කොළඹ ක්‍රමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කොළඹ ක‍්‍රමය
Colombo Plan
ආසියා පැසිපික් රටවල
ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන ක‍්‍රමය
for Cooperative Economic and Social
 Development in Asia and the Pacific
the Colombo Plan හී ධජය
වත්මන් සමාජිකයන් නිල් පැහැයෙනුත්, හිටපු සාමාජිකයන් කහ පැහැයෙනුත් දක්වා තිබේ.
වත්මන් සමාජිකයන් නිල් පැහැයෙනුත්, හිටපු සාමාජිකයන් කහ පැහැයෙනුත් දක්වා තිබේ.
මූලස්ථානය ශ්‍රී ලංකාව කොළඹ, ශ්‍රී ලංකාව
නිල භාෂාවන් ඉංග්‍රීසි
Type ආර්ථික සංසදය
සාමාජික රාජ්‍යයන්
නායකයෝ
 -  මහ ලේකම් මාලදිවයින Adam Maniku
පිහිටුවීම
 -  ස්ථාපනය කිරීමa 1950 නොවැම්බර් 28 
 -  ආරම්භ කිරීම 1951 ජුලි 1 
වෙබ් අඩවිය
http://www.colombo-plan.org/
a. As the "Colombo Plan for Co-operative Economic Development in South and South-East Asia".

කොළඹ ක‍්‍රමය (Colombo Plan) යනු ආසියා පැසිපික් කලාපීය සාමාජික රටවල ආර්ථික සහ සාමාජයීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ සංකල්පය කැටිකොටගත්, අන්තර් ආණ්ඩුමය සංයුතියක් සහිත කලාපීය සංවිධානයකි. කොළඹ ක්‍රමය මගින් සිදුකරන සෑම ක්‍රියාකාරකමකම ප්‍රධාන ඉලක්කය වන්නේ මානව සම්පත් මත සිදුකරන සංවර්ධනයයි.

ඉතිහාසය[සංස්කරණය]

1949 වර්ෂයේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල මුදල් අමාත්‍යවරුන්ගේ මහ සමුළුව පැවැත්වුණු අතර, එහිදී ආසියා පැසිපික් කලාපීය රටවල සංවර්ධනය සඳහා වූ යෝජනා ක්‍රමයක් කෙරෙහි එහි සාමාජික රටවල අවධානය යොමු කෙරිණි. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දුප්පත් රටවල් සංවර්ධනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් ගොඩනැංවිය යුතු බවට මෙහිදී අදහස් පළවිණි.

ඉන්පසුව එළැඹි 1950 වසරේ ජනවාරියේදී, පොදු රාජ්‍ය මණ්‌ඩලයීය විදේශ ඇමැති මහසමුළුව ශ්‍රී ලංකාවේ, කොළඹදී පැවැත්විණි. සමුළුවේ මුලසුන එවක ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වූ ඩී. එස්. සේනානායක මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, එහිදී මෙරට මුදල් අමාත්‍යවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් කොළඹ ක්‍රමයේ මුල් අඩිතාලම් යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලදී. සමස්ථ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයද දායක වූ බව පැවසෙන අතර, ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කල එම යෝජනාව ඕස්ට්‍රේලියාව විසින් ස්ථීර කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන සහ නොවන නොදියුණු ආසියාතික රටවල ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම, එම රටවල කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රයන් වර්ධනය කිරීම, ඊට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා නිළදාරීන් පත් කිරීම, සැළසුම් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අරමුදල්, තාක්ෂණය, යන්ත්‍රසූත්‍ර සහ නිෂ්පාදන වෙනුවෙන් දායකත්වය සැපයීම යන ප්‍රධාන කරුණු අන්තර්ගත වූ මෙම අවසන් යෝජනාව, 1950 ජනවාරි මස 12 දින සමුළුවේදී ඒකමතික ඡන්දයෙන් සම්මත විණි.

එම වසරේම මැයි මස 10 වන දින ඕස්ට්‍රේලියාවේදී මෙම යෝජනාවට සම්බන්ධ විශේෂ සැසියක් පැවැත්වුණු අතර, එහිදීද ශ්‍රී ලංකාවේදී සම්මත කර ගත් යෝජනා ක්‍රියාත්මක කරවීම සම්බන්ධව කරුණු තහවුරු කර ගැණිනි. පසුව 1950 සැප්තැම්බර් මස එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති මුදල් අමාත්‍යවරුන්ගේ සැසියේදී, කොළඹ ක්‍රමය (COLOMBO PLAN) නමින් නව ආධාර යෝජනා ක්‍රමය බිහිකෙරිණි.

ආරම්භයේදී සංවිධානයට ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බි‍්‍රතාන්‍ය සහ කැනඩාව යන රටවල් අයත් වූ අතර, 1965 වසරේදී මෙම යෝජනා ක්‍රමය සඳහා දායකත්වය ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය ද එකඟත්වය පළකරන ලදී. 1965 වසර වන විට දකුණු හා අග්නිදිග ආසියාතික රාජ්‍යයන් කිහිපයක්ද මෙම සංවිධානයට එක්විණි.

1977 වසර වන විට මෙම යෝජනා ක්‍රමය, ආසියා පැසිපික් රටවල ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන ක‍්‍රමය ලෙසද හැඳින්වීමට පටන් ගති.

අභිප්‍රාය[සංස්කරණය]

කොළඹ ක්‍රමය යනු දේශීය සැලසුම්, සංකලිත ප්‍රධාන සැලසුමට අනූකූලත්වයක් දැක්වීමම අරමුණු කොට නොගත් සංවිධානයකි. ඒ වෙනුවට එය, කලාපීය ආර්ථික සහ සමාජයීය සංවර්ධනය සඳහා විදෙස් ආධාර හා තාක්ෂණික සහාය ලබාදෙන ද්විපාර්ශ්වික රාමුවක් සහිතව කටයුතු සම්පාදනය සිදුකරන සංවිධානයකි.

අරමුණු[සංස්කරණය]

  • ආසියා පැසිපික් කලාපයේ ආර්ථික සහ සාමාජයීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීම දිරිගැන්වීම;
  • සාමාජික රටවල් අතර තාක්ෂණය බෙදාහදාගැනීම සහ හුවමාරුවට සහාය ලබා දීම හා තාක්ෂණික සහයෝගීතාවය දිරිගැන්වීම;
  • සාමාජික රටවල් අතර, බහුපාර්ශ්විකමය ලෙස සහ වෙනත් ඒජන්සි හරහා සිදුවන, තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ අදාල තොරතුරු සම්බන්ධව උප සමාලෝචනයක් පවත්වා ගෙන යාම;
  • දකුණ-දකුණ සහයෝගීතාවය (South-South cooperation) සංකල්පය අවධාරණය කරමින්, කලාපය තුල සාමාජික රටවල් අතර එකිනෙකාගේ සංවර්ධන අත්දැකීම් බෙදාහදාගැනීමට සහ හුවමාරුව සඳහා පහසුකම් සැලසීම.

සංවිධාන ව්‍යුහය[සංස්කරණය]

කොළඹ ක්‍රමයෙහි ප්‍රධානතම අවයවයන් වන්නේ - උපදේශක කමිටුව, කොළඹ ක්‍රමය මණ්ඩලය (කවුන්සිලය) සහ මහ ලේකම් කාර්යාලයයි. මහ ලේකම් කාර්යාලයේ සහ කවුන්සිලයේ පරිපාලනමය වියදම්, සාමාජික රාජ්‍යයන් විසින් සමව උසුලනු ලබයි.

  • උපදේශක කමිටුව (CCM) = කොළඹ ක්‍රමයෙහි, ඉහලම සමාලෝචනයන් හා ප්‍රතිපත්තීන් නිර්මාණය කරන ප්‍රධානම අවයවය වන්නේ මෙයයි. මීට සියළුම සාමාජික රටවල් අයත්ය.
  • කොළඹ ක්‍රමය මණ්ඩලය = මීට ශ්‍රී ලංකාවේ කොළඹ වසන සියළුම සාමාජික රාජ්‍යයන් හී නියෝජිතයින් අඩංගු වෙයි. කවුන්සිලයේ සභාපතිවරයා තෝරා ගැනෙන්නේ සාමාජික රාජ්‍යයන්ගේ නම් වල අකුරු අනුපිළිවෙලට වාර්ෂිකව සහ ආවර්ථීයවයි.
  • කොළඹ ක්‍රමය මහ ලේකම් කාර්යාලය = 1951 වසරේ සිට කොළඹ ක්‍රමයේ උපදේශක කමිටුවෙහි සහ කවුන්සිලයෙහි, ලේකම් කාර්යාලය ලෙස ක්‍රියාකරන්නේ මෙයයි. ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි මෙම කාර්යාලයෙහි ප්‍රධානීත්වය දරන්නේ කොළඹ ක්‍රමය මහ ලේකම්වරයායි. සාමාජික රටවල් සහ සහයෝගීතා ඒජන්සි සමග එක්ව කොළඹ ක්‍රමය තුල සම්පාදනය කරන වැඩසටහන්හී ක්‍රියාවට නැංවීම් සහ පරිපාලන කටයුතු සම්බන්ධව වගකීම් දරනු ලබන්නේ, මේ මහ ලේකම් කාර්යාලයයි.

අරමුදල ගොඩනැගීම[සංස්කරණය]

කොළඹ ක්‍රමය තුල දැකගතහැකි විශේෂ ලක්ෂණයක් වන්නේ කවුන්සිලයේ සහ මහ ලේකම් කාර්යාලයේ පරිපාලනමය වියදම් සියළුම සාමාජික රටවල් විසින් සමව දැරීමයි. කෙසේ නමුත්, කොළඹ ක්‍රමය යටතේ සිදුකරන පුහුණු වැඩසටහන් සඳහා සම්ප්‍රදායක් ලෙස ස්වේච්ඡාවෙන් ලැබෙන ආධාරත්, සංවිධානය තුල නැගී එන නව රටවල් විසින් ලබාදෙන ආධාර යටතේත් සිදුකෙරේ. මීට අමතරව පුහුණු වැඩසටහන් සඳහා, කොළඹ ක්‍රමයට අයත් නොවන රාජ්‍යයන් සහ අන්තර්ජාතික සංවිධානද සිය දායකත්වය ලබා දෙයි.

වැඩසටහන්[සංස්කරණය]

කොළඹ ක්‍රමය සතුව ක්‍රියාත්මක කරන නිත්‍ය වැඩසටහන් 4 ක් පවතී:

  • මහජන පරිපාලනය සහ පරිසරය පිළිබඳ වැඩසටහන (PPA & ENV)
  • පුද්ගලික අංශය සංවර්ධන වැඩසටහන (PPSD)
  • ඔසු උපදේශන වැඩසටහන (DAP)
  • දිගු කාලීන ශිෂ්‍යත්ව වැඩසටහන (LTSP)

මහ ලේකම්වරු[සංස්කරණය]

1995 වසරේදී කොළඹ ක්‍රමය යම් පරිවර්ථනයකට සහ අළුත් කිරීමකට බදුන් වූ අතර, එහිදී එතෙක් අධ්‍යක්ෂකවරයෙකු සහිත වූ කොළඹ ක්‍රමය කාර්යාංශය, මහ ලේකම්වරයෙකු සහිත කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලයක් බවට පත්විය.

  • දකුණු කොරියාව Dr. Kim Hak-su = 1995 ජනවාරි - 1999 මාර්තු
  • ඉන්දියාව Dr. Sarat Chandran = 1999 අප්‍රියෙල් - 2003 ජුනි
  • තායිලන්තය Mr. Kittipan Kanjanapitkul = 2003 ජුනි - 2007 අගෝස්තු
  • මලයාසියාව Dato’ Patricia Yoon-Moi Chia = 2007 අගෝස්තු - 2011 අගෝස්තු (මෙම තනතුර හෙබවූ පළමු ආසියානු කාන්තාව)
  • මාල දිවයින් Mr. Adam Maniku = 2011 අගෝස්තු 15 - වත්මන තෙක්

මුල්යුගයේ විවෙචනයන්[සංස්කරණය]

කොළඹ ක්‍රමය සඳහා මුල් වකවානුවන් හීදී විවිධ තරාතිරම්/මට්ටම් වලින් විවේචන එල්ල විය. සමහරක් ආසියානුවන් එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙහි හස්තයක් ලෙස දුටූහ. විශේෂයෙන්ම ස්වකීය උවමනාවන් පිරිමසාගත හැකි සංවර්ධනය වෙමින් පවතින ජාතීන් ඉලක්ක කර නොගත් වැඩසටහනක් ලෙස එය හැඳින්වුණි. එය සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලනික සහ සාමාජයීය කරුණු මත පදනම් ගැටළු සඳහා අනන්‍ය වූ ආර්ථික විසඳුමක් දෙන්නක් බව කියැවිණි.[1]

වර්ථමාන සාමාජිකයින්[සංස්කරණය]

වර්ථමානය වන විට සංවිධානය තුල සාමාජික රාජ්‍යයන් 27 ක් තිබෙන අතර, ඊට ආසියා-පැසිපික් කලාපීය රටවල් සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සහ අයත් නොවන රටවල් පවතී. මින් ආසියා-පැසිපික් කලාපයේ රටවල් සමහරක්, කලාපීය සංවිධාන වන ආසියාන් (ASEAN) සහ සාර්ක් (SAARC) යන සංවිධාන වල සාමාජිකයෝද වෙති.

සාමාජික රාජ්‍යය සම්බන්ධ වීම
 ඇෆ්ගනිස්තානය 1963
 ඕස්ට්‍රේලියාව 1950
 බංග්ලාදේශය 1972
 භූතානය 1962
 බෲනයි 2008
 ෆිජී 1972
 ඉන්දියාව 1950
 ඉන්දුනීසියාව 1953
 ඉරානය 1966
 ජපානය 1954
 කොරියාව, දකුණු 1962
 ලාඕසය 1951
 මලයාසියාව 1957
මාල දිවයින් මාල දිවයින 1963
 මොන්ගෝලියාව 2004
 බුරුමය 1952
 නේපාලය 1952
 නවසීලන්තය 1950
 පාකිස්ථානය 1950
 පපුවා නව ගිනිය 1973
 පිලිපීනය 1954
 සවුදි අරාබියාව 2012[2]
 සිංගප්පූරුව 1966
 ශ්‍රී ලංකාව 1950
 තායිලන්තය 1954
 ඇමරිකානු එක්සත් ජනපද 1951
 වියට්නාමය 2004

පැරණි සාමාජිකයින්[සංස්කරණය]

කොළඹ ක්‍රමයේ ආරම්භක සාමාජිකයෝ දෙදෙනෙකු වූ එක්සත් රාජධානිය සහ කැනඩාව, පිළිවෙලින් 1991 හා 1992 යන වසර වලදී සංවිධානයෙන් ඉවත් වූ අතර, 1951 දී සංවිධානයට එක්වූ දකුණු වියට්නාමයද 1976 ජුලි 2 වන දින වියට්නාම සමාජවාදී ජනරජය මගින් අනුප්‍රාප්තවීම නිසා සංවිධානයෙන් බැහැර වුණි. 1978 දී ඉවත් වූවත් පසුව නැවතත් 2001 නොවම්බර් 5 සිට 2003 නොවැම්බර් 18 දක්වා කාලය තුල සංවිධානයේ තාවකාලික රාජ්‍යයක් ලෙස පෙනී සිටි වියට්නාමයට, 2004 වසරේදී පූර්ණ සාමාජිකත්වය හිමිවිණි.

සාමාජික රාජ්‍යය සම්බන්ධ වීම ඉවත් වීම
 කැනඩාව 1950 1992
 එක්සත් රාජධානිය 1950 1991
 කාම්බෝජය 1951 2004
වියට්නාමය දකුණු වියට්නාමය 1951 1975

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කොළඹ_ක්‍රමය&oldid=309241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි