කැතරින්, බ්‍රැගන්සහී ආදිපාදවරිය

විකිපීඩියා වෙතින්
කැතරින්
උපත18 ජනවාරි 1540(1540-01-18)
ලිස්බන්, පෘතුගාල රාජධානිය
මරණය15 November 1614(1614-11-15) (වයස 74)
විල විසෝස, පෘතුගාල රාජධානිය
වල්ලභයාපළමුවන ජොවා, බ්‍රැගන්සහී වංශාධිපතියා
වංශයඅවී රාජ වංශය
පියා ගුයිමරයෙස්හී පළමුවන ඩුවාර්ට්
මව බ්‍රැගන්සහී ඉසබෙලා

පෘතුගීසි රජ කුමරිය ගුයිමරයෙස්හී කැතරින්, බ්‍රැගන්සහී ආදිපාදවරිය (විවාහය හේතුවෙන්) (1540–1614) යනු, 1580 දී සිදුවූ පෘතුගාලයේ හෙන්රි රජුගේ මරණයෙන් පසුව සිංහාසනයට උරුමකම් කියාපෑ පෘතුගීසි රජ කුමරියකි.

පෘතුගීසි රජ කුමරු එඩ්වඩ්, ගුයිමරයෙස්හී සතරවන ආදිපාදවරයා ( පෘතුගාලයේ පළමුවන මැනුවල් රජුගේ සයවන පුත් කුමරු) සහ බ්‍රැගන්සහී ඉසබෙලා යන දෙපලගේ දෙවන දියණිය වූ ඇය, විවාහව සිටියේ, පූර්ව පෘතුගීසි රජුන්ගෙන් පැවතෙන්නෙකු වූ සහ පෘතුගාලයේ ඉතා වැදගත් ප්‍රභූතාන්ත්‍රික වංශයක ප්‍රධානියාවූ ජොවා, බ්‍රැගන්සහී සයවන ආදිපාදවරයා හා සමගිනි. ආදිපාදිවරියට දරුවන් කිහිපදෙනෙකු සිටි අතර, ඔවුන් අතුරින් නොනැසී සිටි වැඩිමහල්ලා වූයේ බ්‍රැගන්සහී තියඩෝසියෝ විය.

හෙන්රි රජු මිය ගිය විට (1580), පෘතුගාලයේ පළමුවන මැනුවල් රජුගේ පුතුන් අතුරින් කිසිවකුගේ දරුවන් වෙමින් නොනැසී සිටි එකම නිත්‍යානුකූල උරුමකරුවන් වූයේ එඩ්වඩ් කුමරුවන්ගේ දරුවන් පමණක් වූහ. පෘතුගීසි උරුමක්‍රම පිළිවෙතෙහිදී, ස්ත්‍රී පරම්පරාවට වඩා පුරුෂ පරම්පරාවට මනාපයක් දැක්වුනු බැවින්, මූලධර්මානුකූලව සැලකූ කළ, කැතරින් රජ කුමරිය වැනි එඩ්වඩ් කුමරුන්ගෙන් පැවතෙන්නන් හා සැසඳූ කළ, පළමුවන මැනුවල් රජුගේ දියණියන්ගෙන් පැවතෙන්නන් ( ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජ වැන්නන්) හට, සිංහාසනය සඳහා පැවැතියෙහි දුර්වල උරුමකමකි.

මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සැලකූ කළ, සිංහසානයට උරුමක්‍රම පෙළෙහි ප්‍රථම ස්ථානයෙහි කැතරින්ගේ බෑනා කෙනෙකුන්වූ, පාර්මාහී පළමුවන රැනූචෝ ෆර්නීස නමැත්තා සිටියේ, මෙම 11-වියැති ඉතාලියානු පිරිමි දරුවා, ඇයගේ වැඩිමහළු සෙහොයුරිය වූ ගුයිමරයෙස්හී මාරියාගේ උරුමකරු වීම නිසාය. මහත් අපේක්ෂා සහිතව සිටි කැතරින් කූටෝපායයන් හි නිරත වූ බවක් පැවසෙයි.

ඇයගේ ඥාති සහෝදර, ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජ විසින් භාවිතා කළේ, පළමුවන මැනුවල් රජුගේ වැඩිමහල් දියණියවූ, පෘතුගීසි රජ කුමරිය ඉසබෙලාගේ පුතු වීමේ සම්භවයයි. ඇයගේ අනෙකුත් ඥාති සහෝදරයා ඇන්තනී, ක්‍රාටෝහී දේවගැති පුරුෂයෙක් වුවද අවජාතකයෙකු බැවින් අනෛතික විය. ඇන්තනී 1578 දී සිංහාසනයට උරුමකම් පා තිබුණි.

කැතරින් විවාහවී සිටියේ බ්‍රැගන්සහී ආදිපාදවරයා සමගින් වූ අතර, මිය ගොස් සිටි ජේම්ස්, බ්‍රැගන්සහී ආදිපාදවරයාගේ මුනුපුරෙකු වූ මෙම ජෝන් කුමරු, පෘතුගාලයේ කිරුළට නිත්‍යානුකූල උරුමකරුවෙකු විය. ආදිපාදවරියගේ පුත්‍රයා, බ්‍රැගන්සහී තියඩෝසියෝ, ඔවුන්ගේ රාජකීය උරුමකරු වෙමින් සිංහාසනයට අනුප්‍රාප්තිකයා විය හැකිව තිබුණි.

ආදිපාදවරියගේ අයිතිවාසිකම අනෙකුන්ට සාපේක්ෂව ශක්තිමත් එකක් වූ අතර, එය තවත් සවිගැන්වුනේ ඇයගේ ස්වාමිපුරුෂයාද නීත්‍යානුකූල උරුම්කම් කියන්නෙකු බැවිනි; එබැවින් රාජධූරය හෙබවීමට ඔවුන් දෙදෙනාම හිමිකම් දැරූහ. ඇයගේ අයිතවාසිකම ශක්තිමත්වූ තවත් කරුණු වූයේ ඇය පෘතුගාලයේ ජීවත් වීම නිසා සහ වයස අවුරුදු සතලිසක මුහුකුරා ගිය කාන්තාවක් වූ නිසාය. කෙසේවෙතත්, ඒ වන විට පෘතුගාලය විසින් සිංහාසනය සඳහා පුරුෂයන් තෝරා ගත්තා මිස, සාමාන්‍යයෙන් රාජාධිකාරි රැජිණක් පිළිබඳ සංකල්පයට එකඟව නොසිටියේය. තවදුරටත්, ඇය බාල දියණියක් වූ අතර, එබැවින් ඇයගේ බෑණාවූ රැනූචෝ, ඇයට වඩා වංශාවලියාකාරයෙන් ජ්‍යෙෂ්ඨ විය.

ඇයගේ බිරිය ඉල්ලා සිටින අයිතිවාසිකම් අත්හැර දමන ලෙසින්, ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජ විසින් කැතරින්ගේ ස්වාමිපුරුෂයාවූ බ්‍රැගන්සහී ආදිපාදවරයා හට අල්ලස් ප්‍රදානය කරමින් ඉල්ලා සිටි අතර, එසේ පිරිනැමූ අල්ලස් අතර, බ්‍රසීල උප-රාජධානිය, ජේසු නිකායේ මහා-පාලක තනතුර, සැම වසරකම පෞද්ගලික නැවක් ඉන්දියාව වෙත යැවීමට අවසරය සහ, ඔහුගේ එක් දියණියක්, එකල පිලිප්ගේ උරුමකරුවූ දියෙගෝ, අස්ටුරියස්හී කුමරු වෙත විවාහ කර දීම විය. බ්‍රැගන්සහී ආදිපාදවරයා , කැතරින්ගේ බලපෑම මත, යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

අරගලයේදී ඇය පරාජය වූවාය: ශක්තිමත්ම හිමිකම් පාන්නා වූයේ ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජ වූ අතර ඔහුට අවශ්‍ය වූයේ ඔහු යටතේ පැවති අනෙකුත් ස්පාඤ්ඤ රාජධානි හා සමග පෞද්ගලික සංගමයක් ඔස්සේ පෘතුගාලය එක්සත් කිරීමයි. පෘතුගාලය ස්වාධීනව පැවතීම අපේක්ෂා කළ ජාතිකවාදී පක්ෂය විසින් සහය පලකලේ ඇයගේ අවජාතක ඥාති සොහොයුරු ක්‍රාටෝහී ඇන්තනීට මිස කැතරින්ට නොවේ. 1580 දී ඇල්කන්ටරා සටනේදී අවසාන තරගයේදී, ඇන්තනී, පිලිප්ට පරාජය විය.

වසර කිහිපයක් ගතවත්ම, ඇයගේ සැමියා, බ්‍රැගන්සහී ජෝන් (1543–1583) ඇයට අහිමි විය. ඇයගේ කැස්ටිලියානු ඥාති සොහොයුරාගේ පාලනය යටතේ වැන්දඹු ආර්යාවක් ලෙසින් දිවි ගෙවීමට ඇයට සිදු විය.