එළමල්දෙණිය රජමහා විහාරය

විකිපීඩියා වෙතින්
එළමල්දෙණිය රජ මහා විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°12′49″N 80°29′52″E / 6.2135°N 80.4977°E / 6.2135; 80.4977ඛණ්ඩාංක: 6°12′49″N 80°29′52″E / 6.2135°N 80.4977°E / 6.2135; 80.4977
ද්වාරය:බුද්ධාගම

එළමල්දෙණිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි රජ මහා විහාරයක් වේ.

පිහිටීම[සංස්කරණය]

කොටපොළ (පිටබැද්දර) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ය. අකුරැස්ස-සියඹලාගොඩ මාර්ගයේ සැතපුම් තුනක් ගියවිට හමුවන එළමල්දෙණිය මංසන්ධියෙන් දකුණට හැරී එළමල්දෙණිය පන්සල පාරේ තවත් සැතපුම් දෙකක් පමණ ගමන් කළ විට මෙම විහාරය හමු වේ‍.

ඉතිහාසය[සංස්කරණය]

ජනප්‍රවාදයට අනුව සද්ධාතිස්ස රජු (කිු.පූ.137-119) මෙම විහාරය ඉදිකර ඇත.[1] රජු මෙතැනින් ගමන් ගන්නා විට පුද පූජා පවත්වන්නට විහාරයක් සාදා රජු සමඟ පැමිණි පිරිසෙන් කොටසක් මෙහි නවත්වා ඇත. එම පිරිසෙන් ගම බිහි වී ඇත. වර්තමානයේ දී එළමල්දෙණිය කුඹුරු යායකි. අතීතයේ දී එය ලඳු කැළෑ සහිත දෙණියක් විය. ගමක් නොතිබුණත් පිටබැද්දර සිට මුලටියන ගමන් ගන්නා විටත් අකුරැස්ස, ඕපාගොඩ, ඌරුමුත්ත හරහා පනාකඩුව, දියදාව, සියඹලාගොඩ වැනි ප්‍රදේශ කරා යන විටත් මෙම ස්ථානය පසුකර යා යුතුය. මෙම දෙණියේ සුදු පැහැති මල් වර්ගයක් තිබිණි. සුදු මල් තිබූ නිසා එය එළමල්දෙණිය ලෙස හඳුන්වා ඇත.

‍‍චෛත්‍යය අසල ගල්තලාවේ ඇති ලිපිය විනාශ කිරීම සම්බන්ධව තොරතුරු ද ජනප්‍රවාදයේ පවතී. මෙම විහාරයේ භාරකාරත්වය රජු විසින් නවතා ගිය පිරිස විසින් දරන ලද අතර අවට ගම්වාසීන් මෙහි ඉඩම්වල වගා කර ඇත. අස්වැන්න රැගෙන යන විට විහාරයේ භාරකරුවන් එහි කොටස ඉල්ලා ඇත. එහි දී එය දීමට ප්‍රතික්ෂේප කළත් සෙල්ලිපිය පෙන්වූ විට විහාරයේ කොටස දීමට සිදුවී තිබේ. ඒ නිසා කෝප වූ ගම්වාසීන් මෙම සෙල්ලිපිය විනාශ කළ බව විශ්වාස කෙරේ.

විහාරය[සංස්කරණය]

ආවාස ගෙයි සිට සැතපුම් කාලක් පමණ කන්ද බැස අලංකාර දිය පහරක් පසුකර නැවත සැතපුම් කාලක් පමණ පඩි පෙළක් ඔස්සේ කන්ද තරණය කිරීමෙන් ලෙන් විහාරයට ළඟා වීමට පුළුවන. එතැන් සිට තවත් මීටර් 300 ක් පමණ දුරින් ‍චෛත්‍යය ඇති අතර එය අභිනවයෙන් ඉදි කරන ලද්දකි.‍ චෛත්‍යය පිටුපසින් කියවාගත නොහැකි ලෙස අකුරු මැකී ගිය සෙල්ලිපියක් වේ‍. ලෙන් විහාරයේ සැතපෙන පිළිමයක් හා හිටි පිළිම ද කතරගම හා විෂ්ණු දේව ප්‍රතිමා ද වේ‍. ලෙන් බිත්තිවල නුවර යුගයේ ලක්ෂණ සහිත සිතුවම් ඇතත් ඒවා එතරම් පැරණි නොවන බව පැහැදිලි වේ‍. මෙම ලෙනට පහළින් ඇති කුඩා ප්‍රමාණයේ ලෙන් දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර ඇත. ලෙන් විහාරයක් වන මෙහි 12 රියන් සැතපෙන බුදු පිළිමයක් හා හිටි පිළිම දෙකක් ඇත. මේවා මහනුවර සම්ප්‍රදායේ ප්‍රතිමා වේ‍.

මෙහි ඇති ලෙන් විහාරය මෙන් ම ආවාස ගෙය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "එළමල්දෙණිය රජ මහා විහාරය". විසිට් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 2015-10-07.
  • පෞරාණික ස්ථාන හා ස්මාරක - මාතර දිස්ත්‍රික්කය (ඉනෝකා වික්‍රමරත්න)