කාර්මික ව්‍යසන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
භෝපාල් ව්‍යසනයෙන් පසු එම යුනියන් කාබයිට් කර්මාන්තශාලාවේ ස්ථානයක්


කාර්මික ව්‍යසන යනු කාර්මික හා තාක්‍ෂණික හේතු නිසා ඇති විය හැකි ව්‍යසනවේ. මේවා න්‍යෂ්ටික විකිරණ, හානිකර වායු කාන්දු විම්,පිපිරීම් හෝ ගිනිගැනිම් නිසා සිදුවිය හැකිය.මෙසේ න්‍යෂ්ටික විකිරණ විෂ වායු පරිසරයට එක්විමෙන් විවිධ ආපදා ලෝකයේ සිදුවේ.

උදා:- 1984 භෝපාල් සද්ධිය, 1986 චර්නොබිල් සිද්ධිය

ලෝකයේ කාර්මික ආපදා පිළිබඳ ඉතිහාසය 16 හා 17 වන සියවස් වල සිදුවූ කාර්මික විප්ලවය තෙන් දිව යයි.16 හා 17 වන සියවස් වල සිදුවූ කාර්මික විප්ලවයේ පදනම වූයේ තාක්‍ෂණික වෙනස්කම් වලට අනුව ධනවාදය වර්ධනය කිරීමයි. මේ හේතුවෙන් කාර්මික විප්ලවත් සමඟ යුරෝපා රටවල් තරඟකාරී ලෙස නව තාක්‍ෂණික සොයාගැනීම් වලට යොමු විය. මේ තත්‍වය තුළ 1945 සිට කාර්මික ආපදා සිදුවිම ඉහළ ගොස් ඇත.මුල්කාලිනව කාර්මික ආපදා වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ කාර්මීකරණය වූ රටවලිනි. නමුත් වර්තමානය වන විට මේ .තත්‍වය සංවර්ධනය වෙමින් පවතින රටවලද වර්ධනය වෙමින් පවතියි. 20 වන ශත වර්ෂයේ සිදුවූ කාර්මික ආපදා වලින් 36%න්ම වාර්තා වි ඇත්තේ ආසියා හා ලතින් ඇමරිකා කලාපයේ රටවලිනි.

ස්වභාවික ආපදා වලට සාපේක්‍ෂව ලෝකයේ කාර්මික ආපදා සිදුවී ඇත්තේ සුළු පුමාණයකි.එසේම ස්වභාවික ආපදා වලට සාපේක්‍ෂව කාර්මික ආපදා වලදී සිදුවන විනාශය අඩුය.කාර්මික පිළිබඳ ඉතිහාසය සලකා බැලීමේදී විශාලම ආපදාව වාර්තා වන්නේ 1984 භෝපාල් වලිනි. මෙහිදී 4000ක් පමණ මිය‍ගොස් ඇත. 1956 කොලොම්බියාවේ පිපිරිමකින් 1118ක් මිය‍ගොස් ඇත.මීටඅමතරව ලෝකයේ තවත් විවිධ ප්‍රදේශවලින් කාර්මික ආපදා තත්‍වයන් පිළිබඳ වාර්තා වී ඇත.කාර්මික ආපදා පිළිබඳ සලකා බලන විට මින් පරිසරයට සිදුවන හානියද අතිමහත්ය. එය පසුකාලීන ස්වභාවික ආපදා ඇතිවීම කෙරෙහි බලපායි.

ලෝකයේ සිදුවී ඇති කාර්මික ආපදා[සංස්කරණය]

ලෝකයේ කාර්මික ආපදා පිළිබඳ සලකා බලද්දී වැඩිවශ‍යෙන්ම වාර්තා වී ඇත්තේ විෂවායු හෝ විකිරණ, පිපිරීම් නිසා සිදුවූ ආපදා ය.මෙම වායු අතර හයිඩ්‍රජන් සල්‍ෆයිඩ් (HS), අධික(Co)විමෝචනය, මෙතිල් අයිසො සයනේට් (MIC)මාරක වායුව, සල්ෆර් ඩයොක්සයිඩ් (SO) වැනි වායු අධික ලෙස කාන්දු වීම මෙතෙක් ලෝකයේ සිදුවි ඇති දරුණු කාර්මික ආපදා වලට හේතු වි ඇත. මිට සාපේක්‍ෂව පිපිරීම් හා විකිරණ කාන්දු විම් වාර්තා වන්නේ අඩුවෙනි.

මෑත කාලීනව ලෝකයේ සිදුවූ දරැණුම කාර්මික ආපදාව වන්නේ 1984 ඉන්දියාවේ සිදුවූ භෝපාල් සිද්ධියයි.නමුත් තාර්මික ආපදා පිළිබඳ ඊට ඉහතදි සැලකිය යුතු සිද්ධීන් වාර්තා වි තිබේ.1930 මියුස් නිම්නයේ සිදුවූ මාරක වායු පිටවීමක් නිසා එහි ඇතිවූ ආපදා තත්‍වය ලෝකයේ කාර්මික ආපදා පිළිබඳ ඉතිහාසයේ වැදගත් සිදුවීමකි.‍මෙය සිදුවි ඇත්තේ 1930 දෙසැම්බර් 01දා බෙල්ජියමේ මියුස් නිම්න‍යේය.මේ නිම්නය පුරා පැතිරුණු ධාරා ඌෂ්මක සහිත වානේ කම්හල්,ඊයම් කම්හල්,විදුරු කම්හල් හා සල්‍ෆියුරික් අම්ල නිපදවන කම්හල් ආදිය නිසා මේ ප්‍රදේශය විශාල ලෙස කාර්මීකරණය වී තිබිණි.දෙසැම්බර් 01දා සිට සතියක් පුරා නිම්නයේ පැවති තාප ප්‍රතිලෝම ස්ථරය නිසා එම කාර්මික මධ්‍යස්ථාන වලින් පිටවූ විශාල සාන්ද්‍රණ ප්‍රමාණයක් මියුස් නිම්නය පුරා පැතිරි ගියේය. සතියක් පුරා නිම්නයේ පැවති මෙම තාප ප්‍රතිලෝම ස්ථරය නිසා ගවයින්දමිනිසුන්ද 60කට අධික ප්‍රමාණයක් මිය ගියේය.මෙම මරණ වලට හේතු වූ ප්‍රදධනතම වායුව සල්ෆර් ඩයොක්සයිඩ් බව සොයා ගෙන තිබේ.

1950 වසරේ මෙක්සිකෝ නගරයෙන්ද කාර්මික ආපදා තත්‍වයක් වාර්තා වි තිබේ.මෙම තත්‍වයට හේතුවී ඇත්තේ කර්මාන්තශාලාවකින් අධික ලෙස හයිඩ්‍රජන් සල්ෆයිඩ් විමෝචනය වීමයි. මෙම ආපදා තත්‍වය වාර්තා වී ඇත්තේ 1950 නොවැහම්බර් 23,24 දිනවලය. මෙහිදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් විමෝචනය වි ඇත්තේ ස්වභාවික වායුව උපයෝගී කරගෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වලිනි.මෙම වයුව දින දෙකක් අවට නිවාස තුළට වෑස්සිම නිසා සෑමවයස් ඛාණ්ඩයකම ජනයා මීට ගොදුරු විය. මේ අවස්ථාවේදී අදාල ප්‍රදේශයේ ජනයා සිදුවීම වනවිට නින්දේ සිටි නිසා තත්‍වය තවතවත් දරුණු වී ඇත. මෙසේ අධික ලෙස විමෝචනයවූ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිසා හ්වසන උද්දීපනය සමඟස්නායු පද්ධතිය අක්‍රිය වී මිනිසුන් 320ක් පමණ ආරෝග්‍ය ශාලාවලට ඇතුළත් කළ අතර තවත් 22ක් මරුමුවට පත් වී ඇත.

එසේම 1952 ලන්ඩන්හි ඇතිවූ කාර්මික ආපදාකින් විශාල ජිවිත හානි ප්‍රමාණයක් සිදුවිය.1952 දෙසැම්බර් 05 සිට 09 දක්වා ලන්ඩන් නුවර සුදුපැහැති ධූමිකාවකින් වැසී ගොස් උෂ්ණත්‍ව ප්‍රතිලෝමනයක් ඇති විය.ගෙවල් උණුසුම් කිරිමට හා විදුලිය නිෂ්පාදනයට ගල් අගුරු බහුල ලෙස භාවිතා වීමෙන් මුදා හැරුණු අංශූන් හා සල්ෆර් ඩයොක්සයිඩ් නිසා එය කළු ධූමිකාවක් බවට පත් විය. 1952න් පසු මෙවැනි තත්‍වයන් හයවරකට වැඩි සංඛයාවක් ඇති වි තිබේ. 1953 නිව්යෝක් නගරයද මෙවැනි වායු දූෂක සිදුවිම් රැසකට මුහුණ දි ඇති අතර 1966 හටගත් ස්මොග් පටලය මගින් 168 දෙනෙක් මියගොස් ඇත.මෙහිදි මෙම මරන වලට හේතු වූ ප්‍රධාන වායුව සල්ෆර් ඩයොක්සයිඩ්ය.

මෑත කාලීනව ලෝකයේ සිදුවූ දරුණුම කාර්මික ආපදාව වන භෝපාල් සිද්ධිය වාර්තා වුයේ 1984 දෙසැම්බර් 03දාය. යුනිවස් කාබයිඩ් කර්මාන්ත ශාලාවේ ගබඩා තටාක තුනකින් මෙතිල් අයිසො සයනේට් යන මාරක වායුව කාන්දු වීම මේ තත්‍වයට හේතු විය.මෙතිල් අයිසො සයනේට් යනු කාබනේට් වර්ගයේ කෘමිනාශක නිෂ්පාදනයේදි භාවිතා කරන අතරමැදි ද්‍රව්‍යයකි.මෙම සිදුවිම වන විට තවදුරටත් භාවිතා කිරීමට මෙතිල් අයිසො සයනේට් වායුව තටාක වල ගබඩා කර තිබිණි.මේ අවස්තාවේදී 4000ට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර 3000ට අධික ප්‍රමාණයක් තදබල ලෙස රෝගාතූර වි ඇත.මෙතිල් අයිසො සයනේට් ආශ්වාස කිරීම නිසා ඇස්වල දැවිල්ලක් හටගන්නා අතර පෙනහළු වලින් ඔන්සිජන් බැහැර විමෙන් හුස්ම සිරවී මරණය සිදුවේ.

මෑත කාලීනව සිදුවූ තවත් කාර්මික ආපදාවක් නම් 1986 චර්නොබිල්හි ඇති වූ කාර්මික ආපදාවයි. මෙය සිදු වූයේ 1986 අප්‍රේල් 29 දාය.මෙය දැනට යුක්රේනයට අයත් පෙර පැවති සෝවියට් සංගමයේ චර්නොබිල්හි ස්ථානගත කරන ලද න‍‍්‍යෂ්ටික ඉන්ධන මධ්‍යස්ථානයේ ඇතිවූ ආපදා තත්‍වයකි.මෙම අනතුර සිදු වුයේ ප්‍රතිකාරකය ද්‍රවායනයව වීමෙනි.සිසිලන පද්ධතියේ ඇනහිටිමක් සිදුවිමෙන් විකිරනශීලී න‍‍්‍යෂ්ටික ඉන්ධන ද්‍රවාංකය තෙක් අධිකව රත් වීමෙන් ද්‍රවායනය සිදු විය හැකිය.උණු වූ විකිරනශීලී න‍‍්‍යෂ්ටික ස්කන්ධය ප්‍රතිකාරකය පතුලේ ද්‍රව වූ විට එහි පතුල හරහා තාපය හා විකිරණ ‍පොළවට කාන්දු වීමේ අවදානමක් ඇතිවී භූගත ජල මට්ටමද අපවිත්‍ර කරයි.ඉන්ධන කූරු ආවරණය කළ ද්‍රව්‍ය මිණිරන් වීම ආපදා තත්‍වය උග්‍ර වීමට තවතවත් හේතු විය.

මෙම හදිසි ආපදාවෙන් මහජනයාට ක්‍ෂණික හෝ උග්‍ර බලපෑමක් ඇති නොවුණි.නමුත් දිගුකාලීනව දරුණු ප්‍රතිඵල ඇති විය හැකිය.මෙම ආපදාව නිසා ඒ අවට කලාපයෙන් ඉවත් කරනු ලැබූ 135000ක් ජනතාව මින් දරුණු ප්‍රතිවිපාක ලැබීය.මෙම ප්‍රදේශයේ තවත් වසර 70ක කා‍ලයක් පුරා විකිරණයේ ප්‍රතිවිපාක පවතිනු ඇතැයි විශේෂඥයින් පවසයි.

මීට අමතරව තවත් කාර්මික ආපදාව ලෝකයේ සිදුවි ඇති අතර ඉහත සිදුවිම් ඉන් කිහිපයකි.කාර්මික ලෝකයේ සංවර්ධනයත් සමඟ කාර්මික ආපදාව වර්ධනය වෙමින් පවතියි.

කාර්මික ආපදා මගින් ඇති කරන බලපෑම්[සංස්කරණය]

මානවයාට ඇති කරන බලපෑම්[සංස්කරණය]

කාර්මීකරණ ක්‍රියාවලියත් සමඟ ලෝකය පුරා කර්මාන්තශාලා ව්‍යාප්ත විය. එසේම මෙම කර්මාන්තශාලා වලින් පරිසරයට විවිධ වායූ වර්ග නිකුත් වීමද ඊට සමාන්තරව වර්ධන‍ය විය.මේ කර්මාන්තශාලා වලින් නිකුත් කළ බොහෝ වායුන් විෂ සහිත වූ අතර ජීවීන්ට අහිතකර විය.මෙම වායුන් අධික ලෙස විමෝචන‍ය වීමෙන් ඇති වූ කාර්මික ආපදා තත්‍වයන් විශාල වශයෙන් ජීවිත හානි සිදුවීමට හේතු විය.ඇතැම් කාර්මික ආපදා වලදී සිදුවූ ජීවිත හානි ප්‍රමාණය දහස් ගණන් විය.ඊට අමතරව තවත් විවිධ රෝගාබාධ තත්‍වයන්ට ලක් වන පිරිස අති මහත්ය.මෙසේ ඇතිවන රෝගාබාධ තත්‍වයන්අතර උග්‍ර ශ්වසන ආබාධ,පෙනහළු ක්‍රියාකාරීත්‍වය හීන විම,පෙනහළු පිළිකා,දෘෂ්‍යාබාධ,ශක්තිය හීන වීම ප්‍රධාන වේ.න‍‍්‍යෂ්ටික විකිරණ හා විෂ වායුන්අධික ලෙස විමෝචන‍ය වීමෙන් ඊට ගොදුරැ වන පුද්ගලයින් තුල විවිධ ජානමය ආබාධ හට ගනී. කාර්මික ආපදා නිසා ඇතිවන බලපෑම් වලින් වඩාත්ම භයානක තත්‍වයන්ට මුහුන පෑමට සිදුවන්නේ ගර්භණී මවුවරුන්ට හා කුඩා දරුවන්ටය.එහිදී කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ වෙනස්විම් හා ආබාධ ඇති වීම, අංගවිකල දරු උපත් සිදුවීම යනාදී ඉතා අයහපත් ප්‍රතිඵල ඇතිවේ.

කාර්මික ආපදා හේතුකොටගෙන මර්ත්‍යතාව ඉහළ යාම පැහැදිලිව දැක ගත හැකිය.එසේම විවිධ රෝගාබාධ හේතුවෙන් හා මර්ත්‍යතාව ඉහළ යාම හේතුවෙන් සඵලතාවය ඉහළ යාම ද සිදුවිය හැකිය.මෙය රටක ජනසංඛ්‍යාව වෙනස් වීම කෙරෙහි සෘජුවම බලපාන අතර එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ තත්‍වය රටක ආර්ථික,සමාජ සුභසාධනයන් කෙරෙහි ද බලපෑම් ඇති කරයි.

පරිසරයට ඇති කරන බලපෑම්[සංස්කරණය]

කාර්මික ආපදාවන් සිදුවිම තුළින් විවිධ අංශ කෙරෙහි අහිතකර බලපැම් ඇතිවේ.ඒ අතර පරිසරයට ඇති කරන බලපෑම විශාලය.කාර්මික ආපදාවන් හේතුවෙන් පරිසරය කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ලබන තත්‍වයන් කිහිපයක් හඳුනා ගත හැකිය.කාර්මීකරණය හේතුවෙන් පිටවන විෂවායු නිසා ඇතිවන පාරිසරික ගැටලු අතර

  1. අම්ල වැසි ඇති වීම
  2. 'මිහිමඬල උණුසුම් විම
  3. හරිතාගාර ආචරණය ප්‍රධාන තැනක් ගනී.


01)අම්ල වැසි ඇති වීම

කර්මාන්ත ශාලා වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් වායුව දිය වීම නිසා වර්ෂා ජලය ස්වභාවිකවම ආම්ලික වේ.ඒ අනුව වර්ෂා ජලයේ pH අගය සාමාන්‍යය ප්‍රමාණයට වඩා පහළ ගොස් අම්ල මිශ්‍රිත ජලය වර්ෂාව ලෙස පතිත වීම අම්ල වැසි වශයෙන් හඳුන්වයි.මේ මඟින් පරිසරයට ඇති කරන බලපෑම් විවිධ වේ.

  1. වෘක්‍ෂලතා වනාන්තර විනාශ වීම
  2. ආම්ලික වර්ෂා ජලය ජලාශ වලට එක්වීමෙන් ජලජ ජීවීන් විනාශ වීම
  3. හුණුගල් වැනි පාෂාණ දිය වීම
  4. ලෝහමය ඉදිකිරීම්, ප්‍රතිමා, නටඹුන් වැනි දෑ විනාශ වීම
  5. පසේ ආම්ලික ස්වභාවය ඉහළ යෑමෙන් ශාකවල ඛනිජ අවශෝෂණය කෙරෙහි බලපෑම් ඇති වීම

02)හරිතාගාර ආචරණය

වායුගෝලයේ ඉතා සුළු වශයෙන් පවතින විරල වායු ලෙස හඳුන්වන කාබන්ඩයොක්සයිඩ් මීතේන්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රඩන් ඔක්සයිඩ් මෙන්‍ම ක්ලෝරො ෆ්ලෝරො කාබන් වැනි වායු පරිසර පද්ධතියට දැඩි බලපෑම් ඇති කරයි. මෙම විරල වායු හරිතාගාර වායු ලෙස හඳුන්වයි.කර්මාන්ත ශාලා වලින් පිටවන වායු තුළ මෙම හරිතාගාර වායු අඩංගුය.මේ හේතුවෙන් හරිතාගාර වායු මට්ටම ඉහළ ගොස් පහළ වායුගෝලය තුළ දිගු තාප විකිරන සිරවීම වැඩිවීමට බලපායි.

03)මිහිමඬල උණුසුම් විම

කාර්මීකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මිහිමඬල උණුසුම් විම හේතුකොටගෙන විවිධාකාර පාරිසරික අර්බුද ගණනාවක් උද්ගත වී තිබේ. ඒ අතර

  1. කාලගුණික හ දේශගුණික විචල්‍ය
  2. ශාක හා සත්‍ව ව්‍යාප්තිය වෙනස් වීම
  3. අයිස් කඳු දිය විම
  4. මුහුදු ජල මට්ටම ඉහළ යාම
  5. සාගරික ආම්ලික මට්ටම වෙනස් වීම
  6. කොරල්පර විරංජන

ආදිය ප්‍රධාන වේ.


කාර්මික ආපදා කලමනාකරණය[සංස්කරණය]

කාර්මික ආපදා කාර්මික විප්ලවයෙන් පසුව මුල් කාලයේදි කාර්මීකරණයට ලක්වූ යුරෝපා රටවලට පමණක් සීමා වූ ප්‍රශ්නයක් වුවත් වර්තමානය වන ව්ට එය ලෝක ව්‍යාප්ත ප්‍රශ්නයක් තෙක් පුළුල් වී තිබේ.මීට බලපාන හේතු සාධක සංකීර්ණ හා බහුවිධ නිසා ඉන්මිදීමට භාවිතා කරන උපක්‍රම ද සරල තනි තනිමැදිහත් වීම් ඉක්මවා යා යුතුය.කාර්මික ආපදා වලින් සිදුවන හානි වළක්වා ගැනීමට හෝ අවම කිරීමට කාර්මික ආපදා කලමනාකරණය ඉතා වැදගත් වේ.මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අතර වැදගත් කිහිපයකි.එනම්,

  1. ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීම
  2. කාර්මික ආපදා කලමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සාමාජික රටවල් පෙළඹවීම
  3. කාර්මික ආපදා පිළිබඳ අධ්‍යයනය, පුහුණුව හා පරීක්‍ෂණ දියුණු කිරීම
  4. ශිල්පීය ක්‍රම භාවිතා කරමින් කාර්මික ආපදා කලමනාකරණය කි
  5. කාර්මික ආපදා කලමනාකරණ සැලැස්ම ප්‍රායෝගික හා ඉහළ ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා ප්‍රජාවේ දායකත්‍වය උපරිමයෙන් ලබා ගැනීම

ඉන්දියාවේ සිදුවූ භෝපාල් සිද්ධියෙන් පසු "තිරසාර කාර්මික සංවර්ධනය" යන තේමාවකින් යුතු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට 2007දී ආපදා කලමනාකරණ ව්‍යාපෘතිය යටතේ හදුන්වා දෙන ලදී.මෙමආපදා කලමනාකරණ ව්‍යාපෘතිය යටතේ හදුන්වා දෙන ලද වැඩසටහන් ජාතික ආපදා කලමනාකරණ මාර්ගෝපදේශයන් සමඟ ඒකාබද්ධ වී ඇත.කාර්මික ආපදා වැළැක්වීමට පවතින පුහුණු ආයතන ශක්තිමත් කිරිමට මෙන්ම හදිසි ආපදා අවස්ථාවන්හි ක්‍රි‍යාත්මක වීමට සැලසුම් කිරීම, ආරක්‍ෂා වීම, නිර්ණය කිරීම හා හදිසි ආපදා අවස්ථාවනහි දැනුවත් කිරීම අදිය සඳහා පුහුණු ආයතන පිහිටුවීමටද මෙහිදි අවධානය යොමු විය.


නිගමනය[සංස්කරණය]

ලෝකයේ කාර්මික ආපදා පිළිබද අවදානය යොමුකිරිමේදී එහි ආරම්භය බොහෝදුරට සිදුවී ඇත්තේ කාර්මීකරණ‍යත් සමඟය. කාර්මීකරණ‍යත් සමඟ විවිධ කාර්මික තාක්‍ෂණික හේතු මත න‍‍්‍යෂ්ටික විකිරණ විෂ වායු කාන්දු විම් පිපිරීම් හා ගිනිගැනිම් හේතුකොටගෙන ලෝකයේ කාර්මික ආපදා ඇතිවී තිබේ.මෙම ආපදාවන්ට බොහෝ දුරට හේතු වි ඇත්තේ හයිඩ්‍රජන් සල්‍ෆයිඩ්, අධික කාබන්ඩ‍යොක්සයිඩ් විමෝචනය, මෙතිල් අයිසො සයනේට් මාරක වායුව, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායු අධික ලෙස කාන්දු වීම යි.

ලෝකයේ කාර්මික ආපදා ඇතිවිම කෙරෙහි බොහෝදුරට හේතු වි ඇත්තේ ධනවාදී ආර්ථිකය තුළ රැඳී සිටීමට මිනිසා දුර දිට නොබලා ගනු ලබන අදූරදර්ශී තීරණයි.කෙසේ වුවද කාර්මික සංවර්ධනයත් සමග වර්ධනය වන කාර්මික ආපදා හේතුකොට ගෙන මානවයාට මෙන්ම පරිසරයටද ඇතිවන ආපදා පාලනය කිරීමට විධිවිධාන ගත යුතුය.එසේම එය රාජ්‍ය මටිටමින් මෙන්ම ආයතන මටිටමින්ද සිදු වි‍ය යුත්තකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. අතුකෝරල දයාරෝහණ,"පරිසරය රැක ගත හැකි මඟ",1998,ශික්‍ෂා මන්දිර ප්‍රකාශන,බොරැල්ල,කොළඔ 08.
  2. ධනපාල ඒ.එච්.,"මිහිමඬල උණුසුම් වීම හා දේශගුණික වෙනස්වීම",2008,සරසවි ප්‍රකාශකයෝ,නුගේගොඩ.
  3. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,"පාරිසරික භූගෝල විද්‍යාව",1996,විජය මුද්‍රණාලය,මීගමුව.
  4. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,"විද්‍යාව",2007,කරුණාරත්න සහ පුත්‍රයෝ,හෝමාගම.


අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කාර්මික_ව්‍යසන&oldid=250415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි