කැරොලින් බලකොටුව

විකිපීඩියා වෙතින්
කැරොලිනා කොටුවේ පැරණි ආකෘතියක්

"කැරොලිනා කොටුව" යනු ප්‍රංශ පළමු ජනපදයයි වර්තමානයේ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ ජැක්සන් විල්හි දක්නට ඇත. මුලින් පිහිටුවන ලද්දේ 1564 දීය. ස්පාඤ්ඤවරුන් විසින් එය විනාශ කිරීමට පෙර තිබුණේ එක් අවුරුදු කාලයක් පමණි.


ඉතිහාසය[සංස්කරණය]

ප්‍රොතෙස්තන්ත නායක අද්මිරාල් ගැස්ටාර් ද කොලිග්නි විසින් සංවිධානය කරන ලද නොර්මන්ඩ් ජාතික ජින් රිබොල්ට්ගේ නායකත්වයෙන් යුතුව ප්‍රංශ ගවේශක කණ්ඩායමක් මේ (May) ගඟ ආශ්‍රිත පෙදෙසකට (දැනට ශාන්ත ජෝන් නදිය) ගොඩබැස්සාහ. 1562 පෙබරවාරි මස එසේ එම ස්ථානයට ඔවුන් ගොඩ බැස්සේ උතුරේ පිහිටි පොර්ට් රෝයල් සවුන්ඩ් වෙත පසුව යාමේ අදහසිනි. වර්තමානයේ පැරිස් අයිලන්ඩ් නමින් හැඳින්වෙන එහි 'චාර්ල්ස් පොර්ට්' නමින් හැඳින්වෙන ජනාවාසයක් ගොඩනැංවීම පිණිස තම පිරිසෙන් විසි අට දෙනෙකු නවත්වා රිබොල්ට් අලුත් ජනපදයට අවශ්‍ය දෑ ගෙන ඒම පිණිස නැවතත් යුරෝපයට ගියේය. එහෙත් එවකට පැවති ප්‍රංශ ආගමික යුද්ධ හේතුවෙන් ඇතිවූ අවුල් සහගත තත්වය මත රිබෝල්ට් එංගලන්තයේදි අත්අඩංගුවට පත් වීම නිසා ඔහුගේ ආපසු ගමන වැළකුනි.

නායකත්වය සහ අවශ්‍ය බඩු බාහිරාදිය පහසුකම් නොමැති වීමත් ස්වදේශික ජනයාගේ තනතුරු වෛරයට පාත්‍ර වීමත් යනාදී හේතු නිසා අවුරුද්දකට පසු එම පිරිසෙන් එකෙකු හැර අන් සියලු දෙනාම යුරෝපය බලා ආපසු යාත්‍රා කළහ. ඔවුන් විවෘත යාත්‍රාවකින් එසේ ආපසු යන අවස්ථාවේදී ඉංග්‍රිසි මුහුදු සීමාවේදී ඒ වන විට දිවි රැක ගෙන සිටි අය බේරා ගන්නා විට අනෙකුත් අය මිනී මස් කන්නන්ට ගොදුරු වී තිබුණි. මේ අතර වාරයේ 1562 දී, කලින් චාරිකාව සංවිධානය කළ රිබෝල්ට්ගේ දෙවැනියා ලෙස සිටි රෙනෙ ගුලෙන් ඩි ලෞඩොනියර් නැමැත්තා 200 ක නව පදිංචිකාර බල ඇණියක් සමග ෆ්ලොරිඩාව බලා පැමිණියේය. එහි ශාන්ත ජෝන් නම් කන්ද මත 1564 ජුනි 22 වෙනි දින කැරොලිනා නම් බලකොටුව තැනූහ. එවකට රජකම් කරමින් සිටි 9 වෙනි චාර්ල්ස් රජු වෙනුවෙන් කොටුව නම් කරන ලදී. අවුරුද්දක කාලයක් මුලුල්ලේ මෙම ජනපදය ඉන්දියානු පහර දීම්වලට වෙනත් කැරලිවලට හා ආහාර හිඟයට ගොදුරු විය. පසුව ස්පාඤ්ඤ බලධාරින්ගේ ද අවධානයට යොමු විය. ස්පාඤ්ඤ ජාතිකයින් කල්පනා කළේ මොවුන් එම පෙදෙ‍ස ඔවුන්ගේ පාලනයට තර්ජනයක් වෙතැයි යනුවෙනි.

1565 ජුනි මාසයේදී රිබොල්ට් එංගලන්තයෙන් නිදහස් කරන ලදී. කොලිග්නි විසින් ඔහු නැවත වරක් ෆ්ලොරිඩාවට පිටත් කර හරිනු ලැබීය. අගෝස්තු අවසානයේ විශාල නැව් සමූහයක් ද සෙබලු සිය ගණනක් ද පදිංචිය සඳහා යන පිරිසක් ද කැටුව රිබොල්ට් කැරොලිනා කොටුව වෙත පැමිණ එම ජනාවාසයේ පාලනය සියතට ගත්තේය. කෙසේ වුවද එම දිනවලම ෆ්ලොරිඩාවේ ස්පාඤ්ඤ ආණ්ඩුකාරයා ලෙස පත් කරනු ලැබූ දොන් පෙද්රෝ මෙනෙන්ඩෙස් ඩි අවිලෙස් ෆ්ලොරිඩාවට පිටත් කර යවා තිබුණේය. ඔහුට නියම කර තිබුනේ ප්‍රංශ මුර පොළ ඉවත් කිරීමයි. ඔහුද රිබොල්ට් පැමිණි දිනවලම එම පෙදෙසට පැමිණියේය. රිබොල්ට් ගේ සහ මෙනෙන්ඩෙස්ගේ නෞකා අතර සිදු වූ කෙටි සටනකින් පසු මෙනෙන්ඩස් සැතපුම් 35 ක් පමණ දකුණු දෙසට පසු බැස්සේය. එම ප්‍රදේශයේ ඔහු සෙන්ට් ඔගස්ටන් නම් ජනාවාසයක් පිහිටෙව්වේය. නැව් කිහිපයක් සහ ඔහුගේ භට කණ්ඩායමේ වැඩි පිරිසක් ද ගෙන රිබොල්ට් ස්පාඤ්ඤවරුන් ලුහු බැන්දේය. එහෙත් හදිසියේම ඔහුට දරුණු කුණාටුවකට මුහුණ දීමට සිදු විය. එය දින කිහිපයක් තිස්සේ පැවතුණි. මෙන්ඩෙනෙස් ඔහුගේ භටයින් ගොඩබිමින් ඉදිරියට යවමින් කැරොලින් කොටුවට පහර දුන්නේය. එම අවස්ථාවේ එහි සිටියේ 200 ත් 250 ටත් අතර පිරිසකි. එයින් ස්ත්‍රීන් හා ළමුන් 50 ක පමණ සංඛ්‍යාවක් ඉතිරි වූ අතර ඔවුන් සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා ලදී. ලෞඩනියර් ඇතුලු කීප දෙනෙක් පලා ගියහ. ඉතිරි අය මරා දැමූනි.

රීබෝල්ට්ගේ නැව් හමුදාවේ සියලුම නැව් කුණාටුව හේතුවෙන් එක්කො මුහුදේ ගිලි ගියේය. නැතහොත් ශාන්ත ඔගස්ටින් හි දකුණේ ගොඩබිමෙහි කා වැදුණි. යාත්‍රාවල සිටි බොහෝ ප්‍රංශ ජාතිකයින් මුහුදට බිලි වුණි. නන්නත්තාරව සිටි රිබොල්ට් සහ ඔහුගේ පිරිස මෙනෙන්ඩෙස් සහ ඔහුගේ හමුදාව විසින් දකින ලදුව යටත් වන ලෙස දන්වා සිටින ලදී. තමනට හොඳින් සළකනු ලැබේ යයි විශ්වාස කළ රිබොල්ට් සහ පිරිස යටත් වූහ. එවිට මෙනෙන්ඩෙස් කළෙ රිබොල්ට් සහ ඔහුගේ පිරිස රෙපරමාදු මිථ්‍යා දෘෂ්ඨිකයින් යැයි සලකා මැටන්සාස් (Matansasa) නම් ස්ථානයේදි මරා දැමීමයි. මෙම කෲර ක්‍රියාව ආගමික ආරවුල් පැවති අභාග්‍ය සම්පන්න කාලයේදී පවා යුරෝපීයයන් කම්පාවට පත් කළ කරුණක් විය. පසු කලෙක ඉදි කළ "මැටන්සාස්" නම් බල කොටුවෙන් අද කාලයේ එම ප්‍රදේශය හඳුනාගත හැක. මෙම සමූල ඝාතන නිසා උතුරු ඇමෙරිකාවේ ගිණිකොන පෙදෙසෙහි ජනාවාස ඇති කිරීම ගැන තිබුණු ප්‍රංශ ජාතිකයින්ගේ අදහසට නැවතීමේ තිත තැබුණේය.

ස්පාඤ්ඤවරු කැරොලින් බලකොටුව විනාශ කොට එම ස්ථානයේ ඔවුන්ගේම බලකොටුවක් තැනූහ. 1568 අප්‍රේල් මාසයේදි ඩොමිනික් ඩි ගුර්ගුස් (Dominique de Gourgues) ප්‍රංශ හමුදාවක් ද කැටිව පැමිණ බලකොටුවට පහර දී අල්ලා ගෙන එයට ගිණි තැබූහ. ඉන්පසුව ඔහු කළේ ස්පාඤ්ඤ සිරකරුවන් සියලු දෙනා මරා දැමීමයි. එය 1565 දි සිදු වූ සමූල ඝාතනයට පළිගැනීමක් විය. ස්පාඤ්ඤයින් නැවත බල කොටුව ගොඩ නැංවු නමුත් ඊළඟ අවුරුද්දේ ස්ථිර වශයෙන්ම එය අතහැර දමනු ලැබිනි. පෙර කී ජනාවාස තිබුණු ස්ථානය අප්‍රකටය.

"https://si.wikipedia.org/w/index.php?title=කැරොලින්_බලකොටුව&oldid=472456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි