එල්ලුම් ගහ

විකිපීඩියා වෙතින්
එල්ලුම් ගහ

හැඳින්වීම[සංස්කරණය]

කොළ නොමැති ගස ලෙස සියලු දෙනාම දන්නා එල්ලුම් ගස පිළිබඳව ඇත්තේ සුවිශේෂ කතාවකි. විශේෂයෙන්ම වරදට දඬුවම් කළ යුතුය යන්න මත පදනම් වු එල්ලුම් ගස ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අතීත රජ දවස පැවති දඬුවම් ක්‍රමයද ඉවහල් වූවා යයි අනුමාන කළහැක. මන්ද එකල රාජ උදහසට හසුවන ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ උල තැබීම, ඇතුන් ලවා පෑගවීම, තෙල් කටාරම් වලට දැමීම වැනි දරුණු දඬුවම් දීමට රජවරුන් කිසිදා පැකිලුණේ නැති බව ඵෙතිහාසික කතා පුවත් වලින් අපට පෙනේ. ඒ ආකාරයේ දඬුවම් ක්‍රම නිසා අතීත සමාජයේ දඬුවමට ඇති බිය වර්ධනය වී එමගින් සමාජ දූෂිත ක්‍රියාවල යෙදීමට වූ පෙළඹවීම අඩුවිය. විශේෂයෙන්ම වර්තමානයේ විවිධ රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වීම විවිධ අදියර වලින් සිදු කළද, එල්ලුම් ගහ තවමත් ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එකම ක්‍රමයයි. විවිධ රටවලදී මෙයට අමතරව විදුලි පුටුව, වෙඩි තැබීම යනාදිය ද සිදු කරනු ලබයි.

විදුලි පුටුව

අතීත ලංකාවේ මරණ දඬුවම[සංස්කරණය]

අතීතයේ දී ලංකාවේ සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් මරණ දඬුවමින් සිය දිවි කෙළවර කරගත් බව ප්‍රකාශ වේ. බ්‍රිතාන්‍ය යුගයේ එල්ලුම්ගහ ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස වෘත්තියෙන් වතු අධිකාරවරයෙකු වූ පුද්ගලයෙකුට වත්තේ ‍සේවකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දී තිබේ. 1856 තරම් ඈතකදී කෑගල්ලේ කඩපිළකදී මරණීය දඬුවම ප්‍රසිද්ධියේ සිදුකළ අවස්ථාවක් ගැනද වාර්තා වේ. ඉන් පසුව මෑතකදී බණ්ඩාරණායක මිනීමැරුම් නඩුවේ එල්ලුම්ගහ නියම වූ මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, තල්දූවේ සෝමාරාම යන තිදෙනාගෙන් තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම වූයේ ප්‍රිවි කවුන්සල තීන්දුවෙනි. සිරගෙට නියම වූ පසුව ක්‍රිස්තියානි ආගම වැලඳගත් ඔහු 1962 ජූලි 6 වැනි දින එල්ලා මරණ ලදි.

එල්ලුම්ගහට නියම වූ ප්‍රථම පොලිස් නිළධාරියා වූයේ සන්සෝනි පෙරේරා නම් අයෙකි. ආටිගල මිනීමැරුම් නඩුවේ විත්තිකරුවකු වූ ඔහුද සිය ජීවිතය නිමකර ගත්තේ එල්ලුම් ගසෙනි. මේ නඩුව විභාග වන විටත් ඔහු විශ්‍රාමික පොළිස් නිළධාරියෙක් වීම විශේෂත්වය විය. ජෝන් සිල්වා ඝාතනය හා හාරලක්ෂ මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කොළොන්නාවේ මිනීපෙට්ටි ජේමිස් නොහොත් ජේමිස් සෙනෙවිරත්නත්, පිරිවෙන් ආයුර්වේද සිසුවකු වූ ප්‍රේමලාල් රාජපක්ෂත්, පොලිසියේ සේවය කළ මුණසිංහ, හමුදාවේ සේවය කළ පෙරේරා යන අයද මරණ දඬුවමට යටත් වූහ.

එසේම බණ්ඩාරගම ලෑතරබාස් නම් පුද්ගලයා ඇතුළු තවත් තිදෙනෙකුටද මරණ දඬුවම නියම වූයේ වයිට්හවුස් නම් වත අධිකාරවරයාගේ ඝාතනය සම්බන්ධයෙනි. තවද වතු යායක වැටුප් මුදල් රැගෙන ගිය පාසල් ගුරුවරයෙකු මරා දැමීම හේතුවෙන් වතු කම්කරුවෙකු වූ වේලායුධන් හට මරණ දඬුවම නියම විය. ලංකාවේ එල්ලුම්ගහ තහනම් කිරීමට පෙර අවසන් වශයෙන් එල්ලුම්ගහට නියම වූයේ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාටය. ඒ සිය පෙම්වතිය මැරීමට දඬුවම් වශෙයන් එල්ලුම්ගහට නියම වූ අය සම්බන්ධයෙන් ප්‍රකට කතාවන් ද ගොඩනැගී තිබේ.විශේෂයෙන් එක් පුද්ගලයෙකුට මරණ දඬුවමට පෙර කණ්ණාඩියකින් මුහුණ පෙන්වූ විට ."බාරෝ උඹේ කෙරුමා අදින් ඉවරයි" යනුවෙන් පවසා ඇත. තවෙනකකු සිර මැදිරියේ බුද්ධ ප්‍රතිමාවක රූපයක් ඇඳ තිබෙනු දැක පුවත්පත් වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශකර ඇත්තේ "මා නම් මගේ මරණය සිදුවන දිනය දන්නවා,නමුත් නුඹ නුඹේ මරණය සිදුවන දිනය දන්නවාද" යනුවෙනි. සුප්‍රසිද්ධ සපුවලාන ම්නීමැරුම් නඩුවේ එල්ලුම් ගහට නියම වූ සිරිසේන නම් අයෙක් ලියූ කවි 1954 වර්ෂයේදී පමණ එවක පුවත්පත්වල පළකොට තිබුණේ, එවකට අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මත සිරකරුවන් පිළිබඳව පරීක්ෂා කොට වාර්තා කිරීම සිදුකළ,පසුකලීනව ලංකාවේ ජනාධිපති බවට පත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. එරික් බචෝ නම් තැනැත්තා සිරකුටිය තුළ සිට පොතක් ලියූබව ද සඳහන් වේ.

ලංකා නීතිය යටතේ මරණ දඬුවම[සංස්කරණය]

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ 114 වගන්තියේ රාජ්‍ය වැරදි සම්බන්ධයෙන් 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, 191 බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන්, 296 යටතේ මිනීමැරීම සිදු කරන අයෙකු සම්බන්ධයෙන්, 299 යටතේ සිය දිවි හානිකර ගැනීමට අනුබල දීම ද මරණ දඬුවමින් දඬුවම් කිරීමට හැකි වැරදි වෙයි. මීට අමතරව අන්තරායකර ඹෟෂධ ආඥා පනත යටතේ මත්කුඩු ජාවාරමේ යෙදීමද මරණ දණ්ඩණය ලැබීමට තරම් බරපතල වරදකි.

එල්ලුම්ගහට නියම කිරීම[සංස්කරණය]

අදාල නඩුවේ සාක්ෂි විමසා බලන විටක එකී වරදකරුට මරණ දඬුවම නියම කිරීමට තරම් පැහැදිලි සාක්ෂි තිබේනම් ද

අනෙකුත් සාධක ද සොයාබලා දඬුවම් නියම කරයි. එහිදී අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දමනු ලැබේ. මරණ දඬුවම නියම කළ වගන්තිය ලියා එය ලියූ පෑන කඩා දමනු ලැබේ.

ඒල්ලුම් ගහට නියම වීම.

එල්ලුම්ගහ ක්‍රියාත්මක වීම[සංස්කරණය]

ලංකා නීතිය යටතේ ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයකදී එල්ලා මැරීම සිදු කරයි. මරණ දඬුවම නියම කරනු ලැබූ පුද්ගලයන් සිර මැදිරිවල වෙන වෙනම තබනු ලැබේ. දිනකට ශාරීරික ව්‍යායාම සඳහා පමණක් සීමිත වෙලාවක් එකී සිර මැදිරිවලින් එලියට ගනු ලැබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙරදින පෝරකය අසල ඇති වෙනත් කාමරයක අවසාන දින රාත්‍රියේ රඳවා තබනු ලැබේ. එහිදී ඔහුගේ බර කිරා එම බරට සරිලන වැලි ගෝනියක් එල්ලා එල්ලුම් ගසේ ලණුව ක්‍රියාත්මක කර පරීක්ෂණයක් කරනු ලැබේ. සිරකරු කෑමට කැමති ආහාරයක් පිළියෙල කර දෙන අතර අවශ්‍ය නම් විස්කි ස්වල්පයක් ද බීමට දෙනු ලැබේ. තවද තමා කැමති ආගමික පූජකවරයෙක් ගෙන්වා ධර්ම දේශනාවක් ද කරනු ලැබේ. එක්තරා අවස්ථාවකදී මරණ දඬුවම ලබා සිටි සිරකරුවකුගේ අවසාන ඉල්ලීම වූයේ මිල්ටන් පෙරෙරා නම් ගායකයා ලවා ගීතයක් ගායනා කරවා ගැනීමයි සහ මරදාන බුහාරි හොටලයෙන් බුරියානි කෑම එකක් කෑමයි. ඒ අයුරින්ම කැමැත්ත ඉටුකරවා දුන් බවත්, පසුව සිරකරු පෝරකය වෙත ගියේ තමාම ඒ සින්දුව ගායනා කරමින් බවත් පැවසේ.

ක්‍රියාත්මක කරන්නා[සංස්කරණය]

ක්‍රියාත්මක කරන්නා

එල්ලුම් ගස ක්‍රියාත්මක කරන පුද්ගලයා අලුගෝසුවා යන නමින් හඳුන්වයි. වර්තමානයේ නම් අලුගෝසුවා යනු කාර්යයන් කිරීමකින් තොරව වැටුප් ලබන්නෙකි. විශේෂයෙන්ම එයට හේතු වී ඇත්තේ එල්ලුම්ගහට ලැබුණු විරාමයේ පිහිට අලුගෝසවාටද ලැබී ඇති බැවිනි.මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින උදෑසන අදාල චෝදිත පුද්ගලයාට විශේෂ ඇඳුමක් අන්දවනු ලැබේ.එකී ඇඳුම ඇන්ද වූ පසු අත්දෙක සෙලවීමටවත් අවස්ථාවක් නොමැත. ඉන් පසුව ඔහුගේ මුහුණ කණ්ණාඩියකින් පෙන්වනු ලැබේ.එය තම මුහුණ දැකගැනීමට ලැබෙන අන්තිම අවස්ථාව වෙයි.ආගමික පූජකවර‍යෙකු පැමිණ ආගමික කටයුතු නිම වූ පසුව පෝරකය වෙත කැඳවාගෙන යනු ලැබේ.එසේම එල්ලුම් ගහ වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන්නේ නිළධාරීන් කිහිප දෙනෙකු ඉදිරිපිටදීය. මේ කණ්ඩායමට වෛද්‍යවරයෙකු ද ඇතුලත් වෙයි. එල්ලුම්ගහ තබා ඇත්තේ සිරගෙයි අඳුරු කාමරයක් තුලය. අද දවසේ බෝගම්බර සිර ගෙදර සහ වැලිකඩ සිර ගෙදර පමණක් එල්ලුම්ගස් තිබේ.

ක්‍රියාත්මක වන දිනය[සංස්කරණය]

එල්ලුම්ගහ ක්‍රියාත්මක වන දිනයේ අදාල අඳුරු කාමරය තුල එල්ලා මරණු ලබන්නාගේ නම දිනය සඳහන් කොට ඇත. එල්ලා මැරීමට යොදාගන්නා කඹය බෙල්ජියමෙන් ආනයනය කරනු ලැබේ. එල්ලුම් ගසට අවශ්‍ය කඹය මෙදා පාකිස්ථානයෙන් ගෙන්වීමටද කටයුතු යොදා ඇත. එල්ලීමේ දී බෙල්ල සිරවීමෙන් උගුරු දණ්ඩ කැඩීයාමක් සිදුවේ. මුහුණ වැසීම හෝ නොවැසීම සිදු කරන්නේ අදාල දඬුවම ලබන්නාගේ මනාපය පරිදිය. මරණ දඬුවම ක්‍රියාත්මක වූ පසු වෛද්‍යවරයෙකු විසින් අදාල සිරුර පරීක්ෂා කර හරියටම මිය ඇද්දැයි පරීක්ෂා කරනු ලැබේ. ඹහු එවිටද මියාගාස් නැතිනම් නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කොට මරා දැමීමට නොහැකිය. අදාල පුද්ගලයාගේ ශරීරය වලදැමූ පසුව ඒ මත පස් ගොඩගසනු නොලැබේ. එයට හේතුව ඔහු වරදකරුවෙකු ලෙස දඬුවම් ලබා මිය යාමයි.අප මෑතකදී සදාම් හුසේන් නම් හිටපු නායකයෙකුට එරෙහිව වර්ග ඝාතනය සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් මරණ දඬුවම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඔස්සේ දැක ගතිමු. එය එල්ලුම්ගහක් ක්‍රියාත්මක වන ආකාරය ලෝක ප්‍රජාවටම දැකගත හැකිවූ සුවිශේෂ අවස්ථාවක් වෙයි.මේ ආකාරයට බලන විට එල්ලුම්ගහ මරණ දඬුවම ලබාදීමේ දී උපයෝගී කරගන්නා ක්‍රම අතර තවම ප්‍රමුඛ ස්ථානය හිමි කරගෙන ඇත.

මරණ දඬුවම තහනම් කිරීම[සංස්කරණය]

ලංකාවේ මරණ දඬුවම ඉවත් කල යුතුයයි විවිධ අදහස් පල වී තිබේ.විශේෂයෙන්ම ලංකාව බෞද්ධ රටක් වීමත් බෞද්ධ ධර්මයේ වන අවිහිංසාවාදී ප්‍රතිපත්තියත් මෙයට මූලික වන්නට ඇත. මුල් යුගයේ සිටම අපේ රටේ පැවති මරණ දඬුවම ඉවත් කළ යුතු බවට මුලින්ම යෝජනාවක් ගෙන ආවේ එවක අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි.1928 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ මෙම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මෙයට විකල්ප දඬුවමක් නොවූ බැවිනි. 1936 දී පානදුර කොට්ඨාශය නියෝජනය කළ සුසන්තාද ෆොන්සේකා මහතා විසින් නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එල්ලුම්ගහ තහනම් කිරීමේ යෝජනා ගෙන ආ අතර දිවි ඇති තෙක් බන්ධනාගාර ගත වීම විකල්ප වශයෙන් යෝජනා වී ඇති නමුත් එය ද ප්‍රතික්ෂේප විය.

නීති පොතේ තවදුරටත් මරණ දඬුවම ලියවී තිබුණද එය ක්‍රියාත්මක කිරීම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා විසින් නවතා දමන ලදි. මේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නමුත් සෙනෙට් සභාවෙන් සම්මත නොවූ නිසා දෙවන වර පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීම තුලින් ක්‍රියාත්මක විය. මේ නිසා එවකටත් මරණ දඬුවම නියම වී සිටි මරදන්කඩවල යකඩයා, කපිතාන් ආතර් පෙරේරා, එරික් බුචෝ යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් වීමට සිදු විය.

නමුත් නැවත එල්ලුම් සම්බන්ධයෙන් කතාබහට ලක් වූයේ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයත් සමගින්ය. විනිසුරු අඹේපිටිය ඝාතනය කළ නවුෆර් නැමැත්තා එල්ලා මැරිය යුතු බවට සමාජයේ බොහෝ දෙනා අදහස් දැක්වීම මෙයට හේතුව විය. නීතිඥ සංගමය මගින් ද මේ අදහස ස්ථිර විය. 2006 වසරේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකර‍යට කුඩු ජා‍වාරම්කරුවන්, කුඩු ව්‍යාපාරිකයන් හට මරණ දඬුවම ක්‍රියාත්මක කරවන බව ප්‍රකාශ කලද, තවමත් මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කල හැක්කේ ජනාධිපතිතුමාට හෝ තුමියට පමණක් වන නමුදු මරණ දඬුවම නියම කල හැක්කේ අධිකරණයට පමණක් වීම සුවිශේෂත්වයකි. එසේ නොවී නියම කිරීම, ක්‍රියාත්මක කිරීම යන දෙකම එක් පුද්ගලයෙකුට පමණක් නියම වී කිබුණි නම්, එය අයහපත් ආකාරයට ද ක්‍රියාත්මක වීමට ඇතිවිය හැකිව තිබූ ඉඩකඩ මින් අහුරා දමා තිබේ.

කෙසේ වුවද ලංකාව බෞද්ධ රටකි. ඒ සංකල්පය අනුව කෙනෙකුගේ ජීවිකය නැති කිරීම වරදකි. නමුත් එක් පුද්ගලයෙකුගේ ජීවිතය නැති කිරීම හෝ උක්ත දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වූ අනෙකුත් වැරදි සිදු වීම මගින් සමාජයට වන්නා වූ හානිය සුළුපටු නොවේ. වර්තමානය සැලකිල්ලට ගැනීමේ දී දඬුවමට බිය ඇති කිරීමටත්, අපරාධ වලක්වා ගැනීමටත් මරණ දඩුවම ඉවහල් වෙයි. නමුත් තවමත් ලංකාව තුල එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවේ.

අගමැති බණ්ඩාරානායක මහතා එල්ලුම්ගස තහනම් කළද, ඊට පසුවද එල්ලුම් ගස ක්‍රියාත්මක විය. බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සෝමාරාම භික්ෂුවද එල්ලා මැරීය. නමුත් 1976-06-27 න් පසුව එල්ලා මරා දැමීම සඳහා මේ වනතෙක් එල්ලුම්ගස ක්‍රියාත්මක කර නැත.

ආශ්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

01. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය.

02. එල්ලුම්ගහේ කතාව--ඇම්.සී. ඉඳුනිල් ප්‍රනාන්දු [2007 පෙබරවාරි 27 අඟහරුවාදා දිණමිණ පත්‍රය(පිටුව-04, මට තාම මතකයි)]

"https://si.wikipedia.org/w/index.php?title=එල්ලුම්_ගහ&oldid=436553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි