කඩොලාන පරිසර පද්ධතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කඩොලාන යනු කුමක් ද?[සංස්කරණය]

කඩොලාන යනු බීජ දරන, අතිශය විශේෂණය වූ,පඳුරුවල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්‍යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ.

මිරිදිය ජලය හිඟවිම[සංස්කරණය]

පස විටින් විට කරදියෙන් යටවුවත් ශාක වර්ධනයට වැදගත් මිරිදිය මෙම පරිසරයේ හිඟ සම්පතකි. මෙම තත්ත්වය පාරිභෝගික නිරුදකත්වය ලෙස හැදින්වේ. පාංශු ජලයේ ලවණතාව ඉහළ මට්ටමක පවතින නිසා ආස්‍රැතිය මගින් ජලය අවශෝෂණයට මෙහි දී බාධා ඇති වේ. මේ අභියෝග ජය ගැනීම සඳහා ශාක විවිධ අනුවර්තන දරයි.

  • ලවණ ජලයෙන් අවශ්‍ය ජලය අවශෝෂණය කිරීමේ හැකියාව

උදා: මහ කඩොල්

  • ලුණු සහිත ජලය අවශෝෂණය කර පත්‍ර තුල ලුණු ගබඩා කිරීම හා පසුව පත්‍ර හලා දැමීම.

උදා: තෙල

  • ජලයෙන් ලුණු වෙන්කර පිට කිරීමට හැකි ග්‍රන්ථි පිහිටීම.

උදා: මල් කඩොල්, හීන් කඩොල්.

  • උත්ස්වේදනයේ දී පිටවන ජල ප්‍රමාණය අවම කර ශාකය තුල ජලය සංචිත කිරීම.මේ සඳහා අනුවර්තන දැකිය හැක.
    • ඝණ උච්චර්මයක් පැවතීම.

උදා: මුට්ටි කඩොල්, බෑරිය, පුංකඩ

    • පත්‍ර කටු සහිත වීම.

උදා: කටු ඉකිලිය.

    • පත්‍ර මාංශල වීම.

උදා: කිරල.

පාංශු වාතය හිඟ වීම[සංස්කරණය]

මුහුදු ජලයෙන් යටවීම නිසා පාංශු අවකාශවල ජලය රැඳීම හේතුවෙන් පාංශු වාතය හිඟ වී ඇත. මෙම අභියෝගය ජය ලැනීමට ද විවිධ අනුවර්තන පවතී.

    • වායුධර මුල් පැවතීම.පොළවෙන් ඉහළට වැඩුණ වායුධර මුල් මගින් මුල්වල ශ්වසනයට අවශ්‍ය වාතය වායුගෝලයෙන් අවශෝෂණය කර දෙනු ලැබේ.

උදා: මණ්ඩා, කිරල.

    • දණිස් මුල් පැවතීම.

මේවා ද පොළවෙන් ඉහළට වැඩී වායු හුවමාරුව සිදු කරයි. උදා: මල් කඩොල්.

උපස්ථරය ලිහිල්, මඩ සහිත ස්වභාවයක් දැරීම[සංස්කරණය]

පාංශු ජල ප්‍රමාණය අධික වීම නිසා සාමන්‍යයෙන් මෙම පරිසරයේ පොළව මඩ සහිත වේ. මේ නිසා ශාකය ඍජුව පවත්වා ගැනීමට හා හොඳින් පොළවට සවිවීමට අනුවර්තන දක්වයි.

    • කරු මුල් හා කයිරු මුල් පැවතීම.

ප්‍රධාන කඳෙන් පැන නගින කයිරු මුල් මෙන් ම අතුවලින් පැන නගින කරු මුල් ශාකයේ සංධාරණ ශක්තිය වැඩි කරයි.

බීජ ප්‍රරෝහණයට අහිතකර පරිසරයක් පැවතීම[සංස්කරණය]

නිර්වායු, ආම්ලික හා මඩ සහිත බිමක් පැවතීම ද වඩදිය බාදිය ඇතිවීම ද නිසා මෙම පරිසර පද්ධතිය තුල බීජ ප්‍රරෝහණයට සුදුසු තත්ත්වයක් නැත. ඒ නිසා ශාක ජලබුජතාව නම් අනුවර්තනය දරයි.එහි දී ප්‍රරෝහණය ආරම්භ වී කළල විකශනයේ පසු අවධිය වන තුරු ම බීජය මාතෘ ශාකයට සම්බන්ධ වී පවතී. මේ කාල සීමාව තුල බීජ ධරය දික් වී, කරලක් ලෙස දර්ශනය වේ.පොළවට වැටුණු පසු බීජය ප්‍රරෝහණයේ ඉතිරි කොටස පහසුවෙන් සම්පූර්ණ කරයි. උදා: මහ කඩොල්, මල් කඩොල්.

ලෝකයේ කඩොලාන ව්‍යාප්තිය[සංස්කරණය]

කඩොලාන.jpg

කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි.නමුත් ජපානය,ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය,ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වා ම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල පුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව ය. ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇති අතර මින් හෙක්ටයාර මිලියන 4.25ක් එනම්, 27%ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16%ක් ද ඕස්ට්‍රේලියාවේ 7%ක් පමණ ද දැකිය හැක.

ශ්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් පමණ වේ. කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතව ය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇත.

කඩොලාන ශාක[සංස්කරණය]

කඩොලාන ශාකවල සුවිශේෂී බවට ප්‍රධානම හේතුව ඒවා වැඩෙන පරිසරයයි. සාමාන්‍යයෙන් කඩොලාන ශාක වර්ධනය වන්නේ අන්තර් උදම් කලාපය තුල මෝය හා කලපු ආශ්‍රිතව ය. මෙම ප්‍රදේශය විටින් විට ජලයෙන් වට වීම හේතුවෙන් මෙහි පස ආම්ලික හා මඩ සහිත වේ. ඒ නිසා මෙම පරිසරයේ නොනැසී පැවතීමට සුවිශේෂී අනුවර්තන අත්‍යවශ්‍ය වන අතර එවැනි අනුවර්තන පැවතීම නිසා කඩොලාන පරිසරයේ අයිතිය කඩොලාන ශාකවලට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ බහුල කඩොලාන ශාක විශේෂ[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව කඩොලාන ශාක විශේෂ 25ක් පමණ දක්නට ලැබේ.

  1. මහ කඩොල්- Rhizophro mucronta / Rhizophro apiculata
  2. මල් කඩොල්- Bruguera gymnorhiza
  3. රතු කඩොල්- Ceriops tagal
  4. මණ්ඩා- Avicennia marina
  5. බෑරිය- Lumnitzera recemosa
  6. තෙල- Excoecarias agallocha
  7. හීන් කඩොල්- Aegiceras corniculatum
  8. කිරල- Sonneratia caseolaris
  9. කටු ඉකිලිය- Acanthus ilicifolius
  10. ගිංපොල් - Nypa fruticans

ශ්‍රි ලංකාවේ ක‍ඩොලාන

කඩොලාන පරිසරයේ සතුන්[සංස්කරණය]

ශාක ප්‍රජාව මෙන් ම කඩොලාන පරිසරයේ සත්ත්ව ප්‍රජාව ද සුවිශේෂ වූ අනුවර්තනවලින් යුත් සොබාදහමේ අපූර්ව නිර්මාණයන්ගෙන් අනූන වේ. විශේෂයෙන් කකුළු විශේෂ,මට්ටි විශේෂ, බෙල්ලන් විශේෂ, මත්ස්‍ය විශේෂ හා පක්ෂි විශේෂ මෙම පරිසරයේ බහුලව දක්නට ලැබේ.

කඩොලාන පරිසරයේ සත්ත්ව විශේෂ[සංස්කරණය]

  1. මඩ කකුළුවා
  2. තනි අඬු කකුළුවා
  3. කලපු කකුළුවා
  4. මුහුදු කකුළුවා (සිනක්කාලි)
  5. මඩ පොකිරිස්සා
  6. කිරි ඉස්සා
  7. කඩොලාන මට්ටි
  8. ටෙලස්කෝපියම් බෙල්ලන්
  9. සෙරිතිඩිය බෙල්ලන් (ඌරි)
  10. ලිටොරාරිය බෙල්ලන් (කඩොල් බෙල්ලන්)
  11. කඩොලාන කවාටි
  12. දිය හූනා
  13. කඩොල් කොකා
  14. ඇලි කොකා
  15. ගලුවියන් හා මුහුදු ලිහිණියන්
  16. සිලි බිල්ලන්

මිරිදිය ජලය හිඟවිම[සංස්කරණය]

පස විටින් විට කරදියෙන් යටවුවත් ශාක වර්ධනයට වැදගත් මිරිදිය මෙම පරිසරයේ හිඟ සම්පතකි. මෙම තත්ත්වය පාරිභෝගික නිරුදකත්වය ලෙස හැදින්වේ. පාංශු ජලයේ ලවණතාව ඉහළ මට්ටමක පවතින නිසා ආස්‍රැතිය මගින් ජලය අවශෝෂණයට මෙහි දී බාධා ඇති වේ. මේ අභියෝග ජය ගැනීම සඳහා ශාක විවිධ අනුවර්තන දරයි.

  • ලවණ ජලයෙන් අවශ්‍ය ජලය අවශෝෂණය කිරීමේ හැකියාව

උදා: මහ කඩොල්

  • ලුණු සහිත ජලය අවශෝෂණය කර පත්‍ර තුල ලුණු ගබඩා කිරීම හා පසුව පත්‍ර හලා දැමීම.

උදා: තෙල

  • ජලයෙන් ලුණු වෙන්කර පිට කිරීමට හැකි ග්‍රන්ථි පිහිටීම.

උදා: මල් කඩොල්, හීන් කඩොල්.

  • උත්ස්වේදනයේ දී පිටවන ජල ප්‍රමාණය අවම කර ශාකය තුල ජලය සංචිත කිරීම.මේ සඳහා අනුවර්තන දැකිය හැක.
    • ඝණ උච්චර්මයක් පැවතීම.

උදා: මුට්ටි කඩොල්, බෑරිය, පුංකඩ

    • පත්‍ර කටු සහිත වීම.

උදා: කටු ඉකිලිය.

    • පත්‍ර මාංශල වීම.

උදා: කිරල.


වඩදිය බාදිය හේතුවෙන් මෙහි ජීවත් වන සතුන්ට වරක දී ජලයෙන් යට වූ පරිසරයක ද තවත් වරක දී වායුගෝලයට නිරාවරණය වූ පරිසරයක ද ජීවත්වීමට සිදු වේ.ඒ නිසා බොහෝ කකුළු විශේෂවලට ජලක්ලෝම කුටීරයේ තෙතමනය දිගු කාල සීමාවක් රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. එමඟින් ඔවුන්ට වැඩි වේලාවක් භෞමික පරිසරයේ ජීවත්වීමේ හැකියාව ලැබී ඇත. දිය හූනා (Mud Skipper) වැනි මසුන්ගේ ලය වරල් හා ශ්‍රෝණි වරල් පැනීමට හා ගස් නැගීමට හැකි වන ලෙස අනුවර්තනය වී ඇති නිසා භෞමික පරිසරය තුල දී ද නොනැසී පැවතීමට ඔවුන්ට හැකි වී ඇත.

කඩොලාන පරිසරයේ වැදගත්කම[සංස්කරණය]

  • බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන් ම අභිජනන ස්ථානයක් වීම.
  • කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහාසැඟ වී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීම.
  • කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.
  • ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම.
  • මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.
  • වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරිමට දායක වීම.
  • මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.
  • ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.
  • මාළු දැල් සඳහා සායම් ලෙස ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.
  • කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගනි.
  • පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකිවීම.
  • ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.


කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබේ. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වේ.

Kadolana2.jpg

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  1. සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය, සමුදුර පුවත්, 2006 - අප්‍රේල් කලාපය - වෙළුම 2.
  2. සමාජ අධ්‍යයනය (පැරණි නිර්දේශය) - 9 වසර.
  3. සිළුමිණ පුවත්පත (රසඳුන).
  4. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් පත්‍රිකා.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කඩොලාන_පරිසර_පද්ධතිය&oldid=306172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි