්වාදයයි. මෙහිදී ද ප්‍රිස්ට්ලි සිය වාර්තාව ආරම්භයේ ස්වසනය පිළිබඳ අධ්‍යයනයේ ඉතිහාසය සංක්ෂිප්තව දක්වා ඇත. මින් වසරක් ඇතුළත ප්‍රිස්ට්ලිගේ ආභාසය අනුව ලැවෝෂියර් Académie des sciences හි ස්වසනය පිළිබඳ සාකච්ඡා කිරීම ඇරඹීය. මින් ආරම්භ වූ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස ෆ්ලොජිස්ටන් වාදය බැහැර කෙරුණු අතර බොහෝ සොයාගැනීම් රැසක් අවසන ඔක්සිජන් ස්වසනය පිළිබඳ වාර්තා බොහොමයක් පල විය. අවසානයේ මෙය නූතන රසායන විද්‍යාවට මග පෑදීය.

1779 දී පමණ ප්‍රිස්ට්ලි හා ෂෙල්බර්න් සාමිවරයා අතර බිඳීමක් ඇති විය. මීට හේතු වූ කරුණු අපැහැදිලිය. සාමිවරයා පැවසුවේ ප්‍රිස්ට්ලිගේ සෞඛ්‍ය තත්වය ඊට හේතු වූ බවයි. නමුත් සාමිවරයාට තමාගෙන් තවදුරටත් වැඩගත නොහැකි වීම ඊට හේතුව බව ප්‍රිස්ට්ලි පැවසීය. නමුත් සමකාලීනයන්ගේ අදහස වූයේ ප්‍රිස්ට්ලිගේ අවංක චරිත ලක්ෂණ ෂෙල්බර්න්ගේ දේශපාලන ප්‍රතිරූපයට ගති පැමිණවීම ඊට හේතු වූ බවයි. තවද ස්කොෆීල්ගේ මතයට අනුව ප්‍රිස්ට්ලි පරපුරට අකමැත්තක් දැක්වූ ලුසියා ෆිට්ස්පැට්‍රික් නම් කාන්තාව හා ෂෙල්බර්න් අතර සිදුවූ විවාහය මේ සඳහා බලපා ඇත. මෙම තත්වය යටතේ ඇමරිකාවට සංක්‍රමණය වීමට ප්‍රිස්ට්ලි අදහස් කළ නමුත් අවසානයේ දී බර්මින්ග්හැම්හි නිව් මීටින්ග් පල්ලියේ දේව ගැතිවරයාගේ පදවිය භාර ගැනීමට ඔහු තීරණය කළේය.


බර්මින්හැම් (1780 – 1791)[සංස්කරණය]

ආගමික හේතූන් නිසා කැලඹුණු කලහකාරී පිරිසකින් බේරීමට 1791 වසරේ දී පලා යෑමට සිදුවන තෙක්ම 1780 සිට පැරණි මිතුරන් ඇසුරේ සැපවත් දශකයක් ගත කිරීමට බර්මින්හැම් වෙත පැමිණි ප්‍රිස්ට්ලිට හැකි විය. ප්‍රිස්ට්ලි නිව් මීටින්ග් පල්ලියේ පූජකවරයා වීමේ ආරාධනය පිළිගත්තේ දේශනා පැවැත්වීමේ සහ ඉගැන්වීමේ කටයුතු ඉරු දිනට සීමා වීමේ කොන්දේසිය මතය. මේ අනුව ඔහුට සිය විද්‍යාත්මක කටයුතු සහ ලේඛන කලාව සඳහා පන්ති පැවැත්වීම ඇරඹූ අතර 1781 වන විට (වසරක් ඇතුළත) ඔහුගේ සිසුන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ නැග්ගේය. නිව් මීටින්ග්හි තනතුරෙහි ‍වේතනය ගිනි 100කට සීමා වූ නිසා ප්‍රිස්ට්ලිගේ පරීක්ෂණ කටයුතු කරගෙන යාමට මිතුරන් සහ දායකයන් මුදල් සහ උපකරණවලින් දායකත්වය දැක්වීය.


රසායනික පුනරුදය[සංස්කරණය]

ප්‍රිස්ට්ලිගේ බර්මින්හැම් මිතුරන් බොහොමයක් චන්ද්‍ර සමිතිය නම් මාසිකව රැස්ව සිය ක්‍රියාකාරිත්වයන් සාකච්ඡාවට බඳුන් කළ සාමාජාකයන්ගෙන් යුක්ත සංගමයට අයත් නිෂ්පාදකයින්, නව නිපැයුම්කරුවන් හා ස්වභාව දාර්ශනිකයින් විය. මෙම සංගමයේ කේන්ද්‍රීය චරිත අතර නිෂ්පාදක මැතිව් බෝල්ටන් , රසායන හා භූගෝල විද්‍යාඥ ජෝන් කීර්, නව නිපැයුම්කරු හා ඉන්ජිනේරු ජේම්ස් වොට් හා ජීව රසායන හා භූගෝල විද්‍යාඥ විලියම් විදරින්ග් අයත් විය. ප්‍රිස්ට්ලිට මෙම විශේෂ සංගමයේ සාමාජිකත්වය ලැබ ගැනීමට ආරාධනා ලැබුණු අතර සාමාජිකත්වය ලැබීමෙන් අනතුරු සංගමයේ අනෙකුත් සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වයට ප්‍රිස්ට්ලි විශාල දායකත්වයක් දක්වන ලදී. මෙම බුද්ධි උද්දීපන වටපිටාව තුළ ප්‍රිස්ට්ලි විසින් ඉතා වැදගත් රසායනික නිබන්ධන කිහිපයක් පල කරන ලදී. මේ අතරින් පළමුවැන්න 1783 දී පල කළ "Experiments relating to Phlogiston, and the seeming Conversion of Water into Air" (ෆ්ලොජිස්ටන් හා සබැඳි පරීක්ෂණ සහ ජලය වාතය බවට පරිවර්තන වන්නා සේ පෙනීම) යන නිබන්ධනයයි. මෙහි පළමු කොටස තුළ ප්‍රිස්ට්ලි ලැවෝෂියර් විසින් ඔහුගේ ඔක්සිජන් පිළිබඳ පරීක්ෂණයන්ට එල්ල කළ අභියෝගයන්ට පිළිතුරු සැපයීමට උත්සාහ කරන අතර දෙවැනි කොටසේ දී ජල වාෂ්ප වාතය බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය විස්තර කරයි. මේ යටතේ විවිධ ද්‍රව වර්ග හා විවිධ උපකරණ භාවිතා කරමින් සිදු කළ විවිධාකාර පරීක්ෂණ ගණනාවකින් අනතුරුව (මේවායින් ඔහු ලද ප්‍රතිඵල විෂම වේ) එකල පිළිගත් ද්‍රව ගතික විද්‍යාත්මක න්‍යායාත්මකව පටහැනිව එකල විශ්වාස කලාට වඩා වැඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් හරහා වාතයට ගමන් කළ හැකි බව ප්‍රිස්ට්ලි නිගමනය කළේය. මෙම සොයාගැනීම සහ වර්තමානයේ වායු විසරණය ලෙස හැඳින්වෙන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රිස්ට්ලිගේ අතීත පරීක්ෂණ , අවසාන වශයෙන් තෝමස් ග්‍රැහැම් හා ජෝන් ඩෝල්ටන් එක්ව වායු පිළිබඳ චාලකවාදය නිර්මාණය කිරීමට මග පෑදීය.


පහත කොටස ජැකීස් - ලුයිස් ඩේවිඩ් විසින් රචිත ඇන්ටොයින් ලැවෝෂියර් හා ඔහුගේ බිරිඳ පිළිබඳ ග්‍රන්ථයේ තොරතුරු මත පදනම් වේ.

1977 වසර වන විට ඇන්ටොයින් ලැවෝෂියර් ෆ්ලොජිස්ටන් වාදයට විරුද්ධව සිය ප්‍රථම නිබන්ධය Réflexions sur le phlogistique pour servir de suite à la théorie de la combustion et de la calcination යන නමින් පල කළේය. 1783 ප්‍රිස්ට්ලි පල කළ නිබන්ධනය මෙයට පිළිතුරු සැපයීම සඳහා පල කළ එකක් විය. ප්‍රිස්ට්ලි ලැවෝෂියර්ගේ අදහස් තරමක් දුරට පිළිගත් නමුදු අදහස්වල විශාල පෙරළියකට එකඟ නොවීය. ෆ්ලොජිස්ටන්වාදය බැහැර කර නව රසායනික නාමකරණයක් යටතේ මූලද්‍රව්‍ය හා සංයෝග මත පදනම් වූ රසායන විද්‍යාවක් ගොඩනැගීම ලැවෝෂියර්ගේ අරමුණ විය. ඔක්සිජන් වායුව , දහනය සහ ජලය පිළිබඳ ප්‍රිස්ට්ලිගේ මූලික පරීක්ෂණ ලැවෝෂියර්ගේ මතයන්ට පදනම් වූ නමුත් ප්‍රිස්ට්ලි කිසි විටෙකත් ලැවෝෂියර්ගේ අදහස් හා එකඟ නොවූ අතර ජීවිතාන්තය තෙක්ම ෆ්ලොජිස්ටන්වාදය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය. ලැවෝෂියර්ගේ ක්‍රම‍‍වේදයන් ප්‍රධාන වශයෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක දී ස්කන්ධය ජනිත වීමක් හෝ විනාශ වීමක් නොවේ යන ප්‍රමාණාත්මක සංකල්පය මත පදනම් විය. (ස්කන්ධ සංස්ථිතිය) නමුත් සෑම විටම කැමැත්තක් දැක්වූයේ උෂ්ණත්වයේ , වර්ණයේ සහ විශේෂයෙන් පරිමාවේ ගුණාත්මක වෙනස්වීම් අධ්‍යයනය කිරීමටයි. ඔහුගේ පරීක්ෂණ අතරට විවිධ වායු වර්ගවල ජල ද්‍රාව්‍යතාව පරීක්ෂා කිරීම, දහනයට රුකුල් දීම හෝ නොදීම ගැන සෙවීම , ඒවා ස්වසනය කළ හැකි බව හෝ නොහැකි බව නිර්ණය කිරීම, ක්ෂාරීය, ආම්ලික, දාහ්‍ය වායූන් හමුවේ හැසිරීම පරීක්ෂා කිරීම, නයිට්‍රික් ඔක්සයිඩ් හා මිශ්‍ර කළ ප්‍රතිඵල නිරීක්ෂණය සහ වායු තුළ විද්‍යුත් පලිඟු ජනනයෙන් ඇතිවන වෙනස්කම් අධ්‍යයනය අයත් වේ.

1789 දී Traité élémentaire de chimie පල කළ Annales de Chimie, ආරම්භ කරන විට නූතන රසායනය ශක්තිමත් තත්වයකට පත්ව තිබුණි. ප්‍රිස්ට්ලි බර්මින්ග්හැම්හි සිට නව විද්‍යාත්මක නිබන්ධන කීපයක් පළ කළ අතර ඒ මගින් ලැවෝෂියර්ට පිළිතුරු සැපයීමට උත්සාහ කළේය. ප්‍රිස්ට්ලි ඇතුළු චන්ද්‍ර සමිතියේ සාමාජිකයෝ නව ප්‍රංශ ක්‍රමවේදය අනවශ්‍ය ලෙස සංකීර්ණ , පරීක්ෂා කිරීම අපහසු අධික වියදම්කාරී එකක් ලෙස බැහැර කළේය. විශේෂයෙන්ම මෙම ක්‍රමය ප්‍රචලිත වෙමින් පැවති අවධියේ ප්‍රිස්ට්ලි ඊට දැඩි විරෝධයක් පෑවේය. නමුත් අවසානයේ ලැවෝෂියර් ක්‍රමය ජයගත් අතර වර්තමාන රසායන විද්‍යාවට පදනම් වූ බොහෝ මූලධර්ම මේ අවධියේ ලැවෝෂියර් සිය නව රසායන විද්‍යාව සමග හඳුන්වා දෙන ලදී.

ස්කන්ධ සංස්ථිතිය ආදී මූලධර්මවලින් යුක්ත වූ ලැවෝෂියර්ගේ නව රසායන විද්‍යාව ප්‍රිස්ට්ලි විසින් ප්‍රති‍ක්ෂේප කිරීමත් දිගින් දිගටම දුර්වල මතවාදයන්ගේ එල්බ සිටීමත් බොහෝ උගතුන්ගේ විමතියට හේතු වී ඇත. මේ හැසිරීම පැහැදිලි කරමින් ස්කොෆීල් පවසනුයේ ප්‍රිස්ට්ලි ස්වභාවධර්මයේ පිරිමැසුම්කාරී ලක්ෂණ ගැන විශ්වාස කළ ආගමික මතවාද තුළ හා ස්වභාවධර්මයේ ඒකීය භාවයක් පිළිබඳ මතවාද තදින් වැළඳගත් ස්වභාවික දර්ශනවාදියෙකු මිස කිසි විටෙකත් විද්‍යාඥයෙකු නොවූ බවයි. මෙම ප්‍රකාශය වර්තමානයට මෙන්ම ලැවෝෂියර්ගේ කාලයට ද වලංගු වේ. විද්‍යාව පිළිබඳ ඉතිහාසඥයෙකු වන ජෝන් මැක්ඊවෝයි ද මේ අදහස සමග ‍බොහෝ දුරට එකඟ වේ. ස්වභාවධර්මය පිළිබඳ ප්‍රිස්ට්ලිගේ දර්ශනයන් දෙවියන් හා සමවිස්කෘත වූද, එබැවින් අනන්ත වූ ද එකක් බවත් එබැවින් ප්‍රිස්ට්ලි හැමවිටම උපකල්පන හා වාදයන්වලට වඩා දත්තයන්ට අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ලැවෝෂියර්ගේ අදහස් ප්‍රතික්ෂේප කරන්නට ඇති බවත් මැක්ඊවෝයි ලියා ත‍ි‍බේ. ඔක්සිජන් පිළිබඳවාදයට ප්‍රිස්ට්ලිගේ තනි විරෝධය චින්තනයේ නිදහස , දැනුම මත පදනම් වූ ගුණය සහ කරුණු විවේචනාත්මකව විභාග කිරීමේ ගුණය සහ ප්‍රිස්ට්ලිගේ ගුණයන්ට නිදර්ශන වන බව මැක්ඊවෝයිගේ මතයයි. තම ආගමික කාර්යභාරය විද්‍යාත්මක කාර්යභාරයට වඩා වැදගත් බව Experiments and Observations හි අවසාන වෙළුමේ ඔහු ලියා තිබේ. එයට හේතුව ලෙස ඔහු දක්වන්නේ ආගමික මතවාද ගරුත්වයෙන් හා වැදගත්කමින් වඩා උසස් වීමයි.

සාම්ප්‍රදායික ‍නොවන ආගමික මතධාරීන් සහ ප්‍රංශ විප්ලවය වෙනුවෙන් පෙනී සිටින්නා

දොස්තර ‍ෆ්ලොජිස්ටන් - ප්‍රිස්ට්ලි - දේශපානඥයෙක් ද? නැතහොත් දේශපාලනික පූජකයෙක් ද,


බයිබලය පාගාගෙන ඉංග්‍රීසි නිදහස නිරූපිත ලේඛන පුළුස්සන ආකාරයට ප්‍රිස්ට්ලි මෙම ප්‍රිස්ට්ලි විරෝධී කාටූනයේ දැක්වේ. ඔහුගේ සාක්කුවල "Essays on Matter and Spirit" ", "Gunpowder", සහ "Revolution Toasts" යන ග්‍රන්ථ අඩංගු වේ.

නව රසායනඥයින්ගෙන් ෆ්ලොජිස්ටන්වාදය ආරක්ෂා කිරීමේ නියැලී සිටි නමුත් බර්මින්හැම් හිදී ප්‍රිස්ට්ලි පල කළ බොහෝ ප්‍රකාශන ආගමික මතවාද සම්බන්ධ ඒවා විය. 1782 දී ඔහු සිය Institutes, An History of the Corruptions of Christianity ග්‍රන්ථයේ සිව්වැනි වෙළුම ප්‍රකාශයට පත් කළේය. මේ මගින් ඔහු මුල් ක්‍රිස්තියානු ඉගැන්වීම් විනාශයට හා විකෘතියට පත්වී යැයි ඔහු විශ්වාස කළ ආකාරය ප්‍රකාශයට පත් කළේය. විනාශකාරී තර්ක අඩංගු සවිස්තරාත්මක, එහෙත් දිගු වෙහෙසකාරී සහ නැවත නැවතත් එකම ‍දේ ලියා ඇති තද්භවික අසංවිධානාත්මක කෘතියක් ලෙසට මෙය සකොෆීල්ඩ් විසින් හඳුන්වා තිබේ. සත්ප්‍රසාදයේ නිවැරදි ආකාරයේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය දක්වා විශාල පරාසයක ගැටළු මෙම ග්‍රන්ථයේ දී සාකච්ඡාවට බඳුන් කර ඇත. මෙම කෘතියට ඈඳුනු An History of Early Opinions concerning Jesus Christ, compiled from Original Writers, proving that the Christian Church was at first Unitarian (ක්‍රිස්තියානි පල්ලියේ මුල් මතවාද අද්වෛතවාදී වූ බව ඔප්පු කිරීම සඳහා මුල් ලේඛකයන්ගේ ලියවිලිවලින් ජේසුස් වහන්සේ ගැන උපුටාගත් මතයන්) යන ග්‍රන්ථය 1786 දී ප්‍රිස්ට්ලි විසින් පල කරන ලදී. මෙම ග්‍රන්ථයෙහි නාමය පවා ප්‍රත්‍යෝපකාරී විය. පසු කාලීනව තෝමස් ජෙෆර්සන් තමා මත මෙම ග්‍රන්ථ යුගලෙන් ඇති වූ දැඩි බලපෑම ගැන පහත ප්‍රකාශය කළේය. “ මම කිතු දහමේ විනාශය ගැනත් ජේසුස් වහන්සේ ගැන මුල් කාලීන මත පිළිබඳ කෘතීන් යුගල නැවත නැවතත් කියවා ඇත්තෙමි. මම මගේ ආගමික විශ්වාසයන්ගේ පදනම ලෙස ඒවා සලකමි” ප්‍රිස්ට්ලිගේ මෙම දෙවැනි ග්‍රන්ථයේ සඳහන් කරුණුවලට අද දක්වාත් කිසිවෙකු ප්‍රතිචාර දක්වා නොමැති නමුත් ජෙෆර්සන් ඇතුළු හේතුවාදී සාම්ප්‍රදායික නොවන ආගමිකයින් කිහිප දෙනෙක් ඔහුගේ ග්‍රන්ථය අනුමත කරමින් ප්‍රකාශයක් පලකර ඇත. කෙසේ නමුත් ප්‍රිස්ට්ලිගේ මෙම ග්‍රන්ථය ඔස්සේ ඔහු පූජනීය ත්‍රිත්වය ප්‍රතික්ෂේප කිරීමත් ග්‍රන්ථය පුරා ඇති අන්තවාදී ආගමික මතවාදයන් නිසා දැඩි වි‍වේචනයට ලක්විය.

1785 වසරේ දී කිතු දහමේ මුල් මතවාද දූෂණය වීම පිළිබඳ ග්‍රන්ථය ගැන විවිධ ලේඛකයන් සමග පත්‍රිකා ඔස්සේ මත ගැටුමකට එළඹ සිටි අවධියේ ප්‍රිස්ට්ලි විසින් The Importance and Extent of Free Enquiry ‘නිදහස් ලෙස ප්‍රශ්න කිරීමේ ප්‍රමාණය හා වැදගත්කම’ නම් ග්‍රන්ථය පළ කළේය. ඒ ඔස්සේ පල්ලියේ ප්‍රතිසංස්කරණය සත්‍ය වශයෙන් සිදු නොවූ බව හෙතෙම මත පල කළේය. තවද මුළු එංගලන්තයම ප්‍රකෝප කරවමින් පාඨකයන්ගෙන් මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය. පහත දැක්වෙන්නේ ඔහුගේ ග්‍රන්ථයකින් උපුටාගත් ඡේදයක පරිවර්තනයකි.

“වර්තමානයේ අප අද්වෛතවාදය නිරූපණය කරන පල්ලි රැසක් නොදකිමු. එහෙත් අප කනස්සළු විය යුතු නොවේ. මිත්‍යා දෘෂ්ටියේ හා වැරදි මතවාදයන්ගේ පැරණි මන්දිරයන් යටින් බිඳින් බිඳ වෙඩි බෙහෙත් අතුරාලන්නා සේ අද අපේ මතවාද පැතිරෙමින් තිබේ. යම් දිනෙක ‍අපේ මතවාද නම් වූ වෙඩ් බෙහෙත් එක් පුලිඟුවකින් දැල්වී ක්ෂණික පිපිරීමක් සිදු කරනු ඇත. එවිට සියවස් ගණනක් තුළ ගොඩනැඟූ මිත්‍යාවේ මන්දිරය එහි පාදම ද සමග සම්පූර්ණයෙන් විනාශ වනු ඇත. යලි කිසි දිනෙක එය ගොඩනැගිය ‍නොහැකි වනු ඇත.

මෙවැනි ප්‍රකෝපකාරී භාෂා විලාසයක් යොදාගෙන ප්‍රිස්ට්ලි සිය මතයන් පල කිරීම ඔහුගේ මිතුරන්ගේ නොසතුටට හේතු විය. නමුත් ප්‍රිස්ට්ලි ඔවුන්ගේ මත නොසැලකූ අතර එබැවින් ග්‍රන්ථය පලවූ පසු ප්‍රිස්ට්ලිට "Gunpowder Joe" (වෙඩි‍ බෙහෙත් ජෝ) යන නම පට බැඳුණි. මෙම විප්ලවයකට අර අදින සේ‍ පෙනෙන ග්‍රන්ථයේ පල වීම ප්‍රංශ විප්ලවය අතරතුර සිදු වූ අතර ඒත් සමගම වෙනත් ලේඛකයන් ඔහුගේ මතයට එල්ල කළ ප්‍රහාර තවත් දැඩි විය. ප්‍රිස්ට්ලි සහ ඔහුගේ පල්ලියට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවට ද තර්ජන එල්ල විය.

“සාංගාමික නීතිය” සහ “පරීක්ෂණය” පිටු දැකීම 1787, 1789, සහ 1790 වර්ෂවල දී සාම්ප්‍රදායික නොවන ආගමික මතධාරීහු නැවත උත්සාහ කළේය. මුලදී ඔවුන් සාර්ථක මත බවත් පෙන්නුම් කළ ද විප්ලවයක් කෙරෙහි පාර්ලිමේන්තුව තුළ බියක් ඇතිවීමත් සමඟ සම අයිතිවාසිකම් සඳහා කළ ඉල්ලීම්වලට දැක්වූ සැලකිල්ල ඉතා අඩු විය. මෙකල ප්‍රචලිත සහ වඩාත් ප්‍රතිඵලදායී වූ මාධ්‍ය ප්‍රවාහය වූයේ දේශපාලනික කාටූන වේ. මේවා මඟින් නිතරම ප්‍රිස්ට්ලි ඇතුළු සාම්ප්‍රදායික නොවන ආගමික මතධාරීන් ප්‍රහාරයට භාජනය විය. පාර්ලිමේන්තුව තුළ දී එඩ්මන්ඩ් බර්ක් සහ විලියම් පිට් ප්‍රිස්ට්ලි ඇතුළු ප්‍රජාවේ ඉල්ලීම්වලට එරෙහි කතා කළේය. ප්‍රිස්ට්ලි සහ ඔහුගේ මිතුරන් මේ දෙදෙනාගේ සහයෝගය අපේක්ෂා කළ අතර මෙම පිටු පෑම නිසා කෝපයට පත් විය. මොවුන් දෙදෙනා සිය ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීම සඳහා ප්‍රිස්ට්ලි Letters to William Pitt (විලියම් පිට් හට ලියූ ලිපි) සහ Letters to Burke (බර්ක්හට ලියූ ලිපි) නමින් ලිපි පෙළක් පල කළ නමුදු එය ජනතාව තවත් ප්‍රකෝප කිරීමට හේතු විය.

ප්‍රංශ විප්ලවය පිළිබඳ සැකය වැඩෙත්ම එයට සහාය දැක්වූ ප්‍රිස්ට්ලි වැනි සාම්ප්‍රදායික නොවන මතධාරීන් පිළිබඳ සැකයන් වර්ධනය විය. නව මතධාරීන්ට එරෙහිව පිට්ගේ රජය විසින් ගෙන ගිය ව්‍යාපාරය ප්‍රිස්ට්ලිගේ “වෙඩි බෙහෙත්” සම්බන්ධ ඡේදය ඇසුරින් ප්‍රිස්ට්ලි සහ අනෙක් සාමප්‍රදායික නොවන ආගමික මතධාරීන් රජය පෙරළා දැමීමට උත්සාහ කරන බව පෙන්වීය. තවද Reflections on the Revolution in France (1790) (ප්‍රංශ විප්ලවය ගැන මතයක්) නම් සුප්‍රසිද්ධ ග්‍රන්ථය ඔස්සේ බර්ක් විසින් ප්‍රංශ විප්ලවයට ස්වභාව දර්ශනවාදීන් විශේෂයෙන් ප්‍රිස්ට්ලි ඈඳීය බ්‍රිතාන්‍ය තුළ විද්‍යාවට සහයෝගය දැක්වූවත් මිනිසුන්ට දක්වන සැලකිල්ල වායු පොම්පයක් තුළ සිටින මීයන්ට දක්වන සැලකිල්ලට සම බව හේ ලිවීය. තවද ප්‍රිස්ට්ලිගේ සහ ප්‍රංශ රසායනඥයින්ගේ සොයාගැනීම් අවඥාවට පත් කරමින් බෲක් ජනරජවාදී සංකල්ප ප්‍රමාණවත් නොවූ වාතයට සහ ආදි රසායනයට සම්බන්ධකර දැක්වීය. පසු කාලීනව ඇන්ටොයින් ලැවෝෂියර් බ්‍රිතාන්‍යට එරෙහි ප්‍රංශ යුද්ධය සඳහා වෙඩි බෙහෙත් තැනීමේ ක්‍රමයක් දියුණු කළ කාලයේ "Gunpowder Joe" (වෙඩි බෙහෙත් ජෝ) විද්‍යාව හා ලැවෝෂියර් සම්බන්ධ කරමින් ‍බෲක් බොහෝ ප්‍රකාශ පළ ක‍ළේය. මෙහි විරුද්ධාභාසික බව වූයේ සාම්ප්‍රදායික නොවන ආගමික පූජක ප්‍රිස්ට්ලි ආගම පෞද්ගලික ජීවිතය හා බැඳී ඇති බැවත් සිවිල් ජන සමාජය සඳහා පදනම සැපයීම ආගම මඟින් නොකළ හැකි බවත් පවසද්දී ආගමික ‍නොවන දේශපාලඥයෙකු බර්ක් සිවිල් සාමජයේ පදනම ආගමික විය යුතු බව පවසමින් විද්‍යාවට එරෙහිව වාද කිරීමයි.

1791 දී බර්මින්ග්හැම්හි ඇති වූ කලහකාරී තත්වය

1791 ව‍සරේ ජූලි මාසයේ සාම්ප්‍රදායික නොවූ ආගමික මතධාරීන් සහ ඇමරිකානු සහ ප්‍රංශ විප්ලවයන්ට සහයෝගය දැක්වූවන්ට එරෙහිව ගොඩනැගෙමින් තිබූ විරෝධය සහ ද්වේශය උච්චත්වයට පත් විය. ප්‍රිස්ට්ලි සහ තවත් සම්ප්‍රදායික නොවන ආගමික මතධාරීන් කිහිප දෙනෙකු එක්ව බැස්ටීලයට පහර දී අල්ලා ගැනීමේ සංවත්සරයට සමගාමීව අනුස්මරණ රාත්‍රී භෝජන සංග්‍රයක් සංවිධානය කරන ලද අතර ප්‍රංශ විප්ලවය ප්‍රතික්ෂේප කළ එය බ්‍රිතාන්‍යයට ද පැතිරේ යැයි බිය වූ ජනතාව හමුවේ මෙය ප්‍රකෝපකාරී ක්‍රියාවක් විය. සාහසික ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි නිසා භෝජන සංග්‍රහයට සහභාගී නොවීමට ප්‍රිස්ට්ලිගේ මිතුරන් ඔහුව පොළඹවන ලදී. මිතුරන්ගේ සැකය ඔප්පු කරමින් භෝජන සංග්‍රහය පැවැත්වෙන අතරතුර හෝටලය අසලට රැස් වූ කලහකාරීන් භෝජන සංග්‍රහය අවසන සහභාගී වූවන් පිටව යද්දී ඔවුනට පහර දෙන ලදී. මින් නොනැවතුණු කලහකාරීන් “නිව් මීටින්ග්” සහ “ඕල්ඩ් මීටින්ග්” පල්ලිවලට ගිනි තබා විනාශ කළේය. ප්‍රිස්ට්ලි සහ ඔහුගේ බිරිඳ නිවෙස අතහැර පලාගිය අතර ප්‍රිස්ට්ලිගේ පුතු විලියම් ඇතුළු පිරිසක් නිවස ආරක්ෂා කිරීමට රැඳී සිටියේය. නමුත් කලහකාරීන් ඔවුන් පලවාහැර ප්‍රිස්ට්ලිගේ නිවසට ද ගිනි තබන ලදී. මේ හේතුවෙන් ප්‍රිස්ට්ලිට සිය වටිනා පරීක්ෂණාගාරය, නිවස සහ එතුළ වූ සියළු දෑ අහිමි විය. දින තුනක් පුරා පැවති කලහකාරී තත්වය යටතේ අනෙක් සාම්ප්‍රදායික නොවන ආගමික මතධාරීන්ගේ නිවාස ද පුළුස්සා දමන ලදී. ආරක්ෂාකාරීව ලන්ඩනයට පැමිණීමට අවස්ථාවක් ලැබෙන තෙක් ප්‍රිස්ට්ලි සිය මිතුරන් සමග දින කිහිපයක් සැඟවී සිටියේය. කලහකාරී පිරිස්වල ක්‍රියාකාරකම් ප්‍රවේසම්කාරී ලෙස සැලසුම් කළ ඒවා වූ අතර කලහකාරීන්ට නායකත්වය දුන් පිරිසෙන් ද කිහිප දෙනෙකුට එරෙහිව පමණක් නඩු අසන ලදී. එහෙත් ඒවායේ තීරණ ද උපහාසාත්මක විය. මේ හේතුවෙන් බර්මින්හැම්හි ප්‍රාදේශීය මහේස්ත්‍රාත්වරුන්ගේ අනුදැනුම ඇතිව පහරදීම් සිදු වූ බවට එකල විශ්වාසය විය. වර්තමාන ඉතිහාසඥයින් ද මෙම මතය දරති. “ප්‍රිස්ට්ලි විසින් හඳුන්වාදුන් ක්‍රම‍ වේදයන්ගෙන් ‍ඔහුටම පහර එල්ල වීමත්, ජනතාව ඔහුගේ සත්‍ය ස්වභාවය දැකීමත් මට මහත් සතුටට හේතුවකි” යනුවෙන් කැලඹීම් මර්ධනයට හමුදාව යැවීමට සිදු වූ විට තුන් වැනි ජෝර්ජ් රජු පැවසීය.

හැක්නේ (1791 – 1794)

... Lo! Priestley there, patriot, and saint, and sage, Him, full of years, from his loved native land Statesmen blood-stained and priests idolatrous By dark lies maddening the blind multitude Drove with vain hate ....[127]

සැමුවෙල් ටේලර් විසින් "Religious Musings" (1796) පත්‍රයට ලියූ ජේදයක් මෙහි දැක්වේ.......


මෙහි දළ අදහස පහත පරිදිය.

“.......අහෝ ! ප්‍රිස්ට්ලි ‍දේශමාමක ඥානවන්ත ශාන්තුවරයා සිය ආදරණීය මව් රටේ ආදරණීයත්වය ලැබූ ලේ තවරාගත් දේශපාලනිකයන් හා ප්‍රතිමාවන්දන පූජකයින් දෙසූ මුසාවෙන් ප්‍රකෝප වූ ජනයා අහංකාර ද්වේෂයෙන් ඉදිරියට”.....

නැවත බර්මින්හැම්හි වාසයට යාම නොකළ හැකි වූ බැවින් හැක්කේ ප්‍රදේශයට යාබද ක්ලිප්ටන් ප්‍රදේශයේ වාසය කිරීමට ප්‍රිස්ට්ලි තීරණය කළ අතර හැක්නේහි වූ “New College” සාම්ප්‍රදායික නොවන ආගමික විද්‍යාපීඨයේ ස්වභාවික දර්ශනවාදය සහ ඉතිහාසය පිළිබඳ දේශන මාලාවක් පවත්වන ලදී. ප්‍රිසට්ලි යුවලට නැවත ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මිතුරන් උදව් උපකාර කළ අතර, ඔවුන් මුදල් පොත්පත් සහ පරීක්ෂණාගාර උපකරණ පවා පරිත්‍යාග කළහ. සිය බර්මින්ග්හැම්හි නිවස විනාශ වීම නිසා වන්දි ලබා ගැනීමට ප්‍රිස්ට්ලි උත්සාහ කළ නමුදු ඔහුට එහි මුළු වටිනාකමට සරිලන මුදලක් ලබාගත නොහැකි විය. 1791 වසරේ දී ප්‍රිස්ට්ලි බ්‍රිතාන්‍ය රජයේ මූලධර්ම උල්ලංඝනය කරමින් කලහකාරී ක්‍රියාවන්ට ඉඩ දුන් බවට බර්මින්හැම්හි ජනතාව චෝදනා කරමින් An Appeal to the Public on the Subject of the Riots in Birmingham (1791) නම් ග්‍රන්ථය පල කළේය.

Gravel Pit Meeting (ග්‍රැවල් පිට් මීටින්ග්) පල්ලියේ දේශකයෙකු ලෙස පත්වීමක් ලැබුණු නමුත් බ්‍රිතාන්‍ය හැරදා ප්‍රංශයේ හෝ නව එක්සත් ජනපදයේ වාසයට යන ලෙස ප්‍රිස්ට්ලිගේ මිතුරන් ප්‍රිස්ට්ලි යුවලට බල කරන ලදී. ප්‍රිස්ට්ලි ග්‍රැවල් පිට්හි පවත්වන ලද දේශනා ප්‍රිස්ට්ලි තුළ වූ සහස්‍රකවාදයී අදහස සහ ‍ලෝකාන්තය ඉක්මණින්ම ළඟාවන බවට තිබූ විශ්වාසය පිළිඹිබු කරන ඒවා වූ අතර විශේෂයෙන්ම උපාසයන්ගෙන් අනතුරුව පැවැත්වූ දේශනා යුගලයේ මෙම මතයන් පැහැදිලිව අන්තර්ගත විය. බයිබලයේ අනාවැකි මෑත කාලීන ඉතිහාස‍ය හා සැසඳීමෙන් අනතුරුව ප්‍රංශ විප්ලවය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනිවර පැමිණීමේ පෙර නිමිත්තක් ලෙස ප්‍රිස්ට්ලි තීරණය කළේය. ප්‍රිස්ට්ලිගේ සහස්‍රකවාදය පිළිබඳ වූ විශ්වාස ඔහුගේ බොහෝ ප්‍රකාශන තුළ යම් තරමකට හෝ විද්‍යාමාන වූ අතර ප්‍රංශ විප්ලවයෙන් පසුව එම මතවාදවල ප්‍රබලත්වය තවදුරටත් වැඩි විය. වරක් ඔහු තමාට වඩා වයසින් අඩු වූ මිතුරෙකුට ලිපියක් ලියමින් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම වසර විස්සක පමණ කාලයක් තුළ සිදුවනු ඇති බවත්, තමාට එය දැකීමට නොහැකි මුත් සිය මිතුරා එය දකිනු ඇති බවත් පැවසීය.

ප්‍රිස්ට්ලිගේ ජීවන තත්වය දිනෙන් දිනම වඩාත් අයහපත් තත්වයට පත් විය. ප්‍රිස්ට්ලිගේ හා තෝමස් පේන්ගේ අනුරූපවලට ගිනි තබන ලද අතර දේශපාලනික කාටූන් ශිල්පීන් දිගින් දිගටම ප්‍රිස්ට්ලි අවඥාවට ලක් කළහ. ප්‍රිස්ට්ලිට බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශවලින් ලැබුණු ලිපි මගින් ඔහුට “ගයි ෆෝක්ස්”ට සහ යක්ෂයාට උපමා කරන ලදී. ප්‍රිස්ට්ලි පවුල හා ව්‍යාපාර කටයුතු කිරීමට ව්‍යාපාරිකයන් මැලි වූ අතර ප්‍රිස්ට්ලිගේ රාජකීය සංගමයේ මිතුරන් ක්‍රමයෙන් ඔහුගෙන් දුරස් වීමට විය. රජයට එරෙහිව අදහස් පල කළ අයට එරෙහි දඬුවම් ක්‍රමයෙන් දැඩිවෙමින් පැවති හෙයින් 1972 වසරේ දී එකිනෙකට වෙනස් දෙපාර්තමෙන්තු 3ක් තමා ප්‍රංශයේ ජාතික සම්මේලනයට තෝරාගැනීම ද නොසලකමින් ප්‍රිස්ට්ලි සිය පවුල සමග එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ප්‍රිස්ට්ලි රට හැරදා ගොස් සති පහක් ගතවීමත් සමගම රජය මගින් කැරලි ඇති කරවන ආකාරයේ අපහාසාත්මකව හැසිරීමේ චෝදනාව යටතේ නව මතධාරීන් අත් අඩංගුවට ගැනීම ඇරඹූ අතර ඔවුන්ට එරෙහිව 1974 සිදු කළ තිබූ විභාගය ජාතිද්‍රෝහී විභාගය ලෙස ප්‍රසිද්ධව ඇත.


පෙන්සිල්වේනියාව (1974 – 1804)[සංස්කරණය]

රෙම්බ්‍රන්ට් පීල් විසින් අඳින ලද ප්‍රිස්ට්ලිගේ අලේඛ්‍ය චිත්‍රයක්

ඇමරිකානුවන්ට ප්‍රිස්ට්ලි විද්‍යාඥයෙකුට වඩා නිදහස, ජනපදයන් සහ සාම්ප්‍රදායික නොවන ආගමික මතවාදීන් වෙනුවෙන් නැඟී සිටි පුද්ගලයෙකු විය.

1794 දී ප්‍රිස්ට්ලි නිව්යෝක් නගරයට පැමිණි විට ප්‍රිස්ට්ලිගේ අනුමැතිය ලබා ගැනීමට ඉටාගත් විවිධ දේශපාලනික කල්ලි විසින් ඔහුට ප්‍රසිද්ධ පිළිගැනීමක් ලබා දෙන ලදී. නමුත් සිය නව දේශයේ දී හෝ දේශපාලනික විසංවාදයන්ට මැදිවීම වළක්වා ගැනීමට ඉටාගත් ප්‍රිස්ට්ලි මෙම පිළිගැනීම් ප්‍රතික්ෂේප කරන ලදී. ප්‍රිස්ට්ලි සිය නව නිවස පිහිටි පෙන්සිල්වේනියාවේ නොර්දම්බර්ලන්ඩ් ප්‍ර‍දේශයට ගමන් කරන අතරතුර ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේ මදක් නතර වූ අතර එහිදී ඔහු පවත්වන ලද දේශන මාලාවේ ප්‍රතිඵලයක් ලෙස ෆිලඩෙල්ෆියාහි පළමු අද්වෛතවාදී පල්ලිය නිර්මාණය විය. පෙන්සිල්වේනියා සරසවියේ රසායන විද්‍යාව ඉගැන්වීමට ලද අවස්ථාව ප්‍රිස්ට්ලි ප්‍රතික්ෂේප කළ අතර අනතුරුව ප්‍රිස්ට්ලි යුවල දර්ශනීය පිටිසර ප්‍රදේශයක නව නිවසක් තැනීම ආරම්භ කරන ලදී.

දේශපාලනික මතවාද හා සම්බන්ධ නොවී සිටීමට ප්‍රිස්ට්ලි දැරූ උත්සාහය ව්‍යර්ථ විය. 1795 වසරේදී විලියම් කොබෙට් විසින් සිය “Observations on the Emigration of Dr. Joseph Priestley” (දොස්තර ප්‍රිස්ට්ලිගේ සංක්‍රමණය පිළිබඳ නිරීක්ෂණ) ග්‍රන්ථය ඔස්සේ ප්‍රිස්ට්ලිගේ විද්‍යාත්මක ප්‍රතිරූපයට හානි කිරීමට උත්සාහ කළ අතර බ්‍රිතාන්‍යයට ද්‍රෝහියෙකු වී යැයි ඔහුට චෝදනා කරන ලදී. මේ අතරතුර ප්‍රිස්ට්ලිගේ ප්‍රතිරූපයට තවදුරටත් හානි කරමින් විප්ලවීය ප්‍රංශයේ විසූ නව්‍යය දේශපාලනික මතවාද ඇතුළත් ග්‍රන්ථ හා පත්‍රිකා මුද්‍රණය කළ ජෝන් ‍හර්ෆෝඩ් ස්ටෝන් නම් මුද්‍රණකරුවා සහ හෙලන් මාරියා විලියම්ස් නම් නව මතධාරී නවකතා කතුවරියට ප්‍රිස්ට්ලි විසින් ලියන ලද ලිපි පෙළක් කොබෙට් අතට පත් වූ අතර ඒවා කොබෙට් විසින් ඔහුගේ පුවත්පතෙහි පළ කරන ලදී. ඔහුගේ නිගමනය වූයේ ප්‍රිස්ට්ලි සහ ඔහුගේ මිතුරන් බ්‍රිතාන්‍ය තුළ ද විප්ලවයකට අර අදිමින් සිටි බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රිස්ට්ලිට මුද්‍රිත ප්‍රකාශන ඔස්සේ තම ක්‍රියාවලීන් සාධාරණීකරණය කිරීමට සිදුවීය.

ප්‍රිස්ට්ලිගේ ඇමරිකානු ජීවිතය බාධකවලින් පිරුණු එකක් විය. 1795 වර්ෂයේ දී ප්‍රිස්ට්ලිගේ හෙන්රි නම් පුතු මියගිය අතර ඊට හේතුව මැලේරියාව බව විශ්වාස කෙරේ. පුතුගේ මරණින් පසු ප්‍රිස්ට්ලිගේ බිරිඳ අසනීප වූ අතර නැවත සුවය නොලබාම 1796 දී මෙලොව හැර ගියාය. බිරිඳගේ මරණින් අනතුරුව සිය මිතුරෙකුට ලිපියක් ලියමින් ප්‍රිස්ට්ලි‍ මෙසේ කීය. “‍මගේ බිරිඳ මා අසල වාඩි වී සිටිය ද කියවමින් හා ලියමින් හා බොහෝ විට ඇයට ද ඇසෙන සේ හඬ නඟා කියවමින් නිවසටම වී කල්ගත කළ මට නිරන්තරයෙන්ම ඇගේ අඩුව දැනේ. මා මානසිකව රෝගී වූ සේය. පෙරමෙන් කය හෝ මනස වෙහෙසා ක්‍රියා කිරීමට මට නොහැක. 1800 වසරේ දී පෙන්සිල්වේනියාවේ ප්‍රාදේශිය පුවත්පතක් ප්‍රංශ මතවාදවලින් මත් වූ විලියම් ප්‍රිස්ට්ලි සිය මුළු පරපුරම එම තත්වයට ඇද දැමීමට වෙහෙසෙන බවට චෝදනා කළේය. ප්‍රිස්ට්ලි හා ඔහුගේ පුතු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ලදී.

සිය ගම්බද පෙන්සිල්වේනියානු නිවස කේන්ද්‍ර කරගත් බ්‍රිතාන්‍ය මිතුරන් හා අනුගාමිකයන්ගෙන් සෑදුණු රාම රාජ්‍යයීය ජනපදයක් ගොඩනැගීමට ප්‍රිස්ට්ලි බලාපොරොත්තු වූ නමුදු ඔහුගේ මිතුරන් හා අනුගාමිකයින්ට පෙන්සිල්වේනියාවට සංක්‍රමණය සඳහා අවශ්‍ය වත්කම නොවීය.

ප්‍රිස්ට්ලි සුපුරුදු පරිද්දෙන්ම සිය අධ්‍යාපනික ව්‍යාපෘති ඉදිරියට ගෙන ගිය අතර නොර්දම්බර්ලන්ඩ් විද්‍යායතනය ගොඩනැගීමට උපකාර කළේය. පසු කාලීනව ආරම්භක දුර්වල අවධියේ වූ මෙම ආයතනයට ප්‍රිස්ට්ලි විසින් සිය පුස්තකාලය මුළුමනින්ම පරිතාග්‍ය කරන ලදී. පසු කලෙක තෝමස් ජෙෆර්සන් වර්ජිනියා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේ දී විශ්ව විද්‍යාලයක් සඳහා සුදුසු ව්‍යුහය පිළිබඳ ඔහු හා ප්‍රිස්ට්ලි අතර හුවමාරු වූ ලිපි මගින් කරුණු උපු‍ටාගන්නා ලදී. ප්‍රිස්ට්ලි අතර හුවමාරු වූ ලිපි මගින් කරුණු උපුටාගන්නා ලදී. ප්‍රිස්ට්ලි හා ජෙෆර්සන් සමීප මිතුරන් බවට පත් වූ අතර පසු කලෙක සිය “General History of the Christian Church” (ක්‍රිස්තියානි පල්ලියේ ඉතිහාසය) නම් ග්‍රන්ථය එකල ජනාධිපති ධූරයට පත්ව සිටී, ජෙෆර්සන්ට පුදමින් “ජීවිතයේ පළමුවරට සත්‍ය වශයෙන්ම මට හිතවත් රජයක් ය‍ටතේ දිවි ගෙවන මට දැන් ප්‍රථම වරට බලයේ හස්ථයට බිය වීමට ‍හේතුවවක් නැත්තේය” යනුවෙන් ලිවීය.

සිය විද්‍යාත්මක පරීක්ෂණ ඇමරිකානු දර්ශන විද්‍යා සංගමයේ සහාය ඇතිව දිගටම කරගෙන යාමට ප්‍රිස්ට්ලි උත්සාහ කළ ද යුරෝපයෙන් විද්‍යාත්මක සොයාගැනීම් ගැන ලද තොරතුරු අල්ප වීමෙන් ඔහුට බාධා එල්ල විය. මේ හේතුවෙන් ප්‍රිස්ට්ලි තවදුරටත් නව සොයා ගැනීම්වලින් පෙරමුණ ගැනීමට අසමත් විය. මෙකල ප්‍රිස්ට්ලිගේ ප්‍රකාශන බොහොමයක් ෆ්ලොජිස්ටන් වාදය තහවුරු කිරීමට උත්සාහ කළ ඒවා විය. නමුත් සිතිවිලි පහල වීම සහ සිහින පිළිබඳව ද වැදගත් ප්‍රකාශන කිහිපයක් පළ කිරීමට ප්‍රිස්ට්ලි සමත් විය. ප්‍රිස්ට්ලිගේ ක්‍රියාකාරිත්වය පෙරට වඩා අඩු වූ එකක් නමුදු රසායන විද්‍යාව පිළිබඳ ඇමරිකානුවන්ගේ සිතිවිලි උත්තේජනය කිරීමට ප්‍රිස්ට්ලිට හැකි විය.

1801 වන විට ලිවීමට හෝ පරික්ෂණ කිරීමට නොහැකි තරම් ප්‍රිස්ට්ලි රෝගාතුර වී සිටි අතර 1804 , පෙබරවාරි 6 වැනි දින ඔහු මරණයට පත් විය.

ප්‍රිස්ට්ලිගේ සොහොන් කොතෙහි පහත සටහන වේ.

Return unto thy rest, O my soul, for the Lord hath dealt bountifully with thee. I will lay me down in peace and sleep till I awake in the morning of the resurrection.

මෙහි දළ අදහස මෙසේය.

දෙවියන් නුඹට ත්‍යාගවන්තව සලකා ඇත. එබැවින් මා ආත්මය - දැන් ලැබගන්න විවේක සුවය. මලවුන්ට යළි ප්‍රාණය දෙන උදෑසන නැගී සිටින තෙක් මා දැන් සාමදානයේ සැතපෙමි.


ප්‍රිස්ට්ලිගේ කීර්ති නාමය[සංස්කරණය]

ගොනුව:PriestleyMedal.jpg
ප්‍රිස්ට්ලි රසායන විද්‍යාවට දැක් වූ දායකත්වය අනුස්මරණය කරනු වස් ඇමරිකානු රසායනවේ දී සංගමය (American Chemical Society) උසස්ම පදක්කම ප්‍රිස්ට්ලි පදක්කම ලෙස 1922 දී නම් කරන ලදී.

1804 මරණයට පත් වන විට ප්‍රිස්ට්ලි ලොව සියළු ප්‍රධාන විද්‍යාත්මක සංගම්වල සාමාජිකත්වයෙන් පිදුම් ලබා තිබූ අතර විවිධ ද්‍රව්‍යයන් හා සංයෝග සොයාගෙන තිබුණි. 19 වැනි සියවසේ විසූ ප්‍රංශ ජාතික ස්වභාව විද්‍යාඥ ජෝර්ජ් කුවියර් සිය ප්‍රිස්ට්ලි පිළිබඳ ප්‍රශංසාවේ දී ප්‍රිස්ට්ලි සිදු කළ සොයා ගැනීම් වර්ණනා කරන අතරම ෆ්ලොජිස්ටන්වාදය අතහැර දැමීමට වූ ප්‍රිස්ට්ලිගේ නොකැමැත්ත ගැන ශෝකය පල කරයි. ඔහු ප්‍රිස්ට්ලි හඳුන්වා දෙනු ලබන්නේ කිසිදා සිය දියණිය පිළි නොගත් නූතන රසායන විද්‍යාවේ පියා ව‍ශයෙනි. ස්වාභාවික දර්ශනය ආගමික කටයුතු, අධ්‍යාපනය සහ දේශපාලනය ආදී විවිධ ක්ෂේත්‍ර අලලා ග්‍රන්ථ හා ප්‍රකාශන 150කට වැඩි ප්‍රමාණයක් පළ කිරීමට ප්‍රිස්ට්ලි සමත් විය. 1790 ආසන්න කාලයේ දී ප්‍රිස්ට්ලි බ්‍රිතාන්‍ය දේශපාලනය පිළිබඳ නවමු අදහස් දරන්නට මග පෙන්වන්නෙක් සහ දිරි ගන්වන්නෙක් සේ ක්‍රියා කළ අතර අවශ්‍යතාවාදී චින්තනයට මග පාදමින් අද්වෛතවාදී ආගමික ප්‍රවාහය ඇරඹීමට ආධාර විය. ඩේවිඩ් ගැට්ලිගේ Observations on Man ග්‍රන්ථයේ ප්‍රිස්ට්ලිගේ සංස්කරණය කියවූ දාර්ශනිකයින් , කවියන් සහ විද්‍යාඥයින් ආදී විවිධ ක්ෂේත්‍රවලට අයත් බොහෝ දෙනා ඉගෙනීමේ දී සිදු වන්නේ විවිධ කුඩා සරල අදහස් මනස තුල කැටි කිරීමෙන්ය යන මතය පිළිගැනීමට හේතු විය. මේ අතරට එරමස් ඩාවින් , කෝල්රිජ්, විලියම් වර්ඩ්ස්ටර්න්, ජෝන් ස්ටුවර්ට් මිල්, ඇලෙක්සැන්ඩර් බේන් සහ හර්බට් ස්පෙන්සර් ආදීහු අයත් වෙති. ඉම්මානුවල් කෙන්ට් 1781 පල කළ Critique of Pure Reason නම් ග්‍රන්ථය ඔස්සේ ආගම කෙරෙහි වූ ගරුත්වය සහ ඊට විරුද්ධභාසික ඉගැන්වීම් සම්මිශ්‍රණය කිරීමේ ප්‍රිස්ට්ලි සතු හැකියාව අගයා තිබේ. සත්‍ය වශයෙන්ම ප්‍රිස්ට්ලිගේ අභිප්‍රාය වූයේ විද්‍යාත්මක ක්‍රමයේ මූලික නීති රීතිවලට යටත්ව අවබෝධාත්මක අදහස් හේතුවාදී නමුත් ශාසනික නොවන ක්‍රිස්තියානි ආගමක් නිර්මාණය කිරීමයි.

ප්‍රිස්ට්ලි සිදුකළ බලපෑම හා සසඳන කළ ඔහු සම්බන්ධව කර ඇති ක්‍රමවත් අධ්‍යයනයන් බව හැඟේ. 20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ දී ප්‍රිස්ට්ලි හඳුන්වන ලද්දේ දේශපාලනික හා ආගමික ප්‍රතිසංස්කාරකයෙකු සේ ද ක්‍රියා කළ පරීක්ෂාකාරී එහෙත් සිය අදහස්වල තදින් එල්බ සිටි විද්‍යාඥයකු ලෙසිනි. විද්‍යාව හා සම්බන්ධ ඉතිහාසය අධ්‍යයනය කරන ඉතිහාසඥ සයිමන් ෂේෆර් සිය ඉතිහාසය පරික්සන රචනාවෙහි දී ප්‍රිස්ට්ලිගේ චරිත නිරූපණයන් යුගලක් හඳුන්වා ‍දේ. ඉන් පළමු වැන්න අහම්බෙන් සොය‍ාගැනීම් සිදු කළ උද්‍යෝගිමත් අහිංසක චරිතයයි.

දැවැන්ත අහිංසක උද්‍යෝගිමත් සහ පුදුම සහගත ලෙස තම සොයා ගැනීම්වලම ප්‍රතිඵල නියමාකාරයෙන් තේරුම් නොගත් චරිතයයි. ප්‍රිස්ට්ලිගේ කාර්ය භාරය අධ්‍යයනය ඔහුගේ කාර්ය භාරයේ විවිධත්වය නිසාම ඉතා අපහසු කරුණක් වී තිබේ. මේ හේතුවෙන් අධ්‍යයනයේ පහසුව පිණිස ප්‍රිස්ට්ලිගේ අධ්‍යාත්ම විද්‍යාව සහ ආගමික මතවාද ඇතුළත් ග්‍රන්ථ සහ ප්‍රකාශන ඔහුගේ විද්‍යාත්මක සොයා ගැනීම්වලින් වෙන්කර සලකනු ලැබේ. එහෙත් මෑත කාලීනව ජෝන් මැක්ඊවෝයි සහ රොබර්ට් ස්කොෆීල්ඩ් වැනි උගතුන් මෙම බෙදීමට අභියෝග කරන ප්‍රකාශන පල කර ඇත. මුල් කාලීනව ප්‍රිස්ට්ලි පිළිබඳ අධ්‍යයනය කළ අයගේ මතය වූයේ ප්‍රිස්ට්ලිගේ ආධ්‍යාත්ම විද්‍යාත්මක සහ ආගමික කටයුතු ඔහුගේ විද්‍යාත්මක කටයුතුවලට බාධාවක් වූ බවයි. නමුත් 1960,70 හා 80 දශකවල සිදු කළ අධ්‍යයනයන් මගින් ප්‍රිස්ට්ලිගේ අරමුණ වූයේ මෙම ක්ෂේත්‍ර එක් කරන තනි වාදයක් ගොඩ නැගීම බවට මතයක් ගෙන එන ලදී. නමුත් ෂේෆර් පැහැදිලි කරන ආකාරයට ප්‍රිස්ට්ලි හා ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ පිළිගත හැකි අධ්‍යයනයක් සිදු වී නොමැත. වඩාත් මෑත කාලීනව (2001 දී) ඩෑන් එෂට් නම් විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරන ඉතිහාසඥයා සාරාත්මවාදී මතයක් ගොඩ නැගීමට ගත් උත්සාහය නිසා සිදුව ඇත්තේ ප්‍රිස්ට්ලිගේ අදහස් අතර වූ ගැටුම්කාරී ස්වභාවය සාධාරණීකරණය වීම පමණක් බවයි. ප්‍රිස්ට්ලිගේ සොයාගැනීම් දාර්ශනික කාණ්ඩවලට බෙදා වෙන් කිරීම මගින් විද්‍යාත්මක මතවාද නිර්මාණ සමග ඇති වන සාමාජීය ගැටුම වළකාගෙන ඇති බව ඔහු‍ගේ අදහසයි.

ප්‍රිස්ට්ලිගේ චින්තනය මගින් පෝෂණය ලද විද්‍යාත්මක සමාජ සහ ප්‍රිස්ට්ලි අධ්‍යාපනඥයෙකු හා දේව ගැතිවරයකු ලෙස ප්‍රතිසංස්කරණවාදී වැඩ පිළිවෙලක් ගෙන ගිය නගරවල නගරවාසීන් ද ප්‍රිස්ට්ලි අනුස්මරණය කිරීමට කටයුතු කර තිබේ. වොරින්ග්ටන්හි ඇති ප්‍රිස්ට්ලි විද්‍යාලය සහ ලීඩ්ස්හි ඇති ජෝසප් ප්‍රිස්ට්ලි විද්‍යාලය ප්‍රිස්ට්ලි සිහිවීම සඳහා නම් කරන ලද පාසැල් වේ. ලීඩ්ස් නාගරික චතුරස්‍රය, බ්‍රිස්ටල් හා බර්මින්හැම්හි ප්‍රිස්ට්ලිගේ පිළිරූ ඉදි කර ඇත. තවද 1952 වසරේ සිට ඩිකිත්සන් විද්‍යාලය විසින් මානව සුබසාධනයට දායකත්වය දක්වන සොයාගැනීමක් වෙනුවෙන් ප්‍රිස්ට්ලි ත්‍යාගය ප්‍රදානය කරනු ලැබේ.

  1. "List of Fellows of the Royal Society 1660 – 2007, K – Z". royalsociety.org. The Royal Society. 12 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 August 2019.
  2. "Copley archive winners 1799–1731". royalsociety.org. The Royal Society. 11 January 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 August 2019.
  3. Schofield (1997), 2.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසප්_ප්‍රිස්ට්ලි&oldid=564933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි