කියුරියෝසිටි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(කියුරියෝසිටි රෝවර් වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
PIA16239 High-Resolution Self-Portrait by Curiosity Rover Arm Camera.jpg

කියුරියෝසිටි යනු නාසා ආයතනය මගින් අඟහරු වෙත යවන ලද යානයකි. අඟහරු මතට ගොඩබැසු කිව්රියෝසිටි යානය සාර්ථකව අඟහරු මත ගොඩබෑම තහවුරු කිරීම සඳහා නාසා ඉන්ජිනේරුවන් වෙත කිව්රියෝසිටි යානය විසින් ඡායාරූප එවන ලදී.අඟහරුගේ දිනයක් පෘථිවි පැය 24යි මිනිත්තු 37ක් වේ.යානය අඟහරු වසරක්, එනම් පෘථිවි සති 98ක ගවේශණයක් සඳහා සූදානම් බව සදහන් වේ.මෙම පර්යේශනයේ මූලික අරමුණ අඟහරු මත ජීවය පවතීද නැතහොත් අතීතයේ පැවතුනාද යන්න නිශ්චිතව තහවුරු කරගැනීමයි.

මිනිසා බිහිවූ දිනයේ පටන් අහස දෙස බැලූවේ කුතුහලයෙනි. අහසින් එන දෙවියන් ගැනත් අඟහරු ලොවින් එන කුරුමිට්ටන් ගැනත් අනාදිමත් කාලයක දිට ඔවුහු විශ්වාස කළහ. මේ කුතුහලය සමගින් විවිධ සංකල්ප බිහිවන්නට විය. පෘථිවිය හැරුණු විට සෞරග‍්‍රහ මණ්ඩලයේ ජීවින් සිටින එකම ග‍්‍රහලෝකය අඟහරුයැයි බොහෝ දෙනකු විශ්වාස කළහ.

අඟහරු පිළිබඳ ගවේෂණ කටයුතු මිනිසා විසින් ආරම්භ කරන්නේ මේ කුතුහලය හේතුවෙනි. සඳ තරණය කළ මිනිසා අඟහරු තරණයට සූදානම් වීමේ මූලික පියවර ලෙස අඟහරු වෙත යානා රාශියක් යැවූවද ඒ අතරින් ඇතැම් ඒවා සාර්ථක වූයේ නැත. යානා බොහොමයකින් ලැබුණු තොරතුරු වලින් කියැවුණේ මිනිසා සිතා සිටි ආකාරයේ ජීවයක් අඟහරු මත නොමැති බවයි.

මේ යානා අඟහරු මත සිට එවන ලද තොරතුර අනුව අඟහරු මත ඇසට නොපෙණෙන ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකියැයි ද ඇතැම් විද්‍යාඥයන් කියා සිටි බැවින් අඟහරු තරණය අතහැර දැමීමට මිනිසා කැමැත්තක් දැක්වූයේ නැත.

මෙහි ප‍්‍රතිඵලය වූයේ සදාකාලිකව කුතුහලයෙන් පිරි අඟහරු ග‍්‍රහයා ගවේෂණය සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය "කියුරියෝසිටි" හෙවත් කුතුහලය නම් වූ අති නවීන රොබෝ යානයක් අගහරු වෙත යැවීමයි. එම යානය 2012 අගෝස්තු 6වැනිදා අති සාර්ථක ලෙස අඟහරු මත ගොඩ බැස්ස බව නාසා ආයතනය නිවේදනය කළේය.

අගහරු ගවේශණයේ ඉතිහාසය[සංස්කරණය]

මින් ඉහත අවස්ථා කිහිපයකදීම අඟහරුවෙත නාසා ආයතනය විසින් 1997 සිට මේ දක්වා යානා තුනක් යවා සාර්ථක වී ඇත. මේ යානා අතරින් "ඔපර්චුනිටි” නම් යානය තවමත් එහි ක‍්‍රියාත්මකව පවතින්නකි. මෙවර යවන ලද යානයේ සුවිශේෂත්වයක් වන්නේ මිනිසා මෙතෙක් පිටස්තර ලෝකයකට යෑවූ වඩාත් දියුණුම හා සාර්ථකම යානය මෙය බැවිනි.

නිශ්පාදනය කිරීම[සංස්කරණය]

සාමාන්‍ය මෝටර් රථයක් පමණ විශාලත්වයේ යුතු මෙම කියුරියෝසිටි රෝවරය නිපදවන ලද්දේ බොයිං ගුවන් යානා නිෂ්පාදන ආයතනයයි. ලොක්හීඞ් මාර්ටින් සහ මැක්ඩොනල්ඞ් ඩෙට්විලර් නැමැති ආයතන දෙක එහි කොන්ත‍්‍රාත්කරුවෝ වෙති. කිලෝ ග‍්‍රෑම් 900 ක් බරින් යුතුය. වාහනයක් ලෙස හැඳින්වුවද ජංගම රසායනාගාරයක් වැනි මෙම රෝවරය ක‍්‍රියාත්මක වීම සඳහා ශක්තිය සැපයෙන්නේ එහි බලසැපයුම් පද්ධතියේ සවිකැර ඇති ප්ලූටෝනියම් ඩයොක්සයිඞ් නැමැති විකිරණශීලි මූලද්‍රව්‍යයෙනි. එම ද්‍රව්‍යයේ කිලෝ ග‍්‍රෑම් 4.8ක් රෝවරයේ තැන්පත්කැර ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. වසර දෙකක කාලයක් ක‍්‍රියාත්මක වනු ඇතැයි විද්‍යාඥයන් පැවසුවද එහි ඇති ප්ලූටෝනියම් ඩයොක්සයිඞ් රෝවරය වසර 14 කාලයක් ක‍්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීමට ඉවහල්වනු ඇත.

විස්තර[සංස්කරණය]

  • දිග - අඩි 10 (මීටර් 3)
  • බර - කිලෝග‍්‍රෑම් 899
  • උපරිම පළල - මීටර් 2.8
  • උස - මීටර් 2.1
  • රොබෝ අතේ දිග - මීටර් 2.2
  • වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5

කියුරියෝසිටි යානය අඟහරු මතුපිට ගොඩබැස්ස පසු එහි අඟල් හතරක පමණ ප‍්‍රමාණයක් යටට පස් හාරා නියැදි ලබාගැනීමට නියමිතය. විද්‍යාඥයන් පවසන්නේ මෙහිදී වැඩි අවදානයක් යොමුකරන්නේ මෑතකදී ග‍්‍රහක පතිත වීමෙන් සෑදී ඇති අලූත් ආවාට කෙරෙහි බවයි.

පෘථිවියේ ජීවීන් බිහිවීම පිළිබඳ විවිධ මත ප‍්‍රකාශ කරන විද්‍යාඥයන් අතරින් පිරිසක් පවසන්නේ අඟහරුමත තිබූ ජීවය ග‍්‍රහක සමඟ පෘථිවියට පැමිණෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් වරින් වර අඟහරු පිළිබඳ කරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ අඟහරු මත සරල කාබනික අනු පිහිටා තිබිය හැකි බවයි. කියුරියෝසිටි යානයේ ඉලක්කයක් වී ඇත්තේ ද අඟහරුමත ඇති කාබනික අණු හඳුනාගැනීමයි.

රෝවරය කක්ෂගත කිරීම[සංස්කරණය]

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුවෙන් මෙම යානය අඟහරුවෙත යැවීමේ ගමන ආරම්භ කැරුනේ පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 27 දින දීය. ඇට්ලස් පහ රොකට්ටුව ආධාරයෙන් යානය මුදා හැර ඇති අතර අඟහරු දක්වා ඇති කිලෝමීටර් 5670 ලක්‍ෂයක් පමණ වූ දුර ගෙවා සැළසුම් කළ පරිදිම ඒ වෙත ළඟාවීමට මෙම යානයට හැකියාව ලැබිණි.

2012 අගෝස්තු 5 එය අඟහරු කක්ෂයට සාර්ථකව පිවිසෙන අයුරු මුළු ලෝකයම බලාසිටියේ මහත් බලාපොරොත්තු දල්වාගනිමිනි. මුළු මහත් ලෝක ප‍්‍රජාවගේම බලාපොරොත්තු සඵල කරමින් -කියුරියෝසිටි” යානය සාර්ථකව කක්ෂගතවූ බව නාසා ආයතනය නිවේදනය කර තිබිණි.

අගහරු මත ගොඩබෑම[සංස්කරණය]

ගගන කැප්සියුලය කක්ෂගත වීමෙන් අනතුරුව සුවිශේෂි පැරෂුටයක් හා දොඹකරයක් ආධාරයෙන් යානය අඟහරුමතට ගොඩබැස්සීමට සැළසුම් කර තිබිණි. අඟහරුමත ඇති විශාල ආවාටයක් වූ ගේල් වෙත මේ රෝවර් යානය බැස්සවීම නාසා විද්‍යාඥයන්ගේ අපේක්‍ෂාව විය. කිලෝ මීටර් 150ක පමණ පළලකින් යුතු ගේල් ආවාටය මිනිසාගේ කුතුහලය වර්ධනය කිරීමට හේතු වූ ස්ථානයක්ව තිබූ බැවින් මෙම පතිත කිරීම සඳහා සුදුසුම ස්ථානය එතැන බව විද්‍යාඥයෝ දැන සිටියහ. ස්ථර කිහිපයකින් සමන්විත මෙම ආවාටය ගවේෂණයෙන් අඟහරුමත බොහෝ තොරතුරු නිරීක්‍ෂණය කළ හැකි වෙතැයි යන්න විද්‍යාඥයන්ගේ අපේක්‍ෂාවයි.

අඟහරු වෙත ගොඩබෑමෙන් පසු කියුරියෝසිටි රෝවරය අඟහරුගේ ඡුායාරූප, පාරිසරික දත්ත, රසායනික තොරතුරු, පස් සහ පාෂාණ කැබලි පරීක්‍ෂා කිරීමෙන් ලබාගන්නා දත්ත ආදි සියල්ල පෘථිවිය වෙත එවනු ඇත. ඒ සඳහා අවශ්‍යකරනු ලබන අති ප‍්‍රබල සන්නිවේදන උපකරණ කියුරියෝසිටි රෝවරය සතුව තිබේ.

නාසා ආයතනයේ බලාපොරොත්තුව කියුරියෝසිටි යානය අඟහරුගේ වර්ෂයක කාලයක් ක‍්‍රියාකාරී තත්ත්වයේ තබා ගැනීමයි. අඟහරුමත වසරක් යනු පෘථිවියේ මාස 23ක කාලයකි. එය ආසන්න වශයෙන් පෘථිවි වර්ෂ දෙකකට සමානවේ.

රොබෝ අත[සංස්කරණය]

රෝවරයේ සවිකැර ඇති මීටර 23 දක්වා දිගු කළ හැකි රෝබෝ අත උපයෝගී කරගෙන පස් හා පාෂාණා නියැදි මෙන්ම ජලය ඇත්නම් එවැනි අංශූ ද එක්රැස්කැර ගැනීමේ හැකියාව පවතී.

වෙනත් විස්තර[සංස්කරණය]

කියුරියෝසිටි රෝවරයේ ඇති රසායනික විශ්ලේෂණාගාරයකට මෙවැනි නියැදි ඍජුවම යොමුකොට අවශ්‍ය පර්යේෂණ සිදුකැරෙනු ඇත. පැයට මීටර් 144ක වේගයෙන් ගමන් කළ හැකි මෙම රෝවරයට අංශක 45ක් දක්වා ආනතියක් ඇති කන්දක් තරණය කිරීමේ හැකියාව තිබීමද විශේෂත්වයකි. සෙන්ටි මීටර් 50ක විශ්කම්බයෙන් යුතු රෝද හයක් සවිකැර ඇති අතර ඒ සෑම රෝදයකටම වෙන වෙනම ක‍්‍රියාත්මක වන මෝටර් සවිකැර තිබේ.

මීට ඉහත අවස්ථාවකදී අඟහරුවෙත යවන ලද ස්පිරිට් නම් රෝවරය මගින් ගේල් ආවාටය සම්බන්ධයෙන් එවන ලද තොරතුරු උපයෝගී කර ගනිමින් ගේල් ආවාටයට වඩාත් සාර්ථකව ගවේෂණය කිරීමට මේ කියුරියෝසිටි රෝවරය නිපදවන ලදී. එය මෙතෙක් මිනිසා අභ්‍යාවකාශයට යැවූ විශාලතම රෝබෝ යන්ත‍්‍රය ලෙස හැඳින්වූවාට වරදක් නැත.

ඉතා තුනී වායුගෝලයක් සහිත අඟහරුමතට කියුරියෝසිටි රෝවරය පතිත කිරීම අතිශය සීරුවෙන් කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබිණි. ඒ සඳහා සුපර්සොනික් පැරෂුටයක් හා තෙරපුම් රෝකට්ටු සවිකල අහස් දොඹකරයක් භාවිත කරන්නට සිදුවිය. අඟහරු කක්ෂයේ ගමන් කරමින් තිබෙන ඔඩිසි ඕබිටර් යානය භාවිතයෙන් එම මෙහෙයුම් සිදුකරන ලදී.

ඇට්ලස් 5 රෝකට්ටුව මගින් කියුරියෝසිටි රෝවරය අභ්‍යාවකාශයට රැුගෙන යන ලද්දේ ආරක්ෂිත කැප්සියුලයක බහාලමිනි. මේ ආරක්ෂිත කැප්සියුලය අඟහරුගේ වායුගෝලයට පැයට කිලෝ මීටර් 20,000ක් වැනි දැවැන්ත වේගයකින් ඇතුලූ වු පසු පැරෂුටය භාවිතයෙන් එහි වේගය පැයට කිලෝ මීටර් 3.6ක් දක්වා අඩු කිරීමට නාසා ආයතනයේ අපේක්‍ෂාව විය.

අඟහරු ග‍්‍රහයා වටා කක්ෂගතවී තිබූ ඕඩිසි යානය මේ කාර්යය පිළිබඳ සියළු තොරතුරු යූ.එච්.එෆ්. තරංග භාවිතයෙන් පෘථිවියට වාර්තා කරන ලදී. ක‍්‍රමයෙන් අඟහරුගේ වායුගෝලයට ඇතුළු වූ ආරක්ෂිත කැප්සියුලය ගේල් ආවාටය ඉලක්කකැර ගනිමින් වේගයෙන් අඟහරුවෙත ඇදී ගිය අතර සුළු මොහොතකින් එහි පැරෂුටය ක‍්‍රියාත්මක වීමත් සමග වේගය විශාල වශයෙන් අඩුවන්නට විය. නාසා ආයතනයේ විද්‍යාඥයන් ප‍්‍රමුඛ මුළු ලෝකයම අපේක්‍ෂාවන් සහිතව බලා සිටියදී ක‍්‍රමයෙන් අඟහරුමත පතිතවෙමින් තිබූ ආරක්ෂිත කැප්සියුලයේ තෙරපුම් රොකට්ටුව ක‍්‍රියාත්මක වන්නට විය. ඉන් අනතුරුව සිදුවූයේ දොඹකර කොටසින් කියුරියෝසිටි රෝවරය වෙන්වීමයි. තෙරපුම් රොකට්ටු සහිත අහස් දොඹකරය මගින් සෙමෙන් සෙමෙන් කියුරියෝසිටි රෝවරය පෘථිවි වාසීන් අපේක්‍ෂා කළ ආකාරයෙන් ගේල් ආවාටයේ අපේක්‍ෂිත ස්ථානයටම පතිත කිරීමට සමත්විය.

ගොඩබැසීමෙන් අනතුරුව කියුරියෝසිටි රොබෝ යානයේ පරිගණකය මගින් යානයේ ඇති කැමරාවකින් ගන්නා ලද කළු සුදු ඡුායාරූප තුනක් නාසා පාලන මැදිරිය වෙත එවන ලදී. මෙම ඡායාරූප නාසා මෙහෙයුම් මැදිරියේ විශාල වීඩියෝ තිරයේ දර්ශනය කරන විට කියුරියෝසිටි යානයෙන් තොරතුරක් ලැබෙනතුරු නොඉවසිලිමත්ව බලා සිටි විද්‍යාඥයන් හා ඉංජිනේරුවන්ට සතුට නිම්හිම් නැතිවිය. ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් යුතුව ඔවුහු ඔල්වරසන් දුන්හ.

ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5ක් වියදම් කර ක‍්‍රියාත්මක කරනු ලැබූ කියුරියෝසිටි ව්‍යාපාතිය මේ දක්වා අතිශය සාර්ථක වී තිබේ. අගොස්තු 07 වැනිදා පස්වරුවේ නාසා ආයතනය නිවේදනය කර සිටියේ කියුරියෝසිටි රෝවරය විසින් ප‍්‍රථම වර්ණ ඡායාරූපය තමන් වෙත එවා තිබු බවයි. තරමක දුවිලි ඇවිස්සුනු සහ අපහැදිලි ගතියකින් දිස්වන මෙම ඡායාරූපයෙන් ගේල් ආවාටයේ එක් වැටියක් දිස්වන බව ද ඔවුන් සඳහන් කැර තිබේ. එම ඡායාරූපය අංශක 30කින් ඇලවී ඇති බවද මෙම දෝෂය ඉක්මනින් නිවැරදි කිරීමට හැකි බවද නාසා ආයතනය පවසයි. ඒ වන විටත් කියුරියෝසිටි රෝවරයේ සියළුම කොටස් හොඳින් ක‍්‍රියාත්මක වෙමින් පවතින බැවින් ඉතාමත්ම නුදුරු දිනයන්හිදී අඟහරු ලෝකයේ සැබෑ තත්ත්වය වඩාත් විද්‍යානුකූලව ලෝකයාට හෙලිදරව්කිරීමට හැකිවනු ඇති බව නාසා ආයතනය පවසයි.

අඟහරුගේ ඡායාරූප පොළොවට එන ආකාරය[සංස්කරණය]

අඟහරු මතදී ගන්නා ඡායාරූප පොළොවට එන්නේ සාමාන්‍ය ඡායාරූපයක ආකාරයකින් නොවේ. අන්තර්ජාලය ඔස්සේ අපට ඕනෑම ආකාරයේ ඡායාරූපයක් ඒ ආකාරයෙන්ම ලොව ඕනෑම තැනකට ක්ෂණයකින් යැවිය හැකි වුවද අඟහරුමත සිට එලෙස ඡායාරූප එවීමේ හැකියාවක් නැත.

මේ ඡායාරූප පැමිණෙන්නේ 1 සහ 0 අංක වලින් සැදුම්ලත් අංක සමුහයක් වශයෙනි. ඒවා ගන්නා ලද ඡායාරූපයේ අංකිත ප‍්‍රතිනිර්මාණයකි. මේ අංක වලින් අඟහරුමත ඇති කැමරාවෙන් ග‍්‍රහණය කැරගත් ඡායාරූපයේ වර්ණ හා දීප්තිය වෙනස්කම් නිරූපණය වේ. මේවා 1 සහ 0 අංක වලින් සැදුම්ලත් දත්ත ගොනුවක් බවට පත්කොට වෙන් වෙන් වශයෙන් පෘථිවියට එවනු ලබයි. ඒවා පෘථිවියේ ඇති ඇන්ටනා මගින් ග‍්‍රහණය කර ඡායාරූප ප‍්‍රතිනිර්මාණය කිරීම සිදුවේ. සාමාන්‍ය ඡායාරූපක් පටලයක සිට කඩදාසියක් වෙත ගෙන ඒමට වඩා විශාල කාලයක් මේ සඳහා ගතවේ.

රෝවරයෙන් ගන්නා ලද ඡායාරූපය අඟහරු වටා කක්ෂගත කොට ඇති ඕඩිසී යානයට යොමුකොට එමඟින් පෘථිවියට යොමු කිරීම සිදුවේ. ඇතැම් විට මේ දත්ත පෘථිවියට එවීමේදී අඩුපාඩු ඇතිවීමට ද ඉඩ තිබේ. එවිට දක්නට ලැබෙන්නේ තැන තැන හිස් අවකාශ සහිත ඡායාරූපයකි. මෙලෙස අඩුපාඩු සිදුවූ ඡායාරූපයක් ඇත්නම් එහි අඩුපාඩු මහහරවා ගැනීමට යළි පෘථිවියේ සිට රෝවරයට උපදෙස් දී අඩුවූ දත්ත පැකට්ටුව යළි ගෙන්වාගත යුතුය. ඇතැම් විට ඒවා යළි ගෙන්වා ගෙන රූපය ප‍්‍රතිනිර්මාණය කිරීමට දින දෙකක් පමණ ගතවේ. එවැනි අඩුපාඩු වූ දත්ත පැකට්ටු යළි නොලැබෙන අවස්ථාද තිබේ.

මේ ඡායාරූයන්හි ගුණාත්මක බවත් සාර්ථකත්වයත් කෙරෙහි විවිධ සාධක බලපායි. අඟහරුමත ඇති දේශගුණික වෙනස්වීම්, පෘථිවියේ දේශගුනක වෙනස් වීම් පමණක් නොව වරින් වරි හිරුවෙතින් නිකුත් වන සූරිය ගිනිදැල් ඇතුළු අභ්‍යාවකාශයේ දේශගුණික විපර්යාස සියල්ල හමුවේ කිලෝ මීටර් කෝටි ගණනක් ඈත සිට එවන ඡායාරූපයක් නිසි පරිදි ලබාගැනීම පහසු කාර්යයක් නොවේ.

"http://si.wikipedia.org/w/index.php?title=කියුරියෝසිටි&oldid=324474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි